ජෛව-ආචාරධර්ම සහ රුධිරය නොමැති ශල්‍යකර්ම
මෑත වර්ෂවලදී, වෛද්‍ය විද්‍යා ක්ෂේත්රයේ පෙර නොවූවිරූ ප්‍රගතියක් දැකගන්න පුළුවන් වෙලා තියෙනවා. කොහොම වුණත්, වෛද්‍ය ගැටලු නිරාකරණය කරන්න පුළුවන් වෙලා තිබුණත්, සමහර පැතිවලින් ලබලා තියෙන දියුණුව ආචාරධර්මීය ගැටලු ඉස්මතු කරලා තියෙනවා.
වෛද්‍යවරුන්ට සිදු වෙලා තියෙනවා මෙවැනි විසඳාගන්න අමාරු ප්‍රශ්න ගැන බරපතළ ලෙස සිතන්න: රෝගියෙකුට ගරුත්වයකින් මියයන්න නම්, ප්‍රබල වෛද්‍ය ප්‍රතිකාර ඇතැම්විට අත්හැරිය යුතුද? රෝගියෙකුගේ තීරණය ප්‍රතික්ෂේප කරන එක එම රෝගියාගේ ශුභසිද්ධියට හේතුවක් වෙයි කියලා වෛද්‍යවරයෙක්ට හැඟෙනවා නම්, ඔහුට එහෙම කරන්න පුළුවන්ද? මිල අධික ප්‍රතිකාර ක්‍රම හැම කෙනෙකුටම ලබාගන්න බැරි අවස්ථාවක සෞඛ්‍ය සාත්තුව සාධාරණව බෙදා දිය යුත්තේ කොහොමද?
මෙවැනි ප්‍රශ්න ඉස්මතු වෙලා තියෙන නිසා, ජෛව-ආචාරධර්ම කියන වෛද්‍ය ක්ෂේත්රයක් බිහි වෙලා තියෙනවා. ජෛව පර්යේෂණවල හා වෛද්‍ය දියුණුවීම්වල ආචාරධර්මීය බලපෑම සමඟ කටයුතු කිරීමට වෛද්‍යවරුන්ට හා විද්‍යාඥයන්ට උපකාර කිරීමේ ඉලක්කය මෙම විෂයට තියෙනවා. වඩාත්ම අසීරු තීරණ බොහොමයක් රෝහල්වල ඉස්මතු වන නිසා, බොහෝ රෝහල්වල ජෛව-ආචාරධර්මීය කමිටු පිහිටුවලා තියෙනවා. වෛද්‍යවරුන් හා නීතිඥවරුන් ඇතුළු කමිටුවේ සාමාජිකයන්, වෛද්‍ය විද්‍යාවේ පැනනඟින ආචාරධර්මීය ප්‍රශ්න ගැටලු විග්රහ කර බලන ජෛව-ආචාරධර්මීය සම්මන්ත්‍රණවලට සාමාන්‍යයෙන් සහභාගි වෙනවා.
මෙවැනි සම්මන්ත්රණවල නිතරම වාගේ ඉස්මතු වන ප්‍රශ්න සමහරක්: මූලිකවම ආගමික හේතු නිසා, රුධිර පාරවිලයනය ප්‍රතික්ෂේප කරන යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ විශ්වාසයන්ට ගරු කිරීමට වෛද්‍යවරුන් කෙතරම් දුර යා යුතුද? රෝගියෙකුට රුධිරය දීම වෛද්‍යමය පැත්තෙන් “යෝග්‍ය” දෙයක් සේ පෙනෙනවා නම්, රෝගියාගේ කැමැත්තට එය එකඟ නූණත් එසේ කළ යුතුද? ‘රෝගියා නොදන්න දේ ඔහුට ප්‍රශ්නයක් වෙන එකක් නැහැ’ කියලා නිගමනය කරනවා වාගේ, රෝගියාට හොරෙන් එහෙම කිරීම ආචාරධර්මීය දෙයක් වේවිද?
එවැනි ප්‍රශ්න සම්බන්ධව උචිත විදිහට කටයුතු කරන්න නම්, සාක්ෂිකරුවන්ගේ දෘෂ්ටිකෝණය ගැන මූලික අභිප්‍රායෙන් පිට නොයන අවබෝධයක් තිබීම වෛද්‍යවරුන්ට අවශ්‍යයි. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පැත්තෙන් බලනවා නම්, ඔවුන් තමන්ගේ ස්ථාවරය පැහැදිලි කිරීමට ඉතාමත් කැමැත්තෙන් ඉන්නවා; ඊට හේතුව එකිනෙකාගේ තත්වය තේරුම්ගැනීම ඝට්ටන මඟහැරීමට හේතු වන බව ඔවුන්ට අවබෝධ වන නිසයි.
