මයිමොනඩීස්—යුදෙව්වාදය යළි නිර්වචනය කළ මිනිසා
“මෝසෙස් සිට මෝසෙස් දක්වා, මෝසෙස් මෙන් කෙනෙක් නොසිටියේය.” මෙම ගුප්ත කියමන බොහෝ යුදෙව්වන් පිළිගන්නේ, 12වන සියවසේ විසූ යුදෙව් දර්ශනවාදී, සංග්‍රහක, එමෙන්ම ටල්මුඩ් සහ ශුද්ධ ලියවිලි පිළිබඳ ටීකාකරුවෙකු වූ, මයිමොනඩීස් හැටියටත් රාම්බාම්a හැටියටත් ප්‍රචලිත වූ, මෝසෙස් බෙන් මයිමෝන්හට දක්වන ලද අගය කිරීමේ ප්‍රකාශයක් හැටියටය. අදදින මයිමොනඩීස් ගැන බොහෝදෙනෙක් නොදනිති, නමුත් ඔහුගේ කාලයේදී යුදෙව්, මුස්ලිම් හා පල්ලි චින්තනය කෙරෙහි ඔහුගේ ලියවිලි ගැඹුරු බලපෑමක් ඇති කළේය. ඔහු මූලික ආකාරයකින් යුදෙව්වාදය යළි නිර්වචනය කළේය. මයිමොනඩීස් කවරෙක් වීද, ඇරත් බොහෝ යුදෙව්වන් ඔහුව “දෙවන මෝසෙස්” හැටියට සලකන්නේ මන්ද?
මයිමොනඩීස් යනු කවරෙක් වීද?
මයිමොනඩීස් උපත ලැබුවේ 1135දී, ස්පාඤ්ඤයේ කෝර්ඩබාහිදීය. ඔහුගේ මුල් ආගමික අධ්‍යාපනයෙන් බොහොමයක් සැපයූ, ඔහුගේ පියවූ මයිමෝන්, කීර්තිමත් රබ්බිවරුන්ගේ පවුලක ප්‍රකට විශාරදයෙක් විය. වර්ෂ 1148දී ඇල්මොහැඩ්වරුන් විසින් කොර්ඩබා යටත් කරගනු ලැබූ විට, යුදෙව්වරුන්ට ඉස්ලාම් ධර්මයට හැරීම හෝ එතැනින් පලා යෑම අතර තේරීමක් කිරීමට සිදුවිය. මේ කාලය සිට දිගුකලක් පුරා මයිමොනඩීස්ගේ පවුලට ස්ථිර පදිංචියක් නොතිබුණි. වර්ෂ 1160දී ඔවුහු මොරොක්කෝහි ෆෙස්වල පදිංචි වූහ, එහිදී ඔහු වෛද්‍යවරයෙකු වශයෙන් පුහුණුව ලැබුවේය. වර්ෂ 1165දී ඔහුගේ පවුලට පලස්තීනය දක්වා පලා යෑමට සිදුවිය.
කෙසේවෙතත් ඉශ්රායෙලයේ තත්වය අවිනිශ්චිත එකක් විය. ක්‍රිස්තියානි ලෝකයේ කුරුස යුද්ධභටයන්ගෙන් මෙන්ම මුස්ලිම් හමුදාවන්ගෙන් පැමිණි අන්තරායන්වලට කුඩා යුදෙව් ප්‍රජාව නිරාවරණය විය. “ශුද්ධ දේශය” තුළ හය මසකට අඩු කාලයක් ගත කිරීමෙන් පසු මයිමොනඩීස් සහ පවුල, ඊජිප්තුවේ කයිරෝහි පුරාණ නගරය වූ ෆූස්ටාට්හි සරණ ලැබූහ. මයිමොනඩීස්ගේ කුසලතා මුළුමනින්ම ඒත්තුගනු ලැබුවේ මෙහිදීය. වර්ෂ 1177දී ඔහු යුදෙව් ප්‍රජාවේ මූලිකයා බවට පත්වූ අතර, 1185දී, කීර්තිමත් මුස්ලිම් නායක සලාඩින්ගේ රජවාසලේ වෛද්‍යවරයා වශයෙන් ඔහුව පත් කරන ලදි. මයිමොනඩීස් 1204දී සිය මරණය දක්වා මෙම තනතුරු දෙකම හෙබවීය. ඔහුගේ වෛද්‍යමය විශේෂඥභාවය කොතරම් ප්‍රචලිත වූවාද කිවහොත්, සිංහ එඩිතරකමක් තිබූ රිචඩ් රජු එංගලන්තය තරම් දුරක සිට, තම පෞද්ගලික වෛද්‍යවරයා හැටියට මයිමොනඩීස්ව ලබාගැනීමට වෑයම් කළ බව පැවසේ.
