“ආගන්තුක සත්කාරයේ පිළිවෙත අනුගමනය කරන්න”
“ශුද්ධවන්තයන්ගේ අවශ්‍යතා අනුව ඔවුන් සමඟ බෙදාගන්න. ආගන්තුක සත්කාරයේ පිළිවෙත අනුගමනය කරන්න.”—රෝම 12:13, NW.
1. මූලික මනුෂ්‍ය අවශ්‍යතාවක් නම් කරන්න; එය විදහාපෙන්වනු ලබන්නේ කෙසේද?
දැන් කාලයේ, ගනඳුරු රැයක නුහුරු නුපුරුදු පෙදෙසක පාළු වීථියක් දිගේ පියමං කිරීම බිහිසුණු අද්දැකීමක් විය හැක. එහෙත් සමූහයක් අතර තනි වී සිටීම හෝ කිසිවෙකුට අපව අඳුනාගැනීමට නොහැකි වීම, ඒ හා සමාන පීඩාකාරි අද්දැකීමක් විය හැක. ඇත්තෙන්ම, සැලකිල්ල, අනුකම්පාව හා ප්‍රේමය ලැබීම මනුෂ්‍ය ස්වභාවයේ අනිවාර්ය කොටසකි. අමුත්තෙකු ලෙස හෝ පිට කෙනෙකු ලෙස සලකනු ලබනවාට කිසිවෙකු කැමති නැත.
2. මිත්‍රයන් ඇතුව සිටීම සඳහා අපට තිබෙන අවශ්‍යතාව යෙහෝවඃවහන්සේ පිරිමසා ඇත්තේ කෙසේද?
2 සියලු දේවල සෑදුම්කරු හා මැවුම්කරු වන යෙහෝවඃ දෙවියන්වහන්සේ, මනුෂ්‍යයන්ට මිත්‍රයන් ඇතුව සිටීම සඳහා තිබෙන අවශ්‍යතාව හොඳින් දන්නාසේක. පටන්ගැන්මේ සිටම මිනිස් මැවිල්ලේ නිර්මාතෘ වශයෙන්, ‘මනුෂ්‍යයා දිගටම තනිව සිටීම හොඳ නැති’ බව දෙවියන්වහන්සේ දැන සිටි අතර, උන්වහන්සේ ඒ ගැන යමක් කළසේක. (උත්පත්ති 2:18, 21, 22) යෙහෝවඃවහන්සේ මෙන්ම උන්වහන්සේගේ සේවකයන් විසින්, මනුෂ්‍යයන්ට දැක්වූ කාරුණික ක්‍රියා පිළිබඳ උදාහරණවලින් බයිබල් වාර්තාව පිරී තිබේ. වෙනත් අයගේ ප්‍රීතියට හා සතුටට මෙන්ම, අපේම තෘප්තියටත් දායක වන ආකාරයකින් “ආගන්තුක සත්කාරයේ පිළිවෙත අනුගමනය” කළ යුතු අන්දම ගැන ඉගෙනීමට මෙය අපට උපකාර කරයි.—රෝම 12:13.
අමුත්තන්ට ප්‍රියවීම
3. ආගන්තුක සත්කාරයේ මූලික අර්ථය පැහැදිලි කරන්න.
3 බයිබලයේ පාවිච්චි කරන ආකාරයට ‘ආගන්තුක සත්කාරය’ නමැති යෙදුම, ෆි·ලෝ·සෙ·නිʹආ යන ග්‍රීක් වචනයෙන් පරිවර්තනය කර තිබෙන අතර, එය “ප්‍රේමය” හා “අමුත්තා” යන තේරුම ඇති මූලික වචන දෙකකින් සෑදී තිබේ. මෙසේ ආගන්තුක සත්කාරයේ මූලික අදහස “අමුත්තන්ට ප්‍රේම කිරීම” යන්නයි. කෙසේවෙතත්, මෙය යුතුකමක් නිසාවත්, ආචාරශීලී බව පෙන්විය යුතු නිසාවත් කරන දෙයක් නොවේ. ඊට යමෙකුගේ හැඟීම් හා හිතවත්කම ඇතුළත් වේ. ජේම්ස් ස්ට්‍රෝංගේ එග්සෝස්ටිව් කොන්කෝර්ඩන්ස් ඔෆ් ද බයිබල් අනුව, ෆි·ලෙʹඕ යන ක්‍රියාපදයෙහි තේරුම, “([පුද්ගලයෙකුට හෝ දෙයකට] ප්‍රියවීම) මිත්‍රයෙකු වීමයි; ඒ කියන්නේ, යම්කිසි දෙයක් සඳහා ස්නේහයක් තිබීමය (හැඟීම් ප්‍රකාශ කිරීමේ මාධ්‍යයක් වශයෙන් පෞද්ගලික හිතවත්කමක් ඉන් ඇඟවේ).” එබැවින්, ආගන්තුක සත්කාරය, ඇතැම්විට යුතුකමක් හෝ වගකීමක් ඉෂ්ට කිරීමේ හැඟීමෙන් දැක්විය හැකි ප්‍රතිපත්ති මත පදනම් ප්‍රේමය අභිභවා යයි. එය සාමාන්‍යයෙන් අව්‍යාජ ප්‍රියබවක්, හිතවත්කමක් හා මිත්‍රකමක් පෙන්වන ක්රමයකි.
