ඔවුහු යෙහෝවඃවහන්සේගේ කැමැත්ත කළහ
දානියෙල් නොකඩවාම දෙවියන්වහන්සේට සේවය කළේය
එක රැයකින් ඉතිහාසය වෙනස් වීම දුර්ලභ දෙයකි. එහෙත්, පො.යු.පෙ. 539දී, පැය කිහිපයක් ඇතුළත මේදවරුන් හා පර්සිවරුන් අතින් බබිලෝනීය අධිරාජ්‍යය පරාජය වූ විට එය සිදු විය. ඒ අවුරුද්ද වන විට, යෙහෝවඃවහන්සේගේ අනාගතවක්තෘවරයෙකු වූ දානියෙල් බබිලෝනියේ යුදෙව් වහලෙකු වශයෙන් අවුරුදු 80කට ආසන්න කාලයක් ජීවත් වෙමින් සිටියේය. වයස අවුරුදු 90ගණන්වල පසුවන්ට ඇති දානියෙල්, දෙවියන්වහන්සේට වූ තම අඛණ්ඩතාවේ ශ්‍රේෂ්ඨතම පරීක්ෂණවලින් එකකට මුහුණ දීමට ආසන්නව සිටියේය.
බබිලෝනියේ වැටීමෙන් පසු, දානියෙල්ට කාරණා ප්‍රිය උපදවන අන්දමින් සිදු වන බව මුලින්ම පෙනිණ. නව රජු වූයේ අනුග්‍රහයෙන් යුක්තව දානියෙල් දෙස බැලූ 62හැවිරිදි මේදීය දාරියුස්ය. රජු වශයෙන් දාරියුස්ගේ පළමු ක්‍රියාවලින් එකක් වූයේ, 120දෙනෙකුව දිසාපතීන් හැටියටත්, මිනිසුන් තිදෙනෙකුව උසස් නිලධාරීන්ගේ පදවියටත් පත් කිරීමය.a දානියෙල් අනුග්‍රහය ලැබූ මිනිසුන් තිදෙනාගෙන් කෙනෙක් විය. දානියෙල්ගේ විශිෂ්ට හැකියාව අවබෝධ කරගනිමින්, ඔහුට අග්‍රාමාත්‍ය ධුරය දීමට පවා දාරියුස් අදහස් කළේය. කෙසේවෙතත්, එවිටම වාගේ රජුගේ සැලසුම් හදිසියෙන්ම වෙනස් වන අන්දමේ යමක් සිදු විය.
ප්රයෝගකාරි සැලැස්මක්
දානියෙල්ගේ සෙසු උසස් නිලධාරීහු, දිසාපතීන් විශාල කණ්ඩායමක් කැටුව කූට අදහසක් සිතැතිව රජු වෙතට ගියෝය. නීතියක් පනවන මෙන් ඔවුහු දාරියුස්ගෙන් මෙසේ අයැද සිටියහ: “රජ්ජුරුවෙනි, කවුරුනුමුත් තිස් දවසක් යන තුරු ඔබගෙන් මිස යම් දෙවිකෙනෙකුගෙන්වත් මනුෂ්‍යයෙකුගෙන්වත් කිසියම් අයදුමක් කළොත්, ඔහු සිංහ ගුහාවේ දමනු [මැනවි].” (දානියෙල් 6:7) මෙම මිනිසුන් තමා කෙරෙහි තිබූ පක්ෂපාතකම ප්‍රසිද්ධියේ කියා සිටින්නාක් මෙන් දාරියුස්ට පෙනෙන්ට ඇත. අධිරාජ්‍යයේ හිස වශයෙන් ඔහුගේ තනතුර නැවත ශක්තිමත් කරගැනීමට මෙම නීතිය විදේශිකයෙකු වන ඔහුට උපකාරවත් වනු ඇති බව ඔහු කල්පනා කරන්ට ඇත.
