ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w97 4/1 14-18 පි.
  • ධර්මිෂ්ඨ නව ලොවක් තුළට මිදීම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ධර්මිෂ්ඨ නව ලොවක් තුළට මිදීම
  • 1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • “මහත් පීඩාව”
  • දෙවිගේ සේවකයන් ප්‍රහාරයට ලක් වී
  • ‘ඔබේ මිදීම ළං වෙමින් පවතිනවා’
  • නව ලොව
  • මෙතරම් කාලයක් ගිහිල්ලා තියෙන්නේ ඇයි?
  • තවත් දෙයක් ඉටු කිරීම
  • දෙවි ලබා දෙන ගැලවීම අත ළඟයි
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවිගේ රාජ්‍යය මගින් ඉටු වන දේ
    2000 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ‘මහත් පීඩාව’ අතරතුරේ දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න
    2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • මිදීම ළඟා වෙද්දී ධෛර්යවත් වන්න
    1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w97 4/1 14-18 පි.

ධර්මිෂ්ඨ නව ලොවක් තුළට මිදීම

“ඔව්හු මහත් සමාදානයෙන් ප්‍රීතිමත් වන්නෝය.”—ගීතාවලිය 37:11.

1, 2. (අ) අපේ කාලයේදී යෙහෝවා දෙන මිදීම පුරාණ කාලවල සිදු වූ මුදාගැනීම්වලට වඩා වෙනස් වෙන්න යන්නේ කොහොමද? (ආ) යෙහෝවා තම සෙනඟව ගේන්න යන්නේ මොන වගේ ලොවක් තුළටද?

යෙහෝවා මිදීමේ දෙවිකෙනෙක්. පුරාණ කාලවලදී, ඔහු තම සෙනඟව අවස්ථා බොහොමයකදී මිදෙව්වා. ඒ සෑම අවස්ථාවකදීම යෙහෝවා සාතන්ගේ මුළු ලෝකයට එරෙහිව තම විනිශ්චයන් ස්ථිරසාරව ක්‍රියාත්මක නොකළ හින්දා, ඒ මිදීම් තාවකාලික ඒවා වුණා. ඒත් අපේ කාලයේදී, යෙහෝවා ළඟදීම තම සේවකයන් වෙනුවෙන් උදාරතම මිදීම සිදු කරන්න යනවා. මේ අවස්ථාවේදී ඔහු පොළොව පුරා තියෙන සාතන්ගේ පිළිවෙළේ සෑම අංශු මාත්‍රයක්ම විනාශ කරන්න යන අතර, තම සේවකයන්ව ස්ථිරසාර ධර්මිෂ්ඨ නව ලොවක් තුළට ගෙනෙන්න යනවා.—2 පේතෘස් 2:9, 10; 3:10-13.

2 යෙහෝවා මෙහෙම පොරොන්දු වෙනවා: “මද කලකින් දුෂ්ටයා නැතිවන්නේය. . . . නුමුත් මොළොක් ගුණ ඇත්තෝ දේශය උරුමකරගන්නෝය; ඔව්හු මහත් සමාදානයෙන් ප්‍රීතිමත් වන්නෝය.” (ගීතාවලිය 37:10, 11) කොච්චර කාලයකටද? “ධර්මිෂ්ඨයෝ දේශය උරුමකර ගන්නෝය, එහි සදාකල් වාසයකරන්නෝය.” (ගීතාවලිය 37:29; මතෙව් 5:5) කොහොම වුණත්, ඒ දේ සිද්ධ වෙන්න කලින්, මේ ලෝකය මෙතෙක් අද්දැකලා තියෙන වඩාත්ම කැලඹිලි සහිත කාලය අද්දකින්න යනවා.

“මහත් පීඩාව”

3. යේසු “මහත් පීඩාව” විස්තර කළේ කොහොමද?

3 වර්ෂ 1914දී මේ ලෝකය එහි ‘අන්තිම දවස්වලට’ පා තැබුවා. (2 තිමෝති 3:1-5, 13) අපි දැන් එම කාලපරිච්ඡේදයේ අවුරුදු 83ක් ජීවත් වෙලා තියෙන අතර, එහි අවසානයට ළං වෙමිනුයි ඉන්නේ; එවිට යේසු පුරෝකථනය කළාක් මෙන්ම මතු දැක්වෙන දෙය සිදු වෙන්න යනවා: “ලෝකයේ පටන්ගැන්මේ සිට මේ දක්වා නූණාවූ, මතු කොයිකලෙකවත් නොවන්නාවූ මහත් පීඩාවක් ඒ කාලයෙහි වන්නේය.” (මතෙව් 24:21) ඔව්, ජීවිත දශලක්ෂ 50ක් පමණ බිලිගත් දෙවන ලෝක යුද්ධයටත් වඩා මෙය දරුණුයි. වේගයෙන් අප වෙත ඇදී එන්නේ මොනතරම් ලොව කම්පිත කරවන කාලයක්ද!

