යෙහෝවඃවහන්සේගේ කැමැත්ත කිරීමට උගන්වනු ලැබීම
‘ඔබගේ කැමැත්ත කරන්ට මට උගන්වන්න; මක්නිසාද ඔබ මාගේ දෙවියන්වහන්සේය.’ —ගීතාවලිය 143:10.
1, 2. (අ) අපට උගන්වනු ලැබිය යුත්තේ කුමන අවස්ථාවේදීද; එමෙන්ම කුමන යථාර්ථවාදී අදහසක් ඇතුවද? (ආ) යෙහෝවඃවහන්සේ විසින් උගන්වනු ලැබීම එතරම් වැදගත් වන්නේ මන්ද?
පුද්ගලයෙකු පණැතිව හා ක්‍රියාශීලීව සිටින සෑම දිනකදීම, ඔහුට යම් වටිනා දෙයක් ඉගැන්විය හැක. එය ඔබත් අන්‍යයන් සම්බන්ධයෙනුත් සැබෑවකි. එහෙත් මරණයේදී සිදු වන්නේ කුමක්ද? එම තත්වයේදී යමක් ඉගැන්වීම නැතහොත් හැදෑරීම කළ නොහැක්කකි. මළවුන් ‘කිසිවක් නොදන්නා’ බව බයිබලය පැහැදිලිව කියයි. මනුෂ්‍යවර්ගයාගේ පොදු මිනීවළ වන ෂෙයෝලයෙහි කිසිම දැනගැන්මක් නැත. (දේශනාකාරයා 9:5, 10) අපට ඉගැන්වීම හා දැනුම එක්රැස් කිරීම නිෂ්ඵල දෙයක් බව මෙයින් අදහස් කරනවාද? අපට උගන්වනු ලබන්නේ කුමක්ද යන්නත්, එම දැනුම අප පාවිච්චි කරන්නේ කෙසේද යන්නත් මත එය රඳා පවතී.
2 අපට උගන්වන්නේ ලෞකික දේවල් පමණක් නම්, අපට කල්පවතින අනාගතයක් නැත. කෙසේවෙතත්, සදාකාල ජීවනය නමැති අරමුණ ඇතුව සියලු ජාතීන්වල සිටින දශලක්ෂ ගණන් ජනයාට දිව්‍ය කැමැත්ත උගන්වනු ලැබීම සන්තෝෂයට කාරණයකි. මෙම බලාපොරොත්තුවට පදනම රඳා පවතින්නේ, ජීවනය-ගෙන දෙන දැනුමෙහි උල්පත වන යෙහෝවඃවහන්සේ විසින් උගන්වනු ලැබීම මතය.—ගීතාවලිය 94:9-12.
3. (අ) යේසුස්වහන්සේ දෙවියන්වහන්සේගේ මුල්ම ශිෂ්‍යයා වූ බව කිව හැක්කේ මන්ද? (ආ) මනුෂ්‍යයන්ට යෙහෝවඃවහන්සේ විසින් උගන්වනු ලබන බවට අපහට තිබෙන්නේ කුමන සහතිකයද; එමෙන්ම කුමන ප්‍රතිඵලයක් ඇතුවද?
3 දෙවියන්වහන්සේගේ මුල්ම ශිෂ්‍යයා වශයෙන්, උන්වහන්සේගේ කුලුඳුල් පුත්‍රයාට තම පියාගේ කැමැත්ත කිරීමට උගන්වනු ලැබීය. (හිතෝපදේශ 8:22-30; යොහන් 8:28) එමෙන්ම, මනුෂ්‍යයන් දසදහස් ගණනකට තම පියා විසින් උගන්වනු ලබන බව යේසුස්වහන්සේ ඇඟවූසේක. දෙවියන්වහන්සේගෙන් ඉගෙනගන්නා අප සඳහා තිබෙන අපේක්ෂා මොනවාද? යේසුස්වහන්සේ මෙසේ පැවසූසේක: “සියල්ලෝම දෙවියන්වහන්සේ විසින් උගන්වනු ලබන්නෝයයි අනාගතවක්තෘවරුන්ගේ ලියවිලිවල ලියා තිබේ. පියාණන්වහන්සේගෙන් අසා ඉගෙනගත් සියල්ලෝම මා ළඟට එති. . . . සැබවක් සැබවක් නුඹලාට කියමි—අදහන්නාට සදාකාල ජීවනය ඇත්තේය.”—යොහන් 6:45-47.
4. දශලක්ෂ ගණන් ජනයාට දිව්‍ය ඉගැන්වීම් බලපාන්නේ කෙසේද; එමෙන්ම ඔවුන්ට තිබෙන්නේ කුමන අපේක්ෂාද?
