බයිබලය අප අතට පත් වූ අයුරු—1 කොටසa
කුඩා වැඩපොළක, මුද්‍රණ ශිල්පියෙකු හා ඔහුගේ යෞවන අතවැසියන්, අකුරු මත පරෙස්සමින් හිස් කොළ තබමින් ලීවලින් තැනූ තම මුද්‍රණ යන්ත්‍රය රිද්මයකට අනුව ක්‍රියා කරවයි. ඔවුන් ඒවා අස් කරද්දී මුද්‍රිත කොටස නිවැරදිව තිබෙනවාද කියා සෝදිසි කර බලයි. ඒවා වේළීම සඳහා, ඔවුන් බිත්තියෙන් බිත්තියට ඇද්ද වැල් පොටවල දෙකට නැවූ එම පිටු එල්ලයි.
හදිසියේම, මහ හයියෙන් දොරට ගසයි. තැතිගත් මුද්‍රණ ශිල්පියා දොරේ අගුලු අරින අතර, අවි සන්නද්ධ සොල්දාදුවන් ඇතුළට කඩාවදියි. නීති විරෝධි පොතක් හැටියට බෙහෙවින්ම හෙළා දුටු පොදු ජනයාගේ භාෂාවෙන් වූ බයිබලය සෙවීමට ඔවුන් පටන්ගනියි!
ඔවුන් ප්‍රමාද වැඩියි. අනතුර ගැන ඉව වැටුණු පරිවර්තකයා සහ උදව්කාරයෙක්, මේ වන විටත් වැඩපොළ වෙත දිවගොස්, අත් දෙකෙන් ගන්න පුළුවන් තරම් පිටු ප්‍රමාණයක් රැගෙන, ඔවුන් දැන් රයින් ගඟෙන් පලා යමින් සිටියි. ඔවුන් අඩුම තරමින් ඔවුන්ගේ වැඩයෙන් කොටසක්වත් බේරගෙන තිබෙනවා.
මේ සිද්ධියේ පරිවර්තකයාව සිටියේ විලියම් ටින්ඩේල්; වර්ෂ 1525දී ජර්මනියේ කලෝන්හිදී, ඔහුගේ තහනම් ඉංග්‍රීසි “නව තෙස්තමේන්තුව” නිෂ්පාදනය කිරීමට වෑයම් කරමින් සිටියා. ඔහුගේ අද්දැකීම ඔහුට පමණක් ආවේණික වූ එකක් නොවේ. බයිබලය සම්පූර්ණ කළ දා සිට වර්ෂ 1,900කට ආසන්න කාලයක් පුරා බොහෝ පුරුෂයන් හා ස්ත්‍රීන් දෙවිගේ වචනය පරිවර්තනය කිරීමට සහ බෙදාහැරීමට සියල්ල පරදුවේ තබා තිබෙනවා. ඔවුන්ගේ වැඩයෙන් අදදින අපි තවමත් ප්‍රයෝජන ලබනවා. ඔවුන් කළේ කුමක්ද? දැන් අපේ අත්වල තිබෙන බයිබල් අප අතට පත් වුණේ කෙසේද?
මුල් බයිබලය පිටපත් කිරීම සහ පරිවර්තනය
දෙවිගේ සැබෑ සේවකයන් සැමවිටම ඔහුගේ වචනය උසස්ම තලයක තබා තිබෙනවා. නියූ කැතලික් එන්සයික්ලොපීඩියා මෙසේ පිළිගනියි: “මුල් ක්‍රිස්තියානීන්, ඔවුන්ගේ මුතුන්මිත්තන් මෙන් පරිශුද්ධ පොත් කියවීම අගය කළා. යේසුගේ ආදර්ශය අනුගමනය කිරීමෙන් (මතෙ 4.4; 5.18; ලූක් 24.44; යොහ 5.39), ප්‍රේරිතයන් ප[රණ] ගි[විසුම] සම්බන්ධයෙන් හොඳින් දැන සිටියා; ඉන් අඟවන්නේ පරෙස්සමින්, දිගු කලක් පුරා කියවීම සහ අධ්‍යයනය කිරීමයි; තවද එය ඔවුන්ගේ ශ්‍රාවකයන් මත බලපෑමක් ඇති කළා. (රෝම 15.4; 2 තිමෝ 3.15-17).”
