“සමාදානයේ [දෙවි]” හිංසා පීඩාවලින් පෙළෙන්නන්ට සලකනවා
පුරාණයෙහි විසූ දාවිත් හිංසා පීඩාවලට අමුත්තෙක් නොවූ බව බයිබලය පැහැදිලි කරනවා. වසර කිහිපයක් ඔහු පලායන්නෙකු විදිහට ජීවත් වුණා. ඔහුව මරන්නම අධිෂ්ඨාන කරගත් දුෂ්ට, මුරණ්ඩු රජෙක් කෲර විදිහට ඔහු පසුපස හඹා ආවා. දාවිත්ගේ මේ පීඩිත කාලවලදී, හුදකලා තැන්වල ඔහු සැඟවී සිටියා. නුමුත් ඔහු ඊට වඩා වැඩි දෙයක් කළා. ඔහුගේ හිංසා පීඩාකාරි කාලයේදී ඔහු යෙහෝවාට අවංකව යාච්ඤා කළා. ඔහු පත් වුණු තදබල අමාරුව ගැන පසුව ඔහු මෙහෙම ලියනවා: “මාගේ ශබ්දය නගා [යෙහෝවාගේ උදව් පැතුවෙමි, NW]. . . . මාගේ විලාපය [ඔහු] ඉදිරියෙහි වගුරුවමි; [ඔහු] ඉදිරියෙහි මාගේ දුක පෙන්වා සිටිමි.”—ගීතාවලිය 142:1, 2.
දෙවි මත දාවිත්ගේ රඳා පැවතීම අදදින සිටින සමහරු සමච්චලයට ලක් කරනවා. යාච්ඤාව කියන්නේ, නිකම්ම සාමකාමී මානසික රාමුවක් ඇති කරගැනීම සඳහා මානසික ආධාරකයක් කියලයි සමහරු කියන්නේ; ප්‍රායෝගික ලෙස ගත්තොත් ඒක කාලය කා දැමීමක් බවයි ඔවුන් කියන්නේ. නුමුත් දෙවි කෙරෙහි වූ දාවිත්ගේ විශ්වාසය නුසුදුසු තැනක පිහිටුවා තිබුණා නොවෙයි; කාලයාගේ ඇවෑමෙන් ඔහුගේ සතුරෝ පරාජයට පත් වුණා. ඔහුගේ අද්දැකීම දෙස ආපසු හැරී බලද්දී, දාවිත් මෙහෙම ලියනවා: “මේ [පීඩිතයා] මොරගැසුවේය, [යෙහෝවා] ඔහුගේ බස් අසා, ඔහුගේ සියලු දුක්වලින් ඔහු ගැළවූ[වේය].” (ගීතාවලිය 34:6) දාවිත් හැරුණාවූ ඒ සැබෑ දෙවිව තවත් තැනක හඳුන්වන්නේ, “සමාදානයේ [දෙවි]” කියලයි. (පිලිප්පි 4:9; හෙබ්‍රෙව් 13:20) ඔහු අප සඳහා සාමය ඇති කරමින්, හිංසා පීඩාවලින් සහනය ගෙන එයිද?
