භේදභින්න වූ ලෝකයක ක්‍රිස්තියානි ආගන්තුක සත්කාරය
“එමනිසා, අප සත්‍යයෙහි හවුල් වැඩකරුවන් බවට පත් වන පිණිස, එබඳු පුද්ගලයන් සත්කාරශීලීව පිළිගැනීමට අපි බැඳී සිටින්නෙමු.”—3 යොහන් 8, NW.
1. මැවුම්කරු මනුෂ්‍යවර්ගයාට දී තිබෙන වඩාත් සිත්ගන්නා තිළිණ මොනවාද?
“කා බී ප්‍රීතිවීමට වඩා ඉර යට මනුෂ්‍යයාට හොඳ දෙයක් නැත්තේය. දෙවියන්වහන්සේ ඉර යට ඔහුට දෙන ඔහුගේ ජීවිතයේ දවස්වල ඔහුගේ වෙහෙසීමෙන් ඔහුට ඉතිරිවන්නේ ඒකය.” (දේශනාකාරයා 8:15) යෙහෝවඃ දෙවියන්වහන්සේ තම මනුෂ්‍ය මැවිල්ල ප්‍රීතියෙන් හා සතුටෙන් සිටිනවා දකින්ට කැමති වනවා පමණක් නොව, එසේ සිටීමට මාධ්‍යය සපයන බව, මෙම වදන්වලින් පුරාණ හෙබ්‍රෙව් ධර්මදේශකයා අපට පවසයි. මනුෂ්‍ය ඉතිහාසය පුරා සෑම තැනකම වෙසෙන ජනයා අතර තිබෙන පොදු ආශාවක් වන්නේ, එකට විනෝද වී හොඳ කාලයක් ගත කිරීම බව පෙනේ.
2. (අ) යෙහෝවඃවහන්සේ මනුෂ්‍යවර්ගයා සඳහා අරමුණු කළ දේ ඔවුන් අනිසි ලෙස යොදාගත්තේ කෙසේද? (ආ) එහි ප්‍රතිඵලය කුමක්ද?
2 අදදින විනෝදාස්වාදය හා හොඳ කාලයක් ගත කිරීම පසුපස හඹා යන ජනකායකින් යුත් සුඛපරමවාදී සමාජයක අපි ජීවත් වන්නෙමු. බයිබලය පුරෝකථනය කළ පරිදි, බොහෝදෙනෙක් “තමුන්ටම ප්‍රේමකරන්නෝ . . . දෙවියන්වහන්සේට වඩා සැපසෙල්ලමට ප්‍රේමකරන්නෝ” බවට පත්ව සිටිති. (2 තිමෝති 3:1-4) ඇත්තෙන්ම, මෙය යෙහෝවඃ දෙවියන්වහන්සේ අරමුණු කළ දෙය බරපතළ ලෙස විකෘති කර දැක්වීමකි. විනෝදය පසුපස හඹා යෑම ප්‍රධානතම ඉලක්කය බවට පත් වන විට හෝ තම ඉඳුරන් පිනවීම එකම පරමාර්ථය බවට පත් වන විට, සැබෑ තෘප්තියක් නොලැබෙන අතර, ‘සියල්ල නිෂ්ඵලකමක්ද හිස් වූ උත්සාහයක්ද බවට පත් වේ.’ (දේශනාකාරයා 1:14; 2:11) එහි ප්‍රතිඵලයක් වශයෙන්, තනි වූ කලකිරුණු පුද්ගලයන්ගෙන් ලෝකය පිරී පවතින අතර, එය සමාජයේ ගැටලු රාශියකට මඟ පාදයි. (හිතෝපදේශ 18:1) මනුෂ්‍යයන්ට එකිනෙකා ගැන සැක පහළ වන අතර, ජාතිය, වර්ගය, සමාජය හා ආර්ථිකය අනුව ජනයා බෙදී යන්නේය.
3. අපට සැබෑ ප්‍රීතිය හා තෘප්තිය සොයාගත හැක්කේ කෙසේද?
