ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w97 1/1 26-29 පි.
  • දුෂ්ට දේවලට ද්වේෂ කරමු

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දුෂ්ට දේවලට ද්වේෂ කරමු
  • 1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • සභාව පවිත්‍රව තබාගැනීම
  • වැළැක්විය නොහැකි ප්‍රතිවිපාක
  • කැප වූ ක්‍රිස්තියානියෙකු පව් කරන විට
  • ළමයින්ට අතවර කරන්නෙක් ගැන කුමක් කිව හැකිද?
  • දුර්වලකම, දුෂ්ටකම හා පසුතැවිල්ල නිශ්චය කරගැනීම
    1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවඃ වහන්සේ අතිශයින් කමා වන සේක
    1992 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවි දෙන හික්මවීම සැමවිටම පිළිගන්න
    2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔබ කර තිබෙන්නේ සමාව ලැබිය නොහැකි පාපයක්ද?
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w97 1/1 26-29 පි.

දුෂ්ට දේවලට ද්වේෂ කරමු

යෙහෝවා ශුද්ධ දෙවිකෙනෙකි. පුරාණ කාලවලදී, ඔහු ‘ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනැත්තා’ වූ අතර, එවැන්නෙකු වශයෙන් ඔහු, ඉශ්‍රායෙල් පවිත්‍රව, කැළැල් රහිතව සිටිය යුතු බව පවසා සිටියේය. (ගීතාවලිය 89:18) ඔහු තම තෝරාගත් ජනයාට මෙසේ පැවසීය: “මම ශුද්ධ බැවින් නුඹලාත් ශුද්ධව සිටින්න.” (ලෙවී කථාව 11:45) ‘යෙහෝවාගේ කන්දට නඟින්ට’ වුවමනා වූ ඕනෑම කෙනෙකු, “නිර්දෝෂ අත් සහ පිරිසිදු හෘදයක්” ඇතුව සිටිය යුතු විය. (ගීතාවලිය 24:3, 4, NW) නිකම්ම පව්කාර ක්‍රියාවලින් වැළකී සිටීමට වඩා වැඩි යමක් ඊට අයත් විය. ඉන් අදහස් වූයේ “නපුරට ද්වේෂකිරීමය.”—හිතෝපදේශ 8:13.

ඉශ්‍රායෙල් ජාතියට වැරදිසහගත හැසිරීම හඳුනාගෙන ඉන් වැළකී සිටීමට හැකි වන පරිද්දෙන්, යෙහෝවා ප්‍රේමනීයව සවිස්තර නීති රීති පිහිටෙව්වේය. (රෝම 7:7, 12) සදාචාරය පිළිබඳ දැඩි මාර්ගදර්ශක එම නීතිවලට ඇතුළත් විය. කාමමිථ්‍යාචාරය, සමලිංගික ක්‍රියා, සතුන් සමඟ හා තහනම් නෑයන් සමඟ ලිංගික සම්බන්ධකම් පැවැත්වීම යන හැම දෙයක්ම අශුද්ධ වූ ආත්මික දේ කෙලසන දේවල් හැටියට හඳුන්වා දෙන ලදි. (ලෙවී කථාව 18:23; 20:10-17) එවැනි නීචකර ක්‍රියාවලට වරදකරුවන් වූ අයව ඉශ්‍රායෙල් ජාතියෙන් සිඳදමනු ලැබීය.

