යෙහෝවාට ගෞරවය ගෙනෙන විවාහ මංගල්‍යයන්
ක්‍රිස්තියානි විවාහ මංගල්‍යයන් පිළිබඳ පහත දැක්වෙන ලිපිය ඉතියෝපියාවේදී මුලින්ම සකස් කළේ අම්හාරික් භාෂාව කතා කරන, මෑතකදී යෙහෝවාගේ සාක්ෂිකරුවන් බවට පත් වී සිටින හුඟදෙනෙකුට උපකාරවත් මඟ පෙන්වීමක් සැපයීම සඳහායි. ඔබ ජීවත් වෙන ප්‍රදේශයට වඩා වෙනස් වූ, ප්‍රාදේශීය සිරිත් විරිත් හා ව්‍යවහාරයන් සමහරක් ගැන එහි සාකච්ඡා කරනවා. එම වෙනස සෑහෙන සිත්ගන්නා එකක් බව ඔබට පෙනී යන්න ඉඩ තිබෙනවා. ඒ අතරම, ඔබේ ප්‍රදේශයේ විවාහ මංගල්‍ය සිරිත් විරිත් වෙනස් වුවත්, ඔබට අදාළ කරගත හැකියයි සිතන සමබර බයිබල් අවවාද ලිපියෙහි ඉදිරිපත් කරනවා.
වර්ෂ 1984 අප්‍රියෙල් 15, ද වොච්ටව’හි කදිම පාඩම් ලිපියක තේමාව වුණේ “ප්‍රීතිය ගෙනෙන ක්‍රිස්තියානි විවාහ මංගල්‍යයන්” යන්නයි. ඒ කලාපයේම ඊළඟ ලිපියේ තේමාව වුණේ “විවාහ උත්සවවලදී සමබර ප්‍රීතියක් ලබාගන්න” යන්නයි. (විවාහ වෙන්න කල්පනා කරන ඕනෑම කෙනෙකුට, ඔබගේ පවුල් ජීවිතය සන්තෝෂවත් කරගැනීම පොතේ 2වන පරිච්ඡේදයේ හා ඔබේ යෞවනය—ඉන් උපරිමය නෙළාගන්න (ඉංග්‍රීසි) පොතේ 19වන හා 20වන පරිච්ඡේදවල අමතර නැණවත් අවවාද තියෙනවා.)a එම ලිපි පළ වූවායින් පසුව බොහෝදෙනෙක් යෙහෝවාගේ සාක්ෂිකරුවන් බවට පත් වෙලා තියෙන නිසා, මේ ලිපිවලින් සමහර තොරතුරු සමාලෝචනය කරන්න අපි කැමතියි. මේවා, අපේ ප්‍රදේශයට විශේෂයෙන්ම අදාළ වෙන මෙන්ම විවාහයේ මූලාරම්භකයා වන යෙහෝවාට ගෞරවය ගෙනෙන විවාහ මංගල්‍යයන් පවත්වන්න අපට උපකාර වන වෙනත් යෝග්‍ය කරුණුයි.
විවාහ මංගල්‍යයක් පැවැත්විය යුත්තේ කවදාද යන ප්රශ්නය මුලින්ම සලකා බැලිය හැකියි. සම්ප්‍රදායික ප්‍රාදේශීය විවාහ මංගල්‍ය සමයේ දිනවලින් මේ දිනය පාලනය විය යුතුද? අවුරුද්දේ වෙනත් ඕනෑම අවස්ථාවක සිදු කෙරෙන ඕනෑම විවාහයක් සාර්ථක නොවන බවයි ප්‍රාදේශීය විශ්වාසය. සතුටෙන් මෙන්ම එකමුතුව යෙහෝවාට සේවය කරන බොහෝ විවාහක යුවළයන් සම්ප්‍රදායික සමයේදී විවාහ වුණේ නැති නිසා මෙය පදනම් විරහිත මිථ්‍යා විශ්වාසයක්. අපි වාසනාව හෝ අවාසනාව විශ්වාස කරන්නේ නෑ. (යෙසායා 65:11; කොලොස්සි 2:8) අපි නොඇදහිලිකාර නෑදෑයන්ගේ මිථ්‍යා විශ්වාසවලට අනුව විවාහ මංගල්‍ය දිනයක් යොදාගන්නවා නම්, සත්‍ය හා අසත්‍යභාවය අතර වෙනස දකින්න අපි ඔවුන්ට උපකාර කරන්නෙ නැති වේවි. සැබෑව නම්, ක්‍රිස්තියානීන්ට ඕනෑම මාසයක විවාහ වෙන්න පුළුවන් කියන එකයි.