4. දෙවිගේ විනිශ්චය “මහා බබිලෝනිය” පිටට එන්නේ ඇයි?

4 “මහත් පීඩාව” තැතිගන්වන හදිස්සියකින්, “එක පැයකින්” වගේ පැමිණෙන්න යනවා. (එළිදරව් 18:10) එය පහර දෙන්නේ මුළු බොරු ආගම කෙරෙහි දෙවිගේ විනිශ්චය ක්‍රියාත්මක වීමෙන්; දේවවචනය එය හඳුන්වන්නේ “මහා බබිලෝනිය” හැටියටයි. (එළිදරව් 17:1-6, 15) පුරාණ බබිලෝනියේ බලපවත්වන ලක්ෂණය වුණේ බොරු ආගමයි. නවීන බබිලෝනිය ඇගේ පුරාණ ප්‍රතිරූපයට සමාන වන අතර, බොරු ආගමේ ලෝක අධිරාජ්‍යය එයින් නියෝජනය වෙනවා. දේශපාලනමය කොටස්වලට සම්බන්ධ වී ප්‍රතිපත්ති පාවා දීමෙන් ඇය වේශ්‍යාවක් සේ කටයුතු කර තියෙනවා. ඇය ඔවුන්ගේ යුද්ධවලට අනුබල දෙමින් ප්‍රතිවිරුද්ධ පැතිවල ඉන්න සේනාවන්ට ආශීර්වාද කර ඇති අතර, ප්‍රතිඵලයක් වශයෙන් එකම ආගමක මනුෂ්‍යයෝ එකිනෙකාව ඝාතනය කරලා තියෙනවා. (මතෙව් 26:51, 52; 1 යොහන් 4:20, 21) ඇය ඇගේ බැතිමතුන්ගේ දූෂිත ක්‍රියා සම්බන්ධයෙන් ඇහැ කන පියාගෙන ඉඳලා තියෙන අතර, සැබෑ ක්‍රිස්තියානීන්ට වධ හිංසා කර තියෙනවා.—එළිදරව් 18:5, 24.

5. “මහත් පීඩාව” ආරම්භ වෙන්නේ කොහොමද?

5 “මහත් පීඩාව” ආරම්භ වෙන්නේ දේශපාලනමය කොටස් හදිස්සියෙන්ම “මහා බබිලෝනිය[ට]” විරුද්ධව ප්‍රහාර එල්ල කරන විටයි. ඔවුහු “වේශ්‍යාවට වෛරවී, ඈ පාළුද නග්නද කර, ඇගේ මාංස කා, ඈ සහමුලින් ගින්නෙන් දවන්නෝය.” (එළිදරව් 17:16) ඉන් පස්සේ, කලින් ඇයට රුකුල් දුන් අය “ඈ ගැන අඬා විලාප” කියන්න යනවා. (එළිදරව් 18:9-19) නමුත්, යෙහෝවාගේ සේවකයන් බොහෝ කාලයක් තිස්සේ මෙය අපේක්ෂාවෙන් බලා ඉඳලා තියෙන අතර, ඔවුන් මහත් උනන්දුවකින් මෙසේ කියාවි: “හලෙලූයා! [යාහ්ට ප්‍රශංසා කරන්න, NW] . . . මක්නිසාද ඇගේ වේශ්‍යාකමින් පොළොව කිලුටුකළ මහත් වේශ්‍යාව [ඔහු] විනිශ්චය ක[ළේය], තමන්ගේ මෙහෙකරුවන්ගේ ලේ ගැන ඈට විපාක දුන්[නේය].”—එළිදරව් 19:1, 2.

දෙවිගේ සේවකයන් ප්‍රහාරයට ලක් වී

6, 7. “මහත් පීඩාව” අතරතුර ප්‍රහාරයට ලක් වෙන කොට, නිසැකකමින් ඉන්න යෙහෝවාගේ සේවකයන්ට පුළුවන් වෙන්නේ ඇයි?