අදහස් උදහස් හුවමාරු කරගැනීම
ජෛව-ආචාරධර්ම පිළිබඳ ප්රමුඛ පෙළේ ස්පාඤ්ඤ විශේෂඥයෙක් වන මහාචාර්ය ඩියේගෝ ග්රාස්යා කැමති වුණා තම පංතිය එවැනි සංවාදයක යොදවන්න. “රුධිර පාරවිලයනය ඔයගොල්ලන්ට [යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට] සෑහෙන ගැටලුවක් වෙලා තියෙන හින්දා, ඔයගොල්ලන්ගේ සැලකිල්ලට යොමු වන කාරණා ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබා දෙන එක උචිතයි” කියලා එම මහාචාර්යවරයා කිව්වා.
ඒ හින්දා, 1996 ජූනි 5වනදා, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ නියෝජිතයන් තුන්දෙනෙක්ව ස්පාඤ්ඤයේ කොම්ප්ලූටෙන්සෙ මැඩ්රිඩ් සරසවියට කැඳෙව්වේ, තමුන්ගේ දෘෂ්ටිකෝණය පැහැදිලි කරන්න අවස්ථාවක් දෙන්නයි. වෛද්‍යවරුන් හා වෙනත් වෘත්තිකයන් 40දෙනෙක් විතර පැමිණ සිටියා.
සාක්ෂිකරුවන් කෙටි ඉදිරිපත් කිරීමක් කළායින් පසුව, සැසිවාරයේ ප්‍රශ්න ඇසීමට අවස්ථාවක් දෙනු ලැබුවා. පැමිණ සිටි සියලුදෙනාම එකඟ වුණේ යම් විශේෂිත වෛද්‍ය ප්‍රතිකාරයක් ප්‍රතික්ෂේප කිරීමට වැඩිහිටි රෝගියෙක්ට අයිතියක් තිබිය යුතුයි කියන එකටයි. පාරවිලයනයක් රෝගියාගේ අනුදැනුම හා අනුමැතිය නැතුව කිසිම අවස්ථාවක ලබා නොදිය යුතු බවත් පංතියට සහභාගි වූ සියලුදෙනාම විශ්වාස කළා. ඒත්, සාක්ෂිකරුවන්ගේ ස්ථාවරයේ ඇතැම් අංග ගැන ඔවුන් සැලකිලිමත් වුණා.
එක ප්‍රශ්නයක් මුදල් හා සම්බන්ධ වුණා. රුධිරය භාවිත නොකර ශල්‍යකර්ම කරන කොට, ලේසර් සැත්කම් කරන්න විශේෂ ආම්පන්නත්, රතු රුධිර සෛල නිෂ්පාදනය වේගවත් කිරීමට දායක වන එරිත්රොපොයිටින් වැනි මිල අධික ඖෂධත් ඇතැම්විට අවශ්‍ය වෙනවා. එතරම් මිල අධික නැති විකල්පයක් (සමජාත රුධිරය) ප්‍රතික්ෂේප කිරීමෙන්, සාක්ෂිකරුවන් මහජන සෞඛ්‍ය සේවාවන්ගෙන් විශේෂ වරප්‍රසාද අපේක්ෂා කරනවාද කියන එක ගැන වෛද්‍යවරයෙක් දැනගන්න කැමති වුණා.
මුදල්, වෛද්‍යවරුන් සලකා බැලිය යුතුම සාධකයක් බව පිළිගත්තත්, සමජාත රුධිර පාරවිලයනවලට වක්‍රාකාරව මුදල් කොතරම් වියදම් වෙනවාද කියලා විග්රහ කර බලන, පළ වී තිබෙන අධ්‍යයනවලට සාක්ෂිකාර නියෝජිතයෙක් අවධානය යොමු කළා. පාරවිලයනයන් හා බැඳුණු ආබාධවලට ප්‍රතිකාර කිරීමේ වියදම හා ඒ ආබාධවල ප්‍රතිඵලයක් වශයෙන් වැඩ කරන්න බැරිවීම නිසා නැති වන ආදායම මෙයට ඇතුළත් වෙනවා. සාමාන්‍ය රුධිර ඒකකයකට මුලින්ම ඩොලර් 250ක් වියදම් වුණත්, මුල් ගණනට වඩා පස් ගුණයකින් වැඩි සංඛ්‍යාවක් වන ඩොලර් 1,300ක් ඉක්මවූ වියදමක් අන්තිමට දරන්න සිදු වූ බව පෙන්නුම් කළ එක්සත් ජනපද අධ්‍යයනයකින් සවිස්තර කරුණු ඔහු උපුටා දැක්වූවා. ඒ හින්දා, අදාළ හැම සාධකයක්ම සැලකිල්ලට ගත්තායින් පසුව, රුධිරය භාවිත නොකර කරන ශල්‍යකර්ම වඩාත් පිරිමැසුම්දායක බව ඔහු පෙන්නුම් කළා. ඒ විතරක් නොවේ, රුධිරය භාවිත නොකර කරන ශල්‍යකර්ම සඳහා යන අමතර වියදමෙන් වැඩිහරියක්, නැවත පාවිච්චි කරන්න පුළුවන් ආම්පන්න සඳහයි වැය වෙන්නේ.