යෙහෝවා ඔබ ගැන සලකනවා
ඔහුගේ සෙනඟගේ විපත් සම්බන්ධයෙන් යෙහෝවා සිටින්නේ දුර ඈතක නොවෙයි. (ගීතාවලිය 34:15) ඔහු කණ්ඩායමක් වශයෙන් තමාගේ සෙනඟ ගැන විතරක් නෙමෙයි, නමුත් ඔහුට භය වන්නාවූ එක් එක් පුද්ගලයාගේ අවශ්‍යතා ගැනත් සැලකිලිමත් වෙනවා. පුරාණ යෙරුසලෙම් දේවමාළිගාව කැප කරද්දී සාලමොන් යෙහෝවාට කන්නලව් කළේ, “කොයි මනුෂ්‍යයෙකු විසින් නුමුත්, ඔබගේ මුළු සෙනඟවූ ඉශ්රායෙල් විසින් නුමුත්, තම තමුන්ගේ සිත්වල පීඩාවද දුකද දැනගන මේ ගෘහය දෙසට තමුන්ගේ අත් විදහාගන යම් යාච්ඤාවක් හෝ කන්නලව්වක් හෝ ඔප්පුකළොත්” එයට ඇහුම්කන් දෙන්න කියලයි. (2 ලේකම් 6:29) (ඇල අකුරු අපේය) සාලමොන් පිළිගත් විදිහට, සෑම පුද්ගලයෙකුටම විඳදරාගැනීම සඳහා තමන්ටම ආවේණික වූ පීඩාවක් තියෙනවා. එක පුද්ගලයෙකුට එය ශාරීරික අසනීපයක් වෙන්න පුළුවන්. තව කෙනෙකුට චිත්ත පීඩාවක්. සමහරෙකු ප්‍රේමනීය කෙනෙකුගේ වියෝවෙන් පීඩිතව ඉන්නවා වෙන්න පුළුවන්. විරැකියාව, ආර්ථික අමාරුකම් සහ පවුල් ගැටලුත් මෙම අමාරු කාලවල තියෙන පොදු හිංසා පීඩායි.
මොහොතකට ‘ඔබේම සිතේ පීඩාව සහ දුක’ ගැන හිතන්න. “අනුකම්පාකරන්නෙකු බලාසිටියෙම් නුමුත් කිසිවෙක් නොවීය; සනසන්නන් සෙවීමි, නුමුත් සම්බ නොවීය” කියා ලිවූ ගීතිකාකාර දාවිත් මෙන් සමහරවිට යම් කාලවලදී ඔබටත් හැඟීගොස් ඇති. කෙසේවෙතත්, ඔබගේ තත්වය ගැන දෙවි සලකනවයි කියල ඔබට සහතික වෙන්න පුළුවන්. මොකද, ඊට පසුව එම ගීතිකාවේම දාවිත් මෙහෙම ලිව්වා: “මක්නිසාද [යෙහෝවා] දිළිඳුන්ට කන්දෙ[න්නේය], තමන් හිරකාරයන් සුළුකොට නොසිත[න්නේය].”—ගීතාවලිය 69:20, 33.
දාවිත්ගේ වචන පුළුල් ආකාරයකට අදාළ කිරීමෙන්, මිනිසාගේ මැවුම්කරු හිරකාරයන්ව සිටින්නන්ගේ, වෙනත් විදිහකින් කියනවා නම්, හිංසා පීඩා යටතේ සිටින්නන්ගේ යාච්ඤා අසන බව විශ්වාස කරන්න පුළුවන්. ඔක්කොටම වඩා ඔහු ඔවුන් වැටී ඉන්න අසරණ තත්වයට ප්‍රතික්‍රියා කරනවා. පීඩිතවූවන් කෙරෙහි යෙහෝවාගේ අනුකම්පාව හෙළි කරන මීළඟට ඇති කියමන් සලකා බලන්න.
“කිසි කනවැන්දුමියෙකුටවත් පියා නැති දරුවෙකුටවත් හිංසා නොකරන්න. නුඹ යම් ආකාරයකින් ඔවුන්ට හිංසාකළොත් ඔවුන් මට හඬගැසුවාම මම සැබවින්ම ඔවුන්ගේ හඬ අසන්නෙමි; එවිට මාගේ උදහස ඇවිළෙනවා ඇත.”—නික්මයාම 22:22-24.
“[දෙවිත්] තමන්ට රෑ දවල් හඬගසන්නාවූ තමන් තෝරාගත්තවුන් ගැන යුක්තිය ඉෂ්ට නොකර[න්නේ]ද? [ඔහු] ඔවුන් කෙරෙහි බොහෝ ඉවසිල්ලෙන් සිටි[න්නේය].”—ලූක් 18:7.