ආලේප ලත් ක්‍රිස්තියානීන්ගෙන් යුත් සභාව ‘දෙවිඳුන්ගේ ඉශ්‍රායෙල්’ බවට පත් වූ විට, ඔවුන් සඳහා සමාන සදාචාර ප්‍රමිති පිහිටුවන ලදි. (ගලාති 6:16) “නපුරට පිළිකුල්” කිරීම ක්‍රිස්තියානීන්ගෙන් අපේක්ෂා කෙරිණ. (රෝම 12:9) “මා ශුද්ධව සිටින හෙයින් නුඹලාත් ශුද්ධව සිටිය යුතුය” යන ඉශ්‍රායෙල් වෙත යොමු කළ යෙහෝවාගේ වදන් ඔවුන්ටද අදාළ විය. (1 පේතෘස් 1:15, 16) වේශ්‍යාකම, කාමමිථ්‍යාචාරය, සමලිංගික ක්‍රියා, සතුන් සමඟ හා තහනම් නෑයන් සමඟ ලිංගික සම්බන්ධකම් පැවැත්වීම වැනි අශුද්ධ දේවල් මගින් ක්‍රිස්තියානි සභාව දූෂණය නොවිය යුතුව තිබිණ. එවැනි දේවල නොනැවතී නිරත වන අයව දේවරාජ්‍යයෙන් ඉවත් කරනු ලබනවා ඇත. (රෝම 1:26, 27; 2:22; 1 කොරින්ති 6:9, 10; හෙබ්‍රෙව් 13:4) මෙම “අන්තිම දවස්වල” ‘වෙනත් බැටළුවන්ට’ එම ප්‍රමිතිම අදාළ වේ. (2 තිමෝති 3:1; යොහන් 10:16) ප්‍රතිඵලයක් වශයෙන්, ආලේප ලත් ක්‍රිස්තියානීන් මෙන්ම වෙනත් බැටළුවන් පවිත්‍ර වූ සුවදායක සෙනඟක් වන අතර, යෙහෝවාගේ සාක්ෂිකරුවන් වශයෙන් තම දෙවිඳුන්ගේ නම දැරීමට ඔවුන් සමත්ය.—යෙසායා 43:10.

සභාව පවිත්‍රව තබාගැනීම

ඊට වෙනස්ව, ලෝකය ඕනෑම දුරාචාර හැසිරීමකට ඉඩ දෙයි. සැබෑ ක්‍රිස්තියානීන් වෙනස් වුවද, දැන් යෙහෝවාට සේවය කරන බොහෝදෙනෙකු වරක් ලෝකයෙහි සිටි බව ඔවුන් අමතක නොකළ යුතුය. අපේ ශුද්ධ දෙවිඳාණන්ව දැනහඳුනා ගැනීමට කලින්, තම පව්කාර මාංසයේ ආශා හා තෘෂ්ණා සන්සිඳුවාගැනීමට “අනාචාර බහුලත්වය[ක]” යෙදීමට පසුබට නොවූ අය බොහොමයක් සිටිත්. (1 පේතෘස් 4:4) ලෝකයේ නීච ජනයාගේ පිළිකුල්සහගත ක්‍රියා විස්තර කිරීමෙන් පසු, ප්‍රේරිත පාවුල් මෙසේ පැවසීය: “නුඹලාගෙන් සමහරු එබන්දෝව සිටියෝය.” කෙසේවෙතත්, ඔහු තවදුරටත් මෙසේ කීවේය: “නුමුත් ස්වාමීවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්ද අපගේ දෙවියන්වහන්සේගේ ආත්මය . . . තුළද නුඹලා සෝදනු ලැබුවහුය, ශුද්ධකරනු ලැබුවහුය, ධර්මිෂ්ඨකරනු ලැබුවහුය.”—1 කොරින්ති 6:11.

එම ප්‍රකාශය සැනසිල්ල සඳහා මොනතරම් හේතුවක්ද! පුද්ගලයෙකු ජීවිතයෙහි කලින් කළ දේවල් කුමක් වෙතත්, ක්‍රිස්තුස් පිළිබඳ තේජාන්විත ශුභාරංචිය ඔහුගේ හෘදයට බලපාන විට ඔහු වෙනස් වෙයි. ඔහු ඇදහිල්ල දක්වමින් යෙහෝවා දෙවිට පෞද්ගලිකව කැප වෙයි. එතැන් සිට, දෙවිඳුන්ගේ ඇස් හමුවේ පිරිසිදුව සිටින ඔහු, සදාචාරමය අතින් නිර්මල ජීවිතයක් ගත කරයි. (හෙබ්‍රෙව් 9:14) ඔහු කලින් කළ පාපවලට සමාව ලැබී ඇති අතර, ‘ඉස්සරහට තිබෙන දේවල් දෙසම බලාගෙන’ යෑමට ඔහුට පුළුවන.a—පිලිප්පි 3:13, 14; රෝම 4:7, 8.

