නාච්මානඩීස්—ඔහු ක්‍රිස්තු ධර්මය නිෂ්ප්‍රභ කළාද?
මධ්‍යම යුගය. ඒ කාලය අපේ මතකයට නංවන්නේ මොකක්ද? කුරුස යුද්ධ? අධර්ම මර්දනාධිකරණ? වධහිංසා? විවෘත ආගමික සාකච්ඡා සිදු වූ කාලපරිච්ඡේදයක් හැටියට නම් දැරුවේ නැතත්, ඒ කාලය තුළදී, එනම් වර්ෂ 1263දී, යුරෝපීය ඉතිහාසයේ ඉතා අද්විතීය යුදෙව්-ක්‍රිස්තියානි වාදයන්ගෙන් එකක් පවත්වනු ලැබුවා. ඒකට සම්බන්ධ වුණේ කවුද? ඉස්මතු කළ වාද විෂයන් මොනවාද? අදදින සැබෑ ආගම හඳුනාගන්න ඒක අපිට උපකාරයක් වෙන්න පුළුවන් කොහොමද?
වාදයට පණ දුන්නේ මොකක්ද?
මුළු මධ්‍යම යුගය පුරාම, රෝමානු කතෝලික සභාව සැබෑ ආගම වශයෙන් ඉදිරිපත් වී සිටියා. කොහොම වුණත්, දෙවිගේ තෝරාගත් සෙනඟ හැටියට යුදෙව් ජනයා කිසිදාක තම හිමිකම අත්හැරලා තිබුණේ නැහැ. යුදෙව්වන් තම ආගමට හැරෙන්න ඕනෙ කියන එක ඒත්තුගන්වන්න පල්ලියට බැරි වුණ හින්දා, ඔවුන් බලාපොරොත්තු සුන් තත්වයකට පත් වුණා; ඒ වගේම මෙය නිතරම සාහසිකකමට සහ පීඩාවට මඟ පෑදුවා. කුරුස යුද්ධ සමයේදී, බව්තීස්ම වෙන්න හෝ මැරෙන්න හෝ තෝරගන්න සිදු වෙද්දී, යුදෙව්වරුන් දසදහස් ගණනාවක්වම ඝාතනය කළා, එහෙම නැත්නං කණුවල පුලුස්සනු ලැබුවා. බොහෝ රටවල පල්ලියේ අනුබලය යටතේ යුදෙව් විරෝධී ප්‍රතිපත්තියක් පැවතුණා.
කොහොම වුණත්, 12වන සහ 13වන සියවස්වල කතෝලික ස්පාඤ්ඤයේ වෙනස් ස්වභාවයක් පැවතුණා. ක්‍රිස්තියානි ඇදහිල්ලට පහර නොදීමේ කොන්දේසිය මත යුදෙව්වන්ට ආගමික නිදහස දීලා තිබුණා; එමෙන්ම රජ වාසලේ වැදගත් තනතුරු පවා ඔවුන්ට දුන්නා. ඒත් එවැනි අනුග්‍රහයක් සියවසකට විතර ලැබුණායින් පස්සේ, සමාජයේ යුදෙව් බලපෑම අඩු කරන්නත්, යුදෙව්වන් කතෝලික ධර්මයට හරවන්නත් ඩොමිනිකන් නිකායේ පූජකයන් පියවර ගත්තා. ඇරගොන්හි පළමුවන ජේම්ස් රජ ඩොමිනිකන් නිකායිකයන්ගේ පීඩනයට ලක් වුණා, නිල ලත් වාදයක් සඳහා කටයුතු පිළියෙළ කරන්න; ඒකේ අරමුණ, යුදෙව් තත්වයේ පහත් බවත්, හැම යුදෙව්වෙක්ම ආගම වෙනස් කරන්න අවශ්‍ය බවත් ඔප්පු කරන්නයි.
මෙය පළමු යුදෙව්-ක්‍රිස්තියානි වාදය නෙවේ. වර්ෂ 1240දී, ප්‍රංශයේ පැරිස්වල නිල ලත් විවාදයක් පැවැත්වූවා. යුදෙව්වන්ට පරිශුද්ධ වූ පොතක් වන තල්මුඩය විභාග කිරීම ඒකේ මූලික අරමුණ වුණා. කොහොම වුණත්, එයට සහභාගි වූ යුදෙව්වන්ට ඉතා සීමිත නිදහසක් විතරයි හම්බ වුණේ කතා කරන්න. පල්ලිය තමුන් මෙම විවාදයෙන් ජයගත් බව ප්‍රකාශ කළ විට, ප්‍රසිද්ධ මංසන්ධිවල තල්මුඩයේ පිටපත් තොග පිටින් පුලුස්සනු ලැබුවා.
