‘ඔහු පුරුෂයාද ස්ත්‍රියද කොට ඔවුන් මැව්වා’
‘දෙවි තමන් ස්වරූපයෙන් මනුෂ්‍යයා මැව්වේය, දෙවිගේ ස්වරූපයෙන් ඔහු මැව්වේය; පුරුෂයාද ස්ත්‍රියද කොට ඔවුන් මැව්වේය.’—උත්පත්ති 1:27.
1. ක්‍රිස්තියානි ස්ත්රීන්ට හා පුරුෂයන්ට සත්‍යය කොහොමද ආශීර්වාදයක් වෙන්නේ?
යෙහෝවාගේ ජනයා අතර සිටීමත්, දෙවිට ප්‍රේම කිරීම හා කීකරු වීම තම ජීවිතයේ පළමු තැනට තබන පුරුෂයන් හා ස්ත්‍රීන් මෙන්ම, පිරිමි හා ගැහැනු ළමුන් සමඟ ඇසුරු කිරීමත් මොනතරම් ප්‍රසන්න දෙයක්ද! ඒ වගේම, යෙහෝවා දෙවි අප්‍රසන්න කරවන ආකල්ප සහ හැසිරීමෙන් සත්‍යය අපිව නිදහස් කරන අතර, ක්‍රිස්තියානීන් ජීවත් විය යුතු ආකාරයත් අපිට උගන්වනවා. (යොහන් 8:32; කොලොස්සි 3:8-10) උදාහරණයක් හැටියට, පුරුෂයන් තම පිරිමි ගතියත්, ස්ත්‍රීන් තම ගැහැනු ගතියත්, ප්‍රකාශ කළ යුතු ආකාරය ගැන හැම තැනකම සිටින ජනයාට විවිධාකාර සම්ප්‍රදායන් හෝ සංකල්ප තියෙනවා. පුරුෂයන් පිරිමි ගති ඇතුවත්, ස්ත්‍රීන් ගැහැනු ගති ඇතුවත් ඉපදී සිටීම විතරද මෙයට ඇතුළත් වෙන්නේ? එහෙම නැත්නම් සැලකිල්ලට ගත යුතු තවත් සාධක තියෙනවාද?
2. (අ) පිරිමි ගතිය සහ ගැහැනු ගතිය පිළිබඳ අපේ දෘෂ්ටිය මොනවයින්ද තීරණය විය යුත්තේ? (ආ) ස්ත්‍රී පුරුෂභාවය පිළිබඳ මතවලට සිදු වෙලා තියෙන්නේ මොනවද?
2 ක්‍රිස්තියානීන් වශයෙන් අපි මොනම ආකාරයේ පෞද්ගලික, සංස්කෘතික හෝ සම්ප්‍රදායික මතයන් ඇතුව සිටියත්, අපි යටත් වන අධිකාරය තමයි, දේවවචනය වන බයිබලය. (මතෙව් 15:1-9) පිරිමි හා ගැහැනු ගතිවල හැම පැත්තක් ගැනම සම්පූර්ණ විස්තරයක් බයිබලයෙහි නැහැ. ඒ වෙනුවට, විවිධ සංස්කෘතීන්වල අපිට දකින්න ලැබෙන පරිදි, එයින් විවිධත්වය සඳහා ඉඩ කඩ සැලසෙනවා. දෙවි මැවූ පරිද්දෙන්ම සිටින්න නම්, පුරුෂයන් පිරිමි ගති ඇතුවත්, ස්ත්‍රීන් ගැහැනු ගති ඇතුවත් සිටිය යුතුයි. ඒ ඇයි? පුරුෂයා හා ස්ත්‍රිය කායිකව එකිනෙකාගේ අවශ්‍යතා පූර්ණ කරන්න සාදා තියෙනවාට අමතරව, ඔවුන් මූලිකවම පිරිමි හා ගැහැනු ගතිගුණ තුළින් එකිනෙකාගේ අවශ්‍යතා පූර්ණ කිරීම අදහස් කළ නිසයි. (උත්පත්ති 2:18, 23, 24; මතෙව් 19:4, 5) ඒත්, ස්ත්‍රී පුරුෂභාවය පිළිබඳ අදහස් නීචකර වී, කණපිට පෙරළී තියෙනවා. පිරිමි ගතිය කියන්නේ පරුෂ ආධිපත්‍යය, රළුබව නැතහොත් අනවශ්‍ය ලෙස පෞරුෂත්වය විදහාපෙන්වීම බව බොහෝදෙනෙක් හිතනවා. ඇතැම් සංස්කෘතීන්වල, පුරුෂයෙක් ප්‍රසිද්ධියේ නැතහොත් තනිව අඬන එක දුර්ලභ මෙන්ම නින්දාසහගත දෙයක් වෙනවා. ඒත්, ලාසරුස්ගේ සොහොන අසල සෙනඟ අතර සිටිද්දී, ‘යේසු ඇඬුවා.’ (යොහන් 11:35) පරිපූර්ණ පිරිමි ගතියක් තිබුණු යේසු සඳහා මෙය අයෝග්‍ය දෙයක් වුණේ නැහැ. අදදින බොහෝදෙනෙක් ගැහැනු ගතිය ගැන අසමබර වෙලා තියෙනවා; එය කායික හා ලිංගික ආකර්ෂණීයභාවයට පමණක් සීමා වී තියෙන බව ඔවුන් සිතාගන්නවා.