“මක්නිසාද [ඔහු] මොරගසන දිළිඳාද උපකාරකාරයෙක් නැති දුප්පතාද මුදාහරින්නේය. [ඔහු] දුප්පතුන් සහ දිළිඳුන් කෙරෙහි අනුකම්පාකරන්නේය, දිළිඳුන්ගේ ප්‍රාණයන් ගළවන්නේය. [ඔහු] ඔවුන්ගේ ප්‍රාණය පීඩාවෙන්ද බලාත්කාරයෙන්ද මුදන්නේය; ඔවුන්ගේ ලේ [ඔහුගේ] ඇස් හමුයෙහි අනර්ඝ වන්නේය.”—ගීතාවලිය 72:12-14.
“මක්නිසාද නුඹලාට [පොළොව මත සිටින දෙවිගේ සෙනඟට] අත ගසන්නා [ඔහුගේ] ඇසේ කළු ඉංගිරියාවට අතගසන්නේය.”—සෙකරියා 2:8.
ඔහුගේ සෙනඟගේ සුභසාධනය කෙරෙහි අපේ මැවුම්කාරයා දක්වන ගැඹුරු උනන්දුව මේ උදාහරණ කිහිපයෙන් නිදර්ශනය වෙනවා. තවදුරටත්, ප්‍රේරිත පේතෘස් දුන් දැනමිතිකම අනුගමනය කරන්න අපට හොඳ හේතු තියෙනවා: එනම්, “[ඔහු] නුඹලා ගැන සලකන බැවින් නුඹලාගේ හැම කරදර [ඔහු] පිට තබන්න.” (1 පේතෘස් 5:7) ඒත් හිංසා පීඩාකාරි කාලවලදී දෙවි අපට උපකාර කරන්න යන්නේ කොහොමද?
දෙවි පීඩිතයන්ට උපකාර කරන ආකාරය
අපි දැක්ක විදිහට දාවිත් හිංසා පීඩාවට ලක් වුණාම, මඟ පෙන්වීම සඳහා අවංකව දෙවිට යාච්ඤා කළා. ඒ සමඟම තමන්ගේ ලුහුබඳින්නන්ගෙන් ගැළවීමට උපාය දක්ෂබව පාවිච්චි කරමින්, තත්වයේ බරපතළකම සැහැල්ලු කරගැනීම සඳහා ඔහු මූලික පියවර ගත්තා. තවදුරටත්, ඔහුගේ විපතේදී දරාගැනීමට දාවිත්ට හැකි කරවූයේ, යෙහෝවා මත රඳා සිටීම හා බැඳි පෞද්ගලික ප්රයත්නයයි. අපි මෙයින් ඉගෙනගන්නේ මොකක්ද?
අපි හිංසා පීඩාවට මුහුණ දෙන කොට මූලික පියවර ගන්න එක කොහෙත්ම වැරදි නැහැ. උදාහරණයක් හැටියට, ක්‍රිස්තියානියෙකු රැකියාවක් නැතුව සිටිනවා නම්, එකක් සොයාගැනීමට උත්සාහ කරන්නේ නැද්ද? එහෙමත් නැත්නම්, ඔහු ශාරීරික අසනීපයකින් පෙළෙනවා නම්, වෛද්‍ය සත්කාර සොයන්නේ නැද්ද? ඇත්තවශයෙන්ම, සියලු ආකාර ලෙඩ සුව කිරීමට බලය තිබූ යේසු පවා, ‘රෝගීන්ට වෙදෙක් ඕනෑ’ බව පිළිගත්තා. (මතෙව් 9:12; සසඳන්න 1 තිමෝති 5:23.) ඇත්තෙන්ම, සමහර විපත් අයිං කරන්න බැහැ; ඒවා විඳදරාගන්නම ඕනෙ. සැබෑ ක්‍රිස්තියානීන්, සමහරු සිතන විදිහට දුක් විඳීම සත්ක්රියාවක් කියලා හිතන්නේ නැහැ. (1 රාජාවලිය 18:28, සසඳන්න.) ඒ වෙනුවට, ඔහුගේ හිංසා පීඩාකාරිත්වයෙන් ගොඩ ඒමට අවශ්‍ය කරන ඕනෑම ආකාරයක පියවරක් ඔහු ගන්නවා.
