නවීන දින නමස්කාරයෙහි සංගීතයට හිමි තැන
ගායනා කිරීම දෙවිගෙන් ලැබී තිබෙන ත්‍යාගයක්. ගීතිකාවට අපගේ හඬ එක් කිරීමෙන්, අපට වගේම අපේ මැවුම්කරුටද ප්‍රීතිය ගෙන දිය හැකියි. එමගින් අපේ දුක්මුසු හැඟීම් මෙන්ම ප්‍රීතිමත් හැඟීම්ද ප්‍රකාශ කරන්න අපට පුළුවන්. ඊටත් වඩා, සංගීතයේ නිර්මාතෘ වන යෙහෝවාට අපේ ප්‍රේමය, ගෞරවාදරය හා ප්‍රශංසාව හඬනඟා පිරිනමන්න අපට පුළුවන්.
සංගීතය සම්බන්ධයෙන් බයිබලයෙහි දැක්වෙන යොමු දැක්වීම් තුන්සියයෙන් වැඩි ප්‍රමාණයක් යෙහෝවාගේ නමස්කාරය හා සම්බන්ධ කර තියෙනවා. ගායනා කිරීම ප්‍රීතිය සමඟද සම්බන්ධ කර තියෙනවා; ඒ කියන්නේ ගායනා කරන අය ප්‍රීති වෙනවා පමණක් නොව, නමුත් යෙහෝවාත් ප්‍රීති වෙනවා කියන එකයි. ගීතිකාකරු මෙහෙම ලිව්වා: “උන්වහන්සේට ප්‍රශංසා ගී කියත්වා. මක්නිසාද ස්වාමීන්වහන්සේ තමන් සෙනඟ කෙරෙහි ප්‍රසන්නවනසේක.”—ගීතාවලිය 149:3, 4.
එහෙත් නවීන දින නමස්කාරයේදී ගායනයට මොනතරම් වැදගත්කමක් හිමි වෙනවාද? අදදින යෙහෝවාගේ සෙනඟට තමන්ගේ හඬ ගීයට නැඟීමෙන් ඔහුව සතුටු කරන්න පුළුවන් කොහොමද? සැබෑ නමස්කාරයේ සංගීතයට හිමි විය යුතු තැන මොකක්ද? මෙම ප්‍රශ්නවලට උත්තර සපයන්න, සංගීතය ගැන ඉතිහාසයේ කියවෙන දේවල් සෝදිසි කර බැලීම උපකාරවත් වෙනවා.
නමස්කාරයේදී සංගීතයට හිමි වූ ඓතිහාසික තැන
සංගීතය ගැන බයිබලයේ සඳහන් පළමුවන යොමු දැක්වීම, යෙහෝවාගේ නමස්කාරයට විශේෂයෙන්ම සම්බන්ධ කර නැහැ. උත්පත්ති 4:21 අනුව, ඇතැම්විට මුල් සංගීත භාණ්ඩ නිර්මාණය කිරීමේ හෝ යම් විදිහක සංගීත ශාස්ත්‍රයක් පිහිටුවීමේ ගෞරවය යූබාල්ට හිමි වෙනවා. කොහොම වුණත්, මිනිසාව මවන්න කලින් පවා, සංගීතය යෙහෝවාගේ නමස්කාරයෙහි අංගයක් වුණා. දේවදූතයන් ගායනා කරන බව, බයිබල් පරිවර්තන කිහිපයක්ම විස්තර කරනවා. දේවදූතයන් ප්‍රීතියෙන් එක්ව ගීතිකා කරමින් “ප්‍රීති ඝෝෂා” පැවැත්වුවා කියා යෝබ් 38:6, 7හි කියවෙනවා. මෙසේ මිනිසා සංගීතය ගැන දැනගන්න බොහෝ කලකට පෙර සිටම, ගායනය යෙහෝවාගේ නමස්කාරය හා බැඳී පැවති ව්යවහාරයක්ව තිබුණා කියා විශ්වාස කරන්න ශුද්ධ ලියවිලිමය හේතු තියෙනවා.