4 යේසුස්වහන්සේ උපුටා දක්වමින් සිටියේ යෙසායා 54:13නි. එය යොමු කළේ දෙවියන්වහන්සේගේ සංකේතවත් ස්ත්‍රිය වන ස්වර්ගික සියොන් වෙතටය. එම අනාවැකිය විශේෂයෙන්ම අදාළ වූයේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ආත්මයෙන් ජනිත කරන ලද ගෝලයන් 1,44,000දෙනා වන ඇගේ පුත්‍රයන්ටය. එම ආත්මික පුත්‍රයන්ගෙන් ඉතිරි කොටසක්, අදදින ක්‍රියාශීලී වෙමින්, ලෝක ව්‍යාප්ත ඉගැන්වීමේ වැඩසටහනක පෙරමුණෙහි සිටිති. ප්‍රතිඵලයක් වශයෙන්, “මහත් සමූහයක්” සාදන වෙනත් අය දශලක්ෂ ගණනක්ද, යෙහෝවඃවහන්සේ විසින් උගන්වනු ලැබීමෙන් ප්‍රයෝජන ලබති. මරණය නමැති බාධාව නොමැතිව දිගටම ඉගෙනගැනීමේ අද්විතීය අපේක්ෂාව ඔවුන් සතුය. ඒ කෙසේද? ඇත්තෙන්ම, ඉතා ඉක්මනින් අප කරා එළඹෙන “මහත් පීඩා[වෙන්]” ගැළවීමත්, පාරාදීස පොළොවක සදාකාල ජීවනය භුක්තිවිඳීමේ ප්‍රස්තාවත් ඔවුන් ඉදිරියෙහි තිබෙන නිසාය.—එළිදරව් 7:9, 10, 13-17.
දේවකැමැත්ත කිරීම මත වැඩි අවධානයක්
5. (අ) වර්ෂ 1997 සඳහා වාර්ෂික පදය කුමක්ද? (ආ) ක්‍රිස්තියානි රැස්වීම්වලට පැමිණීම ගැන අපට හැඟිය යුත්තේ කෙසේද?
5 වර්ෂ 1997දී, ලොව පුරා සභාවන් 80,000කට වැඩි ගණනක යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ ගීතාවලිය 143:10හි මෙම ආරම්භක වදන් සිහියේ තබාගන්නෝය: ‘ඔබගේ කැමැත්ත කරන්ට මට උගන්වන්න.’ වර්ෂ 1997 සඳහා වාර්ෂික පදය එයයි. සභා රැස්වීම්, දිව්‍ය අධ්‍යාපනය ලැබිය හැකි කැපීපෙනෙන තැනක් බවටත්, එහිදී අපට උපදෙස් ලැබීමේ නිරන්තර වැඩසටහනකට සහභාගි විය හැකි බවටත්, රාජ්‍ය ශාලාවල පැහැදිලිව දක්වා තිබෙනු ඇති එම වදන්, සිහිගැන්වීමක් සේ ක්‍රියා කරනු ඇත. අපේ උදාර උපදේශකයාණන් විසින් උගන්වනු ලැබීමට රැස්වීම්වලදී අපේ සහෝදරයන් හා එක්වෙද්දී, ගීතිකාකරුට හැඟුණාක් මෙන් අපටත් හැඟිය හැක; ඔහු මෙසේ ලීවේය: “ස්වාමීන්ගේ ගෘහයට යමුයයි ඔවුන් මට කී විට මම සන්තෝෂවීමි.”—ගීතාවලිය 122:1; යෙසායා 30:20, NW.
6. දාවිත්ගේ වචනවලින් කියනවා නම්, අප පිළිගන්නේ කුමක්ද?
6 ඔව්, අපේ විරුද්ධකාරයා වූ යක්ෂයාගේ හෝ අසම්පූර්ණ මනුෂ්‍යයන්ගේ හෝ කැමැත්ත වෙනුවට, දෙවියන්වහන්සේගේ කැමැත්ත කිරීමට උගන්වනු ලැබීම අපේ ආශාව වේ. එබැවින්, දාවිත් මෙන්, අප නමස්කාර කරන හා සේවය කරන දෙවියන්වහන්සේව අපි මෙසේ පිළිගන්නෙමු: “මක්නිසාද ඔබ මාගේ දෙවියන්වහන්සේය. ඔබගේ ආත්මය යහපත්ය; අවංකකමේ දේශයෙහි මා ගෙනගිය මැනව.” (ගීතාවලිය 143:10) බොරුකාර මිනිසුන්ගේ ආශ්‍රයට පටලැවීමට කැමැත්තක් දක්වන්නේ නැතුව, යෙහෝවඃවහන්සේගේ නමස්කාරය සිදු කරනු ලැබූ ස්ථානයෙහි සිටීමට දාවිත් වැඩි මනාපයක් දැක්වීය. (ගීතාවලිය 26:4-6) තම පියවර මෙහෙයවීමට දෙවියන්වහන්සේගේ ආත්මය සමඟින්, දාවිත්ට ධර්මිෂ්ඨකමේ මාවත්වල පිය මැනීමට හැකි විය.—ගීතාවලිය 17:5; 23:3.