6 බොරු ආගම විනාශ කළායින් පසු, දේශපාලනමය කොටස් යෙහෝවාගේ සෙනඟට එරෙහිව යොමු වෙනවා. අනාවැකිවල, “මාගොග් දේශයේ ගොග්” ලෙස හඳුන්වන සාතන් මෙහෙම කියනවා: “නිශ්චලකමින් සිට නිසැකව වාසයකරන අය ළඟට පැමිණෙන්නෙමි.” ඔවුන්ව පහසුවෙන් ගොදුරු කරගත හැකි බව සිතමින්, ඔහු “මහත් සමූහයක්ව, බලවත් සේනාවක්ව . . . දේශය වසාගැනීමට වලාකුළක් මෙන්” ඔවුන්ට විරුද්ධව ප්‍රහාරයක් එල්ල කරනවා. (එසකියෙල් 38:2, 10-16) මෙම ප්‍රහාරය අසාර්ථක වන බව යෙහෝවාගේ සෙනඟ දන්නවා; එයට හේතුව ඔවුන් යෙහෝවා කෙරෙහි විශ්වාස කරන නිසයි.

7 දෙවිගේ සෙනඟ රතු මුහුදේ කොටු වෙලා කියලා ඵාරාවෝටත් ඔහුගේ සේනාවටත් හැඟුණු විට, යෙහෝවා ආශ්චර්යවත් ආකාරයකින් තම සෙනඟව මුදා, මිසර සේනාවන් විනාශ කළා. (නික්මයාම 14:26-28) ‘මහත් පීඩාවේදී’ යෙහෝවාගේ සෙනඟ කොටු වෙලා කියලා ජාතීන්ට හැඟෙන විට, ඔහු නැවතත් ඔවුන්ගේ සරණට පැමිණෙනවා: “ඒ කාලයේදී මාගේ උදහස මාගේ මුහුණෙහි [නාසයට, NW] ඇවිළෙනවා ඇත . . . මාගේ කෝපයෙන්ද මාගේ උදහස් ගින්නෙන්ද මෙසේ කියන්[න සිදු වන්නේය].” (එසකියෙල් 38:18, 19) ‘මහත් පීඩාවේ’ උච්චාවස්ථාව එවිට ඉතා ළංව තියේවි!

8. යෙහෝවා දුෂ්ටයන්ව වනසා දමන්න කලින් සිදු වන අධිස්වාභාවික සිද්ධීන් මොනවාද? එමෙන්ම එහි බලපෑම මොකක්ද?

8 ‘මහත් පීඩාවේ’ ආරම්භයෙන් පස්සේ යම් අවස්ථාවක, එනමුත් මේ ලෝකයේ සෙසු කොටස් කෙරෙහි යෙහෝවා තම විනිශ්චය ක්‍රියාත්මක කරන්න කලින්, අධිස්වාභාවික සිද්ධීන් සිදු වෙන්න යනවා. ඒවායෙන් වෙන්න යන බලපෑම සැලකිල්ලට ගන්න. “එකල මනුෂ්‍ය පුත්‍රයාගේ ලකුණ අහසේ පෙනෙන්නේය. එවිට පොළොවේ සියලු ගෝත්‍රයෝ වැලපෙන්නෝය, ඔව්හු මනුෂ්‍ය පුත්‍රයා බලයෙන්ද මහත් තේජසින්ද අහසේ වලාකුල් පිට එනවා දකින්නෝය.” (මතෙව් 24:29, 30) “ඉර සඳ හා තාරකාවන් කෙරේ ලකුණු හා . . . භයෙනුත් ලෝකයට පැමිණෙන්නාවූ දේ බලාපොරොත්තුව සිටීමෙනුත් මනුෂ්‍යයන්ගේ සිත් ක්ලාන්තවන්නේය.”—ලූක් 21:25, 26.

‘ඔබේ මිදීම ළං වෙමින් පවතිනවා’

9. අධිස්වාභාවික සිද්ධීන් සිදු වෙන කොට යෙහෝවාගේ සේවකයන්ට ‘තම හිස් ඔසවාගත’ හැක්කේ ඇයි?

9 ලූක් 21:28හි අනාවැකිය අදාළ වෙන්නේ ඒ විශේෂ අවස්ථාවේදීයි. යේසු මෙහෙම කිව්වා: “මේ දේ සිදුවෙන්ට පටන්ගන්න කල, නුඹලාගේ මිදීම ළංවූ බැවින්, ඉහළ බලා, හිස් ඔසවන්න.” සිදු වෙමින් පවතින අධිස්වාභාවික සිද්ධීන් යෙහෝවාගේ බලයෙන් සිදු වන බව දන්න නිසා, දෙවිගේ සතුරෝ භයෙන් වෙවුල වෙවුලා සිටීවි. ඒත් යෙහෝවාගේ සේවකයන් තමන්ගේ මිදීම ළං වෙනවා කියලා දැනගන්න යන නිසා ප්‍රීති වේවි.

10. දේවවචනය ‘මහත් පීඩාවේ’ උච්චාවස්ථාව විස්තර කරන්නේ කොහොමද?