පුරාණ හෙබ්‍රෙව් සංගීතය, ස්වර මුසු නොවූ තාලයන් පමණයි කියා සමහර ඉතිහාසඥයන් තර්ක කරනවා. ඒ කොහොම වුණත්, බයිබලයේ සඳහන් ප්‍රධාන සංගීත උපකරණයක් වන වීණාවෙන් එක් වරකදී ස්වර එකකට වඩා වාදනය කරන්න පුළුවන් වුණා. වීණාවෙන් නිකුත් වන ස්වර මුසු වීමෙන් නිපදවන තාලයන් වීණාකරුවන්ගේ අවධානයට යොමු වුණා වෙන්න පුළුවන්. ඔවුන්ගේ සංගීතය සරල තත්වයක නොව, සෑහෙන දියුණු තත්වයක තිබුණු බවට සැකයක් නැහැ. එමෙන්ම හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලිවල දැක්වෙන පද්‍ය හා ගද්‍ය රචනය සෝදිසි කිරීමෙන්, ඉශ්රායෙල්හි පැවති සංගීතය ඉතා උසස් තත්වයෙන් තිබූ බව අපට නිගමනය කළ හැකියි. ඇත්තෙන්ම, සංගීත නිර්මාණයන් සඳහා ඉශ්රායෙල්වරුන්ගේ තිබූ පෙලඹීම, අසල්වැසි ජාතීන් තුළ ඇති වූ පෙලඹීමට වඩා ඉතාම උසස් තත්වයක තිබුණා.
පුරාණ දේවමාළිගාව සංවිධානය කරල තිබුණු ආකාරය බලන විට, දේවමාළිගාවේ කළ නමස්කාරයට තූර්ය භාණ්ඩ හා කටහඬවලින් යුත් සංකීර්ණ විධිවිධානයක් පිළියෙළ කර තිබුණා. (2 ලේකම් 29:27, 28) ඒ කාලයේදී, “අධ්යක්ෂවරු,” “විශාරදයන්,” “පුහුණුව ලබන්නන්” හා “ප්‍රධාන ගීතිකාකාරයෝ” සිටියා. (1 ලේකම් 15:21, NW; 25:7, 8, NW; නෙහෙමියා 12:46) දියුණු තත්වයක පැවති ඔවුන්ගේ සංගීත කුසලතා ගැන අදහස් දක්වමින් ඉතිහාසඥ ක’ට් සාක්ස් මෙසේ ලියා තිබෙනවා: “යෙරුසලමේ දේවමාළිගාව හා සම්බන්ධව සිටි ගායන හා වාදන කණ්ඩායම් සංගීත ක්ෂේත්රයේ අධ්‍යාපනයෙන් දක්ෂතාවලින් හා දැනුමෙන් ඉතා උසස් මට්ටමක සිටි අය වූ බව සිතාගත හැක. . . . ඒ පුරාණ සංගීත රාවය ගැන අප නොදැන සිටියත්, එහි බලය, උදාරත්වය හා නිපුණත්වය සම්බන්ධව අවශ්‍ය තරම් සාක්ෂි අපට තිබෙනවා.” (ද රයිස් ඔෆ් මියුසික් ඉන් දි ඒන්ෂන්ට් ව’ල්ඩ්: ඊස්ට් ඇන්ඩ් වෙස්ට්, 1943, 48, 101-2 පිටු) සාලමොන්ගේ ගීතිකාව, හෙබ්‍රෙව් සංගීත රචනයේ නිර්මාණශීලිත්වයට හා උසස් ගුණාත්මකභාවයට උදාහරණයක්. එය සංගීත නාට්‍යයක් ඇතුළත් කෘතියකට හෝ ඔපෙරා පෙළකට සමාන ගීතයෙන් ඉදිරිපත් කරන කතන්දරයක්. මේ ගීතය “ගීතිකාවන්ගෙන් උතුම් ගීතිකාව” හෙවත් විශිෂ්ටතම ගීතිකාව යනුවෙන් හෙබ්‍රෙව් ලියවිල්ලෙහි නම් කරලා තියෙනවා. පුරාණ හෙබ්‍රෙව්වරුන් සඳහා, ගායනා කිරීම නමස්කාරය හා බැඳී පැවති අත්‍යවශ්‍ය අංගයක් වෙලා තිබුණා. යෙහෝවාට ප්‍රශංසා කරන විට, ඔවුන්ගේ ඒකාන්ත හැඟීම් ප්‍රකාශ කරන්න එමගින් ඉඩ කඩ ලැබුණා.
