යෙහෝවා කෙරෙහි මගේ විශ්වාසයෙන් උසුලනු ලැබීම
ආෂෙනෝ ඩා පයිෂෞන් පැවසූ පරිදි
අපිට හිටපු එකම පුතා, පෞලූ, බ්රොන්කයිටිස් හැදිලා වයස මාස 11දී මියගියා. ඊට මාස තුනකට පස්සේ, 1945 අගෝස්තු 15වනදා, මගේ දයාබර බිරිඳ නියුමෝනියාව හැදිලා මියගියා. එතකොට මට වයස අවුරුදු 28යි; මෙම පහරවල් මාව ශෝකයට හා කනස්සලුභාවයට පත් කළා. ඒත්, යෙහෝවා හා ඔහුගේ පොරොන්දු කෙරෙහි තිබෙන මගේ විශ්වාසය මාව ඉසිලුවා. මම මෙම විශ්වාසය ලබාගත්තේ කොහොමද කියලා කියන්නම්.
වර්ෂ 1917 ජනවාරි 5වනදා, බ්‍රසීලයේ බාහියා ජනපදයේ සැල්වඩෝර් නගරයේ මං ඉපදුණු දවසේ ඉඳලා, කතෝලික පල්ලියේ “සාන්තුවරයන්ට” නමස්කාර කරන්න අම්මා මට ඉගැන්නුවා. අපිට එකට යාච්ඤා කරන්න පුළුවන් වෙන්න, එයා මගේ සහෝදරයන්වයි මාවයි උදෙන්ම නැගිට්ටවනවා. කොහොම වුණත්, අප්‍රිකානු-බ්‍රසීලියානු වූඩෝ වත්පිළිවෙත් නමින් හැඳින්වූ කාන්ඩෝම්බ්ලේ රැස්වීම්වලටද මගේ දෙමාපියන් ගියා. මං ඒ විශ්වාසයන්වලට ගෞරව කළත්, කතෝලික ධර්මයේ සාන්තුවරයන් හෝ කාන්ඩෝම්බ්ලේ කෙරෙහි මට කිසිම විශ්වාසයක් තිබුණේ නැහැ. මේ ආගම් තුළ තිබුණු ජාතිවාදය, විශේෂයෙන්ම මාව කලකිරීමට පත් කළා.
ඉන් ටික කලකට පසු, රැකියාවක් හොයාගන්න කියලා මගේ අයියලා දෙන්නම ගෙදරින් පිට වෙලා ගියා. පස්සේ, තාත්තා පවුල අත්හැරලා ගියා. ඒ හින්දා, වයස අවුරුදු නවයේදී, මගේ අම්මාට හා නංගිට උදව් කරන්න මට රැකියාවක් හොයාගන්න සිද්ධ වුණා. ඊට අවුරුදු 16කට විතර පස්සේ, කර්මාන්ත ශාලාවේ සෙසු සේවකයෙක් එක්ක සාකච්ඡා පැවැත්වීමෙන් මගේ ජීවිතය වෙනස් අතට හැරෙන්න පටන්ගත්තා.
යෙහෝවා කෙරෙහි විශ්වාසයක් ඇති කරගැනීම
වර්ෂ 1942දී, මට ෆ’නන්ඩූ ටෙලෙස්ව මුණගැහුණා. “සාන්තුවරයන්ට” නමස්කාර කිරීම වැරදි බව ඔහු නිතරම කිව්වා. (1 කොරින්ති 10:14; 1 යොහන් 5:21) මුලින් මං ඔහුට කොහෙත්ම අවධානය දුන්නේ නැහැ. ඒත් ඔහුගේ අවංකකම හා ඕනෑම ජාතියකට අයිති මනුෂ්‍යයන් කෙරෙහි දැක්වූ උනන්දුවට මගේ සිත ඇදිලා ගියා; ඒ විතරක් නෙවෙයි, ඔහුගේ බයිබල් දැනුම හා විශේෂයෙන්ම දෙවිගේ රාජ්‍යය හා පාරාදීස පොළොවක් සම්බන්ධයෙන් ඔහු කිව්ව දේවල්වලට මං ප්‍රශංසා කළා. (යෙසායා 9:6, 7; දානියෙල් 2:44, 45; එළිදරව් 21:3, 4) මගේ උනන්දුව දැකලා, ඔහු මට බයිබලයක් හා බයිබල් පොත්පත් කිහිපයක් දුන්නා.