ඒ සඳහා, බයිබලයේ පිටපත් සෑදීමට අවශ්‍යව තිබුණා. පූර්ව-ක්‍රිස්තියානි කාලවල, මේ වැඩයෙන් වැඩිහරියක් කරනු ලැබුවේ අත්වැරදීම් සිදු කිරීමට බිය වූ ඉහළටම වෘත්තීය පුහුණුව ලත් ‘දක්ෂ පිටපත්කරුවන්’ විසින්. (එස්රා 7:6, 11, 12) සම්පූර්ණ පිටපත් නිපදවීමට වෑයම් කිරීමෙන්, ඔවුන් පසු කාලයේ සිටි සියලු බයිබල් පිටපත්කරුවන් සඳහා උසස් ප්‍රමිතියක් තැබුවා.
කෙසේවුවත්, පො.යු.පෙ. හතරවන ශතවර්ෂයේදී, අභියෝගයක් පැනනැඟුණා. මහා ඇලෙක්සැන්ඩර්ට වුවමනා වුණේ, ලෝකයේ හැම කෙනෙක්ම ග්‍රීක් සංස්කෘතියෙන් දැනුවත් වෙනවා දකින්නයි. මැද පෙරදිග පුරාම ඔහු යටත් කරගත් ප්‍රදේශවල, පොදු භාෂාව වශයෙන් පොදු ග්‍රීක් හෝ කොයිනේ භාෂාව ස්ථාපිත කළා. ප්‍රතිඵලයක් වශයෙන්, හෙබ්‍රෙව් කියවීමට කිසිදාක ඉගෙනගන්නේ නැතුව යුදෙව්වන් බොහෝදෙනෙක් වැඩුණු නිසා, ඔවුන්ට ශුද්ධ ලියවිලි කියවීමට නොහැකි වුණා. එබැවින්, පො.යු.පෙ. 280දී පමණ හෙබ්‍රෙව් බයිබලය ජනප්‍රිය කොයිනේවලට පරිවර්තනය කිරීම සඳහා ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියාවට හෙබ්‍රෙව් උගතුන් කණ්ඩායමක් රැස් කරනු ලැබුවා. ඔවුන්ගේ ග්‍රීක් පරිවර්තනය සෙප්ටූඅජින්ට් වශයෙන් ප්‍රසිද්ධ වුණා; පරිවර්තනයට ඇතුළත් වූ බවට විශ්වාස කරන දළ සංඛ්‍යාව වන “හැත්තෑව” ඉන් යොමු දැක්වෙනවා. එය පො.යු.පෙ. 150දී පමණ නිම වුණා.
යේසුගේ කාලයේදීත්, පලස්තීනයේ හෙබ්‍රෙව් පාවිච්චියේ තිබුණා. නමුත් එහි මෙන්ම රෝමයේ පිටිසරබද පළාත්වල රජ කළේ කොයිනේයි. එමනිසා, ජාතීන්ගෙන් වැඩිදෙනෙක් වෙත එළඹීමේ අටියෙන් ක්‍රිස්තියානි බයිබල් ලේඛකයන් මේ පොදු ආකාරයේ ග්‍රීක් භාෂාව පාවිච්චි කළා. එමෙන්ම, ඔවුන් රිසි පරිදි සෙප්ටූඅජින්ට් පරිවර්තනයෙන් උපුටාගනිමින් එහි යෙදුම් බොහොමයක් යොදාගත්තා.
