“යෙහෝවා තම සෙනඟ අත්හරින්නේ නැත”
“ධර්මිෂ්ඨයාගේ පීඩා බොහෝය. නුමුත් [යෙහෝවා] ඒ සියල්ලෙන් ඔහු ගළව[න්නේය].”—ගීතාවලිය 34:19.
1, 2. (අ) යෙහෝවා තම සෙනඟට අදදින ආශීර්වාද කරන්නේ කොහොමද? (ආ) බොහෝ ක්‍රිස්තියානීන් මුහුණ දෙමින් සිටින්නේ මොනවාටද? එනිසා ඉස්මතු වන ප්‍රශ්න මොනවාද?
බයිබල් අනාවැකිවල ඉටුවීමක් වශයෙන්, යෙහෝවාගේ නමස්කාරකයන් ආත්මික පාරාදීසයක වාසය කරනවා. (2 කොරින්ති 12:1-4) යෙහෝවාගේ සාක්ෂිකරුවන් ප්‍රේමය සහ සමඟිය ගතිලක්ෂණව පවතින අන්තර්ජාතික සංගමයකට අයත් වෙනවා. (යොහන් 13:35) ඔවුන් බයිබල් සත්‍යතා පිළිබඳව ගැඹුරු මෙන්ම සමස්ත දැනුමක් භුක්ති විඳිනවා. (යෙසායා 54:13) තම ආත්මික මණ්ඩපයෙහි අමුත්තන්ව සිටීමේ වරප්‍රසාදය යෙහෝවා ඔවුන්ට දානය කරන හින්දා, ඔවුන් ඔහුට මොනතරම් කෘතඥපූර්වක වෙනවාද!—ගීතාවලිය 15:1.
2 යෙහෝවාගේ සංවිධානයෙහි සිටින හැමදෙනාම ආත්මික සමෘද්ධිය භුක්ති විඳිනවා; හැබැයි, සමහරදෙනෙක් යම් දුරකට සමාදානයෙන් සහ නිස්කලංකව ජීවත් වන අතර, වෙනත් අය මොනයම් ආකාරයකින් හෝ තාඩන පීඩන අද්දකිනවා. ක්‍රිස්තියානීන් බොහෝදෙනෙක්, දිගු කාලපරිච්ඡේදයන් පුරා ඉතා දුක්ඛදායක තත්වයන්වලට මැදි වෙලා ඉන්න අතර, ඔවුන්ට අස්වැසිල්ලක් සඳහා කිසිම බලාපොරොත්තුවක් නැති බවයි පෙනෙන්නේ. එවැනි තත්වයන් යටතේ අධෛර්යයට පත්වීම ස්වාභාවිකයි. (හිතෝපදේශ 13:12) විපත්ති දෙවිගේ අප්‍රසාදය තියෙන බවට සාක්ෂියක්ද? යෙහෝවා ඇතැම් ක්‍රිස්තියානීන්ව අත්හරින ගමන්ම, සමහර ක්‍රිස්තියානීන්ට විශේෂ ආරක්ෂාවක් සපයනවාද?
3. (අ) යෙහෝවා තම සෙනඟ අද්දකින අහිතකර තත්වයන්ට වගකිව යුතුද? (ආ) යෙහෝවාගේ විශ්වාසවන්ත නමස්කාරකයන් පවා මනුෂ්‍ය දුක් වේදනා අද්දකින්නේ ඇයි?
3 බයිබලය මෙහෙම උත්තර දෙනවා: “යමෙක් පරීක්ෂාකරනු ලබන කල: මම [දෙවිගෙන්] පරීක්ෂාකරනු ලබමියි නොකියාවා. මක්නිසාද [දෙවිට] නපුරෙන් පරීක්ෂාකරනු ලබන්ට නුපුළුවන, [ඔහුම] කිසිවෙකු පරීක්ෂානොකර[න්නේය].” (යාකොබ් 1:13) යෙහෝවා තම සෙනඟගේ ආරක්ෂකයා සහ උසුලන්නා. (ගීතාවලිය 91:2-6) “යෙහෝවා තම සෙනඟ අත්හරින්නේ නැත.” (ගීතාවලිය 94:14, NW) විශ්වාසවන්ත නමස්කාරකයන් දුක් වේදනා අද්දකින්නේ නැති බව මෙයින් අදහස් කරන්නේ නැහැ. වර්තමාන ලෝක දේවල පිළිවෙළ, සහජයෙන්ම අසම්පූර්ණ පුද්ගලයන්ගේ පාලනය යටතේ පවතිනවා. බොහෝදෙනෙක් දූෂිතයි, කිහිපදෙනෙක් ඉතා නපුරුයි. ප්‍රඥාව සඳහා ඒ කිසි කෙනෙක් යෙහෝවා දෙස බලන්නේ නැහැ. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් මනුෂ්‍යයන්ට බොහෝ දුක් වේදනා ඇති වෙනවා. යෙහෝවාගේ සෙනඟට හැමතිස්සේම මනුෂ්‍ය අසම්පූර්ණකම් සහ දුෂ්ටකමේ දුක්දායක ප්‍රතිවිපාක මඟහරින්න බැරි බව බයිබලය පැහැදිලිව පෙන්නුම් කරනවා.—ක්‍රියා 14:22.