ඔහු ලීවේ කුමක්ද?
මයිමොනඩීස් ඵලදායී ලේඛකයෙක් වූයේය. මුස්ලිම් පීඩාවලින් පලා යද්දී, සැඟවී සිටිද්දී, තවද ජීවිතය බේරාගැනීමට ප්රයත්න දරද්දී, ඔහු තම පළමු ප්‍රධාන කෘතිය වන මිෂ්නා පිළිබඳ ටීකාවb බොහෝ දුරට සම්පාදනය කළේය. අරාබි බසින් ලියා තිබෙන මෙය, මිෂ්නාහි තිබෙන සංකල්ප සහ යෙදුම් බොහොමයක් මැනවින් පැහැදිලි කරයි, ඇතැම් අවස්ථාවන්හිදී යුදෙව්වාදය පිළිබඳ මයිමොනඩීස්ගේ දර්ශනවාදය ගැන පහදාදීම්වලට යොමු වීමෙන් එය මූලික විෂයෙන් බැහැරව ගමන් කරයි. සැන්හීඩ්‍රින් නමැති ග්‍රන්ථය පැහැදිලි කරන කොටසෙහි, මයිමොනඩීස් යුදෙව් ඇදහිලි ක්රමයේ මූලික ප්‍රතිපත්ති 13ක් සකසා ඉදිරිපත් කළේය. යුදෙව්වාදය කිසිදාක විධිමත් දහමක් හෝ විශ්වාස ප්‍රකාශයක් නිර්වචනය කර තිබුණේ නැත. දැන් මයිමොනඩීස්ගේ ඇදහිල්ලේ ප්‍රතිපත්ති 13, යුදෙව් දහමේ සකසා ඉදිරිපත් කිරීම් ගණනාවක් සඳහා මූලාකෘතියක් බවට පත්විය.—23 පිටුවේ, කොටුව බලන්න.
