මිදීම ළඟා වෙද්දී ධෛර්යවත් වන්න
“‘ඔබව මුදන්න මම ඔබ සමඟ සිටිමියි’ යෙහෝවා කියන්නේය.”—යෙරෙමියා 1:19, NW.
1, 2. මිනිස් පවුලට මිදීමක් අවශ්‍ය වන්නේ ඇයි?
මිදීම! මොනතරම් සැනසිල්ල ගෙන දෙන වචනයක්ද! මුදනු ලැබීමෙන් අදහස් වන්නේ, යම් අයහපත්, දුක්දායක තත්වයකින් බේරෙනවා කියන එකයි, එහෙම නැත්නං එයින් නිදහස් වීමයි. වඩාත් හොඳ, සන්තෝෂය තියෙන තත්වයකට ගෙන ඒමේ අදහස මෙයට ඇතුළත් වෙනවා.
2 එවැනි මිදීමක් මේ කාලයේ මිනිස් පවුලට කොතරම් අවශ්‍යද! හැම තැනම ඉන්න ජනයා දුෂ්කර—ඒ කියන්නේ ආර්ථික, සමාජීය, කායික, මානසික සහ චිත්තවේගීය ගැටලුවලින් පීඩා විඳිමින් අධෛර්යයට පත් වී සිටිනවා. ලෝකය යන දිශාව ගැන බහුතරයක්ම නොසෑහී බලාපොරොත්තු සුන් කරගෙන ඉන්න අතර, හොඳ අතට යම් වෙනසක් සිදු වෙනවා දකින්න කැමැත්තෙන් ඉන්නවා.—යෙසායා 60:2; මතෙව් 9:36.
“කටයුතු කිරීමට අසීරු, අර්බුදකාරි කාලවල්”
3, 4. මිදීම සඳහා දැන් මහත් අවශ්‍යතාවක් ඇත්තේ ඇයි?
3 වෙන කිසිම සියවසකට වඩා මෙම 20වන සියවසේ දුක් ගාවිනා වැඩි වෙලා තියෙන නිසා, වෙන කිසිදාකටත් වඩා මිදීම සඳහා වැඩි අවශ්‍යතාවක් තියෙනවා. අදදින, මනුෂ්‍යයන් බිලියනයකටත් වැඩිය සංඛ්‍යාවක් තදබල දිළිඳුකමින් ජීවත් වන අතර, ඒ සංඛ්‍යාව වාර්ෂිකව දශලක්ෂ 25කින් පමණ වැඩි වෙනවා. හැම අවුරුද්දකම මන්දපෝෂණය හෝ දිළිඳුකමට සම්බන්ධ වෙනත් හේතු නිසා දරුවෝ දශලක්ෂ 13ක් මියයනවා; ඒ කියන්නේ දිනකට 35,000ක් පමණ! එමෙන්ම විවිධාකාර රෝගවලට හසු වී වැඩිහිටියන් දශලක්ෂ ගණනාවක්ම අකල් මරණවලට ගොදුරු වෙනවා.—ලූක් 21:11; එළිදරව් 6:8.
4 යුද්ධ සහ සිවිල් කැලඹීම්, කියා නිම කළ නොහැකි දුක් වේදනා ඇති කරලා තියෙනවා. ඩෙත් බයි ගවන්මන්ට් (ආණ්ඩු සිදු කරන මරණ) යන පොත කියන්නේ, යුද්ධ, වාර්ගික සහ ආගමික කලකෝලාහල, එමෙන්ම ආණ්ඩු විසින් තමුන්ගේම පුරවැසියන් සමූලඝාතනය කිරීම හින්දා, “මේ සියවසේ දශලක්ෂ 203ක් ඉක්මවූ ජන සංඛ්‍යාවක් ජීවිතක්ෂයට” පත් වී තියෙන බවයි. එහි තවත් මෙහෙම කියනවා: “ඇත්තෙන්ම ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව දශලක්ෂ 360කටත් ආසන්න වෙන්න පුළුවන්. එය හරියට අපේ මනුෂ්‍ය ජාතිය නවීන දින කළු මහාමාරියකින් වනසා තියෙනවා වගෙයි. ඇත්තෙන්ම එහෙම වෙලා තියෙනවා; ඒත් විෂබීජ නොව බලයේ මහාමාරියක් තමයි එහෙම කරලා තියෙන්නේ.” ලේඛක රිචඩ් හාවුඩ් මෙහෙම නිරීක්ෂණය කළා: “යටගිය සියවස්වල ම්ලේච්ඡයන්ගේ යුද්ධ සසඳන කොට, ඒවා සුළු රණ්ඩු දබර වගෙයි.”—මතෙව් 24:6, 7; එළිදරව් 6:4.