ඊට සති කිහිපයකට පස්සේ, සභා බයිබල් පාඩමකට එන්න කියා ලැබුණු ආරාධනාවක් මං පිළිගත්තා. එම කණ්ඩායම පාඩම් කරමින් හිටියේ, වොච් ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි මගින් ප්‍රකාශයට පත් කරලා තිබුණු රිලිජන් (ආගම) නම් පොතයි. ඒ පාඩමෙන් මං ආස්වාදයක් ලබාගත් අතර, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභා රැස්වීම් සියල්ලටම යන්න පටන්ගත්තා. වැඩියෙන්ම මගේ සිත ගත්තේ, ඔවුන් අතර කිසිම අගතියක් නොතිබීම හා මාව විගසින්ම පිළිගත්ත ආකාරයයි. ඒ කාලය වෙද්දී, මං ලින්ඩෞරාව දැනහඳුනා ගන්න පටන්ගත්තා. මං ඉගෙනගනිමින් හිටපු දේවල් ගැන මං එයාට කිව්වහම, එයත් මාත් එක්ක රැස්වීම්වලට ආවා.
රැස්වීම්වලදී මගේ හිත ඇදිල ගිය තවත් දෙයක් තමයි, දේශනා සේවය ගැන කරන අවධාරණය. (මතෙව් 24:14; ක්‍රියා 20:20) පූර්ණ-කාලීන දේවසේවකයන් හැටියට හඳුන්වන පුරෝගාමීන්ගෙන් දිරිගැන්වීම ලැබීමෙන්, මං රැකියාවට හා ගෙදරට ගමන් කරන අතරතුරේදී කෝච්චියේ ගමන් කළ මඟීන් එක්ක අවිධිමත්ව කතා කරන්න පටන්ගත්තා. උනන්දුව දැක්වූ කෙනෙක් මට හම්බ වුණාම, මං ඔහුගේ ලිපිනය අරගෙන ඒ උනන්දුව වර්ධනය කරන්න ඔහුව බැහැදකින්න යනවා.
ඒ කාලය අතරතුර, යෙහෝවා හා ඔහු පාවිච්චි කරන සංවිධානය කෙරෙහි තිබෙන මගේ විශ්වාසය දිගටම වර්ධනය වුණා. මෙසේ ක්‍රිස්තියානි කැපවීම ගැන බයිබල් අනුශාසනාවකට සවන් දීමෙන් පස්සේ, 1943 අප්‍රියෙල් 19වනදා, අත්ලන්තික් සාගරයේ මාව බව්තීස්ම කරනු ලැබුවා. ඒ දවසේම, සාමාන්‍යයෙන් යෙදෙන ගෙයින් ගෙට දේවසේවයට මං මුල් වතාවට හවුල් වුණා.
ඊට සති දෙකකට පස්සේ, ඒ කියන්නේ මැයි 5වනදා ලින්ඩෞරා හා මං විවාහ වුණා. ඊට පස්සේ, 1943 අගෝස්තුවල, සැල්වඩෝර් නගරයේ යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් පවත්වනු ලැබූ මුල්ම එක්රැස්වීමේදී ඇයව බව්තීස්ම කරනු ලැබුවා. ඒ එක්රැස්වීම ගැන නයින්ටීන් සෙවෙන්ටි ත්‍රී යිය’ බුක් ඔෆ් ජෙහෝවාස් විට්නසස් මෙහෙම ප්‍රකාශ කළා: “සැල්වඩෝරයේ පැවැත්වූ ප්‍රසිද්ධ දේශනාව නවත්වන්න පූජකවරුන්ට හැකි වුණත්, ඔවුන්ට එය කරන්ට හැකි වුණේ . . . කදිම ප්‍රචාරයකින් පසුව පමණි.” දරුණු පීඩා හමුවේ යෙහෝවාගේ මඟ පෙන්වීමේ සාක්ෂිය, ඔහු කෙරෙහි ඇති මගේ විශ්වාසය ශක්තිමත් කළා.
