එක්සත් පවුලක් ලෙස යෙහෝවඃවහන්සේට සේවය කිරීම
ආන්ටෝන්යෝ සාන්ටෝලේරි පැවසූ පරිදි
වර්ෂ 1919දී, මගේ තාත්තා ඉතාලිය අතහැර යද්දී ඔහුට වයස අවුරුදු 17යි. වඩාත් හොඳ ජීවිතයක් ගත කිරීමේ අදහස ඇතුව, ඔහු පදිංචිය සඳහා බ්‍රසීලයට ගියා. ඉන් කලකට පසු, සාඌ පාවුලු ප්‍රාන්තයේ, අභ්‍යන්තරයේ පිහිටා ඇති කුඩා නගරයක ඔහුටම කියා බාබර් සාප්පුවක් තිබුණා.
වර්ෂ 1938දී, මට වයස අවුරුදු හතක්ව තිබියදී, දවසක් ඔහුගේ සාප්පුවට පැමිණි මිනිසෙකුගෙන් තාත්තා බයිබලයේ බ්රාසීලේර පරිවර්තනයක් ලබාගත්තා. ඊට අවුරුදු දෙකකට පසුව, අම්මා බරපතළ විදිහට අසනීප වූ අතර, ඇය ඇගේ මරණය දක්වාම රෝගියෙකුව සිටියා. තාත්තාටත් අසනීප වූ නිසා, අපි සියලුදෙනාම—එනම්, අම්මා, තාත්තා, මගේ සහෝදරී ආනා සහ මම, සාඌ පාවුලු නගරයේ නෑදෑයන් එක්ක ජීවත් වෙන්ට ගියා.
මං සාඌ පාවුලුවල පාසැල් ගිය කාලය අතරතුරේදී, හරිම කැමැත්තෙන් පොත් කියවන්ට පටන්ගත්තා. මං විශේෂයෙන්ම කියෙව්වේ ඓතිහාසික ලියවිලි. ඒවායේ ඉඳලා හිටලා බයිබලය ගැන සඳහන් කරලා තියෙනවා දැකලා මම පුදුමයට පත් වුණා. සාඌ පාවුලු මහජන පුස්තකාලයෙන් මං ලබාගත් ප්‍රබන්ධ කථා පොතක, කන්ද උඩ දේශනාව කීප වතාවක්ම සඳහන් කරලා තිබුණා. ඒ දේශනාව මමම කියවා බලන්ට බයිබලයක් ලබාගන්න ඕනෙ කියලා මම තීරණය කළේ එතකොටයි. අවුරුදු ගාණකට කලින් තාත්තා ලබාගෙන තිබූ බයිබලය මා සෙවූ අතර, අන්තිමේදී මම ඒක පෙට්ටගමක අඩියේ තිබිලා හොයාගත්තා, අවුරුදු හතක් තිස්සේ ඒක එතන තිබිලා තියෙනවා.
අපේ පවුලේ අය කතෝලිකයන්ව හිටිය නිසා, බයිබලය කියවන්ට මට කවදාවත් උනන්දු කරලා තිබුණේ නැහැ. මම පරිච්ඡේද සහ පද තනිවම පෙරළන්න ඉගෙනගත්තා. කන්ද උඩ දේශනාව විතරක් නෙවේ; සම්පූර්ණ මතෙව් පොත වගේම වෙනත් බයිබල් පොතුත් මං හරි ආශාවකින් කියෙව්වා. යේසුස්වහන්සේගේ ඉගැන්වීම් හා ප්රාතිහාර්යයන් ඉදිරිපත් කර තිබූ සත්‍යය ආකාරය මගේ හිතට වැඩියෙන් කාවැදුණා.