5, 6. අපේ කාලය එතරම් දුක් ගෙන දෙන එකක් වෙන්න සලස්වන්නේ මොකක්ද?
5 මෑත වර්ෂවල සිදු වී තියෙන දුක් ගෙන දෙන තත්වයන්ට අමතරව, දරුණු අපරාධ, දුරාචාරය සහ පවුල් බිඳවැටීමේ අපූරු වර්ධනයක් තියෙනවා. අවුරුදු 30කදී එක්සත් ජනපද ජනගහනය සියයට 41කින් වර්ධනය වුණත්, දරුණු අපරාධ සියයට 560කින්ද, අවජාතක දරු උපත් සියයට 400කින්ද, දික්කසාදයන් සියයට 300කින්ද, නහඹරවියේ සියදිවි නසාගැනීමේ අනුපාතය සියයට 200කින්ද වර්ධනය වූ බව එ.ජ. හිටපු අධ්‍යාපන ලේකම් විලියම් බෙනට් සඳහන් කළා. “මිනීමරන, පහර දෙන, දූෂණය කරන, සොරකම් කරන, ගෙවල් බිඳින සහ සමාජයේ බරපතළ කැලඹීම්” ඇති කරන වැඩි වෙන තරුණ “සුපිරි කොල්ලකන්නන්ගේ” සංඛ්‍යාව ගැන ප්‍රින්ස්ටන් සරසවියේ මහාචාර්ය කනිෂ්ඨ ජොන් ඩියූල්යෝ අනතුරු ඇඟෙව්වා. “අත්අඩංගුවට ගැනීමේ කැළලවත්, සිරභාරයට යටත් වීමේ වේදනාවවත්, හෘදය සාක්ෂියේ දොස්නැඟීමවත් ඔවුන්ව භයගන්වන්නේ නැහැ.” ඒ රටේ, අවුරුදු 15 සහ 19 අතර වයස් සීමාවේ සිදු වන මරණවලට දැන් මුල් වන දෙවන හේතුව මනුෂ්යඝාතනයි. ඒ වගේම අවුරුදු හතරට අඩු ළමයින් වැඩි පිරිසක් මැරෙන්නේ රෝගවලින් නොව අඩන්තේට්ටම්වලට හසුවීමෙනුයි.
6 ඒ වගේ අපරාධ සහ ප්‍රචණ්ඩකාරිත්වය එක ජාතියකට සීමා වෙලා නැහැ. බොහෝ රටවල ඒ හා සමාන ප්රවණතා වාර්තා වෙනවා. මෙයට දායක වන තවත් දෙයක් තමයි, දශලක්ෂ ගණනාවකවම දූෂණය කරවන නීතිවිරෝධී මත්ද්‍රව්‍ය පාවිච්චිය ශීඝ්‍ර ලෙස වැඩිවීම. ඕස්ට්‍රේලියාවේ සිඩ්නි මෝ’නිං හෙරල්ඩ් මෙහෙම කිව්වා: “අවි වෙළඳාමෙන් පස්සේ ලෝකයේ ලාභදායීම ව්‍යාපාරවලින් දෙවන ස්ථානය හිමි වෙලා තියෙන්නේ අන්තර්ජාතික මත්ද්‍රව්‍ය ජාවාරමටයි.” දැන් රූපවාහිනිය පුරා දක්නට ලැබෙන ප්‍රචණ්ඩකාරිත්වය සහ දුරාචාරය තවත් සාධකයක් වෙනවා. රටවල් බොහොමයක, දරුවෙක් අවුරුදු 18 වෙන කොට, ඔහු රූපවාහිනියේ ප්‍රචණ්ඩකාරි ක්‍රියා දසදහස් ගණනක්ද, දුරාචාරමය සිද්ධීන් අනන්ත අප්‍රමාණ සංඛ්‍යාවක්ද නරඹලා තියෙනවා. නිතිපතා අපේ මනස් පෝෂණය කරන දේවලින් අපේ පෞද්ගලිකත්වය සකස් වන හින්දා, මෙය සැලකිය යුතු දූෂ්‍ය කරවන බලපෑමක්.—රෝම 12:2; එපීස 5:3, 4.
7. බයිබල් අනාවැකි වර්තමාන නරක තත්වයන් පුරෝකථනය කළේ කොහොමද?