ඒත් ඇරගොන්හි පළමුවන ජේම්ස් රජුගේ වඩා ඉවසනසුලු ස්වභාවය, ඒ වගේ ව්‍යාජ නඩු විභාගයකට ඉඩක් තැබුවේ නැහැ. මෙය තේරුම්ගත් ඩොමිනිකන් නිකායිකයෝ වෙනත් එළඹීමක් යොදාගන්න වෑයම් කළා. ජුඩෙයිසම් ඔන් ට්‍රයල් (යුදෙව්වාදය නඩු විභාගයකට හසු වී) යන තම පොතෙහි, චියාම් මාකෝබි විස්තර කළ ආකාරයට, “පැරිස්වල සිදු වූ හෙළාදැකීම මෙන් නොව, ආචාරශීලීබවේ සහ ඒත්තුගැන්වීමේ වේශයෙන්” ඔවුන් යුදෙව්වන්ට වාදයකට ඇරයුම් කළා. ඩොමිනිකන් නිකායිකයෝ තමුන්ගේ ප්‍රධාන නියෝජිත හැටියට පාබ්ලෝ ක්රිස්ටිආනිව පත් කළා; ඔහු කතෝලික ධර්මයට හැරී, ඩොමිනිකන් පූජකයෙක් බවට පත් වෙලා හිටපු යුදෙව්වෙක්. තල්මුඩයේ සහ රබ්බිවරුන්ගේ ලියකියවිලි පිළිබඳව පාබ්ලෝ ක්රිස්ටිආනිගේ දැනුම උපයෝගි කිරීමෙන්, තමුන්ගේ තර්කය ඔප්පු කරන්න පුළුවන් බව ඩොමිනිකන් නිකායිකයන්ට ස්ථිර හැඟීමක් තිබුණා.
ඇයි නාච්මානඩීස්ව?
වාදයේ යුදෙව් පැත්ත නියෝජනය කරන්න ආත්මික පෞරුෂය තිබුණේ ස්පාඤ්ඤයේ එකම පුද්ගලයෙකුට විතරයි: මෝසෙස් බෙන් නාච්මාන් නොහොත් නාච්මානඩීස්.a ජෙරෝනා නගරයේ 1194දී පමණ උපන් නාච්මානඩීස්, නහඹර වියේ ඉඳන්ම බයිබලයේ සහ තල්මුඩයේ පණ්ඩිතයෙක් හැටියට කීර්තියක් ලබලා තිබුණා. ඔහුගේ වයස අවුරුදු 30ක් වෙද්දී, ඔහු තල්මුඩයෙන් වැඩිහරියක් ගැන අටුවාවන් ලියා තිබුණු අතර, යුදෙව් සමාජය භේදභින්න කිරීමට තර්ජනයක් වුණු මයිමොනඩීස්ගේ ලියවිලි ගැන තිබුණු මතභේදය සමථයකට පත් කිරීමේ ප්‍රධාන කාර්යභාරයක් දැරුවා.b නාච්මානඩීස්ව සලකන්නේ තම පරම්පරාවේ ශ්‍රේෂ්ඨතම යුදෙව් බයිබල් සහ තල්මුඩ පණ්ඩිතයා වශයෙනි; එමෙන්ම එම අවදිය තුළදී යුදෙව්වාදය මත ඔහුගේ බලපෑම සමහරවිට මයිමොනඩීස්ට පමණක් දෙවනියි කියලා කියන්න පුළුවන්.
නාච්මානඩීස් කැටලෝනියාවේ යුදෙව් සමාජය කෙරෙහි පුළුල් බලපෑමක් එල්ල කළ අතර, පළමුවන ජේම්ස් රජ පවා රජයේ විවිධ කටයුතු සම්බන්ධයෙන් ඔහුගේ උපදෙස් පැතුවා. යුදෙව්වන් මෙන්ම අන්‍යජාතිකයන් ඔහුගේ තියුණු චින්තන හැකියාවන්ට එක සේ ගෞරව කළා. යුදෙව්වන්ට ප්රබලව අවමන් කිරීමට නම්, ඔහුව ඒ කියන්නේ ඔවුන්ගේ ප්‍රමුඛතම රබ්බිවරයාව වාදයකට කැඳවිය යුතු බව ඩොමිනිකන් නිකායිකයන් තේරුම්ගත්තා.
