ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w25 දෙසැම්බර් 20-25 පි.
  • යෙහෝවාට ගෞරවයක් ගේන විවාහ උත්සවයක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෙහෝවාට ගෞරවයක් ගේන විවාහ උත්සවයක්
  • 2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • යෙහෝවාට ගෞරවයක් ගේන්න ඕනෙ ඇයි?
  • යෙහෝවාව ගෞරවයට පත් කරන්න
  • අභියෝග ජය ගන්න
  • ඔබේ විවාහ දිනයේ ප්‍රීතිය හා ගෞරවය වැඩි කරගන්න අයුරු
    2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවාට ගෞරවය ගෙන දෙන ප්‍රීතිමත් විවාහ මංගල්‍යයන්
    2000 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවාට ගෞරවය ගෙනෙන විවාහ මංගල්‍යයන්
    1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ප්‍රශ්න පෙට්ටිය
    2008 අපගේ රාජ්‍ය සේවාව
තව තොරතුරු
2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w25 දෙසැම්බර් 20-25 පි.

පාඩම් ලිපිය 51

ගීතිකාව 132 අප දැන් එක් කෙනෙකු මෙන් වේ

යෙහෝවාට ගෞරවයක් ගේන විවාහ උත්සවයක්

“හැම දෙයක්ම හරි විදිහටත් පිළිවෙළටත් කරන්න.”—1 කොරි. 14:40.

ලිපියේ අරමුණ

විවාහ වෙන දවසේදී යෙහෝවාට ගෞරව කරනවා කියලා ක්‍රිස්තියානි යුවළකට පෙන්නන්න පුළුවන් කොහොමද?

1-2. ඔයාලා විවාහ වෙන දවස මොන වගේ එකක් වෙනවා දකින්නද යෙහෝවා කැමති?

ඔයාලත් ළඟදී විවාහ වෙන්නද ඉන්නේ? එහෙමනම් සුබ පැතුම්! මේ දවස්වල විවාහ උත්සවය සැලසුම් කරන්න ඔයාලා ගොඩක් මහන්සි වෙනවා ඇති. යෙහෝවාත් ආසයි ඔයාලා විවාහ වෙන දවස සතුට පිරුණු එකක් වෙනවා දකින්න.a ඔහු කැමති ඔයාලා යුවළක් විදිහට දිගටම ඒ සතුට රැක ගන්නවාට.—හිතෝ. 5:18; සල. 3:11.

2 හැබැයි ඒ දවස යෙහෝවාට ගෞරවයක් ලැබෙන විදිහට සැලසුම් කරන එක වැදගත්. ඇයි එහෙම කියන්නේ? ඒක කරන්න පුළුවන් කොහොමද? මේ ලිපියේ විශේෂයෙන්ම කතා කරන්නේ විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න යුවළයන්ට. ඒත් යෙහෝවාට ගෞරවයක් ලැබෙන විදිහට දේවල් කරන්න මේකේ තියෙන ප්‍රතිපත්ති විවාහයකට සහභාගි වෙන අයටත් උදව් වෙයි. විවාහ වෙන්න ඉන්න යුවළක් අපෙන් මොකක් හරි මඟ පෙන්වීමක් ඉල්ලුවොත් එයාලට උදව් කරන විදිහ තේරුම්ගන්නත් මේ ලිපිය උදව් වෙයි.

යෙහෝවාට ගෞරවයක් ගේන්න ඕනෙ ඇයි?

3. යුවළක් එයාලාගේ විවාහ උත්සවය සැලසුම් කරද්දී හිතන්න ඕනෙ මොනවා ගැනද, ඒ ඇයි?

3 විවාහ උත්සවය සැලසුම් කරද්දී යුවළක් හැම වෙලේම තීරණ ගන්න ඕනෙ යෙහෝවා බයිබලෙන් දීලා තියෙන මඟ පෙන්වීම්වලට එකඟව. මොකද ඔහු තමයි විවාහ සැලැස්ම ඇති කළේ. මේ පොළොවේ සිද්ධ වුණ පළවෙනි විවාහය කළේ යෙහෝවා. (උත්. 1:28; 2:24) ඒ නිසා විවාහ උත්සවය සැලසුම් කරද්දී යෙහෝවාව ගෞරවයට පත් කරන්න පුළුවන් කොහොමද කියලා හිතන එක වැදගත්.