3 කාරුණිකව, ත්‍යාගශීලීව හා සත්කාරශීලීව කටයුතු කරමින්, යෙහෝවඃවහන්සේ අන්‍යයන් සමඟ කටයුතු කරන ආකාරය අනුකරණය කිරීමට ජනයා නැඹුරු වූයේ නම්, තත්වය කෙතරම් වෙනස් වනු ඇද්ද! සැබෑ සන්තෝෂයට රහස අපේම ආශාවන් තෘප්තිමත් කරගැනීමට දරන වෑයම මත රඳා නොපවතින බව උන්වහන්සේ පැහැදිලි කළසේක. ඇත්තෙන්ම යතුර මෙයයි: “ගැනීමට වඩා දීමෙන් වැඩි සන්තෝෂයක් ලැබේ.” (ක්‍රියා 20:35, NW) සැබෑ ප්‍රීතිය හා තෘප්තිය අත් කරගැනීමට නම්, අපව සීමා කරවන බාධාවන් හා භේද අප ජයගත යුතුය. එමෙන්ම අප සමඟ යෙහෝවඃවහන්සේට සේවය කරමින් සිටින අයට අප සමීප විය යුතුය. අප මෙම උපදේශය අදාළ කරගැනීම අත්‍යවශ්‍යය: “එමනිසා, අප සත්‍යයෙහි හවුල් වැඩකරුවන් බවට පත් වන පිණිස, එබඳු පුද්ගලයන් සත්කාරශීලීව පිළිගැනීමට අපි බැඳී සිටින්නෙමු.” (3 යොහන් 8, NW) අපේ තත්වයන්ට අනුව, සුදුස්සන්ට ආගන්තුක සත්කාරය දැක්වීම දෙයාකාරයකින් වාසිදායකය—එය දක්වන්නාට හා ලබන්නාට ප්‍රයෝජන ගෙන දෙයි. එසේනම්, අප ‘සත්කාරශීලීව පිළිගත’ යුතු සුදුස්සන් අතර සිටින්නේ කවුරුන්ද?
‘මව්පියන් නැති දරුවන්ද වැන්දඹු ස්ත්‍රීන්ද බලාගැනීම’
4. යෙහෝවඃවහන්සේගේ සෙනඟ අතර පවා සමහරෙකුගේ පවුල් සබඳතාවල දකින්නේ කවර වෙනසක්ද?
4 අදදින ස්ථාවර පවුල් හා සතුටින් පිරි විවාහ දකින්ට නැති තරම්ය. ලෝ වටා දික්කසාද සංඛ්‍යාව වැඩිවීම සහ අවිවාහක මව්වරුන්ගේ සංඛ්‍යාව වැඩිවීම නිසා, සම්ප්‍රදායික පවුල් ඒකකය ප්‍රබල විපර්යාසයකට භාජන වී තිබේ. එහි ප්‍රතිඵලයක් වශයෙන්, මෑත වසරවල යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් බවට පත්ව සිටින බොහෝදෙනෙක් බිඳුණු පවුල්වලින් පැමිණෙති. ඔවුහු තම විවාහ කලත්‍රයන්ගෙන් දික්කසාද වී හෝ වෙන් වී සිටිති; නැතහොත් තනි-මාපිය පවුල්වල ජීවත් වෙති. ඊට අමතරව, යේසුස්වහන්සේ පුරෝකථනය කළ පරිදි, උන්වහන්සේ ඉගැන්වූ සත්‍යය බොහෝ පවුල් තුළ භේදවලට තුඩු දී තිබේ.—මතෙව් 10:34-37; ලූක් 12:51-53.
5. බෙදුණු පවුල්වල සිටින අයට දිරිගැන්වීමක් විය හැක්කේ යේසුස්වහන්සේ පැවසූ කුමන දෙයද?
5 නවකයන් සත්‍යය වෙනුවෙන් හොඳ ස්ථාවරයක් ගන්නවා දැකීම අපේ හද උණුසුම් කරවන දෙයක් වන අතර, යේසුස්වහන්සේගේ මෙම දිරිගන්වන පොරොන්දුවෙන් අපි ඔවුන්ට නිතරම සැනසීම ගෙන දෙමු: “සැබවක් නුඹලාට කියමි—මා නිසාද ශුභාරංචිය නිසාද ගෙය හෝ සහෝදරයන් හෝ සහෝදරියන් හෝ මවු හෝ පියා හෝ දරුවන් හෝ ගම්බිම් හෝ අත්හැරිය කවරෙක් නුමුත්, දැන් මේ කාලයේදී ගෙවල්ද සහෝදරයන්ද සහෝදරියන්ද මවුවරුන්ද දරුවන්ද ගම්බිම්ද පීඩාත් සහිතව සියක් ගුණයක් හා, අනාගත ලෝකයේදී සදාකාල ජීවනයද නොලබා නොසිටින්නේය.”—මාර්ක් 10:29, 30.
6. අප අතරෙහි සිටින ‘මව්පියන් නැති දරුවන් මෙන්ම වැන්දඹු ස්ත්‍රීන්හට,’ ‘සහෝදරයන්, සහෝදරියන්, මව්වරුන් හා දරුවන්’ වශයෙන් ක්‍රියා කිරීමට අපට හැක්කේ කෙසේද?