මම බයිබලයෙන් කියවූ දේට වඩා කතෝලික ආගම කොච්චර වෙනස්ද කියලා වැටහුණායින් පස්සේ, මං ප්‍රෙස්බිටේරියානු පල්ලියට යන්ට පටන්ගත් අතර, ආනාත් මට හවුල් වුණා. ඒ වුණත් මට මගේ හෘදයේ තවමත් හිස්කමක් තියෙනවා කියලා හැඟුණා. අවුරුදු 17ක් තිස්සේ මම ඉතා ඕනෑකමින් දෙවියන්වහන්සේව හොයමින් සිටියා. (ක්‍රියා 17:27) අහස තරුවලින් පිරිලා තිබුණු එක රැයක, මං කල්පනාවේ ගිලිලා ඉන්න වෙලාවක, මෙහෙම හිතුවා, ‘මා මෙහි සිටින්නේ ඇයි? ජීවිතයේ අරමුණ මොකක්ද?’ මම නිවසේ පස්සේ මිදුලේ හුදකලා තැනක් හොයාගෙන, දණ ගහලා මෙහෙම යාච්ඤා කළා, ‘ස්වාමි වූ දෙවියන්වහන්ස! ඔබවහන්සේ කවුද? මම ඔබවහන්සේ ගැන දැනගන්නේ කොහොමද?’ ටික කාලයකට පස්සේ, ඒකට උත්තරයක් ලැබුණා.
බයිබල් සත්‍යය ඉගෙනගැනීම
වර්ෂ 1949දී, දවසක් තාත්තා කුලී රථයකින් බහිද්දී, යෞවන ස්ත්‍රියක් ඔහු ළඟට ආවා. ඈ ඔහුට මුරටැඹ හා පිබිදෙව්! සඟරා ඉදිරිපත් කළා. ඔහු මුරටැඹ සඟරාවට දායක වෙලා, තමාට ප්‍රෙස්බිටේරියානු පල්ලියට යන දරුවන් දෙදෙනෙක් ඉන්න බව කියලා, ඇයට අපේ නිවසට එන්න කිව්වා. එම ස්ත්‍රිය ආපු වෙලාවේ, ඈ චිල්ඩ්රන් කියන පොත ආනාට දීලා, ඇය සමඟ බයිබල් පාඩමක් ආරම්භ කළා. පස්සේ මමත් පාඩමට හවුල් වුණා.
වර්ෂ 1950 නොවැම්බර් මාසයේදී, අපි යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ සමුළුවකට මුල් වතාවට ගියා. එදා “ලෙට් ගෝඩ් බී ටෲ” කියන පොත මුදාහරිනු ලැබුවා; ඒ පොත අපේ මාර්ගෝපදේශකය හැටියට පාවිච්චි කරමින් අපි අපේ බයිබල් පාඩම දිගටම කරගෙන ගියා. අපි සත්‍යය හොයාගෙන තියෙන බව ඉක්මනින්ම අපිට වැටහුණු අතර, 1951 අප්‍රියෙල් මාසයේදී, යෙහෝවඃවහන්සේට කළ අපේ කැපවීමේ සංකේතයක් වශයෙන් අපි බව්තීස්ම වුණා. තාත්තා තම කැපවීම අවුරුදු කිහිපයකට පසුව කළ අතර, 1982 සිදු වුණු තම මරණය දක්වාම ඔහු දෙවියන්වහන්සේට විශ්වාසවන්තව සේවය කළා.
පූර්ණ-කාලීන සේවය තුළ සතුටින්
වර්ෂ 1954 ජනවාරි මාසයේදී, මට වයස අවුරුදු 22ක්ව තියෙද්දී, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයේ සේවය කරන්න මාව තෝරාගත්තා, ඒක හඳුන්වන්නේ බෙතෙල් කියලයි. මං එහාට ගියාම, මට වඩා අවුරුදු දෙකක් වැඩිමල් රිචඩ් මූක ඒ ශාඛාවේ අවේක්ෂක බව දැනගැනීමෙන් මම පුදුමයට පත් වුණා. එක්දහස් නවසිය පනස්පහේදී, චාරිකා සේවකයන් ලෙස ඒ කාලයේ හැඳින්වූ සංචාරක අවේක්ෂකයන් සඳහා අවශ්‍යතාවක් පැනනැඟුණු වෙලාවේ, මේ සේවයට හවුල්වීම සඳහා ආරාධනා කරනු ලැබූ පස්දෙනාගෙන් මාත් කෙනෙක් වුණා.