4. විවාහ වෙන දවසේදී යුවළක් යෙහෝවාව ගෞරවයට පත් කරන්න ඕනෙ තව හේතුවක් මොකක්ද?

4 විවාහ වෙන දවසේදී යෙහෝවාව ගෞරවයට පත් කරන්න තව විශේෂ හේතුවක් තියෙනවා. ඔහු තමයි ස්වර්ගයේ ඉන්න ඔයාගේ තාත්තා, ඔයාගේ හොඳම යාළුවා. (හෙබ්‍රෙ. 12:9) ඔයාට ඕනෙ ඒ බැඳීම දිගටම තියාගන්න. එදා විතරක් නෙවෙයි කිසිම දවසක ඔයාගේ යාළුවාව රිද්දන කිසිම දෙයක් කරන්න ඔයාට ඕනෙ නැහැ. (ගීතා. 25:14) යෙහෝවා ඔයා වෙනුවෙන් කොච්චර දේවල් කරලා තියෙනවාද, කොච්චර දේවල් කරන්න යනවාද කියලා හිතන්න. ඉතින් ඔයාගේ විවාහ උත්සවයේදී යෙහෝවාව ගෞරවයට පත් වෙන විදිහට දේවල් කරලා ඔහුට ඔයාගේ හිතේ තියෙන අගය පෙන්නන්න.—ගීතා. 116:12.

යෙහෝවාව ගෞරවයට පත් කරන්න

5. යුවළකට විවාහ උත්සවය ගැන හොඳ තීරණ ගන්න බයිබලේ උදව් වෙන්නේ කොහොමද?

5 විවාහ උත්සවයකදී, ඒකෙන් පස්සේ ගන්න සාදයන්වලදී දේවල් කරන්න ඕනෙ මෙන්න මේ විදිහටයි කියලා නීති බයිබලේ නැහැ. ඒ නිසා යුවළකට පුළුවන් එයාලාගේ තත්වෙට අනුව, ප්‍රදේශයට ගැළපෙන විදිහට, එයාලා කැමති දේවල් ඇතුළත් කරලා ඒ උත්සවය සැලසුම් කරන්න. සැබෑ ක්‍රිස්තියානීන් විවාහය ගැන ආණ්ඩුවෙන් දාලා තියෙන නීතිවලට කීකරු වෙන්නත් ඕනේ. (මතෙ. 22:21) විවාහ උත්සවය මොන විදිහට සැලසුම් කළත් යුවළක් බයිබල් ප්‍රතිපත්තිවලට කීකරු වෙනවා නම් එයාලට පුළුවන් යෙහෝවාව ගෞරවයට පත් කරලා ඔහුගේ හිත සතුටු කරන්න. එයාලා මතක තියාගන්න ඕනෙ මොන බයිබල් ප්‍රතිපත්තිද?

6. විවාහය ගැන රජයෙන් දාලා තියෙන නීතිවලට යුවළක් කීකරු වෙන එක වැදගත් ඇයි?

6 රජයෙන් දාලා තියෙන නීතිවලට කීකරු වෙන්න. (රෝම 13:1, 2) හුඟක් රටවල්වල විවාහයක් වෙන්න ඕනෙ කොහොමද කියලා ආණ්ඩුවෙන් නීති දාලා තියෙනවා. ඒ නිසා යුවළක් විවාහයට කලින් එයාලාගේ ප්‍රදේශයේ තියෙන නීති ගැන හොයලා බලන්න ඕනේ. ඒ ගැන මොනවා හරි දැනගන්න ඕනෙ නම් ඔයාලට පුළුවන් වැඩිමහල්ලන්ගෙන් අහන්න.b

7. විවාහය පවත්වන අවස්ථාව මොන වගේ එකක් වෙන්න ඕනෙද?