සැබෑ පිරිමි ගතිය සහ සැබෑ ගැහැනු ගතිය
3. පුරුෂයන් සහ ස්ත්‍රීන් එකිනෙකාට වඩා වෙනස් වෙන්නේ කොහොමද?
3 සැබෑ පිරිමි ගතිය සහ සැබෑ ගැහැනු ගතිය කියන්නේ මොකක්ද? ද ව’ල්ඩ් බුක් එන්සයික්ලොපීඩියා කියන විශ්වකෝෂය මෙහෙම කියනවා: “පුරුෂයන් හා ස්ත්‍රීන් වැඩිහරියක් ශරීර සැකැස්මෙන් විතරක් නොව, හැසිරීමෙන් හා රුචි අරුචිකම් අතින්ද එකිනෙකාට වඩා වෙනස්. මෙම වෙනස්කම් සමහරක් ජෛවීය ලෙස තීරණය වී තියෙනවා. . . . ඒත් ශරීර සැකැස්ම මත පදනම් නොවන වෙනස්වීම් බොහොමයක් පෙනෙන ප්‍රකාරයට පදනම්ව තියෙන්නේ සෑම පුද්ගලයෙක්ම ඉගෙනගන්න ලිංගික ක්‍රියා පටිපාටිය මතයි. මිනිසුන් පුරුෂයන් හෝ ස්ත්‍රීන් වශයෙන් ඉපදුණත්, ඔවුන් පිරිමි හෝ ගැහැනු ගති දක්වන්න ඉගෙනගන්නවා.” අපේ ප්රවේණි සැකැස්ම බොහෝ දේවලට හේතුකාරකය වෙන්න ඉඩ තිබුණත්, නිසි ලෙස පිරිමි හෝ ගැහැනු ගතිය වර්ධනය කරගැනීම රඳා පවතින්නේ දෙවිට ඕනෑ කරන දේ ඉගෙනීම සහ අපි ජීවිතයේ අත් කරගැනීමට පෞද්ගලිකව තෝරාගන්නා දේවල් මතයි.
4. පුරුෂයාට සහ ස්ත්‍රියට හිමි වැඩකොටස ගැන බයිබලය හෙළි කරන්නේ මොකක්ද?
4 ආදම්ගේ වැඩකොටස තම භාර්යාවගේ හා දරුවන්ගේ හිස වශයෙන් පෙරමුණ ගැනීම බව බයිබල් ඉතිහාසය හෙළි කරනවා. පොළොව පූර්ණ කොට එය යටත් කරගැනීමටත් පොළොවේ හැම පහත් මැවිල්ලක්ම පාලනය කිරීමට වූ දෙවිගේ කැමැත්තට එකඟව කටයුතු කරන්නත් ඔහුට තිබුණා. (උත්පත්ති 1:28) ස්ත්‍රියක් ලෙස ඒවට හිමි පවුලේ වැඩකොටස වූයේ ආදම්ට “සහකාරියක්” මෙන්ම “අනුපූරකයක්” [NW] වීමයි; ඒ කියන්නේ ඇය ඔහුගේ මූලිකත්වයට යටත් වී, ඒ දෙදෙනාටම දෙවි ප්‍රකාශ කළ අරමුණ ඉටු කිරීමට ඔහුට සහයෝගය දක්වන්නයි තිබුණේ.—උත්පත්ති 2:18; 1 කොරින්ති 11:3.
5. පුරුෂයා සහ ස්ත්‍රිය අතර සබඳතාව හානියට ලක් වුණේ කොහොමද?
5 ඒත් ආදම් තම වගකීමට එකඟව ජීවත් වුණේ නැති අතර, ඒව තමාගේ ගැහැනු ගතිය පොලඹවනසුලු ආකාරයකින්, දෙවිට අකීකරු වෙන්න ආදම්ව අසු කරගැනීම සඳහා යොදාගත්තා. (උත්පත්ති 3:6) වැරදියි කියලා තමා දැනසිටි දෙයක් කරන්න නැඹුරු වීමෙන්, ආදම් සැබෑ පිරිමි ගතිය පෙන්වීමට අසමත් වුණා. තම පියා මෙන්ම මැවුම්කරු කියූ දේ වෙනුවට, මුළා වූ තම කලත්‍රයාගේ වචනය පිළිගැනීමට ඔහු දුර්වලව තෝරාගත්තා. (උත්පත්ති 2:16, 17) යෙහෝවා කලින් දැන සිටි අකීකරුකමේ ප්රතිවිපාකය මුල් යුවළ වැඩි කල් නොගොස් අද්දකින්න පටන්ගත්තා. මුලදී උනන්දුවෙන් පිරුණු කාව්‍යමය වචනවලින් තම භාර්යාව විස්තර කළ ආදම්, පස්සේ ‘ඔබ දුන් ස්ත්‍රී’ වශයෙන් හැඟීමක් නැතුව ඇයට යොමු දැක්වූවා. ඔහුගේ අසම්පූර්ණකම ඔහුගේ පිරිමි ගතිය පලුදු කළ අතර, එය වැරදි විදිහට පෙන්වන්න හේතුවක් වුණා; ප්‍රතිඵලයක් වශයෙන් ඔහු තම භාර්යාව කෙරෙහි ‘බලපැවැත්වූවා.’ ඒ වගේම ඒවට ඇතැම්විට අධික මෙන්ම අසමබර ආකාරයකින්, තම පුරුෂයා කෙරෙහි බලවත් ‘ආශාවක්’ තිබුණා.—උත්පත්ති 3:12, 16.
