ඒනොක් සියලු අවාසි හමුවේ නිර්භයව
යහපත් මනුෂ්‍යයෙකුට ඒක දරුණුතම කාලය වුණා. අභක්තිකකම පොළොවෙහි පිරී තිබුණා. මනුෂ්‍යවර්ගයාගේ සදාචාර තත්වය ක්‍රමක්‍රමයෙන් පිරිහෙමින් තිබුණා. ඇත්තෙන්ම, වැඩි කාලයක් යන්ට පෙර ඒ සම්බන්ධයෙන් මෙසේ පවසනු ලබනවා: “මනුෂ්‍යයාගේ දුෂ්ටකම පොළොවෙහි මහත් බවද ඔහුගේ සිතේ කල්පනාවල කවර අරමුණත් නිරන්තරයෙන් නපුරුවම තිබෙන බවද ස්වාමීන්වහන්සේ දුටුසේක.”—උත්පත්ති 6:5.
ආදම්ගේ පෙළපතේ හත්වන පුද්ගලයා වූ ඒනොක්, වෙනස් කෙනෙකුව සිටීමට තරම් ධෛර්යසම්පන්න වුණා. ඵලවිපාක කුමක් වුවත් ඔහු ධර්මිෂ්ඨකම උදෙසා ස්ථිරව සිටියා. ඒනොක්ගේ පණිවිඩය අභක්තික පව්කාරයන්ට කොතරම් වද හිංසාවක් වුණාද කිව්වොත්, ඔහුව මරණයට පත් කරන්න මාන බැලූ අතර, ඔහුට උපකාර කරන්න සිටියේ, යෙහෝවඃවහන්සේ විතරයි.—යූද් 14, 15.
ඒනොක් හා විශ්වනීය ප්රශ්නය
ඒනොක්ගේ උපතට බොහෝ කලකට පෙර, විශ්වනීය පරමාධිපත්‍යය පිළිබඳ ප්රශ්නය මතු කරනු ලැබුවා. පාලනය කිරීමට දෙවියන්වහන්සේට අයිතිය තිබුණාද? නැහැ කියා ඇත්තෙන්ම සාතන් නම් යක්ෂයා පැවසුවා. දෙවියන්වහන්සේගේ මඟ පෙන්වීම නොමැතිව සිටියොත්, ප්‍රඥාවන්ත මැවිලිවලට වැඩි සාර්ථකත්වයක් ලැබිය හැකි බව ඔහු කියා සිටියා. සියුම් ලෙස මනුෂ්‍යයන්ව තමන්ගේ පැත්තට හරවාගැනීමෙන්, ඔවුන්ව යෙහෝවඃ දෙවියන්වහන්සේට විරුද්ධ කරවීමට සාතන් වෑයම් කළා. ආදම්, ඔහුගේ බිරිඳ ඒව හා ඔවුන්ගේ ප්‍රථම පුත්‍රයා වූ කායින්, දේවපාලනයක් තෝරාගන්නවා වෙනුවට තමාගේම පාලනයක් තෝරාගැනීමෙන්, සාතන්ගේ පැත්ත ගත්තවුන් අතර ප්‍රසිද්ධ වුණා. පළමු මනුෂ්‍ය යුවළ මෙය සිදු කළේ, දෙවියන්වහන්සේ තහනම් කර තිබුණු ගෙඩි කෑමෙන්; කායින් එය සිදු කළේ, වුවමනාවෙන්ම තම ධර්මිෂ්ඨ සහෝදරයා වූ ආබෙල්ව මරණයට පත් කිරීමෙන්.—උත්පත්ති 3:4-6; 4:8.
ආබෙල් නිර්භීතව යෙහෝවඃවහන්සේගේ පැත්තෙහි ස්ථිරව සිට තිබුණා. ආබෙල්ගේ අඛණ්ඩතාව නිර්මල නමස්කාරයට රුකුලක් වී තිබුණු නිසා, කායින් ඔහුව මරණයට පත් කරන තරම් කෝපයක් පෙන්නුම් කිරීම සම්බන්ධයෙන් සාතන් ප්‍රීති වූ බවට කිසිම සැකයක් නැහැ. එතැන් පටන්, සාතන් ‘මරණයට භයවීම’ භයගන්වන ආයුධයක් ලෙස භාවිත කර තිබෙනවා. සැබෑ දෙවියන්වහන්සේට නමස්කාර කිරීමට කැමැත්තක් දක්වන ඕනෑම කෙනෙකුගේ හෘදය භයගැන්වීම ඔහුගේ අභිප්‍රායයි.—හෙබ්‍රෙව් 2:14, 15; යොහන් 8:44; 1 යොහන් 3:12.