පළමු සියවසේ ක්‍රිස්තියානීන්ගේ ගී ගැයීම
සංගීතය, මුල් ක්‍රිස්තියානීන්ගේ නමස්කාරයේ නිතිපතා අංගයක් හැටියට නොකඩවා පැවතුණා. දේවානුභාවය ලත් ගීතාවලියට අමතරව, පෙනෙන විදිහට නමස්කාරය සඳහා සංගීතය සහ කාව්‍යයන් ඔවුන් නිර්මාණය කළා වෙන්න පුළුවන්. නවීන දින ක්‍රිස්තියානි ගීතිකා රචනා කිරීම සඳහා මෙය පූර්වාදර්ශයක් වෙනවා. (එපීස 5:19) වොල්ඩෝ සෙල්ඩන් ප්‍රැට් විසින් රචනා කළ ද හිස්ට්‍රි ඔෆ් මියුසික් නමැති පොතේ මෙසේ පැහැදිලි කරනවා: “ප්‍රසිද්ධ සහ පෞද්ගලික නමස්කාරයේදී ගායනා කිරීම, මුල් ක්‍රිස්තියානීන්ගේ චාරිත්‍රයක් වුණා. මෙය යුදෙව් භක්තිකයන් සඳහා සිනගෝගයේ චාරිත්‍ර දිගටම අනුගමනය කිරීමක් වුණා . . . හෙබ්‍රෙව් ලියවිල්ලේ සඳහන් ගීතාවලියට අමතරව . . . අලුත් භක්ති ගීත නිර්මාණය කරන්න අලුත බිහි වූ ධර්මය නිතරම නැඹුරු වුණා; පෙනෙන විදිහට මුලදී මෙය රැප්සඩිවල ස්වරූපය ගත්තා.”a
ගීතිකා ගැයීමේ වැදගත්කම කැපීපෙනෙන්න සලස්වමින් යේසු, ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය පිහිටෙවූ අවස්ථාවේදී, ඔහු හා ප්‍රේරිතයෝ ඇතැම්විට හලෙල් ගීතිකා ගායනා කළා විය හැකියි. (මතෙව් 26:26-30) මේ ගීතිකා, ගීතාවලියේ වාර්තා කර තිබෙන, යෙහෝවාට ප්‍රශංසා කිරීම සඳහා ගැයූ ගීතිකා වූ අතර, මේවා පාස්කු උත්සවය හා සම්බන්ධව ගායනා කරනු ලැබුවා.—ගීතාවලිය 113-118
බොරු නමස්කාරයේ බලපෑම
අඳුරු යුගය යනුවෙන් හඳුන්වනු ලබන කාලපරිච්ඡේදයේදී, ආගමික සංගීතය ශෝකජනක ගීතිකා දක්වා පිරිහුණා. පොදු යුගයේ 200දී පමණ ඇලෙක්සැන්ඩ්‍රියාවේ ක්ලෙමන්ට් මෙසේ පවසා තියෙනවා: “අපිට අවශ්‍ය වෙන්නේ එක සංගීත භාණ්ඩයක් විතරයි; ඒ කියන්නේ භක්ත්‍යාදරය ගැන පවසන සාමකාමී කටහඬ මිසක්, වීණා හෝ බෙර හෝ නළා හෝ හොරණෑ හෝ නොවෙයි.” දේවස්ථාන සංගීතය ගායනයට සීමා කරමින් නියමයන් පනවනු ලැබුවා. මේ ක්‍රමය සජ්ඣායනා නැතහොත් සරල රිද්මයක් ඇති දේවස්ථාන ගීතිකා කියා හඳුන්වනු ලැබුවා. “කොන්ස්ටැන්ටිනෝපලය, පිහිටුවීමෙන් වසර හතළිහකට අඩු කාලයක් ගත වූවායින් පසුව, ලවොදික මන්ත්‍රණ සභාව (ක්‍රි.ව. 367) දේවමෙහෙයන්වලදී සංගීත භාණ්ඩ හා ගායන කණ්ඩායම්වල සහභාගිත්වය තහනම් කළා. ඔර්තඩොක්ස් සභාවේ භාවිත කළ සංගීතය සම්පූර්ණයෙන්ම ගායනයට සීමා වූ” බව අව’ මියුසිකල් හෙරිටෙජ් කියන පොත පවසනවා. (ඇල අකුරු අපගේය.) මුල් ක්‍රිස්තියානි ධර්මයට අනුව මෙම නියමයන්ට කිසිම පදනමක් තිබුණේ නැහැ.