6 එහෙත් මෙම ‘සහෝදරයන්, සහෝදරියන්, මවුවරුන් හා දරුවන්’ කවුරුන්ද? බොහෝවිට සියයක් හෝ ඊට වඩා වැඩි සංඛ්‍යාවකින් යුත්, සහෝදර සහෝදරියන් වශයෙන් අමතනු ලබන විශාල ජන පිරිසක් රාජ්‍ය ශාලාවක දුටු පමණින්, ඒ අය ඔහුගේ සහෝදරයන්, සහෝදරියන්, මවුවරුන් හා දරුවන් යන හැඟීම පුද්ගලයෙකුට ඇති වන්නේ නැත. මෙම කාරණය සලකා බලන්න: අපේ නමස්කාරය යෙහෝවඃවහන්සේ ඉදිරියෙහි පිළිගත හැකි එකක් වීමට නම්, අප ‘මවුපියන් නැති දරුවන්ද වැන්දඹු ස්ත්‍රීන්ද ඔවුන්ගේ විපත්තියේදී බලාගත යුතු අතර, ලෝකයෙන් කිලුටු නොවී සිටිය’ යුතු බවද ශ්‍රාවක යාකොබ් අපට සිහිගන්වයි. (යාකොබ් 1:27) පොහොසත්කම නිසා ඇති වන අහංකාරයෙන් හා කුලය නිසා ඇති වන උඩඟුකමෙන් ඉස්මතු වන ලෞකික ආකල්ප, එවැනි “මවුපියන් නැති දරුවන්ද වැන්දඹු ස්ත්‍රීන්ද” කෙරෙහි දයානුකම්පාව දැක්වීම සඳහා බාධාවක් කරගැනීමට අප ඉඩ නොදිය යුතු බව ඉන් අදහස් කෙරේ. ඒ වෙනුවට, ඔවුන්ට අපේ ආශ්‍රය හා ආගන්තුක සත්කාරය පිරිනැමීමට අප මූලික පියවර ගත යුතුය.
7. (අ) ‘මව්පියන් නැති දරුවන්ට හා වැන්දඹු ස්ත්රීන්ට’ ආගන්තුක සත්කාරය දැක්වීමේ සැබෑ අරමුණ කුමක්ද? (ආ) ක්‍රිස්තියානි ආගන්තුක සත්කාරය පෙන්වීමෙහිලා සහභාගි විය හැක්කේ තවත් කාටද?
7 “මවුපියන් නැති දරුවන්ද වැන්දඹු ස්ත්‍රීන්ද” කෙරෙහි ආගන්තුක සත්කාරය දැක්වීමට ඔවුන්ගේ ද්‍රව්‍යමය අගහිඟකම් පිරිමැසීමම හැමවිටම ඇතුළත් නොවේ. හැම තනි-මාපිය පවුලකම නැතහොත් ආගමික වශයෙන් බෙදුණු හැම පවුලකම අය අනිවාර්යයෙන්ම අසීරු මූල්‍යමය තත්වයක සිටිනවා නොවේ. කෙසේවෙතත්, සුවදායක ආශ්‍රය, පවුලක තිබෙන සුපුරුදු වාතාවරණය, විවිධ වයස් මට්ටම්වල සිටින අය ආශ්‍රය කිරීමට හැකිවීම සහ යහපත් ආත්මික දේවල් හවුලේ බෙදා හදාගැනීම ජීවිතයේ අනර්ඝ කොට සැලකිය හැකි නියම අංගයන් වේ. මෙසේ, අවස්ථාව ජයට ගැනීම නොව, නමුත් ප්‍රේමය හා සමඟියේ ස්වභාවය වැදගත් බව සිහියේ තබාගැනීමෙන්, ඇතැම් අවස්ථාවල සෙසු ක්‍රිස්තියානීන්හට ආගන්තුක සත්කාරය දැක්වීම සඳහා ‘මවුපියන් නැති දරුවන්ට හා වැන්දඹු ස්ත්රීන්ට’ සහභාගි වීමට හැකිවීම මොනතරම් කදිම දෙයක්ද!—1 රාජාවලිය 17:8-16, සසඳන්න.
අප අතර විදේශිකයෝ සිටිත්ද?
8. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ සභා බොහොමයක දක්නට ලැබෙන්නේ කුමන වෙනස් වීමද?
8 අප ජීවත් වන්නේ, ජනගහනය පුදුමාකාර ලෙස සංක්‍රමණය කරන අවදියකයි. “ලෝ වටා මනුෂ්‍යයන් මිලියන 100කට අධික සංඛ්‍යාවක් තමුන් පුරවැසියන් නොවන රටවල ජීවත් වන අතර, මිලියන 23ක් තමුන්ගේ රටවලම උන්හිටි තැන් අහිමි වූවන්” වන බව වර්ල්ඩ් ප්‍රෙස් රිවියූ පවසයි. බොහෝ ප්‍රදේශවල, විශේෂයෙන් වඩාත් විශාල නගරවල, බොහෝදුරට එක වර්ගයකින් හෝ ජාතියකින් සකස් වූ යෙහෝවඃවහන්සේගේ සෙනඟගේ සභාවල ලෝකයේ විවිධ ප්‍රදේශවලින් පැමිණි මනුෂ්‍යයන් සිටීම මෙහි එක් ඍජු ප්රතිඵලයකි. ඇතැම්විට ඔබ සිටින ප්‍රදේශයෙහි මෙය සැබෑවක් විය හැක. කෙසේවෙතත්, “පරදේශක්කාරයන්” හා “විදේශිකයන්” ලෙස ලෝකයා හඳුන්වන, අපට වඩා වෙනස් භාෂාවක්, චාරිත්‍ර වාරිත්‍ර හා ජීවන රටාවක් තිබිය හැකි අයව අප සැලකිය යුත්තේ කෙසේද?