කෙසේවෙතත්, මේ අතරම, කාරණාව යාච්ඤාව තුළින් යෙහෝවාට දන්වන එක හොඳයි. ඒ මොකද? මුලින්ම, අපේ මැවුම්කරු මත රඳා සිටීම, ‘වඩා වැදගත් දේවල් ගැන ස්ථිර වන්න’ අපට උදව් කරනවා. (පිලිප්පි 1:10, NW) උදාහරණයකට, රැකියාවක් සොයද්දී, බයිබල් ප්‍රතිපත්ති උල්ලංගනය කරන වැඩක් පිළි නොගැනීම සඳහා, යාච්ඤාපූර්වකව යෙහෝවා මත රඳා සිටීම උපකාරවත් වෙනවා. මුදලට ඇති ප්‍රේමය නිසා, “ඇදහිල්ලෙන් මුළාව” යෑමෙනුත් අපව වැළකෙන්න යනවා. (1 තිමෝති 6:10) ඇත්තටම, බරපතළ තීරණ ගැනීමේදී, රැකියාව ගැන හෝ ජීවිතයේ වෙනයම් පැත්තක් ගැන හෝ වේවා අපි දාවිත්ගේ දැනමිතිකම අනුගමනය කිරීම අවශ්‍ය වෙනවා: “නුඹේ බර [යෙහෝවා] පිට තබව, [ඔහු] නුඹ උසුල[න්නේය. ඔහු] කිසිකලෙකත් ධර්මිෂ්ඨයා සෙලවෙන්ට නොදෙ[න්නේය].”—ගීතාවලිය 55:22.
අප පත්ව ඇති හිංසා පීඩාවෙන් අපව යටපත් කිරීමට ඉඩ නොදී සමබර මනසක් දිගටම පවත්වාගැනීම සඳහාත් යාච්ඤාව අපට උපකාර කරනවා. ප්‍රේරිත පාවුල් මෙහෙම ලිව්වා: “සියල්ලෙහිදී ස්තුතිදීම සමඟ යාච්ඤාවෙන්ද කන්නලව්වෙන්ද නුඹලාගේ ඉල්ලීම් [දෙවිට] දන්වන්න.” මොන වගේ ප්‍රතිඵල ඇතුවද? “[දෙවිගේ] සමාදානය ක්‍රිස්තුස් [යේසුස්] තුළ නුඹලාගේ සිත්ද [මානසික බලයන්ද, NW] ආරක්ෂාකරනවා ඇත.” (පිලිප්පි 4:6, 7) ඔව්, සමාදානය, එනම් දෙවිගේ සමාදානයයි. අපි චිත්ත පීඩාවලින් බර වෙලා ඉන්න කොට ‘සියලු සිතිවිලි අභිභවා යන’ එම සමාදානය අපව ස්ථිර කරනවා. එය අපගේ ‘සිත්ද මානසික බලයන්ද ආරක්ෂා’ කරන අතර, තවදුරටත්, අප පත්ව ඇති හිංසා පීඩාකාරිත්වයට තවත් කරදර එකතු කරවිය හැකි, රළු සහ අඥාන විදිහට ක්‍රියා කිරීමෙන් අපව වළක්වනවා.—දේශනාකාරයා 7:7.