6, 7. (අ) ජලගැල්මට කලින්, පිරිමි ගතියේ මොන විකෘති කර දැක්වීමද වර්ධනය වුණේ? (ආ) ජලගැල්මට කලින් තිබුණු තත්වයෙන් අපිට මොනවාද ඉගෙනගන්න පුළුවන්?
6 ජලගැල්මට කලින්, පිරිමි හා ගැහැනු ගතිය නුසුදුසු ආකාරයකින් විදහාපෑම බරපතළ ලෙස දකින්න ලැබුණා. ස්වර්ගයේ තමුන්ට හිමි නියම වාසස්ථානය අත්හැර ගිය දේවදූතයන්, මනුෂ්‍ය දූවරුන් සමඟ ලිංගික සම්බන්ධකම් පවත්වන්න මනුෂ්‍ය වෙස් ගත්තා. (උත්පත්ති 6:1, 2) පැවැත්වූ එම අස්වාභාවික සම්බන්ධකම් තුළින් පිරිමින් පමණක් උපන් බව වාර්තාවේ සඳහන් වෙනවා. එහෙම උපන් දරුවන් තම වර්ගයා බෝ කරන්න බැරි දෙමුහුන් අය බවත් හිතාගන්න පුළුවන්. අන්‍යයන්ව වැටෙන්න සලස්වන්න ඔවුන් නැඹුරු වූ බැවින්, ඔවුන් බලසම්පන්න මනුෂ්‍යයෝ, “නෙඵිලීම්” නොහොත් වැටෙන්න සලස්වන්නන් වශයෙන් ප්‍රසිද්ධ වුණා. (උත්පත්ති 6:4, NW; පාදසටහන) ඔවුන් දරුණු, ප්‍රචණ්ඩකාරි, දයානුකම්පාව විදහා නොපෙන්වූ අය බව පැහැදිලියි.
7 රූපශ්‍රීය, ශරීරයේ හැඩය, ප්‍රමාණය හෝ ශක්තිය පිරිමි හෝ ගැහැනු ගතියට දායක නොවන බව පැහැදිලියි. මනුෂ්‍ය වෙස් ගත් දේවදූතයන් බොහෝදුරට කඩවසම් වෙන්න ඇති. එමෙන්ම නෙඵිලීම්වරුන්, උසමහත ශක්තිමත් අය වූ නමුත්, ඔවුන්ගේ මානසික ආකල්පය නීචකර තත්වයක පැවතුණා. එම අකීකරු දූතයන් හා ඔවුන්ගේ දරුවන් පොළොව ලිංගික දුරාචාරයෙන් හා ප්‍රචණ්ඩකාරිත්වයෙන් පිරෙව්වා. එනිසා, යෙහෝවා එවකට පැවති ලෝකය අවසානයකට ගෙනාවා. (උත්පත්ති 6:5-7) කොහොම වුණත්, ජලගැල්ම භූතයන්ගේ බලපෑම අයින් කළේවත්, ආදම්ගේ පාපයේ ප්‍රතිඵල ඉවත් කළේවත් නැහැ. ජලගැල්මෙන් පස්සේ පිරිමි හා ගැහැනු ගතියේ නොහොබිනා පිළිබිඹු කිරීමක් නැවතත් ඉස්මතු වූ අතර, අපට යමක් ඉගෙනගන්න පුළුවන් වන හොඳ මෙන්ම නරක ආදර්ශ බයිබලයෙහි තියෙනවා.
8. සුදුසු පිරිමි ගතිය සම්බන්ධයෙන් යෝසෙප් තැබුවේ මොන කදිම ආදර්ශයද?
8 සුදුසු පිරිමි ගතිය ලෞකික ගැහැනු ගතියට මුහුණ දීම සම්බන්ධයෙන්, යෝසෙප් හා පෝතිඵර්ගේ භාර්යාව ප්‍රබල වෙනසක් ඉදිරිපත් කරනවා. කඩවසම් යෝසෙප් කෙරෙහි කාමාශාවෙන් මත් වූ පෝතිඵර්ගේ භාර්යාව ඔහුව වරදට පොලඹවාගන්න වෑයම් කළා. ඒ කාලයේදී, වේශ්‍යාකම හෝ කාමමිථ්‍යාචාරය තහනම් කරන ලිඛිත දිව්‍යමය නීතියක් තිබුණේ නැහැ. ඒත්, යෝසෙප් එම දුරාචාර ස්ත්‍රිය වෙතින් පලාගිය අතර, තමා සැබෑ දෙවිගේ මනුෂ්‍යයෙක්, ඒ කියන්නේ දෙවිගේ අනුමැතිය ඇති පිරිමි ගතිය පෙන්නන කෙනෙක් බව ඔප්පු කළා.—උත්පත්ති 39:7-9, 12.