පක්ෂපාත ක්‍රිස්තියානීන් දුක් විඳීම අපේක්ෂා කරනවා
4. මේ දුෂ්ට දේවල පිළිවෙළෙහි ජීවත් වන තාක් කල් හැම ක්‍රිස්තියානියෙකුටම අපේක්ෂා කළ හැක්කේ මොනවාද? ඒ ඇයි?
4 යේසුගේ අනුගාමිකයන් ලෝකයට අයත් නොවුණත්, ඔවුන් මේ දේවල පිළිවෙළ මධ්‍යයෙහි ජීවත් වෙනවා. (යොහන් 17:15, 16) මේ ලෝකය පිටිපස්සේ බලපවත්වන බලය වශයෙන්, සාතන්ව බයිබලයේ හෙළි කරලා තියෙනවා. (1 යොහන් 5:19) එබැවින්, කවදාහරි බැරෑරුම් ගැටලුවලට මුහුණ දෙන්න සිදු වෙයි කියලා හැම ක්‍රිස්තියානියෙකුටම අපේක්ෂා කරන්න පුළුවන්. ඒ කාරණය මනසෙහි පෙරදැරි කරගෙන ප්‍රේරිත පේතෘස් මෙහෙම කියනවා: “සිහි ඇතිව, අවදිව ඉන්න. නුඹලාගේ විරුද්ධකාරයාවූ යක්ෂයා ගොරවන සිංහයෙකු මෙන් කවරෙකු ගිලිම්දෝහෝයි සොයමින් ඔබ මොබ ඇවිදින්නේය. ලෝකයෙහි සිටින නුඹලාගේ සහෝදරයන් කෙරෙහි එම දුක්ම පැමිණෙන බව දැන, නුඹලාගේ ඇදහිල්ලෙහි ස්ථිරව සිට, යක්ෂයාට විරුද්ධව සිටින්න.” (1 පේතෘස් 5:8, 9) ඔව්, මුළු ක්‍රිස්තියානි සමාගමටම දුක් වේදනා අපේක්ෂා කරන්න පුළුවන්.
5. විශ්වාසවන්ත ක්‍රිස්තියානීන් ජීවිතයෙහි දුක්මුසු දේවල් අද්දකින බව යේසු පැහැදිලි කළේ කොහොමද?
5 අපි යෙහෝවාට ගැඹුරින්ම ප්‍රේම කරමින්, ඔහුගේ ප්‍රතිපත්තිවලට පක්ෂව සිටියත්, ජීවිතයේ දුක්මුසු දේවල් අද්දකින්න අපිට සිද්ධ වෙනවා. මතෙව් 7:24-27හි වාර්තා වී තියෙන තම උපහැරණයේදී යේසු මෙය පැහැදිලි කළා; එහිදී ඔහුගේ වචනවලට කීකරු වන අය සහ එසේ නොකරන අය අතර වෙනස පැහැදිලි කළා. ඔහු කීකරු ගෝලයන්ව සැසඳුවේ ස්ථිර පර්වතයක් මත ගෙයක් ගොඩනැඟූ නුවණ ඇති මනුෂ්‍යයෙකුටයි. ඔහුගේ වචනවලට කීකරු නොවන අයව ඔහු සමාන කළේ, වැලි මත තම ගෙය ගොඩනැඟූ මෝඩ මනුෂ්‍යයෙකුටයි. දරුණු කුණාටුවකින් පස්සේ, පර්වතය මත ගොඩනැඟූ ගෙය විතරයි ඉතිරි වෙන්නේ. නුවණ ඇති මනුෂ්‍යයාගේ ගෙය සම්බන්ධයෙන් බලද්දී, “වැසි වැස, ජලය ගලා, හුළඟ හමා, ඒ ගෙට ගැසුවේය; එය . . . නොවැටු[ණු]” බව සැලකිල්ලට ගන්න. නුවණ ඇති මනුෂ්‍යයා හැමතිස්සේම සමාදානය සහ නිස්කලංකභාවය භුක්ති විඳින්න යන බවට යේසු පොරොන්දු වුණේ නැහැ. ඒ වෙනුවට, කුණාටුවට ඔරොත්තු දෙන්න ඒ මනුෂ්‍යයාගේ ස්ථානෝචිත ප්‍රඥාව ඔහුව සූදානම් කරයි. වපුරන්නාගේ උපමාවේ ඒ හා සමාන අදහසක් ඉදිරිපත් කරලා තියෙනවා. කීකරු නමස්කාරකයන් පවා, “අවංකවූ යහපත් සිතින්” “ඉවසීමෙන් [විඳදරාගැනීමෙන්, NW] ඵලදරන්[න]” යන බව යේසු එහිදී පැහැදිලි කරනවා.—ලූක් 8:4-15.