7. දෙවියන්වහන්සේගේ ආත්මය ක්‍රිස්තියානි සභාව කෙරෙහි ක්‍රියාත්මක වී තිබෙන්නේ කෙසේද?
7 වඩාත් ශ්‍රේෂ්ඨ දාවිත් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ප්‍රේරිතයන්ට සහතික කළේ, ශුද්ධාත්මය ඔවුන්ට සියල්ල උගන්වන බවත්, උන්වහන්සේ ඔවුන්ට කියා තිබුණු දේවල් මතක් කිරීමට උපකාර වන බවත්ය. (යොහන් 14:26) පෙන්තකොස්ත දා පටන්, යෙහෝවඃවහන්සේ තම වචනයෙහි අන්තර්ගත “දෙවියන්වහන්සේගේ ගැඹුරු දේවල්” ප්‍රගතිශීලීව එළිදරව් කොට ඇත. (1 කොරින්ති 2:10-13) උන්වහන්සේ මෙය කර තිබෙන්නේ, “විශ්වාසවූ නුවණ ඇති දාසයා” හැටියට යේසුස්වහන්සේ නම් කළ දෘශ්‍යමාන මාධ්‍යයක් තුළිනි. ලොව පුරා දෙවියන්වහන්සේගේ ජනයාගේ සභාවල ඉගැන්වීමේ වැඩසටහනේ සලකා බලනු ලබන ආත්මික ආහාර සපයන්නේ එම දාසයාය.—මතෙව් 24:45-47.
අපගේ රැස්වීම්වලදී යෙහෝවඃවහන්සේගේ කැමැත්ත උගන්වනු ලැබීම
8. මුරටැඹ පාඩමට සහභාගි වීම එතරම් අගනා දෙයක් වන්නේ මන්ද?
8 සතිපතා සභා මුරටැඹ පාඩමෙහි සාකච්ඡා කරන තොරතුරු නිතරම වාගේ බයිබල් ප්රතිපත්තිවල අදාළ වීම මත පදනම් වේ. ජීවිතයේ සිත්තැවුල් සමඟ කටයුතු කිරීමට මෙය අපට නිසැකවම උපකාර කරයි. වෙනත් අධ්‍යයනයන්වලදී ගැඹුරු ආත්මික සත්‍යතා හෝ බයිබල් අනාවැකි සලකා බලනු ලැබේ. එවැනි පාඩම්වලදී අපට මොනතරම් දේවල් උගන්වනු ලැබේද! බොහෝ රටවල මෙම රැස්වීම් සඳහා රාජ්‍ය ශාලා මුළුමනින්ම පාහේ පිරී පවතී. එහෙත් රටවල් කිහිපයකම, රැස්වීම්වලට පැමිණෙන සංඛ්‍යාව අඩු වී තිබේ. එයට හේතුව කුමක්ද කියා ඔබ සිතුවාද? “ප්‍රේමයටද යහපත් ක්‍රියාවලටද පොලඹවන පිණිස” නිතිපතා එකට රැස්වීම සඳහා ඇතැම් අය බාහිර රැකියාව බාධාවක් කරගන්නවා විය හැකිද? එසේ නැතහොත්, සෑම රැස්වීමකටම පැමිණීම අපහසු කරවමින්, විනෝදයට හෝ රූපවාහිනිය නැරඹීමට බොහෝ කාලයක් වැය කරනවා විය හැකිද? හෙබ්‍රෙව් 10:23-25හි තිබෙන දේවානුභාවය ලත් ආඥාව සිහියේ තබාගන්න. “ඒ දවස ළංවන බව” අපට පෙනෙන නිසා, මේ දැන් දිව්‍ය උපදෙස් සඳහා එකට එක්රැස්වීම ඊටත් වඩා වැදගත් නොවේද?
9. (අ) දේවසේවය සඳහා, සේවා රැස්වීමට අපව සන්නද්ධ කළ හැක්කේ කෙසේද? (ආ) සාක්ෂිදැරීම ගැන අපට තිබිය යුත්තේ කෙබඳු ආකල්පයක්ද?