නීත්‍යනුකූල පිළිවෙත් සිදු කළ පසුව විවාහ මංගල්‍ය කතාවක් දීමට පිළියෙළ කරන කොට, මේ අවස්ථා දෙක අතර දින ගණනාවක කාලපරිච්ඡේදයක් නොතැබීම නුවණට හුරුයි. රාජ්‍ය ශාලාවේ විවාහ මංගල්‍ය කතාවක් පවත්වනවාට යුවළ කැමති නම්, ශාලාව පාවිච්චි කරන්න අවසර ඉල්ලීම සඳහා ඔවුන් කල්තියාම සභා වැඩිමහල්ලන්ව මුණගැසිය යුතුයි. උත්සවය සඳහා කටයුතු පිළියෙළ කරද්දී, ප්‍රාදේශීය වැඩිමහල්ලන් තමන් තුළ පිරිසිදු හෘද සාක්ෂියක් තබාගන්න පුළුවන් වෙන බවට ස්ථිර කරගනියි. සභාවේ කිසිම වැඩකටයුත්තක් හා නොගැටෙන පරිදි කාලය සකස් කරගත යුතුයි. උපදෙස් දෙන්නත්, විවාහයට සදාචාර හෝ නීත්‍යනුකූල බාධාවන් නොතිබෙන බවට සහතික වෙන්නත්, ඉන්පසුව සිදු වෙන යම් සමාජ සාදයක් සඳහා ඇති සැලසුම්වලට එකඟ විය හැකිදැයි බලන්නත්, විවාහ කතාව දෙන්න තෝරගෙන සිටින සහෝදරයා විවාහ අපේක්ෂිත මණාලයාව හා මණාලියව මුණගැසේවි. විවාහ මංගල්‍ය කතාව පැය භාගයක පමණ කාලපරිච්ඡේදයක් තුළ, ගෞරවනීය ආකාරයකින්, ආත්මික පැත්ත අවධාරණය කරමින් දිය යුතුයි. පසුව පැවැත්වෙන ඕනෑම සාදයකට වඩා විවාහ මංගල්‍ය කතාව අනිවාර්යයෙන්ම හුඟක් වැදගත්.
අපි “ලෝකයාට අයිති නැති” බව පෙන්වන්න ක්‍රිස්තියානි විවාහ මංගල්‍යයක් හොඳ ප්‍රස්තාවක්. (යොහන් 17:14; යාකොබ් 1:27) අපේ ක්‍රමවත්බව විශිෂ්ටව තිබිය යුතුයි. මින් අදහස් කරන්නේ, සභා වැඩකටයුතුවලට බාධා විය හැකි ආකාරයෙන් පැමිණ සිටින්නන්ට බොහෝ වේලාවක් බලා ඉන්න සලසනවා වෙනුවට අපි නියමිත වේලාවට පැමිණෙන බවයි. හරියට මණාලියගේ අගේ වැඩි කරලා පෙන්නන්න වගේ, ඇගේ ලෞකික නෑදෑයන් ප්‍රමාද වෙන්න කියා ඇගෙන් බලවත් ලෙස ඉල්ලිය හැකි නිසා, විශේෂයෙන්ම මණාලිය මේ කරුණ ගැන අවධානයෙන් සිටිය යුතුයි. නියමිත වේලාවට පැමිණීමෙන්, මේරූ ක්‍රිස්තියානි සහෝදරියකට යටහත් පහත්භාවය හා සැලකිල්ල වැනි ආත්මික ගුණාංග වැදගත් වන බව ඇයට පෙන්වන්න පුළුවන්. ඒ වගේම, ඡායාරූප ශිල්පියෙක්ට උත්සවයේ ඡායාරූප ගන්න ආරාධනා කළ විටත් ක්‍රමවත්බව වැදගත්. ඡායාරූප ශිල්පියා ටයි පටියක් හා කෝට් එකක් දාලා, හොඳින් හැඳ පැළඳ සිටීමත්, පින්තූර ගනිද්දී කතාවට බාධා නොවන සේ ඒවා ගැනීමත් අවශ්‍ය දෙයක්. යාච්ඤාව අතරතුරේදී පින්තූර නොගත යුතුයි. අපේ ක්‍රමවත්බව යෙහෝවාට ගෞරවය ගෙන දී, කදිම සාක්ෂියක් දේවි. උත්සවයේ සැබෑ අර්ථය යටපත් කරන සමාජ චාරිත්‍රවලට එකඟ වීමට වෑයම් කරන්න කිසිම අවශ්‍යතාවක් නැහැ.