7 ඒ අවස්ථාව ගෞරවනීය එකක් කරගන්න. (1 කොරි. 10:31, 32) ඔයාලාගේ සැලසුම්වලින් පේන්න ඕනෙ ඔයාලා දෙවියන්ගේ බලයට යටත් අය කියලා. නැත්නම් ඔයාලා මේ ලෝකේ වැඩිදෙනෙක්ගේ ආකල්ප තියෙන අය කියලා පෙනෙයි. (ගලා. 5:19-26) මනමාලයා තමයි පවුලේ හිස වෙන්නේ. ඒ නිසා විවාහ උත්සවය සතුටින් පිරුණු, ගෞරවනීය එකක් වෙයිද කියලා බලන වගකීම තියෙන්නේ එයාට. ඒකට උදව් වෙන්නේ මොනවාද? එදාට දෙන බයිබලේ මත පදනම් දේශනය ආදරෙන්, ගෞරවයෙන් දෙද්දී දෙවියන් ඇති කරලා තියෙන විවාහ සැලැස්ම ගැන ඇවිත් ඉන්න අයගේ හිතේ ලොකු අගයක් ඇති වෙයි. ඒ වගේම ඇවිත් ඉන්න අයට ඒක උදව් වෙයි මේ අවස්ථාව සැහැල්ලුවට, විහිළුවට ගන්න ඕනෙ එකක් නෙවෙයි කියලා තේරුම්ගන්න. ඒ නිසයි හුඟක් යුවළයන් තීරණේ කරන්නේ ඒ දේශනය නමස්කාර මධ්‍යස්ථානයේ දුන්නා නම් හොඳයි කියලා. ඔයාලාගේ තීරණෙත් ඒක නම් ඉක්මනටම ඒ ගැන කියලා වැඩිමහල් මණ්ඩලයට ලියුමක් දෙන්න.

8. සාදයක් තියෙනවා නම් ඒක ගෞරවනීය එකක් කරගන්න උදව් වෙන්නේ මොනවාද? (රෝම 13:13)

8 රෝම 13:13 කියවන්න. ඔයාලා සාදයක් තියන්න තීරණේ කරනවා නම් ඒකෙනුත් පේන්න ඕනෙ ඔයාලා මේ ලෝකේ අය හිතන විදිහට හිතන අය නෙවෙයි කියලා. “ඝෝෂාකාරී උත්සව” කියලා පරිවර්තනය කරලා තියෙන ග්‍රීක වචනයට වෙරි වෙන කල් බොන, එළි වෙන කල් සින්දු දාන සාදයන් කියන අදහසත් ඇතුළත්. සාදයේදී මත්පැන් දෙන්න තීරණේ කරනවා නම් කිසිම කෙනෙක් ඕනෑවට වඩා බොන්නේ නැති වෙන්න දේවල් කලින්ම සැලසුම් කරන්න.c සින්දු දාන්න තීරණේ කරනවා නම් ළඟ ඉන්න කෙනාටවත් කතා කරන දේ ඇහෙන්නේ නැති වෙන තරමටම හයියෙන් ඒවා දාන්න එපා. එදාට දාන සින්දු කලින්ම අහලා ඒවායේ වචන, තේරුම කොහොමද කියලා බලන්න. එහෙම නැත්නම් කෙනෙක් අපහසුතාවට පත් වෙන්න වුණත් ඉඩ තියෙනවා.

9. සාදයේදී දෙන කතා ගැන, විනෝදයට කරන අනිත් දේවල් ගැන මතක තියාගන්න ඕනෙ මොකක්ද?

9 සාදයේදී ඔයාලාගේ පවුලේ අය, යාළුවෝ ඔයාලා දෙන්නා ගැන වචන කීපයක් කතා කරන්න හිතාගෙන ඉන්නවාද? එදාට සමහර වීඩියෝ, ෆොටෝ දාන්න බලාපොරොත්තු වෙනවාද? ඒ වගේ දේවල් ඒ දවස තවත් ලස්සන කරයි. හැබැයි ඒ මොනවා කළත් ඒවායින් අනිත් අයට ප්‍රබෝධයක්, දිරිගැන්වීමක් ලැබෙන්න ඕනේ. (ෆිලි. 4:8) ඒකට ඔයාගෙන්ම මෙහෙම අහගන්න. ‘මං මේ කරන දේ නිසා අනිත් අයට ගෞරව කරනවා කියලා පෙනෙයිද? විවාහය ගැන ඇති කරලා තියෙන සැලැස්මට ගෞරව කරනවා කියලා පෙනෙයිද?’ ඒ හැම දේටම වඩා ‘මේකෙන් යෙහෝවාට ගෞරවයක් ලැබෙයිද’ කියලා හිතන්න. එදාට සතුටක් දැනෙන්න පොඩි විහිළුවක් දෙකක් කළාට කමක් නැහැ. හැබැයි අප්‍රසන්න, ජරා, ලිංගික දේවල් උලුප්පලා දක්වන විහිළු නොකර ඉන්න ඕනේ. (එෆී. 5:3) ඔයාලාගේ පවුලේ අය, යාළුවෝ ඔයාලා දෙන්නා ගැන එදාට කතා කරන්න හිතාගෙන ඉන්නවා නම් ඔයාලාගේ ප්‍රතිපත්ති මොනවාද කියලා කලින්ම එයාලට පැහැදිලි කරලා තියෙන එක හොඳයි.