9 දෙවියන්වහන්සේගේ සේවකයන් හැටියට සේවය කිරීම අපේ මූලික වගකීම්වලින් එකකි. මෙය ඵලදායී ලෙස ඉටු කරගත හැකි ආකාරය ගැන අපට ඉගැන්වීම සඳහා සේවා රැස්වීම සැලසුම් කර තිබේ. ජනයා වෙත එළඹිය හැකි ආකාරය, කුමක් පැවසිය යුතුද, හිතකර ප්‍රතිචාරයක් ලැබෙන විට ප්‍රතික්‍රියා කළ යුතු විදිහ මෙන්ම ජනයා අපේ පණිවිඩය ප්‍රතික්ෂේප කරන විට පවා කළ යුතු දේ ගැන ඉගෙනගැනීමට අපට අවස්ථාව ලැබේ. (ලූක් 10:1-11) මෙම සතිපතා රැස්වීමේදී ඵලදායී ක්‍රම සාකච්ඡා කොට නිරූපණය කරනු ලබන විට, ගෙයින් ගෙට යන විට පමණක් නොව, නමුත් වීථිවල, රථ ගාල්වල, මහජන ප්‍රවාහණ පහසුකම්වල, ගුවන් තොටුපොළවල, ව්‍යාපාරයේදී හෝ පාසැල්වලදී දේශනා කරන විට ජනයා කරා ළංවීමට අපි වඩාත් හොඳ සූදානමකින් සිටින්නෙමු. ‘ඔබගේ කැමැත්ත කරන්ට මට උගන්වන්න’ යන අපේ ඉල්ලීම පරිදි, අපේ ස්වාමියා උනන්දු කළ ආකාරයට ක්‍රියා කිරීමේ අරමුණින්, සෑම ප්‍රස්තාවකින්ම ප්‍රයෝජන ගැනීමට අපට වුවමනා වනු ඇත: “එසේම මනුෂ්‍යයන් . . . ස්වර්ගයෙහි සිටින නුඹලාගේ පියාණන්වහන්සේට ගෞරවකරන පිණිස නුඹලාගේ ආලෝකය ඔවුන් ඉදිරියේ බබළාවා.”—මතෙව් 5:16.
10. ‘සුදුස්සන්ට’ සැබවින්ම උපකාර කරන්ට අපට හැක්කේ කෙසේද?
10 එවැනි සභා රැස්වීම්වලදී, අන්‍යයන්ව ගෝලයන් කිරීමටත් අපට උගන්වනු ලැබේ. උනන්දුවක් සොයාගනු ලබන විට හෝ, පොත් පත් තබාගියායින් පසුව, නැවත බැලීම් කිරීමේදී අපේ ඉලක්කය වන්නේ නිවාස බයිබල් පාඩම් ආරම්භ කිරීමයි. එක් අර්ථයකින් ගත් කල, යේසුස්වහන්සේ අණ කර තිබූ දේ ඉගැන්වීම සඳහා, ගෝලයන් ‘සුදුස්සන් සමඟ නැවතී සිටීමට’ මෙය සමානය. (මතෙව් 10:11; 28:19, 20) සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම යන පොත වැනි විශිෂ්ට ආධාරක තිබීමෙන්, අපේ සේවය සම්පූර්ණව කිරීමට අපි ඇත්තෙන්ම මනා ලෙස සන්නද්ධ වී සිටින්නෙමු. (2 තිමෝති 4:5) හැම සතියක් පාසාම, ඔබ සේවා රැස්වීමට හා දිව්‍යාණ්ඩු සේවා පාසැලට යන විට, දෙවියන්වහන්සේගේ කැමැත්ත කරන සුදුසු සමර්ථකම් ඇති දේවසේවකයෙකු වීමට ඔබට සුදුසුකම් අත් කර දෙන උපකාරවත් කාරණා තේරුම්ගෙන, ඒවා යොදාගැනීමට වෑයම් කරන්න.—2 කොරින්ති 3:3, 5; 4:1, 2.
11. මතෙව් 6:33හි තිබෙන වචන කෙරෙහි ඇතමුන් ඇදහිල්ල විදහාපෙන්වා තිබෙන්නේ කෙසේද?
11 දෙවියන්වහන්සේගේ කැමැත්ත නම්, අප “පළමුකොට . . . රාජ්‍යයද උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමද” දිගටම ‘සෙවීමයි.’ (මතෙව් 6:33) ඔබෙන් මෙසේ අසන්න: ‘මගේ [හෝ මගේ සහකරුගේ හෝ සහකාරියගේ] බාහිර රැකියාවෙන් බලාපොරොත්තු වන දේ රැස්වීම්වලට පැමිණෙන එකට බාධාවක් වේ නම්, මේ ප්‍රතිපත්ති අදාළ කිරීමට මට පුළුවන් වෙන්නේ කොහොමද?’ ආත්මික වශයෙන් මේරූව සිටින බොහෝදෙනෙක් තත්වය ගැන තම ස්වාමිවරුන්ට කතා කිරීමට පියවර ගනු ඇත. සභා රැස්වීම්වලට යෑම සඳහා හැම සතියක් පාසාම තමාට නිවාඩු අවශ්‍ය බව එක් පූර්ණ-කාලීන සේවිකාවක් තම ස්වාමියාට දැන්වූවාය. ඔහු ඇගේ ඉල්ලීමට එකඟ විය. එහෙත් රැස්වීම්වලදී සිදු වන්නේ කුමක්ද කියා දැනගැනීමට කුතුහලයෙන් සිටි ඔහු, පැමිණිය හැකිදැයි විමසුවේය. එහිදී මතු පැමිණෙන දිස්ත්‍රික් සමුළුවක් ගැන නිවේදනයක් ඇසීමට ඔහුට අවස්ථාව ලැබිණ. එහි ප්‍රතිඵලයක් වශයෙන්, සමුළුවේ සම්පූර්ණ දවසක් ගත කිරීමට එම ස්වාමියා සැලසුම් යෙදුවේය. මෙම උදාහරණයෙන් ඔබට ඉගෙනගත හැක්කේ කුමන පාඩමක්ද?