ඒනොක් උපත ලැබූ කාලය වන විට, මනුෂ්‍යයා යෙහෝවඃවහන්සේගේ පරමාධිපත්‍යය තහවුරු නොකරනු ඇති බවට වූ සාතන්ගේ ආකල්පය හොඳින් තහවුරු වෙමින් පැවති බවක් පෙනුණා. ආබෙල් මියගොස් තිබුණු අතර, ඔහුගේ විශ්වාසවන්ත ආදර්ශය අනුගමනය කරනු ලැබුවේ නැහැ. එහෙත් ඒනොක් වෙනස් පුද්ගලයෙක් බව ඔප්පු කළා. ඇදහිල්ල සඳහා ඔහුට ස්ථිර පදනමක් තිබුණා; ඊට හේතුව ඒදන් උයනේදී සිදු වූ සිද්ධීන් සම්බන්ධයෙන් මනා වැටහීමක් ඔහුට තිබීමයි.a සාතන් හා ඔහුගේ උපක්රමවලට, පොරොන්දු වූ වංශයක් මගින් අවසානයක් ගෙනෙනු ඇති බවට අඟවන යෙහෝවඃවහන්සේගේ අනාවැකිය ඔහු කොතරම් අගය කරන්ට ඇද්ද!—උත්පත්ති 3:15.
මෙම බලාපොරොත්තුව නිතරම සිතෙහි තබාගත් ඒනොක්, යක්ෂයාගේ පෙලඹීම යටතේ ඝාතනය කරනු ලැබූ ආබෙල් පිළිබඳ ඓතිහාසික වාර්තාවෙන් භය වුණේ නැහැ. ඒ වෙනුවට, ඔහු යෙහෝවඃවහන්සේ සමඟ හැසිරෙමින්, ජීවිත කාලය පුරාම ධර්මිෂ්ඨකම ලුහුබැන්දා. ලෝකයේ ස්වාධීන ස්වභාවය ප්‍රතික්ෂේප කරමින්, ඒනොක් ලෝකයෙන් වෙන්ව සිටියා.—උත්පත්ති 5:23, 24.
තවදුරටත්, යක්ෂයාගේ නපුරු ක්‍රියා සාර්ථක නොවන බව ඒනොක් නිර්භීතව මෙන්ම පැහැදිලිව ප්‍රකාශ කළා. දෙවියන්වහන්සේගේ ශුද්ධාත්මය නැතහොත් ක්‍රියාකාරික බලයේ පෙලඹීම යටතේ, ඒනොක් දුෂ්ට අය පිළිබඳව මෙසේ පුරෝකථනය කළා: “බලව, සියල්ලන් කෙරෙහි යුක්තිය ඉෂ්ටකරන්ටද, සියලු අභක්තීන් විසින් අභක්තිවන්තලෙස කළාවූ ඔවුන්ගේ සියලු අභක්තික ක්‍රියා ගැනත්, අභක්තික පව්කාරයන් විසින් උන්වහන්සේට විරුද්ධව කථාකළාවූ සියලු කර්කස දේ ගැනත් ඔවුන් වරදට පත්කරන්ටද, ස්වාමීන්වහන්සේ ස්වකීය දසදහස් ගණන් ශුද්ධවන්තයන් සමග ආසේක.”—යූද් 14, 15.
