ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w97 7/15 4-7 පි.
  • පාපය තවත් නැති කල්හි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාපය තවත් නැති කල්හි
  • 1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • මනුෂ්‍යයා—මවා තිබෙන්නේ පාපයෙන් තොරව
  • පාපයේ මූලාරම්භය
  • හෘදය සාක්ෂිය ‘දොස් පවරයි’ හෝ ‘නිදහසට කරුණු කියයි’
  • පාපයෙන් නිදහස—කෙසේද?
  • ක්‍රිස්තුස්ගේ මිදීමේ මිලයට අප සඳහා කළ හැකි දේ
  • ක්‍රිස්තුස්ගේ මිදීමේ මිලය ගැළවීම සඳහා දෙවිගේ මඟයි
    1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවා “බොහෝදෙනෙක් උදෙසා මිදීමේ මිලයක්” සපයයි
    යෙහෝවාට ළං වන්න
  • “යේසුස් ගළවයි!”—ඒ කෙසේද?
    2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ගැලවීම ලැබෙන්නේ යේසුස්ගේ “අනර්ඝ ලෙයින්”
    2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w97 7/15 4-7 පි.

පාපය තවත් නැති කල්හි

“අපි ඉපද සිටින්නේ පාප සහිතවද?” එක්සත් ජනපදයේ උපාධිය ලබමින් සිටි ශිෂ්‍යයෙක් බයිබලය හදාරන්න පටන්ගත් විගස, එම ප්‍රශ්නය ඔහුව වික්ෂිප්ත කළා. ඔහුගේ හින්දු පසුබිම නිසා, උරුම වූ පාපය යන අදහස ඔහුට අමුතු දෙයක් වුණා. නමුත් පාපය ඇත්තෙන්ම උරුම වූ එකක් නම්, එහි යථාර්ථය ප්‍රතික්ෂේප කිරීම හෝ නොසලකා හැරීම නිෂ්ඵල දෙයක් වේවි කියා ඔහු හේතු දැක්වුවා. මේ ප්‍රශ්නයට උත්තර සොයාගන්න කෙනෙකුට හැකි වන්නේ කෙසේද?

උරුම වී ඇත්නම්, පාපයට මූලාරම්භයක් තිබිය යුතුයි. තම දරුවන්ට නපුරු ගතිලක්ෂණ දීමට හැකි වන පිණිස මුල් මනුෂ්‍යයාව මවා තිබුණේ දුෂ්ටවද? නැතහොත් දෝෂය හටගත්තේ පසු කාලයකද? පාපය ඇත්තටම පටන්ගත්තේ කවදාද? අනිත් අතට, පාපය බාහිර දෙයක්, නපුරු භූතාර්ථයක් හෝ ප්‍රතිපත්තියක් පමණක් නම්, අපිට කවදා හෝ එයින් නිදහස ලැබීම බලාපොරොත්තු වෙන්න පුළුවන්ද?

හින්දු විශ්වාසයට අනුව, නපුර විඳීම මැවීමට අනිවාර්යයෙන්ම සම්බන්ධ වූ දෙයක්. “දුක් විඳීම [හෝ නපුර] හරියට නිදන්ගත වාත රෝගයක් වගේ එක තැනකින් තව තැනකට යනවා මිසක මුලිනුපුටා දමන්න බැහැ” කියා හින්දු උගතෙක් සඳහන් කරයි. වාර්තා වී ඇති මුළු ඉතිහාසය පුරාම නපුර ඇත්තෙන්ම මනුෂ්‍යවර්ගයාගේ ලෝකයේ කොටසක් වී තිබෙනවා. මනුෂ්‍යයාගේ ඓතිහාසික වාර්තාවලට පෙර දිනයක් ඊට නියම කරනවා නම්, එහි පටන්ගැන්ම පිළිබඳ විශ්වාසී උත්තර පැමිණිය යුත්තේ මනුෂ්‍යයාට වඩා උසස් මූලාශ්‍රයකින්. උත්තර පැමිණිය යුත්තේ දෙවිගෙන්.—ගීතාවලිය 36:9.