දේවභක්තික දෙමාපියන් විසින් යෙහෝවඃවහන්සේගේ කැමැත්ත උගන්වනු ලැබීම
12. දරුවන්ට යෙහෝවඃවහන්සේගේ කැමැත්ත උගන්වන්ට යනවා නම්, ක්‍රිස්තියානි දෙමාපියන් ඉවසිල්ලෙන් හා ස්ථිරභාවයකින් කුමක් කළ යුතුද?
12 එහෙත් දිව්‍ය කැමැත්ත කිරීමට උගන්වනු ලැබීමට තිබෙන සැපයුම සභා රැස්වීම් හා සමුළුවලට පමණක් සීමා වී නැත. යෙහෝවඃවහන්සේට ප්‍රශංසා ගෙන දී උන්වහන්සේගේ කැමැත්ත කිරීම සඳහා, තම දරුවන්ව පුහුණු කොට, හික්මවා, ඇති දැඩි කිරීමට දේවභක්තික දෙමාපියන්ට ආඥා කොට තිබේ. (ගීතාවලිය 148:12, 13; හිතෝපදේශ 22:6, 15) එසේ කිරීමට නම්, ‘අසා, ඉගෙනගත’ හැකි රැස්වීම්වලට අපේ “බාලයන්[ව]” ගෙන යා යුතුය. එහෙත් නිවසේදී ශුද්ධ ලියවිලිවලින් ඔවුන්ට ඉගැන්වීම ගැන කුමක් කිව හැකිද? (ද්විතීය කථාව 31:12; 2 තිමෝති 3:15) බොහෝ පවුල් අවංකව නිතිපතා පවුලේ බයිබල් පාඩමක් කිරීමට තැත් කළත්, වැඩි කාලයක් යන්ට පෙර එය ක්‍රමක්‍රමයෙන් අඩාල වී නතර වී යෑමට ඉඩහැර තිබේ. ඔබේ අද්දැකීම එයට සමානද? එලෙස නිතිපතා පාඩමක් කිරීමට වූ නිර්දේශය නුසුදුසු බව හෝ ඔබේ පවුලේ තත්වය ඉතා වෙනස් නිසා, එය ඔබට ප්‍රායෝගික නොවන බව හෝ නිගමනය කරන්ට යනවාද? දෙමාපියෙනි, ඔබේ තත්වය කුමක් වෙතත්, 1995 අගෝස්තු 1 මුරටැඹ සඟරාවෙහි තිබෙන “අපගේ ධනවත් ආත්මික උරුමය” හා “අඛණ්ඩ උත්සාහයේ විපාක” යන කදිම ලිපි කරුණාකර සලකා බලන්න.
13. දිනපදය සලකා බැලීමෙන් පවුල්වලට ප්‍රයෝජන නෙළාගත හැක්කේ කෙසේද?
13 දිනපතා ශුද්ධ ලියවිලි පරීක්ෂා කිරීම යන්නෙන් දිනපදය සලකා බැලීම පුරුද්දක් කරගැනීමට පවුල්වලට දිරිගන්වනු ලැබේ. පදය හා අදහස් නිකම් කියවීම හොඳ දෙයකි; නමුත් පදය සාකච්ඡා කර අදාළ කිරීම ඊටත් වඩා ප්‍රයෝජනදායකය. නිදසුනක් හැටියට, එපීස 5:15-17 සාකච්ඡා කෙරේ නම්, පෞද්ගලික පාඩම, පූර්ණ-කාලීන සේවයෙහි යම් අංගයක සහභාගි වීම සහ වෙනත් දිව්‍යාණ්ඩු පැවරුම් දැරීම සඳහා, ‘ප්‍රස්තා ඇති කාලය මිල දී’ ගත හැකි ආකාරය ගැන කාරණා විමසා බැලීමට පවුලේ සාමාජිකයන්ට පුළුවන. ඔව්, දිනපදය පවුලක් වශයෙන් සාකච්ඡා කිරීම, එක් කෙනෙකුට හෝ කිහිපදෙනෙකුට හෝ ‘යෙහෝවඃවහන්සේගේ කැමැත්ත කිමෙක්ද කියා [වඩාත් හොඳින්] තේරුම්ගැනීමට’ මඟ පෑදිය හැක.