10. තමන්ට අවධානය ඇදගන්න විදිහට විවාහ උත්සවය සැලසුම් කරන එකෙන් යුවළක් වළකින්න ඕනෙ ඇයි? (1 යොහන් 2:15-17)

10 ඕනෑවට වඩා අවධානය ඇදගන්න විදිහට දේවල් කරන්න එපා. (1 යොහන් 2:15-17 කියවන්න.) දෙවියන්ගේ සෙනඟ තමන්ටම අවධානය ඇදගන්නවා වෙනුවට යෙහෝවාට ගෞරවය දෙන විදිහට දේවල් කරද්දී ඔහු ඒ ගැන ගොඩක් සතුටු වෙනවා. ඉතින් දෙවියන්ට ආදරේ කරන අය ඕනෑවට වඩා සල්ලි වියදම් කරලා තමන්ට අයිති දේවල් ප්‍රදර්ශනය කරන්නේ නැහැ. විවාහ උත්සවය සරලව, චාම් විදිහට ගන්න එකෙන් ඔයාලට තියෙන ප්‍රයෝජන මොනවාද? නෝර්වේවල ඉන්න සහෝදර මයික් ලබපු ප්‍රයෝජන ගැන එයා මෙහෙම කියනවා. “අපේ වෙඩින් එකට අපි ණය වුණේ නෑ. ඒ නිසා අපිට පුළුවන් වුණා දිගටම පුරෝගාමි කරන්න. ඒක හරිම සරල විදිහට ගත්ත නිසා අදටත් ඒ දවස මතක් වෙද්දී ලොකු සතුටක් දැනෙනවා.” ඉන්දියාවේ ඉන්න සහෝදරි තබීතා මෙහෙම කියනවා. “වෙඩින් එක අපිට ලොකු බරක් වුණේ නෑ. අපි චාම් විදිහට වෙඩින් එක ගත්ත නිසා ගොඩක් දේවල් සැලසුම් කරන්න තිබ්බේ නෑ. අපි දෙන්නා අතර, අපේ පවුල් අතර එකඟ නොවීම් ඇති වෙන එක අඩු කරගන්නත් පුළුවන් වුණා.”

පින්තූරවල අදහස: ලෝකේ පුරා ඉන්න සහෝදර සහෝදරියන් විවාහ උත්සවවලදී සතුටු වෙන විදිහ. 1. නමස්කාර මධ්‍යස්ථානයේදී සහෝදරයෙක් විවාහ දේශනය දෙද්දී යුවළ ඉඳගෙන ඒක අහන් ඉන්නවා. 2. විවාහ සාදයකට ඇවිත් ඉන්න යුවළක් මනාල යුවළට සුභ පතනවා. ඒක තියෙන්නේ එළිමහනක. 3. මනාල යුවළ ඇවිත් ඉන්න අනිත් අයත් එක්ක කෑම බෙදාගන්නවා. 4. සහෝදරයෙක් එළිමහනක විවාහ දේශනය දෙද්දී මනාල යුවළ හිටගෙන ඒක අහන් ඉන්නවා.

කොහේ ජීවත් වුණත් අපිට පුළුවන් චාම්, ලස්සන, මතකයේ රැඳෙන විවාහ උත්සවයක් ගන්න (10-11 ඡේද බලන්න)


11. තමන්ට අවධානය ඇදගන්නේ නැති විදිහට ඇඳුම් තෝරගන්න යුවළකට පුළුවන් කොහොමද? (පින්තූරත් බලන්න.)

11 එදාට අඳින්නේ මොනවාද කියලා ඔයාලා තීරණේ කරලාද තියෙන්නේ? කිසිම සැකයක් නැහැ ඔයාලට ඕනෙ එදාට ලස්සනටම ඉන්න. බයිබල් කාලවලදීත් මනමාලයයි, මනමාලියි විශේෂ ඇඳුම් පැලඳුම් ඇන්දා. (යෙසා. 61:10) ඔයාත් වෙන උත්සවයකට යද්දී අඳින පලඳින විදිහට වඩා විශේෂ විදිහටයි ඔයාලාගේ විවාහයේදී අඳින්නේ. හැබැයි මොනවා ඇන්දත් ඒක විනීත වෙන්න ඕනේ. (1 තිමෝ. 2:9) එදාට සම්පූර්ණ අවධානය ඔයාගේ පෙනුමටයි, ඔයාගේ ඇඳුම් පැලඳුම්වලටයි යන විදිහට අඳින්න පලඳින්න එපා.—1 පේතෘ. 3:3, 4.