භෞතික හෝ වේවා ආත්මික හෝ වේවා, සෑම දෙයකම තර්කානුකූල පිළිවෙළ නිර්වචනය කිරීමට මයිමොනඩීස් උත්සාහ කළේය. බුද්ධිමය ඔප්පුකර සහ තර්ක ශාස්ත්‍රය වශයෙන් හෙතෙම සැලකූ දේ මත පදනම්ව, සෑම දෙයකට පැහැදිලි කිරීම් තරයේ ඉල්ලා සිටි ඔහු, අන්ධ විශ්වාසය ප්‍රතික්ෂේප කළේය. ඔහු සතුව තිබූ මෙම ස්වාභාවික නැඹුරුවාව සිය ශ්‍රේෂ්ඨ කෘතිය—එනම් මිෂ්නා ටෝරා—ලිවීමට මඟ පෑදුවේය.c
මයිමොනඩීස්ගේ දවසේදී යුදෙව්වරුන් සැලකුවේ, “ටෝරා” හෙවත් “ව්‍යවස්ථාව” අදාළ වන්නේ මෝසෙස් විසින් වාර්තා කරන ලද ලිඛිත කියමන්වලට පමණක් නොව, නමුත් සියවස් ගණනාව පුරා රබ්බිවරුන් විසින් මෙම ව්‍යවස්ථාව පිළිබඳව කරන ලද අර්ථකථනයන් සියල්ලටම අදාළ වන බවය. මෙම අදහස් ටල්මුඩ්හි සහ ටල්මුඩ් පිළිබඳව ලියනලද රබ්බිවරුන්ගේ තීරණ හා ලියකියවිලි දහස්ගණනාවක් තුළද වාර්තා කරන ලදි. මෙම තොරතුරු එතරම් විශාල වූ නිසාත්, කිසිදු පිළිවෙළකට සකස් කොට නොතිබුණු නිසාත්, මයිමොනඩීස්ට පැහැදිලිව පෙනීගියේ සාමාන්‍ය යුදෙව්වා සිය දෛනික ජීවිතයට බලපෑ තීරණගැනීමේදී මහත් අසීරුතාවකට මුහුණදුන් බවය. බොහෝදෙනෙක් රබ්බිවරුන්ගේ කෘති සියල්ලම ජීවිත කාලය පුරා අධ්‍යයනය කිරීමට නොහැකි තත්වයක සිටියෝය, ඇරත් මින් බොහොමයක් ලියන ලද්දේ තේරුම්ගැනීමට දුෂ්කර වූ ඇරමේක් භාෂාවෙනි. මයිමොනඩීස්ගේ පිළියම වූයේ මෙම තොරතුරු සංස්කරණය කොට, ප්‍රායෝගික තීරණ ඉස්මතු කොට දක්වා, විෂය අනුව බෙදා වෙන් කරන ලද පොත් 14කින් යුත් එක් ක්‍රමවත් පද්ධතියකට අනුව සකස් කිරීමයි. ඔහු මැනවින් පැහැදිලි වූ ගලායන හෙබ්‍රෙව් බසින් එය ලීවේය.
මිෂ්නා ටෝරා කොතරම් ප්‍රායෝගික මාර්ගෝපදේශයක් වූවාද කිවහොත්, ටල්මුඩ් වෙනුවට එය ප්‍රධාන තැන ගනීදෝහෝයි සමහර යුදෙව් නායකයෝ බිය වූහ. එහෙත්, විරෝධතා පෑ අය පවා, එම කෘතියේ විශිෂ්ට පාණ්ඩිත්‍යය පිළිගත්තේය. අනභිභවනීය අන්දමින් සංවිධානය වූ මෙම සංග්‍රහය මහත් විපර්යාසයකට තුඩුදුන් සාධනයකි, තවද සාමාන්‍ය ජනයාට තවදුරටත් තේරුම්ගත නොහැකිවූද, ජීරණය කරගත නොහැකිවූද, යුදෙව්වාදී පද්ධතියකට එය නව පණක් ලබාදුන්නේය.
ඊළඟට, මයිමොනඩීස් තවත් ප්‍රධාන කෘතියක් ලිවීමෙහි නිරත වූයේය—අන්දමන්ද වූවන් සඳහා මාර්ගෝපදේශය. ග්‍රීක් සම්භාව්‍ය කෘතීන් අරාබි බසට පරිවර්තනය කිරීමත් සමඟ, වැඩි වූ යුදෙව් ජනපිරිසක් ඇරිස්ටෝටල් සහ වෙනත් දර්ශනවාදීන් ගැන දැනුමක් ලබමින් සිටියහ. බයිබලයේ යෙදුම්වල පදගතාර්ථ තේරුම දර්ශනවාදය සමඟ එකඟ කරගැනීම අසීරු යමක් බව දුටු සමහරු, අන්දමන්ද වූහ. අන්දමන්ද වූවන් සඳහා මාර්ගෝපදේශය තුළ, ඇරිස්ටෝටල්ට සෑහෙන ගෞරවයක් පුද කළ මයිමොනඩීස්, බයිබලයේ හා යුදෙව්වාදයේ සාරය පැහැදිලි කිරීමට යත්න දැරුවේ, දර්ශනවාදී චින්තනයට හා තර්ක ශාස්ත්‍රයට අනුකූල වන ආකාරයකිනි.—1 කොරින්ති 2:1-5, 11-16 සසඳන්න.