6. ගින්නට ඔරොත්තු දෙන ද්‍රව්‍ය පිළිබඳ පාවුල්ගේ උපහැරණයේදී, ගිනිමය පරීක්ෂාවට යටත් වන්නේ කවුද?
6 කොරින්තිවරුන්ට ලියද්දී, පරීක්ෂාවලට මුහුණ දෙන්න අපිට උපකාරවත් විය හැකි ඔරොත්තු දෙන ගුණාංග තිබීමේ අවශ්‍යතාව නිදර්ශනය කිරීමට ප්‍රේරිත පාවුල් උපමාලංකාරය මුසු වූ භාෂා ශෛලියක් පාවිච්චි කළා. රන්, රිදී සහ අනර්ඝ ගල් වැනි ගින්නට ඔරොත්තු දෙන ද්‍රව්‍ය දේවභක්තික ගුණාංගවලට අනුරූප වෙනවා. (සසඳන්න හිතෝපදේශ 3:13-15; 1 පේතෘස් 1:6, 7.) අනික් අතට, මාංසික ගතිලක්ෂණ දැවෙනසුලු ද්‍රව්‍යවලට සමාන කර තියෙනවා. ඊළඟට පාවුල් මෙහෙම කියනවා: “එක් එක්කෙනාගේ කර්මාන්තය ප්‍රකාශවන්නේය. මක්නිසාද එය ගින්නෙන් එළිදරව්වන නිසා ඒ දවස තෙමේ එය ප්‍රකාශකරන්නේය; එක් එක්කෙනාගේ කර්මාන්තය කොයි ආකාරදැයි ගින්නෙන්ම ඔප්පුවන්නේය. ඒ පිට ගොඩනැගුවාවූ යම්කෙනෙකුගේ කර්මාන්තය පවතී නම්, ඔහු විපාකයක් ලබන්නේය.” (1 කොරින්ති 3:10-14) මෙහිදී නැවතත් බයිබලය පැහැදිලි කරන්නේ, අපි සෑම කෙනෙකුටම යම් ආකාරයක ගිනිමය පරීක්ෂාවකට අනිවාර්යයෙන්ම මුහුණ දෙන්න සිදු වෙයි කියලයි.
7. රෝම 15:4ට අනුව, පරීක්ෂා විඳදරාගන්න ශුද්ධ ලියවිලිවලට අපිට උපකාර කළ හැක්කේ කොහොමද?
7 ඇතැම්විට දීර්ඝ කාලයකට විපත්ති විඳදරාගන්න සිදු වුණ දෙවිගේ පක්ෂපාත සේවකයන් පිළිබඳ අසංඛ්‍යාත වාර්තා බයිබලයෙහි තියෙනවා. ඒත්, යෙහෝවා ඔවුන්ව අත්හැරියේ නැහැ. ප්‍රේරිත පාවුල් මතු දැක්වෙන දේ පැවසූ විට ඔහුගේ මනසෙහි එවැනි ආදර්ශ තිබෙන්න ඇති: “ඉවසිල්ල [විඳදරාගැනීම, NW] කරණකොටගෙනද ලියවිලිවලින් හටගන්න සැනසිල්ල කරණකොටගෙනද අප බලාපොරොත්තු ඇතුව සිටින පිණිස, පූර්වයෙහි ලියනලද සියල්ල අපගේ ඉගෙනගැනීම සඳහා ලියනලද්දේය.” (රෝම 15:4) දෙවි සමඟ කිට්ටු සම්බන්ධයක් භුක්ති වින්දත්, විපත්ති බොහොමයකින් පීඩා විඳි පුරුෂයන් තිදෙනෙකුගේ ආදර්ශ සලකා බලන්න.
බයිබල් වාර්තාවලින් අපි ඉගෙනගන්නා දේ
8. යෝසෙප්ව ගත් කල, යෙහෝවා මොකකටද ඉඩහැරියේ? කොතරම් කාලයකටද?
8 යාකොබ්ගේ පුත්‍ර යෝසෙප් ළාබාල වයසක ඉඳන් යෙහෝවාගේ අනුග්‍රහයට පාත්‍ර වුණා. ඒ වුණත්, තමා අතින් වරදක් සිදු නූණත්, ඔහු විපත්ති කිහිපයකින්ම දුක් වින්දා. ඔහුගේ සහෝදරයන් ඔහුව පැහැරගෙන, ඔහුට කෲර ලෙස සැලකුවා. විදේශ රටක වහලෙකු වශයෙන් විකුණනු ලැබූ ඔහුව, එහිදී බොරු චෝදනාවකට හසු වී “ඇඳිරිගෙයි” දමනු ලැබුවා. (උත්පත්ති 40:15) එහිදී, “ඔව්හු ඔහුගේ පාද විලංගු ලා රිදෙවුවෝය; ඔහු යදම්වලින් බඳිනලද්දේය.” (ගීතාවලිය 105:17, 18) යෝසෙප්ගේ වහල්කමේදී සහ ඔහු සිරභාරයේ සිටි කාලයේදී, නිදහස සඳහා ඔහු යෙහෝවාගෙන් නොයෙක් වර අයැද සිටි බවට සැකයක් නැහැ. යෙහෝවා විවිධාකාරවලින් ඔහුව ශක්තිමත් කළත්, අවුරුදු 13ක් පමණ, ඔහු සෑම උදෑසනකම අවදි වුණේ වහලෙකු හෝ සිරකරුවෙකු වශයෙන්.—උත්පත්ති 37:2; 41:46.
