රබ්බි ලෙස හඳුන්වනු ලැබීමට වටින්නේ කවුද?
අකරතැබ්බක් සිදු වේවියයි අපේක්ෂා නොකළ සංචාරකයෙකුට, නියමිත වේලාවට ගුවන්තොටුපොළ කරා යෑමට නොහැකි වීමට ඉඩ ඇත. යෙරුසලම් මාර්ගවල පිරී සිටි ශෝකවන්නන් 3,00,000කට වඩා වැඩි සංඛ්‍යාවක් ආරක්ෂා කරන අතරම, රථ වාහන ගමනාගමනයට මඟ පෙන්වීමටද පොලිස් භටයන් සියගණනක් උත්සාහ කළෝය. ද ජෙරුසලම් පෝස්ට් නම් පුවත්පත එය හැඳින්වූයේ, “ජනාධිපතිවරුන්, රජවරුන් හෝ ඒකාධිපති ආඥාදායකයන් සඳහා පමණක් සාමාන්‍යයෙන් වෙන් කරන ලද, ප්‍රමාණයෙන් විශාල අවමඟුල් පෙරහැරක්” වශයෙනි. ඉශ්රායෙල් නගරයේ ක්‍රියාකාරකම් පැය ගණනාවකට ඇණහිටුවමින්, එවන් භක්තියක් පුද කිරීමට සැලැස්වූයේ කවරෙකු විය හැකිද? ගරු සැලකිලි ලැබූ රබ්බිවරයෙකි. යුදෙව්වන් අතර රබ්බිවරයෙකුගේ තත්වයකට එවන් ගෞරවයක් හා භක්තියක් ඉල්ලා සිටින්නේ මන්ද? “රබ්බි” යන යෙදුම පළමුවෙන්ම භාවිත කරනු ලැබුවේ කවදාද? එය නිවැරදි ලෙස අදාළ වන්නේ කවරෙකුටද?
මෝසෙස් රබ්බිවරයෙක් වීද?
ඉශ්රායෙල් ව්‍යවස්ථා ගිවිසුමේ මැදහත්කරු වන මෝසෙස්, යුදෙව් ධර්මයේ වඩාත් ගෞරව කරනු ලැබූ පුද්ගලයා වේ. ආගමික යුදෙව්වන් ඔහුව හඳුන්වන්නේ, “ ‘අපගේ රබ්බි’ වන මෝසෙස්” වශයෙනි. කෙසේවෙතත්, බයිබලයෙහි කොතැනකවත් මෝසෙස්ව “රබ්බි” යන පදවි නාමයෙන් යොමු දක්වා නැත. ඇත්තවශයෙන්ම, “රබ්බි” යන යෙදුම හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලිවල කොතැනකවත් දක්නට නොලැබේ. එසේනම්, යුදෙව්වන් මෝසෙස්ව මෙයාකාරයෙන් යොමු දැක්වීමට පටන්ගත්තේ කෙසේද?
හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලිවලට අනුව, ව්‍යවස්ථාව ඉගැන්වීමට හා පැහැදිලි කිරීමට ඇති වගකීම හා අධිකාරය දෙනු ලැබුවේ, ලෙවීවරුන්ගේ ගෝත්‍රයේ පූජකයන් වන ආරොන්ගෙන් පැවතෙන්නන්ටය. (ලෙවී කථාව 10:8-11; ද්විතීය කථාව 24:8; මලාකී 2:7) කෙසේවෙතත්, පො.යු.පෙ. දෙවන ශතවර්ෂයේදී, යුදෙව් ධර්මය තුළ මූලික වෙනස්කම් අප්රසිද්ධියේ සිදුවීමට පටන්ගත්තේ යුදෙව් චින්තනයට එදා පටන් අමතක කළ නොහැකි බලපෑම් සිදු කරමිනි.