මගේ පැවරුම වුණේ, රියෝ ග්‍රාන්ඩ් ඩි සූල් ප්‍රාන්තයයි. මම සේවය පටන්ගනිද්දී තිබුණේ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ සභාවන් 8ක් විතරයි, ඒත් මාස 18ක් ඇතුළත, අලුත් සභා 2ක් මෙන්ම හුදකලා කණ්ඩායම් 20ක් පිහිටුවනු ලැබුවා. අදදින මෙම ප්‍රදේශයේ, සෑම එකකටම සභා 20ක් පමණ ඇතුළත්, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ චාරිකා 15ක් තියෙනවා. එක්දහස් නවසිය පනස්හයේ අගභාගයේදී, මගේ චාරිකාව කුඩා චාරිකාවන් හතරකට බෙදා තිබුණු බවත්, ඒවායේ චාරිකා සේවකයන් හතරදෙනෙකු සේවය කරනු ලබන බවත් මට පවසනු ලැබුවා. ඒ කාලය වෙද්දී, අලුත් පැවරුමක් සඳහා මට නැවතත් බෙතෙල් නිවසට පැමිණෙන ලෙස පැවසුවා.
මාව පුදුමයට මෙන්ම සතුටට පත් කරවමින්, දිස්ත්‍රික් සේවකයෙක් ලෙස, එනම් චාරිකා ගණනාවක සේවය කරන සංචාරක දේවසේවකයෙක් හැටියට සේවය කරන්ට මට උතුරු බ්‍රසීලයට පැවරුමක් ලැබුණා. එතකොට බ්‍රසීලයේ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ දේවසේවකයන් 12,000දෙනෙක් සිටි අතර, දිස්ත්‍රික් දෙකක්ද තිබුණා. රිචඩ් වුට්කෙ දකුණු පළාතේ සේවය කළ අතර, මම උතුරු පළාතේ දිස්ත්‍රික්කයේ සේවය කළා. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් නිපදවනු ලැබූ, ද නිව් වර්ල්ඩ් සොසයටි ඉන් ඇක්ෂන් සහ ද හැපිනස් ඔෆ් ද නිව් වර්ල්ඩ් සොසයටි වැනි චිත්‍රපට පෙන්වීම සඳහා, ප්‍රොජෙක්ටරය ක්‍රියා කරවීමට අපිට බෙතෙල්හිදී පුහුණු කරනු ලැබුවා.
ඒ කාලවලදී ගමනාගමනය හුඟාක් වෙනස්. එක සාක්ෂිකාරයෙකුටවත් මෝටර් රථයක් තිබුණේ නැහැ, ඒ හින්දා මම ඔරුවකින්, හබල් ඔරුවකින්, ගොන් කරත්තයකින්, අශ්වයන් පිටින්, අශ්ව කරත්තයකින්, ට්‍රක් රථයකින් සහ එක වතාවක් ගුවන් යානයකින් පවා ගමන් කළා. ඇමසන් ප්‍රාන්තයේ අගනුවර මෙන්ම, ඇමසන් අසල බලෙම් සහ මනවුස් නගර දෙක අතර පිහිටා ඇති සැන්ටාරිම් නගරයට යෑම සඳහා ඇමසන් වනාන්තරයට උඩින් ගුවනින් පියාසර කිරීම මහත් ප්‍රීතියක් වුණා. ඒ කාලයේදී, දිස්ත්‍රික් සේවකයන්ට සේවය කරන්න තිබුණේ, චාරිකා එක්රැස්වීම් කිහිපයක විතරයි, මේ නිසා සමිතියේ චිත්‍රපට පෙන්වීම සඳහා මං මගේ කාලයෙන් වැඩි හරියක්ම ගත කළා. වඩා විශාල නගරවල, සියගණන්දෙනෙක් ඒක නරඹන්න ආවා.