7 අපේ සියවසේ සිද්ධීන්වල මෙම භයානක ප්‍රවණතාව බයිබල් අනාවැකිවල නිවැරදිව පුරෝකථනය කරලා තිබුණා. සමස්ත ලෝක යුද්ධ, වසංගත වගේ පැතිරෙන රෝග, ආහාර හිඟකම් සහ නොපනත්කමේ වැඩිවීමක් තියෙන්න යන බව එහි පවසලා තිබුණා. (මතෙව් 24:7-12; ලූක් 21:10, 11) එමෙන්ම 2 තිමෝති 3:1-5හි වාර්තා වී තියෙන අනාවැකි සලකා බලන කොට, ඒක හරියට රාත්‍රී ප්රවෘත්ති වාර්තාවකට සවන් දෙනවා වගෙයි. අපේ යුගය “අන්තිම දවස්” හැටියට හඳුන්වා දෙන එම වාර්තාව, ජනයාව විස්තර කරන්නේ ‘තමුන්ටම ප්‍රේමකරන්නෝ, මුදලට ප්‍රේමකරන්නෝ, මව්පියන්ට අකීකරුවන්නෝ, අභක්තිකයෝ, ජන්ම ස්නේහය නැත්තෝ, තෘෂ්ණාව මැඩපවත්වා නොගන්නෝ, කෲරයෝ, අහංකාරයෝ, දෙවිට වඩා සැපසෙල්ලමට ප්‍රේමකරන්නෝ’ හැටියටයි. අදදින ලෝකයේ තත්වයත් හරියටම ඒ විදිහමයි. විලියම් බෙනට් පිළිගත්තාක් මෙන්: “ශිෂ්ටාචාරය නරක් වී ඇති බවට . . . සාක්ෂි අනන්ත අප්‍රමාණයි.” ශිෂ්ටාචාරය පළමු ලෝක මහා යුද්ධයත් සමඟ අවසන් වුණයි කියලත් කියලා තියෙනවා.
8. දෙවි නෝවාගේ කාලයේදී ජලගැල්ම ගෙනාවේ ඇයි? එමෙන්ම මෙය අපේ කාලයට සම්බන්ධ වෙන්නේ කොහොමද?
8 නෝවාගේ දවසේ සිදු වූ ජලගැල්මට කලින්, “පොළොව බලාත්කාරයෙන් පිරී තිබුණ” තත්වයට වඩා දැන් තත්වය හරි දරුණුයි. ඒ කාලයේදී, සාමාන්‍යයෙන් ගත්තහම ජනයා තම නරක ක්‍රියා ගැන පසුතැවිලි වෙන එක ප්‍රතික්ෂේප කළා. ඒ හින්දා දෙවි මෙහෙම කිව්වා: “සියල්ලන් කරණකොටගෙන පොළොව බලාත්කාරයෙන් පිරී තිබෙන බැවින් ඔවුන්ගේ අන්තිමය මා ඉදිරියට පැමිණ තිබේ; බලව, මම ඔවුන් . . . විනාශකරන්නෙමි.” ඒ ජලගැල්ම එම ප්‍රචණ්ඩකාරි ලෝකය අවසන් කළා.—උත්පත්ති 6:11, 13; 7:17-24.
මනුෂ්‍යයන් අතින් මිදීමක් නැහැ
9, 10. මිදීමක් සපයන්න අපි මනුෂ්‍යයන් දෙස නොබැලිය යුත්තේ ඇයි?
9 මෙම අයහපත් තත්වයන්ගෙන් අපව මුදන්න මනුෂ්‍ය ප්‍රයත්නවලට පුළුවන්ද? දේවවචනය මෙහෙම පිළිතුරු දෙනවා: “අධිපතීන් කෙරෙහිවත් පිහිටවිය නොහැකි මනුෂ්‍ය පුත්‍රයා කෙරෙහිවත් විශ්වාසය නොතබව්.” “ගමනෙහි යෙදෙන මනුෂ්‍යයාට තමාගේ ගමන නියම කිරීම අයිති නැත.” (ගීතාවලිය 146:3; යෙරෙමියා 10:23) ඉතිහාසයේ ගෙවී ගොස් ඇති අවුරුදු දහස් ගණන එම සත්‍යතාවන් සනාථ කරලා තියෙනවා. සිතාගන්න පුළුවන් හැම ආකාරයේ දේශපාලනමය, ආර්ථික සහ සමාජීය පිළිවෙළක්ම මනුෂ්‍යයන් අත්හදා බලා තිබුණත්, තත්වයන් තව තවත් දරුණු වෙනවා. මනුෂ්‍ය විසඳුමක් තිබුණා නම්, දැන් වෙන කොට එය මොකක්ද කියලා පැහැදිලි වෙන්න තිබුණා. ඒ වෙනුවට, “මනුෂ්‍යයන්ට අනතුරු වෙන හැටියට මනුෂ්‍යයෙකු විසින් ඔවුන් කෙරෙහි ආණ්ඩුකරන” එක යථාර්ථය බවට පත් වෙලා තියෙනවා.—දේශනාකාරයා 8:9; හිතෝපදේශ 29:2; යෙරෙමියා 17:5, 6.
