පාඨකයන්ගෙන් ප්‍රශ්න
බැටළුවන් හා එළුවන් පිළිබඳ යේසුගේ උපමාව ගැන අප කළ අධ්‍යයනය අපේ මහත් උනන්දුවට හේතු වුණා. වර්ෂ 1995 ඔක්තෝබර් 15, මුරටැඹ සඟරාවේ ඉදිරිපත් කර තිබූ මෙම අලුත් අවබෝධය සලකා බැලීමේදී, අදදින යෙහෝවාගේ සාක්ෂිකරුවන් වෙන් කිරීමේ වැඩයක නිරත වෙමින් සිටිනවා කියා අපට තවමත් කියන්න පුළුවන්ද?
ඔව්. මතෙව් 25:31, 32හි මෙසේ පවසන නිසා, බොහෝදෙනෙක් මේ ගැන කල්පනා කර තිබෙන බව සිතීම සාධාරණයි: “මනුෂ්‍ය පුත්‍රයා සියලු දේවදූතයන් සමඟ තමන්ගේ තේජසින් එන කල, ස්වකීය තේජසේ සිංහාසනයෙහි වැඩ හිඳි[යි]. එවිට සියලු ජාතීහු [ඔහු] ඉදිරියට රැස්කරනු ලබන්නෝය. [ඔහු] එඬේරෙකු විසින් එළුවන් කෙරෙන් බැටළුවන් වෙන් කරන්නාක්මෙන් ඔවුන් වෙන්[කරන්නේය].” මෙම පද අදාළ වන්නේ, මහත් පීඩාව ආරම්භ වීමෙන් පසුව කියා කීමට හේතුව, 1995 ඔක්තෝබර් 15, මුරටැඹ සඟරාවෙහි පෙන්නුම් කර තිබුණා. යේසු තම දේවදූතයන් සමඟ තේජසින් පැමිණ, තම විනිශ්චයේ සිංහාසනයෙහි හිඳගන්න යනවා. ඉන්පසු, ඔහු ජනයාව වෙන් කරන්න යනවා. ඒ කුමන අර්ථයකින්ද? ජනයා ඒ කාලයට කලින්, කළ හෝ නොකළ දේ පදනම් කරගෙන ඔහු විනිශ්චමය තීන්දු නියම කරාවි.
අපට මෙය, උසාවියේ නඩු තීන්දුවකට මඟ පාදන නීතික ක්‍රියාමාර්ගයක පියවර සමඟ සසඳන්න පුළුවන්. උසාවියේ තීන්දුවක් ගැනීමට හා දණ්ඩනයක් නියම කරන්න කලින්, දීර්ඝ කාලපරිච්ඡේදයක් පුරා ඊට අදාළ සාක්ෂි එක්රැස් කෙරෙනවා. දැන් ජීවත් වන ජනයා බැටළුවන් හෝ එළුවන් බවට පත් වේවිද යන්න පිළිබඳ සාක්ෂි, බොහෝ කාලයක් තිස්සේ එක්රැස් කෙරෙමින් තිබෙනවා. ඒ වගේම දැනටත් සාක්ෂි එක්රැස් වෙමින් පවතිනවා. නමුත් යේසු තම සිංහාසනයෙහි හිඳගන්නා විට, මෙම නඩු විභාගය සම්පූර්ණ වෙන්න යනවා. ඔහු විනිශ්චය ප්‍රකාශ කිරීමට සූදානම්ව සිටීවි. සදාකාල විනාශය හෝ සදාකාල ජීවනය සඳහා ජනයාව වෙන් කරන්න යනවා.