9, 10. (අ) වස්තී බිසව තම ගැහැනු ගතිය අනිසි ලෙස යොදාගත්තේ කොහොමද? (ආ) එස්තර් අපිට සැපයුවේ ගැහැනු ගතිය සම්බන්ධයෙන් මොන කදිම ආදර්ශයද?
9 එස්තර් සහ වස්තී බිසව අතර වෙනස ස්ත්‍රීන් සඳහා කැපීපෙනෙන ආදර්ශයක් සපයනවා. තමා ඉතා ශෝභමාන බව හැඟී ගිය නිසා, අහෂ්වේරොෂ් රජු හැමවිටම ඇගේ කැමැත්තට යටත් වෙයි කියලා වස්තී සිතන්න ඇති. ඒත් අදදින විකුණන සමේ ආලේපන වර්ග බොහොමයක බලපෑම මෙන්, ඇගේ රූපශ්‍රීය මතුපිටට විතරක් සීමා වෙලා තිබුණා. ඇය තම පුරුෂයාට හා රජුට යටහත්කම දක්වන්න අසමත් වූ නිසා, ඇය තුළ විනීතකමේ හා ගැහැනු ගතියේ කනගාටුදායක අඩුවක් දක්නට ලැබුණා. රජ ඇයව ප්‍රතික්ෂේප කරලා, සැබවින්ම ගැහැනු ගති පෙන්නූ, ඇත්තටම යෙහෝවා කෙරෙහි භයක් දැක්වූ ස්ත්‍රියක්ව තම බිසව හැටියට තෝරාගත්තා.—එස්තර් 1:10-12; 2:15-17.
10 එස්තර්, අදදින ක්‍රිස්තියානි ස්ත්‍රීන් සඳහා විශිෂ්ට ආදර්ශයක් වෙනවා. ඇය “ශෝභනවූ රූපසම්පන්න තැනැත්තියක්” වුණත්, ඇය “මෘදුවූ නිශ්චලවූ ගතියක් නමැති දිරා නොයන සැරසීමෙන් යුක්තවූ සිතේ ඇතුල් මනුෂ්‍යයා” නමැති අලංකාරය විදහාපෙන්නුවා. (එස්තර් 2:7; 1 පේතෘස් 3:4) සිත් ඇදගන්නා විදිහට ඇඳ පැළඳ සිටීම වැදගත්ම දේ හැටියට ඇය සැලකුවේ නැහැ. එස්තර් උපායශීලීකම හා ආත්ම-දමනය පෙන්නූ අතර, ඇගේ හා ඇගේ සෙනඟගේ ජීවිත අනතුරෙහි තිබූ අවස්ථාවේදී පවා ඇගේ පුරුෂයා වූ අහෂ්වේරොෂ්ට යටත්කම දැක්වූවා. නිහඬව සිටීම නුවණට හුරු දෙය හැටියට පෙනී ගිය විට, එස්තර් නිහඬව සිටියත්, කතා කිරීමට අවශ්‍ය මෙන්ම යෝග්‍ය අවස්ථාව එළඹුණු විට, ඇය නිර්භීතව කතා කළා. (එස්තර් 2:10; 7:3-6) ඇගේ මේරු ඥාති සහෝදර වූ මොර්දෙකයිගේ උපදෙස් ඇය පිළිගත්තා. (එස්තර් 4:12-16) ඇය තමාගේ ජනයා සඳහා ප්‍රේමයත් පක්ෂපාතකමත් විදහාපෙන්නුවා.
පිටාතර පෙනුම
11. පිටාතර පෙනුම සම්බන්ධයෙන් ගත්තහම, අපි සිහියේ තබාගත යුත්තේ මොකක්ද?
11 යෝග්‍ය ගැහැනු ගති විදහාපෙන්වීමට යතුර මොකක්ද? මවක් මෙහෙම කිව්වා: “රූපශ්‍රීය රැවටිලි සහිතය, ශෝභනකම නිෂ්ඵලය, ප්‍රශංසාව ලැබෙන්නේ [යෙහෝවා] කෙරෙහි භය ඇති ස්ත්‍රියටය.” (හිතෝපදේශ 31:30) එබැවින් දෙවි කෙරෙහි වූ ගෞරවාන්විත බියක් අත්‍යවශ්‍ය වන අතරම, කායික රූපශ්‍රීයට වඩා ප්‍රේමනීය-කරුණාව, ප්‍රියමනාප ගතිය, විනීතකම හා මෘදු දිවක් ගැහැනු ගතියට බොහෝ සෙයින් දායක වෙනවා.—හිතෝපදේශ 31:26.
12, 13. (අ) කනගාටුදායක ලෙස, බොහෝදෙනෙක්ගේ කතා විලාසයේ මොන අංගලක්ෂණද තියෙන්නේ? (ආ) හිතෝපදේශ 11:22හි තේරුම මොකක්ද?