අඳුරු යුගයේදී පොදු ජනයාට බයිබලය ලබාගන්න බැරි වුණා. බයිබලයක් ලබාගන්න හෝ කියවන්න නිර්භීත වූ ක්‍රිස්තියානීන්ට පීඩා කළ අතර, මරණයට පවා පත් කළා. එසේනම්, එම අඳුරු කාලපරිච්ඡේදයේදී දෙවිට ප්‍රශංසා ගී ගායනා කිරීමේ ව්‍යවහාරය විශාල වශයෙන් අතුරුදහන් වීම පුදුමයක් නොවෙයි. ශුද්ධ ලියවිලිවල තියෙන දේවල් දැනගන්න පොදු ජනයාට බැරි වුණා නම්, මුළු බයිබලයෙන් දහයෙන් එකක්ම ගීතිකාවලින් සමන්විත වෙලා තියෙනවා කියා ඔවුන් දැනගන්නේ කොහොමද? “ස්වාමීන්ට අලුත් ගීතිකා වක්ද ශුද්ධවන්තයන්ගේ සභාවේදී උන්වහන්සේගේ ප්‍රශංසාවද ගායනාකරව්” කියා තම නමස්කාරකයන්ට දෙවි අණ කර තිබෙන බව ඔවුන්ට දන්වන්නේ කවුද?—ගීතාවලිය 149:1.
නමස්කාරයේදී සංගීතයට හිමි නිසි තැන යළි පිහිටුවීම
නමස්කාරයේදී සංගීතයට සහ ගායනයට හිමි නිසි තැන යළි පිහිටුවීම සඳහා යෙහෝවාගේ සංවිධානය බොහෝ දේවල් කරලා තියෙනවා. උදාහරණයක් හැටියට, 1896 පෙබරවාරි 1, සයන්ස් වොච් ටවර් කලාපයේ තිබුණේ ගීතිකා විතරයි. “සියොන්ගේ ප්‍රීතිමත් අලුයම් ගීතිකා” යනුවෙන් එය නම් කර තිබුණා.
වර්ෂ 1938දී සභා රැස්වීම්වලදී ගීතිකා ගායනා කිරීම විශාල වශයෙන් අත්හිටුවනු ලැබුවා. කොහොම වුණත්, ප්‍රේරිතවරුන්ගේ ආදර්ශය සහ මඟ පෙන්වීම අනුගමනය කිරීමේ ප්‍රඥාව වැඩි කලක් යන්න කලින් සාර්ථකව ක්‍රියාත්මක වුණා. වර්ෂ 1944දී පැවැත්වූ දිස්ත්‍රික් සමුළුවේදී, “රාජ්‍ය සේවයේ ගීතිකා” යන තේමාවෙන් යුත් අනුශාසනාව එෆ්. ඩබ්. ෆ්රාන්ස් ඉදිරිපත් කළා. මිනිසාව මවන්න කලින්, බොහෝ කාලයක සිට දෙවිගේ ස්වර්ගික මැවිලි, යෙහෝවාට ප්‍රශංසා ගී ගායනා කළ බව පැහැදිලි කර දී, ඔහු මෙසේ කිව්වා: “පොළොවේ සිටින දෙවිගේ සේවකයන් තම මුවින් හඬනඟා ගීතිකා ගායනා කිරීම සුදුසු ක්‍රියාවක් වගේම දෙවිට ප්‍රසන්න දෙයක්ද වෙනවා.” නමස්කාරයේදී ගීතිකා ගායනා කිරීමට පක්ෂව තර්කානුකූලව කරුණු ඉදිරිපත් කිරීමෙන් පසු, සතිපතා සේවා රැස්වීම්වලදී භාවිත කිරීම සඳහා සකස් කළ කිංඩම් ස’විස් සෝං බුක් මුදාහැරීම ඔහු නිවේදනය කළා.b පසුව, ආරම්භක හා අවසන් ගීතිකා අනිත් රැස්වීම්වලටද ඇතුළත් වන බව, 1944 දෙසැම්බර් ඉන්ෆෝ’මන්ට්හි (දැන් අපගේ රාජ්‍ය සේවාව යනුවෙන් හඳුන්වයි) නිවේදනය කළා. ගායනා කිරීම, නැවතත් යෙහෝවාගේ නමස්කාරයේ අංගයක් වුණා.
