හෘදය සාක්ෂිය වදයක්ද නැත්නම් දායාදයක්ද?
‘මගේ හෘදය සාක්ෂිය මට වද දෙනවා!’ විටින් විට හෘදය සාක්ෂියේ බලවත් වේදනා අපි සියලුදෙනාම වගේ අද්දැක තියෙනවා. එවැනි හැඟීම් සුළු මානසික නොසන්සුන්භාවයේ සිට අධික සන්තාපය දක්වා විසිර පවතින්න පුළුවන්. පහර කෑ හෘදය සාක්ෂියක්, කනස්සල්ලට හෝ අසමත් වීමේ ගැඹුරු හැඟීමකට පවා මුල පුරන්න පුළුවන්.
ඉතින්, මෙලෙස සලකා බලද්දී, හෘදය සාක්ෂිය වදයක් නෙවෙයිද? සමහරුන්ට එසේ හැඟෙන්න පුළුවන්. පසුගිය පරම්පරාවල සිටි අය බොහෝවිට හෘදය සාක්ෂිය සැලකුවේ සහජ, පරම්පරාගත හැකියාවක් ලෙසයි. බොහෝදෙනෙකුට හැඟුණේ, එය දෙවි විසින් කෙළින්ම දෙන ලද සදාචාර මාර්ග දර්ශකයක් විදිහටයි. තවදුරටත් හෘදය සාක්ෂිය, “මිනිසා තුළ දෙවිගේ පැමිණ සිටීම,” “අපේ මුල් ස්වභාවය” සහ “දෙවිගේ හඬ” ලෙසද හඳුන්වා තියෙනවා.
කෙසේවෙතත් මෑත වසරවලදී, හෘදය සාක්ෂිය කියන්නේ දෙමාපිය සහ සමාජීය බලපෑමෙන් ලබන ඵලයක්—වැඩියෙන්ම අත් කරගත යුතු හැකියාවක් ලෙස ස්ථිරව ප්‍රකාශ කිරීම ප්‍රසිද්ධියට පත් වුණා. උදාහරණයකට, අපි හෘදය සාක්ෂිය කියල හඳුන්වන්නේ, අපේ දෙමාපියන්ගේ පෞද්ගලික සාරධර්ම සහ විශ්වාසයන් නිකම්ම උරාගැනීම කියල සමහර මානසික විශේෂඥයන් විශ්වාස කරනවා. ඒ නිසා ඔවුන් තර්ක කරන්නේ දරුවෙකු අප්‍රසන්න හැසිරීමෙන් වැළකී සිටින්නේ ප්රධානකොටම දඬුවමට තියෙන භය හේතුවෙන් කියලයි. අනිත් අය සාමාන්‍යයෙන් සමාජය විසින් සාරධර්ම සහ ප්රමිතීන් පැතිරවීමේදී ඉටු කරන කාර්යභාරයට යොමු දක්වනවා. සමහරු හෘදය සාක්ෂියේ බලවත් වේදනාව දකින්නේ, අපි කරන්න කැමති දෙය සහ අපිට එරෙහි සමාජයක් අපිට කරන්න බල කර සිටින දෙය අතර ඝට්ටනයක් හැටියටයි!
මේ පිළිබඳ මත තිබුණත්, බොහෝ අවස්ථාවලදී මිනිසුන් තම දෙමාපියන්, පවුල් සහ මුළු සමාජයන් පසෙකලා ස්ථිර ලෙසම දේවල් කර තියෙන්නේ, එසේ කරන්න ඔවුන්ගේ හෘදය සාක්ෂිය ඔවුන්ට කී නිසයි. සමහරුන් තමුන්ගේ දිවි පුදන්න පවා කැමති වී තියෙනවා හෘදය සාක්ෂිය නිසා! ඒ වගේම ලෝකයේ සංස්කෘතීන් අතර ගැඹුරට මුල් බැසගත් වෙනස්කම් තිබුණත්, මිනිමැරීම, සොරකම, වේශ්‍යාකම, බොරුකීම සහ ව්‍යභිචාරය වැනි ක්‍රියා වැරදි බව සෑම තැනම වගේ පිළිගන්නවා. හෘදය සාක්ෂිය සහජ, පරම්පරාගත දෙයක් බවට මෙය සාක්ෂි සපයන්නේ නැද්ද?