යාච්ඤාවට තවත් බොහෝ දේ කළ හැකියි. යම් තත්වයක් ක්‍රියාත්මක වෙමින් තියෙන විදිහ වෙනස් කරන්න ඒකට පුළුවන්. බයිබල් උදාහරණයක් සලකල බලන්න. ප්‍රේරිත පාවුල් රෝමයේ සිරභාරයේ සිටිද්දී, තමා වෙනුවෙන් යාච්ඤා කරන්න කියා සෙසු ක්‍රිස්තියානීන්ව දිරිගැන්නුවා. ඒ මොකද? ඔහු මෙහෙම ලිව්වා: “වඩා ඉක්මනින් මා නුඹලාට නැවත දෙනු ලබන පිණිස, එසේ කරන්ට මම වඩා ඕනෑකමින් නුඹලාට අනුශාසනාකරමි.” (හෙබ්‍රෙව් 13:19) ඔහු හිරෙන් නිදහස් වෙන්න යන්නේ කවදාද කියන එක වෙනස් කරන්න, ඔහුගේ සෙසු ඇදහිලිවන්තයන්ගේ අඛණ්ඩ යාච්ඤාවලට පුළුවන් බව පාවුල් දැනගෙන හිටියා.—පිලෙමොන් 22.
යාච්ඤාව ඔබේ හිංසා පීඩාවල ප්‍රතිඵල වෙනස් කරනවාද? සමහරවිට. කෙසේවෙතත්, අපි බලාපොරොත්තු වෙන විදිහට හැම වෙලේම යෙහෝවා අපේ යාච්ඤාවලට උත්තර දෙන්නේ නැති බව අපි තේරුම්ගන්න ඕනෙ. උදාහරණයකට පාවුල්, ‘මාංසයෙහි වූ උලක් වැනි’ යමක් ගැන—සමහරවිට ඔහුගේ ඇස් පෙනීම හා සම්බන්ධ ශාරීරික ගැටලුවක් ගැන නැවත නැවත යාච්ඤා කළා. දෙවි ඒ හිංසා පීඩාව ඔහුගෙන් ඉවත් කරනවා වෙනුවට පාවුල්ට මෙහෙම කිව්වා: “මාගේ කරුණාව නුඹට සෑහේය. මක්නිසාද දුර්වලකමේදී මාගේ බලය සම්පූර්ණවෙන්නේය.”—2 කොරින්ති 12:7-9.
ඉතිං සමහර අවස්ථාවලදී, අපගේ විපත් ඉවත් කරන්නේ නැහැ. ඊට වෙනස්ව, අපේ මැවුම්කාරයා මත රඳා සිටින බව ඔප්පු කිරීමට අපට ප්‍රස්තාව ලැබෙනවා. (ක්‍රියා 14:22) තවදුරටත්, යෙහෝවා අපේ හිංසා පීඩාව ඉවත් නොකළත්, අපට “පරීක්ෂාව ඉවසිය හැකිවන පිණිස ඒ සමඟ ගැළවෙන මාර්ගයද සාදාදෙන” බවට සහතික විය හැකියි. (1 කොරින්ති 10:13) ඔව්, හොඳ හේතු ඇතුවයි ‘සියලු පීඩාවලදී අප සනසන සියලු සැනසිල්ලේ දෙවි’ ලෙස යෙහෝවාව හඳුන්වා තියෙන්නේ. (2 කොරින්ති 1:3, 4) විඳදරාගැනීමට අපට අවශ්‍ය දේවල් සමඟ සැලකිය හැකි තරම් සාමයකුත් ඔහු අපට සපයනවා.
පීඩිතබව නැති ලොවක්—ඉතා ඉක්මනින්!