මං මුලින්ම කිව්ව විදිහට, ලින්ඩෞරාගේ බව්තීස්මයෙන් අවුරුදු දෙකකටත්, අපේ පුතාගේ මරණයෙන් මාස තුනකටත් පස්සේ, මගේ දයාබර බිරිඳ මියගියා. එතකොට එයාට අවුරුදු 22ක් විතරයි. ඒත්, යෙහෝවා කෙරෙහි මට තිබුණු විශ්වාසය, ඒ දුෂ්කර මාසවලදී මාව ඉසිලුවා.
ආත්මික ක්‍රියාකාරකම්වලින් ශක්තිය ලැබ
වර්ෂ 1946දී, ඒ කියන්නේ මගේ භාර්යාව හා පුතා මට අහිමි වීමෙන් අවුරුද්දකට පස්සේ, සැල්වඩෝරයේ ඒ කාලයේදී තිබුණු එකම සභාවේ බයිබල් පාඩම් සේවකයා වශයෙන් මාව පත් කරනු ලැබුවා. ඒ අවුරුද්දේදීම, බ්‍රසීලයේ සභාවල දිව්‍යාණ්ඩු සේවා පාසැල පවත්වන්න පටන්ගත් අතර, මං බාහියා නගරයේ මුල්ම පාසැල් අවේක්ෂකයා වුණා. ඊට පස්සේ, 1946 ඔක්තෝබර් මාසයේදී, සාඌ පාවුලු නගරයේ, “ප්‍රීතිමත් ජාතීන්” නමැති දිව්‍යාණ්ඩු එක්රැස්වීම පවත්වනු ලැබුවා. අවුරුදු දහයක් තිස්සේ මගේ ස්වාමියාව සිටි පුද්ගලයා, මාව අවශ්‍ය කරන බව පවසමින් එක්රැස්වීමට නොයන ලෙස මට බල කළා. කොහොම වුණත්, එක්රැස්වීමට යන්න පුළුවන් නං මං එය කොච්චර අගය කරනවාද කියලා ඔහුට පැහැදිලි කළායින් පස්සේ, ඔහු මට හොඳ තෑග්ගක් දීලා මගේ ගමනට සුභ පැතුවා.
සාඌ පාවුලුහි නගර සභා ශාලාවේ පැවැත්වූ එක්රැස්වීම් සැසිවාර, බ්‍රසීලයේ භාෂාව වන පෘතුගීසි වගේම, ඉංග්‍රීසි, ජර්මානු, හන්ගේරියානු, පෝලන්ත හා රුසියානු භාෂාවලින්ද පවත්වනු ලැබුවා. ඒ එක්රැස්වීමේදී, පිබිදෙව්! සඟරාව පෘතුගීසි භාෂාවෙන් මුදාහරිනු ලැබුවා. එක්රැස්වීම සම්බන්ධයෙන් මගේ හිත කොතරම් ඇදිලා ගියාද කිව්වොත්, 1946 නොවැම්බර් 1වනදා පුරෝගාමී සේවය පටන්ගන්න මං අයදුම්පතක් පුරවලා දුන්නා; ප්‍රසිද්ධ කථාවට, 1,700දෙනෙක් විතර ඇවිල්ලා හිටියා.
ඒ කාලයේදී අපේ පුරෝගාමී සේවයට අපි වැඩියෙන්ම යොදාගත්තේ ශබ්දවාහිනියයි. ගෙහිමියන්ට අපි බොහෝදුරට වාදනය කළේ, “ආරක්ෂාව” කියන කතාවයි. ඊට පස්සේ, අපි මෙහෙම කිව්වා: “අදෘශ්‍යමාන සතුරෙකුගෙන් අපව ආරක්ෂා කරගන්න නම්, අදෘශ්යමානවම ඉන්න මිතුරෙකුට අපි ඇලී සිටින්න අවශ්‍යයි. අපේ ශ්‍රේෂ්ඨතම මිතුරා යෙහෝවායි; ඒ වගේම ඔහු අපේ සතුරා වන සාතන්ට වඩා ගොඩක් බලවන්තයි. ඒ නිසා ඔහුගෙන් අපව ආරක්ෂා කරගන්න නම්, අපි යෙහෝවාට ඇලී සිටින්න අවශ්‍යයි.” ඊට පස්සේ, තවදුරටත් තොරතුරු සැපයූ, ප්‍රොටෙක්ෂන් (ආරක්ෂාව) කියන පොත්පිංචය අපි ඉදිරිපත් කෙරුවා.