12 ස්ත්‍රීන් මෙන්ම පුරුෂයන් බොහෝදෙනෙක් ඔවුන්ගේ කට නුවණින් භාවිත කරන්නේ නැති එකත්, ඔවුන්ගේ දිවෙහි ප්‍රේමනීය-කරුණාව නොතිබීමත් කනගාටුවට කරුණක්. ඔවුන් පීඩාකාරි, ඇනුම්පදවලින් යුත් අසභ්‍ය හා නොසැලකිලිමත් ආකාරයකින් කතා කරනවා. සමහර පුරුෂයන් හිතන්නේ අසභ්‍ය භාෂාව පාවිච්චි කිරීම පිරිමි ගතියේ සංකේතයක් කියලයි; ඇරත් සමහර ස්ත්‍රීන් අඥාන ලෙස ඔවුන්ව අනුකරණය කරනවා. ඒත් ස්ත්‍රියකට රූපශ්‍රීය තිබුණත්, ඇයට සිහි නුවණ නැත්නම්, ඇය විවාදශීලී, අපහාස කරන නැතහොත් අහංකාර කෙනෙක් නම්, ඇය සැබවින්ම රූපශ්‍රීයෙන් යුත් කෙනෙක්, ඒ කියන්නේ සැබවින්ම ගැහැනු ගතිය ඇති කෙනෙක් වෙන්න පුළුවන්ද? “ඌරෙකුගේ හොස්සේ ලූ රන් මුදුවක් යම්සේද නුවණ නැති [සිහි නුවණින් ඉවතට හැරෙන, NW] රූපත් ස්ත්‍රියද එසේමය.”—හිතෝපදේශ 11:22.
13 රූපශ්‍රීයට, අපවිත්‍ර භාෂාව, සරදම් කිරීම හෝ සිහි නුවණේ ඌනතාව මුසු කර තියෙනවා නම්, එය පුද්ගලයෙකු විදහාදක්වන්න වෑයම් කරන ඕනෑම ගැහැනු ගතියකට විරුද්ධව දිව යනවා. ඇත්තෙන්ම, එවැනි අභක්තික හැසිරීමකින්, රූපශ්‍රීය සහිත කෙනෙකුව කැත පුද්ගලයෙක් සේ පෙනීමට සලස්වන්න පුළුවන්. කෝපාවිෂ්ට පිපිරීම්, කෑගැසීම, නැතහොත් බැණවැදීම වැනි දේවල් පුරුෂයෙකුගේ හෝ ස්ත්‍රියකගේ ශාරීරික පෙනුමට හිලව් නොවන බවත්, එමගින් එවැනි හැසිරීම යුක්තිසහගත නොකරන බවත් අපට පහසුවෙන්ම අගය කරන්න පුළුවන්. බයිබලය මත පදනම් තම කතාවෙන් හා හැසිරීමෙන් සෑම ක්‍රිස්තියානියෙකුටම, තමුන්ව දෙවි හා සෙසු මනුෂ්‍යයන් ඉදිරියෙහි සිත් ඇදගන්නාසුලු අය බවට පත් කරගත හැකි අතර, ඔවුන් එහෙම කළ යුතුයි.—එපීස 4:31.
14. පළමුවන පේතෘස් 3:3-5හි මොන වගේ අලංකාරයද පැසසුමට ලක් කර තියෙන්නේ? එමෙන්ම ඔබට ඒ ගැන හැඟෙන්නේ කොහොමද?
14 වලංගු ගැහැනු ගතිය සහ පිරිමි ගතිය ආත්මික ගුණාංග මත පදනම් වුණත්, අප අඳින ඇඳුම් සහ ඒවා අඳින විදිහත් ඇතුළුව, කායික හැසිරීම සහ පෙනුම අපි ගැන යමක් කියාපානවා. ප්‍රේරිත පේතෘස් ක්‍රිස්තියානි ස්ත්රීන්ට උපදෙස් දුන් විට, පළමු සියවසේ ඇඳුම් පැළඳුම් හා හිසකෙස් සැකසීම ඇතුළුව පෙනුම ඔප්නංවන ඇතැම් විලාස ඔහුගේ මනසේ තිබූ බවට කිසිම සැකයක් නැහැ: “නුඹලාගේ අලංකාරවීම හිසකේ ගෙතීමද ස්වර්ණාභරණ පැළඳීමද නොහොත් වස්ත්‍ර හැඳීමද යන පිටත අලංකාරය නොව, [දෙවි] ඉදිරියෙහි ඉතා අනර්ඝව තිබෙන මෘදුවූ නිශ්චලවූ ගතියක් නමැති දිරා නොයන සැරසීමෙන් යුක්තවූ සිතේ ඇතුල් මනුෂ්‍යයා වේවා. මක්නිසාද පුරාණ කාලයෙහි [දෙවි] කෙරෙහි බලාපොරොත්තුවුණ ශුද්ධවූ ස්ත්‍රීවරු තමුන්ගේ පුරුෂයන්ට යටත්ව මෙලෙස අලංකාරවුණෝය.”—1 පේතෘස් 3:3-5.
15. ක්‍රිස්තියානි ස්ත්‍රීන් යත්න දැරිය යුත්තේ තම ඇඳුමෙන් කුමක් විදහාපෙන්වන්නද?
15 ස්ත්රීන්ගේ ඇඳුම් ගැන පාවුල් දැක්වූ අදහස් අපිට 1 තිමෝති 2:9, 10හි දකින්න පුළුවන්: “ස්ත්‍රීන් ලජ්ජාවෙන් සහ විනීත භාවයෙන් යුක්තව, ඔබින වස්ත්‍ර ඇඳ, . . . දේවභක්ති නාමය දරන ස්ත්රීන්ට සුදුසුලෙස යහපත් ක්‍රියාවලින් සැරසෙනවාට කැමැත්තෙමි.” සිහි ඇතුව සිටීම පිළිබිඹු කරන විනීතභාවය සහ ඔබින ලෙස ඇඳ පැළඳ සිටීමේ අවශ්‍යතාව ඔහු එහිදී අවධාරණය කළා.