සාධාරණ විදිහට කටයුතු කරන්න ඩොමිනිකන් නිකායිකයන්ට කිසිම අදහසක් නොතිබුණු බව තේරුම්ගත් නාච්මානඩීස් වාදයට එකඟ වෙන්න මැළි වුණා. ප්‍රශ්නවලට උත්තර දීම ඔහුගෙන් අපේක්ෂා කළත්, ප්‍රශ්න නඟන්න ඉඩක් තිබුණේ නැහැ. කොහොම වුණත්, ඔහු රජුගේ ඉල්ලීමට එකඟ වූ අතර, පිළිතුරු දෙද්දී නිදහසේ කතා කරන්න අවසරත් ඉල්ලුවා. පළමුවන ජේම්ස් රජ මෙයට එකඟ වුණා. මුළු මධ්‍යම යුගයේදීම එහෙම යම් දුරකට හරි නිදහසේ කතා කරන්න ඉඩ දීම පෙර නොවූවිරූ දෙයක් වූ අතර, එවැනි දෙයක් ආයෙ සිදු වුණේ නැහැ; රජ නාච්මානඩීස්ව මහත් ගෞරවයෙන් සැලකූ බවට මෙය පැහැදිලි සාක්ෂියක්. කොහොම වුණත්, නාච්මානඩීස් සැකයෙන් සිටියා. වාදයේදී ඔහු කටයුතු කළ විදිහ ඕනෑවට වඩා සටන්කාමියයි සැලකුවා නම්, ඔහුටත් යුදෙව් සමාජයටත් විපත්තිදායක ප්‍රතිඵල තියේවි. ඕනෑම මොහොතකදී සාහසික තත්වයක් උද්ගත වෙන්න පුළුවන්.
පාබ්ලෝ ක්රිස්ටිආනිට එරෙහිව නාච්මානඩීස්
වාදය සඳහා ප්‍රධාන පසුබිම වුණේ බාසිලෝනාවේ රජගේ මාළිගාවයි. සැසිවාර හතරක් 1263 ජූලි 20, 23, 26 සහ 27 යන දිනවලදී පැවැත්තුවා. සෑම සැසිවාරයකදීම පෞද්ගලිකවම මුලසුන දැරුවේ රජුයි; පල්ලියේ සහ රජයේ මෙන්ම යුදෙව් සමාජයේ විවිධාකාර සම්භාවනීය අමුත්තන්ද ඒවාට පැමිණ සිටියා.
පල්ලියට නම්, වාදයේ ප්‍රතිඵලය ගැන සැකයක් තිබුණේ නැහැ. ඩොමිනිකන් නිකායිකයන් තම නිල ලත් වාර්තාවේ ප්‍රකාශ කළේ, වාදයේ අරමුණ ‘යම් සැකයක් තිබෙන නිසා, ඇදහිල්ල විවාදයට ලක් කිරීම නොව, නමුත්, යුදෙව්වන්ගේ දෝෂ විනාශ කරන්නත්, බොහෝ යුදෙව්වන්ගේ ස්ථිර ඇදහිල්ල අයින් කරන්නත්’ කියායි.
නාච්මානඩීස් අවුරුදු 70කට ආසන්නව සිටියත්, සාකච්ඡාව මූලික වාද විෂයන්ට පමණක් සීමා කරන්න වෙර දැරීමෙන් ඔහු පැහැදිලි චින්තන හැකියාවක් විදහා පෙන්වූවා. ඔහු ආරම්භ කළේ මෙහෙම කියමින්: “අන්‍යජාතිකයන් සහ යුදෙව්වන් අතර [කලින්] පැවති විවාද, ඇදහිල්ලේ මූලික මූලධර්මය රඳා පවතින්නේ නැති ආගමික වතාවත්වල විවිධ අංගයන් මත කේන්ද්‍රගත වුණා. කොහොම වුණත්, මෙම රාජකීය අමුත්තන් මණ්ඩලය ඉදිරියේ, මුළු මහත් මතභේදය රඳා තියෙන කාරණා ගැන පමණක් වාද කිරීම මගේ අදහසයි.” එවිට, මෙසියස් ඒ වන විට පැමිණ තිබුණාද, ඔහු දෙවිද නැත්නං මනුෂ්‍යයෙක්ද, සැබෑ ව්‍යවස්ථාව තියෙන්නේ යුදෙව්වන්ටද නැත්නං ක්‍රිස්තියානීන්ටද යන කාරණාවලට විෂයන් සීමා කරන්න එකඟ වුණා.