යෙහෝවා පසුතැවිලි වූ දාවිත්ට මිනීමැරීම හා කාමමිථ්‍යාචාරය සම්බන්ධයෙන් සමාව දුන් අතර, පසුතැවිලි වූ මනස්සේට දුරාචාරමය පිළිම වන්දනාව හා බොහෝ ලේ වැගිරීම සම්බන්ධයෙන් සමාව දුන්නේය. (2 සාමුවෙල් 12:9, 13; 2 ලේකම් 33:2-6, 10-13) අප පසුතැවිලි වී, ඔහු වෙත අවංකකමින් හා නිහතමානීකමින් එළඹෙනවා නම්, අපට සමාව දීමට ඔහු සූදානමින් සිටින බැවින් අපට සැබවින්ම කෘතඥපූර්වක විය හැක. කෙසේවෙතත්, යෙහෝවා දාවිත්ට හා මනස්සේට සමාව දුන්නත්, මෙම පුරුෂයන් දෙදෙනාටම මෙන්ම ඔවුන් සමඟ ඉශ්‍රායෙල් ජාතියටද ඔවුන්ගේ පව්කාර ක්‍රියාවල ප්‍රතිවිපාක සමඟ ජීවත්වීමට සිදු විය. (2 සාමුවෙල් 12:11, 12; යෙරෙමියා 15:3-5) ඒ හා සමානව, යෙහෝවා පසුතැවිලි වන පව්කාරයන්ට සමාව දුන්නත්, ඔවුන් කළ ක්‍රියාවල මඟහැරිය නොහැකි ප්‍රතිවිපාක තිබිය හැක.

වැළැක්විය නොහැකි ප්‍රතිවිපාක

උදාහරණයක් හැටියට, දුරාචාරයෙන් පිරුණු සල්ලාල ජීවිතයක් ගත කිරීමෙන් ඒඩ්ස් හැදෙන මිනිසෙකු, සත්‍යය පිළිගෙන, තම ජීවිතය වෙනස් කොට, කැපවීම හා බව්තීස්මය කරා දියුණු විය හැක. දැන් ඔහු දෙවිඳුන් සමඟ සබඳතාවක්ද අනාගතය සඳහා මහිමාන්විත බලාපොරොත්තුවක්ද ඇති ආත්මික ලෙස පවිත්‍ර වූ ක්‍රිස්තියානියෙකි; නමුත් ඔහුට තවමත් ඒඩ්ස් තිබේ. අන්තිමේදී ඔහු එම රෝගයෙන් මිය යා හැක; මෙය ඔහුගේ කලින් හැසිරීමේ, කනගාටුදායක නමුත් වැළැක්විය නොහැකි ප්‍රතිවිපාකයකි. ඇතැම් ක්‍රිස්තියානීන්ට බරපතළ දුරාචාරයේ ප්‍රතිඵල, වෙනත් ආකාරවලින් දිගටම බලපැවතිය හැක. ඔවුන්ගේ බව්තීස්මයෙන් වසර ගණනාවක් ගත වූවායින් පසුව, සමහරවිට මෙම දේවල පිළිවෙළේ ඔවුන් ජීවත් වන තාක් කල්, ඔවුන් කලින් ගත කළ දුරාචාරමය ජීවන රටාවට නැවත හැරීම සඳහා ඇති වන මාංසයේ පෙලඹීම්වලට එරෙහිව සටන් කිරීමට ඔවුන්ට සිදු විය හැක. යෙහෝවාගේ ආත්මයේ උපකාරය ඇතුව, ඊට විරුද්ධව සිටීමට බොහෝදෙනෙක් සමත් වෙත්. එහෙත් නිරන්තර සටනක යෙදීමට ඔවුන්ට සිදු වේ.—ගලාති 5:16, 17.