මුල් ක්‍රිස්තියානීන් ජ්වලිත මිෂනාරීන්ව සිටි බැවින්, දිගු කලක් පුරා බලා සිටි මෙසියස්, යේසු බව ඔප්පු කිරීමට සෙප්ටූඅජින්ට් පාවිච්චි කිරීමේ සමර්ථයන් බවට ඔවුන් විගස පත් වුණා. මෙය යුදෙව්වන්ව කැලඹූ අතර, ග්රීක්වලින් අලුත් පරිවර්තන නිපදවීමට පෙලඹෙව්වා; ඒවා නිපදෙව්වේ ක්‍රිස්තියානීන් යොදාගන්නා ප්‍රියතම පාඨයන් සංශෝධනය කිරීම මගින් ඔවුන්ගේ තර්ක බිඳීමටයි. උදාහරණයක් වශයෙන්, යෙසායා 7:14හි සෙප්ටූඅජින්ට් “කන්‍යාව” යන අර්ථය ඇති ග්‍රීක් වචනයක් යොදාගත්තේ අනාවැකිමය ආකාරයකින් මෙසියස්ගේ මවට යොමු දක්වමිනුයි. අලුත් පරිවර්තනවල “යෞවන ස්ත්‍රිය” යන අර්ථය ඇති වෙනස් ග්‍රීක් වචනයක් පාවිච්චි කළා. ක්‍රිස්තියානීන් දිගටම සෙප්ටූඅජින්ට් පාවිච්චි කිරීම, අන්තිමේදී යුදෙව්වන්ට සම්පූර්ණයෙන්ම තම උපායන් අත්හැර, යළිත් හෙබ්රෙව්වලට හැරෙන්න පෙලඹෙව්වා. එම ක්‍රියාව හෙබ්‍රෙව් භාෂාව ජීවමානව තබාගැනීමට උපකාරවත් වූ නිසා, අන්තිමේදී එය පසු කලෙක සිදු වූ බයිබල් පරිවර්තනවලට මහත් වාසියක් වුණා.
මුල් ක්‍රිස්තියානි පොතේ ප්‍රකාශකයෝ
ජ්වලිත මුල් ක්‍රිස්තියානීන් තමන්ට පුළුවන් තරම් බයිබල් පිටපත් නිෂ්පාදනය කිරීම සඳහා ක්‍රියාත්මක වුණා; සියල්ලම පිටපත් කළේ අතින්. දිගටම අකුළන ලියවිලි භාවිත කරනවා වෙනුවට, නවීන පොතක මෙන් පිටු තිබූ කෝඩෙක්ස් භාවිත කිරීමටද ඔවුන් පටන්ගත්තා. ශුද්ධ ලියවිලි පාඨ විගස ඉතා පහසුවෙන් සොයාගන්නවාට අමතරව, කෝඩෙක්ස් තනි වෙළුමක, තනි අකුළන ලියවිල්ලක වාර්තා කළ හැකි ප්‍රමාණයට වඩා වැඩියෙන් අඩංගු කළ හැකියි—උදාහරණයක් වශයෙන්, මුළු ග්‍රීක් ලියවිල්ලම හෝ මුළු බයිබලයම.
ක්‍රිස්තියානි ග්‍රීක් ලියවිලිවල පිළිගත් ග්රන්ථ සමූහය පො.යු. 98දී පමණ සම්පූර්ණ කළා; අන්තිමට ජීවත්ව සිටි ප්‍රේරිත යොහන්ගේ පොත්ද ඊට ඇතුළත් වුණා. යොහන්ගේ සුවිශේෂයේ පිටපතක ඛණ්ඩයක් තිබුණ අතර, එය හැඳින්වූයේ රයිලන්ඩ්ස් පැපිරස් 457 (P52) වශයෙන්; වැඩිම වුණොත් එය පො.යු. 125 දක්වා කාලයකට තමයි දිව යන්නෙ. පොදු යුගයේ 150 සිට 170 තරම් මුල් කාලයක, ජස්ටින් මාටිය’ගේ ශිෂ්‍යයෙක් වූ ටාෂියන්, ඩයටෙසරොන් අනුවාදය නිෂ්පාදනය කළා; එය අපේ වර්තමාන බයිබල්වල තිබෙන සුවිශේෂ හතරෙන්ම සම්පාදනය කළ යේසුගේ ජීවිතයේ කොටස්වලින් යුක්ත වාර්තාවක්.b ඒ සුවිශේෂ පමණක් විශ්වාස කළ හැකියයි ඔහු සැලකූ බව මෙය අදහස් කළ අතර, ඒවා ඒ වන විටත් බෙදාහැරෙමින් තිබුණා. මූරාටෝරියානු ඛණ්ඩයක් වශයෙන් හැඳින්වූ “නව තෙස්තමේන්තු” පොත්වල මුලින්ම ප්‍රසිද්ධ වූ නාමාවලිය පො.යු. 170දී පමණ නිපදෙව්වා. එය ක්‍රිස්තියානි ග්‍රීක් ලියවිලිවල පොත් බොහෝමයක් ලැයිස්තුගත කරයි.