කෙසේවෙතත්, උසස් නිලධාරීන් හා දිසාපතීන් මෙම නියෝගය රජු වෙනුවෙන් යෝජනා කළේ නැත. “[ඔවුහු] රාජ්‍යය ගැන දානියෙල්ට විරුද්ධව කාරණයක් අල්ලාගන්ට සෙවුවෝය: නුමුත් කාරණයක්වත් දෝෂයක්වත් අල්ලාගන්ට ඔවුන්ට නොහැකිවිය; මක්නිසාද ඔහු විශ්වාසව සිටියේය, ඔහුගේ කිසි වරදක්වත් දෝෂයක්වත් සම්බ නොවීය.” එනිසා මෙම ප්රයෝගකාරි මිනිස්සු මෙසේ කාරණා ගෙනහැර පෑවෝය: “ඒ දානියෙල්ගේ දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව ගැන ඔහුට විරුද්ධව කාරණයක් අල්ලාගත්තොත් මිස නැත්නම් ඔහුට විරුද්ධව කාරණයක් අපට සම්බ නොවන්නේය.” (දානියෙල් 6:4, 5) දානියෙල් දෙවියන්වහන්සේට දිනපතා යාච්ඤා කරන බව දැන, ඔවුහු මෙය මරණ දණ්ඩනයක් ලැබිය යුතු වරදක් බවට පත් කිරීමට මං සෙවූහ.
සමහරවිට උසස් නිලධාරීන් හා දිසාපතීන් දානියෙල් කෙරෙහි වෛරයක් පවත්වන්ට ඇත්තේ, “[ඔහු] තුළෙහි උතුම් ආත්මයක් තිබුණු නිසා[ත්], ඔහු [ඔවුන්ට] වඩා උතුම් [වූ නිසාත්,] රජතෙමේ මුළු රාජ්‍යය කෙරෙහි ඔහු පත්කරන්ට සි[තූ]” නිසාත් විය හැක. (දානියෙල් 6:3) දානියෙල්ගේ අවංකකම දූෂණයට හා අල්ලස් ගැනීමට එරෙහිව එතරම් ප්‍රිය නොවූ බලපෑමක් වූවා විය හැක. තත්වය කුමක් වුවත්, “මේදවරුන්ගේද පර්සිවරුන්ගේද ව්‍යවස්ථාව ප්‍රකාරයට තහනම වෙනස් නොවී තිබෙන පිණිස, එය ස්ථිර” කර එය ව්‍යවස්ථාවේ කොටසක් බවට පත් කිරීමටත් හැකි වන පිණිස නියෝගයක් පනවා එයට අත්සන් තැබීමට මෙම මිනිස්සු රජුව කැමති කරවාගත්තෝය.—දානියෙල් 6:8, 9.
දානියෙල් ස්ථිරව සිටියි
නව ව්‍යවස්ථාව පිළිබඳව දැනගැනීමෙන් පසු, දානියෙල් යෙහෝවඃවහන්සේට යාච්ඤා කිරීම නතර කළේද? කිසිසේත් නැත! ඔහු “ඊට පළමු කළාක්මෙන්” ඔහුගේ නිවසේ උඩු මහලේ කාමරයේ දණගසා දිනකට තුන් වරක් දෙවියන්වහන්සේට යාච්ඤා කළේය. (දානියෙල් 6:10) ඔහු යාච්ඤා කරමින් සිටියදී, ඔහුගේ සතුරෝ “ඇතුළට වැද, . . . දානියෙල් තමාගේ දෙවියන්වහන්සේ ඉදිරියෙහි යාච්ඤා හා කන්නලව්කරනවා දුටුවෝය.” (දානියෙල් 6:11) ඔවුන් කාරණය දාරියුස් රජුගේ අවධානයට ගෙන ආ කළ, ඔහු අත්සන් කළ නියෝගය දානියෙල්ව අසු කරන නිසා ඔහු කනගාටු වූයේය. “ඔහු නිදහස්කරන්ට ඉර බසින තුරු උත්සාහ” කළ බව වාර්තාව අපට පවසයි. එහෙත් රජුට පවා තමා පැනවූ නීතිය අවලංගු කළ නොහැකි විය. එනිසා දානියෙල්ව සිංහයන්ගේ ගුහාවට ගෙන යන ලදි; එය පොළොව යට පිහිටි ස්ථානයක් බව පැහැදිලිය. “නුඹ නොකඩවම සේවය කරන නුඹේ දෙවියන්වහන්සේ නුඹ ගළව[නු ඇත]” කියා රජ දානියෙල්ට සහතික කළේය.—දානියෙල් 6:12-16.
නිදි නැති රැයකින් හා නිරාහාරව සිටීමෙන් පසු, දාරියුස් ගුහාව වෙතට විගස ගියේය. දානියෙල් ජීවතුන් අතර හානියකින් තොරවයි සිටියේ! රජුගේ ප්‍රතිචාරය කඩිනම් එකක් විය. විපාකයක් වශයෙන් දානියෙල්ගේ සතුරන් හා ඔවුන්ගේ පවුල්වල අයව සිංහයන්ගේ ගුහාව තුළට දැමීමට ඔහු සැලැස්සුවේය. “මාගේ රාජ්‍යයේ ආණ්ඩුව පවතින සෑමතැනම මනුෂ්‍යයන් දානියෙල්ගේ දෙවියන්වහන්සේ ඉදිරියෙහි වෙවුලා භය [විය යුතුය]” කියා දාරියුස් රාජ්‍යය පුරා පතළ කළේය.—දානියෙල් 6:17-27.