ඔවුන් තුළ ඇති වන පෙලඹීම් පාලනය කරන තාක් කල් එවැනි අය පව් නොකරති. එහෙත් ඔවුන් පුරුෂයන් නම්, බලවත් මාංසික පෙලඹීම් සමඟ තවදුරටත් පොරබැදීමට සිදු වන අතරතුර, සභාවේ වගකීම් දැරීමට වීර්යය කිරීමෙන් වැළකී සිටීමට ඔවුන් ඥානවන්තව තීරණය කරනවා විය හැක. (1 තිමෝති 3:1) ඒ ඇයි? සභාව වැඩිමහල්ලන් කෙරෙහි තබන විශ්වාසය ඔවුන්ට අවබෝධ වන නිසාය. (යෙසායා 32:1, 2; හෙබ්‍රෙව් 13:17) ඉතා පෞද්ගලික වූ කාරණා සම්බන්ධයෙන් වැඩිමහල්ලන්ගෙන් උපදෙස් ලබන බවත්, ඔවුන්ට ඉතා රහස්‍ය තත්වයන් සමඟ කටයුතු කිරීමට සිදු වන බවත් ඔවුහු දනිති. අපවිත්‍ර මාංසික තෘෂ්ණා සමඟ නිරන්තර සටනක යෙදෙන පුද්ගලයෙකු වගකීමෙන් යුත් තත්වයක් අත් කරගැනීමට වීර්යය කිරීම ප්‍රේමනීය, ඥානවන්ත හෝ සාධාරණ දෙයක් නොවනු ඇත.—හිතෝපදේශ 14:16; යොහන් 15:12, 13; රෝම 12:1.

බව්තීස්ම වීමට කලින් ළමයින්ට අතවර කළ මිනිසෙකුට, තවත් ප්‍රතිවිපාකයක් තිබිය හැක. ඔහු සත්‍යය ඉගෙනගන්නා විට, සභාව තුළට එම කෲර පාපය ගෙන නොඑමින්, ඔහු පසුතැවිලි වී හැරෙයි. ඉන්පසුව, හොඳ දියුණුවක් ලබමින්, තම වැරදි පෙලඹීම් සම්පූර්ණයෙන්ම මැඩපැවැත්වීමට ඔහු සමත් විය හැක; එමෙන්ම සභාවේ වගකීම් අත් කරගැනීමට පවා ඔහු නැඹුරු විය හැක. එහෙත්, කලින් ළමයින්ට අතවර කළ කෙනෙකු වශයෙන්, සමාජය තුළ ලැබූ අපකීර්තිය නැති කරගැනීමට තවමත් සිදු වේ නම්, කුමක් කිව හැකිද? “නිර්දෝෂවූ, . . . නින්දාවට . . . නොවැටෙන පිණිස ඔහු පිටත අයවලුන්ගෙන් යහපත් සාක්ෂි” ඇති කෙනෙකු වනු ඇද්ද? (1 තිමෝති 3:1-7, 10; තීතස් 1:7) ඔහු එසේ නොසිටිනු ඇත. එබැවින්, සභාවේ වරප්‍රසාද දැරීමට ඔහු සුදුසුකම් ඇතුව නොසිටිනු ඇත.

කැප වූ ක්‍රිස්තියානියෙකු පව් කරන විට

අප දුර්වල බවත්, බව්තීස්මයෙන් පසුව පවා අප පාපයට හසුවිය හැකි බවත් යෙහෝවා තේරුම්ගනී. ප්‍රේරිත යොහන් තම කාලයේ හිටපු ක්‍රිස්තියානීන්ට මෙසේ ලීවේය: “මේ කාරණා නුඹලාට ලියා එවන්නේ නුඹලා පව් නොකරන පිණිසය. යමෙක් පව්කළොත් ධර්මිෂ්ඨවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වන මැදහත්කාරයෙක් පියාණන්වහන්සේ වෙත අපට සිටිනසේක. උන්වහන්සේ අපේ පව් උදෙසා ශාන්තිකර පූජාවය; අපේ පව් උදෙසා පමණක් නොව මුළු ලෝකයාත් උදෙසාය.” (1 යොහන් 2:1, 2) ඔව්, පාපයට හසු වන බව්තීස්ම ලත් ක්‍රිස්තියානීන්, යේසුගේ පූජාව නමැති පදනම මත සැබවින්ම පසුතැවිලි වී, තම වැරදිසහගත ක්‍රියාමාර්ගය අත්හරී නම්, ඔවුන්ට යෙහෝවා සමාව දෙනවා නිසැකය.