16, 17. (අ) අදදින ස්ත්‍රීන් සහ පුරුෂයන් බොහෝදෙනෙක් ඇඳුම් පැළඳුම් වැරදි විදිහට භාවිත කරලා තියෙන්නේ කොහොමද? (ආ) ද්විතීය කථාව 22:5හි තියෙන අවවාදයට අනුව අපි මොන නිගමනයටද එළඹිය යුත්තේ?
16 පුරුෂයෙක් හෝ ස්ත්‍රියක්, පිරිමි ළමයෙක් හෝ ගැහැනු ළමයෙක් කාමුක විදිහට හැසිරෙනවා නම් හෝ ඇඳ පැළඳ සිටිනවා නම්, එය සැබෑ පිරිමි හෝ ගැහැනු ගතිය උසස් කරන්නේ නැහැ; ඇරත් එය නිසැකවම දෙවිට ගෞරවය ගෙන දෙන්නෙත් නැහැ. ලෝකයේ ජනයා ඇඳුමෙන් සහ හැසිරීමෙන් පුරුෂ හෝ ස්ත්‍රී ලිංගිකත්වය ප්‍රදර්ශනය කරන්න අන්තයටම යනවා. වෙනත් අය දුරාචාරමය පරමාර්ථ ඇතුව පිරිමි හා ගැහැනු පක්ෂ අතර වෙනස බොඳ කරනවා. බයිබලය දෙවි සිතන විදිහ හෙළි කිරීම ගැන ක්‍රිස්තියානීන් වන අපිට කොතරම් ස්තුතිවන්ත විය හැකිද! යෙහෝවා පුරාණ ඉශ්රායෙල්ට මෙහෙම ප්‍රකාශ කළා: “ස්ත්‍රියෙකු විසින් පුරුෂයෙකුගේ ඇඳුමක්වත් පුරුෂයෙකු විසින් ස්ත්‍රියෙකුගේ වස්ත්‍රයක්වත් නොහැඳිය යුතුය. මක්නිසාද මෙසේ කරන කවරෙක් නුමුත් නුඹේ දෙවිවූ [යෙහෝවාට] පිළිකුලක්ය.”—ද්විතීය කථාව 22:5.
17 මේ ගැන 1990 මාර්තු 1 මුරටැඹ කලාපය 14වන පිටුවෙහි පැවසූ දෙයක් ආපසු සලකා බැලීමෙන් ඔබ යම් තෘප්තියක් ලබනවාට කිසි සැකයක් නැහැ: ‘මෙහි ඇති ප්රශ්නය නම්, යම් විලාසිතාවක් කාලයට වඩාත් ගැළපෙනවාද කියන එක නොව, නමුත් දෙවිගේ සේවකයෙකුයයි කියා සිටින කෙනෙක්ට එය යෝග්‍යද කියන එකයි. (රෝම 12:2; 2 කොරින්ති 6:3) ඇඳුම් අපිළිවෙළකට හෝ ඇඟට හිර වෙන විදිහට සකස් වී තිබෙනවා නම්, එය අපේ පණිවිඩයට ලැබිය යුතු ගෞරවය අහිමි කරවනවා. පුරුෂයන්ට ගැහැනු ගතියක් නැතහොත් ස්ත්රීන්ට පිරිමි ගතියක් අශෝභන ලෙස ආරූඪ කරවන විලාසිතා නුසුදුසු බවට කිසිම සැකයක් නැහැ. (ද්විතීය කථාව 22:5, සසඳන්න.) ඇත්තෙන්ම, කාලගුණය, වෘත්තීය අවශ්‍යතා ආදිය අනුව දේශීය සිරිත වෙනස් වෙනවා; එනිසා ලෝක ව්‍යාප්ත සහෝදරත්වයටම අදාළ වන දැඩි නීති ක්‍රිස්තියානි සභාව පනවන්නේ නැහැ.’
18. ඇඳුම් සහ හිසකෙස් සැකසීම ඇතුළුව පෙනුම ඔප්නැංවීම ගැන බයිබලයේ තියෙන උපදෙස් අදාළ කරද්දී, අපිට ගත හැකි පියවරවල් මොනවාද?
18 මොනතරම් සමබර හා යෝග්‍ය උපදෙස්ද! ඒත් ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම අයත් ඇතැම් ක්‍රිස්තියානීන්, යෙහෝවා හා ක්‍රිස්තියානි සභාවට බලපාන විදිහ තකන්නේ නැතුව, ඇඳුම් පැළඳුම් හා හිසකෙස් සැකසීම ඇතුළුව පෙනුම ඔප්නැංවීම සම්බන්ධයෙන් ලෝකය දිරිගන්වන ඕනෑම දෙයක් අන්ධයන් වගේ අනුගමනය කරන එක කනගාටුවට කරුණක්. අපි ලෝකයේ කල්පනාවට හසු වී තියෙනවාද කියලා බලන්න අපි එකිනෙකාට ආත්ම-සෝදිසියක් කරගන්න පුළුවන්. එහෙම නැත්තං, ගරු කළ හැකි, අද්දැකීම් තියෙන සහෝදරයෙක් හෝ සහෝදරියක් ළඟට ගොස්, අපේ ඇඳුම් පැළඳුම්වල විලාසය සම්බන්ධයෙන් යම් වෙනස්කම් කරන්න ඕනෙදැයි ඔවුන්ගෙන් අදහස් විමසා, එම යෝජනා බැරෑරුම් ලෙස සැලකිල්ලට ගන්න අපිට පුළුවන්.