9. දාවිත්ට අවුරුදු කිහිපයකටම විඳදරාගන්න සිදු වුණේ මොනවාද?
9 දාවිත්ට සිදු වුණ දෙයත් ඒ හා සමානයි. යෙහෝවා ඉශ්‍රායෙල්ව පාලනය කරන්න සුදුසුකම් තියෙන මනුෂ්‍යයෙක්ව තෝරමින් සිටි විට, ඔහු කිව්වේ: “යෙස්සේගේ පුත්‍රවූ, මාගේ සිතට එකඟ මනුෂ්‍යයෙක්වූ, මාගේ මුළු කැමැත්ත කරන්නාවූ දාවිත් මට සම්බවීය” කියලයි. (ක්‍රියා 13:22) යෙහෝවාගේ ඇස් හමුවේ දාවිත්ට අනුග්‍රහය ලත් තත්වයක් තිබුණත්, දාවිත් බොහෝ සෙයින් දුක් වින්දා. ඔහුගේ ජීවිතය අනතුරෙහි තිබුණු නිසා, ඔහු අවුරුදු කිහිපයක් පුරා පාළුකරයේ, ගුහාවල, පර්වත විවරවල සහ විදේශ රටවලද සැඟවී සිටියා. වනමෘගයෙක්ව වගේ ඔහු පස්සේ ලුහුබැඳගිය අතර, අධෛර්යයෙන් සහ බියෙන් ඔහු පීඩා වින්දා. කොහොම වුණත්, යෙහෝවාගේ ශක්තියෙන් ඔහු විඳදරාගත්තා. දාවිත්ට තමාගේම අද්දැකීමෙන් නිවැරදි ලෙස මෙහෙම කියන්න පුළුවන් වුණා: “ධර්මිෂ්ඨයාගේ පීඩා බොහෝය. නුමුත් [යෙහෝවා] ඒ සියල්ලෙන් ඔහු ගළව[න්නේය].”—ගීතාවලිය 34:19.
10. නාබොත් සහ ඔහුගේ පවුල ගොදුරු වුණේ මොන දරුණු විපත්තියටද?
10 ප්‍රොපේත එලියාගේ දවසේදී, බොරු බාල් දෙවියාට දණ නොනමා සිටියේ ඉශ්රායෙල්හි 7,000දෙනෙක් විතරයි. (1 රාජාවලිය 19:18; රෝම 11:4) ඇතැම්විට ඔවුන්ගෙන් කෙනෙක් වූ නාබොත්, මහා අයුක්තියකට ගොදුරු වුණා. දේවාපහාස කළා කියන චෝදනාවේ නිග්‍රහය විඳින්න ඔහුට සිදු වුණා. ඔහුව වරදකරුවෙක් හැටියට තීන්දු කළ නිසා, රාජකීය නියෝගයක් අනුව ඔහුව ගල් ගසා මැරීමට නියම කළ අතර, බල්ලන් ඔහුගේ ලේ ලෙව කෑවා. ඔහුගේ පුත්‍රයන් පවා මරුමුවට පත් කරනු ලැබුවා! ඒත්, කළ චෝදනාවෙන් ඔහු නිදොස්. ඔහුට විරුද්ධව නැඟී සිටි සාක්කිකරුවෝ බොරුකාරයෝ. ඒ සම්පූර්ණ සිද්ධිය, යෙසෙබෙල් බිසව දියත් කළ කුමන්ත්රණයක ප්‍රතිඵලයක්; එහෙම කළේ නාබොත්ගේ මිදිවත්ත රජගේ අතට පත් කරගන්නයි.—1 රාජාවලිය 21:1-19; 2 රාජාවලිය 9:26.
11. බයිබල් ඉතිහාසයේ විශ්වාසවන්ත ස්ත්‍රීන් සහ පුරුෂයන් ගැන ප්‍රේරිත පාවුල් අපිට කියන්නේ මොනවද?