4. ආගන්තුක සත්කාරය දැක්විය යුත්තේ කාටද?
4 මෙම ප්‍රියබව හා හිතවත්කම ලබන්නේ “අමුත්තාය” (ග්‍රීක්, සෙʹනොස්). ඒ කවරෙකු විය හැකිද? නැවතත්, ස්ට්‍රෝංගේ කොන්කෝර්ඩන්ස්හි, සෙʹනොස් යන වචනය තේරුම් කර දෙන්නේ ‘විදේශීය (පදගතාර්ථයෙන්ම පරදේශක්කාර හෝ උපමේය වශයෙන්, නුහුරු නුපුරුදු) යනුවෙනි; ආගන්තුකයෙකු හෝ (අනික් අතට) අමුත්තෙකු යන අදහසත් ගැබ්ව තිබේ.’ එබැවින් බයිබලයෙහි පැහැදිලි කර තිබෙන ආකාරයට, ආගන්තුක සත්කාරය, අපට හිතවත් කෙනෙකු වෙත දක්වන කරුණාව පිළිබිඹු කළ හැකි අතර, එය සම්පූර්ණයෙන්ම නාඳුනන කෙනෙකුට පවා දැක්විය හැක. යේසුස්වහන්සේ මෙසේ පැහැදිලි කළසේක: “නුඹලාට ප්‍රේමකරන්නන්ටම නුඹලා ප්‍රේමකරනවා නම්, නුඹලාට කවර විපාකයක්ද? සුංගම් අයකරන්නෝ පවා එසේ නොකරද්ද? නුඹලාගේ සහෝදරයන්ට පමණක් ආචාරකරනවානම් නුඹලා අනුන්ට වඩා කුමක් කරන්නහුද? අන්‍ය ජාතීහු පවා එසේ නොකරද්ද?” (මතෙව් 5:46, 47) සැබෑ ආගන්තුක සත්කාරය, අගතිය හා භය නිසා පවතින භේද මෙන්ම අසාධාරණ ලෙස සැලකීමද අභිභවා යයි.
යෙහෝවඃවහන්සේ, පරිපූර්ණ සත්කාරක
5, 6. (අ) “නුඹලාගේ ස්වර්ගීය පියාණන්වහන්සේ සම්පූර්ණව” සිටියි කියා පැවසූ විට, යේසුස්වහන්සේගේ මනසෙහි තිබුණේ කුමක්ද? (ආ) යෙහෝවඃවහන්සේගේ ත්‍යාගශීලිත්වය දැකගත හැක්කේ කෙසේද?
5 ඉහත දක්වා තිබෙන ආකාරයට, මනුෂ්‍යයන් එකිනෙකාට ප්‍රේමය පෙන්වද්දී සිදු වන අතපසුවීම් පෙන්නුම් කිරීමෙන් පසු, යේසුස්වහන්සේ මෙම අදහස දැක්වූසේක: “නුඹලාගේ ස්වර්ගීය පියාණන්වහන්සේ සම්පූර්ණව සිටින්නාක්මෙන් නුඹලාත් සම්පූර්ණව සිටින්න.” (මතෙව් 5:48) යෙහෝවඃවහන්සේ සෑම ආකාරයකින්ම පරිපූර්ණ බව අමුතුවෙන් කිව යුතු නොවේ. (ද්විතීය කථාව 32:4) කෙසේවෙතත්, “[දෙවියන්වහන්සේ] නපුරන්ටත් යහපතුන්ටත් තමන් ඉර උදාකරවනසේක, ධර්මිෂ්ඨයන්ටත් අධර්මිෂ්ඨයන්ටත් වැසි වස්වන” බව මීට කලින් යේසුස්වහන්සේ පවසද්දී, උන්වහන්සේ යෙහෝවඃවහන්සේගේ පරිපූර්ණත්වයේ එක් විශේෂිත පැත්තක් කැපීපෙනෙන්ට සලස්වමින් සිටිසේක. (මතෙව් 5:45) කරුණාව පෙන්වීම සම්බන්ධයෙන් ගත් කල, යෙහෝවඃවහන්සේ පැති නොගන්නාසේක.