සාර්ථක විවාහයක් සඳහා මංගල්‍ය සාදයක් පවත්වන්නම අවශ්‍ය නැති නමුත්, එවැනි සන්තෝෂවත් අවස්ථාවක් සඳහා ශුද්ධ ලියවිලිමය විරෝධතාවක්ද නෑ. කොහොමවුණත්, සැබෑ ක්‍රිස්තියානීන් සඳහා එවන් එක්රැස්වීමක්, පමණ ඉක්මවා වියදම් කිරීම, අධික මත්පැන් පානය, ගිජු ලෙස කෑම, අශිෂ්ට සංගීතය, ඉඟි පළ කරන නැටුම් සහ දබර කරගැනීම පවා තිබෙන ලෞකික මංගල්‍ය සාදවලින් වෙනස් විය යුතුයි. බයිබලය, “මංගල්‍යඝෝෂා” මාංසයේ ක්‍රියාවල ගණයට ඇතුළත් කරනවා. (ගලාති 5:21) එය ඒ තරම්ම විශාල එක්රැස්වීමක් නොවෙන විට සුදුසු අන්දමින් පාලනය කරන්න වඩාත් පහසු වෙනවා. ජනප්‍රිය සිරිත් විරිත්වලට අනුකූල වෙන විදිහට කූඩාරමක් ඉදි කරන්න අවශ්‍යතාවක් නෑ. ඉඩ කඩ හෝ කාලගුණය හේතුවෙන් කූඩාරමක් පාවිච්චි කරන්න සමහරු තීරණය කරතොත්, ඒක පෞද්ගලික කාරණයක්.
විශේෂ ආරාධනා පත් යැවීම, අමුත්තන්ගේ සංඛ්‍යාව සීමා කරන්න හොඳ මාර්ගයක් බව අද්දැකීමෙන් පෙනී ගොස් තිබෙනවා. මුළු සභාවලටම ආරාධනා කරනවා වෙනුවට, පුද්ගලයන්ට ආරාධනා කිරීම වඩාත් ඥානවන්ත වන අතර ක්‍රමවත් ක්‍රිස්තියානීන් වශයෙන්, අපි එවැනි සීමා කිරීම්වලට ගරු කළ යුතුයි. සභා ඇසුරෙන් කපාහැරිය තැනැත්තෙක් මංගල්‍ය සාදයට පැමිණීමෙන් ඇති වන ලජ්ජාව වළක්වාගන්නත් ආරාධනා පත් අපට උපකාරවත් වෙනවා; ඊට හේතුව, එහෙම සිද්ධ වුණොත්, සහෝදර සහෝදරියන් හුඟදෙනෙක් එතනින් පිට වෙලා යන්න තීරණය කරන්න ඉඩ තියෙනවා. (1 කොරින්ති 5:9-11) යුවළක් නොඇදහිලිකාර නෑදෑයන්ට හෝ අඳුරන අයට ආරාධනා කරනවා නම්, “ඇදහිල්ලේ පවුලට අයිති” අයට වැඩි වැදගත්කමක් දෙමින්, ඒ අයගේ සංඛ්‍යාව නිසැකවම සීමා කරාවි. (ගලාති 6:10) සමහරු මංගල්‍ය සාදයට ආරාධනා නොකර, අඳුරන ලෞකික අයව හෝ නොඇදහිලිකාර නෑදෑයන්ව විවාහ මංගල්‍ය කතාවට ආරාධනා කරන්න තෝරාගෙන තියෙනවා. ඇයි? විවාහ මංගල්‍ය සාදයකදී ලෞකික නෑදෑයන් ලජ්ජාවට පත් කරවනසුලු තත්වයක් ඇති කරලා, සහෝදර සහෝදරියන් බොහෝදෙනෙකුට තවදුරටත් එතැන රැඳී ඉන්න බැහැයි කියලා හැඟුණු අවස්ථා තිබිලා තියෙන නිසයි. සමහර යුවළයන්, කිට්ටු පවුල් සාමාජිකයන් හා ක්‍රිස්තියානි මිත්‍රයන් එක්ක විතරක් රාත්‍රි ආහාර වේලක් ගන්න කටයුතු පිළියෙළ කරලා තියෙනවා.