9. ක්‍රිස්තියානි සභාවට පැමිණෙන “පරදේශක්කාරයන්” හා “විදේශිකයන්” පිළිබඳ අපේ දෘෂ්ටිය සම්බන්ධයෙන්, කුමන භයානක බොරුවළට අප ගොදුරු විය හැකිද?
9 සරලව කියනවා නම්, විදේශීය හෝ “මිථ්‍යාදෘෂ්ටික” දේශයකින් පැමිණි අයට වඩා අපට සත්‍යය දැනගැනීමේ වරප්‍රසාදය සඳහා වැඩි සුදුසුකමක් කෙසේ හෝ තිබෙන බව හැඟීමට සැලැස්විය හැකි, විදේශිකයන්ට විරුද්ධව ඇති වන ඕනෑම නැඹුරුවාවකට එරෙහිව අප කටයුතු කළ යුතුය; එමෙන්ම මෙම ආගන්තුකයන් රාජ්‍ය ශාලාව හෝ වෙනත් දේපොළ භාවිත කරද්දී, අපේ අයිතිවාසිකම් පැහැර ගන්නා බවවත් අපට නොහැඟිය යුතුය. සැබවින්ම කිසිවෙකු සුදුසු තත්වයක නොසිටින බව, එවැනි මත දැරූ පළමු සියවසේ යුදෙව් ක්‍රිස්තියානීන් කිහිපදෙනෙකුට මතක් කර දීමට ප්‍රේරිත පාවුල්ට සිදු විය; යමෙකුට යම් හෙයකින් ගැළවීම ලැබෙනවා නම්, එය සිදු වන්නේ දෙවියන්වහන්සේගේ ලබන්ට නොවටිනා තරම් වූ කරුණාව හේතුවෙනි. (රෝම 3:9-12, 23, 24) යම් හේතුවක් නිසා මෙතුවක් කල් ශුභාරංචියට සවන් දීමේ ප්‍රස්තාව නොලැබූ බොහෝ මනුෂ්‍යයන්ට දෙවියන්වහන්සේගේ ලබන්ට නොවටිනා තරම් වූ කරුණාව ලැබීම ගැන අප සතුටු විය යුතුය. (1 තිමෝති 2:3) ඔවුන් කෙරෙහි අප දක්වන හිතවත්කම අව්‍යාජ එකක් බව අපට පෙන්නුම් කළ හැක්කේ කෙසේද?
10. අප අතර සිටින “විදේශිකයන්ට” අප සැබවින්ම සත්කාරශීලී අය බව අපට පෙන්විය හැක්කේ කෙසේද?
10 අපට පාවුල්ගේ අවවාදය අනුගමනය කළ හැක: “එහෙයින් දෙවියන්වහන්සේගේ ගෞරවය පිණිස ක්‍රිස්තුස්වහන්සේ නුඹලා පිළිගත් ලෙසම නුඹලාත් එකිනෙකා පිළිගන්න.” (රෝම 15:7) වෙනත් දේශවල හෝ පසුබිම්වල සිටින මනුෂ්‍යයන් බොහෝදුරට අවාසිදායක තත්වයක සිටින බව අපට වැටහෙන නිසා, අපට හැකි සෑම අවස්ථාවකදීම, ඔවුන්ට කරුණාව හා සැලකිල්ල දැක්විය යුතුය. අප ඔවුන්ව අප අතරට සාදරයෙන් පිළිගත යුතු අතර, එකිනෙකාව “නුඹලා අතරෙහිම උපන්නෙකු මෙන්” සලකා “නුඹට මෙන් ඔහුට ප්‍රේම” කළ යුතුය. (ලෙවී කථාව 19:34) මෙසේ කිරීම පහසු දෙයක් නොවුවත්, මෙම උපදේශය අප සිහියේ තබාගතහොත් අපට සාර්ථක ප්‍රතිඵල අත් වෙනවා ඇත: “මේ ලෝකයේ ආකාරයට සමාන නොවී, දෙවියන්වහන්සේගේ කැමැත්ත එනම් යහපත්වූ පිළිගත යුතුවූ සම්පූර්ණවූ දෙය කුමක්ද කියා දැනගන්නා පිණිස, සිත අලුත්කරගැනීමෙන් අන්‍යාකාර ඇත්තෝ වෙන්න.”—රෝම 12:2.