මෙම ප්‍රධාන කෘතිවලටත් වෙනත් ආගමික ලියවිලිවලටත් අමතරව, මයිමොනඩීස් අධිකාරයක් ඇතිව වෛද්‍ය විද්‍යා හා තාරකා ශාස්ත්‍රීය ක්ෂේත්රයන් හා සම්බන්ධව ලීවේය. ඔහුගේ ඵලදායී ලේඛන හැකියාවේ තවත් අංශයක් අතපසු නොකළ යුතුයි. එන්සයික්ලොපීඩියා ජුඩෙයිකා මෙසේ අදහස් දක්වයි: “මයිමොනඩීස්ගේ ලිපි, ලියුම් ලිවීමේ වැදගත් වර්ධනය වීමක් සලකුණු කරයි. තම ලිපි හුවමාරුව බොහෝ දුරට සුරැකිව තබා තිබෙන පළමු යුදෙව් ලිපි ලේඛකයා ඔහුය. . . . ඔහුගේ ලිපි, ඔහු ලිවූ අයගේ මනසටත් හෘදයටත් බෙහෙවින් කාවැදුණු අතර, ඔහු සිය ලිවීමේ විලාසය ඔවුන්ට ගැළපෙන සේ හැඩගැස්සුවේය.”
ඔහු කුමක් ඉගැන්වීද?
සිය ඇදහිල්ලේ ප්‍රතිපත්ති 13දී, මයිමොනඩීස් විශ්වාසය පිළිබඳ පැහැදිලි සැකිල්ලක් ඉදිරිපත් කළේය, මින් සමහරක් ශුද්ධ ලියවිල්ල මත පදනම් විය. කෙසේවෙතත්, සත්වන සහ නවවන ප්‍රතිපත්ති, ශුද්ධ ලියවිල්ල මත පදනම්, යේසුස්වහන්සේ මෙසියස් බවට වූ විශ්වාසයේ සාරයට විරුද්ධව ගමන් කරයි.d ක්‍රිස්තියානි ලෝකයේ ඇදහිල්ලෙන් ඉවත් වූ ත්‍රිත්වය වැනි ඉගැන්වීම්ද, ලෙයින් නැහැවුණු කුරුස යුද්ධවලින් පැහැදිලි වන පරිදි නිහීන කුහකකමද සැලකිල්ලටගනු ලැබේ නම්, මයිමොනඩීස් විසින් යේසුස්වහන්සේ මෙසියස්ද නැද්ද පිළිබඳ ප්රශ්නය සොයා නොබැලීම පුදුමයට හේතුවක් නොවේ.—මතෙව් 7:21-23; 2 පේතෘස් 2:1, 2.
මයිමොනඩීස් මෙසේ ලියයි: “[ක්‍රිස්තියානි ධර්මය] තරම් වඩාත් විශාල බාධකයක් තිබිය හැකිද? අනාගතවක්තෲන් සියලුදෙනාම මෙසියස් ගැන කතා කළේ ඉශ්රායෙල්හි මිදුම්කරු හා එහි ගැළවුම්කරු ලෙසටය. . . . [ඊට වෙනස්ව, ක්‍රිස්තියානි ධර්මය] මගින් යුදෙව්වන් කඩුවෙන් ඝාතනය කිරීමටත්, ඔවුන් අතර බේරී ජීවත්වූවන් විසුරුවා හැර නින්දාවට පත් කිරීමටත්, ටෝරා වෙනස් කිරීමටත්, ඇරත් ලෝකයෙන් වැඩිහරියක් නොමඟ යවා ස්වාමීන්වහන්සේට වෙනස් දෙවිකෙනෙකුහට සේවය කිරීමටත්, සලසා ඇත.”—මිෂ්නා ටෝරා, “රජවරුන්ගේ නීති සහ ඔවුන්ගේ යුද්ධ,” 11 පරිච්ඡේදය.