තම පළමුවන තර්කය ඉදිරිපත් කරද්දී, පාබ්ලෝ ක්රිස්ටිආනි ප්‍රකාශ කළේ, මෙසියස් ඒ වන විටත් පැමිණ තිබුණා කියලා තමාට තල්මුඩයෙන් ඔප්පු කරන්න පුළුවන් කියලයි. ඒක ඇත්තක් වුණා නම්, තල්මුඩය පිළිගත් රබ්බිවරුන් යේසුව පිළි නොගත්තේ ඇයි කියලා නාච්මානඩීස් පිළිතුරු දුන්නා. ශුද්ධ ලියවිල්ල මත පදනම් පැහැදිලි තර්ක මත ඔහුගේ තර්කයන් කේන්ද්‍රගත කරන්නේ නැතුව, ක්රිස්ටිආනි තම තර්ක තහවුරු කරන්න දිගින් දිගටම රබ්බිවරුන්ගේ අපැහැදිලි වගන්තිවලට යොමු දැක්වූවා. අවට පාඨ සම්බන්ධය සැලකිල්ලට ගන්නේ නැතුව ඒවා උපුටා දක්වනවා කියලා පෙන්නුම් කරමින් නාච්මානඩීස් කාරණා එකින් එකට නිෂ්ප්‍රභ කළා. මෙම ලියකියවිලි අධ්‍යයනය කරන්න නාච්මානඩීස් තම මුළු ජීවිතයම වාගේ කැප කරලා තිබුණු හින්දා, ඒවා ගැන වාද කරන්න ඔහු වඩාත් සමත් කියලා නිගමනය කිරීම තර්කානුකූල වුණා. ක්රිස්ටිආනි ශුද්ධ ලියවිල්ලට පවා යොමු දැක්වූ විටත්, ඔහුගේ තර්කවලින් කැපීපෙනෙන්න සැලැස්සුවේ පහසුවෙන්ම නිෂ්ප්‍රභ කරන්න පුළුවන් වූ කාරණායි.
ඇසූ ප්‍රශ්නවලට උත්තර දෙන්න සීමා කෙරුවත්, කතෝලික සභාවේ ස්ථාවරය යුදෙව්වන්ට මෙන්ම තර්කානුකූලව හිතන වෙනත් ජනයාට පිළිගන්න බැරි එකක් බව පෙන්නුම් කළ බලවත් තර්ක ඉදිරිපත් කරන්න නාච්මානඩීස්ට පුළුවන් වුණා. ත්‍රිත්ව ඉගැන්වීම ගැන ඔහු මෙම අදහස පළ කළා: “ස්වර්ගයේ සහ පොළොවේ මැවුම්කරු . . . යුදෙව් ස්ත්‍රියකගේ ගර්භාෂයෙන් නිකුත් වී . . . පසුව ඔහුව ඝාතනය කළ තම සතුරන්ගේ අතට පත් වෙයි කියලා විශ්වාස කරන්න, යුදෙව්වෙක්ගේවත් ඕනෑම මනුෂ්යයෙක්ගේවත් මනස ඉඩ දෙන්නේ නැහැ.” නාච්මානඩීස් පැහැදිලිව මෙහෙම කිව්වා: “ඔබේ ඇදහිල්ලේ මූලය වන ඔබ විශ්වාස කරන දේ, [තර්කානුකූලව හිතන] මනසකට පිළිගන්න බැහැ.”
යේසු මෙසියස් වුණාද කියන එකවත් සලකා බැලීමෙන් යුදෙව්වන් බොහෝදෙනෙක්ව මේ දවස දක්වා වළක්වා තියෙන පරස්පරවිරෝධීතාවක් කැපීපෙනෙන්න සලස්වමින්, නාච්මානඩීස් පල්ලියේ අන්ත ලේ වරද අවධාරණය කළා. ඔහු මෙහෙම කිව්වා: “මෙසියස්ගේ කාලයේදී . . . ඔව්හු තමුන්ගේ කඩුවලින් හීවැල්ද හෙල්ලවලින් දෑකැතිද තළාගන්නෝය. ජාතියක් ජාතියකට විරුද්ධව කඩුව ඔසවන්නේවත් තවත් යුද්ධ ඉගෙනගන්නේවත් නැත කියලා ප්‍රොපේතවරයා ප්‍රකාශ කරනවා. නාසරීයයාගේ කාලයේ ඉඳන් මේ දක්වා, මුළු මහත් ලෝකය සාහසිකකම් සහ හොරමැරවලින් පිරී පැවතිලා තියෙනවා. [ඇත්තෙන්ම] අනිත් ජාතීන්ට වඩා ක්‍රිස්තියානීන් ලේ වගුරුවන අතර, ඔවුන් දුරාචාර ජීවිතත් ගත කරනවා. මගේ ස්වාමි වූ රජ්ජුරුවෙනි, ඔවුන් තවත් යුද්ධ ඉගෙනගන්නේවත් . . . නැත්නම්, ඔබටත් එමෙන්ම මෙහි සිටින ඔබේ නයිට්වරුන්ටත් එය කොතරම් අමාරු දෙයක් වේවිද!”—යෙසායා 2:4.