ක්‍රිස්තියානි විශ්වාසයන්ගේ පැතිර යෑම, ක්‍රිස්තියානි ශුද්ධ ලියවිලිවල මෙන්ම හෙබ්‍රෙව් ලියවිලිවල පරිවර්තනයන් සඳහා අවශ්‍යතාවක් විගස බිහි කළා. ආමේනියන්, කොප්ටික්, ජෝ’ජියන් සහ සිරිඇක් වැනි භාෂාවලින් අනුවාද ගණනාවක් අවසානයේදී සාදනු ලැබුවා. ඒ අරමුණ සඳහාම බොහෝවිට හෝඩියේ අකුරු අලුත් කරන්න සිදු වුණා. නිදසුනක් වශයෙන්, හතරවන ශතවර්ෂයේ රෝමානු පල්ලියේ බිෂොප්වරයෙක් වූ උල්ෆිලාස්, බයිබලය පරිවර්තනය කිරීමට ගොතික් අකුරු හෝඩිය බිහි කළ බව පවසා තිබෙනවා. නමුත් යුද්ධ කිරීමේ නැඹුරුවාවක් රාජාවලිය පොත්වලින් ගොතික්වරුන්ට ඇති විය හැකියයි සිතා ඒවා පරිවර්තනය කළේ නෑ. කෙසේවුවත්, මේ ක්‍රියාව, “ක්‍රිස්තියානීන් බවට පත් වූ” ගොතික්වරුන්ව පො.යු. 410දී රෝමය බලෙන් පැහැරගැනීමෙන් වැළැක්වූයේ නෑ!
ලතින් සහ ස්ලවොනික් බයිබල්
ඒ අතරතුර, ලතින් වැදගත්කමක් ලබාගත් අතර පරණ ලතින් අනුවාද කීපයක් ඇති වුණා. නමුත් ඒවා ශෛලියෙන් හා නිවැරදිභාවයෙන් වෙනස් වුණා. එනිසා පො.යු. 382දී ඩැමසස් පාප්, අධිකාරිත්වයෙන් යුතු ලතින් බයිබලයක් සූදානම් කිරීමට ඔහුගේ ලේකම්වරයා වූ ජෙරොම්ට පැවරුවා.
ක්‍රිස්තියානි ග්‍රීක් ලියවිලිවල ලතින් අනුවාද සංශෝධනය කරමින් ජෙරොම් පටන්ගත්තා. කෙසේවුවත්, හෙබ්‍රෙව් ලියවිලි සඳහා මුල් හෙබ්‍රෙව්වලින් පරිවර්තනය කිරීමට ඔහු තරයේ සිතාගත්තා. මේ හේතුවෙන්, පො.යු. 386දී හෙබ්‍රෙව් අධ්‍යයනය කිරීමටත්, රබ්බිවරයෙක්ගේ සහාය සෙවීමටත් ඔහු බෙත්ලෙහෙමට ගියා. මේ ක්‍රියාවෙන්, ඔහු පල්ලිවල සැලකිය යුතු මතභේදයක් ඇති කළා. ජෙරොම්ගේ සමකාලීන ඔගස්ටින් ඇතුළු සමහරෙක් සෙප්ටූඅජින්ට් ආනුභාවයෙන් ලියනු ලැබූවක් බවට විශ්වාස කළ අතර, ජෙරොම් “යුදෙව්වන් වෙතට යෑම” සම්බන්ධයෙන් ඔවුන් දෝෂාරෝපණය කළා. නිර්භීතව ඉදිරියට යමින් ජෙරොම් පො.යු. 400දී පමණ ඔහුගේ වැඩය සම්පූර්ණ කළා. මුල් භාෂා සහ ලියවිලිවල මූලාශ්‍රයට සමීප වීමෙන් සහ ඒවා නවීන දින ජීවමාන භාෂාවලින් ඉදිරිපත් කිරීමෙන් මීට වර්ෂ දාහකට පෙර, ජෙරොම් නවීන පරිවර්තන ක්‍රම ඒ කාලයේදීම යොදාගත්තා. ඔහුගේ කෘතිය වල්ගේට් නැතහොත් පොදු අනුවාදය වශයෙන් ප්‍රසිද්ධ වුණු අතර, එය ශතවර්ෂ ගණනාවක් පුරා ජනයාට ප්‍රයෝජනවත් වුණා.