රියෝ ද ජනේරෝහි කාරිඕකා සභාව සමඟ විශේෂ පුරෝගාමියෙක් ලෙස සේවය කරන්න කියලා මට ආරාධනාවක් ලැබෙන කොට, මං පුරෝගාමී සේවය කරන්න පටන් අරගෙන අවුරුද්දක්වත් ගත වෙලා තිබුණේ නැහැ. එහිදී ඇතැම් අවස්ථාවලදී අපිට දැඩි විරුද්ධවාදිකම්වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. දවසක් මගේ සහකරුවා වූ ඉවාන් බ්රෙන’ට ගෙහිමියෙක් ගැහැව්වා. අසල්වැසියන් පොලිසියට දැනුම් දුන් අතර, අපි සියලුදෙනාවම පොලිසියට ගෙනිච්චා.
ප්‍රශ්න කරන අතරතුරේදී, කෝපයෙන් පිරුණු ගෙහිමියා අප සාමය නැති කළ බවට චෝදනා කළා. නිශ්ශබ්දව සිටින්න කියා පොලිස් ප්‍රධානියා ඔහුට නියෝග කළා. ඊට පස්සේ, පොලිස් ප්‍රධානියා අපේ දිහාට හැරිලා, අපි නිදහස් කියලා ඉතා මෘදු කටහඬකින් කිව්වා. ඔහු අපේ පැමිණිලිකරුව රඳවාගෙන, පහර දීමේ වරද ගැන ඔහුට චෝදනා කෙරුවා. එවැනි තත්වයන් යෙහෝවා කෙරෙහි තියෙන මගේ විශ්වාසය ශක්තිමත් කළා.
පුළුල් කරනු ලැබූ පූර්ණ-කාලීන දේවසේවය
වර්ෂ 1949 ජූලි 1වනදා, බෙතෙල්හි සේවය කරන්න එන්න කියලා මට ආරාධනාවක් ලැබුණු විට මං ගොඩක් සතුටු වුණා; රටක යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ මූලස්ථානය හඳුන්වන්නේ ඒ විදිහටයි. බ්‍රසීලයේ බෙතෙල් නිවස, ඒ කාලයේදී පිහිටා තිබුණේ, රියෝ ද ජනේරෝහි 330 ලිසින්යෝ කාඩෝසූ වීථියේයි. ඒ කාලයේදී මුළු බෙතෙල් පවුලේම හිටියේ 17දෙනෙක් විතරයි. ටික කාලයකට මං එන්ෂෙන්යෝ ඩෙ ඩෙන්ටෲ නම් ප්‍රාදේශීය සභාවට ගියත්, පසුව මාව රියෝ ද ජනේරෝවලින් සැතපුම් කිහිපයක් එහායින් පිහිටි බෙල්ෆෝ රෝෂූ නගරයේ එකම සභාවේ මුලසුන භාර අවේක්ෂකයා ලෙස කටයුතු කරන්න පත් කරනු ලැබුවා.
සතිඅන්තවල මට ගොඩක් වැඩ තිබුණා. සෙනසුරාදා දිනවල මං කෝච්චියෙන් බෙල්ෆෝ රෝෂූවලට ගමන් කළා; දවල් දේවසේවයේ හවුල් වෙලා, හවසට දිව්‍යාණ්ඩු සේවා පාසැලට හා සේවා රැස්වීමට යනවා. මං සහෝදරයන් එක්ක එදා රෑ ගත කරලා, ඊළඟ දවසේ උදේටත් දේවසේවයේ හවුල් වෙනවා. ඊට පස්සේ දවල්ට මං ප්‍රසිද්ධ බයිබල් කතාවට හා මුරටැඹ පාඩමට සහභාගි වෙලා, රෑ නවයාමාරට විතර බෙතෙල් නිවසට නැවත එනවා. අද බෙල්ෆෝ රෝෂූවල සභාවන් 18ක් තිබෙනවා.