හතරවන සැසිවාරයෙන් පස්සේ, රජ වාදය නතර කරලා දැම්මා. ඔහු නාච්මානඩීස්ට මෙහෙම කිව්වා: “ඔබ තරම් හොඳින් තර්ක කළ වරදෙහි සිටින මනුෂ්‍යයෙක් මං කවදාවත් දැකල නැහැ.” නාච්මානඩීස්ට නිදහසේ කතා කරන්න දෙන බවත්, ඔහුව ආරක්ෂා කරන බවත් සහතික කළ ඔහුගේ පොරොන්දුවට විශ්වාසවන්ත වෙමින්, ඇරගොන්හි පළමුවන ජේම්ස් රජු ඩීනා 300ක තිළිණයක් සමඟින් ඔහුව ගෙදර යන්න හැරියා. ජෙරෝනාහි බිෂොප්වරයාගේ ඉල්ලීම පරිදි, නාච්මානඩීස් වාදයේ ලිඛිත වාර්තාවක් සකස් කළා.
තීරණාත්මක ජයක් අත් කරගත් බව ප්‍රකාශ කළත්, ඩොමිනිකන් නිකායිකයෝ පැහැදිලිවම කැලඹුණු තත්වයක හිටියා. පල්ලියට විරුද්ධව දේවාපහාස කළා කියා ඔවුන් පස්සේ නාච්මානඩීස්ට විරුද්ධව චෝදනා එල්ල කළ අතර, වාදය පිළිබඳව ඔහුගේ ලියවිලි සාක්ෂි හැටියට භාවිත කළා. රජු නාච්මානඩීස්ට සැලකූ විදිහ ගැන නොසෑහීමට පත්ව සිටි ඩොමිනිකන් නිකායිකයෝ, IVවන ක්ලෙමන්ට් පාප්ට අභියාචනයක් ඉදිරිපත් කළා. නාච්මානඩීස් අවුරුදු 70කට වඩා වයස්ව හිටියත්, ඔහුව ස්පාඤ්ඤයෙන් පිටුවහල් කළා.c
සත්‍යය කොහේද තියෙන්නේ?
පැති දෙකෙන්ම ඉදිරිපත් වූ තර්කය සැබෑ ආගම හඳුනාගැනීමට උපකාර වුණාද? එකිනෙකා අනික් පැත්තේ දෝෂ කැපීපෙනෙන්න සැලැස්සුවත්, එක් කෙනෙක්වත් සත්‍යය පිළිබඳ පැහැදිලි පණිවිඩයක් ඉදිරිපත් කළේ නැහැ. නාච්මානඩීස් ඉතා දක්ෂ ලෙස නිෂ්ප්‍රභ කළේ සැබෑ ක්‍රිස්තු ධර්මය නොව, නමුත් යේසුට පස්සේ ශතවර්ෂවල ක්‍රිස්තියානි ලෝකය සම්පාදනය කළ ත්‍රිත්ව ඉගැන්වීම වැනි මනුෂ්‍යයා විසින් සෑදූ ධර්මයයි. නාච්මානඩීස් විසින් ඉතා නිර්භීතව කැපීපෙනෙන්න සැලැස්සූ ක්‍රිස්තියානි ලෝකයේ දුරාචාර හැසිරීම මෙන්ම හිතුවක්කාර ලේ වැගිරීම, ඉතිහාසයට අවිවාදයෙන්ම එකතු වෙලා තියෙන දේවල්.