ඒනොක්ගේ නිර්භීත ප්‍රකාශයන් නිසා, හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන්ට ලියද්දී, ප්‍රේරිත පාවුල් ඇදහිල්ල ක්රියාවේ යෙදවීම සම්බන්ධයෙන් මාහැඟි ආදර්ශයක් තැබූ මහත් “සාක්ෂිකාර සේනාව[ට]” ඔහුව ඇතුළත් කළා.b (හෙබ්‍රෙව් 11:5; 12:1) ඇදහිල්ලේ මනුෂ්‍යයෙක් හැටියට, ඒනොක් අඛණ්ඩතාවේ මාර්ගයක අවුරුදු 300කටත් වඩා වැඩි කාලයක් විඳදරාගත්තා. (උත්පත්ති 5:22) ස්වර්ගයේ හා පොළොවේ ජීවත් වූ දෙවියන්වහන්සේගේ සතුරන්ට ඒනොක්ගේ ඇදහිලිවන්තකම මොනතරම් වද දීමක් වන්ට ඇද්ද! ඒනොක්ගේ තියුණු අනාවැකිය, සාතන්ගේ වෛරයට ලක් වන්න තුඩු දුන්නත්, යෙහෝවඃවහන්සේගේ රැකවරණය දිගටම තිබුණා.
දෙවියන්වහන්සේ ඒනොක්ව ගත්සේක—ඒ කෙසේද?
සාතන්ට හෝ ඔහුගේ භූමික සේවකයන්ට ඒනොක්ව මරණයට පත් කිරීමට යෙහෝවඃවහන්සේ ඉඩ දුන්නේ නැහැ. ඒ වෙනුවට ආනුභාවය ලත් වාර්තාව මෙසේ පවසනවා: “දෙවියන්වහන්සේ ඔහු ගත්[සේක].” (උත්පත්ති 5:24) ප්‍රේරිත පාවුල් කාරණා මේ ආකාරයට විස්තර කරනවා: “ඇදහිල්ලෙන්, ඒනොක් මරණය නොදකින ලෙස ගෙනයනු ලැබුවේය; දෙවියන්වහන්සේ ඔහු ගෙනගිය හෙයින් ඔහු සම්බ නොවීය. ඔහුගේ ගෙනයාමට ප්‍රථම, ඔහු දෙවියන්වහන්සේව ප්‍රසන්නකළ බවට සාක්ෂි ලැබුවේය.”—හෙබ්‍රෙව් 11:5.
ඒනොක්ව “මරණය නොදකින ලෙස ගෙනයනු ලැබුවේ” කෙසේද? එසේ නැතහොත් ආර්. ඒ. නොක්ස් කළ පරිවර්තනයේ ඉදිරිපත් කර ඇති ආකාරයට, ඒනොක් “මරණය නොවිඳ ගෙනයනු ලැබුවේ” කෙසේද? දෙවියන්වහන්සේ ඒනොක්ගේ ජීවිතය සාමකාමීව අවසන් කළා; ඒ තුළින් උන්වහන්සේ ඔහුව අසනීපයෙන් හෝ ඔහුගේ සතුරන්ගේ අතින් සාහසිකව මරණය විඳීමේ බලවත් වේදනාවෙන් නිදහස් කළා. ඔව්, ඒනොක්ට වයස අවුරුදු 365දී යෙහෝවඃවහන්සේ ඔහුගේ ජීවිතය කෙටි කළා;—තවද ඔහුගේ සමකාලීනයන් හා සැසඳූ විට ඔහු සෑහෙන දුරට යෞවන කෙනෙක්ව හිටියා.
ඒනොක් “දෙවියන්වහන්සේව ප්‍රසන්නකළ බවට [ඔහුට] සාක්ෂි[යක්]” දෙනු ලැබුවේ කෙසේද? ඔහුට තිබුණේ කුමන සාක්ෂියක්ද? බොහෝදුරට දෙවියන්වහන්සේ ඒනොක්ව මුර්ඡා කළා වෙන්න පුළුවන්; ඒ හරියටම ක්‍රිස්තියානි සභාවේ අනාගතික ආත්මික පාරාදීසයේ දර්ශනයක් පැහැදිලිවම ලැබූ, ප්‍රේරිත පාවුල්ව “ඇදගනු ලැ[බූ]” එසේ නැතහොත් මනසින් ගෙන යනු ලැබූ පරිදියි. (2 කොරින්ති 12:3, 4) ඒනොක් දෙවියන්වහන්සේට සතුට ගෙන දී තිබුණු බවට තිබෙන සාක්ෂි නිසා, ජීවත් වන සියලුදෙනා දෙවියන්වහන්සේගේ පරමාධිපත්‍යයට අනුබල දෙනු ඇති අනාගත භූමික පාරාදීසය පිළිබඳ කෙටි දර්ශනයක් ඔහුට දැකගැනීමට ප්‍රස්තාව උදා කළා විය හැකියි. ඇතැම්විට ඒනොක් ප්‍රමුදිත දර්ශනයක් දකිමින් සිටි අවස්ථාවකදී, තම නැවත නැඟිටුවීම තෙක් සැතපී සිටීමට දෙවියන්වහන්සේ ඔහුව වේදනා රහිත මරණයකට පැමිණෙව්වා වෙන්න පුළුවන්. මෝසෙස් සම්බන්ධයෙන් කළාක් මෙන්, “ඔහු සම්බ නො[වූ]” නිසා, යෙහෝවඃවහන්සේ ඒනොක්ගේ ශරීරය ඉවත් කර දැමූ බව පෙනෙන්ට තිබෙනවා.—හෙබ්‍රෙව් 11:5; ද්විතීය 34:5, 6; යූද් 9.