මනුෂ්‍යයා—මවා තිබෙන්නේ පාපයෙන් තොරව

වේද ග්‍රන්ථවල මනුෂ්‍යයාගේ මැවීම පිළිබඳ විස්තර උපමාලංකාර ඒවා බව හින්දු දාර්ශනිකයෙක් වන නිකිලානන්ද පිළිගනියි. එලෙසම, පෙරදිග ආගම්වලින් වැඩිහරියක් මැවීම පිළිබඳව දෙන්නේ ප්‍රබන්ධ පැහැදිලි කිරීම් පමණයි. ඒත්, මුල් මනුෂ්‍යයාගේ මැවීම ගැන බයිබල් වාර්තාව විශ්වාස කිරීමට, තර්කානුකූල හා විද්‍යානුකූල යන දෙයාකාරයෙන්ම හේතු තිබෙනවා.a එහි මුල්ම පරිච්ඡේදය මෙහෙම පවසනවා: ‘දෙවි තමන් ස්වරූපයෙන් මනුෂ්‍යයා මැවුවේය, දෙවිගේ ස්වරූපයෙන් ඔහු මැවුවේය; පුරුෂයාද ස්ත්‍රියද කොට ඔවුන් මැවුවේය.’—උත්පත්ති 1:27.

‘දෙවිගේ ස්වරූපයෙන්’ මැව්වා යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? සරලව මෙයයි: මනුෂ්‍යයාව මවා තිබෙන්නේ යුක්තිය, ප්‍රඥාව සහ ප්‍රේමය වැනි දේවගුණාංග ඇතුවයි—එය ඔහුව සත්වයන්ට වඩා වෙනස් කෙනෙක් කරවනවා. (කොලොස්සි 3:9, 10, සසඳන්න.) මේ ගුණාංග ඔහුව නිදහස් සදාචාර නියෝජිතයෙකු කරමින් හොඳ හෝ නරක තේරීමේ හැකියාව ඔවුන්ට ලබා දුන්නා. මුල් මනුෂ්‍යයාව මැවූ අවස්ථාවේ ඔහුගේ ජීවිතය තුළ කිසි පාපයක්, නපුරක් හෝ දුක් විඳීමක් තිබුණේ නැහැ.

ආදම් නමැති මනුෂ්‍යයා මත යෙහෝවා දෙවි මෙම ආඥාව තැබුවා: “නුඹට උයනේ සියලු ගස්වලින් කැමති ලෙස කන්ට පුළුවන; එහෙත් යහපත හා නපුර දැනගැනීමේ ගහෙන් කන්ට එපාය; මක්නිසාද එයින් කෑ දවසෙහි ඒකාන්තයෙන් නුඹ නසින්නෙහිය.” (උත්පත්ති 2:16, 17) ආදම් සහ ඔහුගේ භාර්යාව වූ ඒව කීකරු වීමට තෝරාගැනීමෙන්, ඔවුන්ගේ මැවුම්කරුට ප්‍රශංසාව හා ගෞරවය ගෙනෙන්නත්, පාපයෙන් තොරව සිටින්නත් පුළුවන්කම තිබුණා. අනිත් අතට, අකීකරුකමේ ක්‍රියාවකින් පෙන්නුම් කරනු ලබන්නේ, ඔවුන් දෙවිගේ පරිපූර්ණ ප්‍රමිති ඉටු කරන්න අසමත් බව හා එමගින් ඔවුන් අසම්පූර්ණත්වයට—එනම් පාප සහිත තත්වයට වැටෙන බවයි.

ආදම් සහ ඒවව මවනු ලැබුවේ දිව්‍යමය ස්වභාවයක් ඇතුව නොවෙයි. කෙසේනමුත්, ඔවුන්ට යම් දුරකට දිව්‍ය ගුණාංග සහ සදාචාර තීරණ ගැනීමේ හැකියාව තිබුණා. දෙවිගේ මැවිල්ලක් වූ ඔවුන් පාපයෙන් තොරව නැතහොත් පරිපූර්ණව සිටියා. (උත්පත්ති 1:31; ද්විතීය කථාව 32:4) ඔවුන්ගේ මැවීම, ඒ දක්වා යුග ගණනක් පුරා දෙවි හා විශ්වය අතර පැවති එකඟතාව බිඳ දැම්මේ නැහැ. එහෙමනම්, පාපය පටන්ගත්තේ කොහොමද?