‘අපගේ හදින් යෙහෝවාට ගීතිකා ගැයීම’
හෘදයාංගම ගීතිකා ගැයීමේ වටිනාකම, නැඟෙනහිර යුරෝපයේ හා අප්‍රිකාවේ වසර ගණනාවක්ම විරුද්ධවාදිකම් හා පීඩා අද්දැක තිබෙන අපේ සහෝදරයන්ගේ ආදර්ශයෙන් පැහැදිලි වෙනවා. ලෝටා වාග්නර් හුදකලා සිර කුටියක වසර හතක් ගත කළා. ඔහු දරාගත්තේ කොහොමද? ඔහු මෙසේ කියනවා: “රාජ්‍ය ගීතිකා සම්පූර්ණයෙන් මතක තබාගැනීම සඳහා සති ගණනාවක් මගේ මනස ඒවාට යොමු කර තැබුවා. ගීතිකාව හරියටම දැනගෙන සිටියේ නැති අවස්ථාවලදී, පද එකක් හෝ දෙකක් මම අලුතින් හැදුවා. . . . අපේ රාජ්‍ය ගීතිකාවල දිරිගන්වන හා ගොඩනංවනසුලු අදහස් මොනතරම් තියෙනවාද!”—වර්ෂ 1974 යිය’ බුක් ඔෆ් ජෙහෝවාස් විට්නසස්, 226-8 දක්වා පිටු.
තමාගේ විශ්වාසවන්ත ස්ථාවරය නිසා හුදකලා සිර කුටියක වසර පහක් ගත කළ හැරල්ඩ් කිං එම කාලයේදී, යෙහෝවාට ප්‍රශංසා කරන ගීතිකා රචනා කරමින් හා ගායනා කරමින් සැනසිල්ලක් ලැබුවා. යෙහෝවාගේ සාක්ෂිකරුවෝ ඔහු රචනා කළ ගීතිකා බොහොමයක් අදදින ඔවුන්ගේ නමස්කාරයේදී භාවිත කරනවා. ගීතිකා ගැයීමෙන් අද්දකින ප්‍රීතිය සහනය ගෙන දෙන්නක්. එහෙත් යෙහෝවාට ප්‍රශංසා ගී ගැයීමේ වටිනාකම තේරුම්ගන්න පීඩා අද්දකින තෙක් බලා සිටිය යුතු නැහැ.
යෙහෝවාගේ සෙනඟට අයත් වන සියලුදෙනාටම ගීතිකා ගැයීමෙන් ප්‍රීතිය භුක්තිවිඳින්න පුළුවන්. අපේ හැඟීම් වචනවලින් ප්‍රකාශ කිරීමේ යම් අවහිරතා අපට තිබිය හැකි වුවත්, ගීතිකා ගායනා කිරීමේදී එම හැඟීම්වලට අපගේ හඬ එක් කරන විට, යෙහෝවා කෙරෙහි වූ අපගේ හැඟීම් නිරායාසයෙන්ම ගලා ආ හැකියි. “ගීතිකාවලින්ද කවිවලින්ද ආත්මික ගීවලින්ද එකිනෙකාට කථාකොට, නුඹලාගේ සිත්වලින් ස්වාමීන්වහන්සේට ගායනාද ගීතිකාද කරමින්” සිටින්න කියා ප්‍රේරිත පාවුල් ක්‍රිස්තියානීන්ට අනුශාසනා කළ විට, ප්රශංසාත්මක ගීතිකා ගායනා කිරීමෙන් අපට ප්‍රීතිය සොයාගත හැකි ආකාරය ඔහු පෙන්වා දුන්නා. (එපීස 5:19) අපගේ හදවත් ආත්මික දේවලින් පිරී පවතින විට, අපේ හැඟීම් ගීතිකාවලින් ප්රබලව ප්‍රකාශ කරන්න පුළුවන් බව අපට පෙනී යනවා. එනිසා පෙරට වඩා උසස් ගුණයකින් ගීතිකා ගායනා කිරීමට යතුර වන්නේ, හෘදයේ හරි ආකල්පයක් තිබීමයි.