කොහොම වුණත්, මතෙව් 25:32හි සඳහන් කර තිබෙන ජනයාව ජීවනයට හෝ මරණයට වෙන් කිරීම තවමත් අනාගතයේදී සිදුවීමට තිබෙන දෙයක් යන කාරණයෙන් අදහස් වෙන්නේ නැහැ, ඊට කලින් වෙන් කිරීමක් හෝ බෙදීමක් සිදු නොවන බව. කලින් සිදු වන එක්තරා වෙන් කිරීමේ වැඩක් බයිබලයේ මතෙව් 13වන පරිච්ඡේදයේ සඳහන් වෙනවා. උනන්දුව ඇති කරවන කරුණක් වන්නේ, “එකම සැබෑ දෙවියන් වහන්සේ නමස්කාරයෙහි එක්සත්වීම” නමැති පොතේ 98-99 දක්වා පිටුවල, “ජනයා වෙන්කිරීම” නමැති උපමාතෘකාව යටතේ මේ විෂය ගැන සඳහන් කිරීමයි.a ඒ පොත මෙසේ පවසනවා: ‘මේ දේවල පිළිවෙළේ අවසානය සමඟ වෙනත් වැදගත් සිද්ධීන්ද යේසු ඉතා පැහැදිලි ලෙස සම්බන්ධ කළා. මේවායින් එකක් නම්, ‘රාජ්‍යයේ පුත්‍රයන්’ ‘නපුරාගේ පුත්‍රයන්ගෙන්’ වෙන් කිරීමයි. යේසු මේ ගැන පැහැදිලි කළේ, තිරිඟු කෙතකට සතුරෙක් විසින් කිරිඳි වැපිරීම පිළිබඳ උපමාව ආධාරයෙනුයි.’
එම පොත යොමු දක්වමින් සිටියේ, මතෙව් 13:24-30 දක්වා විස්තර කර, 36-43 දක්වා පදවල පැහැදිලි කර තිබෙන යේසුගේ උපමාවටයි. හොඳ බීජ වන තිරිඟුවලින් නියෝජනය වන්නේ, රාජ්‍යයේ පුත්‍රයන් වුණත්, කිරිඳිවලින් නියෝජනය වන්නේ නපුරාගේ පුත්‍රයන් බවට 38වන වගන්තියේ සඳහන් වන බව සැලකිල්ලට ගන්න. ‘දේවල පිළිවෙළේ නිමාවේදී’ ඒ කියන්නේ, දැන් අපි ජීවත් වන කාලයේදී, කිරිඳි එකතු කරනු ලබන බව 39 සහ 40 යන වගන්තිවල පැහැදිලි කරනවා. ඒවා වෙන් කොට අවසානයේදී පුලුස්සා දමනවා, නැතහොත් විනාශ කර දමනවා.
මේ උපමාවේ කතා කරන්නේ ආලේප ලත් ක්‍රිස්තියානීන් ගැනයි. (බැටළුවන් සහ එළුවන් පිළිබඳ උපමාවේදී, ඔවුන්ව යේසුගේ සහෝදරයන් වශයෙන් හඳුන්වනවා). කොහොම වුණත්, මෙහි ඉදිරිපත් කෙරෙන ප්‍රධාන කරුණ පැහැදිලියි. එනම් ක්‍රිස්තියානීන්යයි කියාගත්තත්, තමන් ‘නපුරාගේ පුත්‍රයන්’ බව තමන් විසින්ම ඔප්පු කරන්නාවූ අයගෙන් ආලේප ලත් අයව වෙන් කොට හඳුනාගනු ලබන ඉතා වැදගත් වෙන් කිරීමක් අපගේ කාලයේදී සිදු වන බවයි.
ජනයාව බෙදනු ලබන නැතහොත් වෙන් කරනු ලබන බවට තවත් උදාහරණ යේසු දුන්නා. විනාශයට මඟ පෙන්වන පළල් පාර සම්බන්ධයෙන් ඔහු පැවසූ මේ දෙය මතක් කරගන්න: “එයින් ඇතුල්වන්නෝද බොහෝය.” (මතෙව් 7:13, ඇල අකුර අපගේය) එය හුදෙක් අවසන් ප්‍රතිවිපාකය ගැන කළ අදහස් දැක්වීමක් වූයේ නැහැ. ජීවනයට මඟ පෙන්වන පටු පාර ස්වල්පදෙනෙක් සොයාගැනීම දැන් සැබෑවක් වන්නාක් මෙන්, එය දිගටම සිදු වෙමින් පවතින ක්‍රියාවලියක් හා සම්බන්ධ අදහස් දැක්වීමක් වූවා. සුදුස්සන් සමහරදෙනෙකුව ඔවුන්ට හමු වෙයි කියා යේසු තම ප්‍රේරිතයන්ව යවද්දී පැවසූ බවද මතක් කරගන්න. අනිත් අය සුදුස්සන් වෙන්න යන්නේ නැති අතර, ඒ වගේ මිනිසුන්ට “විරුද්ධව සාක්ෂි පිණිස” තමන්ගේ පාදවලින් ප්‍රේරිතයන් දූවිලි ගසාගත යුතුව තිබුණා. (ලූක් 9:5) අද ක්‍රිස්තියානීන් ප්‍රසිද්ධ දේවසේවයේ හවුල් වෙද්දී, ඒ හා සමාන දෙයක් සිදු වන බව සත්‍යයක් නෙවෙයිද? අපි ගෙන යන දිව්‍ය පණිවිඩය සමහර අය ප්‍රතික්ෂේප කරද්දි, තවත් අය ඊට හොඳ ප්‍රතිචාරයක් දක්වනවා.
