ආශ්චර්යවත් සුව කිරීම් තවමත් සිදු වෙනවාද?
“යේසුව පිළිගෙන සුව වෙන්න!” මේ වගේ උද්යෝග පාඨ, තම අසනීපයට බෙහෙත් ගැනීම ඇදහිල්ල මදිකම ඇඟවීමක් වෙයි කියලා විශ්වාස කිරීමට එවැන්ජලිස්ත පල්ලියක සාමාජිකයෙක් වන ආලීෂන්ඩ්රට මඟ පෑදුවා. ඔහුගේ ඇදහිල්ලෙන්ම පමණක් ඔහුට අවශ්‍ය වූ ආශ්චර්යවත් සුවවීම ලැබෙන බව ඔහු ඒත්තුගත්තා. ජ්වලිතවත් කතෝලිකයෙක් වූ බෙනෙඩීටට, බ්‍රසීලයේ සාඌ පාවුලු ප්‍රාන්තයේ පිහිටි අපාරෙසිඩ ඩ නෝර්ත ශුද්ධස්ථානයේ සිදු වූ සුව කිරීමේ ආශ්චර්යයන් ගැන අහන්න ලැබුණාම, ඒ වෙත ඇගේ සිත තදින් ඇදී ගියා. ඇයට මහම්මා උගන්වා තිබුණ ජප කිරීමේ වචන කීපයක් පාවිච්චි කරමින්, රෝගීන් සුව කරන්න බලය ඉල්ලමින්, අපාරෙසිඩවල අපගේ මාතාවට, අන්තෝනි මුනින්ද්රයාට සහ වෙනත් “මුනින්ද්‍රයන්ට” බෙනෙඩීට යාච්ඤා කළා.
පෙනෙනාකාරයට, 20වන ශතවර්ෂයේ අගභාගයේදී පවා, බොහෝදෙනා ආශ්චර්යවත් සුවවීම් කෙරෙහි තවමත් විශ්වාස කරනවා—නමුත් ඒ ඇයි? අසනීපවලට, වේදනාවලට හා තම ප්රේමනීයයන්ගේ, විශේෂයෙන්ම තම දරුවන්ගේ දුක් විඳීමට සහනයක් ගෙන දෙන්න වෛද්‍යවරුන්ට වැඩි යමක් කරන්න බැරි වෙන විට සමහරු කලකිරෙනවා වෙන්න පුළුවන්. නවීන බේත් හේත්වලට යන අධික මිල ගැන කල්පනා කර බලද්දී, ඇදහිල්ලෙන් සුව කරවාගැනීමෙන් තමන්ට පාඩුවක් නොවන බව නිදන්ගත රෝගවලින් පීඩා විඳින අයට හැඟෙන්න පුළුවන්. ඒඩ්ස්, විෂාදය, පිළිකාව, උමතුව, අධිරුධිර පීඩනය හා වෙනත් බොහෝ රෝගවලින් සුවය ලබා දෙන බව ප්‍රකාශ කරන විවිධ පල්ලි සහ පුද්ගලයන්ව සමහරු රූපවාහිනියෙන් දකිනවා. ඔවුන්ට එවැනි ප්‍රකාශ කිරීම් කෙරෙහි ඇදහිල්ලක් තිබුණත්, නැතත්, ඔවුන් අන්තිම පිළියම වශයෙන් ඒ අය වෙත හැරෙන්න පුළුවන්. තමන්ගේ අසනීපය ඇති වෙලා තියෙන්නේ යක්ෂ ආත්ම මගින් කියා විශ්වාස කරන තවත් අයට, සම්මත බේත් හේත්වලට තමන්ට උපකාර කරන්න බලයක් නැති බව හැඟෙන්න පුළුවන්.
අනිත් අතට, මළාවූ “මුනින්ද්‍රයන්” හෝ ජීවත් වන සුවකරන්නන් විසින් ආශ්චර්යවත් සුව කිරීම් කරනවා කියන අදහසට තදින්ම විරුද්ධ වෙන අය මෙන්ම එය හෙළාදකින අය පවා ඉන්නවා. ෂොර්නල් ඩ ටර්ඩ පවසන පරිදි, ප්‍රතිශක්තිවේදී විශේෂඥ ඩ්රෞස්යූ වාරේල්ලට හැඟෙන්නේ, මේ විශ්වාසය “අපරීක්ෂාකාරි හා බලාපොරොත්තු බිඳ වැටුණු අයගේ ඇදහිල්ල මුළා කරන” බවයි. ඔහු තවදුරටත් මෙහෙම කියනවා: “මේ මුළාකරන්නන් නිසා, ආශ්චර්යයන් කෙරෙහි බලාපොරොත්තුව තබමින්, බොහෝදෙනා වැදගත් වෛද්‍ය ප්‍රතිකාර අත්හැර දමන්න පුළුවන්.” ඒ වගේම ද නියූ එන්සයික්ලොපීඩියා බ්‍රිටෑනිකා මෙහෙම පැහැදිලි කරනවා: “අතීතයේදී ශුද්ධස්ථානවලට හා ආගමික වතාවත්වලට අසම්මත සුව කිරීම් සම්බන්ධව තිබුණ අතර, සුදුසු තත්වයන් යටතේ ක්‍රියා කරමින් මෝහනය කිරීමේ සාමාන්‍ය ක්‍රියාවලියට එවැනි සුව කිරීම් සියල්ලම ඇතුළත් කිරීමට වෛද්‍ය විද්‍යාව නැඹුරු වෙනවා.” එනමුත්, තමන් ඇත්තෙන්ම සුව වුණේ ආශ්චර්යයකින් කියලා විශ්වාස කරන බොහෝදෙනෙක් ඉන්නවා. සුව කිරීම ඔවුන් සඳහා ක්‍රියාත්මක වුණා!
යේසුස් ක්‍රිස්තුස් “දෙවිගේ බලයෙන්” බොහෝ අවස්ථාවලදී රෝගීන් සුව කළ බව නිතර දෙවේලෙ බයිබලය කියවන අය දන්නවා. (ලූක් 9:42, 43, NW) මෙබැවින් ඔවුන් මේ විදිහට කල්පනා කරන්න ඉඩ තියෙනවා, ‘දෙවිගේ බලය තවමත් ක්‍රියාත්මක වෙමින් අදදින ආශ්චර්යවත් සුවවීම් සිදු වෙනවාද?’ එසේනම්, සුව කිරීමට දරන වෑයම් මගින්, පොරොන්දු වූ ප්‍රතිඵල ගේන්න අසමත් වෙන්නේ ඇයි? එහෙම වෙන්නේ, රෝගියාට ප්‍රමාණවත් ඇදහිල්ලක් නැති නිසාද නැත්නම් ඔහුගේ පරිත්‍යාගය එතරම් විශාල නොවන නිසාද? ක්‍රිස්තියානියෙක් වේදනාකාරි හෝ සුව කරන්ට පවා නොහැකි රෝගයකින් වේදනා විඳින විට ඔහු ආශ්චර්යවත් සුවවීමක් සෙවීම සුදුසු දෙයක්ද? තවත්, යේසු සිදු කළ ආකාරයේ නොවරදින ආශ්චර්යවත් සුව කිරීම් යළි කවදා හෝ සිදු වේවිද? මීළඟ ලිපියෙන් ඔබට මේ වැදගත් ප්‍රශ්නවලට උත්තර සොයාගන්න පුළුවන්.