ශුද්ධවන්තයන් සමඟ බෙදාගන්න
11, 12. (අ) පුරාණ ඉශ්රායෙල්හි (ආ) පළමුවන සියවසෙහි, යෙහෝවඃවහන්සේගේ ඇතැම් සේවකයන්ට දක්වනු ලැබුවේ කුමන විශේෂ සැලකිල්ලද?
11 අපේ සැලකිල්ල හා ආගන්තුක සත්කාරය සැබවින්ම ලබන්ට වටින අය අතර, අපේ ආත්මික ශුභසිද්ධිය තකා වෙහෙස මහන්සි වී වැඩ කරන මේරූ ක්‍රිස්තියානීහු සිටිති. යෙහෝවඃවහන්සේ පුරාණ ඉශ්රායෙල්හි පූජකයන් හා ලෙවීවරුන් සඳහා විශේෂ සැපයුම් කළසේක. (ගණන් කථාව 18:25-29) පළමු සියවසේ, විශේෂ වගකීම් ඉසිලූ අයට සැලකිල්ල දක්වන මෙන් ක්‍රිස්තියානීන්ට උනන්දු කරන ලදි. මුල් ක්‍රිස්තියානීන් අතර පැවති ප්‍රේමයේ සමීප බැම්ම පිළිබඳ යම් අදහසක් අපට 3 යොහන් 5-8හි වාර්තාවෙන් ලබාගත හැක.
12 සභාව බැහැදැකීමට එවන ලද ඇතැම් සංචාරක සහෝදරයන් කෙරෙහි ගායස් දක්වා තිබූ කරුණාව හා ආගන්තුක සත්කාරය, මහලු ප්‍රේරිත යොහන් බෙහෙවින් අගය කළේය. ඇතැම්විට යොහන්ගේ ලිපිය ගෙනා තැනැත්තා වන දෙමේත්‍රියස් ඇතුළුව, මෙම සහෝදරයෝ සියලුදෙනාම ගායස් කලින් දැන නොසිටි අමුත්තෝ වූහ. එහෙත්, “ඔවුන් [දෙවියන්වහන්සේගේ] නාමය නිසා පිටත්ව ගිය බැවින්” ඔවුන්ව සත්කාරශීලීව පිළිගන්නා ලදි. යොහන් කාරණය මෙසේ පැහැදිලි කළේය: “එමනිසා, අප සත්‍යයෙහි හවුල් වැඩකරුවන් බවට පත් වන පිණිස, එබඳු පුද්ගලයන් සත්කාරශීලීව පිළිගැනීමට අපි බැඳී සිටින්නෙමු.”—3 යොහන් 1, 7, 8, NW.
13. විශේෂයෙන්ම “සත්කාරශීලීව පිළිගැනීමට” වටින්නේ අප අතර සිටින කවුරුන්වද?
13 අදදින යෙහෝවඃවහන්සේගේ සංවිධානය තුළ, මුළු සහෝදර සමාගම වෙනුවෙන් වෙහෙස මහන්සි වී වැඩ කරන බොහෝදෙනෙක් සිටිත්. සභාවන් දිරිගන්වමින් සතියක් සතියක් පාසා තම කාලය හා ශ්‍රමය වැය කරන සංචාරක අවේක්ෂකයන්; විදේශ රටවල දේශනා කිරීම සඳහා තම පවුල් හා මිත්‍රයන් අත්හැර යන මිෂනාරිවරුන්; ලෝක ව්‍යාප්ත දේශනා කිරීමේ සේවයට රුකුලක් වීම සඳහා බෙතෙල් නිවාස හෝ ශාඛා කාර්යාලවල ස්වේච්ඡාවෙන් සේවය කරන අය; එමෙන්ම තම කාලයෙන් හා ශ්‍රමයෙන් වැඩි හරියක් ක්ෂේත්‍ර සේවයෙහි වැය කරන පුරෝගාමී සේවයෙහි නිරත වන අය මීට ඇතුළත්ය. මූලිකවම, මේ සියලුදෙනාම, වෙහෙස මහන්සි වී වැඩ කරන්නේ පෞද්ගලික ගෞරවය හෝ වාසි සඳහා නොව, නමුත් ක්‍රිස්තියානි සහෝදරත්වය හා යෙහෝවඃවහන්සේ සඳහා තිබෙන ප්‍රේමය නිසාය. ඔවුන් පෙන්වන ආත්ම-පූර්ණ භක්තිය නිසා, ඔවුහු අනුකරණය කිරීමට හොඳ ආදර්ශයන් වන අතරම, “සත්කාරශීලීව පිළිගැනීමට” සහතික ලෙසම වටින තත්වයක සිටිත්.