පාපයේ මූලාරම්භය

පාපය මුලින්ම හටගත්තේ ආත්ම විෂයෙහියි. පොළොව සහ මනුෂ්‍යයාගේ මැවීමට පෙර, දෙවි බුද්ධිමත් ආත්ම මැවිලි වන දේවදූතයන්ව මවා තිබුණා. (යෝබ් 1:6; 2:1; 38:4-7; කොලොස්සි 1:15-17) මේ දේවදූතයන්ගෙන් කෙනෙක් තමන්ගේම ලස්සන සහ බුද්ධිමත්කම ගැන උද්දාමයට පත් වුණා. (එසකියෙල් 28:13-15, සසඳන්න.) දරුවන් බිහි කරන්න කියා ආදම් සහ ඒවට දෙවි දුන් උපදෙසෙන් වැඩි කලක් යෑමට ප්‍රථම මුළු පොළොවම ධර්මිෂ්ඨ මනුෂ්‍යයන්ගෙන් පිරෙයි, ඔවුන් සියල්ලන්ම දෙවිට නමස්කාර කරයි කියා මේ දේවදූතයා දැක්කා. (උත්පත්ති 1:27, 28) ඔවුන්ගේ නමස්කාරය තමාට ලබාගන්න මේ ආත්ම මැවිල්ලට ආශාවක් ඇති වුණා. (මතෙව් 4:9, 10) මේ ආශාව ගැන සිත සිතා සිටීම, ඔහුට වැරදි ක්‍රියාමාර්ගයක් ගන්න මඟ පෑදුවා.—යාකොබ් 1:14, 15.

සර්පයෙක් මගින් ඒවට කතා කරමින් කැරලිකාර දේවදූතයා කියා සිටියේ, යහපත හා නපුර දැනගැනීමේ ගහේ ඵල කන්න තහනම් කිරීමෙන්, ඇයට දැනගැන්ම ලබාගන්න ඉඩ නොදී දෙවි එය තබාගෙන ඉන්න බවයි. (උත්පත්ති 3:1-5) එසේ පැවසීම පිළිකුල්සහගත බොරුවක්—පාපිෂ්ඨ ක්‍රියාවක්. මේ බොරුව ප්‍රකාශ කිරීමෙන් දේවදූතයා තමාවම පව්කාරයෙක් බවට පත් කරගත්තා. ප්‍රතිඵලයක් වශයෙන්, ඔහුව හඳුන්වනු ලැබුවේ අපහාස කරන්නෙක් වන යක්ෂයා සහ දෙවිගේ එදිරිවාදියෙක් වන සාතන් කියායි.—එළිදරව් 12:9.

සාතන්ගේ ඒත්තුගන්වන තර්කය ඒව මත අහිතකර බලපෑමක් ඇති කළා. පරීක්ෂාවට ලක් කරන තැනැත්තාගේ වචන කෙරෙහි විශ්වාසය තබමින් ඇය රැවටී තහනම් ගහේ ඵලයෙන් කොටසක් කන්න තමාටම ඉඩහැරියා. ඇගේ ස්වාමිපුරුෂයා වූ ආදම් ඵලය කන්න ඇයට එකතු වූ අතර, ඒ හේතුවෙන් දෙදෙනාම පව්කාරයන් බවට පත් වුණා. (උත්පත්ති 3:6; 1 තිමෝති 2:14) දෙවිට අකීකරු වීමට තෝරාගැනීමෙන් අපේ මුල් දෙමාපියන් පරිපූර්ණත්වයේ මට්ටමෙන් පහතට වැටුණ අතර, තමන්වම පව්කාරයන් බවට පත් කරගත් බව පැහැදිලියි.

ආදම් සහ ඒවගේ ජනිතයන් ගැන කුමක් කියන්න පුළුවන්ද? බයිබලය මෙහෙම පැහැදිලි කරනවා: “එක් මනුෂ්‍යයෙකු කරණකොටගෙන පාපයත් පාපය කරණකොටගෙන මරණයත් ලෝකයට ඇතුල්වුණාක්මෙන්, සියලු මනුෂ්‍යයන් පව්කළ බැවින් සියල්ලන් කෙරෙහි මරණයද පැමුණුණේය.” (රෝම 5:12) උරුම වීමේ නීතිය ඒ වන විටත් ක්‍රියාත්මක වෙමින් තිබුණා. තමාට නොතිබුණ දෙයක් තම දරුවන්ට දෙන්න ආදම්ට හැකි වුණේ නැහැ. (යෝබ් 14:4) පරිපූර්ණත්වය අහිමි කරගෙන සිටි මුල් යුවළ තම දරුවන් පිළිසිඳ ගනිද්දී පව්කාරයන් බවට පත් වෙලයි සිටියේ. ප්‍රතිඵලයක් වශයෙන්, අපි සියලුදෙනාම—එක් කෙනෙක්වත් නෑර—පාපය උරුම කරගෙන තිබෙනවා. (ගීතාවලිය 51:5; රෝම 3:23) ඒ හේතුවෙන්, පාපය බිහි කර තිබෙන්නේ වෙන කිසිවක් නොව නපුර හා දුක් විඳීමයි. තවත්, පාපය නිසා අපි සියල්ලන්ම මහලු වී මියයනවා; මෙසේ වන්නේ, ‘පාපයේ කුලිය මරණය’ වන නිසයි.”—රෝම 6:23.