10 එවිට යෙහෝවා සාතන්ගේ පිළිවෙළට එරෙහිව මාරක පහර එල්ල කරනවා: “මම වසංගතයෙන්ද ලෙයින්ද [ගොග්] සමඟ විනිශ්චයට පැමිණ, ඔහු සහ ඔහුගේ සමුදාවන් . . . පිටට ජලධාරාවන් සහ මහත් ගල් වර්ෂාවක්ද ගිනිද ගෙන්දගම්ද වස්වන්නෙමි.” “එමෙන්ම මම යෙහෝවා බව ඔවුන්ට දැනගන්න සිදු වේවි.” (එසකියෙල් 38:22; 38:23, NW) සාතන්ගේ පිළිවෙළේ හැම ලාංඡනයක්ම විනාශ වෙනවා. දෙවිව නොසලකා හරින මනුෂ්‍යයන්ගෙන් සෑදුණු මුළු මහත් මිනිස් සමාජයම අතුගා දමනු ලබනවා. ‘මහත් පීඩාවේ’ අර්මගෙදොන් උච්චාවස්ථාව කියන්නේ ඒකයි.—යෙරෙමියා 25:31-33; 2 තෙසලෝනික 1:6-8; එළිදරව් 16:14, 16; 19:11-21.

11. යෙහෝවාගේ සේවකයන්ව “මහත් පීඩාව” තුළින් මුදන්නේ ඇයි?

11 පොළොව පුරා යෙහෝවාගේ නමස්කාරකයන් දශලක්ෂ ගණනාවක්වම “මහත් පීඩාව” තුළින් මුදනු ලබනවා. “සියලු ජාතීන්ගෙනුත් ගෝත්‍රවලිනුත් සෙනගගෙනුත් භාෂාවන්ගෙනුත්” පැමිණ තියෙන “මහත් සමූහය” මේ අයගෙන් සෑදී තියෙනවා. එතරම් ගරුබිය දනවන ආකාරයකින් ඔවුන්ට මිදීමක් ලැබෙන්නේ ඇයි? ඔවුන් ‘රෑ දාවල් යෙහෝවාට පරිශුද්ධ සේවය පිරිනමන’ නිසයි. ඒ හින්දා මේ ලෝකයේ අවසානයෙන් බේරී, ඔවුන්ව ධර්මිෂ්ඨ නව ලොවක් තුළට පිළිගනු ලබනවා. (එළිදරව් 7:9-15) මෙසේ, ඔවුන් යෙහෝවාගේ මෙම පොරොන්දුවේ ඉටුවීම ඇස්වලින්ම දකිනවා: “[යෙහෝවා] කෙරෙහි බලාසිටිමින් [ඔහුගේ] මාර්ගය රක්ෂාකරව, දේශය ඔබට උරුමවන පිණිස [ඔහු] ඔබ උසස් ක[රාවි]. දුෂ්ටයන් සිඳිනු ලබන කල ඔබ එය දකින්නෙහිය.”—ගීතාවලිය 37:34.

නව ලොව

12. අර්මගෙදොනින් බේරී ජීවත් වන අයට ඉදිරිය සම්බන්ධයෙන් මොන බලාපොරොත්තුව තියාගන්න පුළුවන්ද?

12 දුෂ්ටකමේ තුරන් වීමත්, මුළු මිනිස් ඉතිහාසයේ තේජාන්විතම යුගයේ උදාවීමත් සිදු වන ඒ කාලය මොනතරම් ප්‍රීතියකට හේතුවක් වේවිද! (එළිදරව් 20:1-4) දෙවිගේ නිර්මාණයක් වන පැහැපත්, පවිත්‍ර ශිෂ්ටාචාරයකට, එනම් පාරාදීසයක් දක්වා පරිවර්තනය කරලා තියෙන නව ලොවක් තුළට පිවිසෙන්න පුළුවන් වීම ගැන අර්මගෙදොනින් බේරී ජීවත් වූ අය යෙහෝවාට මොනතරම් කෘතඥපූර්වක වේවිද! (ලූක් 23:43) එමෙන්ම ඔවුන්ට ආයෙත් මැරෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. (යොහන් 11:26) ඇත්තෙන්ම, ඒ අවස්ථාවේ පටන්, යෙහෝවා ජීවත් වනවා වගේම දිගටම ජීවත්වීමේ පුදුමාකාර මහිමාන්විත අපේක්ෂාව ඔවුන්ටත් තියේවි!

13. යේසු පොළොවේ පටන්ගත් සුව කිරීමේ වැඩය නැවතත් පටන්ගන්නේ කොහොමද?