11 විපත්තිවලින් දුක් වින්ද බවට බයිබලයෙහි සඳහන් විශ්වාසවන්ත ස්ත්‍රී පුරුෂ බොහෝදෙනා අතුරින් යෝසෙප්, දාවිත් සහ නාබොත් කියන්නේ තුන්දෙනෙක් විතරයි. ප්‍රේරිත පාවුල්, යුග ගණනාව පුරා හිටපු යෙහෝවාගේ සේවකයන් පිළිබඳ ඓතිහාසික විවරණයක් ලිව්වා. එහිදී ඔහු, “සරදම්වලින්ද පහරවලින්ද, එසේය, බැඳුම්වලින් සහ හිරගෙයි දමනු ලැබීමෙන්ද පරීක්ෂාකරනු ලැ[බූ]” අය ගැන කතා කළා. “ඔව්හු ගල්ගසනු ලැබුවෝය, කියතෙන් ඉරනු ලැබුවෝය, පරීක්ෂාකරනු ලැබුවෝය, කඩුවෙන් මරනු ලැබුවෝය. ඔව්හු අසරණකමද පීඩාද නපුරුකමද විඳිමින්, බැටළු හම්ද එළු හම්ද ඇඳගෙන, ඔබ මොබ ගියෝය. ඔව්හු කාන්තාරවලද කඳුවලද ගුහාවලද පොළොවේ බෙනවලද ඇවිද්දෝය; ඔවුන්ගේ විසීමට ලෝකය නොවටනේය.” (හෙබ්‍රෙව් 11:36-38) ඒත් යෙහෝවා ඔවුන්ව අත්හැරියේ නැහැ.
දුක් විඳින අයට යෙහෝවා සැලකිල්ල දක්වයි
12. අදදින යෙහෝවාගේ සාක්ෂිකරුවන් අද්දකින තාඩන පීඩන සමහරක් මොනවාද?
12 එතකොට අදදින සිටින යෙහෝවාගේ සෙනඟ? සංවිධානයක් වශයෙන්, අපිට දිව්යාරක්ෂාව ලැබෙයි කියලත්, අන්තිම දවස් සහ මහත් පීඩාව තුළින් සුරැකිව එගොඩ වෙන්න පුළුවන් වෙයි කියලත් බලාපොරොත්තු තබන්න පුළුවන්. (යෙසායා 54:17; එළිදරව් 7:9-17) කොහොම වුණත්, පුද්ගලයන් වශයෙන්, “කාලයත් හදිසි කාරණාත්” හැම මනුෂ්‍යයෙකුවම ගොදුරු කරගන්න බව අපි පිළිගන්නවා. (දේශනාකාරයා 9:11) අදදින විපත්තිවලින් දුක් විඳින විශ්වාසවන්ත ක්‍රිස්තියානීන් බොහෝදෙනෙක් සිටිනවා. ඇතැම් අය දරුණු දුගීකමෙන් පෙළෙනවා. පීඩා තියෙන, ක්‍රිස්තියානි “මවුපියන් නැති දරුවන්ද වැන්දඹු ස්ත්‍රීන්ද” ගැන බයිබලය කතා කරනවා. (යාකොබ් 1:27) වෙනත් අය ස්වාභාවික විපත්ති, යුද්ධ, අපරාධ, බලය අනිසි ලෙස යොදාගැනීම, අසනීප සහ මරණයේ ප්‍රතිඵලයක් වශයෙන් පීඩා විඳිනවා.
13. මෑතකදී මොන දුෂ්කර අද්දැකීම්ද වාර්තා වී තියෙන්නේ?
13 උදාහරණයක් හැටියට, බයිබල් ප්‍රතිපත්තිවලට ඇලී සිටින නිසා, අපේ සහෝදර සහෝදරියන් සමහරෙක්, ඉතා නින්දිත තත්වයන් යටතේ සිරභාරයේ සිටින බව වොච් ටවර් ශාඛා කාර්යාල, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයට 1996 සඳහා යවන ලද තම වාර්තාවල විස්තර කරනවා. ගරිල්ලා කණ්ඩායම් සාක්ෂිකරුවන් සිය ගණනකට අදාළ ප්‍රදේශයෙන් ඉවත් වෙන්න බල කළ විට, දකුණු අමෙරිකානු රටක සභාවන් තුනක්ම විසුරුවා හරිනු ලැබුවා. බටහිර අප්‍රිකානු රටක, සිවිල්-යුද්ධයේ එක්තරා සටනකට කොටු වූ ඇතැම් සාක්ෂිකරුවන් මරුමුවට පත් වුණා. මධ්‍යම අමෙරිකානු රටක, සමහර සහෝදරයන්ට දැනට වුණත් තියෙන ඉතා දුර්වල මූල්‍ය තත්වය, සැඩ කුණාටුවක පහර දීමෙන් තවත් දරුණු වුණා. දුගීකම සහ ආහාර හිඟකම් ඇතැම්විට බරපතළ ගැටලු නොවන වෙනත් ප්‍රදේශවල, නිෂේධාත්මක බලපෑම් ඇතමුන්ගේ ප්‍රීතිය අඩපණ කරනවා විය හැකියි. තවත් අය නවීන දින ජීවිතයේ පීඩනවලින් මිරිකී සිටිනවා. රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කරද්දී මහජනයා දක්වන උදාසීනභාවය නිසා තවත් සමහරෙකුට අධෛර්යයට පත් වන බවක් දැනෙනවා විය හැකියි.
14. (අ) යෝබ්ගේ ආදර්ශයෙන් අපි ඉගෙනගන්නේ මොනවාද? (ආ) නිෂේධාත්මකව හිතන්නේ නැතුව, අපි යම් දුකක් අද්දකින කොට මොනවද කළ යුත්තේ?