එහෙත්, ඔහුට කෙතරම් ගෞරවයක් දැක්වුවත්, මයිමොනඩීස් වඩාත් ඍජුව කතා කළ ප්‍රශ්න ගැන ඔහුව නොසලකා හැරීමට බොහෝ යුදෙව්වරු කැමති වෙති. ගුප්ත යුදෙව්වාදයෙහි (කබාලා) බලපෑම වැඩිවීමත් සමඟ, යුදෙව්වරුන් අතර නක්ෂත්රය වඩාත් ජනප්‍රිය වෙමින් තිබුණි. මයිමොනඩීස් මෙසේ ලීවේය: “නක්ෂත්රයේ නිරත වන්නාවූද, නක්ෂත්රඥයන් විසින් නියම කරනු ලබන වේලාවන් මත තම වැඩ හෝ ගමන් බිමන් පදනම් කරගන්නාවූද යමෙක් වෙතොත්, ඔහු තලනු ලැබිය යුතුය . . . මෙවන් සියලු දේවල් බොරුකාර රැවටිලිකාර දේවල් වේ . . . මෙවන් දේවල් කෙරෙහි විශ්වාසය තබන ඕනෑම කෙනෙක් . . . අන්ත මෝඩයෙකි, හොඳ සිහිය නැත්තෙකි.”—මිෂ්නා ටෝරා, “පිළිම වන්දනාව පිළිබඳ නීති” 11 පරිච්ඡේදය; සසඳන්න ලෙවී කථාව 19:26; ද්විතීය කථාව 18:9-13.
මයිමොනඩීස් තවත් පිළිවෙතක්ද තියුණු විවේචනයට භාජන කළේය: “පුද්ගලයන්ගෙන් සහ ප්‍රජාවලින් මූල්‍යමය ඉල්ලීම් [රබ්බිවරුන්] තමුන්ටම නියම කොට, එය අනිවාර්යය, කළ යුතු යමක් බව අඥාන ලෙස සිතීමට ජනයාට හේතු කරවා තිබේ. . . . මේ සියල්ල වැරදිසහගතය. එය සනාථ කිරීමට ටෝරාහිවත්, [ටල්මුඩ්හි] ඍෂිවරුන්ගේ කියමන්වලවත් එක වචනයක්වත් නැත.” (කොමෙන්ට්‍රි ඔන් ද මිෂ්නා, ඇවට් 4:5) මෙම රබ්බිවරුන්ට වෙනස්ව, වෛද්‍යවරයෙකු ලෙස තමාව නඩත්තු කරගැනීමට මයිමොනඩීස් වෙහෙස මහන්සි වී වැඩ කළේය, හේ කිසිදාක ආගමික සේවාවන්වලට ගෙවීම් පිළිනොගත්තේය.—සසඳන්න 2 කොරින්ති 2:17; 1 තෙසලෝනික 2:9.
යුදෙව්වාදයට හා වෙනත් විශ්වාසයන්ට බලපෑවේ කෙසේද?