පෙරදිග ක්‍රිස්තියානි ලෝකයේ බොහෝදෙනෙක්ට ඒ වන විට සෙප්ටූඅජින්ට් සහ ක්‍රිස්තියානි ග්‍රීක් ලියවිලි කියවීමට හැකිකම තිබුණා. කෙසේවුවද, පසු කලෙක, අදදින ස්ලාවික් භාෂාවල මුල් ස්ලවොනික්, ඊසානදිග යුරෝපයේ ප්‍රධාන භාෂාව බවට පත් වුණා. සිරිල් සහ මිතෝඩියස් නමැති ග්‍රීක් භාෂාව කතා කරන සහෝදරයන් දෙදෙනා පො.යු. 863දී, දැන් චෙකොස්ලොවැකියා සමූහාණ්ඩුවේ මොරවිය වෙත ගියා. ඔවුන් බයිබලය මුල් ස්ලවොනික්වලට පරිවර්තනය කරන්න පටන්ගත්තා. එසේ කිරීමට, ග්ලැග්ලිඩික් හෝඩිය අලුත් කළ අතර, එය පසු කලක සිරිල්ගේ නමින්, සිරිලික් අකුරු හෝඩිය බවට පත් වුණා. මෙය වත්මන්-දින රුසියානු, යුක්රේනියානු, සර්බියානු සහ බල්ගේරියානු අකුරුවල උල්පත වුණා. ස්ලවොනික් බයිබලය ඒ ප්‍රදේශයේ ජනයා සඳහා පරම්පරා ගණනාවකට මෙහෙයක් ඉටු කළා. එහෙත්, කාලයාගේ ඇවෑමෙන්, භාෂා වෙනස් වුණත් එක්කම සාමාන්‍ය පුද්ගලයාට එය තේරුම්ගන්න බැරි තත්වයකට පත් වුණා.
හෙබ්‍රෙව් බයිබලය ආරක්ෂා වෙයි
මේ කාලපරිච්ඡේදයේදී, එනම් පො.යු. හයවන ශතවර්ෂයේ සිට දහවන ශතවර්ෂය දක්වා කාලයේදී, මැසරිට්වරු ලෙස ප්‍රසිද්ධ යුදෙව් කණ්ඩායමක් හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලි පාඨ ආරක්ෂා කිරීමට ක්රමානුකූල පිටපත් කිරීමේ ක්‍රම බිහි කළා. අත්පිටපත්වල වෙනස්කම් සටහන් කරමින් ඔවුන් හැම පේළියක්ම, හැම අකුරක්ම පවා ගණන් කිරීමටත් පරිශ්‍රමයක් දැරුවේ විශ්වාස කටයුතු ලියවිල්ලක් ආරක්ෂා කිරීමේ වෑයමක් වශයෙනුයි. ඔවුන්ගේ වෑයම් නිෂ්ඵල වුණේ නෑ. එක උදාහරණයක් සඳහන් කරනවා නම්, පො.යු.පෙ. 250 සහ පො.යු. 50 අතර ලියන ලද මළ මුහුදේ ලියවිලි සමඟ නවීන මැසරෙටික් ලියවිල්ල සසඳා බලන විට, වර්ෂ 1,000කට වැඩි කාලයකදී ධර්මානුකූල වෙනස්කම් සිදු වී නැති බව පෙනෙනවා.c
යුරෝපයේ මධ්‍යකාලීන යුගය බොහෝදුරට අඳුරු යුගයට සමානකමක් පෙන්නුවා. ජනයා අතර කියවීම සහ ඉගෙනීම තිබුණේ පහත් අඩියකයි. අවසානයේදී, වැඩිදෙනෙකුට, පූජකයන්ට පවා පල්ලියේ පාවිච්චි කරන ලතින් භාෂාවවත්, ඔවුන්ගේම භාෂාවවත් කියවන්න බැරි වුණා. මේ කාලය, යුරෝපයේ යුදෙව්වන්ට සීමා කළ ප්‍රදේශ කරා යුදෙව්වන්ව එක්රැස් කළ කාලයක්ද වුණා. මෙසේ එක තැනකට කොටුවීම හේතුවෙන් තරමක් දුරට බයිබලය පිළිබඳ හොඳ හෙබ්‍රෙව් දැනුමක් ආරක්ෂා වුණා. කෙසේවුවත්, අගතිය සහ අවිශ්වාසය හේතුවෙන්, බොහෝවිට යුදෙව් ප්‍රදේශවලින් පිටතදී යුදෙව් දැනුම ලබාගත නොහැකි වුණා. බටහිර යුරෝපයේ ග්‍රීක් දැනුමත් පිරිහෙමින් තිබුණා. බටහිර පල්ලි ජෙරොම්ගේ ලතින් වල්ගේට් සඳහා ගෞරවයක් දැක්වීම මගින් තත්වය තවත් උග්‍ර වුණා. මැසරිට්වරුන්ගේ කාලපරිච්ඡේදය අවසානයේදී ලතින්, මළ භාෂාවක් බවට පත් වුණත් එය පිළිගත් එකම අනුවාදය හැටියට සාමාන්‍යයෙන් සැලකුවා. මෙබැවින්, බයිබලය දැනගැනීමට ආශාවක් ක්‍රමයෙන් වර්ධනය වූ විට, විශාල ගැටුමකට අඩිතාලමක් දැමුණා.
බයිබල් පරිවර්තනය විරුද්ධවාදිකම්වලට මුහුණ දෙයි
වර්ෂ 1079දී VIIවන ග්‍රෙගරි පාප්, මධ්‍යකාලීන පල්ලි බොහෝමයකින් ප්‍රථම නියෝගය ඉදිරිපත් කරමින් ස්වභාෂා අනුවාදවල නිෂ්පාදනය සහ සමහරවිට ඒවා සතුව තබාගැනීම පවා තහනම් කළා. ශුද්ධ ලියවිල්ලේ කොටස් පරිවර්තනය කිරීමට අවශ්‍යයි යන පදනම යටතේ ස්ලවොනික්වලින් දේවමෙහෙය පැවැත්වීමට තිබූ අවසරය ඔහු ඉවත් කළා. මුල් ක්‍රිස්තියානීන්ගේ තත්වයට හාත්පසින්ම වෙනස්ව ඔහු මෙහෙම ලිව්වා: “ශුද්ධ ලියවිල්ල ඇතැම් ස්ථානවල රහසිගතව තැබිය යුත්තක් කියන එක සර්වබලධාරි දෙවිට ප්‍රසන්නව [තිබෙනවා].” පල්ලියේ නිල ලත් තත්වය වශයෙන් වූ මේ දෙය හේතුවෙන් බයිබලය කියවීමට අනුබල දෙන්නන් ඉතා අනතුරුදායක බවට සලකනු ලැබුවා.
අහිතකර වාතාවරණයක් තිබුණත්, පොදු භාෂාවලට බයිබලය පරිවර්තනය කිරීම හා පිටපත් කිරීම දිගටම සිදු කෙරුණා. බොහෝ භාෂා අනුවාද යුරෝපය පුරා රහසිගතව බෙදාහැරියා. යුරෝපය තුළ 1,400ගණන්වල මැදභාගය වන තුරු සචල-අකුරු මුද්‍රණය සොයාගෙන නොතිබූ බැවින් මේවා සියල්ලම අත්පිටපත් ලෙසින් තිබුණා. නමුත් පිටපත් මිල අධික මෙන්ම සීමා සහිත වූ නිසා, සාමාන්‍ය වැසියෙකුට බයිබලයේ පොතකින් කොටසක්, එහෙමත් නැත්නම් පිටු කීපයක් පමණක් හෝ තමා සතුවීම සතුටක් වුණා. සමහරු විශාල ප්‍රමාණයක්, මුළු ක්‍රිස්තියානි ග්‍රීක් ලියවිලිම පවා කටපාඩම් කරගත්තා.