12. යුවළක් එයාලා ඉන්න පැත්තේ අය සාමාන්‍යයෙන් කරන, බයිබල් ප්‍රතිපත්තිවලට එකඟ නැති චාරිත්‍රවලින් වළකින්න ඕනෙ ඇයි?

12 බයිබලේට එකඟ නැති චාරිත්‍ර කරන්න එපා. (එළි. 18:4) අද ගොඩක් විවාහ උත්සවවල බොරු ආගම්වලට, භූතවාදයට, මිථ්‍යා දේවලට සම්බන්ධ ගොඩක් චාරිත්‍ර වාරිත්‍ර තියෙනවා. ඒත් යෙහෝවා අපිට පැහැදිලිවම කියනවා ඒ වගේ අපවිත්‍ර දේවලින් ඈත් වෙන්න කියලා. (2 කොරි. 6:14-17) ඉතින් ඔයාලාගේ පැත්තේ ඉන්න හුඟක් අය කරන චාරිත්‍රයක් යෙහෝවා පිළිගන්නවාද නැද්ද කියලා ඔයාලට සැකයක් තියෙනවා නම් කරන්න පුළුවන් හොඳම දේ තමයි ඒක පටන්ගත්තේ කොහොමද කියලා තව තොරතුරු හොයලා බලන එක. ඒ වගේම හොඳ තීරණයක් ගන්න ඔයාලට උදව් වෙන බයිබල් ප්‍රතිපත්ති ගැන හොයලා බලන එක.

13. තෑගි ගැන යුවළක් හිතන්න ඕනෙ කොහොමද?

13 විවාහ වෙන දෙන්නෙක්ට තෑග්ගක් දෙන එක ඔයාලාගේ පැත්තෙත් සාමාන්‍ය දෙයක්ද? කෙනෙක්ට තියෙන වත්පොහොසත්කම අනුව එයා දෙන තෑග්ග වෙනස් වෙන්න පුළුවන්. බයිබලෙත් දිරිගන්වනවා අනිත් අයට දේවල් දෙන්න කියලා. මොකද ඒකෙන් ලොකු සතුටක් ලැබෙනවා. (හිතෝ. 11:25; ක්‍රියා 20:35) හැබැයි ‘එයාලා තෑග්ගක් දෙන්න ඕනෙමයි,’ ‘පොඩි තෑග්ගක් දුන්නොත් වැඩක් නෑ’ කියලා අනිත් අයට හිතෙන විදිහට අපි වැඩ කරන්න හොඳ නැහැ. අපි යෙහෝවාව ආදර්ශයට ගන්න නිසා කෙනෙක් සතුටින් දෙන ඕනෙම දෙයක් අපි ආසාවෙන් භාරගන්නවා.—2 කොරි. 9:7.

අභියෝග ජය ගන්න

14. සමහර යුවළයන් මූණ දෙන අභියෝග මොනවාද?

14 යෙහෝවාව ගෞරවයට පත් කරන විදිහට විවාහ වෙන දවස සැලසුම් කරද්දී ඔයාලටත් ගොඩක් අභියෝග එයි. උදාහරණෙකට සරලව, චාම් විදිහට ඒක සැලසුම් කරන්න ඔයාලට අමාරු ඇති. සොලමන් දූපත්වල ඉන්න චාලි මෙහෙම කියනවා. “කාටද අපේ වෙඩින් එක කියන්නේ කියලා තීරණේ කරන්න අපිට සෑහෙන්න අමාරු වුණා. අපිට ගොඩක් යාළුවෝ ඉන්නවා. අනික අපේ සංස්කෘතියට අනුව හැමෝම බලාපොරොත්තු වෙනවා එයාලටත් එන්න කියයි කියලා.” කලින් කතා කරපු තබීතා මෙහෙම කියනවා. “අපේ පැත්තේ අය හුඟදෙනෙක්ට වෙඩින් එක කියනවා. හැබැයි අපි හිතුවේ සීයකට වගේ එන්න කියන්න. ඒකට අම්මලව කැමති කරගන්න සෑහෙන්න අමාරු වුණා.” ඉන්දියාවේ ඉන්න සාරා මෙහෙම කියනවා. “හුඟක් අය වෙඩින් එක ගන්නේ එයාලට කොච්චර සල්ලි තියෙනවාද කියලා පෙන්නන්න. පොඩියට ගත්තොත් එච්චර ගණන් ගන්නේ නෑ. මගේ ගොඩක් නෑයෝ එයාලාගේ වෙඩින් ලොකුවට ගත්තා. එයාලටත් වඩා හොඳට වෙඩින් එක කරන්න කියලා මටත් බලපෑම් ආවා.” ඒ වගේ අභියෝග ජය ගන්න ඔයාලට උදව් වෙන්නේ මොනවාද?