මෙවැනි තත්වයන් යටතේ, ක්‍රිස්තු ධර්මයට පක්ෂව ඉදිරිපත් වූ තර්ක නාච්මානඩීස් සහ වෙනත් යුදෙව්වන්ට ඒත්තු නොගියේ ඇයි කියලා තේරුම්ගන්න අමාරු නැහැ. ඊට අමතරව, පාබ්ලෝ ක්රිස්ටිආනිගේ තර්කයන් හෙබ්‍රෙව් ලියවිල්ලෙන් ලද පැහැදිලි තර්ක මත නොව, නමුත් දුර්වලව අදාළ කළ රබ්බි මූලාශ්‍ර මත පදනම් වුණා.
ඇත්තෙන්ම නාච්මානඩීස් සැබෑ ක්‍රිස්තු ධර්මය නිෂ්ප්‍රභ කළේ නැහැ. ඔහුගේ කාලය වෙන කොට, යේසුගේ ඉගැන්වීම්වල සැබෑ ආලෝකය සහ ඔහු මෙසියස් බවට තිබූ සාක්ෂි, බොරු අදහස්වලින් වැසී ගොස් තිබුණා. ඇදහිල්ලෙන් ඉවත්ව යන එවැනි ඉගැන්වීම් මතු වෙන බව යේසු සහ ප්‍රේරිතයන් ඇත්තෙන්ම පුරෝකථනය කළා.—මතෙව් 7:21-23; 13:24-30, 37-43; 1 තිමෝති 4:1-3; 2 පේතෘස් 2:1, 2.
කොහොම වුණත්, අදදින සැබෑ ආගම පැහැදිලිව හඳුනාගන්න පුළුවන්. යේසු තම සැබෑ අනුගාමිකයන් ගැන මෙහෙම කිව්වා: “ඔවුන්ගේ ඵලවලින් නුඹලා ඔවුන් ඇඳින ගන්නහුය. . . . එසේම සියලු හොඳ ගස් හොඳ ඵල දරයි; නුමුත් නරක ගහ නරක ඵල දරයි.” (මතෙව් 7:16, 17) එසේ හරිහැටි හඳුනාගන්න කියලා අපි ඔබට ඇරයුම් කරනවා. ඔබට ශුද්ධ ලියවිලිමය සාක්ෂි ගැන අරමුණකින් යුත් පර්යේෂණයක් කරන්න පුළුවන් වෙන පරිදි, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ උපකාරය පතන්න. මෙමගින්, මෙසියස් සහ ඔහුගේ පාලනයට සම්බන්ධ දෙවිගේ හැම පොරොන්දුවකම සැබෑ අර්ථය ඉගෙනගන්න ඔබට පුළුවන් වේවි.
[පාදසටහන්වල]
a බොහෝ යුදෙව්වන් නාච්මානඩීස්ට කියන්නේ “රාම්බාන්” කියලයි; එය “රබ්බි මෝසෙස් බෙන් නාච්මාන්” යන වචනවල මුල් අකුරුවලින් සෑදුණු හෙබ්‍රෙව් නාමයක්.
b මුරටැඹ 1995 මාර්තු 1, 20-3 පිටුවල “මයිමොනඩීස්—යුදෙව්වාදය යළි නිර්වචනය කළ මිනිසා” යන ලිපිය බලන්න.
c වර්ෂ 1267දී, නාච්මානඩීස්, දැන් ඊශ්‍රායෙලය යනුවෙන් හඳුන්වන දේශයට ගොඩබැස්සා. ඔහුගේ ජීවිතයේ අන්තිම අවුරුදු කිහිපයේදී ඔහු දේවල් බොහොමයක් ඉටු කළා. ඔහු යෙරුසලමෙහි නැවතත් යුදෙව් බලපෑම ස්ථාපිත කළ අතර, අධ්‍යයන මධ්‍යස්ථානයකුත් පිහිටෙව්වා. එමෙන්ම ඔහු ටෝරා, ඒ කියන්නේ බයිබලයේ පළමුවන පොත් පහ ගැන විචාරයක් සම්පූර්ණ කළ අතර, උතුරු වෙරළබඩ තීරයේ පිහිටි ආක්ර නගරයේ යුදෙව් සමාජයේ ආගමික නායකයා බවට පත් වුණා. ඔහු 1270දී එම නගරයේදී මියගියා.
[20වන පිටුවේ පින්තූරය]
නාච්මානඩීස් තම කාරණාව බාසිලෝනාවෙහි ගෙනහැරපෑවා
[19වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
19වන සහ 20වන පිටුවල පින්තූරු: Illustrirte Pracht - Bibel/Heilige Schrift des Alten und Neuen Testaments, nach der deutschen Uebersetzung D. Martin Luther’s යන්න ඇසුරෙන් පිටපත් කර තිබේ.