උතුරු බ්‍රසීලයේ, මගේ සිත හුඟාක් ඇදිලා ගියේ ඇමසන් ප්රදේශයටයි. වර්ෂ 1957 අප්‍රියෙල් මාසයේදී, මම එහෙ සේවය කරමින් ඉද්දී, ඇමසන් ගඟ වගේම ඒකේ අතු ගංගාත් ඒවායේ ඉවුරුවලින් පිටාර ගැලුවා. ගස් දෙකක් අතර තිරයක් සකස් කරලා, වනාන්තරයේදී චිත්‍රපටවලින් එකක් පෙන්වීමට මට වරප්‍රසාදය ලැබුණා. ප්‍රොජෙක්ටරය ක්‍රියා කරවීම සඳහා අවශ්‍ය විදුලි බලය ලබාගත්තේ, අසල ගඟක නැංගුරම් දමා තිබුණු මෝටාර් බෝට්ටුවකින්. එය ප්රේක්ෂකයන්ගෙන් වැඩිදෙනෙක් නරඹලා තිබුණු පළමුවන චිත්‍රපටයයි.
ඊට පස්සේ ඉක්මනින්ම වාගේ, මම බෙතෙල් සේවයට නැවතත් පැමිණි අතර, ඊළඟ වර්ෂයේ, එනම් 1958දී, නිව් යෝර්ක් නගරයේ පැවති ඓතිහාසික “ඩිවයින් විල්” නමැති යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ ජාත්‍යන්තර එක්රැස්වීමට යෑම සඳහා මට වරප්‍රසාදය ලැබුණා. දින අටක් පුරා පැවති එම සමුළුවේ අවසාන දිනයෙහි, යැන්කී ක්‍රීඩාංගනයේ මෙන්ම අසල පිහිටි පෝලෝ ක්‍රීඩාපිටිය පිරවූ නියෝජිතයන් 2,53,922දෙනා රටවල් 123කින් පැමිණ සිටියා.
මගේ ජීවිතයෙහි වෙනස්කම් භුක්තිවිඳීම
බෙතෙල් එකට පැමිණීමෙන් ටික කාලයකට පස්සේ, මම ක්ලාරේ බේර්න්ට්ව හොඳින් දැන හඳුනාගන්ට පටන්ගත් අතර, 1959 මාර්තු මාසයේදී අපි විවාහ වුණා. බහායි ප්‍රාන්තයේ චාරිකා සේවය සඳහා අපිට පැවරුමක් ලැබුණු අතර, අපි එහි අවුරුද්දක් විතර සේවය කළා. එම ප්‍රදේශයේ හිටිය සහෝදරයන්ගේ නිහතමානිකම, ආගන්තුක සත්කාරය, ජ්වලිතය සහ ප්‍රේමය, ක්ලාරේත් මාත් තවමත් ප්‍රීතියෙන් සිහි කරනවා; ද්‍රව්‍යමය අතින් දිළිඳුව සිටියත්, ඒ අය රාජ්‍ය ඵලවලින් පොහොසත්ව සිටියා. ඊට පස්සේ, අපිව සාඌ පාවුලු ප්‍රාන්තයට යවනු ලැබුවා. එහිදී, එනම් 1960දී මගේ බිරිඳට දරුවෙක් ලැබෙන්න සිටිය අතර, අපට පූර්ණ-කාලීන සේවයෙන් ඉවත්වීමට සිද්ධ වුණා.