14. (අ) විශ්වාසවන්ත අයට ආගන්තුක සත්කාරය දක්වන විට, අප වඩාත් හොඳ ක්‍රිස්තියානීන් බවට පත්වන්නේ කෙසේද? (ආ) මරියා “යහපත් කොටස” තෝරාගත්තායයි යේසුස්වහන්සේ පැවසුවේ මන්ද?
14 අප ‘එබඳු පුද්ගලයන්ව සත්කාරශීලීව පිළිගන්නා’ විට, ප්‍රේරිත යොහන් පෙන්නුම් කළ පරිදි, අපි “සත්‍යයෙහි හවුල් වැඩකරුවන් බවට පත්” වන්නෙමු. එක් ආකාරයකින් එහි ප්‍රතිඵලයක් වශයෙන් අපි වඩාත් හොඳ ක්‍රිස්තියානීන් බවට පත් වන්නෙමු. මීට හේතුව ක්‍රිස්තියානි ක්‍රියාවලට සෙසු ඇදහිලිවන්තයන්ට යහපත කිරීම ඇතුළත් නිසාය. (හිතෝපදේශ 3:27, 28; 1 යොහන් 3:18) වෙනත් ක්රමයකිනුත් විපාක අත් වේ. මරියා සහ මාර්තා යේසුස්වහන්සේව තම නිවසට පිළිගත් විට, යේසුස්වහන්සේට “බොහෝ දේවල්” පිළියෙළ කිරීමෙන්, හොඳ සත්කාර කරන්නියක වීමට මාර්තා උත්සාහ කළාය. මරියා ආගන්තුක සත්කාරය වෙනත් ආකාරයකින් පෙන්වූවාය. “ඈ ස්වාමීන්වහන්සේගේ පාද මූලයෙහි හිඳ උන්වහන්සේගේ වචන ඇසුවාය.” එමෙන්ම “යහපත් කොටස” තෝරාගත් නිසා, යේසුස්වහන්සේ ඇයට ප්‍රශංසා කළසේක. (ලූක් 10:38-42) අවුරුදු ගණනාවක අද්දැකීම් ඇති අය සමඟ සන්ධ්‍යාවක් ගත කරනවා නම්, ඔවුන් සමඟ කරන සංවාදයන් හා සාකච්ඡාවන් බොහෝදුරට රසවත් අද්දැකීමක් වනු ඇත.—රෝම 1:11, 12.
විශේෂ අවස්ථාවන්හිදී
15. යෙහෝවඃවහන්සේගේ සෙනඟට සන්තෝෂය ගෙන දිය හැක්කේ කුමන විශේෂ අවස්ථාද?
15 සැබෑ ක්‍රිස්තියානීන් ජනප්‍රිය චාරිත්‍ර අනුගමනය නොකරන අතර, ලෞකික නිවාඩු දිනයන් හා උත්සව නොපැවැත්වුවත්, එකිනෙකාගේ ආශ්‍රය භුක්තිවිඳීම සඳහා එකට හමු වන අවස්ථා ඇත. උදාහරණයකට, යේසුස්වහන්සේ කානාහි විවාහ මංගල්‍යයකට ගිය අතර, තම පළමුවන ආශ්චර්යය සිදු කිරීමෙන් එම අවස්ථාවේ තිබූ ප්‍රීතියට දායක වූසේක. (යොහන් 2:1-11) එසේම අදදින ඒ හා සමාන වැදගත්කමකින් යුත් විශේෂ අවස්ථාවලදී යෙහෝවඃවහන්සේගේ සෙනඟ සන්තෝෂයෙන් කාලය ගත කරන අතර, යෝග්‍ය ආකාරයකින් ප්‍රීති සන්තෝෂ වීම හා විනෝද වීම මෙවැනි අවස්ථාවල ගුණය වැඩි කිරීමට දායක වෙයි. එහෙත්, යෝග්‍ය යනු කුමක්ද?
16. විශේෂ අවස්ථාවන්වලදී පවා නිසියාකාරව හැසිරීම සම්බන්ධයෙන් අපට ඇත්තේ කුමන මඟ පෙන්වීම්ද?
16 ක්‍රිස්තියානීන් සඳහා යෝග්‍ය හැසිරීම කුමක්ද කියා අප බයිබලය අධ්‍යයනය කිරීමෙන් ඉගෙනගන්නා අතර, අපි මෙය සෑම අවස්ථාවකදීම අනුගමනය කරන්නෙමු. (රෝම 13:12-14; ගලාති 5:19-21; එපීස 5:3-5) විවාහ මංගල්‍යයක් සඳහා හෝ වෙනයම් හේතුවක් සඳහා හෝ වේවා, ප්‍රිය සම්භාෂණයක් පැවැත්වීමේදී අපේ ක්‍රිස්තියානි ප්‍රමිති අත්හැර දැමීමටවත්, අප සාමාන්‍යයෙන් නොකරන දෙයක් කිරීමටවත් අපට නිදහස ලැබෙන්නේ නැත; එමෙන්ම අප ජීවත් වන රටේ සෑම චාරිත්රයක්ම අනුගමනය කිරීමට අපි බැඳී නොසිටින්නෙමු. මේවායින් බොහොමයක් බොරු ආගමික පිළිවෙත් හෝ මිථ්‍යා විශ්වාස මත පදනම්ව ඇති අතර, වෙනත් ඒවාවලට ක්‍රිස්තියානීන්ට සම්පූර්ණයෙන්ම පිළිගත නොහැකි හැසිරීම ඇතුළත් වේ.—1 පේතෘස් 4:3, 4.