මේ සම්බන්ධයෙන් ආදර්ශයක් පළමුවන සියවසේ කොරින්ති සභාව තුළ දැකගත හැකි විය. එම නවක සභාව තුළ තහනම් නෑයෙකු සමඟ කළ වේශ්‍යාකමක් ගැන ප්‍රේරිත පාවුල්ට ආරංචි වූ අතර, ඊට හවුල්ව සිටි මිනිසාව සභා ඇසුරෙන් කපාහැරීමට ඔහු උපදෙස් දුන්නේය. පසුව, එම පව්කාරයා පසුතැවිලි වූ අතර, ඔහුව නැවත පිහිටුවන්ට කියා පාවුල් සභාවට දිරිගැන්වීය. (1 කොරින්ති 5:1, 13; 2 කොරින්ති 2:5-9) මෙසේ, යෙහෝවාගේ ප්‍රේමනීය කරුණාවේ සුවය ගෙන දෙන බලයෙන් හා යේසුගේ මිදීමේ පූජාවේ ඉමහත් අගය තුළින්, එම මිනිසාව තම පාපයෙන් පවිත්‍ර කරන ලදි. ඒ හා සමාන දේවල් අදදිනත් සිදු විය හැක. කෙසේවෙතත්, බරපතළ පාපයක යෙදෙන බව්තීස්ම ලත් පුද්ගලයෙකුට යෙහෝවා හමුවේ සමාව ලැබුණත්, ඔහුගේ පාපය හා බැඳි දිගටම පවතින ප්‍රතිවිපාක තිබිය හැක.—හිතෝපදේශ 10:16, 17; ගලාති 6:7.

උදාහරණයක් හැටියට, කැප වූ යෞවනියක් වේශ්‍යාකමෙහි යෙදෙනවා නම්, කළ දේ ගැන ඇයට ඉමහත් දුකක් ඇති විය හැකි අතර, සභාවේ උපකාරය ඇතුව නැවත හොඳ ආත්මික සෞඛ්‍ය තත්වයක් වෙත එළඹීමට පුළුවන් විය හැක. එහෙත් ඇගේ දුරාචාරය නිසා ඇය ගැබ්ගෙන සිටී නම්, තත්වය කුමක්ද? එසේනම්, ඇය කළ දෙයින් ඇගේ මුළු ජීවිතයම නොවැළැක්විය හැකි ආකාරයකින් වෙනස් වී තිබේ. කාමමිථ්‍යාචාරයෙහි නිරත වන මිනිසෙකු පසුතැවිලි විය හැකි අතර, සභා ඇසුරෙන් කපා නොහරිනු ලැබේ. එහෙත් ඔහුගේ නිර්දෝෂ සහකාරියට ඔහුව දික්කසාද කිරීමට ශුද්ධ ලියවිලිමය පදනමක් ඇති අතර, එසේ කිරීමට ඇය තීරණය කළ හැක. (මතෙව් 19:9) ඇය එසේ කරනවා නම්, එම මිනිසාට යෙහෝවාගෙන් සමාව ලැබුණත්, ඔහුට තම පාපයෙහි මෙම බරපතළ ප්‍රතිඵලය සමඟ ජීවිතාන්තය දක්වා ජීවත්වීමට සිදු විය හැක.—1 යොහන් 1:9.