යොහන් 2:8, 9ට එකඟව “මංගල්‍යයේ ප්‍රධානි[යෙක්]” තෝරගන්න එක ප්‍රායෝගික දෙයක්. ක්‍රමවත්බව හා උසස් ප්‍රමිති පවත්වාගන්න වගබලාගන්නාවූ විශ්වසනීය ක්‍රිස්තියානියෙක් තෝරගන්න මණාලයාට ඕනෑ වේවි. අමුත්තන් තෑගි ගෙනෙන අවස්ථාවලදී, එය කළ යුත්තේ ‘පුහු ආටෝපයකින්’ තොරවයි. (1 යොහන් 2:16) සැකකටයුතු පද රචනා, අධික ශබ්දය හෝ නොහික්මුණු තාලවලින් දූෂණය නොකිරීමෙන්, සංගීතය සතුටෙන් භුක්ති විඳිය හැකි එකක් කරගන්න පුළුවන්. වාදනය කරන්න යන සංගීතයට කල්තියාම සවන් දෙන්න වැඩිමහල්ලෙකුට සැලැස්වීම හොඳම දෙය බව බොහෝදෙනෙක් සොයාගෙන තියෙනවා. සම්ප්‍රදායික නැටුම්වලින් වැඩිහරියක් බිහි වෙලා තියෙන්නේ, සශ්‍රීකත්වය සම්බන්ධ වත්පිළිවෙත් අනුව කරන නැටුම්වලින් වන අතර, ඒවා නුසුදුසු ලෙස ඉන්ද්‍රියන් පිනවීම හුවා දක්වන නිසා නැටුම් මගින් උගුල්වලට අහු වෙන්න පුළුවන්. “කේක් සහ වයින් අල්ලන මොහොත” ලෞකික ජනයාට පාලනයකින් තොරව ක්‍රියා කරන්න මොහොත ඇවිල්ලා කියන එකට සංඥාවක් වෙලා තියෙනවා. ඇත්තෙන්ම, කරදර ඇතිවීම වළක්වගන්න අවශ්‍ය නිසා බොහෝ ක්‍රිස්තියානි යුවළයන් විවාහ මංගල්‍ය සාදවලදී කිසිම මත්පැනක් නොතැබීමට තීරණය කරලා තියෙනවා.
යෙහෝවාට ගෞරව කරන්න ඕන නිසා, අපි වෙත අනවශ්‍ය අවධානයක් ඇදගන්න විදිහට අහංකාර වීමෙන් අපි වැළකිලා ඉන්නවා. අධික ලෙස වියදම් කිරීමේ ජනප්‍රිය නැඹුරුවාවට විරුද්ධව ලෞකික ප්රකාශනවල පවා කතා කරලා තියෙනවා. විසිතුරු විවාහ මංගල්‍යයක් නිසා යුවළක් ණය බරට වැටීමත්, ඒ දිනය වෙනුවෙන් දරන වියහියදම් ගෙවලා දාන්න අවුරුදු ගණනාවක්ම ආර්ථික පරිහානියක් අද්දකින එකත් කොයිතරම් අනුවණ දෙයක්ද! ඇත්තෙන්ම, උත්සවයට අඳින ඕනෑම ඇඳුමක්, දෙවිට භක්තිවන්තව සිටින බව කියා සිටින කෙනෙක්ට ඔබින ලෙස, විනීත හා හොඳින් මසා නිම කළ එකක් විය යුතුයි. (1 තිමෝති 2:9, 10) “ක්‍රිස්තියානි විවාහ මංගල්‍යයන් සාධාරණත්වය පිළිබිඹු කළ යුතුයි” (1969 ජනවාරි 15 ද වොච්ටව’) යන ලිපියේ ඇඳුම් පැළඳුම් සම්බන්ධයෙන් මේ උනන්දුමත් කරුණු පෙන්නුම් කර තිබෙනවා:
