ප්‍රශ්න පෙට්ටිය
◼ යුවළක් තම විවාහය රාජ්‍ය ශාලාවේ සිදු කිරීමට කැමැත්තෙන් සිටිනවා නම් ඔවුන් වැඩිමහල්ලන් සමඟ සාකච්ඡා කළ යුත්තේ මොනවාද?
බයිබලයේ සඳහන් ප්‍රතිපත්තිවලට එකඟව විවාහයක් සැලසුම් කරන විට ඉන් දෙවිට මහත් ගෞරවයක් ලැබෙනවා. විවාහ උත්සවය පවත්වන්නේ රාජ්‍ය ශාලාවක නම් අප ඒ ගැන විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතුයි. ඊට හේතුව රාජ්‍ය ශාලාවේ යම් රැස්වීමක් හෝ උත්සවයක් පවත්වන විට එය ආගමික කටයුත්තක් ලෙස ජනයා දකින නිසයි. මේ නිසා රාජ්‍ය ශාලාවේ එවැනි උත්සවයක් පවත්වන විට “සියල්ල විනීතවද පිළිවෙළකටද සිදු” විය යුතුයි. (1 කොරි. 14:40) එයින් පැහැදිලි වන්නේ යම් යුවළක් තම විවාහ උත්සවය පැවැත්වීමට රාජ්‍ය ශාලාව ඉල්ලා සිටින විට සභාවේ වැඩිමහල්ලන් ඔවුන් සමඟ ඊට අදාළ කාරණා සාකච්ඡා කිරීම සුදුසු බවයි.
යුවළක් රාජ්‍ය ශාලාවේ තම විවාහය සිදු කිරීමට කැමති නම් එයට අවසර ඉල්ලා එම ශාලාවේ රැස්වීම් පවත්වන සභාවක සේවා කමිටුවට ලිඛිතව දැනුම් දිය යුතුයි. එම ලිපිය කල් වේලා ඇතුව භාර දිය යුතු අතර රාජ්‍ය ශාලාව භාවිත කරන දිනය හා වේලාව එහි සඳහන් කළ යුතුයි. විවාහ උත්සවය පැවැත්වීමට ඉඩ සලසා දෙමින් රැස්වීම් පවත්වන වේලාවන් වෙනස් නොකරන බව ඔවුන් මතක තබාගත යුතුයි. ඊට අමතරව මනාලයා හා මනාලිය බයිබල් ප්‍රතිපත්තිවලට එකඟව ජීවත් වන අය විය යුතුයි.
යෙහෝවා දෙවිව ගෞරවයට පත් වන ආකාරයෙන් තම විවාහය සිදු කිරීමට නම් විවාහ සැලසුම් ගැන අවසන් තීරණය ගැනීමට පෙර ඒ පිළිබඳව සේවා කමිටුව සමඟ සාකච්ඡා කළ යුතුයි. වැඩිමහල්ලන් තමන්ගේ පෞද්ගලික කැමැත්තට අනුව විවාහ උත්සවය හා සම්බන්ධ සැලසුම් වෙනස් නොකළත් යම් සැලසුම්වලට ඔවුන්ට එකඟ විය නොහැකි නම් ඒවා වෙනස් කරගත යුතුයි. රාජ්‍ය ශාලාවේදී සංගීතය යොදාගන්නවා නම් එය කිංඩම් මෙලඩීස් තැටිවලින් හෝ අපගේ ගීතිකා පොතෙන් තෝරාගත් ඒවා විය යුතුයි. රාජ්‍ය ශාලාවේ කරන සැරසිලිවලට හෝ එහි පුටු සකස් කරන ආකාරය වෙනස් කිරීමට සේවා කමිටුවෙන් අනුමත කරගත යුතුයි. විවාහ උත්සවය ඡායාරූපගත හෝ වීඩියෝගත කරනවා නම් මේ අවස්ථාවේ ගෞරවයට හානියක් නොවන අයුරින් එය කළ යුතුයි. සභාවේ කටයුතුවලට බාධාවක් නොවන වේලාවක විවාහ උත්සවයේ යම් පෙරහුරු කිරීම් සඳහා අවසර දීමට වැඩිමහල්ලන්ට හැකියි. රාජ්‍ය ශාලාවේ දැන්වීම් පුවරුවේ විවාහ ආරාධනා පත් නොදැමිය යුතුයි. කෙසේවෙතත් රාජ්‍ය ශාලාවේ විවාහයක් පැවැත්වෙන බව දන්වමින් සේවා රැස්වීමේදී කෙටි නිවේදනයක් කිරීමට වැඩිමහල්ලන්ට හැකියි.
මනාලයාගේ යහළුවන් හා මනාලියගේ යෙහෙළියන් බව්තීස්ම වූ අය වීම අවශ්‍ය නැහැ. නමුත් ඒ අයගේ ජීවන රටාව බයිබල් ප්‍රතිපත්තිවලට දැඩි සේ පටහැනි නම් හෝ ඔවුන්ගේ හැසිරීම පැමිණෙන අයට යම් ප්‍රශ්නයක් ඇති කරයි නම් එවැනි අයව සහභාගි කරවාගැනීම සුදුසු නැහැ. වැඩිමහල්ලන් දේවවචනය ගැන ඉගැන්වීමට සුදුසුකම් ලත් අය නිසා මේ වැදගත් අවස්ථාවේදී බයිබල් ප්‍රතිපත්ති අදාළ වන ආකාරය හොඳින් පැහැදිලි කිරීමට වඩා සුදුසු තත්වයක සිටියි. (1 තිමෝ. 3:2) එමනිසා වැඩිමහල්ලෙක් සිටී නම් කතාව ඉදිරිපත් කළ යුත්තේ ඔහු විසිනුයි.
වැඩිමහල්ලෙක් කතාව ඉදිරිපත් කරන විට විවාහ උත්සවය සිදු කරන ආකාරය ඔහුටද බලපාන නිසා එහි සැලසුම් කල්තියාම ඔහුට දැනුම් දිය යුතුයි. වැඩිමහල්ලා මෙම යුවළව හමු වී විවාහ වීමට පෙර ඇසුරු කළ කාලයේදී ඔවුන් දෙදෙනා හැසුරුණු ආකාරය ගැන විමසා බලයි. මෙහිදී මෙම යුවළ කිසිවක් නොසඟවා අවංකව තම හැසිරීම ගැන වැඩිමහල්ලා සමඟ කතා කරයි. මේ යුවළගෙන් කෙනෙක් කලින් විවාහ වී සිටියා නම් තමන්ට ශුද්ධ ලියවිල්ලට එකඟව හා නීතියට අනුව විවාහ වීමට කිසිම බාධාවක් නැති බව තහවුරු කළ යුතුයි. (මතෙ. 19:9) මෙහිදී කතාව ඉදිරිපත් කරන වැඩිමහල්ලාට දික්කසාද සහතිකයේ පිටපතක් පෙන්වීමද අවශ්‍ය විය හැකියි.
යුවළ වැඩිමහල්ලන් සමඟ සෑම දෙයක් ගැනම සාකච්ඡා කර ඔවුන් සමඟ සහයෝගයෙන් දේවල් සැලසුම් කරන විට විවාහ උත්සවය සියලුදෙනාටම ප්‍රීතිමත් අවස්ථාවක් වෙයි.—හිතෝ. 15:22; හෙබ්‍රෙ. 13:17.