මගේ බිරිඳ උපත ලැබූ සාන්ත කැතරිනා ප්‍රාන්තයේ ප්‍රදේශයකට යන්ට අපි තීරණය කළා. අපේ දරුවන් පස්දෙනාගෙන්, ගෙර්සොන් පුතා පළමුවැන්නායි. එයාට පස්සේ, 1962දී ගිල්සන්ද, 1965දී ටේලිටාද, 1969දී ටාර්ස්යෝද, 1974දී ජානිසීද උපත ලැබුවා. යෙහෝවඃවහන්සේට හා උන්වහන්සේ සපයන කදිම උපදෙස්වලට ස්තුතිවන්ත වෙන්න, අපට ඔවුන්ව “ස්වාමීන්වහන්සේගේ හික්මවීමෙන්ද අවවාදයෙන්ද” ඇති දැඩි කිරීමේ අභියෝගයට මුහුණ දීමට හැකි වුණා.—එපීස 6:4.
අපි අපේ දරුවන් සෑම කෙනෙක්වම වටිනා අය හැටියට සලකනවා. ගීතිකාකරු අපේ හැඟීම් හොඳින් ප්‍රකාශ කළා: “බලව, දරුවෝ ස්වාමීන්වහන්සේ දෙන උරුමයක්ය.” (ගීතාවලිය 127:3) ගැටලු තිබුණත්, දෙවියන්වහන්සේගේ වචනයෙහි තියෙන උපදෙස් මනසේ තියාගෙන, අපි “ස්වාමීන්වහන්සේ දෙන” ඕනෑම “උරුමයක්” මෙන් අපේ දරුවන්ට සැලකිල්ල දක්වලා තියෙනවා. හුඟාක් විපාක ලැබිලා තියෙනවා. පිළිවෙළින් පස්දෙනාම, වෙන වෙනම, යෙහෝවඃවහන්සේට තම කැපවීමේ සංකේතයක් වශයෙන් බව්තීස්ම කරනු ලැබීමට තම අධිෂ්ඨානය ප්‍රකාශ කළ විට, එය අපට මහත් සතුටක් වුණා.—දේශනාකාරයා 12:1.
අපේ දරුවන්ගේ තෝරාගැනීම්
පරිගණක පාඨමාලාවක් හැදෑරීමෙන් පසු, ගෙර්සොන්ට, බෙතෙල්හි සේවය කරන්ට අවශ්‍ය බව පැවසූ විට අපි හුඟක් සන්තෝෂ වුණා, මෙසේ ඔහු උසස් රැකියා වෘත්තියක් වෙනුවට පූර්ණ කාලීන දේවසේවය තෝරාගත්තා. එහෙත් ගෙර්සොන්ට මුලින්ම, බෙතෙල් ජීවිතය ලෙහෙසි දෙයක් වුණේ නැහැ. ඔහු බෙතෙල්හි මාස හතරක් විතර සේවය කළාට පස්සේ, අපි ඔහුව බැහැදකින්න ගිහින්, ආයෙත් එතැනින් පිට වෙද්දී ඔහුගේ මුහුණේ දකින්ට තිබූ කනගාටුව දැකීමෙන් මම කම්පනයට පත් වුණා. අපි පාරේ පළමුවන වංගුව පහු කරන තුරු ඔහු අපි දිහා බලා ඉන්නවා මම අපේ මෝටර් රථයේ පිටුපස කණ්ණාඩියෙන් දැක්කා. මගේ ඇස් කඳුළුවලින් කොච්චර පිරුණාද කිව්වොත්, ගෙදර බලා යන්න තිබුණු කිලෝමීටර් 700ක විතර දුරක් ගමන් කරන්ට කලින් පාර අයිනේ ටික වෙලාවක් නවත්තලා ඉන්ට මට සිද්ධ වුණා.