10 අවුරුදු කිහිපයකට කලින්, හිටපු එ.ජ. ජාතික ආරක්ෂක උපදේශක ස්බීඥෙව් බ්රේෂින්ස්කි මෙහෙම කිව්වා: “සමස්ත ලෝක ප්රවණතා පිළිබඳ ඕනෑම අගති රහිත විග්රහයක නොවැළැක්විය හැකි නිගමනය මේකයි: සමාජීය ආරවුල්, දේශපාලනමය නොසන්සුන්කම, ආර්ථික අර්බුද සහ අන්තර්ජාතික ගැටුම් තව තවත් පැතිර යන්න තියෙන ඉඩ කඩ වැඩියි.” ඔහු තවත් මෙහෙම කියනවා: “මිනිස් සංහතියට මුහුණ දෙන්න සිදු වන තර්ජනය තමයි, සමස්ත ලෝක අවුල් වියවුල් තත්වය.” ලෝක තත්වයන් පිළිබඳ ඒ තක්සේරුව අදට නං ඊටත් වඩා වලංගු වෙනවා. වැඩිවර්ධනය වූ ප්‍රචණ්ඩකාරිත්වයෙන් යුත් මෙම යුගය ගැන අදහස් දක්වමින්, නියූ හේවන් කනෙක්ටිකට්හි රෙජිස්ට’ පුවත්පතේ කතුවැකියක මෙහෙම ප්‍රකාශ කරලා තිබුණා: “අපිට එය නවත්තන්න බැරි තරම් දුරදිග ගිහිල්ලා වගෙයි පේන්නේ.” ඔව්, මේ ලෝකයේ පිරිහීම නතර වෙන්නේ නැහැ; ඇයි කිව්වොත්, මේ “අන්තිම දවස්” ගැන සඳහන් කරන අනාවැකියේ මෙහෙමත් කියලා තියෙන හින්දයි: “නපුරු මනුෂ්‍යයොත් රැවටිලිකාරයොත් රවටමින්ද රැවටෙමින්ද වඩ වඩා නරක්වන්නෝය.”—2 තිමෝති 3:13.
11. මනුෂ්‍ය ප්රයත්න මගින්, නරක අතට හැරෙමින් පවතින තත්වයන් වෙනස් කරන්න බැරි වෙන්නේ ඇයි?
11 සාතන් “මේ ලෝකයේ දෙවියා” වන නිසා මෙම ප්රවණතා වෙනස් කරන්න මනුෂ්‍යයන්ට බැහැ. (2 කොරින්ති 4:4) ඔව්, “මුළු ලෝකයා නපුරා තුළ[යි].” (1 යොහන් 5:19; යොහන් 14:30ද බලන්න.) බයිබලය අපේ කාලය ගැන හරි විදිහට මෙහෙම කියනවා: “ගොඩටත් මුහුදටත් දුක්වේ! මක්නිසාද යක්ෂයා තමාට ඇත්තේ ස්වල්ප කාලයක් බව දන්න බැවින්, මහත් උදහසින් යුක්තව නුඹලා වෙතට බැස ගියේය.” (එළිදරව් 12:12) තම පාලනයත් ලෝකයත් අවසන් වෙන්න ළඟ බව සාතන් දන්න හින්දා, ඔහු “ගොරවන සිංහයෙකු මෙන් කවරෙකු ගිලිම්දෝහෝයි සොයමින්” කටයුතු කරනවා.—1 පේතෘස් 5:8.
මිදීම ළඟයි—කාටද?
12. මිදීම ළඟා වෙමින් තියෙන්නේ කාටද?
12 පොළොව මත උග්‍ර වෙමින් පවතින දුෂ්කර තත්වයන්, විශාල වෙනස්වීමක්—ඇත්තෙන්ම උදාර මිදීමක් අත ළඟ බවට කැපීපෙනෙන සාක්ෂියක්! කාටද? මිදීම ළඟා වෙන්නේ අනතුරු ඇඟවීමේ සංඥාවලට අවධානය යොමු කරලා, යෝග්‍ය ක්‍රියාමාර්ග ගන්න අයටයි. කළ යුතු දේ මොකක්ද කියලා 1 යොහන් 2:17 පෙන්නුම් කරනවා: “ලෝකයත් [සාතන්ගේ දේවල පිළිවෙළත්] ලෝකයේ තෘෂ්ණාවත් පහවයන්නේය. නුමුත් [දෙවිගේ] කැමැත්ත කරන්නා සදාකාලේටම පවතින්නේය.”—2 පේතෘස් 3:10-13ද බලන්න.