තමන්ගේ රාජ්‍යය තුළින්, මිනිස්වර්ගයාගේ හිංසා පීඩා ඉවත් කරන බවට මැවුම්කරු පොරොන්දු වෙනවා. ඔහු මෙය ඉෂ්ට කරන්නේ කොහොමද? ඒ සාමයේ ප්‍රධාන සතුරාද, හිංසා පීඩාවේ අග්‍ර පොලඹවන්නාද වන “මේ ලෝකයේ දෙවියා” ලෙස බයිබලය හඳුන්වන සාතන් නමැති යක්ෂයාව ඉවත් කිරීමෙනුයි. (2 කොරින්ති 4:4) කෙසේවෙතත් ඉතා ඉක්මනින්, මනුෂ්‍යවර්ගයා කෙරෙහි ඇති ඔහුගේ බලය සම්පූර්ණයෙන්ම අවසන් වෙනවා. ඔහුගේ ඉවත් කිරීම, දෙවිට භය ඇති අයට ගණං කරන්න බැරි තරම් ආශීර්වාද ගෙන ඒම සඳහා පාර කපනවා. බයිබලය පොරොන්දු වෙන්නේ, යෙහෝවා “ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිසදම[න්නේය]; මරණය තවත් නොවන්නේය; වැලපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය. මක්නිසාද පළමු දේවල් පහව ගියේයයි සිංහාසනයෙන් කියන මහත් හඬක් මට ඇසුණේය” කියලයි.—එළිදරව් 21:1-4.
හිංසා පීඩාවෙන් තොර ලොවක් සැබෑවක් වෙයි කියල හිතන එක අමාරු දෙයක්ද? අපි මේ විපත්ති එක්ක ජීවත් වෙන්න කොච්චර පුරුදු වෙලාද කිව්වොත් ඒවා නැති වී යනවා කියල සිතන්න හරිම අමාරුයි. ඒත්, මිනිස්වර්ගයාගේ මැවීමේදී දෙවි හරියටම අරමුණු කළේ, භයින්, තැවුලෙන් සහ විපත්තියෙන් තොර තත්වයක්; ඒ විදිහටම ඔහුගේ අරමුණ ඉෂ්ට වෙන්න යනවා.—යෙසායා 55:10, 11.
ආරම්භක ලිපිවල සඳහන් කළ සෝන්‍ය’, ෆාබියාන’ සහ ආන’ සොයාගත් බලාපොරොත්තුවත් මේකයි. තමන්ගේ දරුවන් දෙදෙනා ඒඩ්ස් රෝගයෙන් මියගිය සෝන්‍ය’, බයිබලය දෙන්නාවූ බලාපොරොත්තුවේ එනම්, ධර්මිෂ්ඨයන්ගෙත්, අධර්මිෂ්ඨයන්ගෙත් නැවත නැඟිටීම තුළ වඩා වැඩි සාමයක් ලබාගත්තා. (ක්‍රියා 24:15) “එකක් ස්ථිරයි” කී ඇය මෙහෙම කියනවා: “අපේ බලාපොරොත්තුව, මොනම ආකාරයේ වේදනාවක් වුණත් අභිභවා යනවා.”
අනත්දරු නිවාසයේ සිටියදීම, යෙහෝවාගේ සාක්ෂිකාරියක් ආන’ව බැහැදකින්න ගියා. ආන’ මෙහෙම කියනවා: “ඇය මට බයිබලයෙන් යෙහෝවාගේ නම පෙන්නුවා. මට ඇති වුණ සතුට නිසා ඉබේම ඇඬුණා. මට හොඳටම උදව් ඕනෙ කරල තිබුණා; ඒ විතරක් නෙමෙයි, අපි ගැන සලකන දෙවිකෙනෙක් ඉන්න බවත් මම ඉගෙනගත්තා.” අනත්දරු නිවාසයෙන් ගියාට පස්සේ ආන’ බයිබල් පාඩමක් පිළිගෙන යෙහෝවාගේ පොරොන්දු ගැන තවත් ඉගෙනගත්තා. ඊට පස්සේ, ඇය තම ජීවිතය යෙහෝවාට කැප කර, බව්තීස්මයෙන් එය සංකේතවත් කළා. “එදා ඉඳල යාච්ඤාවෙන් නොකඩවාම යෙහෝවා මත රැඳී සිටිනවා වගේම, ඔහු උදව් කරනවා කියන සහතිකය නිසා මම සහනයත් ලබල තියෙනවා.”