ගෙර්සොන් ඇත්තෙන්ම බෙතෙල් ජීවිතය භුක්තිවිඳින්න පටන්ගත්තා. එතැන අවුරුදු හයකට ආසන්න කාලයක් ගත කළායින් පස්සේ, ඔහු හයිඩි බෙසර් සමඟ විවාහ වූ අතර, ඔවුන් දෙදෙනා බෙතෙල්හි තව අවුරුදු දෙකක් සේවය කළා. ඊට පස්සේ, හයිඩි ගැබ්ගත් අතර, ඔවුන්ට එතැනින් ඉවත් වෙන්ට සිද්ධ වුණා. දැන් වයස අවුරුදු හයක් වන ඔවුන්ගේ දුව සින්ටියා, ඔවුන්ගේ රාජ්‍ය ක්‍රියාකාරකම්වලට ඔවුන් එක්ක හවුල් වෙනවා.
අපි ගෙර්සොන්ව බෙතෙල්හි මුල් වතාවට බැහැදැකීමට ගිහින් වැඩි කලක් යන්ට කලින්, ව්‍යාපාර පරිපාලනය සම්බන්ධ පාඨමාලාවේ පළමු වසර මෑතකදී අවසන් කළ ගිල්සනුත් එතැන සේවය කිරීමට අවශ්‍ය බව පැවසුවා. බෙතෙල්හි වසරක් සේවය කළායින් පස්සේ, නැවතත් ඔහුගේ ව්‍යාපාර පාඨමාලාව ආරම්භ කිරීමයි ඔහුගේ අදහස වුණේ. නමුත් ඔහු තම අදහස වෙනස් කරලා බෙතෙල් සේවයේ රැඳී සිටියා. වර්ෂ 1988දී, ඔහු පුරෝගාමී සේවිකාවක වන විවියන් ගෝන්සාල්විස් සමඟ විවාහ වුණා. පූර්ණ කාලීන දේවසේවකයන්ව හැඳින්වුවේ ඒ නමින්. එදා ඉඳලා, ඔවුන් දෙදෙනා බෙතෙල්හි සේවය කර තිබෙනවා.
සැලසුම් ඇඳීම පිළිබඳ පාඨමාලාවක් හැදෑරීමෙන් පසු, අපේ තුන්වන දරුවා වන ටේලිටා, 1986දී, පුරෝගාමී සේවයට ඇතුල්වීමට තෝරාගත් විට අපේ ප්‍රීතිය දිගටම පැවතුණා. අවුරුදු තුනකට පස්සේ, ඇයටත් බෙතෙල්හි සේවය කරන්න ආරාධනාවක් ලැබුණා. වර්ෂ 1991දී, ඈ බෙතෙල්හි අවුරුදු දහයක් පුරා සේවය කරමින් සිටි ජූසෙ කෝසිව විවාහ කරගත්තා. ඔවුන් එහි විවාහ යුවළක් ලෙස දිගටම සේවය කරනවා.
අපට ඒ වන විටත් තුන් වතාවක්ම අසන්ට ලැබූ මේ වදන්, එනම් “තාත්තේ, මට බෙතෙල් එකේ සේවය කරන්න ඕනේ,” කියා අපේ අනික් පුතා ටාර්ස්යෝත් පැවසූ විට, මගේ බිරිඳයි මායි නැවතත් සතුටු වුණා. ඔහුගේ අයදුම්පත පිළිගනු ලැබූ අතර, 1991දී ඔහුත් බෙතෙල්හි සේවය කිරීමට පටන්ගත් අතර, 1995 වෙනකං එහි සිටියා. ඔහු මේ ආකාරයෙන් ඔහුගේ යෞවන ශක්තිය, අවුරුදු තුනකට වැඩි කාලයක් පුරා, යෙහෝවඃවහන්සේගේ රාජ්‍ය කටයුතුවලට අනුබල දීම සඳහා පාවිච්චි කළ එක ගැන අපි සතුටු වෙනවා.