15. විවාහ උත්සවයේ දේවල් සැලසුම් කරද්දී යාච්ඤා කරන එක වැදගත් ඇයි?

15 විවාහ උත්සවයේ දේවල් සැලසුම් කරද්දී නිතරම යාච්ඤා කරලා උදව් ඉල්ලන්න. ඔයාලට එන ඕනෙම ප්‍රශ්නයක් ගැන, ඔයාලට දැනෙන ඕනෙම දෙයක් ගැන යෙහෝවාට කියන්න. (ෆිලි. 4:6, 7) හොඳ තීරණ ගන්න, කනස්සල්ලක් දැනෙද්දී සන්සුන්ව ඉන්න යෙහෝවාගෙන් උදව් ඉල්ලන්න. හරි දේ කරන්න ධෛර්යය දෙන්න කියලත් ඉල්ලන්න. (1 පේතෘ. 5:7) ඔයාලා යෙහෝවා ගැන විශ්වාසේ තියලා වැඩ කළොත් යෙහෝවා ඔයාලාගේ යාච්ඤාවලට උත්තර දෙන විදිහ ඔයාලා දකියි. තබීතා මෙහෙම කියනවා. “මායි, මං බඳින්න ඉන්න කෙනායි වධ වුණ එක දෙයක් තමයි අපි අතර, අපේ පවුල් අතර එකඟ වෙන්නේ නැති තැන් එයි කියලා. ඒ නිසා අපි හැම තිස්සේම අපේ ප්ලෑන් ගැන කතා කරන්න කලින් යෙහෝවාට යාච්ඤා කළා. යෙහෝවාගේ උදව් අපි අද්දැක්කා. ඒ නිසා අපි අතරවත් පවුලේ අය අතරවත් ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැති විදිහට දේවල් කරගන්න අපිට පුළුවන් වුණා.”

16-17. විවාහ උත්සවය සැලසුම් කරද්දී හොඳ අදහස් හුවමාරුවක් තියෙන එක උදව් වෙන්නේ කොහොමද?

16 පැහැදිලිව අදහස් හුවමාරු කරගන්න. (හිතෝ. 15:22) ඔයාලාගේ විවාහ උත්සවය සැලසුම් කරද්දී යුවළක් විදිහට ඔයාලට ගොඩක් තීරණ ගන්න වෙනවා. ඒකට විවාහ වෙන්නේ කවද්ද, කොච්චර වියදම් කරනවාද, කීදෙනෙක්ට ආරාධනා කරනවාද වගේ ගොඩක් දේවල් තීරණේ කරන්න වෙයි. හැබැයි තීරණයක් ගන්න කලින් දෙන්නාම එකතු වෙලා ඔයාලාගේ අදහස් ගැන කතා කරන්න. අදාළ වෙන බයිබල් ප්‍රතිපත්ති ගැනත් කතා කරන්න. අවබෝධයෙන් වැඩ කරන, අද්දැකීම් තියෙන සහෝදර සහෝදරියන්ගෙන් මඟ පෙන්වීමක් ගන්නත් ඔයාලට පුළුවන්. ඔයාලාගේ අදහස කියද්දී කාරුණිකව, ආදරෙන් ඒක කියන්න. කිසිම වෙලාවක ඔයාගේ මතේම ඉන්න හදන්න එපා. ඔයාලාගේ දෙමාපියන් එයාලා ආස මොනවා හරි දෙයක් කරන්න ඕනෙ කියලා කිව්වොත් ඒක සාධාරණ ඉල්ලීමක් නම් ඒකට ඉඩ දෙන්න. හැබැයි එයාලා ඉල්ලන දේ ඔයාලට කරන්න බැරි නම් ඒ ඇයි කියලා කාරුණිකව, ආදරෙන් එයාලට කියන්න. (කොලො. 4:6) ඔයාලාගේ ලොකුම ආසාව තමයි එදාට යෙහෝවාව ගෞරවයට පත් වෙන විදිහට දේවල් කරන එක කියලත් කියන්න.

