හෘදය සාක්ෂිය පුහුණු කරන අයුරු
“හොඳම කොට්ටය නම් පිරිසිදු හෘදය සාක්ෂියකි.” මේ පැරණි කියමන වැදගත් කරුණක් උලුප්පා දක්වනවා: එනම් අපි අපේ හෘදය සාක්ෂියට අවනත වන විට, අභ්‍යන්තර සාමය සහ එකඟත්වය අපි භුක්ති විඳිනවා යන්නයි.
කෙසේවෙතත් එහෙම කරන්න හැම කෙනෙක්ම තෝරාගන්නේ නැහැ. හෘදය සාක්ෂිය නමැති නොහොබිනා මායාවෙන් හෝ අභූත කල්පනාවෙන් මිනිසාව මුදවාගැනීමේ මෙහෙයක තමා යෙදී සිටින බව ඇඩොල්ෆ් හිට්ලර් කියා සිටියා. හිට්ලර්ගේ මහත් භය උපදවන සමය, මිනිසුන් තම හෘදය සාක්ෂියට විරුද්ධ වෙද්දී කොපමණ කෲර වෙන්න පුළුවන්ද කියා තැතිගන්වන ලෙස මද වශයෙන් හෝ කියාපානවා. කෙසේවෙතත් අද සිටින අනුකම්පා විරහිත, මනස්තාප නොවී ස්ත්‍රී දූෂණවල යෙදෙන සහ මිනීමරන සාහසික අපරාධකරුවනුත් ඊට වෙනස් නැහැ. මේ දේවල් සිදු කරන වැඩි වෙමින් පවතින සංඛ්‍යාවක් සිටින්නේ ඔවුන්ගේ ළාබාල වයසෙයි. මේ අද්භූත සිදුවීම් අධ්‍යයනය කරන පොතක උපශීර්ෂය වුණේ, චිල්ඩ්රන් විතෞට් ඒ කොන්ෂන්ස් (හෘදය සාක්ෂියක් නැති දරුවෝ) ලෙසයි.
බොහෝ මිනිසුන් සාහසික අපරාධයක් කරන්න කිසිදාක නොසිතුවත් ලිංගික දුරාචාරයේ, බොරුකීමේ හෝ වංචාවේ නියැලීම ගැන දුක් වන්නේ නැහැ. සදාචාරය ලෝක ව්‍යාප්ත පහත වැටීමකට ලක් වෙලා. සැබෑ නමස්කාරයෙන් මහත් ඇදහිල්ල අත්හැර යෑම කෙරෙහි යොමු දක්වද්දී, ලෝකයේ බලපෑමට ඉඩහැරීම හේතුවෙන් ‘තමුන්ගේම හෘදය සාක්ෂියෙහි හංවඩු ලකුණු ලබන්නාවූ’ සමහර ක්‍රිස්තියානීන් ගැන ප්‍රේරිත පාවුල් ලිව්වා. (1 තිමෝති 4:2) දූෂණයේ තර්ජනය අදදින මේ “අන්තිම දවස්වලදී” වඩා වැඩි වී තියෙනවා. (2 තිමෝති 3:1) එමනිසා ක්‍රිස්තියානීන් ඔවුන්ගේ හෘදය සාක්ෂිය රැකගන්න මහත් වීර්යයක් දැරිය යුතුයි. එය පුහුණු කිරීමෙන් සහ වර්ධනය කිරීමෙන් අපිට ඒක කරන්න පුළුවන්.
මනස, හෘදය සහ ඔබේ හෘදය සාක්ෂිය
ප්‍රේරිත පාවුල් මෙහෙම කිව්වා: ‘මම බොරු නොකියා ක්‍රිස්තුස් තුළ සැබෑව කියමි. ඒ බවට ශුද්ධාත්මය තුළ මාගේ හෘදය සාක්ෂිය මා එක්ව සාක්ෂි දෙයි.’ (රෝම 9:1, 2) මේ අනුව හෘදය සාක්ෂියට සාක්ෂිදරන්නෙකු වෙන්න පුළුවන්. යම් හැසිරීම් රටාවක් පරීක්ෂා කර, එය අනුමත කරන්න හෝ හෙළා දකින්න හෘදය සාක්ෂියට පුළුවන්. හරි වැරැද්ද දැනීම බොහෝදුරට අප තුළට දමා තියෙන්නේ අපේ දෙවි විසින්. ඒත්, අපේ හෘදය සාක්ෂිය අඹන්නත් පුහුණු කරන්නත් පුළුවන්. ඒ කොහොමද? ඒ දෙවිගේ වචනයෙන් අපි නිවැරදි දැනුම ලබාගැනීම තුළින්. “දෙවිගේ යහපත් වූ පිළිගත හැකි වූ පරිපූර්ණ වූ කැමැත්ත ඔබටම සහතික කරගන්නා පිණිස, ඔබේ මනස සකස් කරගැනීමෙන් මුළුමනින්ම වෙනස් වන්න” කියා ප්‍රේරිත පාවුල් කියනවා. (රෝම 12:2, NW) ඔබ දෙවිගේ සිතුවිලි සහ කැමැත්ත ඔබගේ මනසේ පැලපදියම් කරගනිද්දී, ඔබගේ හෘදය සාක්ෂිය වඩා වැඩියෙන් දෙවිගේ ක්‍රමයට ක්‍රියාත්මක වෙන්න පටන්ගන්නවා.