13, 14. අවදියෙන් ඉන්න තියෙන අවශ්‍යතාව යේසු අවධාරණය කළේ කොහොමද?
13 “ලෝකයේ පටන්ගැන්මේ සිට මේ දක්වා නූණාවූ, මතු කොයිකලෙකවත් නොවන්නාවූ” කැලඹිලි සහිත කාලයකදී දූෂිත වූ වර්තමාන සමාජය ඉක්මනින්ම ගසාගෙන යන බව යේසු පුරෝකථනය කළා. (මතෙව් 24:21) ඔහු මෙහෙම අවවාද කළේ ඒ නිසයි: “ඒ දවස මලපතක් මෙන් හදිසියෙන් නුඹලා කෙරේ නොපැමිණෙන පිණිස, අධික කෑමෙන්ද බීමත් කමින්ද මේ ජීවිතයේ වෙහෙසින්ද නුඹලාගේ සිත් බර නොවන හැටියට බලාගන්න. මක්නිසාද ඒක මුළු පොළෝතලය පිට වසන්නාවූ සියල්ලන් කෙරෙහි එසේ පැමිණෙන්නේය. එබැවින් ඒ සිදුවන සියල්ලෙන් ජයගෙන ගැළවෙන පිණිසද මනුෂ්‍ය පුත්‍රයා ඉදිරියෙහි සිටින පිණිසද කන්නලව්කරමින්, සැම කාලයේදීම අවදිව හිඳින්න.”—ලූක් 21:34-36.
14 ‘බලාගෙන’ ‘අවදිව ඉන්න’ අය දෙවිගේ කැමැත්ත හොඳින් විමසා බලා එය කරාවි. (හිතෝපදේශ 2:1-5; රෝම 12:2) ළඟදීම සාතන්ගේ පිළිවෙළ මත ගෙනෙන්න යන විනාශයෙන් “ගැළවෙන” අය මොවුන් තමයි. එමෙන්ම ඔවුන්ව මුදන්න යනවා කියලා සම්පූර්ණ නිසැකකමකින් ඉන්න ඔවුන්ට පුළුවන්.—ගීතාවලිය 34:15; හිතෝපදේශ 10:28-30.
ප්‍රධානතම මිදුම්කරු
15, 16. ප්‍රධානතම මිදුම්කරු කවුද? එමෙන්ම ඔහුගේ විනිශ්චයන් ධර්මිෂ්ඨ වෙයි කියලා අපි සහතික වෙන්නේ ඇයි?
15 දෙවිගේ සෙනඟව මුදන්න නං, සාතන්වත් ඔහුගේ මුළු මහත් ලෝක ව්‍යාප්ත දේවල පිළිවෙළත් ඉවත් කරන්න අවශ්‍යයි. මනුෂ්‍යයන්ට වඩා බෙහෙවින් බලවත් මිදීමේ උල්පතක් මේ සඳහා අවශ්‍ය වෙනවා. ඒ උල්පත අතිශ්‍රේෂ්ඨ පරමාධිපති සහ ගරුබිය දනවන විශ්වයේ සර්වබලධාරී මැවුම්කරු වන යෙහෝවා දෙවියි. ප්‍රධානතම මිදුම්කරු ඔහුයි: “මම, මමම [යෙහෝවාය]; මා ඇර වෙන ගැළවුම්කාරයෙක් නැත.”—යෙසායා 43:11; හිතෝපදේශ 18:10.
16 යෙහෝවා තුළ බලය, ප්‍රඥාව, යුක්තිය සහ ප්‍රේමය උපරිම මට්ටමක පවතී. (ගීතාවලිය 147:5; හිතෝපදේශ 2:6; යෙසායා 61:8; 1 යොහන් 4:8) ඒ හින්දා, ඔහු තම විනිශ්චයන් ක්‍රියාත්මක කරන විට, ඔහුගේ ක්‍රියා ධර්මිෂ්ඨ වෙයි කියලා අපිට සහතික වෙන්න පුළුවන්. ආබ්‍රහම් මෙහෙම විමසුවා: “මුළු පොළොවේම විනිශ්චයකරු හරි වූ දේ කරන්න යන්නේ නැද්ද?” (උත්පත්ති 18:24-33, NW) පාවුල් උද්යෝගයෙන් මෙහෙම පැවසුවා: “දෙවි ළඟ අයුක්තියක් තිබේද? එය කිසිවිටකත් එසේ නොවේවා!” (රෝම 9:14, NW) යොහන් මෙහෙම ලිව්වා: “එසේය සර්වබලධාරි වූ යෙහෝවා දෙවියනි, ඔබේ විනිශ්චයක තීරණ සැබෑය, ධර්මිෂ්ඨය.”—එළිදරව් 16:7, NW.