හෘදය සාක්ෂිය ‘දොස් පවරයි’ හෝ ‘නිදහසට කරුණු කියයි’

මුල් මනුෂ්‍ය යුවළේ හැසිරීමෙන් ඇති වුණ පාපයේ බලපෑම ගැනත් සිතා බලන්න. ඔවුන් සිය ශරීරයේ කොටස් වසාගෙන, දෙවිගෙන් තමන්වම සඟවාගැනීමට වෑයම් කළා. (උත්පත්ති 3:7, 8) මෙසේ පාපය ඔවුන්ට වරදකාරි, කනස්සලු සහ ලජ්ජාශීලී හැඟීමක් ඇති වෙන්න සැලැස්සුවා. අදදින මනුෂ්‍යවර්ගයා තුළත් දක්නට තිබෙන්නේ මෙවැනි චිත්ත ස්වභාවයන්මයි.

අවශ්‍යතාව ඇති කෙනෙකුට කරුණාව නොදැක්වීමේ හේතුවෙන් නොසන්සුන්කමේ හැඟීම් විඳ නැත්තේ හෝ කිසිවිටකත් පිට නොකළ යුතු වූ වචන පිට කිරීම නිසා බලවත් පසුතැවිල්ලක් ඇති වී නැත්තේ කවරෙකුටද? (යාකොබ් 4:17) අප තුළ හිතට වද දෙන එවැනි හැඟීම් තිබෙන්නේ ඇයි? ‘ව්‍යවස්ථාවේ ක්‍රියාව අපගේ හෘදවල ලියා තිබෙනවා’ කියා ප්‍රේරිත පාවුල් පැහැදිලි කරයි. අපේ හෘදය සාක්ෂිය දැඩි වී නැත්නම්, එම ව්‍යවස්ථාව කඩ කරන ඕනෑම අවස්ථාවකදී ඇතුළාන්තයෙන් බලවත් කැලඹීමක් ඇති කරයි. එහෙමනම් අපට ‘දොස් පවරන්නේ’ හෝ ‘නිදහසට කරුණු කියන්නේ’ හෘදය සාක්ෂියේ හඬයි. (රෝම 2:16; 1 තිමෝති 4:2; තීතස් 1:15) අපිට වැටහුණත්, නොවැටහුණත් වරද ගැන, පාපය ගැන ඇතුළාන්ත අවබෝධයක් අපිට තිබෙනවා!

පාවුල් ඔහුගේ පාපතර බලපෑම් ගැන හොඳින් දැන සිටියා. “යහපත කරන්ට කැමතිවූ මා හට නපුර [තිබේ]” කියා ඔහු පිළිගනියි. “අභ්‍යන්තර මනුෂ්‍යයාගේ ප්‍රකාරයට මම [දෙවිගේ] ව්‍යවස්ථාවට ප්‍රියවෙමි. නුමුත් මාගේ සිතේ ව්‍යවස්ථාවට විරුද්ධව යුද්ධකරන්නාවූ, මාගේ අවයව තුළ තිබෙන පාපයාගේ ව්‍යවස්ථාව යටතෙහි මා වහල්කමට පමුණුවන්නාවූ අන්‍ය ව්‍යවස්ථාවක් මාගේ අවයව තුළ තිබෙන බව මට පෙනේ.” ඉතින් පාවුල් මෙහෙම ඇහැව්වා: “මේ මරණයේ ශරීරයෙන් මා මුදන්නේ කවුද?”—රෝම 7:21-24.