ලොව වටා සිටින්නාවූ මිලියන ගණනකට ‘යෙහෝවා දෙවි ගැනත් යේසුස් ක්‍රිස්තුස් ගැනත් දැනුම ලබාගැනීමට’ යෙහෝවාගේ සාක්ෂිකරුවන් උපකාර කර තියෙනවා. (යොහන් 17:3) ඔවුන් නොමිලේ සපයන නිවාස බයිබල් පාඩම් සැලැස්ම තුළින් ලිංගික කාරණා, මත්පැන්, විවාහය, ව්‍යාපාර කටයුතු සහ තව වෙනත් බොහෝ විෂයන් සම්බන්ධව දෙවි යෙහෝවාගේ දෘෂ්ටිය ගැන අවංක හෘද ඇත්තන්ට උගන්වනවා.a (හිතෝපදේශ 11:1; මාර්ක් 10:6-12; 1 කොරින්ති 6:9, 10; එපීස 5:28-33) මේ ‘නිවැරදි දැනුම’ ලබාගැනීම දේවහෘදය සාක්ෂියක් වර්ධනය කරගැනීම සඳහා වැදගත් පියවරක්. (පිලිප්පි 1:11) ඇත්තෙන්ම, ක්‍රිස්තියානිවරයෙක් බයිබලය ගැන මේරූ තේරුම්ගැනීමක් ලබාගත්තායින් පසුව වුණත්, ඔහුගේ හෘදය සාක්ෂිය සෞඛ්‍යසම්පන්නව තබාගැනීමට නම් නිතිපතා දෙවිගේ වචනයෙන් ඔහුගේ මනස පෝෂණය කරගනිමින් සිටිය යුතුයි.—ගීතාවලිය 1:1-3.
බයිබලය, අපේ හැඟීම් සහ චිත්තවේගයන් අඩංගු සංකේත හෘදය සමඟ හෘදය සාක්ෂිය සම්බන්ධ කර තියෙනවා. (රෝම 2:15) හෘදය සාක්ෂිය නිසි සේ ක්‍රියාත්මක වීමට නම්, මනස සහ හෘදය එකිනෙක එකඟව වැඩ කළ යුතුයි. එයින් අදහස් කරන්නේ නිකම් තොරතුරු ඔබගේ මනසට දමාගැනීමට වඩා වැඩි යමක්. ඔබ ඔබගේ හෘදය අඹන්නත් අවශ්‍යයි—ඒ කියන්නේ අභ්‍යන්තර හැඟීම්, ආශාවන් සහ තෘෂ්ණාවන්. තවදුරටත්, හිතෝපදේශ පොත ‘හෘදය නමන්න,’ ‘හෘදය හරිගස්වා ගන්න’ සහ ‘හෘදය යොමු කරන්න’ වැනි කියමන් පාවිච්චි කරනවා. (හිතෝපදේශ 2:2; 23:19; 27:23; NW) එසේ කළ හැකි එක මාර්ගයක් නම්, ශුද්ධ ලියවිලි මත මෙනෙහි කර, එය ගැඹුරින් කල්පනා කිරීමයි. ගීතාවලිය 77:12 කියන්නේ, “ඔබගේ කර්මාන්ත සියල්ල ගැන භාවනාකරන්නෙමි, ඔබගේ ක්‍රියා ගැන මෙනෙහි කරන්නෙමියි කීයෙමි” කියායි. මෙනෙහි කිරීම අපගේ අභ්‍යන්තරම හැඟීම් සහ පෙලඹීම් කරා ළඟා වෙන්න අපට උපකාර කරනවා.