මෙම ආත්මික රූපාන්තරණය සම්බන්ධයෙන්, ඩැනියෙල් ජෙරමි සිල්වර් ඒ හිස්ටරි ඔෆ් ජුඩෙයිසම්හි මෙසේ ලියයි: “[ඒ] කාලය තුළදී, පූජකයන් නොවූ ලියන්නන් හා විශාරදයන් පංතියක්, ටෝරාහි [මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ] අර්ථකථනයේ පූජක ඒකාධිකාරය පිළිබඳ නීත්‍යනුකූලභාවය අභියෝගයට ලක් කිරීමට පටන්ගත්හ. දේවස්ථාන නිලධාරීන් වශයෙන් කටයුතු කිරීම සඳහා පූජකයන් අවශ්‍ය වූ බවට සියලුදෙනාම එකඟ වූ නමුත්, ටෝරා සම්බන්ධ කාරණාවලදී ඔවුන්ට අවසාන අධිකාරය තිබිය යුත්තේ මන්ද?” පූජක පංතියේ අධිකාරයට අභියෝග කිරීමට පොලඹවන්නෝ කවරහුද? ඔවුහු වනාහි, යුදෙව් ධර්මයට අයත් ඵරිසිවරුන් නමින් හැඳින්වූ නව කණ්ඩායමක් වූහ. සිල්වර් තවදුරටත් මෙසේ පවසයි: “ඵරිසිවරුන් තම ශාස්ත්රාලවලට ඇතුල්වීම් පදනම් කළේ, සුදුසුකම් මත මිස, උත්පත්තිය [පූජකයන්ගෙන් පැවතෙන්නන්] මත නොවන අතර, ඔවුහු ආගමික පාලනය තුළට නව යුදෙව් පංතියක්ද ගෙනාවෝය.”
පොදු යුගයේ පළමුවන ශතවර්ෂය වන විට, ඵරිසිවරුන්ගේ මෙම ශාස්ත්‍රාලවල උපාධි ලැබූ අයව, යුදෙව් ව්‍යවස්ථාවේ ගුරුවරු නැතහොත් ශික්ෂකයෝ වශයෙන් හඳුන්වනු ලැබූහ. වෙනත් යුදෙව්වරු ඔවුන්ට ගෞරවයක් වශයෙන්, “මගේ ගුරුවරයා” නැතහොත් “මගේ ශික්ෂකයා,” හෙබ්‍රෙව් භාෂාවෙන් රබ්බි වශයෙන් ඔවුන්ට යොමු දැක්වීමට ආරම්භ කළෝය.
යුදෙව් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ගුරුවරයා ලෙස සලකනු ලැබූ මෝසෙස්ට මෙම පදවි නාමය අදාළ නොකර, මෙයට වෙනත් කිසිදු ආකාරයකින් අධිබලයක් දිය නොහැක. එම බලපෑම, පූජක තන්ත්රය මත දෙන අවධාරණය තවදුරටත් අඩු කරනු ඇති අතර, වැඩි බලපුළුවන්කාරකමක් ඇති ඵරිසිවරුන්ගේ පාලන සංකල්පයට රුකුල් දෙනු ඇත. මෙලෙස, මෝසෙස්ගේ මරණයෙන් අවුරුදු 1,500කට පසු, ඔහුව “රබ්බි” යන පදවියට පත් කරනු ලැබුවේය.
ශික්ෂකයාව අනුගමනය කිරීම
තමන් ගෞරවය පිරිනැමූ වෙනත් ගුරුවරුන්ට යොමු දැක්වීමේදී “රබ්බි” (“මගේ ශික්ෂකයා”) යන ප්‍රකාශය සමහර අවස්ථාවලදී භාවිත කළත්, එම යෙදුම සාමාන්‍යයෙන් අදාළ කරනු ලැබුවේ ඵරිසිවරුන් අතර සිටි ප්‍රසිද්ධ ගුරුවරුන්ටය, එනම් “පඬිවරුන්ටය”. පොදු යුගයේ 70හි දේවමාළිගාවේ විනාශයේ ප්‍රතිඵලයක් වශයෙන්, පූජක තන්ත්රයේ අධිකාරය අවසන් වූ අතර, ඵරිසිවරුන්ගේ රබ්බිවරු යුදෙව් ධර්මයේ නිතරඟයෙන් පත් නායකයෝ බවට පත් වූහ. ඔවුන්ගේ සම කළ නොහැකි තනතුර, යුදෙව් ආගමික පඬිවරුන් වටා කේන්ද්‍රගත වූ ඇදහිල්ලක් වර්ධනය වීමට දිරි දුන්නේය.