17. (අ) කානාහි විවාහ මංගල්‍ය භෝජනය හොඳින් සංවිධානය කර, නිසි අධීක්ෂණයක් යටතේ සිදු කරන ලද්දක් වූ බව පෙන්නුම් කරන්නේ කුමන සාධකද? (ආ) යේසුස්වහන්සේ එම අවස්ථාව අනුමත කළ බව අඟවන්නේ කුමක්ද?
17 යොහන් 2:1-11 කියවද්දී, එම උත්සවය ජයට ගත් එකක් වූ බවත්, අමුත්තන් සෑහෙන සංඛ්‍යාවක් පැමිණ සිටි බවත් දැකගැනීම අමාරු දෙයක් නොවේ. කෙසේවෙතත්, යේසුස්වහන්සේද තම ගෝලයෝද “කැඳවනු ලැබුවෝ” වූහ; ඔවුන්ගෙන් සමහරෙකු ඇතැම්විට සත්කාරක තැනැත්තාගේ ඥාතීන් විය හැකි මුත්, කලින් දැනුම් දීමකින් තොරව ඔවුන් පැමිණියේ නැත. “මෙහෙකරුවන්” සිටි බවත්, බෙදා දෙන්නේ හෝ කරන්නේ කුමක්ද කියා මඟ පෙන්වනු ඇති ‘ප්‍රධානියෙකු’ සිටි බවත් අපට පෙනේ. මෙම උත්සවය හොඳින් සංවිධානය කොට නිසි අධීක්ෂණයක් යටතේ පැවති බව මේ සියල්ලෙන් අඟවයි. යේසුස්වහන්සේ මංගල්‍යයෙහිදී කළ දෙයින් “ස්වකීය මහිමය ප්‍රකාශකළ” බව පැවසීමෙන් මෙම වාර්තාව අවසන් වෙයි. එය නොහික්මුණු ඝෝෂාකාරි සාදයක් වූයේ නම්, එසේ කිරීමට උන්වහන්සේ එම අවස්ථාව තෝරාගනු ඇද්ද? එසේ නොකරන බවට කිසි සැකයක් නැත.
18. ඕනෑම ප්‍රිය සම්භාෂණයක් සම්බන්ධයෙන් බැරෑරුම් ලෙස කල්පනා කළ යුතු දෑ මොනවාද?
18 එසේනම්, අපේ අධීක්ෂණය යටතේ පැවැත්විය හැකි විශේෂ අවස්ථා ගැන කුමක් කිව හැකිද? අප අන්‍යයන්ව ආගන්තුක සත්කාරයෙන් යුතුව පිළිගැනීමේ අරමුණ, සියලුදෙනාම “සත්‍යයෙහි හවුල් වැඩකරුවන් බවට පත්[වීම]” බව අප මතක තබාගත යුතුය. එබැවින්, යම් අවස්ථාවක් “සාක්ෂිකාර” හමුවක් කියා නම් තැබීම පමණක් මදිය. අප කවුරුන්ද යන වගට හා අප විශ්වාස කරන දෙයට එය ඇත්තෙන්ම සාක්ෂියක්ද යන්න, ඇසිය හැකි ප්රශ්නයකි. “මාංසයේ තෘෂ්ණාවත් ඇස්වල තෘෂ්ණාවත් ජීවිතයේ අහංකාරකමත්” අනුව හැසිරීමෙන්, ලෝකයත් එහි ක්‍රමත් අනුකරණය කිරීම සඳහා අපට කෙතරම් කිට්ටු විය හැකිදැයි දැකබලා ගැනීමේ ප්‍රස්තා හැටියට, අප එම අවස්ථා කිසිවිටකත් නොසැලකිය යුතුය. (1 යොහන් 2:15, 16) ඒ වෙනුවට, මෙම අවස්ථාවලදී, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් වශයෙන් අපට තිබෙන වැඩකොටස නිසි ලෙස පිළිබිඹු විය යුතු අතර, අප කරන දෙයින් යෙහෝවඃවහන්සේට ප්‍රශංසාව හා ගෞරවය ගෙන දීමටත් අප වගබලා ගත යුතුය.—මතෙව් 5:16; 1 කොරින්ති 10:31-33.