6 මැවුම්කරු වශයෙන්, සියලු දේවල අයිතිකරු යෙහෝවඃවහන්සේය. “වනයේ සියලු සතුන් සහ දහස් ගණන් කඳුවල ගවයොත් මාගේය. කඳුවල සියලු පක්ෂීන් දනිමි. කෙතේ වල් සත්තුද මාගේ” යයි යෙහෝවඃවහන්සේ පවසනසේක. (ගීතාවලිය 50:10, 11) එහෙත්, උන්වහන්සේ ආත්මාර්ථකාමී ලෙස කිසිම දෙයක් තමන්ටම රැස් කොට තබන්නේ නැත. උන්වහන්සේ ත්‍යාගශීලීව, තම මුළු මැවිල්ලේ අවශ්‍යතා සපයනසේක. ගීතිකාකරු යෙහෝවඃවහන්සේ ගැන මෙසේ පැවසුවේය: “ඔබ ස්වකීය හස්තය විදහා, ජීවමාන සියල්ලන්ගේ ආශාව පූර්ණ කරනසේක.”—ගීතාවලිය 145:16.
7. යෙහෝවඃවහන්සේ අමුත්තන්ට හා අගහිඟකම් ඇති අයට සලකන ආකාරයෙන් අපට කුමක් උගත හැකිද?
7 යෙහෝවඃවහන්සේ ජනයාගේ අවශ්‍යතා සපයනසේක—තමන්ව නොහඳුනන, තමන්ට අමුත්තන් වැනි ජනයාගේ අවශ්‍යතාවන් පවා උන්වහන්සේ පිරිමසනසේක. යෙහෝවඃවහන්සේ “අහසෙන් වර්ෂාව සහ සාරවත් කාලවල් නුඹලාට දී, කෑමෙන්ද සන්තෝෂයෙන්ද නුඹලාගේ සිත් පුරවමින්, යහපත්කම් කළ බැවින්, තමන්වහන්සේ ගැන සාක්ෂි නොදී නොසිටියසේකැයි” පාවුල් හා බාර්ණබස් ලුස්ත්‍රා නගරයේ විසූ රූප නමස්කාරකයන්ට සිහි කළෝය. (ක්‍රියා 14:17) විශේෂයෙන්, අගහිඟකම්වලින් පෙළෙන අයට යෙහෝවඃවහන්සේ කරුණාව හා ත්‍යාගශීලිත්වය පෙන්වනසේක. (ද්විතීය කථාව 10:17, 18) අනුන්ට කරුණාව හා ත්‍යාගශීලිත්වය—එනම් ආගන්තුක සත්කාරය—දැක්වීමේදී අපට යෙහෝවඃවහන්සේගෙන් බොහෝ දෑ ඉගෙනගත හැක.
8. අපේ ආත්මික අවශ්‍යතා පිරිමැසීමේදී යෙහෝවඃවහන්සේ තම ත්‍යාගශීලිත්වය පෙන්වා ඇත්තේ කෙසේද?
8 යෙහෝවඃවහන්සේ තම මැවිලිවල ද්‍රව්‍යමය අවශ්‍යතා බහුල ලෙස සපයනවාට අමතරව, ඔවුන්ගේ ආත්මික අවශ්‍යතා ගැනත් සැලකිලිමත් වනසේක. අප ආත්මිකව කෙතරම් අසරණද කියා අප තේරුම්ගැනීමටත් කලින් පවා, යෙහෝවඃවහන්සේ අපේ ආත්මික ශුභසිද්ධිය තකා ඉතා උදාර ආකාරයකින් ක්‍රියා කළසේක. රෝම 5:8, 10හි අපට මෙසේ කියවීමට තිබේ: “දෙවියන්වහන්සේ අප කෙරෙහි ඇති තමන්වහන්සේගේ ප්‍රේමය පෙන්වන්නේ අප පව්කාරයන්ව සිටියදීම අප වෙනුවට ක්‍රිස්තුස්වහන්සේ මරණය විඳීමෙන්ය. . . . අපි සතුරන්ව සිටියදීම දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ මරණය කරණකොටගෙන උන්වහන්සේ සමඟ අපි සමගිකරනු ලැබුවෙමු.” එම සැපයුම නිසා, පව්කාර මිනිසුන්ට අපේ ස්වර්ගික පියාණන් සමඟ සන්තෝෂයෙන් පිරි පවුල් සබඳතාවක් භුක්තිවිඳිය හැක. (රෝම 8:20, 21) අපේ පව්කාර, අසම්පූර්ණ තත්වය මධ්‍යයෙහිත් ජීවිතය සාර්ථක කරගැනීමට උපකාරයක් වශයෙන්, නිසි මඟ පෙන්වීම හා අවවාද අනුශාසනා ලබා දීමටත් යෙහෝවඃවහන්සේ වගබලා ගත්සේක.—ගීතාවලිය 119:105; 2 තිමෝති 3:16.