17. අතීතයේ හිටපු යෙහෝවාගේ සේවකයන් ඔහුගේ පොරොන්දු කෙරෙහි නිසැකකම ප්‍රකාශ කරලා තියෙන්නේ කොහොමද?
17 යෙහෝවා මිදීමක් පොරොන්දු වෙන කොට, ඔහු පසුබසින්නේ නැතුව එය ඉටු කරනවාමයි. යෝෂුවා මෙහෙම කිව්වා: “[යෙහෝවා] . . . කී යහපත් දෙයින් [පොරොන්දුවෙන්, NW] කිසිවක් අත්නෑරී සියල්ලම සිදුවුණේය.” (යෝෂුවා 21:45) සාලමොන් මෙහෙම ප්‍රකාශ කළා: ඔහු “ගිවිස්සාවූ [පොරොන්දු වූ, NW] සියලු යහපත් වචනවලින් එක වචනයක්වත් හිස්නොවීය.” (1 රාජාවලිය 8:56) ආබ්‍රහම් “ඇදහිල්ලෙන් දුර්වල නොවී, . . . පොරොන්දු වූ දේ ඉෂ්ටකරන්ට [දෙවිට] පුළුවන කියා නිසැකව විශ්වාස” කළ බව ප්‍රේරිත පාවුල් සඳහන් කළා. ඒ හා සමානව, සාරා “පොරොන්දුව දුන් [දෙවි] විශ්වාස කෙනෙකැයි පිළිගත්[තා].”—රෝම 4:19, 21; හෙබ්‍රෙව් 11:11.
18. අදදින යෙහෝවාගේ සේවකයන්ව මුදන්න යන බව ඔවුන්ට නිසැක විය හැක්කේ ඇයි?
18 මනුෂ්‍යයන් මෙන් නොව, යෙහෝවා සම්පූර්ණයෙන්ම විශ්වාසවන්තයි, පොරොන්දු වන දේත් ඉටු කරනවා. “සේනාවල [යෙහෝවා] දිවුරා කථාකොට: මා යෝජනාකළ ලෙසම සිදුවන්නේය; මා අදහස්කළ ලෙසම ස්ථිරවන්නේය.” (යෙසායා 14:24) ඉතින් “භක්තිවන්තයන් පරීක්ෂාවෙන් ගළවන්ටත් අධර්මිෂ්ඨයන් . . . දඬුවම යටතේ විනිශ්චය දවස දක්වා තබන්ටත් [යෙහෝවා] දන්න” බව බයිබලය කියන කොට, මෙය සිදු වන බවට අපිට පූර්ණ නිසැකකමක් තබන්න පුළුවන්. (2 පේතෘස් 2:9, 10) බලසම්පන්න සතුරන් අතින් විනාශ වීමේ තර්ජනයට පවා ලක් වුණත්, යෙහෝවාගේ සෙනඟ ධෛර්යයෙන් සිටිනවා; ඇයි කිව්වොත්, ඔහුගේ අනාගතවක්තෲන්ගෙන් කෙනෙකුට ඔහු දුන් පොරොන්දුවේ ඔහුගේ මෙම ආකල්පය පිළිබිඹු වෙලා තියෙන නිසයි: “ඔවුහු ඔබට විරුද්ධව සහතිකවම යුද්ධ කරන්නෝය; නමුත් ඔබ අභිභවා යන්න ඔවුන්ට බැරි වන්නේය. මන්ද, ‘ඔබව මුදන්න මම ඔබ සමඟ සිටිමියි’ යෙහෝවා කියන්නේය.”—යෙරෙමියා 1:19, NW; ගීතාවලිය 33:18, 19; තීතස් 1:1.
අතීතයේ මිදුණු අවස්ථා
19. යෙහෝවා ලොත්ව මිදුවේ කොහොමද? අපේ කාලය සඳහා ඒකට තියෙන්නේ මොන සමාන්තරයද?