14. ද්විතීය කථාව 6:6, 7 අඟවන ආකාරයට, දෙමාපියන් කුමනාකාරයේ ගුරුවරුන් විය යුතුද; ඒ සඳහා අවශ්‍ය වන්නේ කුමක්ද?
14 දෙමාපියන් තම දරුවන්ට උත්සාහවන්තව ඉගැන්විය යුතුය. (ද්විතීය කථාව 6:6, 7) එහෙත්, ඔවුන්ගේ දරු දැරියන්ට නිකම්ම දේශනාවක් දීමට හෝ විධාන කිරීමට එය සීමා වන්නේ නැත. පියෙකු හා මවක සවන් දීමත් අවශ්‍යය. එවිට තේරුම් කළ යුතු දේ, පැහැදිලි කළ යුතු දේ, නිදර්ශනයකින් දැක්විය යුතු දේ හෝ නැවත නැවත කිව යුතු දේ කුමක්ද කියා වඩාත් හොඳින් දැනසිටීමට ඔවුන්ට පුළුවන් වේවි. එක් ක්‍රිස්තියානි පවුලක, දෙමාපියන් විවෘතව අදහස් හුවමාරු කිරීමට මඟ පාදන්නේ, දරුවන්ට නොතේරෙන හෝ ඔවුන්ට වධ දෙන දේවල් ගැන ප්‍රශ්න ඇසීමට ඔවුන්ට දිරිගැන්වීමෙනි. මෙසේ, යෙහෝවඃවහන්සේට ආරම්භයක් නැතැයි යන්න තේරුම්ගැනීමට නහඹර වියේ පුතෙකුට අමාරු වූ බව ඔවුන්ට දැනගැනීමට හැකි විය. කාලයට හා හිස් අවකාශයට නිමක් නැති බව පිළිගෙන තිබෙන බවට පෙන්නුම් කරන වොච් ටවර් සමිතියේ ප්රකාශනවල තිබූ තොරතුරු පාවිච්චි කිරීමට එම දෙමාපියන්ට හැකි විය. කාරණය පැහැදිලි කිරීමට එය උපකාරවත් වූ අතර, ඔවුන්ගේ පුතා එයින් සෑහීමට පත් විය. එනිසා ඔබේ දරුවන්ගේ ප්‍රශ්නවලට පැහැදිලි හා ශුද්ධ ලියවිලි මත පදනම් කරගත් උත්තර දීමට කාලය ගෙන, දෙවියන්වහන්සේගේ කැමැත්ත කිරීම ඉතා තෘප්තිකර දෙයක් විය හැකි බව දැකගැනීමට ඔවුන්ට උපකාර කරන්න. අදදින දෙවියන්වහන්සේගේ සෙනඟ වන බාල මහලු සියල්ලන්ට උගන්වනු ලබන වෙනත් දේ මොනවාද?
ප්‍රේම කිරීමටත් සටන් කිරීමටත් උගන්වනු ලැබීම
15. අපේ සහෝදර ප්‍රේමයේ අව්‍යාජකම පරීක්ෂාවට ලක් විය හැක්කේ මොන අවස්ථාවකදීද?
15 යේසුස්වහන්සේගේ අලුත් ආඥාවට එකඟව, “එකිනෙකාට ප්‍රේමකරන්ට” අප ‘දෙවියන්වහන්සේගෙන් ඉගෙනගනු ලැබේ.’ (1 තෙසලෝනික 4:9) නිසංසල මෙන්ම හිතකර වාතාවරණයක් තිබෙන විට, සියලු සහෝදරයන්ට අප ප්‍රේම කරනවා කියා හැඟීමට ඉඩ කඩ තිබේ. එහෙත් පෞද්ගලික එකඟ නොවීම් පැනනඟී නම්, නැතහොත් වෙනත් ක්‍රිස්තියානියෙකු කරන කියන දෙයින් අප අමනාපයට පත් වේ නම් සිදු වන්නේ කුමක්ද? මෙවැනි අවස්ථාවකදී, අපේ ප්‍රේමයේ අව්‍යාජභාවය පරීක්ෂාවට ලක් විය හැක. (2 කොරින්ති 8:8, සසඳන්න.) එවැනි අවස්ථාවලදී කළ යුතු දේ සම්බන්ධයෙන් බයිබලය අපට උගන්වන්නේ කුමක්ද? එක දෙයක් නම්, සර්ව සම්පූර්ණ ආකාරයකින් ප්‍රේමය පෙන්වීමට වෑයම් කිරීමයි. (1 පේතෘස් 4:8) අපේම කාරණා පමණක් සෙවීම, සුළු දුර්වලකම් ගැන කුපිත වීම හෝ වරදක් ගණන් තබාගැනීම යනාදියෙන් වැළකී, ප්‍රේමයෙන් පව් රාශියක් වසාලීමට අප උත්සාහ දැරිය යුතුය. (1 කොරින්ති 13:5) මෙය දේවකැමැත්ත කියා අප දන්නවාට සැකයක් නැත; ඒ මන්දයත් උන්වහන්සේගේ වචනය ඒ දෙය උගන්වන බැවිනි.