9, 10. (අ) යෙහෝවඃවහන්සේ පරිපූර්ණ සත්කාරකයාණන් බව අපට පැවසිය හැක්කේ මන්ද? (ආ) මේ සම්බන්ධයෙන් සැබෑ නමස්කාරකයන් යෙහෝවඃවහන්සේව අනුකරණය කළ යුත්තේ කෙසේද?
9 මේ කාරණා නිසා, සැබවින්ම යෙහෝවඃවහන්සේ අනන්ත අප්‍රමාණ ආකාරවලින් පරිපූර්ණ සත්කාරකයාණන් බව අපට පැවසිය හැක. උන්වහන්සේ අගහිඟකම්වලින් පෙළෙන, යටහත් පහත් මෙන්ම නැති බැරි අයව නොසලකා නොහරිනසේක. උන්වහන්සේ අමුත්තන් මෙන්ම, තම සතුරන් කෙරෙහි පවා අව්‍යාජ උනන්දුවක් හා සැලකිල්ලක් දක්වන අතර, එසේ කරන්නේ කිසිදු ද්‍රව්‍යමය වාසි ප්‍රයෝජන බලාපොරොත්තුවෙන් නොවේ. මේ සියල්ලේදී, උන්වහන්සේ පරිපූර්ණ සත්කාරකයෙකු වීමේ පරම ආදර්ශය නොවේද?
10 මෙතරම් ප්‍රේමනීය-කරුණාව හා ත්‍යාගශීලිත්වය දක්වන දෙවිකෙනෙකු වශයෙන්, තමන්ගේ නමස්කාරකයන් උන්වහන්සේව අනුකරණය කරනවාට යෙහෝවඃවහන්සේ කැමතිය. මෙම කාරුණික ගුණාංගය පිළිබඳ කැපීපෙනෙන උදාහරණ අපට බයිබලය පුරාම දක්නට ලැබේ. “පුරාණ ඉශ්රායෙල්හි, ආගන්තුක සත්කාරය දැක්වූයේ එය යහපත් ගතිපැවැත්මක් වූ නිසා නොව, නමුත් එය සදාචාරමය වශයෙන් පිහිටෙවූ පිළිවෙතක් වූ නිසාය . . . යුදෙව් සම්ප්රදාය තුළ ආගන්තුක සත්කාරය මෙන්ම ඒ හා බැඳි සියලුම අංග ඉතා උසස් ලෙස සලකන ලද ගුණධර්මයක් බවට වර්ධනය වීමට දායක වූ මූලික සාධකය වූයේ, විඩාවට පත් වූ සංචාරකයන් සාදරයෙන් පිළිගැනීම හා තමුන් අතර සිටි අමුත්තන් භාරගැනීමේ බයිබල් චාරිත්‍රයන්” බව එන්සයික්ලොපීඩියා ජුඩෙයිකා නිරීක්ෂණය කරයි. යම් ජාතියක හෝ වාර්ගික කණ්ඩායමක විශේෂ ලක්ෂණයක් වනවාට වඩා, ආගන්තුක සත්කාරය යෙහෝවඃවහන්සේට නමස්කාර කරන සියලුදෙනාගේම අංග ලක්ෂණයක් විය යුතුය.
දේවදූතයන්ට සත්කාර කළ කෙනෙක්
11. ආගන්තුක සත්කාරයෙන් අනපේක්ෂිත ආශීර්වාද ලැබූ බව, කුමන කැපීපෙනෙන ආදර්ශයෙන් පැහැදිලි වේද? (උත්පත්ති 19:1-3; විනිශ්චයකාරයන් 13:11-16ද බලන්න.)
11 ආගන්තුක සත්කාරය විදහාපෙන්වීමේ වඩාත්ම සුප්‍රසිද්ධ බයිබල් වාර්තාවක් වන්නේ, ආබ්‍රහම් සහ සාරා හෙබ්‍රොන් අසල, මම්රේගේ විශාල ගස් අතර කූඩාරම් ගසාගෙන සිටි අවස්ථාවයි. (උත්පත්ති 18:1-10; 23:19) ප්‍රේරිත පාවුල් මතු දැක්වෙන අවවාදය සපයද්දී, මෙම සිද්ධිය ඔහුගේ මනසේ තිබුණු බවට සැකයක් නැත: “ආගන්තුක සත්කාරකිරීම මතකනැති නොකරන්න. මක්නිසාද එසේ කිරීමෙන් සමහරෙක් නොදැනම දේවදූතයන්ට සත්කාරකළෝය.” (හෙබ්‍රෙව් 13:2) ආගන්තුක සත්කාරය යනු නිකම්ම චාරිත්‍රයක් හෝ කෙනෙකුව ඇති දැඩි කර තිබෙන ආකාරය නිසා මතු වන දෙයක් නොවන බව දැකගැනීමට, මෙම වාර්තාව අධ්‍යයනය කිරීම අපට උපකාරයක් වනු ඇත. ඇත්තෙන්ම, එය ඉමහත් ආශීර්වාදවලට තුඩු දෙන දේවගුණාංගයකි.