14 මෙවැනි තත්වයන් දෙවිගේ අමනාපය නිසා ඇති වෙනවා කියා නොසිතිය යුතුයි. යෝබ්ගේ අද්දැකීමත් ඔහු වින්ද අහිතකර තත්වයන් රැසත් සිහිපත් කරන්න. ඔහු “නිර්දෝෂවූ, අවංකවූ” “මනුෂ්‍යයෙක්.” (යෝබ් 1:8) ඔහු වරදක් කර තිබූ බවට එලීපස් චෝදනා කළ විට යෝබ්ට මොනතරම් කලකිරීමක් දැනෙන්න ඇද්ද! (යෝබ් 4, 5 සහ 22වන පරිච්ඡේද) අපි විපත්ති අද්දකින්නේ, අපි යම් ආකාරයකින් යෙහෝවාගේ බලාපොරොත්තු කඩ කරලා තියෙන නිසාවත්, යෙහෝවා තම ආශීර්වාදය අපෙන් ඉවත් කරලා තියෙන නිසාවත් කියලා නිගමනය කරන්න අපි ඉක්මන් නොවිය යුතුයි. පීඩා හමුවේ නිෂේධාත්මකව සිතීම අපේ ඇදහිල්ල දුර්වල කරවන්න පුළුවන්. (1 තෙසලෝනික 3:1-3, 5) යම් දුකක් අද්දකින කොට, මොනව සිදු වුණත්, යෙහෝවා සහ යේසු ධර්මිෂ්ඨයන්ට කිට්ටුවෙන් සිටින බවට වූ කාරණය මත මෙනෙහි කිරීම හොඳ දෙයක්.
15. තම සෙනඟ විඳින විපත්ති ගැන යෙහෝවා ගැඹුරු සැලකිල්ලක් දක්වනවා කියලා අපි දන්නේ කොහොමද?
15 ප්‍රේරිත පාවුල් මෙහෙම කියන කොට ඔහු අපේ බිය සැක දුරු කරනවා: “[ක්‍රිස්තුස්ගේ] ප්‍රේමයෙන් අප වෙන්කරන්නේ කවුද? විපතවත්, සිත්වේදනාවවත්, පීඩාවවත්, දුර්භීක්ෂයවත්, නිර්වස්ත්‍රකමවත්, උපද්‍රවයවත්, කඩුවවත් අප වෙන්කරන්නේද? . . . මරණයටවත්, ජීවනයටවත්, දූතයන්ටවත්, අධිපතිකම්වලටවත්, දැන් පවතින දේවලටවත්, මතු පැමිණෙන දේවලටවත්, පරාක්‍රමවලටවත්, උසටවත්, ගැඹුරටවත්, අන් කිසි මැවිල්ලකටවත්, අපගේ ස්වාමීවූ යේසුස් [ක්‍රිස්තුස්] තුළ ඇත්තාවූ [දෙවිගේ] ප්‍රේමයෙන් අප වෙන්කරන්ට නොහැකිවන්නේයයි ඒකාන්තයෙන්ම දනිමි.” (රෝම 8:35, 38, 39) යෙහෝවා අපි ගැන ගැඹුරු සැලකිල්ලක් දක්වන අතර, අපේ දුක ගැන අවබෝධයෙන් සිටිනවා. පලායන්නෙක්ව සිටිද්දී, දාවිත් මෙහෙම ලිව්වා: “[යෙහෝවාගේ] ඇස් ධර්මිෂ්ඨයන් දෙසටත් [ඔහුගේ] කන් ඔවුන්ගේ මොරගැසීමටත් යොමා තිබේ. [යෙහෝවා] බිඳුණු සිත් ඇත්තන්ට ළංව සිටි[න්නේය].” (ගීතාවලිය 34:15, 18; මතෙව් 18:6, 14) අපේ ස්වර්ගික පියා අපි ගැන සැලකිල්ල දක්වන අතර, දුක් විඳින අය ගැන ඔහුට අනුකම්පාවක් ඇති වෙනවා. (1 පේතෘස් 5:6, 7) අපි මොනයම් දුකක් අද්දැක්කත්, විඳදරාගන්න අවශ්‍ය දේ ඔහු සපයනවා.
යෙහෝවාගේ දීමනා අපිව උසුලනවා
16. අපිට විඳදරාගන්න උපකාර කරන්නේ යෙහෝවාගෙන් ලැබෙන මොන සැපයුමද? ඒ කොහොමද?