13 ස්වර්ගික රජ හැටියට යෙහෝවා පත් කරලා තියෙන යේසු, මුදනු ලැබූ අය භුක්ති විඳින්න යන ආශ්චර්යවත් ආශීර්වාද අධීක්ෂණය කරන්න යනවා. පොළොවේ ඉන්දැද්දී, ඔහු අන්ධ ඇස් සහ බිහිරි කන් ඇරියා, “සියලු ආකාර ලෙඩ හා සියලු ආකාර රෝග සුව” කළා. (මතෙව් 9:35; 15:30, 31) නව ලොවේදී, ඔහු ඒ මහ සුව කිරීමේ වැඩය නැවතත්, හැබැයි සමස්ත ලෝක පරිමාණයෙන් ආරම්භ කරන්න යනවා. දෙවි වෙනුවෙන් පෙනී සිටින තැනැත්තා වශයෙන්, ඔහු මෙම පොරොන්දුව ඉටු කරන්න යනවා: “[දෙවි] ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිසදම[න්නේය]; මරණය තවත් නොවන්නේය; වැලපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය. මක්නිසාද පළමු දේවල් පහව ගියේය.” (එළිදරව් 21:4) වෛද්‍යවරුන් හෝ අවමංගල්‍ය කටයුතු පිළියෙළ කරන්නන් සඳහා අවශ්‍යතාවක් ආයෙ කවදාකවත් ඇති වෙන්නේ නැහැ!—යෙසායා 25:8; 33:24.

14. දැනටමත් මියගිහිල්ලා ඉන්න යෙහෝවාගේ සේවකයන්ට අත් වන මිදීම මොකක්ද?

14 ඒ වගේම අතීතයේ මියගිය දෙවිගේ විශ්වාසවන්ත සේවකයන්වත් මුදන්න යනවා. නව ලොවේදී, ඔවුන්ව මිනී වළේ ග්‍රහණයෙන් මුදන්න යනවා. යෙහෝවා මෙහෙම සහතික කරනවා: “ධර්මිෂ්ඨයන්ගේද අධර්මිෂ්ඨයන්ගේද නැවත-නැගිටීමක් වන්නේය.” (ක්‍රියා 24:15) සමහරවිට, “ධර්මිෂ්ඨ” අයට කලින්ම නැවත නැඟිටීම දෙන්න පුළුවන්; එතකොට ව්‍යාප්ත වෙන පාරාදීසයට දායක වෙන්න ඔවුන්ට පුළුවන්. ඒ කාලයේ ජීවතුන් අතර සිටින්න යන යටගිය දවස්වල මැරුණු ඒ විශ්වාසවන්ත අයගේ අද්දැකීම්වලට සවන් දෙන්න පුළුවන් වීම, අර්මගෙදොනින් බේරී ජීවත් වන අයට මොනතරම් ආස්වාදයක් වේවිද!—යොහන් 5:28, 29.

15. නව ලොවෙහි අද්දකින්න තියෙන තත්වයන් සමහරක් විස්තර කරන්න.

15 ඒ කාලයේදී ජීවත් වන සියලුදෙනාම, ගීතිකාකරු යෙහෝවා ගෙන කියපු දේ අද්දකින්න යනවා: “ඔබ ස්වකීය හස්තය විදහා, ජීවමාන සියල්ලන්ගේ ආශාව පූර්ණ කර[න්නේය].” (ගීතාවලිය 145:16) ආයෙත් කුසගින්නක් ඇති වෙන්නේ නැහැ: පොළොවේ පරිසරය නැවතත් සමබර තත්වයකට පත් කරාවි; ඒ හින්දා හොඳින් ඵල දරාවි. (ගීතාවලිය 72:16) ඉඳුම් හිටුම් නැති ජනයා නැහැ: “ඔව්හු ගෙවල් ගොඩනගාගන එහි වාසයකරන්නෝය;” තවත් “ඔව්හු කිසිවෙකුගෙන් භයක් නොලැබ, එකිනෙකා තම තමාගේ මිදිවැල යටද අත්තික්කා ගස යටද වාසයකරනවා ඇත.” (යෙසායා 65:21, 22; මීකා 4:4) තවත් භයක් නැහැ: යුද්ධ, ප්‍රචණ්ඩකාරිත්වය හෝ අපරාධ තවදුරටත් තියෙන්න යන්නේ නැහැ. (ගීතාවලිය 46:8, 9; හිතෝපදේශ 2:22) “මුළු පොළොව නිෂ්කලංකව නිශ්චලව තිබේ; මනුෂ්‍යයෝ ගී කියමින් මොරගසති.”—යෙසායා 14:7.