අනාවැකිය ඉටු වී
අදදින යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්, ඒනොක්ගේ අනාවැකියේ සාරය ප්‍රකාශ කරනවා. නුදුරු අනාගතයේදී දෙවියන්වහන්සේ අභක්තිකයන්ව විනාශ කරද්දී, එය ඉටු වනු ඇත්තේ කෙසේද කියා ඔවුන් ශුද්ධ ලියවිලි තුළින් පෙන්නුම් කරනවා. (2 තෙසලෝනික 1:6-10) ඔවුන්ගේ පණිවිඩය ඔවුන්ව ජනප්‍රිය නොවන තත්වයකට පත් කරනවා; ඒ ඇයි කිව්වොත්, එය මේ ලෝකයේ ආකල්ප හා ඉලක්කවලට වඩා බෙහෙවින් වෙනස්. ඔවුන්ට මුහුණ දීමට සිදු වන විරුද්ධවාදිකම්, ඔවුන්ව පුදුමයට පත් කරවන්නේ නැහැ; ඒකට හේතුව යේසුස්වහන්සේ තම අනුගාමිකයන්ට මෙසේ අනතුරු ඇඟවීමයි: “නුඹලා මාගේ නාමය නිසා සියල්ලන් විසින් වෛරකරනු ලබන්නහුය.”—මතෙව් 10:22; යොහන් 17:14.
කෙසේවෙතත්, ඒනොක් මෙන්, වත්මන් දින ක්‍රිස්තියානීන්ටත් අවසානයේදී තම සතුරන්ගෙන් ගැළවීමක් ලබාගැනීම සම්බන්ධයෙන් සහතික කර තිබෙනවා. ප්‍රේරිත පේතෘස් මෙසේ ලිව්වා: “භක්තිවන්තයන් පරීක්ෂාවෙන් ගළවන්ටත් අධර්මිෂ්ඨයන්, . . . දඬුවම යටතේ විනිශ්චය දවස දක්වා තබන්ටත් ස්වාමීන්වහන්සේ දන්නාසේක.” (2 පේතෘස් 2:9, 10) ගැටලුවක් හෝ පීඩාකාරි තත්වයක් ඉවත් කිරීම යෝග්‍ය දෙයක් ලෙස දෙවියන්වහන්සේ තීරණය කරනවා විය හැකියි. පීඩා කිරීම අවසානයකට පත් වෙන්න පුළුවන්. එසේ නැතහොත්, තම සෙනඟට තමන්ගේ පරීක්ෂා සාර්ථකව විඳදරාගන්න පුළුවන් වන විදිහට ‘ගැළවෙන මාර්ගය සෑදීමට’ උන්වහන්සේ දන්නවා. අත්‍යවශ්‍ය අවස්ථාවන්වලදී, යෙහෝවඃවහන්සේ “සාමාන්‍ය ඉක්මවූ බලය” පවා සපයනවා.—1 කොරින්ති 10:13; 2 කොරින්ති 4:7, NW.