යෙරුසලමේ හෙබ්‍රෙව් විශ්වවිද්‍යාලයේ, මහාචාර්ය යෙෂයියහු ලියිබෝවිට්ස් මෙසේ කියා සිටියේය: “කුලදෙටුවන්ගේ හා අනාගතවක්තෲන්ගේ යුගයේ සිට වත්මන් යුගය දක්වා, යුදෙව්වාදී ඉතිහාසයේ වඩාත්ම බලගතු පුද්ගලයා මයිමොනඩීස්ය.” එන්සයික්ලොපීඩියා ජුඩෙයිකා මෙසේ අදහස පළකරයි: “යුදෙව්වාදයේ අනාගතික වර්ධනය මත මයිමොනඩීස්ගේ බලපෑම තක්සේරු කළ නොහැකි තරම්ය. . . . මයිමොනඩීස් සිටියේ නැත්නම්, යුදෙව්වාදය විවිධාකාර නිකායන් හා ඇදහිලි ක්‍රමවලට කැඩී බිඳෙන බව පැවසීමට තරම් . . . සී. චිර්නොවිට්ස් එඩිතර විය . . . විවිධාකාර වූ ප්‍රවාහ එක්සත් කිරීම වනාහි ඔහුගේ ශ්‍රේෂ්ඨ සාධනයක් වන්නේය.”
පිළිවෙළ හා තර්ක ශාස්ත්‍රය පිළිබඳ තම අදහස්වලට අනුව යුදෙව් චින්තනය යළි සංවිධානය කිරීමෙන්, මයිමොනඩීස් යුදෙව්වාදය යළි නිර්වචනය කළේය. විශාරදයෝ මෙන්ම පොදු ජනයෝ මෙම නව නිර්වචනය ප්‍රායෝගික සහ සිත්ඇදගන්නාසුලු යමක් සේ සැලකුවෝය. මයිමොනඩීස්ගේ එළඹීම අන්තිමේදී ඔහුට විරුද්ධවූවන් විසින්ද පිළිගන්නා ලදි. අනන්ත අප්‍රමාණ දිගින් යුතු ටීකාවන් මත රඳා පැවතීමෙන් යුදෙව්වන්ව නිදහස් කිරීම ඔහුගේ ලියවිලිවල අදහස වුවත්, ඔහුගේ කෘතීන් පිළිබඳව ඉතා දීර්ඝ ටීකාවන් වැඩි කලක් යන්ට මත්තෙන් ලියන ලදි.
එන්සයික්ලොපීඩියා ජුඩෙයිකා මෙසේ අදහස් දක්වයි: “මයිමොනඩීස් වනාහි . . . මධ්‍යකාලීන යුගවලදී වඩාත් කැපීපෙනෙන යුදෙව් දර්ශනවාදියා වූයේය, එමෙන්ම ඔහුගේ අන්දමන්ද වූවන් සඳහා මාර්ගෝපදේශය, යුදෙව්වෙකු විසින් නිර්මාණය කරන ලද වඩාත්ම වැදගත් දාර්ශනික කෘතිය වේ.” අන්දමන්ද වූවන් සඳහා මාර්ගෝපදේශය අරාබි බසින් ලියනු ලැබුවත්, මයිමොනඩීස්ගේ ජීවිත කාලය තුළ එය හෙබ්‍රෙව් බසට පරිවර්තනය කරනු ලැබූ අතර, ඉන් කෙටි කලකට පසුව ලතින් බසට පරිවර්තනය කරන ලදි, ඉන් මුළුමහත් යුරෝපය පුරා අධ්‍යයනය සඳහා එය ලබාගත හැකි කරවිය. ප්‍රතිඵලයක් වශයෙන්, යුදෙව් චින්තනය සමඟ ඇරිස්ටෝටල්ගේ දර්ශනය පිළිබඳ මයිමොනඩීස් කළ අද්විතීය සංශ්ලේෂණය, ක්‍රිස්තියානි ලෝකයේ චින්තන මූලප්රවාහයට ඉක්මනින්ම එකතු විය. ඇල්බර්ටස් මැග්නස් සහ ටොමස් අක්වයිනස් වැනි, එම කාලපරිච්ඡේදයේ විසූ ක්‍රිස්තියානි ලෝකයේ විශාරදයෝ, මයිමොනඩීස්ගේ අදහස්වලට නිරතුරුව යොමු දක්වති. ඉස්ලාම් ධර්මයේ විශාරදයෝද එහි බලපෑමට ලක්වූහ. බරූච් ස්පිනෝට්සා වැනි පසුකාලීන යුදෙව් දර්ශනවාදීන්හට, සාධර්මික යුදෙව්වාදයෙන් මුළුමනින්ම ඉවත්වීමටත් මයිමොනඩීස්ගේ දාර්ශනික එළඹීම ඉවහල් විය.