වෙනත් ස්ත්‍රියක හා විවාහ වීමට තම භාර්යාව ද්‍රෝහී ලෙස දික්කසාද කරන මිනිසෙකු ගැන කුමක් කිව හැකිද? ඇතැම්විට කල්යත්ම ඔහු පසුතැවිලි වී සභාවේ නැවත පිහිටුවිය හැක. කාලයාගේ ඇවෑමෙන්, දියුණුවක් ලබමින්, ඔහු “මේරූකම කරා වීර්යය” කළ හැක. (හෙබ්‍රෙව් 6:2, NW) එහෙත් ඔහුගේ මුල් භාර්යාව සහකරුවෙකු සමඟ ජීවත් නොවන තාක් කල්, සභාවේ වගකීම් දරන තත්වයක සේවය කිරීමට ඔහුට සුදුසුකම් නැත. තම මුල් භාර්යාව දික්කසාද කිරීමට ශුද්ධ ලියවිලිමය පදනමක් නොතිබූ නිසා, ඔහු “එක භාර්යාවකට පුරුෂ[යෙක්]” නොවෙයි.—1 තිමෝති 3:2, 12.

ක්‍රිස්තියානියෙකු දුෂ්ට දේවලට ද්වේෂයක් වර්ධනය කළ යුතු හේතුවට මේවා ප්‍රබල හේතු නොවේද?

ළමයින්ට අතවර කරන්නෙක් ගැන කුමක් කිව හැකිද?

බව්තීස්ම ලත් වැඩිහිටි ක්‍රිස්තියානියෙකු දරුවෙකුට ලිංගිකව අතවර කරනවා නම් කුමක් කිව හැකිද? එම පව්කාර තැනැත්තා, යෙහෝවාගෙන් කිසිදාක සමාව නොලබන තරම්ම දුෂ්ටයෙක්ද? නැත, අනිවාර්යයෙන්ම එසේ විය යුතු නොවේ. ‘ශුද්ධාත්මයට විරුද්ධව අපහාස කිරීමට’ සමාවක් ලැබෙන්නේ නැති බව යේසු කීවේය. එමෙන්ම සත්‍යය දැනගෙනත් කැමැත්තෙන්ම පාපය පුරුද්දක් වශයෙන් කරන තැනැත්තාට පව් සඳහා පූජාවක් නැති බව පාවුල් පැවසීය. (ලූක් 12:10; හෙබ්‍රෙව් 10:26, 27) එහෙත් තමාගේම හෝ වෙනත් කෙනෙකුගේ දරුවෙකුට හෝ දැරියකට ලිංගිකව අතවර කරන වැඩිහිටි ක්‍රිස්තියානියෙකුට සමාව දිය නොහැකි බව බයිබලයෙහි කොතැනකවත් සඳහන් වී නැත. ඇත්තෙන්ම, ඔහු හෘදයෙන්ම අවංකව පසුතැවිලි වී, තම හැසිරීම වෙනස් කරනවා නම්, ඔහුගේ පව් සෝදාහැරිය හැක. කෙසේවෙතත්, කලින් පෝෂණය කළ වැරදි මාංසික තෘෂ්ණා සමඟ ඔහුට තවමත් පොරබැදීමට සිදු වේ. (එපීස 1:7) එමෙන්ම ඔහුට මඟහැරිය නොහැකි ප්‍රතිවිපාකද තිබිය හැක.

ඔහු ජීවත් වන රටේ නීතිය අනුව, එම අතවර කරන්නාට සිරභාරයෙහි සිටීමට හෝ රජයෙන් පනවන වෙනත් දණ්ඩනවලට මුහුණ දීමට සිදු විය හැක. සභාව ඔහුව මෙයින් ආරක්ෂා කරන්ට යන්නේ නැත. එපමණක්ද නොව, මින් මතුවට සැලකිල්ලට ගත යුතු බරපතළ දුර්වලකමක් මේ මිනිසා හෙළි කොට තිබේ. ඔහු පසුතැවිලි ස්වභාවයක් දක්වනවා නම්, ආත්මික දියුණුවක් ලැබීමටත්, ක්ෂේත්‍ර සේවයෙහි සහභාගි වී, දිව්‍යාණ්ඩු සේවා පාසැලේ කොටස් හා සේවා රැස්වීමේ ඉගැන්වීමක් නොකරන කොටස් පවා කිරීමටත් ඔහුව දිරිගන්වනු ලැබේ. කෙසේවෙතත්, සභාවේ වගකීමක් හොබවමින් සේවය කිරීමට ඔහු සුදුසුකම් ලබන බව මින් අදහස් නොකෙරේ. මේ සඳහා තිබෙන ශුද්ධ ලියවිලිමය හේතු මොනවාද?