ක්‍රිස්තියානි පුරුෂයන් සහ ස්ත්‍රීන්—සැබෑ පුරුෂයන් සහ ස්ත්‍රීන්
19. අපි සටන් කළ යුත්තේ මොන නොහොබිනා බලපෑම් සමඟද?
19 මේ ලෝකයේ දෙවියා සාතන් නමැති යක්ෂයා වන අතර, ස්ත්‍රී පුරුෂභාවය සම්බන්ධයෙන් තියෙන වියවුලෙන් ඔහුගේ බලපෑම දකින්න පුළුවන්. ඒකත් ඇඳුම් පැළඳුම්වලට විතරක්ම සීමා වුණ එකක් නෙවෙයි. (2 කොරින්ති 4:4) සමහරක් රටවල බයිබල් ප්‍රතිපත්ති සම්පූර්ණයෙන්ම නොසලකා හරිමින්, බොහෝ ස්ත්‍රීන් මූලිකත්වය ගන්න පුරුෂයන් එක්ක තරඟ වදිනවා. අනික් අතට, ආදම් කළාක් මෙන්, බොහෝ පුරුෂයන් මූලිකත්වය හා සම්බන්ධ තම වගකීම් පැහැරහරිනවා. ජීවිතයේ තමාට හිමි ලිංගික ක්‍රියාකලාපය එකකින් තවෙකකට වෙනස් කරන්න පවා වෑයම් කරන අයත් සිටිනවා. (රෝම 1:26, 27) දෙවිගේ අනුමැතිය තියෙන විකල්ප ජීවන රටාවන් බයිබලය ඉදිරිපත් කරන්නේ නැහැ. එමෙන්ම ක්‍රිස්තියානීන් වෙන්න කලින්, තම අනන්‍යතාව හා ලිංගික මනාපයන් ගැන යමෙකුට යම් වියවුලක් තිබුණා නම්, පුරුෂයන් හා ස්ත්‍රීන් සඳහා දෙවිගේ ප්‍රමිතියට අනුව ජීවත් වීම තම සදාකාල යහපතට බව ඔවුන්ට විශ්වාස කරන්න පුළුවන්; ඒ ප්‍රමිතිය මිනිස් පරිපූර්ණත්වය අත් කරගන්නා සියලුදෙනාම ඒකාන්තයෙන්ම අගය කරාවි.
20. පිරිමි ගතිය සහ ගැහැනු ගතිය පිළිබඳ අපේ අදහසට ගලාති 5:22, 23 කොහොමද බලපෑ යුත්තේ?
20 ක්‍රිස්තියානි පුරුෂයන් හා ස්ත්‍රීන් දෙවිගේ ආත්මයේ ඵලදාව, ඒ කියන්නේ ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, බොහෝ-ඉවසිලිවන්තකම, කරුණාව, යහපත්කම, ඇදහිල්ල, මෘදුකම හා ආත්ම-දමනය වර්ධනය කරගත යුතු බව ශුද්ධ ලියවිලි පෙන්වනවා. (ගලාති 5:22, 23, NW) දෙවිගේ මහත් ප්‍රඥාව හේතුකොටගෙන, ආත්මයේ ඵලදාව වගා කිරීමෙන් පුරුෂයන්ට තම පිරිමි ගතියත් ස්ත්රීන්ට තම ගැහැනු ගතියත් දියුණු කරගන්න ඔහු ඉඩ ප්‍රස්තාව සැලසුවා. ආත්මයේ ඵලදාව විදහාපාන පුරුෂයෙකුට ගරු කරන්න ලෙහෙසි වන අතර, එහෙම කරන ස්ත්‍රියකට ප්‍රේමය දක්වන්න ලෙහෙසියි.
21, 22. (අ) ජීවන රටා සම්බන්ධයෙන් යේසු තැබුවේ මොන ආදර්ශයද? (ආ) යේසු තම පිරිමි ගතිය විදහාපෙන්වූයේ කොහොමද?
21 මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා යේසුස් ක්‍රිස්තුස්. එමෙන්ම සියලුම ක්‍රිස්තියානීන් අනුකරණය කළ යුත්තේ ඔහුගේ ජීවන රටාවයි. (1 පේතෘස් 2: 21-23) යේසු කළාක් මෙන්, ස්ත්‍රී පුරුෂ දෙපිරිසම දෙවි ඉදිරියෙහි පක්ෂපාතකම රැකිය යුතු අතර ඔහුගේ වචනයට කීකරු විය යුතුයි. යේසු ප්‍රේමය, මෘදුකම හා දයාව වැනි විශිෂ්ට ගුණාංග විදහාපෙන්නුවා. සැබෑ ක්‍රිස්තියානීන් වශයෙන්, අපි ඔහුගේ ගෝලයන් බව ඔප්පු කිරීම සඳහා ඔහුව අනුකරණය කිරීම අපෙන් අපේක්ෂා කරනවා.—යොහන් 13:35.