16. ධර්මිෂ්ඨකම නව ලොව හාත්පස පැතිර පවතින්න යන්නේ ඇයි?

16 නව ලොවේදී, සාතන් තම වාසියට පතුරුවන ආරංචි මාර්ග ඉවත් කරලා තියේවි. ඒ වෙනුවට, “ලෝ වැසියෝ ධර්මිෂ්ඨකම ඉගෙනගනිති.” (යෙසායා 26:9; 54:13) අවුරුද්දක් පාසා අවුරුද්දක් ගුණදායක ආත්මික උපදෙස් ලැබෙන හින්දා, “ජලයෙන් මුහුද වැසී තිබෙන්නාක්මෙන්, [යෙහෝවා] ගැන දැනගැන්මෙන් පොළොව පිරීයන්නේය.” (යෙසායා 11:9) වර්ධනය ගෙන දෙන සිතුවිලි සහ ක්‍රියා මනුෂ්‍යවර්ගයාගේ හාත්පස පැතිරේවි. (පිලිප්පි 4:8) අපරාධ, මමත්වය සහ ඊර්ෂ්‍යාවෙන් නිදහස් ලෝක ව්‍යාප්ත මිනිස් සමාජයක්—සියලුදෙනාම දෙවිගේ ආත්මයේ ඵලදාව නිපදවන අන්තර්ජාතික සහෝදරත්වයක් සිතේ මවාගන්න. ඇත්තෙන්ම දැන් පවා මහත් සමූහයේ අය මේ වගේ ගුණාංග වගා කරමින් ඉන්නවා.—ගලාති 5:22, 23.

මෙතරම් කාලයක් ගිහිල්ලා තියෙන්නේ ඇයි?

17. දුෂ්ටකම අවසන් කරන්න යෙහෝවා මෙතරම් කාලයක් බලං ඉඳලා තියෙන්නේ ඇයි?

17 කොහොම වුණත්, දුෂ්ටකම ඉවත් කරන්නත්, තම සෙනඟව නව ලොවක් තුළට මුදන්නත් යෙහෝවා මෙතරම් කාලයක් බලං ඉඳලා තියෙන්නේ ඇයි? ඉටු කරන්න තිබුණු දේවල් මොනවාද කියලා සලකා බලන්න. වැදගත්ම දේ නම්, යෙහෝවාගේ පරමාධිපත්‍යය, එනම් පාලනය කිරීමට ඔහුට තියෙන අයිතිය නිදොස් කිරීමයි. ප්‍රමාණවත් කාලයක් ගෙවී යන්න ඉඩ දීමෙන්, ඔහුගේ පරමාධිපත්‍යයෙන් බැහැරව ගෙනයන මිනිස් පාලනය, අතිවිශාල අසමර්ථ වීමකට පත් වෙලා තියෙන බව කිසිම සැකයක් නැතුව ඔහු පැහැදිලි කරලා තියෙනවා. (යෙරෙමියා 10:23) ඒ හින්දා මිනිස් පාලනය වෙනුවට, ක්‍රිස්තුස් යටතේ තියෙන ඔහුගේ ස්වර්ගික රාජ්‍යයේ පාලනය පිහිටුවීම යෙහෝවාට සහමුලින්ම යුක්තිසහගත දෙයක් වෙනවා.—දානියෙල් 2:44, 45; මතෙව් 6:9, 10.

18. ආබ්‍රහම්ගේ පැවතෙන්නන්ට කානාන් දේශය උරුම වෙන්න තිබුණේ කවදාද?

18 මේ සියවස් ගණනාව පුරා සිදු වෙලා තියෙන දේ, ආබ්‍රහම්ගේ කාලයේ සිදු වුණු දෙයට සමානයි. ආබ්‍රහම්ගේ පැවතෙන්නන්ට කානාන් දේශය උරුම කරන බව පැවසුවත්, “අමෝරිවරුන්ගේ අධර්මිෂ්ඨකම තවම සම්පූර්ණ” නොවී තිබුණු හින්දා එහෙම වෙන්නේ අවුරුදු හාරසියයක් ගත වුණායින් පස්සේ කියලා යෙහෝවා කිව්වා. (උත්පත්ති 12:1-5; 15:13-16) මෙහිදී “අමෝරිවරුන්” (ප්‍රධාන ගෝත්‍රයක්) යන යෙදුම, සමස්තයක් වශයෙන් කානාන් දේශයේ ජනයාව නියෝජනය කරනවා වෙන්න පුළුවන්. ඒ නිසා, කානාන් දේශය අයිති කරගන්න යෙහෝවා තම සෙනඟට සලස්වන තෙක්, සියවස් හතරක් පමණක් ගෙවී යන්න සිදු වුණා. ඒ අතරතුර කානාන්හි ජාතීන්ට තම සමාජයන් වර්ධනය කරගන්න යෙහෝවා ඉඩ දුන්නා. මොන ප්‍රතිඵලයක් ඇතුවද?