උදාහරණයකට හිතන්න, දුම්කොළ භාවිතය වැනි අපවිත්‍ර පුරුද්දක් ඔබට තියෙනවා කියා. බොහෝ මිනිසුන් වගේ, එහි ඇති සෞඛ්‍ය අවදානම ගැන ඔබත් සාවධානව සිටින බවට කිසිම සැකයක් නැහැ. ඒත්, මිතුරන්ගේ සහ පවුලේ අවවාද හමුවේත් එය නවත්වන්න අමාරු බව ඔබ සොයාගෙන ඇති. මේ කාරණය සම්බන්ධයෙන් බයිබලයේ පණිවිඩය මත මෙනෙහි කිරීම ඔබගේ හෘදය සාක්ෂිය ශක්තිමත් කරන්නේ කොහොමද?
උදාහරණයක් හැටියට, 2 කොරින්ති 7:1හි ප්‍රේරිත පාවුල් කී වචන මෙනෙහි කරන්න උත්සාහ කරන්න. “එබැවින්, ප්‍රේමවන්තයෙනි, මේ පොරොන්දු අපට තිබෙන නිසා, මාංසයේද ආත්මයේද සියලු කිලුටුකම්වලින් අපම පවිත්රකර ගනිමින්, [දෙවි] කෙරෙහි භයින් යුක්තව, ශුද්ධකම සම්පූර්ණකරගනිමු.” මේ වචනවල අර්ථය තේරුම්ගන්න. ඔබෙන්ම මෙහෙම අසන්න, ‘පාවුල් යොමු දක්වන “මේ පොරොන්දු” ඇත්තටම මොනවාද?’ පාඨ සම්බන්ධය කියවීමෙන් ඊට කලින් පද පවසන දේ නිරීක්ෂණය කරන්න ඔබට පුළුවන්: ‘නුඹලා ඔවුන් අතරෙන් පිටතට ඇවිත්, වෙන්ව සිටින්න, අපවිත්‍ර දෙයකට අත නොගසා සිටින්න කියා යෙහෝවා කියන්නේය. එවිට මම නුඹලා පිළිගෙන, නුඹලාට පියෙක් වන්නෙමි, නුඹලාද මට පුත්‍රයොත් දූවරුත් වන්නහුයයි සර්ව පරාක්‍රම වූ යෙහෝවා කියන්නේය.’—2 කොරින්ති 6:17, 18.
“කිලුටුකම්වලින් අපම පවිත්රකර ගනිමින්” කියන පාවුල්ගේ ආඥාවට දැන් වැඩිපුර බලයක් තියෙනවා! එසේ කිරීම සඳහා ප්‍රබල පෙලඹවීමක් හැටියට ‘අපිව පිළිගන්න’ බවට දෙවි පොරොන්දු වෙනවා; ඒ කියන්නේ අපිව ඔහුගේ සුරැකුම යටතට ගෙනෙන බවයි. ‘මම ඔහු සමඟ කිට්ටු සම්බන්ධයක් භුක්ති විඳිනවාද?—හරියට තාත්තා කෙනෙක් එක්ක දුවෙක් නැත්තම් පුතෙක් වගේ?’ කියා ඔබෙන්ම අසන්න පුළුවන්. ‘පිළිගනු ලබනවා’ හෝ ප්‍රඥාවන්ත ප්‍රේමනීය දෙවිකෙනෙකුගෙන් ප්‍රේමය ලබනවා කියන සිතුවිල්ල සිත්ගන්නාසුලු නැද්ද? ඒ සිතුවිල්ල ඔබට අදාළ නැහැ වගේ පෙනෙයි නම්, ප්‍රේමනීය පියවරු ඔවුන්ගේ දරුවන්ට ප්‍රේමය සහ ස්නේහය ප්‍රකාශ කරන හැටි නිරීක්ෂණය කරන්න. දැන් ඔබත් යෙහෝවාත් අතර පවතින එවැනි බැඳීමක් ගැන හිතන්න! ඔබ ඒ මත මෙනෙහි කරන තරමට, එවැනි සම්බන්ධයකට ඇති ආශාවද වර්ධනය වෙනවා.