12. අමුත්තන් කෙරෙහි ආබ්‍රහම්ට තිබූ ප්‍රේමය ඔහු විදහාපෙන්වූයේ කෙසේද?
12 ආබ්‍රහම් පැමිණි අමුත්තන්ව නොදැන සිටි බවත්, ඔවුන්ගේ පැමිණීම අනපේක්ෂිත එකක් වූ බවත් උත්පත්ති 18:1, 2 අඟවයි; එසේ කරන්නේ ඔවුන් වෙන ගමනක් යන අතරතුර පැමිණි අමුත්තන් තිදෙනෙකු බව සඳහන් කිරීමට සීමා වීමෙනි. ඇතැම් ටීකාකරුවන්ට අනුව, යම් පෙදෙසක වසන කිසිවෙකුව හඳුනන්නේ නැති වුවත්, නුහුරු නුපුරුදු දේශයක සංචාරය කරන්නෙකුට එතැනින් ආගන්තුක සත්කාරය අපේක්ෂා කිරීමට අයිතියක් තිබීම ප්රාචීනයන් අතර තිබූ චාරිත්‍රයක් විය. එහෙත් එම අමුත්තන් මූලික පියවර ගන්නා තෙක් ආබ්‍රහම් බලා සිටියේ නැත; ඔහුම මුල් පියවර ගත්තේය. ආබ්‍රහම්ට අවුරුදු 99ක් වුවත්, සෑහෙන ඈතින් සිටි මෙම අමුත්තන් හමුවීමට ඔහු ‘දිවගියේය’—ඇරත් මේ සියල්ල සිදු වූයේ “දවාලේ ග්‍රීෂ්ම වේලාවේ[ය]”! අපට අනුකරණය කිරීම සඳහා ආබ්‍රහම් ආදර්ශයක් බව පාවුල් දැක්වීමට හේතුව මෙයින් පැහැදිලි වන්නේ නැද්ද? ආගන්තුක සත්කාරයේ නියම සාරය එයයි: එනම්, අමුත්තන්ට ප්‍රියවීම හෝ ඔවුන්ට ප්‍රේමය දැක්වීම මෙන්ම ඔවුන්ගේ අවශ්‍යතා ගැන සැලකිලිමත් වීමය. එය ඒකාන්ත ගුණාංගයකි.
13. ආබ්‍රහම් “බිමට නැමී” අමුත්තන්ට ආචාර කළේ මන්ද?
13 එම අමුත්තන් හමුවීමෙන් පසු, ආබ්‍රහම් “බිමට නැමී” ආචාර කළ බවද වාර්තාව අපට පවසයි. නාඳුනන අමුත්තන්ට බිමට නැමී ආචාර කිරීම? ආබ්‍රහම් නැමී කළ ආචාරය, සම්භාවනීය අමුත්තෙකුට හෝ උසස් තනතුරක් හොබවන කෙනෙකුට ආචාර කළ ක්‍රමයක් වූ අතර, මෙය දෙවියන්වහන්සේට පමණක් හිමි නමස්කාරය සමඟ පටලවා නොගත යුතුයි. (සසඳන්න, ක්‍රියා 10:25, 26; එළිදරව් 19:10.) නිකම්ම හිස නැමීමෙන් පමණක් නොව, නමුත් “බිමට නැමී” ආචාර කිරීමෙන්, ආබ්‍රහම් මෙම අමුත්තන්ව වැදගත් කොට සැලකුවේය. ඔහු විශාල, ධනවත් කුලදෙටු පවුලක මූලිකයා වුවත්, තමාට හිමි විය යුතු ගෞරවයට වඩා වැඩි ගෞරවයකින් මෙම අමුත්තන්ට සැලකිය යුතු බව ඔහු සිතුවේය. සාමාන්‍යයෙන් අමුත්තන් ගැන තිබෙන සැකය මෙන්ම තව ටිකක්-බලමු යන ආකල්පයට වඩා මෙය කොතරම් වෙනස්ද! “ගෞරවයෙන් තම තමාට වඩා අනික් අය උතුම්කොට සලකන්න” යන ප්‍රකාශයේ අර්ථය ආබ්‍රහම් සැබවින්ම විදහාපෙන්වීය.—රෝම 12:10.
14. අමුත්තන්ට ආගන්තුක සත්කාරය දැක්වීමේදී, ආබ්‍රහම් දැරූ පරිශ්රමය හා කළ පරිත්‍යාගයන් මොනවාද?
14 ආබ්‍රහම්ගේ හැඟීම් අව්‍යාජ බව වාර්තාවේ ඉතිරි තොරතුරුවලින් පෙන්නුම් කෙරේ. දුන් භෝජනය අතිවිශේෂ එකක් විය. එළු බැටළු ආදි සතුන් හුඟදෙනෙකුව ඇති කරන විශාල පවුලකවත් “ළපටි හොඳ වස්සෙකු” දිනපතා ආහාරය වශයෙන් අනුභව නොකෙරේ. ප්‍රදේශයේ පැවති චාරිත්‍ර ගැන, ජොන් කිටෝගේ ඩේලි බයිබල් ඉලස්ට්රේෂන්ස් මෙසේ සඳහන් කරයි: “යම් උත්සවයක් තිබෙන විට හෝ යම් අමුත්තෙකු පැමිණි විට හෝ මිස, වෙනත් අවස්ථාවලදී සුඛෝපභෝගී ආහාර අනුභව කරනු ලබන්නේ නැත; විශාල එළු බැටළු රැළවල්වල හිමිකාරයන් පවා, මස් අනුභව කරනු ලබන්නේ එවැනි අවස්ථාවලදී පමණි.” පවතින උණුසුම් දේශගුණය නිසා, නරක් විය හැකි ආහාර ගබඩා කළ නොහැකි බැවින්, එවැනි භෝජනයක් පිළියෙළ කිරීම සඳහා, ඒ මොහොතේදීම සෑම දෙයක්ම සිදු කළ යුතු වේ. මෙම කෙටි වාර්තාවෙහි, “ඉක්මනින්” නැතහොත් “යුහුව” යන්න තුන්වතාවක්ම සඳහන් වීමත්, භෝජනය පිළියෙළ කිරීමට ආබ්‍රහම් ‘දිවගිය’ බව සඳහන් වීමත් පුදුමයක්ද!—උත්පත්ති 18:6-8.
15. ආබ්‍රහම්ගේ ආදර්ශයෙන් පැහැදිලි වන පරිදි, ආගන්තුක සත්කාරය දැක්වීමේදී ද්‍රව්‍යමය වස්තු ගැන තිබිය යුතු නිසි දෘෂ්ටිය කුමක්ද?
15 කෙසේවෙතත්, යමෙකුගේ සිත ඇදගැනීමේ අදහසින් නිකම්ම විශාල භෝජනයක් පිළියෙළ කිරීම එහි අරමුණ නොවීය. එම භෝජනය පිළියෙළ කිරීමට ආබ්‍රහම් හා සාරා මොනතරම් පරිශ්‍රමයක් දැරුවත්, ආබ්‍රහම් ඊට කලින් ඒ ගැන සඳහන් කළ ආකාරය සැලකිල්ලට ගන්න: “පැන් ටිකක් ගෙනෙන්ට ඉඩ දී ඔබවහන්සේලාගේ පාද සෝදා, ගස යට පහසුගත මැනව. ඔබවහන්සේලාගේ සිත් ශක්තිමත් කරගන්න පිණිස මම කෑම ටිකක් ගෙනෙන්නෙමි; පසුව ඔබවහන්සේලාට යත හැකිය. මක්නිසාද ඔබවහන්සේලා තමන් මෙහෙකරුවා වෙතට ආවේ ඒ පිණිසය.” (උත්පත්ති 18:4, 5) එම “කෑම ටික” ළපටි වස්සෙකු හා සිහින් පිටි, වෙඬරු හා කිරිවලින් සෑදූ රොටිවලින් යුත් භෝජන සංග්‍රහයක් බවට පත් විය—ඇත්තෙන්ම එය රජෙකුට ඔබින භෝජනයක් විය. මින් උගත හැකි පාඩම කුමක්ද? ආගන්තුක සත්කාරය පෙන්වනු ලබන විට, වැදගත් දේ, එනම්, අවධාරණය කළ යුතු දේ නම්, ආහාර පාන කෙතරම් රසවත් වේවිද, කරන සංග්‍රහය කෙතරම් ජයට කරනවාද යන්න නොවේ. යමෙකුට මිල අධික දේවල් සැපයිය හැකිද නොහැකිද යන්න මත ආගන්තුක සත්කාරය රඳා පවතින්නේ නැත. ඒ වෙනුවට, අනුන්ගේ ශුභසිද්ධිය උදෙසා අව්‍යාජ සැලකිල්ලක් හා තමාට කළ හැකි පමණින් අනුන්ට යහපත කිරීමේ ආශාවක් මත එය පදනම්ව තිබේ. “වෛරය ඇතුව තර ගොනෙකුගේ මසට වඩා ප්‍රේමය ඇතුව පලා කෑම හොඳය” කියා බයිබල් හිතෝපදේශයක් පවසන අතර, නියම ආගන්තුක සත්කාරයේ යතුර රැඳී තිබෙන්නේ එතුළය.—හිතෝපදේශ 15:17.