වෛද්‍යවරුන් කිහිපදෙනෙකුට ප්‍රශ්නයක් වුණ තවත් දෙයක් සමූහ පීඩනයට සම්බන්ධයි. සාක්ෂිකරුවෙක් ස්ථාවරයෙන් වැටී රුධිර පාරවිලයනයක් පිළිගත්තා නම් මොකද්ද වෙන්නේ කියලා ඔවුන් දැනගන්න කැමති වුණා. අනික් සාක්ෂිකරුවන් ඔහුව එපා කරාවිද?
දක්වන ප්‍රතිචාරය රඳා පවතින්නේ සැබෑ තත්වය අනුවයි; එයට හේතුව දේවනීතියට අකීකරු වීම සභාවේ වැඩිමහල්ලන් පරීක්ෂා කර බැලිය යුතු බරපතළ කාරණයක් වන නිසයි. ජීවිතයට තර්ජනයක් වන ශල්‍යකර්මයකට යටත්වීමේ පීඩාකාරි අද්දැකීමට යටත් වී, පාරවිලයනයක් පිළිගෙන ඇති ඕනෑම පුද්ගලයෙකුට උපකාර කරන්න සාක්ෂිකරුවන් කැමති වෙනවා. එහෙම කළ සාක්ෂිකරුවෙකුට මහත් දුකක් මෙන්ම දෙවි සමඟ තමාට තියෙන සම්බන්ධය ගැන මහත් සැලකිල්ලක් ඇති වෙන බවට සැකයක් නැහැ. එවැනි පුද්ගලයෙකුට උපකාරය හා තේරුම්ගැනීම අවශ්‍ය වෙන්න පුළුවන්. ක්‍රිස්තියානි ධර්මයේ අඩිතාලම ප්‍රේමය වන නිසා, සෑම විනිශ්චයක කාරණයකදී මෙන්, වැඩිමහල්ලන් ස්ථිරකමට දයාව මුසු කරන්න කැමති වෙන එක අවශ්‍යයි.—මතෙව් 9:12, 13; යොහන් 7:24.
“ඔයගොල්ලන්ගේ ආචාරධර්මීය ස්ථාවරය වෙනස් කරන්න වෙන්නේ නැද්ද?” කියලා එක්සත් ජනපදයෙන් පැමිණි ජෛව-ආචාරධර්ම පිළිබඳ මහාචාර්යවරයෙක් ඇසුවා. “මෑත වර්ෂවලදී වෙනත් ආගමුත් එහෙම කරලා තියෙනවානේ.”
රුධිරයේ පරිශුද්ධභාවය පිළිබඳ සාක්ෂිකරුවන්ගේ ස්ථාවරය ආගමික විශ්වාසයක් මිස, විටින් විට වෙනස් වන ආචාරධර්මීය මතයක් නොවන බව ඔහුට කියනු ලැබුවා. මෙම පැහැදිලි බයිබල් ආඥාව නිසා, ප්‍රතිපත්ති පාවා දීමට කිසිම ඉඩ කඩක් ලැබෙන්නේ නැහැ. (ක්‍රියා 15:28, 29) රූප වැඳීම හෝ වේශ්‍යාකමට ඉඩ දෙනවා වගේම, එවැනි දිව්‍ය නීතියක් උල්ලංගනය කිරීම සාක්ෂිකරුවෙකුට පිළිගත නොහැකි දෙයක්.
මැඩ්රිඩ්හි එම ජෛව-ආචාරධර්ම සම්මන්ත්‍රණයට පැමිණ සිටි අයට සමානව, බයිබලය මත පදනම් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ විශ්වාසයන්ට එකඟ විකල්ප ප්‍රතිකාර ලබාගැනීමට සාක්ෂිකරුවන් ගෙන ඇති තීරණයට ගරු කරන්න, වෛද්‍යවරුන් දක්වන කැමැත්ත ඔවුන් ගොඩක් අගය කරනවා. වෛද්‍යවරයා හා රෝගියා අතර සම්බන්ධය වැඩිදියුණු කරන්නත්, රෝගියාගේ කැමැත්තට වැඩි ගෞරවයක් පෙන්වීමට දිරිගන්වන්නත් ජෛව-ආචාරධර්ම වැදගත් කාර්ය කොටසක් ඉටු කරයි කියලා කිසිම සැකයක් නැතුව කියන්න පුළුවන්.
වාර්තාවලට අනුව එක් සුප්‍රසිද්ධ ස්පාඤ්ඤ වෛද්‍යවරයෙක් මෙහෙම කියලා තිබෙනවා: වෛද්‍යවරුන් “අංග සම්පූර්ණ නැති උපකරණ හා වරදින්න පුළුවන් ක්‍රම යොදා” වැඩ කරන බව ඔවුන් හැමවිටම සිහියේ තබාගන්න ඕනෑ. එමනිසා, “දැනුමට පිවිසෙන්න බැරි අවස්ථාවල ප්‍රේමය හැමවිටම විදහාපෙන්වන බවට විශ්වාසය” ඔවුන්ට අවශ්‍යයි.