අපේ බාලම දරුවා, ජානිසීත් යෙහෝවඃවහන්සේට සේවය කරන්න තීරණය කරලා, වයස අවුරුදු 13දී බව්තීස්ම වුණා. ඇය පාසැල් ගිය කාලය තුළදී, උපකාරික පුරෝගාමී සේවිකාවක් ලෙස අවුරුද්දක් සේවය කළා. ඊට පස්සේ, වර්ෂ 1993 සැප්තැම්බර් 1වනදා ඉඳලා ඈ අපේ සභාවේ, ගාස්පා නගරයේ ස්ථාවර පුරෝගාමී සේවිකාවක් ලෙස සේවය කිරීමට පටන්ගත්තා.
සාර්ථකත්වයේ මාර්ගය
යෙහෝවඃවහන්සේගේ නමස්කාරය තුළ පවුලක් එක්සත්ව තබාගැනීම සඳහා රහස කුමක්ද? යම්කිසි මැජික් බලයක් තිබෙනවා කියලා මං විශ්වාස කරන්නේ නැහැ. ක්‍රිස්තියානි දෙමාපියන්ට අනුගමනය කිරීම සඳහා, යෙහෝවඃවහන්සේ තම වචනයෙන් උපදෙස් සපයලා තියෙනවා, ඒ නිසා අපි අද්දැකලා තියෙන කදිම ප්‍රතිඵලවලට ගෞරවය දෙන්න ඕනෙ උන්වහන්සේටයි. අපි නිකම්ම උන්වහන්සේගේ මඟ පෙන්වීම් අනුගමනය කිරීමට වෑයම් කර තියෙනවා විතරයි. (හිතෝපදේශ 22:6) අපේ දරුවන් සියලුදෙනාම, ලතින් අයට ආවේනික වූ චිත්ත ස්වභාවය මගෙනුත්, ඒ වගේම නුවණැති තීරණ ගැනීමේ ජර්මානු ගතිලක්ෂණ ඔවුන්ගේ අම්මාගෙනුත් උරුම කරගෙන තියෙනවා. නමුත් ඔවුන් අපෙන් උරුම කරගත් වැඩියෙන්ම වැදගත් දේ වන්නේ ආත්මික දේවලුයි.
නිවස තුළ අපේ ජීවිතය රාජ්‍ය කාරණා වටා ගෙතී තිබුණා. මෙම කාරණාවලට මුල් තැන දීම පහසු කාර්යයක් වුණේ නැහැ. උදාහරණයක් හැටියට, පවුල් බයිබල් පාඩමක් නිතිපතා පවත්වාගැනීම අපිට නිතරම අමාරු දෙයක් වුණත්, අපි කවදාවත් අත්හැරියේ නැහැ. ඔවුන්ගේ ජීවිතයේ මුල් දවස්වල ඉඳලම, සෑම දරුවෙක්වම, ක්‍රිස්තියානි රැස්වීම්වලට මෙන්ම එක්රැස්වීම් හා සමුළුවලට ගෙන ගියා. අපි රැස්වීම්වලට නොගියේ, අසනීපයක් නැත්නම් වෙනත් හදිසි අවස්ථාවකදී විතරයි. ඊට අමතරව, පුංචි කාලේ ඉඳලා, දරුවන් අපිත් එක්ක ක්‍රිස්තියානි දේවසේවයේ හවුල් වුණා.
දරුවන්ට වයස අවුරුදු දහයක් විතර වෙද්දී, ඔවුන් දිව්‍යාණ්ඩු සේවා පාසැලේ කතා දෙන්ට පටන්ගත්තා. සම්පූර්ණ කතාවම ලියාගන්නවා වෙනුවට, සැකිල්ලක් විතරක් පාවිච්චි කරන්ට දිරිගන්වමින්, අපි ඔවුන්ගේ මුල් කතා සූදානම් කරන්ට උදව් කළා. පසුව, එක් එක්කෙනා තම තමන්ගේ කතා තනිවම සූදානම් කරගත්තා. තවත් දෙයක් නම්, ඔවුන් වයස අවුරුදු 10ත් 12ත් අතර ඉන්දැද්දී, ඔවුන් හැමෝම නිතිපතාම දේවසේවයේ හවුල්වීමට පටන්ගැනීමයි. ඔවුන් දැනගෙන හිටියේ මේ වගේ ජීවිතයක් විතරයි.