16. අමුත්තන්ට කළ දෙයින්, ආබ්‍රහම් ආත්මික දේවල් සඳහා අගයක් පෙන්නුම් කළේ කෙසේද?
16 කෙසේවෙතත්, මෙම මුළු මහත් සිද්ධියට ආත්මික පසුතලයකුත් තිබූ බව අප සැලකිල්ලට ගත යුතුය. මෙම ආගන්තුකයන් යෙහෝවඃවහන්සේ වෙතින් පැමිණි පණිවිඩකාරයන් බව ආබ්‍රහම් කෙසේ හෝ තේරුම්ගත්තේය. ඔහු ඔවුන්ට මෙම වදන්වලින් ඇමතීමෙන් මෙය අඟවනු ලැබේ: “මාගේ ස්වාමීනි [යෙහෝවා, NW], ඔබ ඉදිරියෙහි දැන් මම කරුණාව ලැබුයෙම්නම් ඔබගේ මෙහෙකරුවා කෙරෙන් අහක්ව නොයන ලෙස ඉල්ලමි.”a (උත්පත්ති 18:3; සසඳන්න නික්මයාම 33:20.) ආබ්‍රහම්ට පණිවිඩයක් දැනුම් දීමට තිබූ නිසා පැමිණියාද, නැතහොත් ඔවුන් නිකම්ම වෙන ගමනක් යන අතරතුර පැමිණියාද කියා ඔහු කලින් දැන සිටියේ නැත. කෙසේවෙතත්, යෙහෝවඃවහන්සේගේ අරමුණේ ක්‍රියාකාරිත්වයට දායක වන දෙයක් සිදු වෙමින් තිබීම ඔහු අගය කළේය. මෙම පුද්ගලයෝ යෙහෝවඃවහන්සේගෙන් ලැබූ පැවරුමක නිරතව සිටියෝය. යමක් කිරීමෙන් ඒ සඳහා දායක වීමට ඔහුට පුළුවන් වන්නේ නම්, එය ඔහුට සතුටට කරුණක් වනු ඇත. යෙහෝවඃවහන්සේගේ සේවකයන්ට හොඳම දේ දිය යුතු බව ඔහු තේරුම්ගත් අතර, තිබෙන තත්වයන් යටතේ ඔහු හොඳම දේ දෙනු ඇත. එසේ කිරීමෙන්, තමාට හෝ වෙනයම් කෙනෙකුට හෝ ආත්මික ආශීර්වාදයක් අත් කරගත හැක. ඇත්තෙන්ම, ඔවුන් දැක්වූ අවංක ආගන්තුක සත්කාරය වෙනුවෙන් ආබ්‍රහම්ට සහ සාරාට ඉමහත් ආශීර්වාද ලැබිණ.—උත්පත්ති 18:9-15; 21:1, 2.
ආගන්තුක සත්කාරශීලී සෙනඟක්
17. තමන් අතර සිටි ආගන්තුකයන් හා අගහිඟකම් ඇති අය සම්බන්ධයෙන් යෙහෝවඃවහන්සේ ඉශ්රායෙල්වරුන්ගෙන් බලාපොරොත්තු වූයේ කුමක්ද?
17 ආබ්‍රහම්ගේ කැපීපෙනෙන ආදර්ශය ඔහුගෙන් බිහි වූ ජාතිය විසින් අමතක කර නොදැමිය යුතු විය. යෙහෝවඃවහන්සේ ඉශ්රායෙල්වරුන්ට දුන් ව්‍යවස්ථාවෙහි ඔවුන් අතර සිටි අමුත්තන්ට ආගන්තුක සත්කාරය පෙන්විය හැකි ක්‍රම අඩංගු විය. “නුඹලා ළඟ වාසයකරන විදේශියා නුඹලා අතරෙහිම උපන්නෙකු මෙන් වේවා, නුඹට මෙන් ඔහුට ප්‍රේමකරන්න; මක්නිසාද නුඹලා මිසර දේශයෙහි විදේශියෝව සිටියහුය. මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය.” (ලෙවී කථාව 19:34) ද්‍රව්‍යමය උපකාර අවශ්‍ය වූ අයට විශේෂ සැලකිල්ලක් දැක්වීමට ජනයා බැඳී සිටි අතර, ඔවුන්ව සුළු කොට නොසැලකිය යුතු විය. යෙහෝවඃවහන්සේ බහුල අස්වනු සමඟින් ඔවුන්ට ආශීර්වාද කළ විට, ඔවුන්ගේ උත්සවවලදී ඔවුන් ප්‍රීති වූ විට, සබත් වර්ෂවලදී ඔවුන් දැරූ ශ්‍රමයෙන් විශ්‍රාම ගත් විට හා වෙනත් අවස්ථාවල, එතරම් භාග්‍යවන්ත නොවූ අයව—එනම් වැන්දඹුවන්, පියා නැති දරුවන් සහ විදේශිකයන්ව සිහියේ තබාගැනීමට ජනයා බැඳී සිටියෝය.—ද්විතීය කථාව 16:9-14; 24:19-21; 26: 12, 13.