‘කොඳුරන්නේ නැතුව ආගන්තුක සත්කාර කරන්න’
19. අප “කොඳුරන්නේ නැතුව එකිනෙකාට ආගන්තුක සත්කාර” කිරීම අවශ්‍ය වන්නේ මන්ද?
19 ලෝකයේ තත්වය දිගටම පිරිහෙන නිසාත්, මනුෂ්‍යයන් තව තවත් භේද වන නිසාත්, සැබෑ ක්‍රිස්තියානීන් අතර පවතින සමීප බැම්ම ශක්තිමත් කිරීමට අපට කළ හැකි උපරිමය කළ යුතුය. (කොලොස්සි 3:14) මේ දෙය පෙරදැරි කරගෙන, පේතෘස් අපට උනන්දු කළ ආකාරයෙන්, අප “එකිනෙකා කෙරෙහි බලවත් ප්‍රේමයක් ඇතුව” සිටිය යුතුය. ඊළඟට ප්‍රායෝගිකව ඔහු මෙම අදහස පළ කළේය: “කොඳුරන්නේ නැතුව එකිනෙකාට ආගන්තුක සත්කාර කරන්න.” (1 පේතෘස් 4:7-9) අපේ සහෝදරයන්ට ආගන්තුක සත්කාරය දැක්වීම සඳහා මූලික පියවර ගැනීමට, එනම් කාරුණිකව හා උපකාරවත් වන ආකාරයකින් කටයුතු කිරීම සඳහා වීර්යය කිරීමට අප කැමතිද? එසේ නැතහොත් එවැනි අවස්ථාවක් පැනනඟින විට අප කොඳුරනවාද? අප එසේ කරනවා නම්, අත් කරගත හැකි ප්‍රීතිය අප නැති කරගන්නා අතර, යහපත කිරීම වෙනුවෙන් සන්තෝෂය ලැබීමේ විපාකයද අපට අහිමි විය හැක.—හිතෝපදේශ 3:27; ක්‍රියා 20:35.
20. අදදින භේදභින්න වූ ලෝකයේ අප පුරුද්දක් වශයෙන් ආගන්තුක සත්කාරය දක්වනවා නම්, අපට ලබාගත හැකි ආශීර්වාද මොනවාද?
20 සෙසු ක්‍රිස්තියානීන් සමඟ කිට්ටුවෙන් වැඩ කිරීම, එකිනෙකාට කරුණාව හා ආගන්තුක සත්කාරය දැක්වීම ඉමහත් ආශීර්වාදවලට තුඩු දෙනවා ඇත. (මතෙව් 10:40-42) එවැනි අයට යෙහෝවඃවහන්සේ පොරොන්දු වූයේ උන්වහන්සේ “තමන්ගේ මණ්ඩපය ඔවුන්ට උඩින් විදහන” බවය. “ඔවුන්ට තවත් බඩගිනිවන්නේවත් පිපාසා වන්නේවත් නැත.” යෙහෝවඃවහන්සේගේ මණ්ඩපයෙහි සිටීමෙන් අදහස් කරන්නේ, උන්වහන්සේගේ රැකවරණය හා ආගන්තුක සත්කාරය භුක්තිවිඳීමයි. (එළිදරව් 7:15, 16; යෙසායා 25:6) ඔව්, යෙහෝවඃවහන්සේගේ ආගන්තුක සත්කාරය සදහටම භුක්තිවිඳීමේ අපේක්ෂාව නුදුරු අනාගතයෙහි තිබේ.—ගීතාවලිය 27:4; 61:3, 4.
ඔබට පහදා දිය හැකිද?
◻ අප සැබෑ ප්‍රීතිය හා තෘප්තිය ලබාගැනීමට කැමති නම්, නොසලකා නොහැරිය යුත්තේ කුමක්ද?
◻ ‘මව්පියන් නැති දරුවන් හා වැන්දඹු ස්ත්‍රීන්’ කවුරුන්ද, එමෙන්ම අප ඔවුන්ව ‘රැකබලාගත’ යුත්තේ කෙසේද?
◻ අප අතර සිටින “පරදේශක්කාරයන්ව” හා “විදේශිකයන්ව” අප සැලකිය යුත්තේ කෙසේද?
◻ අදදින, විශේෂයෙන්ම සැලකිල්ල ලැබීමට වටින්නේ කවුරුන්ද?
◻ විශේෂ අවස්ථාවලදී, ආගන්තුක සත්කාරයේ සැබෑ ස්වභාවය පිළිබිඹු විය යුත්තේ කෙසේද?
[16, 17වන පිටුවේ පින්තූර]
උත්සවාකාර අවස්ථාවලදී, විදේශිකයන්ට, පියා නැති දරුවන්ට, පූර්ණ-කාලීන සේවයෙහි නියුතු අයට සහ වෙනත් අමුත්තන්ටද ආගන්තුක සත්කාරය දැක්වීමට අපට පුළුවන