ඒ පැවරුමේ අවුරුදු තුනහමාරක් සේවය කිරීමෙන් පස්සේ, 1954දී, රියෝ ද ජනේරෝහි සාඌ ක්රිස්ටැවැඋන් සභාවේ මුලසුන භාර අවේක්ෂක හැටියට සේවය කරන්න මට නැවතත් පැවරුම් ලැබුණා. ඊළඟ අවුරුදු දහය මං සේවය කළේ ඒ සභාව සමඟයි.
මගේ බෙතෙල් පැවරුම්
බෙතෙල්හි මගේ පළවෙනි පැවරුම වුණේ, සමිතියේ එකම වාහනයට ගරාජ් එකක් ඉදි කරන්නයි; එය 1949 නිපදවනු ලැබූ ඩොජ් වෑන් රථයක්; එම වාහනය දුඹුරු පාට හින්දා ඒකට චොක්ලට් කියලා නමක් පටබැඳිලා තිබුණා. ඒක ඉදි කරලා ඉවර වුණාට පස්සේ, කුස්සියේ වැඩ කරන්න මට පැවරුම් ලැබුණා; මං අවුරුදු තුනක් කුස්සියේ වැඩ කළා. ඊට පස්සේ, මාව සුළු මුද්‍රණ කිරීමේ අංශයට මාරු කරනු ලැබුවා; මං ඒ අංශයේ දැනට අවුරුදු 40ක් තිස්සේ සේවය කරමින් ඉන්නවා.
අපි ළඟ තිබුණු මුද්‍රණ උපකරණ ගොඩක් පාවිච්චි කරපු ඒවයි. උදාහරණයක් වශයෙන්, අවුරුදු ගණනාවකට අපි ළඟ පරණ ප්ලැට්න් මුද්‍රණ යන්ත්‍රයක් තිබුණා; අපි ආදරේට ඒකට සාරා කියලා, ඒ කියන්නේ ආබ්‍රහම්ගේ භාර්යාවගේ නම තැබුවා. නිව් යෝර්ක් බෘක්ලින්හි, වොච් ටවර් සමිතියේ මූලස්ථානයේ කර්මාන්ත ශාලාවේ එය අවුරුදු ගණනාවක් පුරා පාවිච්චි කරලා තිබුණා. ඊට පස්සේ, 1950 ගණන්වල ඒ යන්ත්‍රය නැවෙන් බ්‍රසීලයට එවනු ලැබුවා. එම යන්ත්‍රය ඉතා පරණ වුණත්, ආබ්‍රහම්ගේ භාර්යාව වගේ ඵලදාව නිපදෙව්වා; ඒ කියන්නේ මුරටැඹ හා පිබිදෙව්! සඟරා.
බ්‍රසීලයේ මුද්‍රණ යන්ත්‍රවලින් නිපදවනු ලබන ප්රකාශනවල ගණන වැඩි වන විදිහ දැකලා මං හැමදාම පුදුමයට පත් වෙනවා. වර්ෂ 1953දී මුළු අවුරුද්දටම අපි සඟරා 3,24,400ක් මුද්‍රණය කළත්, දැන් සෑම මසකටම සඟරා මිලියන තුනකට වඩා වැඩියෙන් මුද්‍රණය කරනවා!