මුරටැඹ සඟරාවේ පළ වූ, එළුවන් සහ බැටළුවන් පිළිබඳ උපමාව පැහැදිලි කළ ලිපිවල මේ කරුණු සඳහන් වුණා: ‘උපමාවේ විස්තර කර ඇති විනිශ්චය කිරීම නුදුරු අනාගතයේදී සිදුවීමට තිබුණත්, දැන් පවා අතිවැදගත් දෙයක් සිදු වෙමින් තිබෙනවා. ක්‍රිස්තියානීන් වන අප නියැලී සිටින්නේ, ජනයා අතර බෙදීමක් සිදුවීමට සලස්වන පණිවිඩයක් ප්‍රකාශ කිරීම හා සම්බන්ධ ජීවිත ගළවන වැඩයකයි. (මතෙව් 10:32-39).’ මතෙව් 10වන පරිච්ඡේදයේ එම කොටසෙහි, අපට කියවීමට තිබෙන්නේ, යේසුගේ අනුගාමිකයෙක් වීම බෙදීමකට—එනම් පියා පුතාට, දුව අම්මාට විරුද්ධව සිටීමට—හේතුවක් වෙනවා කියා ඔහු පැවසූ බවයි.
අවසානයේදී, ක්‍රිස්තුස්ගේ අභිෂේක ලත් සහෝදරයන්, ලොව පුරා රාජ්‍ය පණිවිඩය දේශනා කිරීමේ වැඩයෙහි පෙරමුණ ගෙන තිබෙනවා. ජනයා එයට සවන් දී, ඊට හිතකර ලෙස හෝ අහිතකර ලෙස ප්‍රතිචාරය දක්වන විට, තමුන් කවුද කියා ඔවුන්ම හඳුන්වා දෙමින් සිටිනවා. මතෙව් 25වන පරිච්ඡේදයේ ඉදිරිපත් කෙරෙන අර්ථයට අනුව, ‘මේ පුද්ගලයා බැටළුවෙක්, අර පුද්ගලයා එළුවෙක්’ කියා කීමට මනුෂ්‍යයන් වන අපට නොහැකි අතර, අප එසේ නොකිය යුතුයි. කොහොම වුණත්, අපි ජනයාට ශුභාරංචිය දැනගන්න සැලැස්වීම මගින්, ඔවුන්ගේ ස්ථාවරය මොකක්ද—ඔවුන් මොන වගේ අයද, යේසුගේ සහෝදරයන්ට ඔවුන් ප්‍රතිචාරය දක්වන්නේ කොහොමද කියා පෙන්වීමට ඔවුන්ට ඉඩ කඩ සලසා දෙනවා. එනිසා නඩු විභාගයක ගොඩ ගැසෙන සාක්ෂි වගේ, යේසුගේ සහෝදරයන්ට අනුබල දෙන අය හා අනුබල දීම ප්‍රතික්ෂේප කරන අය අතර බෙදීම තව තවත් පැහැදිලි වෙමින් පවතිනවා. (මලාකී 3:18) මුරටැඹ සඟරාවේ පෙන්නුම් කළ පරිදි, ළඟදීම යේසු තම සිංහාසනයෙහි හිඳගෙන, තීන්දුව ප්‍රකාශ කොට, අවසාන අර්ථයකින් ජනයාව ජීවනයට හෝ විනාශයට විනිශ්චයක ආකාරයකින් වෙන් කරන්න යනවා.
[පාදසටහන]
a Watchtower Bible and Tract Society of New York, Inc., මගින් 1985දී ප්‍රකාශිතයි.