පොදු යුගයේ පළමුවන ශතවර්ෂයේ මෙම අස්ථිර කාලපරිච්ඡේදය පිළිබඳව සාකච්ඡා කරමින්, මහාචාර්ය ඩෝව් ස්ලෝට්නික් මෙසේ අදහස් ප්‍රකාශ කරයි: “ටෝරා අධ්‍යයනය කිරීමට වඩා, ‘පඬිවරුන්ට උපස්ථාන කිරීම’ වැදගත් වූයේය.” යුදෙව් විශාරද ජේකබ් නෝයිස්නර් තවදුරටත් මෙසේ පැහැදිලි කරයි: “ ‘පඬිවරුන්ගේ ශ්රාවකයා’ වනාහි, තමාවම රබ්බිවරයෙකුට සම්බන්ධ කර සිටින ශිෂ්‍යයෙකු වේ. ඔහුට ‘ටෝරා’ . . . ඉගෙනගැනීමට අවශ්‍ය බැවින් ඔහු එසේ කරයි. ටෝරා ඉගෙනගනු ලබන්නේ ව්‍යවස්ථාව මගින් නොව, නමුත් ජීවත්ව සිටින පඬිවරුන්ගේ හැසිරීමේ හා ක්‍රියාවල අන්තර්ගත වී තිබෙන ව්‍යවස්ථාව වටහාගැනීම තුළිනි. කියන දේ මගින් පමණක් නොව, නමුත් ඔවුන් කරන දේ මගින්ද ඔවුහු ව්‍යවස්ථාව උගන්වති.”
තල්මුඩය පිළිබඳ විශාරද අහ්ඩින් ස්ටයින්සාල්ට්ස් මෙය තහවුරු කරමින් මෙසේ ලියයි: “ ‘පඬිවරුන්ගේ සාමාන්‍ය සාකච්ඡාවන්, කවටකම් කිරීම් හෝ අනියම් ප්‍රකාශ අධ්‍යයනය කළ යුතු බව,’ පඬිවරුම පැවසූහ.” මෙය කොතරම් දුරට අදාළ කළ හැකිද? ස්ටයින්සාල්ට්ස් මෙසේ පවසයි: “මේ සම්බන්ධයෙන් සීමාව ඉක්මවා ගිය නිදසුනක් වන්නේ, තම ශ්‍රේෂ්ඨ ගුරුවරයා සිය බිරිඳ සමඟ හැසිරෙන ආකාරය අනාවරණය කරගැනීම සඳහා ඔහුගේ ඇඳ යට සැඟවී සිටි බවට වාර්තා කර තිබෙන ශ්‍රාවකයාය. ඔහුගේ කුතුහලය සම්බන්ධයෙන් ප්‍රශ්න කරනු ලැබූ විට, යෞවන ශ්රාවකයා මෙසේ උත්තර දුන්නේය: ‘එය ටෝරා සම්බන්ධ කාරණයක් වන අතර, එය අධ්‍යයනය කිරීමට වටින දෙයක් වේ,’ මෙය රබ්බිවරුන් හා ශිෂ්‍යයන් අතර වලංගු එළඹීමක් ලෙස පිළිගෙන තිබෙන දෙයකි.”
රබ්බිවරුන් මාර්ගයෙන් ටෝරා ඉගෙනගැනීම තුළින්, ටෝරා වෙනුවට අවධාරණය කර ඇත්තේ රබ්බිවරුන්ව නිසා, පො.යු. පළමුවන ශතවර්ෂයේ පටන්, යුදෙව් ධර්මය රබ්බිවරුන්ට නැඹුරු වූ ආගමක් බවට පත් වී තිබේ. කෙනෙකු දෙවියන්වහන්සේට සමීප වූයේ, දේවානුභාවය ලත් ලිඛිත වචනය මාර්ගයෙන් නොව, නමුත් පෞද්ගලික ආදර්ශක මෙන්ම උපදේශක වන රබ්බිවරයෙකු මාර්ගයෙනි. මෙලෙස, තර්කානුකූලව, දේවානුභාවය ලත් ශුද්ධ ලියවිල්ලේ සිට, මෙම රබ්බිවරුන් විසින් උගන්වනු ලබන වාචික ව්‍යවස්ථාව හා සම්ප්‍රදායන් වෙතට අවධාරණය යොමු කරනු ලැබීය. එතැන් පටන්, තල්මුඩය වැනි යුදෙව් පොත් පත්, දෙවියන්වහන්සේගේ ප්‍රකාශ වෙනුවට, රබ්බිවරුන්ගේ සාකච්ඡා, කතන්දර හා හැසිරීම මත වඩා වැඩියෙන් කේන්ද්‍රගත වී ඇත.