16 මේ පරණ දේවල පිළිවෙළෙහි අහිතකර තත්වයන්ගෙන් නිදහස් ජීවිතයක් අපේක්ෂා කරන්න අපිට බැරි වුණත්, අපිව ‘අත්හැර නැහැ.’ (2 කොරින්ති 4:8, 9) තම අනුගාමිකයන්ට උපකාරකයෙක් දෙන්න යේසු පොරොන්දු වුණා. ඔහු මෙහෙම කිව්වා: “මම [පියාගෙන්] ඉල්ලන්නෙමි, එවිට [ඔහු] නුඹලා සමඟ සදාකල්ම සිටින පිණිස වෙන සැනසිලිකාරයෙකු [උපකාරකයෙකු, NW] නුඹලාට දෙ[න්නේය]. ඒ . . . සත්‍යතාවේ ආත්මය[යි].” (යොහන් 14:16, 17) පොදු යුගයේ 33 පෙන්තකොස්ත දවසේදී, ප්‍රේරිත පේතෘස් ශ්‍රාවකයන්ට කියා සිටියේ ඔවුන්ට නොමිලේ “ශුද්ධාත්ම දීමනාව” ලැබිය හැකි බවයි. (ක්‍රියා 2:38) ශුද්ධාත්මය අපිට අදදින උපකාර කරනවාද? ඔව්! යෙහෝවාගේ ක්‍රියාකාර බලය අපිට පුදුමසහගත ඵලදාවක් දෙනවා: “ප්‍රේමය, ප්‍රීතිය සමාදානය, බොහෝ ඉවසිලිවන්තකම, කරුණාව, යහපත්කම, ඇදහිල්ල, මෘදුකම, ආත්ම-දමනය.” (ගලාති 5:22, 23, NW) මේ සියල්ල, අපිට විඳදරාගැනීම සඳහා උපකාර කරන අනර්ඝ ගුණාංගයි.
17. අපේ ඇදහිල්ලත් යෙහෝවා කෙරෙහි ඉවසිල්ලෙන් බලා සිටීමට අපිට තියෙන අධිෂ්ඨානයත් ශක්තිමත් කරවන බයිබල් සත්‍යතා සමහරක් නම් කරන්න.
17 සදාකාල ජීවනය නමැති තිළිණය සමඟ සසඳද්දී, වර්තමාන පීඩා “මොහොතකට පවතින . . . සැහැල්ලුවූ” දෙයක් බව තේරුම්ගන්නත් ශුද්ධාත්මය අපිට උපකාර කරනවා. (2 කොරින්ති 4:16-18) දෙවි අපේ ක්‍රියාවනුත් ඔහු වෙනුවෙන් අපි පෙන්වන ප්‍රේමයත් අමතක කර දමන්නේ නැති බවට ස්ථිර විශ්වාසයක් අපිට තියෙනවා. (හෙබ්‍රෙව් 6:9-12) බයිබලයේ දේවානුභාවය ලත් වචන කියවීමෙන්, අතීතයේ නොයෙකුත් විපත්ති විඳදරාගත්තත්, සන්තෝෂ බවට ප්‍රකාශ කරනු ලැබූ විශ්වාසවන්ත සේවකයන්ගේ ආදර්ශ මගින් අපිට සැනසිල්ලක් ලැබෙනවා. යාකොබ් මෙහෙම ලියනවා: “සහෝදරයෙනි, [යෙහෝවාගේ] නමින් කථාකළ ප්‍රොපේතවරුන් පීඩාවිඳීමෙත් ඉවසීමෙත් ආදර්ශයක්කොට ගන්න. ඉවසූ [විඳදරාගත්, NW] අය ආශීර්වාදලද්දෝයයි අපි කියමු.” (යාකොබ් 5:10, 11) පරීක්ෂා විඳදරාගන්න බයිබලය “සාමාන්‍යය ඉක්මවූ බලය” දෙන බවට පොරොන්දු වෙනවා. නැවත නැඟිටීමේ බලාපොරොත්තුවෙනුත් යෙහෝවා අපිට ආශීර්වාද කරනවා. (2 කොරින්ති 1:8-10; 4:7, NW) දිනපතා බයිබලය කියවීමෙන් සහ මෙම පොරොන්දු මත මෙනෙහි කිරීමෙන්, අපේ ඇදහිල්ලත්, දෙවි කෙරෙහි ඉවසිලිවන්තව බලා සිටීම සඳහා අපිට තියෙන අධිෂ්ඨානයත් අපි ශක්තිමත් කරගන්න යනවා.—ගීතාවලිය 42:5.
18. (අ) දෙවන කොරින්ති 1:3, 4හි අපිට දිරිගන්වා තියෙන්නේ මොනව කරන්නද? (ආ) සැනසිල්ලේ සහ නැවුම්බවේ මූලාශ්‍ර වීමට ක්‍රිස්තියානි අවේක්ෂකයන්ට හැක්කේ කොහොමද?