“කෙනෙකුගේ විවාහය විශේෂ අවස්ථාවක් නිසා ප්‍රීතිමත් හා සිත්ලගන්නා එකක් කිරීමට සාමාන්‍යයෙන්ම අවධානය දෙනු ලබනවා. නමුත් කෙනෙක් විශේෂ ආකාරයක ගවුමක් හෝ ඇඳුම් කට්ටලයක් ඇඳිය යුතුයි කියලා ඉන් අදහස් වෙන්නේ නෑ. කෙනෙක්, ප්‍රාදේශීය විලාසිතා, වියදම හා පෞද්ගලික රුචිකත්වයන් සලකා බැලීම සුදුසු වෙනවා. . . . එනමුත්, තමන්ටම හෝ වෙනත් අයට මුදල් අතින් බරක් වන තරමටම මිල අධික ඇඳුමක් මිල දී ගැනීම සාධාරණ වේවිද? . . . ප්‍රියාදර මිතුරියකගේ හෝ නෑදෑයෙකුගේ ගවුමක් අඳින්න සමහර මණාලියන් සතුටු වෙලා තියෙනවා. වෙනත් තැනැත්තියන්, තමන්ම තමන්ගේ මණාල ඇඳුම සකස් කරගැනීමෙන් මහත් තෘප්තියක් ලබාගෙන තියෙනවා; මේ විදිහට අනාගතයේදී වෙනත් අවස්ථාවලදීත් ප්‍රයෝජනයට ගත හැකි ඇඳුමක් ළඟ තබාගන්න පුළුවන් වෙනවා. එමෙන්ම යුවළකට තමන්ට තියෙන ඉතාමත්ම සිත් ඇදගන්නා සාමාන්‍ය ඇඳුම් ඇඳ විවාහ වීමත් සම්පූර්ණයෙන්ම සුදුසුයි . . . ජයට විවාහ මංගල්‍යයක් පවත්වන්න හැකි තත්වයක ඉන්න වෙනත් අය, කාලවල දුෂ්කර තත්වය නිසා ‘සන්සුන් විවාහ මංගල්‍යයක්’ ගන්න පෞද්ගලිකව කැමැත්තක් දක්වන්න පුළුවන්.”
ඒ වගේම, විවාහ මංගල්‍ය කණ්ඩායම (මණාලයාගේ මිත්‍රයන් හා මණාලියගේ මිතුරියන්) විශාල එකක් වෙන්නත් අවශ්‍ය නෑ. ඔවුනුත් ඔවුන්ගේ ඇඳුම හා ක්‍රියා මගින් තමන්ටම අනවශ්‍ය අවධානයක් ඇදගන්න අවශ්‍ය වෙන්නේ නෑ. රාජ්‍ය ශාලාවේ පැවැත්වෙන කතාවට සභා ඇසුරෙන් කපාහැරිය පුද්ගලයෙක්ට පැමිණෙන්න ඉඩහරින්න පුළුවන් වුණත්, 1984 අප්‍රියෙල් 15 ද වොච්ටව’ මෙහෙම පැවසුවා: “සභා ඇසුරෙන් කපාහැරිය හෝ බයිබල් ප්‍රතිපත්තිවලට විශාල වශයෙන් පටහැනි නින්දාසහගත ජීවන රටාවක් ගත කරන අයව විවාහ මංගල්‍ය කණ්ඩායමට ඇතුළත් කරගැනීම නුසුදුසුයි.”
යේසු විවාහ මංගල්‍යයකට ගියා වුණත්, විශාල ශබ්දයක් නඟාගෙන නගරය මැදින් මෝටර් රථ පෙරහැරකින් යෑමේ ජනප්‍රිය සිරිත අනුමත කරයි කියා අපිට හිතන්න බෑ; මංගල පෙරහැරේ මෝටර් රථ නළා ශබ්ද කිරීම නිසා පොලිසිය රියැදුරන්ට දඩගහලත් තියෙනවා. (මතෙව් 22:21, බලන්න.) සියල්ල කැටි කොට ගත්තහම, ජාතීන්ට අයත් ජනයාගේ අහංකාරත්වය හෝ ආවේණික ක්‍රියා කොපි කරනවා වෙනුවට, ක්‍රිස්තියානීන් නිරහංකාර තැනැත්තා තුළ ඇති ප්‍රඥාව විදහා දක්වනවා.—හිතෝපදේශ 11:2, NW.