අපේ බෙතෙල් පහසුකම්
බ්‍රසීලයේ අපේ බෙතෙල් පහසුකම් අවුරුදු ගණනාවක් පුරා පුළුල් වන ආකාරය බලා සිටීම උනන්දුව දනවන අද්දැකීමක් වෙලා තිබෙනවා. වර්ෂ 1952දී, රියෝ ද ජනේරෝහි අපේ ගේ පිටුපස අපි තට්ටු දෙකේ කර්මාන්ත ශාලා ගොඩනැඟිල්ලක් ඉදි කෙරුවා. ඊට පස්සේ 1968දී, බෙතෙල් නිවස සාඌ පාවුලු නගරයේ අලුත් ගොඩනැඟිල්ලකට මාරු කරනු ලැබුවා. අපි ඒ ස්ථානයට ගිය විට, සාමාජිකයන් 42දෙනෙකුගෙන් යුත් අපේ බෙතෙල් පවුලට එම ස්ථානය විශාල වගේම ඉඩ කඩ ඇති තැනක් වගෙයි පෙනුණේ. අනාගතයේදී සිදු වන වර්ධනයන්වලට මෙම ගොඩනැඟිල්ල ප්‍රමාණවත් වන බව අපි ඇත්තටම හිතුවා. කොහොම වුණත්, 1971දී, තට්ටු පහකින් යුත් අමතර ගොඩනැඟිලි දෙකක් ඉදි කරනු ලැබූ අතර, ඊට යාබදව කර්මාන්ත ශාලාවක්ද සල්ලිවලට අරගෙන නැවත නිර්මාණය කර එම සංකීර්ණයටම සම්බන්ධ කරනු ලැබුණා. ඒත් අවුරුදු කිහිපයක් ඇතුළත රාජ්‍ය ප්‍රචාරකයන් දිගටම වැඩි වෙන්න පටන්ගත් නිසා, එයින් වැඩි ඉඩ ප්‍රමාණයක් අවශ්‍ය වුණා; 1975දී අපිට 1,00,000ට වඩා වැඩිදෙනෙක් හිටියා.
ඒ හින්දා, සාඌ පාවුලුවලින් කිලෝමීටර් 140ක් පමණ ඈතින්, කසාරිඕ ලාන්සේ නම් කුඩා නගරය අසල අලුත් ගොඩනැඟිලි සංකීර්ණයක් ඉදි කරනු ලැබුවා. වර්ෂ 1980දී, සාමාජිකයන් 170කින් යුත් අපේ බෙතෙල් පවුල මෙම අලුත් පහසුකම්වලට මාරු කරනු ලැබුවා. ඒ කාලයේ පටන්, රාජ්‍ය සේවය චමත්කාරජනක ලෙස වර්ධනය වෙලා තිබෙනවා. බ්‍රසීලයේ, දේශනා සේවයේ නිතිපතා හවුල් වන 4,10,000කට වඩා වැඩි සංඛ්‍යාවක් අපට දැන් ඉන්නවා! මෙම රාජ්‍ය ප්‍රචාරකයන් සියලුදෙනාගේම ආත්මික අවශ්‍යතාවලට සැලකිල්ල දැක්වීමට වගේම බයිබල් ප්‍රකාශන මුද්‍රණය කිරීමට අලුත් කර්මාන්ත ශාලා ගොඩනැඟිලි ඉදි කිරීමටත්, බෙතෙල් ස්වේච්ඡා සේවකයන්ට නවාතැන් පහසුකම් සැපයීමට අලුත් නිවාස ගොඩනැඟිලි ඉදි කිරීමටත් අපට සිදු වෙලා තිබෙනවා. දැනට අපට බෙතෙල් පවුලේ සාමාජිකයන් 1,100දෙනෙක් පමණ ඉන්නවා!
අනර්ඝ වරප්‍රසාද
මං බෙතෙල් සේවය අනර්ඝ වරප්‍රසාදයක් ලෙස සලකනවා. මගේ ජීවිතයේ මුල් කාලයේදී නැවත විවාහ වීම සම්බන්ධයෙන් මං ආයෙත් සලකලා බැලුවත්, බෙතෙල්හි මගේ වරප්‍රසාද කෙරෙහි හා දේශනා සේවය මත මගේ සම්පූර්ණ අවධානය තැබීමට මං තෝරගත්තා. මෙහිදී බොහෝ යෞවනයන් එක්ක මුද්‍රණාලයේ වැඩ කිරීමේ හා ඔවුන්ගේ පැවරුම්වලදී ඔවුන්ව පුහුණු කිරීමේ ප්‍රීතිය මං භුක්ති විඳලා තිබෙනවා. ඔවුන් මගේ පුතාලා වගේ සලකලා ඔවුන් එක්ක කටයුතු කරන්න මං උත්සාහ කරලා තියෙනවා. ඔවුන්ගේ ජ්වලිතය හා පරාර්ථකාමිත්වය මට මහත් දිරිගැන්වීමක් වෙලා තියෙනවා.