අපට පාඩමක්
දානියෙල් විශ්වාසවන්තකම සඳහා කදිම ආදර්ශයකි. දානියෙල් ‘නොකඩවාම’ යෙහෝවඃවහන්සේට සේවය කළ බව උන්වහන්සේට නමස්කාර නොකළ රජ පවා දුටුවේය. (දානියෙල් 6:16, 20) ‘නොකඩවාම’ යනුවෙන් පරිවර්තනය කර ඇති ඇරමයික මූල වචනයෙන් මූලිකවම අදහස් වන්නේ “චක්‍රයක් තුළ චලනය” යන්නය. ඉන් නොකඩවාම කිරීමක් අදහස් කරයි. යෙහෝවඃවහන්සේ වෙත තිබූ දානියෙල්ගේ නොකැඩෙන පක්ෂපාතකම මෙය කෙතරම් හොඳින් විස්තර කරයිද!
සිංහ ගුහාවෙහි දමනු ලැබීමට බොහෝ කලකට පෙර සිට දානියෙල් නොකඩවාම පැවතීමේ විශේෂ ලක්ෂණය වර්ධනය කළේය. බබිලෝනියේ සිටි යෞවන වහලෙකු වශයෙන්, ඔහු මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ තහනම් කර තිබූ හෝ මිථ්‍යාදෘෂ්ටික පිළිවෙත් මගින් දූෂිත වූ ආහාර හෝ පාන වර්ග අනුභව කිරීම ප්‍රතික්ෂේප කළේය. (දානියෙල් 1:8) පසුව, ඔහු බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙශර්ට දෙවියන්වහන්සේගේ පණිවුඩය ධෛර්යසම්පන්නව ප්‍රකාශ කළේය. (දානියෙල් 4:19-25) බබිලෝනියේ වැටීම සිදුවීමට පැය කිහිපයකට පෙර දානියෙල් බේල්ෂශර් රජුට දෙවියන්වහන්සේගේ විනිශ්චය නිර්භීතව ප්‍රකාශ කළේය. (දානියෙල් 5:22-28) එනිසා දානියෙල්ට සිංහ ගුහාවේ සිටින්ට සිදු වූ විට, ඔහු පිහිටුවාගෙන තිබූ විශ්වාසවන්ත මාර්ගයෙහි ඔහු නොකඩවාම පැවතුණේය.
ඔබටත් යෙහෝවඃවහන්සේට නොකඩවාම සේවය කළ හැක. ඔබ යෞවනයෙක්ද? එසේනම් මේ ලෝකයේ නරක ආශ්‍රය සහ දූෂිත හැසිරීම ප්‍රතික්ෂේප කිරීම මගින් නොකඩවාම පැවතීමේ විශේෂ ලක්ෂණය වර්ධනය කරගැනීමට දැන්මම ක්‍රියා කරන්න. ඔබ දෙවියන්වහන්සේට බොහෝ කලක සිට සේවය කරමින් සිටින්නේ නම්, විශ්වාසවන්තව විඳදරාගැනීමේ විශේෂ ලක්ෂණය පවත්වාගන්න. අත් නොහරින්න; මන්දයත් අප මුහුණ දෙන සෑම පරීක්ෂාවක්ම අප නොකඩවාම යෙහෝවඃවහන්සේට සේවය කිරීමට අධිෂ්ඨානය කර ඇති බව පෙන්වීමට අවස්ථාවක් සලසා දෙන බැවිනි.—පිලිප්පි 4:11-13.
[පාදසටහන]
a “දිසාපතියා” (වචනානුසාරයෙන් අර්ථය වන්නේ “රාජ්‍යයේ ආරක්ෂකයා” යනුය) යන යෙදුම යොමු දක්වන්නේ, පර්සියානු රජු විසින් පරිපාලන දිස්ත්‍රික්කය පුරා ප්‍රධාන පාලකයා ලෙසට සේවය කිරීමට පත් කරන ලද ආණ්ඩුකාරයාටය. රජුගේ නිල නියෝජිතයා වශයෙන් ඔහු බදු එකතු කර, පඬුරු රාජකීය අධිකරණය වෙත යැවීම සඳහා වගකිව යුතුය.