එක දෙයක් නම්, වැඩිමහල්ලෙකු “ආත්ම-දමනයෙන් යුත්” කෙනෙකු විය යුතුය. (තීතස් 1:8, NW) අපෙන් කිසිවෙකුට අංග සම්පූර්ණ ආත්ම-දමනයක් නැති බව සැබෑය. (රෝම 7:21-25) එහෙත් ළමයින්ව ලිංගිකව දූෂණය කිරීමේ පාපයට වැටෙන කැප වූ වැඩිහිටි ක්‍රිස්තියානියෙක්, තමාට අස්වාභාවික මාංසික දුර්වලකම් ඇති බව හෙළි කරයි. එවැනි වැඩිහිටියෙකු තවත් දරුවන්ට අතවර කළ හැකි බව අද්දැකීමෙන් පැහැදිලි වී තිබේ. ළමයින්ට අතවර කරන සෑම කෙනෙකුම එම පාපයෙහි නැවත නොයෙදෙන බව සැබෑවක් වන මුත්, බොහෝදෙනෙක් එය නැවත නැවත කරති. එමෙන්ම නැවතත් දරුවන්ට අතවර කරන්නේ හා නොකරන්නේ කවුද කියා කීමට සභාවට හෘදයන් පරීක්ෂා කර බැලිය නොහැක. (යෙරෙමියා 17:9) එබැවින්, පාවුල් තිමෝතිට දුන් උපදේශය, දරුවන්ට අතවර කළ බව්තීස්ම වූ වැඩිහිටියන් සම්බන්ධයෙන් විශේෂයෙන්ම අදාළ වේ: “ඉක්මන්වී කිසිවෙකු කෙරෙහි අත් නොතබන්න, අනුන්ගේ පාපවලට පංගුකාරයෙක්ද නොවෙන්න.” (1 තිමෝති 5:22) අපේ දරුවන්ගේ ආරක්ෂාව සඳහා, ළමයින්ට අතවර කළ කෙනෙකු සේ ප්‍රසිද්ධ වූ මිනිසෙක්, සභාවේ වගකීම් දැරීමට සුදුසුකම් ලබන්නේ නැත. එපමණක්ද නොව, ඔහුට පුරෝගාමියෙකු හැටියටවත්, වෙනත් විශේෂ පූර්ණකාලීන සේවයකවත් යෙදිය නොහැක.—නික්මයාම 21:28, 29හි ප්‍රතිපත්තිය සසඳන්න.

සමහරුන් මෙසේ ඇසිය හැක: ‘සමහරක් අය වෙනත් විදිහේ පව් කරලා පෙනෙන විදිහට පසුතැවිලි වුණායින් පස්සේ, ඒ පාපය ආයෙ කරලා නැද්ද?’ ඔව්, එසේ සිදු වී ඇත; නමුත් සලකා බැලිය යුතු වෙනත් සාධක තිබේ. උදාහරණයක් හැටියට, පුද්ගලයෙක් වෙනත් වැඩිහිටියෙකු සමඟ කාමුකව ක්‍රියා කිරීමට වෑයම් කරනවා නම්, ඔහුගේ හෝ ඇගේ බලපෑමට විරුද්ධව සිටීමට එම වැඩිහිටියාට හැකියාවක් තිබිය යුතුය. දරුවන්ව මුළා කිරීම, ව්‍යාකූල කිරීම හෝ භයගැන්වීම වඩාත් පහසුය. ප්‍රඥාව සම්බන්ධයෙන් දරුවෙකුට තිබෙන ඌනතාව ගැන බයිබලය කතා කරයි. (හිතෝපදේශ 22:15; 1 කොරින්ති 13:11) යේසු දරුවන්ව යොදාගත්තේ නිහතමානී අහිංසකකමේ ආදර්ශයක් හැටියටය. (මතෙව් 18:4; ලූක් 18:16, 17) දරුවෙකුට තිබෙන අහිංසකකමට, කොහෙත්ම අද්දැකීම් නොමැතිකමත් ඇතුළත්ය. බොහෝ දරුවන් විවෘතය; අනුන්ගේ ප්‍රසාදය දිනාගන්ට කැමතිය; එබැවින් ඔවුන් දන්නා මෙන්ම විශ්වාස කරන කූටෝපා යොදන වැඩිහිටියෙකුගේ අවකල් ක්‍රියාවට වඩාත් පහසුවෙන් ගොදුරු විය හැක. එමනිසා, යෙහෝවා ඉදිරියෙහි තම දරුවන් රැකබලාගැනීමේ වගකීම සභාව සතුය.