මට ලැබුණු තවත් වරප්‍රසාදයක් තමයි, මේ අවුරුදු ගණනාව පුරා කදිම සහෝදරයන්ගේ ආශ්‍රය භුක්ති විඳිමින් ඔවුන් සමඟ එකම කාමරයක ජීවත්වීම. පෞද්ගලිකත්ව වෙනස් නිසා ඇතැම් අවස්ථාවලදී අභියෝගයන් ඉදිරිපත් වෙලා තිබෙන බව ඇත්ත. ඒත් අනික් අයගෙන් සම්පූර්ණත්වය බලාපොරොත්තු නොවෙන්න මං ඉගෙනගත්තා. පොඩි දෙයක් ලොකු දෙයක් කරගන්න හෝ අනික් අයට වඩා මං වැදගත් කියලා සලකන්න මහත් උත්සාහයක් දරලා තියෙනවා. මගේ වැරදි පිළිගෙන ඒවා හදාගැනීම, අනික් අයගේ වැරදි සමඟ කටයුතු කරන්න මට උපකාර වෙලා තියෙනවා.
මං භුක්ති විඳපු තවත් අනර්ඝ වරප්‍රසාදයක් තමයි, එක්සත් ජනපදයේ විශාල ජාත්‍යන්තර සමුළුවලට යෑමට හැකිවීම. මේවායින් එකක් තමයි, 1963 නිව් යෝර්ක්හි යැංකි ක්‍රීඩාංගනයෙහි පැවැත්වූ “සදාකාල ශුභාරංචිය” එක්රැස්වීම; අනික් එක එම ස්ථානයේම 1969දී පැවැත්වූ “පොළොව මත සමාදානය” කියන ජාත්‍යන්තර එක්රැස්වීම. මං එහෙ සිටි අවස්ථාවේදී, ඒ ළඟ තියෙන යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ නිව් යෝර්ක් බෘක්ලින්හි ලෝක මූලස්ථානය බැහැදැකීමේ ප්‍රීතිය අද්දකින්න හැකි වුණා.
බෙතෙල් පවුලේ උදෑසන නමස්කාරයට අනික් අය සමඟ මාරුවෙන් මාරුවට මුලසුන දැරීමෙන් හවුල් වීමටද, මට අවුරුදු දහයක් වරප්‍රසාදය ලැබුණා. එහෙත්, මට මහත් ප්‍රීතියක් හා ධෛර්යයක් ලබා දීලා තියෙන ශ්‍රේෂ්ඨතම වරප්‍රසාදය වන්නේ, අපේ ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස් කළාක් මෙන් අවංක හෘදයක් ඇති අය කරා රාජ්‍ය පණිවිඩය ගෙනයෑමයි.
මෑත වර්ෂවලදී, පාර්කින්සන් රෝගය ඇතුව ජීවත්වීමේ අභියෝගයට මුහුණ දෙන්න මට සිදු වෙලා තියෙනවා. බෙතෙල් ප්‍රථමාධාර අංශයේ සහෝදර සහෝදරියන්ගේ ප්‍රේමනීය සැලකිල්ල, මට නිරන්තර උපකාරයක් හා සහනයක් වෙලා තියෙනවා. යෙහෝවාගේ සැබෑ නමස්කාරය වෙනුවෙන් දිගටම මගේ උපරිමය කරන්න මට ශක්තිය දෙන්න කියා සම්පූර්ණ විශ්වාසයෙන් මං ඔහුට යාච්ඤා කරනවා.
[23වන පිටුවේ පින්තූරය]
මං දැන් ජීවත් වන බ්‍රසීලයේ ශාඛා කාර්යාලය
[23වන පිටුවේ පින්තූර]
වර්ෂ 1945දී මියගිය මගේ භාර්යාව එක්ක