19 අතීතයේ යෙහෝවා මිදීම සිදු කළ ක්‍රියා සිහියට නැංවීමෙන් අපිට මහත් දිරිගැන්වීමක් ලබාගන්න පුළුවන්. උදාහරණයක් වශයෙන්, සොදොම සහ ගොමොරාවේ දුෂ්ටකම දැක ලොත් “තද පීඩාවට” ලක් වුණා. ඒත් එම නගරවලට විරුද්ධව තිබුණු පැමිණිලි කිරීමේ “මොරගැසීම” යෙහෝවා සැලකිල්ලට ගත්තා. යෝග්‍ය අවස්ථාවේදී, ලොත්ටත් ඔහුගේ පවුලටත් වහාම එම ප්‍රදේශයෙන් ඉවත් වෙන්න කියලා උනන්දු කරන්න ඔහු පණිවිඩකරුවන් යැව්වා. ප්‍රතිඵලය? “සොදොම හා ගොමොරාව යන නුවරවල් අළුකරමින්,” යෙහෝවා “ධර්මිෂ්ඨවූ ලොත් ගැ[ළෙව්වා].” (2 පේතෘස් 2:6-8; උත්පත්ති 18:20, 21) අදදිනත්, මේ ලෝකයේ ඉතා බරපතළ දුෂ්ටකම සම්බන්ධයෙන් නැඟෙන පැමිණිල්ලේ මොරගැසීම යෙහෝවාගේඅවධානයට ලක් වෙනවා. ඔහුට ඕනෙ වන තරමට ඔහුගේ නවීන දින පණිවිඩකරුවන් තම හදිසි සාක්ෂිදැරීමේ වැඩය නිම කළායින් පස්සේ, ඔහු මේ ලෝකයට විරුද්ධව ක්‍රියා කරලා, ලොත් සම්බන්ධයෙන් කළාක් මෙන් තම සේවකයන්ව මුදාගනීවි.—මතෙව් 24:14.
20. යෙහෝවා පුරාණ ඉශ්‍රායෙල්ව මිසරයෙන් මිදූ හැටි විස්තර කරන්න.
20 දෙවිගේ සෙනඟගෙන් දශලක්ෂ ගණනාවක්ම පුරාණ මිසරයෙහි වහල් වී සිටියා. ඔවුන් ගැන යෙහෝවා මෙහෙම කිව්වා: “ඔවුන්ගේ මොරගැසීම ඇසීමි; . . . ඔවුන්ගේ දුක් දනිමි; . . . ඔවුන් නිදහස්කර[න්ට]” ක්‍රියා කරන්නෙමි. (නික්මයාම 3:7, 8) කොහොම වුණත්, දෙවිගේ සෙනඟට යන්න හැරීමෙන් පස්සේ, ඵාරාවෝ තම තීරණය වෙනස් කරලා, තම බලවත් සේනාව පිරිවරාගෙන ඔවුන් පස්සේ ලුහුබැඳගියා. ඉශ්රායෙල්වරුන් රතු මුහුද අසබඩ කොටු වෙලා හිටියා වගෙයි පෙනුණේ. ඒත් මෝසෙස් මෙහෙම කිව්වා: “භයනොවන්න, නිශ්චලව සිට [යෙහෝවා] අද නුඹලාට සිදුකර දෙන ගැළවීම බලන්න.” (නික්මයාම 14:8-14) යෙහෝවා රතු මුහුද දෙබෑ කළ අතර, ඉශ්රායෙල්වරුන් බේරී ගියා. ඵාරාවෝගේ සේනාවන් ඔවුන් පස්සේ වේගයෙන් හඹා ගියත්, යෙහෝවා තම බලය පාවිච්චි කළා; ඒ හින්දා “මුහුද ඔවුන් වසාගත්තේය. ඔව්හු මහත් ජලයෙහි ඊයම් මෙන් කිඳුණෝය.” ඉන්පසුව, ප්‍රීතියෙන් පිනා ගිය මෝසෙස් යෙහෝවාට මෙම ගීය ගායනා කළා: “ශුද්ධකමින් මහිමවත්වූ, ප්‍රශංසාවලින් භයංකරවූ, පුදුම දේ කරන්නාවූ ඔබ සමාන කවුද?”—නික්මයාම 15:4-12, 19.
21. යෙහෝවාගේ සෙනඟව අම්මොන්, මෝවබ් සහ සේයිර්වලින් ගළවනු ලැබුවේ කොහොමද?
21 තවත් අවස්ථාවකදී, අම්මොන්, මෝවබ් සහ සේයිර් (ඒදොම්) යන සතුරු ජාතීන්, යෙහෝවාගේ සෙනඟව විනාශ කිරීමේ තර්ජනයට ලක් කළා. යෙහෝවා මෙහෙම කිව්වා: “මේ මහත් [සතුරු] සමූහයා නිසා [භය]නොවෙන්න, නොකැලඹෙන්න; මක්නිසාද මේ යුද්ධය නුඹලාගේ නොව [දෙවිගේය]. . . . නුඹලා සටන්කරන්ට ඕනෑ නැත. සැරසී නිශ්චලව සිට [යෙහෝවා] නුඹලාට දෙන ගැළවීම බලාසිටින්න.” සතුරු හමුදාවන් තුළ වියවුල් තත්වයක් ඇති කිරීමෙන් යෙහෝවා තම සෙනඟව මිදෙව්වා; ඒ වියවුල් තත්වය නිසා ඔවුන් එකිනෙකාව ඝාතනය කළා.—2 ලේකම් 20:15-23.