කෙසේවුවත්, කල් යත්ම, පල්ලියේ ප්‍රතිසංස්කරණය සඳහා පුළුල් වැඩපිළිවෙළවල් දියත් කෙරෙමින් තිබුණා. එදිනෙදා ජීවිතයේදී දෙවිගේ වචනයේ වැදගත්කම පිළිබඳව අලුත් වූ සාවධානය මගින් තරමක් දුරට මේවා ක්‍රියාත්මක කෙරුණා. මේ වැඩපිළිවෙළවල් සහ මුද්‍රණයේ සංවර්ධනය බයිබලයට බලපෑවේ කෙසේද? තවද මුලදී සඳහන් කළ විලියම් ටින්ඩේල්ට සහ ඔහුගේ පරිවර්තනයට මොකක්ද සිද්ධ වුණේ? අපි ඉදිරි කලාපවල, මෙම සිත් අලවන කතන්දරය අපේම කාලය දක්වා ගෙන එන්නෙමු.
[පාදසටහන්වල]
a 2වන සහ 3වන කොටස් පිළිවෙළින් සැප්තැම්බර් 15 සහ ඔක්තෝබර් 15 කලාපවල පළ වෙයි.
b Watchtower Bible and Tract Society of New York, Inc., මගින් ප්‍රකාශිත මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා පොත, සුවිශේෂ හතරේ එකඟතාව සම්බන්ධයෙන් නවීන ආදර්ශයක්.
c Watchtower Bible and Tract Society of New York, Inc., මගින් ප්‍රකාශිත ශුද්ධ ලියවිලි පිළිබඳ තීක්ෂ්ණ බුද්ධිය 2වන වෙළුම, 315වන පිටුව බලන්න.
[8, 9වන පිටුවේ වගුව]
ප්‍රධාන දින බයිබලයේ පැතිර යෑම
(මුද්‍රිත පිටපත බලන්න)
පොදු යුගයට පෙර (පො.යු.පෙ.)
හෙබ්‍රෙව් ලියවිලි සම්පූර්ණ කළා, පො.යු.පෙ. 443දී පමණ
පො.යු.පෙ. 400
මහා ඇලෙක්සැන්ඩර් (පො.යු.පෙ. 323 වි.)
පො.යු.පෙ. 300
සෙප්ටූඅජින්ට් පටන්ගත්තා, පො.යු.පෙ. 280දී පමණ
පො.යු.පෙ. 200
පො.යු.පෙ. 100 මළ මුහුදේ ලියවිලිවලින් වැඩිහරියක් පො.යු.පෙ. 100 සිට පො.යු. 68 දක්වා පමණ
පොදු යුගය (පො.යු.)
යෙරුසලම විනාශ වුණා, පො.යු. 70දී
ග්‍රීක් ශුද්ධ ලියවිලි සම්පූර්ණ කළා, පො.යු. 98දී
පො.යු. 100
යොහන්ගේ රයිලන්ඩ්ස් පැපිරස් (පො.යු. 125 ආ.)
පො.යු. 200
පො.යු. 300
පො.යු. 400 ජෙරොම්ගේ ලතින් වල්ගේට් පො.යු. 400 පමණ
පො.යු. 500
පො.යු. 600
මැසරෙටික් ලියවිල්ල සූදානම් කළා
පො.යු. 700
පො.යු. 800
මොරවියහි සිරිල් පො.යු. 863
පො.යු. 900
පො.යු. 1000
ස්වභාෂා බයිබලයට විරුද්ධ නියෝගය පො.යු. 1079දී
පො.යු. 1100
පො.යු. 1200
පො.යු. 1300
[9වන පිටුවේ පින්තූරය]
මුල් ක්‍රිස්තියානීන් කෝඩෙක්ස් භාවිතයේ පුරෝගාමීන් වුණා
[10වන පිටුවේ පින්තූරය]
ජෙරොම් හෙබ්‍රෙව් අධ්‍යයනය කිරීමට බෙත්ලෙහෙමට ගියා