“උන්වහන්සේ[ව] සොයන්නන්ට විපාකදෙන කෙනෙකු” වශයෙන් යෙහෝවඃවහන්සේ, තම විශ්වාසවන්ත සේවකයන්ට සදාකාල ජීවනය සමඟින්ද ආශීර්වාද කරන්න යනවා. (හෙබ්‍රෙව් 11:6) ඔවුන්ගෙන් බොහෝදෙනෙක් සඳහා, එය භූමික පාරාදීසයක් මත සදාකාල ජීවනයක් අදහස් කරනවා. එමනිසා, අපිත් ඒනොක් මෙන්, නිර්භයව දෙවියන්වහන්සේගේ පණිවිඩය ප්‍රකාශ කරමු. සියලු අවාසි හමුවේ අපි මෙය ඇදහිල්ලෙන් කරමු.
[පාදසටහන්වල]
a ඒනොක් උපත ලැබූ විට, ආදම්ට වයස අවුරුදු 622යි. ආදම්ගේ මරණයෙන් පසු අවුරුදු 57ක් පමණ කාලයක් ඒනොක් ජීවත් වුණා. මේ නිසා, ඔවුන් දෙදෙනා සෑහෙන කාලයක් එකම කාලයේ ජීවත් වුණා.
b හෙබ්‍රෙව් 12:1හි සඳහන් කර ඇති “සාක්ෂිකාර[යන්]” යන වචනය, මා’ටුස් යන ග්‍රීක් වචනයෙන් පැමිණෙනවා. ව්යූස්ට්ස් ව’ඩ් ස්ටඩීස් ෆ්‍රොම් ද ග්‍රීක් නිව් ටෙස්ටමන්ට්ට අනුව, මෙම වචනයෙන් ඇඟවෙන්නේ, “ඇසූ දුටු දේට නැතහොත් වෙනත් ඕනෑම මාර්ගයකින් දන්නා දේට සාක්ෂි දෙන හෝ සාක්ෂි දිය හැකි කෙනෙක්” යන්නය. එම වචනයෙහි තේරුම “පෞද්ගලික අද්දැකීම, . . . සත්‍යය හා අදහස් පිළිබඳ ඒකාන්ත විශ්වාසයක් පදනම් කරගෙන” කතා කරන කෙනෙක් බව, නයිජල් ට’න’ විසින් ලියන ලද ක්‍රිස්ටියන් ව’ඩ්ස්හි පවසා තිබෙනවා.
[30වන පිටුවේ කොටුව]
දෙවියන්වහන්සේගේ නාමය කෙලසනු ලැබ
ඒනොක් ඉපදීමට ශතවර්ෂ හතරකට පමණ පෙර, ආදම්ගේ මුනුපුරා වූ ඒනොෂ් උපත ලැබුවා. “එකල මනුෂ්‍යයෝ ස්වාමීන්වහන්සේගේ නාමය කියා යාච්ඤාකරන්ට පටන් ගත්තෝය,” යනුවෙන් උත්පත්ති 4:26 ප්‍රකාශ කරනවා. මෙම පදයේ මතු අදහස තිබිය යුතු බව, හෙබ්‍රෙව් භාෂාව හදාරන ඇතැම් විශාරදයන් විශ්වාස කරනවා: එනම් දෙවියන්වහන්සේගේ නාමය “කෙලසීමට පටන්ගත්තෝය” වශයෙන් හෝ “එකල කෙලසීම පටන්ගත්තේය” වශයෙනි. ඉතිහාසයේ එම කාලපරිච්ඡේදය සම්බන්ධයෙන් යෙරුසලම් ටාර්ගුම් ලියවිල්ල මෙසේ ප්‍රකාශ කරනවා: “එය වනාහි ඔවුන් වැරදි කිරීමට හා තමන්ටම කියා පිළිම සාදාගැනීමට මෙන්ම ස්වාමීන්වහන්සේගේ වචනයේ නාමයෙන් තම පිළිමවලට නම් තැබීමට පටන්ගත් පරම්පරාව විය.”