යෙහෝවා සමඟ යහපත් සබඳතාවක් ඇතුව සිටීම, ප්‍රීතිමත් ස්වභාවයකට දායක වනවා වගේම, යෙහෝවාට ප්‍රශංසා කිරීම සඳහා කතා කරන්න, ගායනා කරන්න හා හඬනඟන්න එය අපව පොලඹවනවා. (ගීතාවලිය 146:2, 5) අපි හෘදයෙන්ම ගයන්නේ අපි භුක්තිවිඳින දේවල් ගැනයි. අපි ගීතිකාවට හෝ එහි තිබෙන හැඟීම්වලට කැමති නම්, අපි එය බොහෝදුරට ගායනා කරන්නේ නියම හැඟීමක් ඇතුවයි.
යමෙකුට හැඟීමෙන් යුක්තව ගායනා කිරීම සඳහා හඬනඟාම ගායනා කරන්න අවශ්‍ය නැහැ. හඬනඟා ගායනා කළ පමණින් එය හොඳ ගායනයක් නොවන අතර, ගායනය ඇසෙන්නේ නැත්නම් ඵලකුත් නැහැ. හීන් හඬකින් ගායනා කළත්, හොඳ කටහඬක් තිබෙන අය කැපීපෙනෙනවා වෙන්න පුළුවන්. කණ්ඩායමක් සමඟ හොඳින් ගායනා කිරීමේදී ඇති වන අභියෝගයේ එක් කොටසක් වන්නේ, කණ්ඩායම හා එක්ව ගායනා කිරීමයි. ඔබ ගැළපෙන වෙනත් ස්වරයකින් හෝ එකම ස්වරයකින් ගායනා කරනවා නම්, ඔබ සමඟ ගායනයේ හවුල් වන අයගේ ශබ්දයට ඔබගේ ශබ්දය මුසු කිරීම, ගායනය ප්‍රියජනක එකක් කිරීමට දායක වෙනවා. මහත් උද්යෝගයකින් ගායනා කළත්, වෙනත් කෙනෙකුගේ හඬ යටපත් නොකරන ආකාරයට ගායනා කිරීම සඳහා හඬනඟා ගායනා කිරීමේදී යමෙකුට සමබරතාව පවත්වා ගන්න, ක්‍රිස්තියානි නිහතමානිකම හා සවන් දීම උපකාරවත් වෙනවා. කොහොම වුණත්, ඉතා දක්ෂ ලෙස ගායනා කරන අය හෝ සුමිහිරි කටහඬක් තියෙන අය හඬනඟා ගායනා කිරීමට කවදාවත් පසුබට නොවිය යුතුයි. යෙහෝවාට ප්‍රශංසා ගී ගැයීමේදී මිහිරි කටහඬක් සභාවට ප්‍රබල අනුබලයක් වෙන්න පුළුවන්.
අපගේ රැස්වීම්වලදී ගීතිකා ගායනා කිරීම, ගීතිකාවල ස්වර කොටස් තාලයට අනුව ගායනා කිරීම සඳහා සුදුසු පසුබිමක් සකස් කරවනවා. තමාගේ සවනට වැටෙන සංගීතයේ තාලය හොඳින් හඳුනාගත හැකි අය හෝ ගීතිකා පොතේ සඳහන් ස්වර පේළි කියවා ගායනා කළ හැකි අයව දිරිගන්වන්නේ, සමූහයක් හැටියට ගීතිකා ගායනා කරන විට තාලයට එකඟව සංගීතය තව ඔපවත් කිරීමටයි.c
‘මට හරියට තාලයට ගීතිකා කියන්න බැහැ’ නැත්නම් ‘මට තියෙන්නේ අමිහිරි කටහඬක්; උස් හඬින් ගායනා කරන්න ඕන කරන ස්වරවලට එද්දී, ඒක උස්හඬින් අල්ලන්න බැහැ’ කියා යමෙක් කියන්න පුළුවන්. මේ නිසා, රාජ්‍ය ශාලාවේදී ගීතිකා ගායනා කරන විටත්, ඔවුන්ට බයාදු ගතියක් දැනෙයි. කොහොම වුණත් සත්‍යය වන්නේ, යෙහෝවාට ප්‍රශංසා ගෙන දීමේ අරමුණෙන් ගී ගයන කිසිවෙකුගේ කටහඬ ඔහු බලන ආකාරයට ‘අමිහිරි’ නොවීමයි. පුහුණු වීමෙන් හා දිව්‍යාණ්ඩු සේවා පාසැලේ සපයන උපකාරවත් වන යෝජනාවන් අනුගමනය කිරීමෙන්, කෙනෙකුට කතාවක් ඉදිරිපත් කිරීමේදී කටහඬ වැඩිදියුණු