හොඳ පුහුණුවක් ලබන දරුවෝ, තම දෙමාපියන්, වැඩිමහල්ලන් හා වෙනත් වැඩිහිටියන්ට කීකරු වීමටත්, ගෞරව කිරීමටත් ඉගෙනගනිති. (එපීස 6:1, 2; 1 තිමෝති 5:1, 2; හෙබ්‍රෙව් 13:7) මෙසේ යම් අධිකාරයක් හොබවන එවන් පුද්ගලයෙකු, ඒ දරුවාව දූෂණය කිරීමට හෝ බලෙන් ලිංගික ක්‍රියාවල යෙදීමට යටත් කරගැනීමේ අරමුණෙන්, එම දරුවාගේ අහිංසක විශ්වාසය අනිසි ලෙස යොදාගන්නවා නම්, එය ඉතා කම්පිත කරවන අවකල් ක්‍රියාවක් වනු ඇත. මෙලෙස ලිංගික අතවරවලට ගොදුරු වී ඇති අය, එහි ප්‍රතිඵලයක් වශයෙන් ඇති වන බලවත් චිත්තවේගීය අසහනය මැඩපැවැත්වීමට ඇතැම්විට වර්ෂ ගණනාවක් පුරා පොරබදනවා විය හැක. එබැවින්, දරුවන්ට අතවර කළ කෙනෙක් සභාවෙන් ලැබෙන බරපතළ හික්මවීමට හා සීමාවලට යටත්ය. මෙහිදී වැදගත් කොට සැලකිය යුත්තේ, අධිකාරයක් හොබවන පුද්ගලයෙකු වශයෙන් ඔහුගේ තත්වය නොව, නමුත් සභාවේ නිර්මලභාවය කැළලට ලක් නොකිරීමයි.—1 කොරින්ති 5:6; 2 පේතෘස් 3:14.

ළමයින්ට අතවර කළ කෙනෙක් අවංකව පසුතැවිලි වන්නේ නම්, බයිබල් ප්‍රතිපත්ති අදාළ කිරීමේ ප්‍රඥාව ඔහුට අවබෝධ වෙයි. දුෂ්ට දේට ද්වේෂ කිරීමට ඔහු සැබවින්ම ඉගෙනගන්නවා නම්, තමා කළ දේට ඔහු පිළිකුල් කරන අතර, තම පාපය නැවත නොකිරීමට පොරබදනවා ඇත. (හිතෝපදේශ 8:13; රෝම 12:9) එපමණක්ද නොව, ඔහු වාගේ පසුතැවිලි වූ පව්කාරයෙකුට තවමත් අපේ ශුද්ධ දෙවිඳාණන්ට නමස්කාර කිරීමටත්, පොළොව මත සදාකල් ජීවත් වනු ඇති “නිර්දෝෂ” අය අතර සිටීමට බලාපොරොත්තු වීමටත් ඉඩ කඩ සලසා දෙන යෙහෝවාගේ ප්‍රේමයේ මහත්කමට ඔහු ස්තුතිවන්ත වනවා නිසැකය.—හිතෝපදේශ 2:21.

[පාදසටහන්වල]

a මුරටැඹ 1996 මැයි 1 කලාපයේ “පාඨකයන්ගෙන් ප්‍රශ්න” බලන්න.

[28වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

යෙහෝවා පසුතැවිලි වූ පව්කාරයන්ට සමාව දුන්නත්, ඔවුන් කළ දෙයෙහි මඟහැරිය නොහැකි ප්‍රතිවිපාක තිබිය හැක

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න