නමුත් අසල්වැසියන්ගේ, ලෞකික සෙසු සේවකයන්ගේ හෝ දුර නෑදෑයන්ගේ හා අඳුරන අයගේ විවාහ මංගල්‍යවලට යෑම ගැන කියන්න පුළුවන් මොකක්ද? හැම ක්‍රිස්තියානියෙකුම මේ සම්බන්ධයෙන් පෞද්ගලිකව තීරණය කළ යුතුයි. අපිට අපේ දේවසේවය, පෞද්ගලික පාඩම හා පවුලේ මෙන්ම සභාවේ වෙනත් ලුහුබැඳීම් සඳහා කාලය අවශ්‍ය බැවින්, අපේ කාලය අනර්ඝ බව මතකයේ තබාගන්න එක හොඳයි. (එපීස 5:15, 16) සති අන්තවලදී, අපිට රැස්වීම් හා ක්ෂේත්‍ර සේවය තිබෙනවා; ඒවා අතපසු කරන්න අපිට වුවමනා නෑ. (හෙබ්‍රෙව් 10:24, 25) විවාහ මංගල්‍යයන් බොහෝමයක් වැටෙන්නේ එක්රැස්වීම් හා ස්වාමීන්ගේ රාත්‍රී භෝජනයට සම්බන්ධව තිබෙන විශේෂ සේවා ප්රයත්නයන් තිබෙන දිනවලයි. ස්වාමීන්ගේ රාත්‍රී භෝජනයට යන්න ලොව පුරා බලා ඉන්න අපේ සහෝදරයන් දරන විශේෂ වෑයමම දැරීමෙන් ඉවත්ව යෑමට අපි අපටම ඉඩ නොදිය යුතුයි. සත්‍යය ගැන දැනගැන්මක් ලබාගන්න ඉස්සෙල්ලා, අපි ලෞකික අය එක්ක වැඩි කාලයක් ගත කළේ සමහරවිට දෙවිට අගෞරවය ගෙන දුන් තත්වයන්වලදීයි. (1 පේතෘස් 4:3, 4) දැන් අපේ ප්‍රමුඛතා ඊට වඩා වෙනස්. කාඩ්පතක් යැවීමෙන් හෝ වෙනත් දවසක කෙටි බැහැදැකීමක් සඳහා එහි යෑමෙන්, ලෞකික යුවළකට ඉතා හොඳින් සුභ පතන්න නිරතුරුවම පුළුවන්. සමහරු, අලුත බැඳපු ජෝඩුවලට සුදුසු ඇතැම් ශුද්ධ ලියවිලි පදත් උපයෝගි කරගනිමින් සාක්ෂියක් දෙන්න එවැනි අවස්ථාවන් යොදාගෙන තියෙනවා.
ලෞකික ක්‍රම අබිබවන ආත්මික පැතිගන්නා විවාහ මංගල්‍යයක් ඇත්තෙන්ම යෙහෝවාට ගෞරවය ගෙනෙයි. මිථ්‍යා විශ්වාසයන් හා සීමාව ඉක්මවන දේ ඇතුළත් ලෝකයෙන් වෙන්ව සිටින බවට ඔවුන් සහතික කරගැනීමෙන්, සාමාන්‍ය දිව්‍යාණ්ඩු ක්‍රියාකාරකම්වලට බාධාවීමට ඉඩ නොහැරීමෙන් හා අහංකාරය වෙනුවට නිරහංකාරය විදහාපෙන්වමින්, ක්‍රිස්තියානීන් මේ මංගල්‍යය ප්‍රීතියෙන් භුක්ති විඳීවි. ඒ විතරක් නෙවෙයි, හොඳ හෘද සාක්ෂියකින් හා ආශා කරන මතක සටහන්වලින් මේ අවස්ථාව දෙස ආපසු හැරී බලන්න ඔවුන්ට හැකි වේවි. ප්‍රඥාව හා සාධාරණබව පිළිබිඹු කරමින්, අපේ හැම ක්‍රිස්තියානි විවාහ මංගල්‍යයකටම අවංක හෘද ඇති නිරීක්ෂකයන්ට සාක්ෂියක් දෙන්න හැකි වේවි.
[පාදසටහන]
a Watchtower Bible and Tract Society of New York Inc., මගින් ප්‍රකාශිතයි.
[24, 25වන පිටුවේ පින්තූරය]
ක්‍රිස්තියානීන් වගවිභාගයකින් තොරව හැම ප්‍රාදේශීය විවාහ මංගල්‍ය සිරිතක්ම අනුගමනය කරන්නේ නෑ