16. (අ) ක්‍රිස්තියානීන්ට උගන්වා තිබෙන්නේ කුමන ආකාරයක යුද්ධයක නිරත වී සිටීමටද? (ආ) අප සන්නද්ධ වී සිටින්නේ කෙසේද?
16 බොහෝදෙනෙකු ප්‍රේමය හා යුද්ධ කිරීම එකට සම්බන්ධ නොකළත්, අපට උගන්වනු ලබන තවත් දෙයකි යුද්ධ කිරීම. එහෙත් මෙය සුවිශේෂ යුද්ධ කිරීමක් වේ. දාවිත්ගේ කාලයෙහි ඉශ්‍රායෙල්ගේ සතුරන්ට එරෙහිව සැබවින්ම සටන් වැදීම එයට ඇතුළත් වුවද, යුද්ධමය කටයුතුවල නිරත විය යුතු අන්දම ගැන ඉගෙනීම සඳහා යෙහෝවඃවහන්සේ කෙරෙහි රඳා සිටිය යුතු බව දාවිත් තේරුම්ගත්තේය. (1 සාමුවෙල් 17:45-51; 19:8; 1 රාජාවලිය 5:3; ගීතාවලිය 144:1) අපේ වර්තමාන සටන ගැන කුමක් කියන්න පුළුවන්ද? අපේ අවිආයුධ මාංසික ඒවා නොවේ. (2 කොරින්ති 10:4) අපේ සටන ආත්මික එකක්ය. ඒ සඳහා අප ආත්මික ආයුධ කට්ටලයකින් සැරසී සිටිය යුතුය. (එපීස 6:10-13) යෙහෝවඃවහන්සේ තම වචනයෙන් හා එක්රැස් කරන ලද ජනයා තුළින්, සාර්ථක ආත්මික සටනක යෙදීමට අපට උගන්වනසේක.
17. (අ) අපව වෙනතකට යොමු කිරීම සඳහා සාතන් යොදන උපායන් මොනවාද? (ආ) කුමක් මඟහැරීම නුවණට හුරු දෙයක්ද?
17 එතරම් වැදගත් නැති කාරණාවලට අපව යොමු කිරීමේ වෑයමක් වශයෙන්, මුළා කරවනසුලු, සූක්ෂ්ම ක්‍රම යොදාගනිමින් යක්ෂයා ලෝකයේ අංගයන්, ඇදහිල්ල අත්හැර ගිය අය හා සත්‍යයට විරුද්ධ වන වෙනත් අයව බොහෝදුරට උපයෝගි කරගනී. (1 තිමෝති 6:3-5, 11; තීතස් 3:9-11) කෙළින්, ඍජු ප්‍රහාරයක් එල්ල කිරීමෙන් අපව පරාජය කිරීමට තමාට එතරම් අවස්ථාවක් නැතැයි කියා ඔහු සිතනවා හා සමානයි. එබැවින්, ආත්මික වැදගත්කමකින් තොර වූ, නුරුස්නා දේ ප්‍රකාශ කිරීමට හා වැදගත්කමක් නැති දේ ගැන ප්‍රශ්න කිරීමට සැලැස්වීමෙන් අපව වැට්ටවීමට ඔහු වෑයම් කරයි. අවදිව සිටින සෙබළුන් වශයෙන්, ඍජුව එල්ල වන ප්රහාරයන් සම්බන්ධයෙන් අවදිව සිටින්නාක් මෙන්, එවැනි අන්තරාවන් සම්බන්ධයෙනුත් අප අවදිව සිටිය යුතුය.—1 තිමෝති 1:3, 4.
18. තවදුරටත් අප වෙනුවෙන් ජීවත් නොවීමට ඇත්තෙන්ම සම්බන්ධ වන්නේ කුමක්ද?
18 අප මනුෂ්‍යයන්ගේ ආශාවන්ටවත් ජාතීන්ගේ කැමැත්තටවත් දිරි දෙන්නේ නැත. අප තවදුරටත් අප වෙනුවෙන් ජීවත් නොවිය යුතු බව යෙහෝවඃවහන්සේ යේසුස්වහන්සේගේ ආදර්ශය තුළින් අපට උගන්වා ඇත; ඒ වෙනුවට අප ක්‍රිස්තුස් යේසුස්වහන්සේට තිබූ මානසික ස්වභාවයෙන් සැරසී සිට දෙවියන්වහන්සේගේ කැමැත්ත වෙනුවෙන් ජීවත් විය යුතුය. (2 කොරින්ති 5:14, 15) අතීතයේදී, වටිනා කාලය අපතේ හරිමින්, සීමාව ඉක්මවූ ඉතා සල්ලාල ජීවිතයක් අප ගත කළා විය හැක. බීමත්කම, මංගල්‍යඝෝෂා හා දුරාචාරය මෙම දුෂ්ට ලෝකයේ අනිවාර්ය ලක්ෂණ වේ. දැන් දෙවියන්වහන්සේගේ කැමැත්ත කිරීමට අපට උගන්වනු ලබන නිසා, මෙම දූෂිත ලෝකයෙන් වෙන්ව සිටීම ගැන අප කෘතඥපූර්වක වන්නේ නැද්ද? එබැවින් දූෂ්‍ය කරවන ලෞකික ක්‍රියා පිළිවෙත්වලට හවුල් වන්නේ නැතුව, ආත්මික ලෙස වෙහෙස මහන්සි වී සටන් කිරීම අපේ අධිෂ්ඨානය කරගනිමු.—1 පේතෘස් 4:1-3.