යුග ගණනාවක් පුරා රබ්බිවරුන්ගේ භූමිකාව
පුදුම එළවන අධිකාරයක් හා බලපැවැත්මක් ගෙන ගියත්, මුල් කාලයේ සිටි රබ්බිවරුන් තම ආගමික කටයුතු තුළින් තම ජීවන වියදම උපයා ගත්තේ නැත. එන්සයික්ලොපීඩියා ජුඩෙයිකා මෙසේ සඳහන් කරයි: “තල්මුඩය පිළිබඳ රබ්බිවරයෙකු . . . එවැනි පදවියක් හොබවන නවීන-දින කෙනෙකුට වඩා මුළුමනින්ම වෙනස් වූයේය. බයිබලය හා වාචික ව්‍යවස්ථාව අර්ථකථනය කළ හා විස්තර කළ තල්මුඩය පිළිබඳ රබ්බිවරයා, තම ජීවන වියදම උපයාගැනීම සඳහා සෑම අවස්ථාවකම පාහේ රැකියාවක නිරත විය. රබ්බිවරයෙකු . . . යුදෙව් ආගමික සභාවේ හෝ ප්‍රජාවේ ගුරුවරයෙකු, දේශනාකරන්නෙකු හා ආත්මික හිස බවට පත් වූයේ මධ්‍යම කාලීන යුගවලදී පමණයි.”
රබ්බිවරුන් තම තනතුර වැටුපක් ලබන රැකියාවක් බවට පරිවර්තනය කළ විට, සමහරු එයට එරෙහිව කතා කළෝය. වෛද්‍යවරයෙකු ලෙස සේවය කරමින් තම ජීවන වියදම උපයාගත්, 12වන ශතවර්ෂයේ විසූ මයිමොන්ඩීස් නම් සුප්‍රකට රබ්බිවරයා එවැනි රබ්බිවරුන්ට එරෙහි වූයේය. “ටෝරා අධ්‍යයනය කරන පඬිවරුන්ට, විශාරදයන්ට හා ජනයාට [මූල්‍යමය වශයෙන්] උපකාර කිරීමට බැඳී සිටින බව හා එය සුදුසු බව අනුවණ ලෙස සිතීමට පුද්ගලයන්ට, ප්‍රජාවලට හා ජනයාට සලස්වමින්, [ඔවුහු] තමන් සඳහා මූල්‍යමය ඉල්ලීම් පිහිටුවාගෙන ඇත්තාහ, මෙබැවින් ඔවුන්ගේ ටෝරා ඔවුන්ගේ වෘත්තිය වේ. එහෙත් මේ සියල්ල වැරදිය. එය සනාථ කිරීමට ටෝරාහිවත්, පඬිවරුන්ගේ කියමන්වලවත් එක වචනයක්වත් නැත.” (කොමෙන්ට්‍රි ඔන් ද මිෂ්නා, ඇවට් 4:5) එහෙත් රබ්බිවරුන්ගේ අනාගත පරම්පරාවන්හි මයිමොන්ඩීස්ගේ හෙළාදැකීම නොසලකා හරින ලදි.