කළ හැකි ආකාරයටම, ගීතිකා ගායනා කිරීමද වර්ධනය කරගන්න පුළුවන්. සමහරු වැඩවල යෙදී සිටින අතරතුර තොල් වසාගෙන ගීතිකාවේ තාලය ගැයීමෙන් ඔවුන්ගේ කටහඬ දියුණු කරගෙන තියෙනවා. තොල් වසාගෙන ගීතිකාවේ තාලය ගැයීම මිහිරි කටහඬක් ඇති කරගැනීම සඳහා උපකාරවත් වෙනවා. අපි තනිව සිටින හෝ අන්‍යයන්ට බාධා නොවන විදිහට අපි වැඩක නිරත වෙලා සිටින අවස්ථාවලදී රාජ්‍ය ගීතිකා ගැයීම, අපේ කටහඬ දියුණු කරගැනීමේ හොඳ අභ්‍යාසයක් වන අතර, යමෙකුව ප්‍රීතිමත් මෙන්ම සන්සුන් මානසික රාමුවක තැබිය හැකි මාර්ගයක්ද වෙනවා.
සහෝදර ආශ්රයන්වලදී රාජ්‍ය ගීතිකා කිහිපයක් ගායනා කිරීමට අපට දිරිගන්වන්න පුළුවන්. ගිටාරයක් හෝ පියානෝවක් හෝ සමිතිය විසින් සකස් කර තිබෙන පියානෝ වාදනයන් පටිගත කර ඇති කැසට් පට හෝ යොදාගනිමින් එවන් ආශ්රයන්වලදී ගීතිකා ගායනා කිරීමෙන්, අපේ ආශ්‍රය තුළ ආත්මික වාතාවරණයක් ඇති වෙනවා. ගීතිකා ගායනා කරන ආකාරය ඉගෙනගන්නත් සභා රැස්වීම්වලදී ඒවා වඩා හොඳින් ගායනා කරන්නත් මෙය උපකාරයක්ද වෙනවා.
සභා රැස්වීම්වලදී උද්යෝගයෙන් ගීතිකා ගායනා කරන්න සභාවන්ට උපකාර කිරීම සඳහා, පටිගත කර තිබෙන වාදනයන් සමිතිය විසින් සපයා තිබෙනවා. එම පටි ක්‍රියාත්මක කරන විට, ශබ්ද විකාශන හසුරුවන තැනැත්තා ශබ්දයේ ප්‍රමාණය ගැන සාවධානව සිටිය යුතුයි. සංගීතය ප්‍රමාණවත් හඬකින් ඇසෙන්නේ නැත්නම්, හඬනඟා ගායනා කරන්න සබය අදි මදි කරන්න පුළුවන්. ශබ්ද විකාශන පාලනය කරන සහෝදරයා සබය සමඟ ගායනය කිරීමෙන්, වාදනය වන සංගීතය මගින් සබයට මඟ පෙන්වීමක් සැපයෙනවාද නැද්ද කියා තීරණය කරන්න පුළුවන්.
යෙහෝවාට ප්‍රශංසා ගී ගයන්න
ගායනා කිරීම මගින් අපගේ මැවුම්කරුට අපේ හැඟීම් ප්‍රකාශ කිරීමේ ප්‍රස්තාව සැපයෙනවා. (ගීතාවලිය 149:1, 3) එය, චිත්තවේගයන් වේගයෙන් පිට කිරීමක් නොව, නමුත් පාලනය කළ හා සාධාරණ මෙන්ම අපගේ ප්‍රශංසාව ප්‍රීතිමත් ස්වභාවයකින් ප්‍රකාශ කිරීමක්. සභා රැස්වීම්වලදී ගායනා කරන ගීතිකා අපගේ මුළු හෘදයෙන් ගැයීමෙන්, වැඩසටහනේ අංග සම්බන්ධයෙන් අපේ මනස හා හෘදය හොඳ රාමුවක තබාගන්න පුළුවන්; ඒ වගේම යෙහෝවාගේ නමස්කාරයේ උද්යෝගයෙන් හවුල්වීමට අපව පොලඹවන්න එයට හැකියි. ගායනයට චිත්තවේගීය බලපෑමක් තිබුණත්, එහි පදමාලාවට පුළුවන් අපට උගන්වන්න. මෙසේ, සම ශබ්දයකින් හා මධුර ස්වරයකින් අපගේ හැඟීම් ප්‍රකාශ කිරීමෙන්, සමූහයක් හැටියට ඉගෙනගත හැකි වන ආකාරයට, අපි නිහතමානීව හා යටහත් පහත්ව අපගේ හෘද සකස් කරගන්නවා.—ගීතාවලිය 10:17, සසඳන්න.