22. ඉශ්රායෙල් සඳහා යෙහෝවා සැපයුවේ අෂූරියෙන් මොන ආශ්චර්යවත් මිදීමද?
22 අෂූරීය ලෝක බලය යෙරුසලමට විරුද්ධව නැඟී ආ විට, පවුරේ හිටි ජනයාට මෙහෙම කියමින් සෙනකෙරීබ් යෙහෝවාට සරදම් කළා: “[යෙහෝවා] යෙරුසලම මාගේ අතින් ගළවාගන්නවා ඇත කියා සිතන්ට පුළුවන්වන ලෙස තමුන්ගේ දේශ මාගේ අතින් ගළවාගත්තේ [මා යටපත් කළ] ඒ දේශවල සියලු දෙවිවරුන්ගෙන් කවුරුද”? දෙවිගේ සේවකයන්ට ඔහු මෙහෙම කිව්වා: “[යෙහෝවා] සැබවින් අප ගළවා ගන්න[වා] කියා . . . [යෙහෝවා] කෙරෙහි නුඹලා විශ්වාසකරවන්ට හෙසකියාට ඉඩනාරින්න.” එතකොට, “[අහෝ යෙහෝවා], ඔබ, ඔබ පමණක්ම, [යෙහෝවා] බව පොළොවේ සියලු රාජ්‍යවල් දැනගන්නා පිණිස” කියා හෙසකියා මහත් ඕනෑකමින් යාච්ඤා කළා. යෙහෝවා අෂූරීය සෙබළුන් 1,85,000දෙනෙක්ව සිඳදැමූ අතර, දෙවිගේ සේවකයන්ව මුදනු ලැබුවා. වෙන අවස්ථාවක, සෙනකෙරීබ් තම බොරු දෙවියාට වන්දනාමාන කරමින් සිටිද්දී, ඔහුගේ පුත්තු ඔහුව ඝාතනය කළා.—යෙසායා, 36 සහ 37වන පරිච්ඡේද.
23. අදදින මිදීම සම්බන්ධයෙන් උත්තර සැපයිය යුතු ප්‍රශ්න මොනවාද?
23 අතීතයේදී යෙහෝවා තම සෙනඟව මුදා තියෙන පුදුමාකාර විදිහ සලකා බලන කොට, අපිට ඇත්තෙන්ම ධෛර්යවත් වෙන්න පුළුවන්. එතකොට අද ගැන? ඔහුගේ අතින් ආශ්චර්යවත් මිදීමක් අවශ්‍ය කරවන මොන අන්තරාදායක තත්වයටද ඔහුගේ විශ්වාසවන්ත සේවකයන් ළඟදීම පත් වෙන්නේ? ඔවුන්ට මිදීමක් ගෙන දෙන්න ඔහු මේ දක්වා බලං ඉඳලා තියෙන්නේ ඇයි? “මේ දේ සිදුවෙන්ට පටන්ගන්න කල, නුඹලාගේ මිදීම ළංවූ බැවින්, ඉහළ බලා, හිස් ඔසවන්න” යන යේසුගේ වදන් කොයි ආකාරයෙන්ද ඉටු වෙන්න යන්නේ? (ලූක් 21:28) එමෙන්ම දැනටමත් මියගොස් ඇති දෙවිගේ සේවකයන්ට මිදීම අත් වෙන්නේ කොහොමද? ඊළඟ ලිපිය මේ ප්‍රශ්න පරීක්ෂා කරන්න යනවා.
පුනරීක්ෂණ ප්‍රශ්න
◻ මිදීම සඳහා මහත් අවශ්‍යතාවක් ඇත්තේ ඇයි?
◻ මිදීම සඳහා අපි මනුෂ්‍යයන් දෙස නොබැලිය යුත්තේ ඇයි?
◻ මිදීම ළංව තියෙන්නේ කාටද?
◻ යෙහෝවා දෙන මිදීම කෙරෙහි නිසැක වෙන්න අපට පුළුවන් වෙන්නේ ඇයි?
◻ දිරිගන්වනසුලු වෙන්නේ අතීතයේ වුණු මිදීම් පිළිබඳ මොන ආදර්ශද?
[10වන පිටුවේ පින්තූරය]
යෙහෝවා කෙරෙහි පූර්ණ නිසැකකමක් තිබුණු අය අතර ආබ්‍රහම් හිටියා