19, 20. කානානිවරු වැඩිවර්ධනය කළේ මොන වගේ සමාජයන්ද?

19 මෙගිද්දෝහි බාල්ගේ භාර්යාව වූ අෂ්ටාරොත් දේවතාවියගේ දේවාලයක නටබුන් පුරාවිද්‍යාඥයන් සොයාගත්ත බව හෙන්රි එච්. හැලී රචනා කළ බයිබල් හෑන්ඩ්බුක් (බයිබල් අත්පොත) සඳහන් කරනවා. ඔහු මෙහෙම ලියනවා: “මෙම දේවාලයෙන් පියවර කිහිපයක් නුදුරින් සුසාන භූමියක් තිබුණු අතර, එහිදී භාජන රාශියක් සොයාගනු ලැබුවා; ඒවාවල මෙම දේවාලයේ පූජා කරපු ළදරුවන්ගේ මෘත ශරීර කොටස් තිබුණා . . . බාල් සහ අෂ්ටාරොත්ගේ දිවැස්වරුන් රාජකාරියක් වශයෙන් කුඩා දරුවන්ව මැරුවා.” “තවත් භයානක පුරුද්දක් තමයි, ඔවුන් ‘අත්තිවාරම් පූජා’ යනුවෙන් හඳුන්වපු [දෙය]. ගෙයක් ගොඩනඟන්න යන කොට, ළමයෙක්ව පූජා කරන අතර, ළමයාගේ ශරීරය බිත්තියටම එකතු කර තනනවා.”

20 හැලී මෙහෙම අදහස් දක්වනවා: “බාල්, අෂ්ටාරොත් සහ වෙනත් කානාන් දෙවිවරුන්ට වන්දනා කරන කොට, ඒවාට ඉතා අධික වූ සල්ලාල උත්සව ඇතුළත් වුණා; ඔවුන්ගේ දේවාල දුරාචාරයේ මධ්‍යස්ථාන වුණා. . . . කානානිවරු වන්දනාමාන කළේ දුරාචාරයේ නිරත වීමෙන්; . . . ඉන්පසුව, මේ දෙවිගොල්ලන්ටම පූජාවක් වශයෙන්, ඔවුන්ගේ කුලුඳුල් දරුවන්ව ඝාතනය කරනවා. කානාන් දේශය විශාල වශයෙන්, ජාතික පරිමාණයකින් සොදොම් සහ ගොමොරාවක් බවට පත් වුණා කියලා කියන්න පුළුවන්. . . . එතරම් පිළිකුල්සහගත අපවිත්‍රතාවකින් හා කෲරකමකින් කටයුතු කළ ඒ වගේ ශිෂ්ටාචාරයකට තවදුරටත් පවතින්න කිසිම අයිතියක් තිබුණාද? . . . කානාන් නගරවල නටබුන් හාරා බලන පුරාවිද්‍යාඥයන් පුදුම වෙනවා ඇයි දෙවි ඊට කලින් ඔවුන්ව විනාශ කළේ නැත්තේ කියලා.”—1 රාජාවලිය 21:25, 26, සසඳන්න.

21. කානානිවරුන්ගේ තත්වය සහ අපේ කාලයේ තත්වය අතර තියෙන සමානකම මොකක්ද?

21 අමෝරිවරුන්ගේ දුෂ්ටකම “සම්පූර්ණ” වී තිබුණා. ඒ හින්දා, යෙහෝවා ඔවුන්ව වනසා දමන එක සම්පූර්ණයෙන්ම යුක්තිසහගතයි කියලා කියන්න පුළුවන් වුණා. අදටත් එයම ගැළපෙනවා. මේ ලොව ප්‍රචණ්ඩකාරිත්වයෙන්, දුරාචාරයෙන් සහ දෙවිගේ නීතිවලට පිටුපෑමේ ස්වභාවයකින් පිරී පවතිනවා. එමෙන්ම පුරාණ කානාන්හි සිදු වූ භයානක ළදරු පූජාවන් ගැන අපිට සාධාරණ පිළිකුලක් ඇති වන හින්දා, කානාන්හි සිදු වුණ ඕනෑම දෙයකට වඩා දරුණු වන මේ ලොවේ යුද්ධ වෙනුවෙන් පූජා වෙන තරුණයන් දශලක්ෂ ගණනාව ගැන මොනවද කියන්න පුළුවන්? දැන් යෙහෝවා මේ දුෂ්ට පිළිවෙළ අවසානයකට ගෙන ඒම මුළුමනින්ම යුක්තිසහගත දෙයක් වන බවට නිසැකයි.