පාපයෙන් නිදහස—කෙසේද?

“හින්දු සම්ප්‍රදායට අනුව මිදීම යනු බවයෙන් බවේ ඉපදීමෙන් හා මැරීමෙන් මිදීමයි” කියා එක් උගතෙක් පවසයි. එලෙසම විසඳුමක් වශයෙන් බෞද්ධ ධර්මය නිවනට—එනම් බාහිර යථාර්ථය අමතක කරන තත්වයකට යොමු දක්වයි. උරුම වූ පාපය පිළිබඳ සංකල්පය අවබෝධ කරගෙන නැති හින්දු ධර්මය, පැවැත්මෙන් තොර වීමක් ගැන පමණක් පොරොන්දු වෙයි.

අනිත් අතට, මිදීම ලැබෙන්නේ පාපතර තත්වය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමෙන් කියා බයිබලය පෙන්නුම් කරනවා. තමාට පාපයෙන් මිදිය හැක්කේ කෙසේදැයි ඇසුවායින් පසු, ප්‍රේරිත පාවුල් මෙහෙම පිළිතුරු දෙනවා: ‘ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස් කරණකොටගෙන දෙවිට ස්තුති කරමි!’ (රෝම 7:25) එසේය, මිදීම පැමිණෙන්නේ යේසුස් ක්‍රිස්තුස් කරණකොටගෙන දෙවිගෙනුයි.

මතෙව්ගේ සුවිශේෂයට අනුව, “මනුෂ්‍ය පුත්‍රයා” වන යේසුස් ක්‍රිස්තුස්, “බොහෝ දෙනෙක් උදෙසා මිදීමේ මිලයක් කොට තමන්ගේ ජීවිතය දෙන්ට” ආවා. (මතෙව් 20:28) පළමුවන තිමෝති 2:6හි වාර්තා කර ඇති අන්දමට, යේසුස් “සියල්ලන් උදෙසා මිදීමේ මිලයක් කොට තමන්ම දුන්නා” කියා පාවුල් ලිව්වා. වහල්භාවයේ සිටින්නන්ගේ මිදීම සඳහා ගෙවන මිලය “මිදීමේ මිලය” යන ප්‍රකාශයෙන් අඟවයි. එය අනුරූප මිදීමේ මිලයක් යන කාරණයෙන්, යුක්තියේ නීතික තුළාවන් සමබර කිරීමට මිලයට ඇති බලය අවධාරණය කරයි. නමුත් එක මනුෂ්‍යයෙකුගේ මරණය “සියල්ලන් උදෙසා මිදීමේ මිලයක්” ලෙස සැලකිය හැක්කේ කෙසේද?

ආදම් අප ඇතුළු සියලුම මනුෂ්‍යයන්ව පාපයට සහ මරණයට ඇද දැම්මා. ඔහු ගෙව්ව මිල, නැතහොත් දඩය ඔහුගේ පරිපූර්ණ මිනිස් ජීවිතයයි. මෙයට හිලව් කිරීම සඳහා, තවත් පරිපූර්ණ මිනිස් ජීවිතයක්—අනුරූප මිදීමේ මිලයක්—ගෙවීමට සිදු වුණා. (නික්මයාම 21:23, 24; ද්විතීය කථාව 19:21; රෝම 5:18, 19) කිසි මනුෂ්‍යයෙකුට මෙම මිදීමේ මිලය සැපයිය නොහැකි නිසා දෙවි තම අසීමිත ප්‍රඥාවෙන්, අතරමං වූ මේ තත්වයෙන් මිදීමට මාර්ගයක් විවෘත කළා. (ගීතාවලිය 49:6, 7) ඔහු ස්වර්ගයේ සිටි තම ඒක-ජාතක පුත්‍රයාගේ පරිපූර්ණ ජීවිතය පොළොවේ කන්‍යාවකගේ ගර්භාශයට මාරු කරමින් ඔහුට පරිපූර්ණ මනුෂ්‍යයෙක් වශයෙන් ඉපදෙන්න සැලැස්සුවා.—ලූක් 1:30-38; යොහන් 3:16-18.