යුදෙව් ධර්මය නවීන යුගයට පා තබනවාත් සමඟම, එය ප්‍රතිසංස්කරණ, මධ්‍යස්ථ සහ ඔර්තඩොක්ස් විශ්වාසවලට වෙන් විය. යුදෙව්වන් බොහෝදෙනෙක් වෙනත් කාරණා මුල් තැනට තැබූ අතර, ආගමික විශ්වාසය හා පිළිවෙත් දෙවන ස්ථානයට තැබුවෝය. මෙයට ප්‍රතිඵලයක් වශයෙන්, රබ්බිවරයාගේ තනතුර බාල කරනු ලැබීය. රබ්බිවරයෙක් මූලික වශයෙන්, සභාවේ පත් කරන ලද හිස බවට පත් වූ අතර, තම කණ්ඩායමේ සාමාජිකයන් වෙනුවෙන්, ගෙවන ලද වෘත්තිමය ගුරුවරයෙකු හා උපදේශකවරයෙකු ලෙස කටයුතු කළේය. කෙසේවෙතත්, අතිසාධර්මික හාසිඩික් කණ්ඩායම් අතරේ, රබ්බිවරයා උපදේශක සහ ආදර්ශක බවට වූ සංකල්පය තවදුරටත් තිබුණේය.
හාසිඩික් චැබැඩ්-ලුබවිච් ව්‍යාපාරය සම්බන්ධයෙන් සිය පොතෙහි, එඩ්වඩ් හෝෆ්මන් දැක්වූ අදහස් සැලකිල්ලට ගන්න: “සෑම පරම්පරාවකම, එනම්, සේඩික් [ධර්මිෂ්ඨයෙකු] මෙන්ම තම කාලයේ සිටින ‘මෝසෙස්’ වන යුදෙව් ආගමික නායකයෙකු සිටී, ඔහුගේ දැනුම් සම්භාරය හා වෙනත් අය කෙරෙහි දක්වන භක්තිය සම කළ නොහැකි බවද මුල් කාලයේ හාසිඩ්වරු අවධාරණය කළෝය. ඔහුගේ ගරුබිය දනවන ශ්රද්ධාවන්තකම මගින්, ඔවුන්ගේ රෙබර්ට [‘රබ්බිවරුන්’ සඳහා යිඩිෂ් භාෂාවෙන්] සර්ව බලධාරි දෙවියන්වහන්සේගේ නියෝග පවා බලපෑමට ලක් කළ හැකි බව හාසිඩ්වරුන්ගේ සෑම කණ්ඩායමකටම හැඟුණේය. බොහෝ දේ හෙළිදරව් කරන ඔහුගේ අනුශාසනා තුළින් ඔහුව ඉතා ගරු කොට සලකනු ලැබුවා පමණක් නොව, නමුත් ඔහු ජීවත් වූ ආකාරය ප්‍රකාශ කර තිබුණු ආකාරයට (‘ඔහු සිය සපත්තු පටිය ගැට ගැසූ ආකාරය’) මනුෂ්‍යත්වය උසස් කිරීමටත්, දේවත්වය කරා යොමු වන මාර්ගයට සූක්ෂ්ම ඇඟවීම් ඉදිරිපත් කිරීමටත් දායක විය.
“නුඹලා රබ්බියි කියවා නොගනිල්ලා”
ක්‍රිස්තියානි ධර්මය ස්ථාපිත කළ පළමුවන ශතවර්ෂ යුදෙව්වරයෙකු වූ යේසුස්වහන්සේ, රබ්බිවරුන්ගේ ඵරිසිමය සංකල්පය යුදෙව් ධර්මය අභිභවා යෑමට ආරම්භ වූ කාලයෙහි ජීවත් වූසේක. උන්වහන්සේ ඵරිසිවරයෙකු නොවූ අතර, ඔවුන්ගේ ශාස්ත්රාලවලින්ද පුහුණුව නොලැබූ නමුත්, උන්වහන්සේව පවා රබ්බි යනුවෙන් හඳුන්වනු ලැබීය.—මාර්ක් 9:5; යොහන් 1:38; 3:2.