අපටම ප්‍රයෝජන සලසාගැනීම සඳහා අපට ඉගැන්වීම
19. යෙහෝවඃවහන්සේගේ කැමැත්ත උගන්වනු ලැබීම හා එය කිරීම කුමන ප්රයෝජනවලට මඟ විවෘත කරයිද?
19 යෙහෝවඃවහන්සේගේ කැමැත්ත කිරීමට උගන්වනු ලැබීම අපට ඉමහත් ප්‍රයෝජනයක් ලබා දෙන බව තේරුම්ගැනීම අත්‍යවශ්‍යය. ඇත්තෙන්ම, ඉගෙනීමේ අරමුණින් කිට්ටු අවධානයක් දීමෙන් හා ඉන් අනතුරුව උන්වහන්සේගේ පුත්‍රයා මෙන්ම උන්වහන්සේගේ වචනය හා එක්රැස්වූ ජනයා තුළින් ලැබෙන උපදෙස් අනුගමනය කිරීමෙන් අප අපේ කොටස සම්පූර්ණ කළ යුතු බව අමුතුවෙන් කියන්ට ඕනෑ නැත. (යෙසායා 48:17, 18; හෙබ්‍රෙව් 2:1) එසේ කිරීමෙන්, මෙම කැළඹිලි සහිත කාලයේදී ස්ථිරව සිටීමටත්, ඉදිරියෙහි තිබෙන මහත් දුෂ්කරතාවලට සාර්ථකව මුහුණ දීමටත් අපට ශක්තිය ලැබෙනවා ඇත. (මතෙව් 7:24-27) මේ දැන් පවා දෙවියන්වහන්සේගේ කැමැත්ත කිරීමෙන් අප උන්වහන්සේව සතුටු කරන අතර, අපේ යාච්ඤාවලට පිළිතුරු ලැබෙන බව අපට සහතික විය හැක. (යොහන් 9:31; 1 යොහන් 3:22) එවිට නියම සන්තෝෂය අද්දැකීමට අපට හැකි වේවි.—යොහන් 13:17.
20. වර්ෂ 1997 පුරා ඔබ වාර්ෂික පදය දකිත්ම, කුමක් මත මෙනෙහි කිරීම යහපතක් වනු ඇද්ද?
20 වර්ෂ 1997 පුරාම, ගීතාවලිය 143:10 පදනම් කරගත් ‘ඔබගේ කැමැත්ත කරන්ට මට උගන්වන්න,’ යන වාර්ෂික පදය කියවීමට හා සලකා බැලීමට අප ලබන්නාවූ ප්‍රස්තා එමටය. මෙසේ කරන අතරතුරේදී, උගන්වනු ලැබීම සඳහා දෙවියන්වහන්සේ අප වෙනුවෙන් කර තිබෙන ඉහත දක්වනු ලැබූ සැපයුම් ගැන කල්පනා කර බැලීමට අපි එම අවස්ථාවලින් සමහරක් යොදාගනිමු. එමෙන්ම “දෙවියන්වහන්සේගේ කැමැත්ත කරන්නා සදාකාලේටම” පවතින බව දන්නා නිසා, වාර්ෂික පදයේ වදන් මත මෙනෙහි කිරීම, එම කන්නලව්වට එකඟව නොවරදවාම ක්‍රියා කිරීම සඳහා පෙලඹවීමක් හැටියට යොදාගනිමු.—1 යොහන් 2:17.
ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?
◻ යෙහෝවඃවහන්සේගේ කැමැත්ත කිරීමට උගන්වනු ලබන්නෝ කවරහුද?
◻ වර්ෂ 1997 පුරා ගීතාවලිය 143:10 අපට බලපෑ යුත්තේ කෙසේද?
◻ යෙහෝවඃවහන්සේගේ කැමැත්ත කිරීමට අපට උගන්වනු ලබන්නේ කෙසේද?
◻ ක්‍රිස්තියානි දෙමාපියන් තම දරුවන්ට උගන්වන විට, ඔවුන්ගෙන් අවශ්‍ය කරන්නේ කුමක්ද?