පුනරුදයට පෙර විසූ පුනරුදයේ මිනිසෙකු හැටියට මයිමොනඩීස්ව සැලකිය හැක. ඇදහීම සහ තර්කය අතර සංස්ථායිත්වයක් තිබිය යුතු බවට ඔහු විසින් බලකර ඉල්ලා සිටීම තවමත් වලංගු ප්රතිපත්තියකි. ආගමික මිථ්‍යා විශ්වාසයන්ට විරුද්ධව බලගතු ලෙස කතා කිරීමට මෙම ප්‍රතිපත්තිය ඉවහල් විය. එහෙත්, බයිබල් සත්‍යතාවට මුළුමනින්ම එකඟ නිගමනවලට එළඹීම සඳහා ඔහුව බොහෝ දුරට වළක්වන ලද්දේ ක්‍රිස්තියානි ලෝකයේ නරක ආදර්ශය සහ ඇරිස්ටෝටල්ගේ දාර්ශනික බලපෑමය. “මෝසෙස් සිට මෝසෙස් දක්වා, මෝසෙස් මෙන් කෙනෙක් නොසිටියේය” යන මයිමොනඩීස්ගේ සොහොන් ගෙය මත තිබෙන අදහසත් සමඟ සෑම කෙනෙකු එකඟ නොවුවත්, ඔහු යුදෙව්වාදයේ දිශාව හා ව්‍යූහය යළි නිර්වචනය කළ බව පිළිගත යුත්තකි.
[පාදසටහන්වල]
a “රාම්බාම්” වනාහි හෙබ්‍රෙව් කෙටි නාමයකි, “රබ්බි මෝසෙස් බෙන් මයිමෝන්” යන වදන්වල මුල් අකුරුවලින් නිර්මිත නාමයකි.
b මිෂ්නා වනාහි, යුදෙව්වන් වාචික ව්‍යවස්ථාව වශයෙන් සලකන දේ මත පදනම් වූ රබ්බිවරුන්ගේ අදහස් ප්‍රකාශයන්වල එකතුවක් වේ. එය පො.යු. දෙවන සියවසේ අග භාගයේදී හා තුන්වන සියවසේ මුල් භාගයේදී ලේඛනගත කරන ලද අතර, ඉන් ටල්මුඩ්හි ආරම්භය සකස්විණි. වැඩිමනත් තොරතුරු සඳහා, වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් නිව් යෝර්ක්, ඉන්ක්., මගින් ප්‍රකාශිත විල් දෙයාර් එවර් බී ඒ වර්ල්ඩ් විතෞට් වෝර්? යන විවරණිකාවේ, 10 පිටුව බලන්න.
c මිෂ්නා ටෝරා යන නාමය වනාහි, ද්විතීය කථාව 17:18න් උකහාගෙන තිබෙන හෙබ්‍රෙව් යෙදුමකි, එහි අර්ථය නම්, ව්‍යවස්ථාවේ පිටපතක්, නොහොත් පුනරුක්තියක් යන්නය.
d පොරොන්දු වූ මෙසියස් යේසුස්වහන්සේ බවට සාක්ෂි පිළිබඳ වැඩිමනත් තොරතුරු සඳහා, වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් නිව් යෝර්ක්, ඉන්ක්., මගින් ප්‍රකාශිත විල් දෙයාර් එවර් බී ඒ වර්ල්ඩ් විතෞට් වෝර්?, පිටු 24-30 බලන්න.
[21වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Jewish Division / The New York Public Library / Astor, Lenox, and Tilden Foundations