නමුත් සලකා බලන්න: දෙවි සමඟ සමීපභාවයක් ලබන්න හැකි වන්නේ ඔබ “අපවිත්‍ර දෙයකට අත නොගසා” සිටීමෙනුයි. ඔබෙන්ම අසන්න: ‘දුම්කොළවලට ඇබ්බැහි වීම දෙවි හෙළා දකින ‘අපවිත්‍ර දේවල්’ අතර තියෙනවා නේද? එය පාවිච්චි කිරීම ‘මාංසයේ කිලුටුකමක්’ වී මගේ ජීවිතය සෑම ආකාරයකම සෞඛ්‍ය අවදානම්වලට නිරාවරණය වෙයිද? යෙහෝවා පිරිසිදු හෝ “ශුද්ධ” දෙවි කෙනෙක් නිසා, මාව හිතාමතාම කිලුටු කරගැනීම යෙහෝවා අනුමත කරයිද?’ (1 පේතෘස් 1:15, 16) පාවුල්, ‘කෙනෙකුගේ මාංසයේ කිලුටුකම්’ හෝ මානසික නැඹුරුවාවට එරෙහිවත් අනතුරු අඟවමින් සිටින බව නිරීක්ෂණය කරන්න. ඔබෙන්ම අසන්න: ‘මේ ඇබ්බැහි වීම මගේ සිතීම පාලනය කරනවාද? මම මගේ තෘෂ්ණා සන්සිඳුවාගන්න සමහරවිට මගේ සෞඛ්‍යය, මගේ පවුල හෝ ඊටත් වඩා දෙවි ඉදිරියේ මගේ ස්ථාවරය පවා අනතුරේ හෙළනවාද? මගේ ජීවිතය අනතුරේ හෙළන්න තරම් මොනතරම් දුරකට දුම්කොළවලට ඇබ්බැහි වීමට ඉඩහැර තියෙනවාද?’ අවුල් කරවන මේ ප්‍රශ්නවලට මුහුණ දීම, එය නවතන්න ඔබට හොඳහැටි ධෛර්යය දෙයි!
ඇත්තවශයෙන්ම, දුම්කොළවලට ඇබ්බැහි වීමෙන් ගොඩ ඒමට අන් අයගේ උපකාරය සහ සහයෝගය අවශ්‍ය වෙන්න පුළුවන්. ඒ වුණත්, ඇබ්බැහි වීමෙන් ඔබව නිදහස් කරගැනීම සඳහා ඔබේ හෘදය සාක්ෂිය පුහුණු කරන්න මෙන්ම ශක්තිමත් කරන්න බයිබලය මත මෙනෙහි කිරීමට තවත් බොහෝ දේ කළ හැකියි.
අපි වැරදි කරන විට
හරි දේ කිරීමට වූ අපගේ උපරිම වෑයම දැරුවත් සමහර අවස්ථාවල අසම්පූර්ණත්වය අපිව යටපත් කරන අතර ඒ හේතුවෙන් අපි වැරදි කරනවා. එවිට අපේ හෘදය සාක්ෂිය අපට වද දුන්නත් ගණනකට නොගෙන සිටින්න එය අපිව පොලඹවනවා. එහෙමත් නැත්නම් අපි හොඳටම අධෛර්යයට පත් වෙලා දෙවිට සේවය කිරීමට තියෙන සෑම වෑයමක්ම අතහරින්න අපිට ඕනෙ වෙනවා. කෙසේවෙතත්, දාවිත් රජුගේ සිද්ධිය මතක් කරන්න. ඔහු බැත්ෂෙබා සමඟ කාමමිථ්‍යාචාරයේ යෙදුණාට පසුව ඔහුගේ හෘදය සාක්ෂිය ඔහුට පහර දුන්නා. ඔහුට දැනුණු වදය ඔහු මෙහෙම විස්තර කරනවා: “දිවා රාත්‍රි දෙක්හිම ඔබගේ හස්තය මා පිට බරවිය. මාගේ ඕජස් ගතිය ග්‍රීෂ්ම කාලයේ වියළීම මෙන් විය.” (ගීතාවලිය 32:4) වේදනාසහගතද? ඇත්තවශයෙන්ම! ඒත් මේ දේවශෝකය පසුතැවිලි වී දෙවි සමඟ සමගි වීමට දාවිත්ව පෙලඹුවා. (2 කොරින්ති 7:10, සසඳන්න.) සමාව සඳහා දාවිත්ගේ වේදනාසහගත ආයාචනය, අවංක පසුතැවිල්ල සඳහා ඇති තරම් සාක්ෂි සැපයුවා. දාවිත් ඔහුගේ හෘදය සාක්ෂියට ප්‍රතිචාරය දැක්වූ නිසා ඔහුට වෙනස් වෙන්න උපකාර කරන ලද අතර, කාලයාගේ ඇවෑමෙන් ඔහුගේ ප්‍රීතිය යළි ලබාගත්තා.—ගීතාවලිය 51.