ඒනොෂ්ගේ කාලයේදී, යෙහෝවඃවහන්සේගේ නාමය අනිසි ලෙස භාවිත කිරීම සෑම තැනම පැතිර පැවතුණා. මනුෂ්‍යයන් දිව්‍ය නාමය තමාටම හෝ නමස්කාරය තුළින් යෙහෝවඃ දෙවියන්වහන්සේ වෙත ළඟා වන බව බොරුවට ඇඟවූ ඇතැම් මනුෂ්‍යයන්ට අදාළ කළා විය හැකියි. එසේ නැතහොත් ඔවුන් දිව්‍ය නාමය පිළිමවලට පාවිච්චි කළා විය හැකියි. කාරණය කුමක් වුවත්, සාතන් නමැති යක්ෂයා පරෙස්සමින් මනුෂ්‍යවර්ගයාව පිළිම නමස්කාරය නමැති මලපතට අසු කර තිබුණා. ඒනොක් උපත ලැබූ කාලය වන විට, සැබෑ නමස්කාරය දුර්ලභ දෙයක් වුණා. ඒනොක් මෙන් සත්‍යය අනුව ජීවත් වී එය දේශනා කළ ඕනෑම කෙනෙක්, ජනප්‍රිය නොවූ අතර පීඩාවට ලක් වුණා.—මතෙව් 5:11, 12, සසඳන්න.
[31වන පිටුවේ කොටුව]
ඒනොක් ස්වර්ගයට ගියාද?
“ඇදහිල්ලෙන්, ඒනොක් මරණය නොදකින ලෙස ගෙනයනු ලැබුවේය.” ඇතැම් බයිබල් පරිවර්තනවල, හෙබ්‍රෙව් 11:5 මෙම කොටස ගෙනහැර දක්වා තිබෙන්නේ, ඒනොක් ඇත්තටම මිය නොගිය බව ඇඟවීමටයි. නිදසුනක් වශයෙන්, ජේම්ස් මොෆට් විසින් පරිවර්තනය කරන ලද ඒ නිව් ට්‍රාන්ස්ලේෂන් ඔෆ් ද බයිබල් මෙසේ ප්‍රකාශ කරනවා: “ඒනොක්ව ස්වර්ගයට ගෙනයනු ලැබුවේ ඇදහිල්ලෙනි; එබැවින් ඔහු කිසිදා මිය නොගියේය.”
කෙසේවෙතත්, ඒනොක්ගේ දවසෙන් අවුරුදු 3,000කට පමණ පසු, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මෙසේ ප්‍රකාශ කළා: ‘ස්වර්ගයෙන් බැස්සාවූ, මනුෂ්‍ය පුත්‍රයා මිස වෙන කිසිවෙක් ස්වර්ගයට නොනැංගේය.’ (යොහන් 3:13) නව අනුවාදයෙහි මෙසේ කියවීමට තිබෙනවා: “ස්වර්ගයෙන් බැස වදාළ මනුෂ්‍ය පුත්‍රයාණන් හැර, අන් කිසිවෙක් ස්වර්ගයට නොනැංගේ ය.” යේසුස්වහන්සේ එම ප්‍රකාශය කළ විට, උන්වහන්සේ පවා ස්වර්ගයට නැඟ තිබුණේ නැහැ.—ලූක් 7:28, සසඳන්න.
පූර්ව ක්‍රිස්තියානි සාක්ෂිකරුවන්ගේ මහත් සේනාවක් සාදන ඒනොක් හා අනික් අය ‘සියලුදෙනාම’ “පොරොන්දු නොලැබ” ‘මැරුණු’ බව ප්‍රේරිත පාවුල් ප්‍රකාශ කරනවා. (හෙබ්‍රෙව් 11:13, 39) ඒ ඇයි? ඒනොක් ඇතුළුව සියලුම මනුෂ්‍යයන් ආදම්ගෙන් පාපය උරුම කරගෙන තිබෙන නිසයි. (ගීතාවලිය 51:5; රෝම 5:12) ගැළවීම ලබාගැනීමට තිබෙන එකම මාර්ගය යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මිදීමේ මිල පූජාවයි. (ක්‍රියා 4:12; 1 යොහන් 2:1, 2) ඒනොක්ගේ දවස්වලදී එම මිදීමේ මිලය ගෙවා තිබුණේ නැහැ. එබැවින්, ඒනොක් ස්වර්ගයට ගියේ නැහැ; නමුත් ඔහු පොළොව මත ජීවිතයකට නැවත නැඟිටුවීමක් බලාපොරොත්තුවෙන් මරණය නමැති නින්දේ සැතපී ඉන්නවා.—යොහන් 5:28, 29.
[29වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Illustrirte Pracht - Bibel/Heilige Schrift des Alten und Neuen Testaments, nach der deutschen Uebersetzung D. Martin Luther’s යන්නෙන් පිටපත් කර තිබේ