17 දෙමාපියන් සත්‍යයේ නැත්නම් ඔයාලාගේ තීරණ ගැන එයාලට පැහැදිලි කරන්න තවත් අමාරු වෙයි. ඒත් ඒක කරන්න බැරි දෙයක් නෙවෙයි. ඉන්දියාවේ ඉන්න සහෝදර සන්තෝෂ් කියන දේ බලන්න. “පවුලේ අයට ඕනෙ වුණා අපේ වෙඩින් එකට සමහර හින්දු චාරිත්‍ර ඇතුළත් කරන්න. ඉතිං අපි ප්ලෑන් කරපු දේවල් ගැන අපේ අම්මලට පැහැදිලි කරන්න මටයි, මං බඳින්න ඉන්න කෙනාටයි ලොකු කාලයක් දෙන්න වුණා. ප්‍රතිපත්ති කැඩෙන්නේ නැති තැන්වලදී අම්මලා කියපු සමහර දේවල් අපි කළා. උදාහරණෙකට අපි කැමති කෑම දෙනවා වෙනුවට එයාලා කැමති කෑම එදා අපි දුන්නා. අපේ වෙඩින් එකේ නැටුම් ගැයුම් තිබ්බෙත් නෑ. මොකද ඒ වගේ දේවල් අම්මලට හුරු නෑ.”

18. ඔයාලාගේ විවාහ උත්සවයේ වෙන දේවල් හොඳින් වෙයි කියලා ස්ථිර කරගන්න පුළුවන් කොහොමද? (1 කොරින්ති 14:40) (පින්තූරයත් බලන්න.)

18 හොඳට හිතලා සැලසුම් කරන්න. ඔයාලාගේ විවාහ උත්සවයේ සිද්ධ වෙන දේවල් හරියට සැලසුම් කළොත් එදාට ඔයාලාගේ හිතට දැනෙන බරත් අඩුයි. (1 කොරින්ති 14:40 කියවන්න.) තායිවානයේ වේන් මෙහෙම කියනවා. “අපේ වෙඩින් එකට දවස් කීපයකට කලින් ඒකේ වැඩවලට උදව් කරන අයත් එක්ක අපි පොඩි මීටින් එකක් තිබ්බා. අපේ සැලසුම් ගැන අපි එදා කතා කළා. වෙඩින් එකේ සමහර දේවල පෙරහුරුවකුත් කළා. ඒක අපිට උදව් වුණා හැම දේම හොඳට වෙනවාද බලන්න.” සැලසුම් කරපු වෙලාවටම දේවල් කරන එකෙන් උත්සවයට එන අමුත්තන්ට ගෞරව කරනවා කියලා පෙන්නන්නත් ඔයාලට පුළුවන්.

විවාහ ගිවිසගෙන ඉන්න යුවළක් එයාලාගේ විවාහ උත්සවයේදී කරන්න සැලසුම් කරපු දේවල් එයාලට උදව් කරන යාළුවෝ කීපදෙනෙක් එක්ක කතා කරනවා. සහෝදරයාගේ අතේ තියෙන ටැබ් එකෙන් පෙන්නන්නේ සාදයට එන අය ඉඳගන්න විදිහ ගැන කරලා තියෙන සැලැස්මයි.

කලින්ම සැලසුම් කළොත් හැම දේම හොඳට වෙයි (18 ඡේදය බලන්න)


19. විවාහයෙන් පස්සේ තියෙන සාදය සැලසුම් කරපු විදිහටම ගෞරවනීයව තියාගන්න ඔයාලට උදව් වෙන්නේ මොනවාද?