හෘදය සාක්ෂිය—බයිබලයේ දෘෂ්ටිය
මේ විෂය ගැන නියම අධිකාරය නම් යෙහෝවා දෙවියි. මොකද, “යෙහෝවා දෙවි බව දැනගන්න. අපව සෑදුවේ අපම නොව ඔහුය [දෙවිය].” (ගීතාවලිය 100:3, NW) ඔහුට අපේ සැකැස්ම හොඳින් තේරෙනවා. දෙවිගේ “ස්වරූපයෙන්” මිනිසා මවා තියෙන බව දේවවචනය වන බයිබලය පැහැදිලි කරනවා. (උත්පත්ති 1:26) මිනිසාව මැව්වේ හරි වැරැද්ද දැනෙන විදිහටයි; ආරම්භයේ සිටම හෘදය සාක්ෂිය මිනිසාගේ ස්වභාවයේ උරුම වූ කොටසක්.—උත්පත්ති 2:16, 17, සසඳන්න.
රෝමවරුන්ට වූ ඔහුගේ ලිපියේදී ප්‍රේරිත පාවුල් මෙය සනාථ කරමින් මෙහෙම ලියනවා: “මක්නිසාද [දෙවිගේ] ව්‍යවස්ථාව නැත්තාවූ අන්‍යජාතීන් ස්වභාවයෙන්ම ව්‍යවස්ථාවේ දේවල් කරන කල, ඔව්හු ව්‍යවස්ථාව නැතුව තමුන්ටම ව්‍යවස්ථාවක්ව සිටිති; කෙසේද? ඔවුන්ගේ හෘදයසාක්ෂිය සාක්ෂිදීමෙන්ද, ඔවුන්ගේ සිතිවිලි ඔවුනොවුන්ට දෝෂාරෝපණය කිරීමෙන් හෝ නිර්දෝෂකිරීමෙන්ද, ව්‍යවස්ථාවේ ක්‍රියාව ඔවුන්ගේ සිත්වල ලියනලදැයි ඔව්හු දක්වති.” (රෝම 2:15, 16) දිව්‍ය ව්‍යවස්ථාව යටතේ නොවැඩුණාවූ බොහෝදෙනෙක් පවා දෙවිගේ ව්‍යවස්ථාවේ සමහර ප්‍රතිපත්ති අනුගමනය කළ බව සලකන්න. ඒ සමාජ පීඩනය නිසා නෙවෙයි, නමුත් “ස්වභාවයෙන්ම”!
එසේනම්, වදයක් වෙනුවට, හෘදය සාක්ෂිය දිව්‍ය ත්‍යාගයක්, දායාදයක්. නොසලකා හැරියොත්, අපට වේදනාව ගෙනෙන්න ඊට පුළුවන්. නමුත් අපි සුදුසු ලෙස අවනත වුණොත්, ගැඹුරු තෘප්තියේ සහ අභ්‍යන්තර සාමයේ හැඟීම්වලින් අපිට විපාක දෙන්නත් එයට පුළුවන්. අපිට මඟ පෙන්වන්න, අපිව ආරක්ෂා කරන්න සහ පොලඹවන්න එයට පුළුවන්. දි ඉන්ට’ප්‍රිට’ස් බයිබල් මෙහෙම අදහස් දක්වනවා: “මානසික සහ චිත්තවේගීය සෞඛ්‍යය රැකගත හැකි වන්නේ, යමෙකු කළ යුතුයි කියා ඔහුට හැඟෙන දෙය සහ ඔහු කරන දෙය අතර ඇති විශාල පරතරය වහන්න උත්සාහ කළොත් විතරයි.” ඒ විශාල පරතරය අපි වහන්නේ කොහොමද? අපේ හෘදය සාක්ෂිය අඹන්නත් පුහුණු කරන්නත් පුළුවන්ද? මේ ප්‍රශ්න මීළඟ ලිපියේදී සලකා බලන්න යනවා.