ෆාබියාන’ පවා, අනාගතය පිළිබඳ දෙවිගේ පොරොන්දු ගැන ඉගෙනගැනීමෙන් හිංසා පීඩාවට ලක් වූ ඇගේ මනසේ වඩා සාමයත් ඒ වගේම සහනයත් සොයාගත්තා. “බයිබලයෙන් සත්‍යය ඉගෙනගත්තු එක හරියට, ගනඳුරු අපැහැදිලි කාමරයක් හැරදා, පැහැදිලි, ආලෝකවත්, ප්‍රසන්න වටාපිටාවක් ඇති කාමරයකට පිවිසෙනවා වගෙයි.”—ගීතාවලිය 118:5.
එහෙත් නියම ප්‍රීතිය පෘථිවිය පුරාම ඇති වන්නේ කොහොමද, ඒ වගේම කවදාද? ඊළඟ ලිපිවලින් අපි බලමු.
[6වන පිටුවේ කොටුව]
හිංසා පීඩාවේ බොහෝ පැතිකඩ
▪ ලෝක ජනගහනයෙන් ආසන්න වශයෙන් හතරෙන් පංගුවක් සම්පූර්ණයෙන්ම දිළිඳුභාවයෙනුත්, තව මිලියන බොහෝමයක් මිනිස් වාසයට හිතකර නොවන තැන්වලත් වසන අතර, එම තත්වයන් ඔවුන්ගේ දිවි පෙවෙතට තර්ජන එල්ල කරනවා.
▪ දරුවන් මිලියන 200කට වැඩි ප්‍රමාණයක් ඌන පෝෂණයෙන් පෙළෙනවා.
▪ සෑම වසරකම පාචනය හේතුවෙන් වයස අවුරුදු පහට අඩු දරුවන් මිලියන තුනක් විතර මැරෙනවා.
▪ බෝවෙන රෝග 1993දී විතරක් මිනිසුන් මිලියන 16.5ක්ව මරා දැමුවා. සමහර රටවල් රෝග වර්ග කරන්නේ වෙනස් විදිහට හින්දා, නියම සංඛ්‍යාව මීට වඩා වැඩි වෙන්න පුළුවන්.
▪ ඇස්තමේන්තු කෙරුව මිලියන 500කට වඩා වැඩි සෙනඟක් විවිධාකාර මානසික ගැටලුවලින් පෙළෙනවා.
▪ සියදිවි නසාගන්න එක වෙන කිසිම වයස් කණ්ඩායමකට වඩා තරුණයන් අතරෙහි ශීඝ්‍රයෙන් වැඩි වී තියෙනවා.
▪ ද යුනෙස්කෝ කුරිය’ මෙහෙම සඳහන් කරනවා: “සාගින්න සහ විරැකියාව ලෝකය මත තැවරුණු ලප බවට පත් වෙලා. ලෝකයේ ධනවත්ම ජාතීන් හතෙහි මිලියන 35ක් විරැකියාවෙන් පෙළෙනවා. බ්‍රසීලයේ විතරක් මිලියන 20ක් වැඩකරුවන් සිටියත්, ඔවුන්ට රැකියාවක් තිබීමෙන් විතරක්ම ඔවුන්ගේ බඩකට පිරෙයි කියන එක අදහස් වෙන්නේ නැහැ.”
[7වන පිටුවේ පින්තූර]
හිංසා පීඩාවෙන් තොර ලෝකයක් පිළිබඳ දෙවිගේ පොරොන්දුව කෙරෙහි යොමු වෙන්න අපිට උදව් වෙන්න යාච්ඤාවට පුළුවන්