19 එන්න පුළුවන් ප්‍රශ්න ගැන කලින්ම හිතනවා නම් ඒවා මඟහැර ගන්න පියවර ගන්න ඔයාලට පුළුවන්. (හිතෝ. 22:3) උදාහරණෙකට ඔයාලාගේ පැත්තේ සාමාන්‍යයෙන් ආරාධනා කරන්නෙත් නැතුව සාදයට කට්ටිය එනවා නම් ඒ වගේ දෙයක් වළක්වගන්න මොනවාද කරන්න ඕනෙ කියලා කලින්ම හිතන්න. සත්‍යයේ නැති නෑදෑයන්ව හම්බ වෙලා විවාහ උත්සවයේ දේවල් සිද්ධ වෙන විදිහ, ඒ පැත්තේ තියෙන සමහර චාරිත්‍ර ගැන ඔයාලා හිතන විදිහ එයාලට පැහැදිලි කරන්න. jw.org එකේ තියෙන “යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ විවාහ උත්සවයකදී සිද්ධ වෙන්නේ මොනවාද?” කියන ලිපියත් එයාලට පෙන්නන්න. ඔයාලට කරන්න පුළුවන් තව දෙයක් තමයි විවාහ “උත්සවයේ වැඩකටයුතු බලාගන්න” අවබෝධයෙන් වැඩ කරන සහෝදරයෙක්ව පත් කරන එක. (යොහ. 2:8) ඔයාලාගේ සැලසුම් මොනවාද කියලා පැහැදිලිවම එයාට කිව්වොත් එයාට පුළුවන් ඒ විදිහටම ගෞරවනීයව උත්සවයේ වැඩකටයුතු දිගටම වෙනවාද කියලා බලන්න.

20. යුවළක් එයාලාගේ විවාහ උත්සවය ගැන මතක තියාගන්න ඕනෙ මොකක්ද?

20 විවාහ උත්සවය සැලසුම් කරන එක ගැන හිතද්දී ඔයාගේ ඔළුවට බරක් දැනෙයි. හැබැයි මතක තියාගන්න ඒක ඔය දෙන්නා අත්වැල් බැඳගෙන යෙහෝවාට සේවේ කරන්න යන දිගු ගමනේ ආරම්භය විතරයි. ඔයාලාගේ විවාහ උත්සවය චාම් විදිහට, ගෞරවනීයව කරන්න ඔයාලට පුළුවන් හැම දේම කරන්න. යෙහෝවා මත විශ්වාසේ තියන්න. ඔහුගේ මඟ පෙන්වීමෙන් ඔයාලට පුළුවන් ලස්සන විවාහ උත්සවයක් සැලසුම් කරන්න. එහෙම කළොත් ඒක කවදාවත් පසුතැවිලි වෙන්න වෙන්නේ නැති, ලස්සන මතකයන්ගෙන් පිරුණු දවසක් කරගන්න ඔයාලට පුළුවන් වෙයි.—ගීතා. 37:3, 4.

ඔයාගේ උත්තරේ මොකක්ද?

  • යුවළක් එයාලා විවාහ වෙන දවසේදී යෙහෝවාව ගෞරවයට පත් කරන්න ඕනෙ ඇයි?

  • විවාහ උත්සවය සතුටින් පිරුණු, ගෞරවනීය එකක් කියලා ස්ථිර කරගන්න යුවළකට පුළුවන් කොහොමද?

  • විවාහ උත්සවය චාම්ව, සරල විදිහට තියාගන්න එකෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද?

ගීතිකාව 107 ප්‍රේමයේ උතුම්ම ආදර්ශය

a පැහැදිලි කිරීමක්: හුඟක් රටවල්වල විවාහ උත්සවයක් කියන්නේ යුවළක් දෙවියන් ඉස්සරහා දෙන්නාට දෙන්නා විවාහ පොරොන්දු දෙන අවස්ථාවයි. සමහරු ඒකෙන් පස්සේ සාදයක් තියන්න තීරණේ කරනවා. ඒත් තවත් සමහර රටවල්වල දෙන්නෙක් විවාහ වෙද්දී ඒ වෙනුවෙන් උත්සවයක්වත් සාදයක්වත් පවත්වන්නේ නැහැ. එහෙම වුණත් විවාහ වෙන දවසේ ඒ දෙන්නා බයිබල් ප්‍රතිපත්තිවලට අනුව දේවල් කරන්න ඕනේ.

b විවාහයකදී සිද්ධ වෙන නීතිමය කාරණා ගැන ක්‍රිස්තියානීන් හිතන්නේ මොනවාද කියලා දැනගන්න 2006 ඔක්තෝබර් 15 ‘මුරටැඹ’ සඟරාවේ “දෙවි සහ මිනිසුන් ඉදිරියෙහි සිදු කරන ගෞරවනීය විවාහයන්” කියන ලිපිය බලන්න.

c jw.org එකේ තියෙන ‘මත්පැන් මං පිළිගන්වන්න ඕනෙද?’ කියන වීඩියෝ එක බලන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න