ඒ දේම අදත් සිදු වෙන්න පුළුවන්. සමහරු කාලයකට පෙර යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කළත්, තමුන්ගේ ජීවිත දෙවිගේ උසස් ප්‍රමිති සමඟ එකඟ නැහැ කියා දැනගත්තාම එය නැවැත්වූවා. ඔවුන් සමහරවිට විවාහයේ බැඳීමෙන් තොරව විරුද්ධ ලිංගයේ සාමාජිකයෙක් එක්ක එකට ජීවත් වන්න හෝ අපවිත්‍ර පුරුද්දකට දාසයෙක්ව සිටින්න ඇති. ඔවුන්ගේ හෘදය සාක්ෂිය ඔවුන්ට වද දුන්නා!
ඔබ එවැනි තත්වයක සිටිනවා නම්, පෙන්තකොස්ත දවසේදී කළ ප්‍රේරිත පේතෘස්ගේ වචන සලකා බලන්න. ඔහු ඔහුගේ යුදෙව් රටවැසියන්ගේ පව් හෙළි කළ විටදී, ඔවුන් “අනිනලද සිත් ඇතුව” සිටියා. ඔවුන් අතහරිනවා වෙනුවට පසුතැවිලි වීමට වූ පේතෘස්ගේ උපදේශයට අවනත වී දෙවිගේ අනුග්‍රහය ලබාගත්තා. (ක්‍රියා 2:37-41) ඔබටත් එසේම කරන්න පුළුවන්! ඔබගේ හෘදය සාක්ෂිය වද දෙන නිසා සත්‍ය මාර්ගයෙහි යෑමෙන් නවතිනවා වෙනුවට, “පශ්චාත්තාපව හැරෙන්න” ඔබව පෙලඹවීම සඳහා ඔබේ හෘදය සාක්ෂියට ඉඩහරින්න. (ක්‍රියා 3:20) අධිෂ්ඨානය සහ වෑයම සමඟ දෙවිගේ අනුග්‍රහය ලබාගැනීමට අවශ්‍ය වෙනස්කම් කරගන්න ඔබට පුළුවන්.
“යහපත් හෘදයසාක්ෂියක් ඇතුව සිටින්න”
ඔබ යෙහෝවාගේ මාර්ග ඉගෙනගැනීම ආරම්භ කළා විතරයි වුණත්, අවුරුදු ගණනාවක් පුරා මේරූ ක්‍රිස්තියානියෙක්ව සිටියා වුණත් පේතෘස්ගේ අනුශාසනාව උචිතයි: “යහපත් හෘදයසාක්ෂියක් ඇතුව සිටින්න.” (1 පේතෘස් 3:16) එය දායාදයක් මිස වදයක් නෙවෙයි. ඔබේ මනස සහ හෘදය දෙවිගේ වචනය වන බයිබලයේ අඩංගු ප්‍රඥාව මත පෝෂණය කිරීමෙන් පුහුණු කරන්න. එය අනතුරු අඟවද්දී ඊට අවනත වෙන්න. කෙනෙකුගේ හෘදය සාක්ෂියට කීකරු වීමෙන් ගෙනෙන මනසේ අභ්‍යන්තර සාමය භුක්ති විඳින්න.
ඔබේ හෘදය සාක්ෂිය පුහුණු කිරීම සහ ඇඹීම පහසු දෙයක් නොවන බව පිළිගත යුතුයි. කෙසේවෙතත්, ඔබට උපකාර කරන්න කියා යෙහෝවාට යාච්ඤා කරන්න ඔබට පුළුවන්. ඔහුගේ උපකාරයෙන් “පිරිසිදු සිතකිනුත් යහපත් හෘදයසාක්ෂියකිනුත් සැබෑ අවංකවූ ඇදහිල්ලෙනුත්” දෙවිට සේවය කරන්න ඔබට පුළුවන් වෙන්න යනවා.—1 තිමෝති 1:5.
[පාදසටහන]
a නොමිලේ සපයන නිවාස බයිබල් පාඩමක් සඳහා ඔබ උනන්දුවක් දක්වනවා නම්, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රාදේශීය සභාවක් අමතන්න හෝ මේ සඟරාවේ ප්‍රකාශකයන්ට ලියන්න හෝ පසුබට වෙන්න එපා.
[6වන පිටුවේ පින්තූරය]
දෙවිගේ වචනය කියවීම සහ මෙනෙහි කිරීම අපගේ හෘදය සාක්ෂිය පුහුණු කිරීමට අපට උදව් කරනවා