18 මීට අමතරව, අපේ ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන්ගේ නියම ප්‍රේමය භුක්ති විඳින්න පුළුවන් ආත්මික පාරාදීසයකුත් යෙහෝවා අපිට දී තියෙනවා. එකිනෙකාව සැනසීමේදී, අපි සියලුදෙනාටම වැඩකොටසක් ඉටු කරන්න තියෙනවා. (2 කොරින්ති 1:3, 4) විශේෂයෙන් ක්‍රිස්තියානි වැඩිමහල්ලන් සැනසිල්ල සහ නැවුම්බවක් ගෙන දීමේ ප්‍රධාන මූලාශ්‍රයක් විය හැකියි. (යෙසායා 32:2) “මනුෂ්‍යයන්ට තෑගි” වශයෙන්, දුක් විඳින අය ගොඩනඟන්නත්, “කලකිරුණු ප්‍රාණවලට අස්වැසිල්ලක් ගෙන දෙන ආකාරයෙන් කතා කරන්නත්” [NW] “දුර්වලයන්ට ආධාරව[න්නත්]” ඔවුන්ව පත් කර තියෙනවා. (එපීස 4:8, 11, 12; 1 තෙසලෝනික 5:14) මුරටැඹ සහ පිබිදෙව්! සඟරා මෙන්ම “විශ්වාසවූ නුවණ ඇති දාසයා” සපයන වෙනත් ප්‍රකාශන හොඳින් පාවිච්චි කරන්න වැඩිමහල්ලන්ට දිරිගන්වා තියෙනවා. (මතෙව් 24:45-47) අපේ කනස්සල්ලට හේතු වන ඇතැම් ගැටලු නිරාකරණය කරන්න සහ ඒවා වළක්වන්න පවා උපකාර කරන්න පුළුවන් බයිබලය මත පදනම් උපදෙස් සම්භාරයක් ඒවායෙහි අන්තර්ගතයි. අමාරු කාලවලදී එකිනෙකාව සනසමින් දිරිගන්වමින් යෙහෝවාව අනුකරණය කරමු.
19. (අ) අහිතකර තත්වයන් සමහරක් මඟහැරීමට අපිට උපකාර කරන්නේ මොනවාද? (ආ) මූලිකවම, අපි දැඩි විශ්වාසය තැබිය යුත්තේ කා කෙරෙහිද? එමෙන්ම පරීක්ෂාවලට මුහුණ දෙන්න අපිට පිටුවහලක් වෙන්නේ මොකක්ද?
19 අන්තිම දවස්වල අවසානයට අපි තව තවත් ඇදෙන අතරම, වර්තමාන දේවල පිළිවෙළෙහි තත්වයන් තවත් දරුණු වෙත්ම, විපත්ති මඟහැරීමට තමන්ට කරන්න පුළුවන් දේ ක්‍රිස්තියානීන් කරනවා. (හිතෝපදේශ 22:3) ඥානවන්ත තීරණ ගැනීමට හොඳ විනිශ්චයක්, සිහි ඇතුව සිටීම සහ බයිබල් ප්‍රතිපත්ති ගැන දැනුම අපිට උපකාර විය හැකියි. (හිතෝපදේශ 3:21, 22) යෙහෝවාගේ වචනයට සවන් දෙන අපි, අනවශ්‍ය වැරදි කිරීමෙන් වැළකී සිටීම සඳහා එයට කීකරු වෙනවා. (ගීතාවලිය 38:4) කොහොම වුණත්, අපි කොතරම් වෑයම් කළත්, අපේ ජීවිතයෙන් දුක් වේදනා සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න බැරි බව අපිට තේරීයනවා. මේ දේවල පිළිවෙළෙහි, ධර්මිෂ්ඨයන් බොහෝදෙනෙක් අහිතකර තත්වයන්වලට මුහුණ දෙනවා. කොහොම වුණත්, “යෙහෝවා තම සෙනඟ අත්හරින්නේ නැත” යි කියන පූර්ණ නිසැකකම ඇතුව අපේ පරීක්ෂා සමඟ සාර්ථකව කටයුතු කරන්න අපිට පුළුවන්. (ගීතාවලිය 94:14, NW) ඒ වගේම මේ දේවල පිළිවෙළත් එහි තාඩන පීඩනත් ඉක්මනින් පහව යන බව අපි දන්නවා. එමනිසා, “යහපත්කම්කිරීමට මැළිනොවෙමු; මක්නිසාද අපි ක්ලාන්ත නොවෙමු නම්, නියම කාලයේදී කපාගන්නෙමු.” අපි මෙය අපේ අදිටන කරගනිමු.—ගලාති 6:9.
අපි ඉගෙනගත්තේ මොනවාද?
◻ මුළු ක්‍රිස්තියානි සමාගමම අද්දකින්නේ මොන පරීක්ෂාද?
◻ විපත්ති යෙහෝවාගේ අමනාපයේ සාක්ෂියක් නොවන බව තේරුම්ගන්න අපිට උපකාර කරන්නේ මොන බයිබල් ආදර්ශද?
◻ තම සෙනඟ අද්දකින අහිතකර තත්වයන් ගැන යෙහෝවාට හැඟෙන්නේ කොහොමද?
◻ පරීක්ෂා විඳදරාගන්න අපිට උපකාර කරන යෙහෝවාගෙන් ලැබෙන දීමනා සමහරක් මොනවාද?
[10වන පිටුවේ පින්තූර]
දාවිත්, නාබොත් සහ යෝසෙප් විපත්ති වින්ද තිදෙනෙක්