යුදෙව් ධර්මය තුළ රබ්බිවරුන්ගේ ප්රවණතාවට ප්‍රසිද්ධියේ චෝදනා කරමින්, යේසුස්වහන්සේ මෙසේ පැවසූසේක: “ලියන්නෝද ඵරිසිවරුද මෝසෙස්ගේ ආසනයෙහි හිඳිති. මංගල්‍යවලදී ප්‍රධාන ස්ථානයටද සිනගෝගවලදී ප්‍රධාන ආසනවලටද, වෙළදාම්පළවලදී ආචාර ලැබීමටද මනුෂ්‍යයන් විසින් රබ්බියි කියනු ලැබීමටද කැමතිවෙති. නුමුත් නුඹලා රබ්බියි කියවා නොගනිල්ලා. මක්නිසාද නුඹලාගේ ආචාරීන්වහන්සේ එක්කෙනෙක්මය, නුඹලා සියල්ලෝම සහෝදරයෝය.”—මතෙව් 23:2, 6-8.
යුදෙව් ධර්මය තුළ වර්ධනය වෙමින් තිබූ ගිහි පැවිදි වෙනසට විරුද්ධව යේසුස්වහන්සේ අනතුරු ඇඟවූසේක. මනුෂ්‍යයන්ට එවැනි නුවුවමනා ප්රමුඛත්වයක් දීම සම්බන්ධයෙන් උන්වහන්සේ ප්‍රසිද්ධියේ චෝදනා කළසේක. “නුඹලාගේ ආචාරීන්වහන්සේ එක්කෙනෙක්මය,” යනුවෙන් උන්වහන්සේ නිර්භීතව ප්‍රකාශ කළසේක. මෙම තැනැත්තා කවරෙකු වීද?
“ස්වාමීන්වහන්සේ මුහුණට මුහුණලා ඇඳින්නාවූ” හා පඬිවරුන් විසින්ම “අපගේ රබ්බි” ලෙස හඳුන්වනු ලැබූ මෝසෙස්, අසම්පූර්ණ මනුෂ්‍යයෙක් වූයේය. ඔහු පවා වැරදි කළේය. (ද්විතීය කථාව 32:48-51; 34:12; දේශනාකාරයා 7:20) මෝසෙස්ව පරමාදර්ශය ලෙස ඉස්මතු කොට දක්වනවා වෙනුවට, යෙහෝවඃවහන්සේ ඔහුට මෙසේ පැවසූසේක: “මම ඔවුන්ගේ සහෝදරයන්ගෙන් නුඹ සමාන අනාගතවක්තෘ කෙනෙකු ඔවුන්ට නැගුටුවා දී මාගේ වචන ඔහුගේ මුඛයෙහි තබන්නෙමි, මා ඔහුට අණකරන සියල්ල ඔහු ඔවුන්ට කියන්නේය. මාගේ නාමයෙන් ඔහු කථාකරන මාගේ වචනවලට ඇහුම්කන් නොදෙන කිසිවෙක් ඇද්ද මම ඔහුගෙන් පළිගන්නෙමි.”—ද්විතීය කථාව 18:18, 19.
මෙසියස් වන යේසුස්වහන්සේ තුළින් මෙම වදන් ඉටුවනු ඇති බවට බයිබල් අනාවැකි ඔප්පු කරයි.a යේසුස්වහන්සේ මෝසෙස් “මෙන්” වූවා පමණක් නොවේ; උන්වහන්සේ මෝසෙස්ට වඩා ශ්‍රේෂ්ඨ වූසේක. (හෙබ්‍රෙව් 3:1-3) යේසුස්වහන්සේ පරිපූර්ණ මිනිසෙකු ලෙස උපත ලැබූ බවත්, උන්වහන්සේ මෝසෙස් මෙන් නොව, නමුත් “පව් කිරීමක් නැතුව” දෙවියන්වහන්සේට සේවය කළ බවත් ශුද්ධ ලියවිල්ල හෙළි කරයි.—හෙබ්‍රෙව් 4:15.
ආදර්ශකයාණන්ව අනුගමනය කරන්න
රබ්බිවරයෙකුගේ සෑම ක්‍රියාවක් හා වචනයක්ම ගැඹුරු ලෙස අධ්‍යයනය කිරීමෙන්, යුදෙව්වන්ව දෙවියන්වහන්සේට සමීප කර නැත. අසම්පූර්ණ මනුෂ්‍යයෙකු ඇදහිලිවන්තකමේ ආදර්ශයක් විය හැකි අතර, අප ඔහුගේ සෑම ක්‍රියාවක්ම අධ්‍යයනය කර අනුකරණය කළහොත්, අප ඔහුගේ හොඳ ගුණාංග මෙන්ම වැරදි හා අසම්පූර්ණකම්ද අනුකරණය කරනු ඇත. අප මැවුම්කරුවාණන් වෙනුවට, මවන ලද තැනැත්තාට නුවුවමනා ගෞරවය පිරිනමනවා ඇත.—රෝම 1:25.