ගායනා කිරීම යෙහෝවාගේ නමස්කාරයේ සැමවිටම පවතින අංගයක්. එනිසා, ගීතිකාකරුගේ මේ හැඟීම්වලට සදාකාලයටම හවුල් වීමේ අපේක්ෂාව අපට තියෙනවා: “දිවිහිමියෙන් ස්වාමීන්ට ප්‍රශංසාකරන්නෙමි. මා පවතින තුරු මාගේ දෙවියන්වහන්සේට ප්‍රශංසා ගී කියන්නෙමි.”—ගීතාවලිය 146:2.
[පාදසටහන්වල]
a රැප්සඩියක් කියන්නේ, රචකයා ස්වාධීනව නිර්මාණය කර, විවිධ කොටස්වලින් පැහැදිලිව වෙන් කොට දක්වා තියෙන සංගීතමය කෘතියක්. බොහෝවිට මේ රැප්සඩි කාව්‍යයන් වීර චරිත හා වික්‍රමාන්විත සිද්ධීන් උසස් ලෙස වර්ණනා කරනවා.
b ගීතිකා ගායනා කිරීම, පළමු සියවසේ පැවති ක්‍රිස්තියානි නමස්කාරයේ නිතිපතා අංගයක් වූ බව 1 කොරින්ති 14:15හි පැවසෙන වචනවලින් ඇඟවෙන බව පේනවා.
c යෙහෝවඃවහන්සේට ප්‍රශංසා ගී ගයන්න යනුවෙන් දැන් අපි පාවිච්චි කරන ගීතිකා (ඉංග්‍රීසි) පොතේ සමහර ගීතිකාවල, ස්වර කොටස් ගායනා කරන්න කැමති අයගේ ප්‍රයෝජනය සඳහා කොටස් හතරකින් සමන්විත ස්වර රටාවක් ඇතුළත් කර තියෙනවා. කොහොම වුණත්, ගීතිකා බොහොමයක් පියානෝ වාදනයට අනුව ගායනා කිරීම සඳහා පිළියෙළ කර තිබෙන අතර, එම තාලවල අන්තර්ජාතික රටාව රැකගන්න බලන සංගීත ශෛලියක් ඒවාට දෙනු ලැබුවා. ස්වර කොටස් හතරට අනුකූල නොවී රචනා කර තිබෙන ගීතිකා ගායනා කරන අවස්ථාවේදීම ස්වර සකස් කරගැනීම, රැස්වීම්වලදී අපගේ ගායනා කිරීම ප්‍රසන්න ආකාරයකට වර්ධනය කරගන්න උපකාර විය හැකියි.
[27වන පිටුවේ කොටුව]
වඩා හොඳින් ගීතිකා ගායනා කිරීම සඳහා යෝජනා කිහිපයක්
1. ගායනා කරන විට ගීතිකා පොත ඔසවා තබාගන්න. වඩා පහසුවෙන් හුස්ම ගැනීමට මෙය උපකාර වෙනවා.
2. සෑම පද පේළියක්ම ආරම්භයේදී හොඳට හුස්ම ගන්න.
3. මුලදී තමාට හැඟෙනවාට වඩා ටිකක් වැඩයෙන් මුඛය විවෘත කිරීමෙන්, ශබ්දය සහ එහි අනුනාදය ස්වභාවයෙන්ම වැඩි වෙනවා.
4. සියල්ලටම වඩා, ගායනා කරනු ලබන ගීතිකාවේ හැඟීම් කෙරෙහි සිත යොමු කරන්න.