තවත් දෙයක් ඉටු කිරීම

22. අපේ කාලයේදී යෙහෝවා පෙන්නන ඉවසිල්ලෙන් ඉටු කරනු ලබන්නේ මොකක්ද?

22 මේ අන්තිම දවස්වල යෙහෝවා පෙන්වන ඉවසිල්ල තවත් දෙයකුත් ඉටු කරනවා. දැනටමත් දශලක්ෂ පහකටත් වැඩිය ඉන්න මහත් සමූහය එක්රැස් කරන්නත් දැනුවත් කරන්නත් ඔහු කාලය ලබා දෙනවා. යෙහෝවාගේ මඟ පෙන්වීම යටතේ, ඔවුන්ව ඉදිරියට ගමන්ගන්නා සංවිධානයක් ලෙස සකස් කරලා තියෙනවා. අනුන්ට බයිබල් සත්‍යතා උගන්නන්න ස්ත්‍රී පුරුෂයන් සහ යෞවන යෞවනියන්ට පුහුණුව ලැබෙනවා. ඔවුන්ගේ රැස්වීම් සහ බයිබල් ප්‍රකාශන තුළින්, ඔවුන් දෙවිගේ ප්‍රේමනීය මාර්ග ගැන ඉගෙනගන්නවා. (යොහන් 13:34, 35; කොලොස්සි 3:14; හෙබ්‍රෙව් 10:24, 25) ඊට අමතරව, “ශුභාරංචිය” දේශනා කිරීමට අතහිත දෙන්න, ඔවුන් ඉදි කිරීමේ, ඉලෙක්ට්‍රොනික විද්‍යාව, මුද්‍රණ කටයුතු හා වෙනත් ක්ෂේත්‍රවල කුසලතා වැඩිවර්ධනය කරගනිමින් ඉන්නවා. (මතෙව් 24:14) එවැනි ඉගැන්වීමේ හා ඉදි කිරීමේ කුසලතා නව ලොවේදී පුළුල්ව පාවිච්චි කිරීමට ඉඩ කඩ තියෙනවා.

23. මේ කාලයේ ජීවත්ව සිටීම වරප්‍රසාදයක් වෙන්නේ ඇයි?

23 ඔව්, “මහත් පීඩාව” තුළින් ධර්මිෂ්ඨ නව ලොවක් තුළට පිවිසෙන්න යෙහෝවා අදදින තම සේවකයන්ව සූදානම් කරමින් සිටිනවා. එකල සටන් කරන්න සාතන්වත් ඔහුගේ දුෂ්ට ලොවවත් ඉන්න යන්නේ නැහැ; අසනීප, ශෝකය සහ මරණයත් නැහැ. හැමදාම ‘ප්‍රීතියෙන්’ ගත කරන්න පුළුවන් පාරාදීසයක් ගොඩනැංවීමේ සන්තෝෂදායක කාර්යයෙහි දෙවිගේ සෙනඟ මහත් උද්‍යෝගයකින් සහ ප්‍රීතියකින් නිරත වෙන්න යනවා. සමවල මේ උච්චාවස්ථාවේ ජීවත් වෙන්න ලැබීමත්, යෙහෝවාට දැන් සේවය කරන්න ලැබීමත්, ඉතා ළඟදී ‘අපේ මිදීම ළං වන බැවින් ඉහළ බලා හිස් ඔසවන්න’ පුළුවන් බව තේරුම්ගන්න හැකිවීමත් අපට මොනතරම් වරප්‍රසාදයක්ද!—ලූක් 21:28; ගීතාවලිය 146:5.

පුනරීක්ෂණ ප්‍රශ්න

◻ “මහත් පීඩාව” කියන්නේ මොකක්ද? එමෙන්ම එය පටන්ගන්නේ කොහොමද?

◻ යෙහෝවාගේ සේවකයන් පිටට ගෙනෙන ගොග්ගේ ප්‍රහාරය අසාර්ථක වෙන්නේ ඇයි?

◻ “මහත් පීඩාව” අවසන් වෙන්නේ කොහොමද?

◻ නව ලොව මොන මහිමාන්විත ප්‍රයෝජන සපයන්න යනවාද?

◻ මේ පිළිවෙළේ අවසානය ගේන්න යෙහෝවා මෙතරම් කාලයක් බලං ඉඳලා තියෙන්නේ ඇයි?

[16වන පිටුවේ පින්තූරය]

මුළු පොළොවම පාරාදීසයක් බවට වෙනස් කරනු ලැබේවි

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න