මනුෂ්‍යවර්ගයාව මුදවාගැනීමේ වැඩය ඉටු කිරීම සඳහා පොළොවේ සිටි මුළු කාලය පුරාම පවිත්‍ර වාර්තාවක් පවත්වාගන්න යේසුට සිදු වුණා. ඔහු එසේ කළා. ඉන්පසු ඔහු පරිත්‍යාගී මරණයකින් මියගියා. පරිපූර්ණ මිනිස් ජීවිතයක අගය—එනම් ඔහුගේම ජීවිතය—මනුෂ්‍යවර්ගයාව මුදවාගැනීම සඳහා මිදීමේ මිලයක් වශයෙන් ගෙවීමට හැකි කරවා ඇති බව මේ ආකාරයෙන් යේසු සහතික කළා.—2 කොරින්ති 5:14; 1 පේතෘස් 1:18, 19.

ක්‍රිස්තුස්ගේ මිදීමේ මිලයට අප සඳහා කළ හැකි දේ

යේසුගේ මිදීමේ මිල පූජාවෙන් අපට මේ දැන් ප්‍රයෝජන ලැබිය හැකියි. ඒ කෙරෙහි ඇදහිල්ල පැවැත්වීමෙන් අපිට දෙවි ඉදිරියේ පවිත්‍ර තත්වයක් භුක්ති විඳින්නත්, යෙහෝවාගේ ප්‍රේමනීය හා මෘදු රැකබලා ගැනීම යටතට පැමිණෙන්නත් හැකි වෙනවා. (ක්‍රියා 10:43; රෝම 3:21-24) සමහරවිට අපි කර ඇති පාප සඳහා වරදකාරිබවකින් මිරිකී සිටිනවා වෙනුවට, අපිට මිදීමේ මිලයේ පදනම මත දෙවිගෙන් නිදහසේ සමාව ලබාගන්න පුළුවන්.—යෙසායා 1:18; එපීස 1:7; 1 යොහන් 2:1, 2.

පාපය නිසා ඇති වී තිබෙන මනුෂ්‍යවර්ගයාගේ රෝගාතුර තත්වය ඉදිරි දවස්වලදී සම්පූර්ණයෙන්ම සුවවීමට හැකි කරවන්නේ මිදීමේ මිලය මගිනුයි. බයිබලයේ අන්තිම පොත, දෙවිගේ සිංහාසනයෙන් නික්ම එන “ජීවනදායක වතුර ඇති ගංගාවක්” පිළිබඳව විස්තර කරයි. ගඟේ ඉවුරු දිගේ “ජාතීන්ගේ සුවවීම පිණිස” කොළ ඇති බෙහෙවින් ඵල දරන ගස් තිබෙනවා. (එළිදරව් 22:1, 2) සංකේතාත්මක ලෙස බයිබලය මෙහි කතා කරන්නේ, යේසුගේ මිදීමේ මිල පූජාවේ පදනම මත සදහටම මනුෂ්‍යවර්ගයාව පාපයෙන් සහ මරණයෙන් මුදවාලීමට ඇති මැවුම්කරුගේ පුදුමාකාර සැපයුම ගැනයි.

එළිදරව් පොතේ අනාවැකිමය දර්ශන නොබෝ කලකින් ඉටු වේවි. (එළිදරව් 22:6, 7) එවිට හරි හෘද ඇති සියලුදෙනාම “ජරාවේ වහල්කමින් නිදහස්වී” පරිපූර්ණත්වයට පැමිණෙයි. (රෝම 8:20, 21) යෙහෝවා දෙවි ගැනත්, ඔහුගේ පුත්‍රයා, එනම් මිදීමේ මිලයක් බවට පත් වූ යේසුස් ක්‍රිස්තුස් ගැනත් තව වැඩියෙන් ඉගෙනගැනීමට මෙය අපව පෙලඹවිය යුතු නොවේද?—යොහන් 17:3.

[පාදසටහන]

a Watchtower Bible and Tract Society of New York, Inc., මගින් ප්‍රකාශිත ජීවය—මෙහාට පැමිණියේ කොහොමද? පරිණාමයෙන්ද නැතහොත් මැවීමෙන්ද? (ඉංග්‍රීසියෙන්) යන පොත බලන්න.

[6වන පිටුවේ පින්තූරය]

ආදම් මනුෂ්‍යවර්ගයා මතට පාපය සහ මරණය ගෙන ආවා

[7වන පිටුවේ පින්තූරය]

යේසුගේ මිදීමේ මිල පූජාව පාපයෙන් සහ මරණයෙන් නිදහස ගෙනෙනවා

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න