එහෙත් යෙහෝවඃවහන්සේ මනුෂ්‍යවර්ගයාට ආදර්ශකයෙකු සැපයූසේක. ශුද්ධ ලියවිල්ලට අනුව, යේසුස්වහන්සේට මනුෂ්‍යත්වයට පෙර පැවැත්මක් තිබුණේය. ඇත්තවශයෙන්ම, උන්වහන්සේව, “අදෘශ්‍යමාන දෙවියන්වහන්සේගේ ස්වරූපයය, මුළු මැවිල්ලේ කුළුඳුලාණෝ” වශයෙන් හඳුන්වා තිබේ. (කොලොස්සි 1:15) දෙවියන්වහන්සේගේ “ප්‍රධාන කර්මාන්තකාරයා” වශයෙන් ස්වර්ගයේ අනාදිමත් සහස්ර වර්ෂ ගණනාවක් සේවය කිරීමෙන් පසු, යෙහෝවඃවහන්සේව හඳුනාගැනීම සඳහා අපට උපකාර කිරීමට යේසුස්වහන්සේ හොඳම තත්වයේ සිටිනසේක.—හිතෝපදේශ 8:22-30; යොහන් 14:9, 10.
එමනිසා පේතෘස්ට මෙසේ ලිවීමට හැකි විය: “ක්‍රිස්තුස්වහන්සේ නුඹලා නිසා වධවිඳ, නුඹලා උන්වහන්සේගේ අඩි පාරේ යන පිණිස නුඹලාට ආදර්ශයක් දී ගියසේක.” (1 පේතෘස් 2:21) “[අපගේ, NW] ඇදහිල්ලේ කර්තෘවරයාද සම්පූර්ණකරන්නාදවූ යේසුස්වහන්සේ දෙසම බලමින්” සිටීමට ප්‍රේරිත පාවුල් ක්‍රිස්තියානීන්ට දිරිගැන්වූයේය. “ඒ තැනන්වහන්සේ තුළ ප්‍රඥාවෙත් දැනගැන්මෙත් සියලු වස්තු නිධානකර [ඇති]” බවටද ඔහු පැහැදිලි කළේය. (හෙබ්‍රෙව් 12:1ආ, 2; කොලොස්සි 2:3) වෙනත් කිසිදු මිනිසෙකු—මෝසෙස්වත්, වෙනත් කිසිදු රබ්බිවරුන්ගේ පඬිවරයෙකුවත් එවැනි අවධානයක් ලැබීමට නොවටී. යම් කෙනෙකුව සමීපව අනුකරණය කළ යුතු වන්නේ නම්, ඒ යේසුස්වහන්සේවය. එහි නවීන-දින අර්ථය සම්බන්ධයෙන් විශේෂයෙන්ම ගත් කල, දෙවියන්වහන්සේගේ සේවකයන්ට රබ්බි වැනි පදවි නාමයක් සඳහා අවශ්‍යතාවක් නොමැති නමුත්, රබ්බියයි හඳුන්වනු ලැබීමට යම් කෙනෙකු සුදුසු වන්නේ නම්, ඒ යේසුස්වහන්සේමය.
[පාදසටහන]
a යේසුස්වහන්සේ පොරොන්දු වූ මෙසියස් බවට සාක්ෂි ලබාගැනීම පිණිස වැඩි තොරතුරු සඳහා, වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් නිව් යෝර්ක් ඉන්ක්., මගින් ප්‍රකාශිත, විල් දෙයා එවර් බී ඒ වර්ල්ඩ් විතෞට් වෝර්? නමැති විවරණිකාවේ 24-30 පිටු බලන්න.
[28වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
© Brian Hendler 1995. සියලුම හිමිකම් ඇවිරිණ