22 යේසුස් ක්‍රිස්තුස් සැබෑ පුරුෂයෙක් වුණ අතර, ශුද්ධ ලියවිල්ලේ දක්වා තියෙන ඔහුගේ ජීවිත වාර්තාව අධ්‍යයනය කිරීමෙන් අපට ඔහුගේ පිරිමි ගතිගුණ පැහැදිලිව දැකගන්න පුළුවන්. කිසිදාක විවාහ නොවුණත්, ඔහු ස්ත්‍රීන් සමඟ සමබර සබඳතාවක් භුක්ති වින්ද බව බයිබලය පෙන්නුම් කරනවා. (ලූක් 10:38, 39) පුරුෂයන් හා ස්ත්‍රීන් සමඟ ඔහු පැවැත්වූ සබඳතා සැමවිටම පිරිසිදු හා ගරුකටයුතු තත්වයක තිබුණා. ඔහු පිරිමි ගතිය සම්බන්ධයෙන් පරිපූර්ණ ආදර්ශය වෙනවා. තම දේවපිරිමි ගතිය හා යෙහෝවාට වූ විශ්වාසවන්තකම සොරාගැනීමට, ඔහු ස්ත්‍රීන්, පුරුෂයන් හෝ අකීකරු දූතයන් ඇතුළු කිසිම කෙනෙකුට ඉඩ දුන්නේ නැහැ. ඔහු තම වගකීම් පිළිගන්න අදි මදි නොකළ අතර, එහෙම කළේ මැසිවිලි කියන්නේ නැතුවයි.—මතෙව් 26:39.
23. පුරුෂ සහ ස්ත්‍රී පක්ෂවල ක්‍රියාකලාපය ගත්තහම, සැබෑ ක්‍රිස්තියානීන්ට විශේෂ ලෙස ආශීර්වාද කර ඇත්තේ කොහොමද?
23 යෙහෝවාගේ ජනයා අතර සිටීමත්, යෙහෝවා දෙවිට ප්‍රේම කිරීම හා කීකරු වීම තම ජීවිතයේ පළමු තැනට තබන පුරුෂයන් හා ස්ත්‍රීන් මෙන්ම, පිරිමි හා ගැහැනු ළමුන් සමඟ ඇසුරු කිරීමත් මොනතරම් ප්‍රසන්න දෙයක්ද! දෙවිගේ වචනයට කීකරු වීමෙන් අපි කොටු වෙලා නැහැ. ඒ වෙනුවට, පුරුෂ හා ස්ත්‍රී පක්ෂවල අලංකාරය, අරමුණ හා එම පක්ෂවලට හිමි පැහැදිලි ක්‍රියාකලාපය පහත් කරන මෙම ලෝකයෙන් හා එහි මාර්ගවලින් අපිව නිදහස් කර තියෙනවා. අපි පුරුෂයන් හෝ ස්ත්‍රීන් හෝ වේවා, දෙවි ජීවිතයේ අපට නියම කර තියෙන තත්වයට එකඟව කටයුතු කිරීමෙන් ලබන නියම සන්තෝෂය අපිට අද්දකින්න පුළුවන්. ඔව්, මැවුම්කාර යෙහෝවා දෙවි අප උදෙසා දී තියෙන සියලුම ප්‍රේමනීය සැපයුම් වෙනුවෙනුත්, අපිව පුරුෂයන් හා ස්ත්‍රීන් කොට මැවීම වෙනුවෙනුත්, අපි ඔහුට කොතරම් ස්තුතිවන්ත වෙනවාද!
කොහොමද පිළිතුරු දෙන්නේ?
◻ පුරුෂයන් සහ ස්ත්‍රීන් සඳහා බයිබලය විස්තර කරන්නේ මොන උචිත වැඩකොටස්ද?
◻ ජලගැල්මට කලින් පිරිමි ගතිය කණපිට පෙරළුණේ කොහොමද? එමෙන්ම අපේ කාලයේ එයත් ගැහැනු ගතියත් නීචකර තත්වයකට පත් වෙලා තියෙන්නේ කොහොමද?
◻ පෙනුම ගැන බයිබලය දෙන මොන උපදෙසද ඔබ අදාළ කරගන්න බලන්න අවශ්‍ය වෙන්නේ?
◻ ක්‍රිස්තියානි පුරුෂයන් සහ ස්ත්රීන්ට තමුන් සැබෑ පුරුෂයන් සහ ස්ත්‍රීන් බව ඔප්පු කළ හැක්කේ කොහොමද?
[17වන පිටුවේ පින්තූරය]
එස්තර් ශෝභමාන වුණත්, ඇයව විශේෂයෙන් මතක් වෙන්නේ ඇගේ විනීතභාවය සහ ඇගේ මෘදු වූ නිශ්චල වූ ගතිය නිසයි
[18වන පිටුවේ පින්තූරය]
හිසකෙස් සැකසීම ඇතුළුව පෙනුම ඔප්නැංවීමට සාධාරණ අවධානයක් දෙන අතරේදී, ඇතුළාන්ත අලංකාරයට වැඩි අවධානයක් යොමු කරන්න