අපේ දරුවන් ඇති දැඩි කිරීම සම්බන්ධයෙන් මගේ බිරිඳ ක්ලාරේ විශාල වැඩ කොටසක් ඉටු කළා. ඔවුන් අවුරුදු දෙකේ ඉඳලා හය දක්වා ඉතා බාල වයස්වල සිටිද්දී, එනම් ඔවුන්ට උගන්වනු ලබන සෑම දෙයක්ම ස්පොන්ජියක් වගේ උරාගැනීමට හැකි වයසකදී, සෑම රාත්‍රියකදීම, ක්ලාරේ ඔවුන්ට බයිබල් කතන්දරයක් කියවා එක් එක්කෙනා එක්ක යාච්ඤා කරනවා. ෆ්‍රොම් පැරඩයිස් ලොස්ට් ටු පැරඩයිස් රීගේන්ඩ්, ලිස්නිං ටු ද ග්‍රේට් ටීචර් හා මගේ බයිබල් කතන්දර පොත යන පොත් ඈ ප්‍රයෝජනයට ගත්තා.a අපි යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් විසින් සැපයූ ශ්‍රව්‍ය හා දෘශ්‍ය ආධාරක ලබාගත හැකි වූ විට ඒවා පාවිච්චි කළා.
දරුවන්ට දිනපතාම අවධානය යොමු කිරීම අවශ්‍ය බව, ක්‍රිස්තියානි දෙමාපියන් වශයෙන් අපගේ අද්දැකීමෙන් ස්ථිර වෙනවා. බලවත් ප්‍රේමය හා එක් එක්කෙනා කෙරෙහි උනන්දුව දැක්වීම මෙන්ම බොහෝ කාලය වැය කිරීම යන දේවල් යෞවන අයගේ මූලික අවශ්‍යතාවන් අතර වෙනවා. අපේ උපරිම හැකියාවෙන් මේ අවශ්‍යතා සපුරාලීම, අපේ දෙමාපිය වගකීම හැටියට විතරක් සැලකුවේ නැහැ, නමුත් එසේ කිරීමෙන් අපිට ලොකු සතුටකුත් ලැබුණා.
ගීතාවලිය 127:3-5හි තිබෙන වචන ඉටු වන බව තේරුම්ගැනීම ඇත්තෙන්ම දෙමාපියන්ට සතුටක්. එය මෙසේ පවසනවා: “බලව, දරුවෝ ස්වාමීන්වහන්සේ දෙන උරුමයක්ය. කුසේ ඵලයද උන්වහන්සේගෙන් ලැබෙන විපාකයක්ය. බලවන්තයෙකුගේ අතෙහි ඊගස් යම්සේද යෞවන මවුපියන්ගේ දරුවොත් එසේමය. එයින් පිරුණු ඊකොපුව ඇති මනුෂ්‍යයා වාසනාවන්තයෙක්ය.” එක්සත් පවුලක් ලෙස යෙහෝවඃවහන්සේට සේවය කිරීම ඇත්තෙන්ම අපිව ප්‍රීතිවීමට සලස්වා තියෙනවා!
[පාදසටහන]
a මේ සියල්ලම වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් නිව් යෝර්ක් ඉන්ක්., මගින් ප්රකාශිතය.
[26වන පිටුවේ පින්තූරය]
ආන්ටෝන්යෝ සාන්ටෝලේරි තම පවුලේ කිට්ටුම සාමාජිකයන් සමඟ