18. යෙහෝවඃවහන්සේගේ අනුග්‍රහය හා ආශීර්වාද ලැබීමට සාපේක්ෂව ආගන්තුක සත්කාරය කෙතරම් වැදගත් වේද?
18 ඉශ්රායෙල්වරුන් මෙම ගුණාංග විදහාපෙන්වීමට අපොහොසත් වූ විට, යෙහෝවඃවහන්සේ ඔවුන් සමඟ කටයුතු කළ ආකාරයෙන්, අනුන්ට, විශේෂයෙන්ම අගහිඟකම් ඇති අයට කරුණාව, ත්‍යාගශීලිත්වය හා ආගන්තුක සත්කාරය දැක්වීමේ වැදගත්කම දැකිය හැක. යෙහෝවඃවහන්සේගේ ආශීර්වාද නොකඩවා ලැබීමට නම්, අමුත්තන්ට සහ අගහිඟකම් ඇති අයට කරුණාව හා ත්‍යාගශීලිත්වය පෙන්වීමට තම ජනයා බැඳී සිටින බව යෙහෝවඃවහන්සේ හොඳින් පැහැදිලි කළසේක. (ගීතාවලිය 82:2, 3; යෙසායා 1:17; යෙරෙමියා 7:5-7; එසකියෙල් 22:7; සෙකරියා 7:9-11) මේවා හා වෙනත් අවශ්‍යතා ඉටු කිරීමෙහිලා ජාතිය කඩිසරව කටයුතු කළ විට, ඔවුහු සමෘද්ධිමත් වෙමින්, ද්‍රව්‍යමය ලෙස හා ආත්මික අතින් බහුලත්වයක් භුක්තිවින්දෝය. ඔවුන් සිය ආත්මාර්ථකාමී ලුහුබැඳීම්වල නිරත වෙමින්, අගහිඟකම් ඇති අයට මෙම කාරුණික ගුණාංග දැක්වීමට අපොහොසත් වූ විට, යෙහෝවඃවහන්සේ ඔවුන්ව හෙළා දුටු අතර, අන්තිමේදී ඔවුන්ට අහිතකර විනිශ්චයක් ලැබීමට සිදු විය.—ද්විතීය කථාව 27:19; 28:15, 45.
19. අප මීළඟට සලකා බැලිය යුත්තේ කුමක්ද?
19 මේ සම්බන්ධයෙන් අප යෙහෝවඃවහන්සේගේ අපේක්ෂාවන්ට එකඟව ජීවත් වනවාද කියා පෞද්ගලික සෝදිසි කර බැලීම කෙතරම් වැදගත්ද! අදදින ලෝකයේ ආත්මාර්ථකාමී, භේදකාරි ආත්මයක් තිබෙන නිසා මෙය විශේෂයෙන්ම වැදගත්ය. භේදභින්න වූ ලෝකයක ක්‍රිස්තියානි ආගන්තුක සත්කාරය පෙන්වීමට අපට හැක්කේ කෙසේද? ඊළඟ ලිපියේ සාකච්ඡා කරන විෂය එයයි.
[පාදසටහන]
a මේ කාරණය ගැන වඩාත් විස්තරාත්මක සලකාබැලීමක් සඳහා, 1988 අගෝස්තු 1 මුරටැඹහි 29-32 දක්වා පිටුවල “කිසිවෙක් දෙවියන් වහන්සේව දැක තිබේ ද?” යන ලිපිය බලන්න.
ඔබට මතකද?
◻ “ආගන්තුක සත්කාරය” ලෙස පරිවර්තනය කර ඇති බයිබල් වචනයෙහි අර්ථය කුමක්ද?
◻ ආගන්තුක සත්කාරය දැක්වීමේදී යෙහෝවඃවහන්සේ පරිපූර්ණ ආදර්ශය වන්නේ කිනම් ආකාරවලින්ද?
◻ ආගන්තුක සත්කාරය දැක්වීම සඳහා ආබ්‍රහම් කෙතරම් දුරකට ක්‍රියා කළාද?
◻ සැබෑ නමස්කාරකයන් සියලුදෙනාම “ආගන්තුක සත්කාරයේ පිළිවෙත අනුගමනය” කළ යුත්තේ මන්ද?