ප්‍රතිපත්තිය තේරුම්ගැනීම මේරූකම පිළිබිඹු කරයි
නපුරු සමාගමෙන් හොඳ චරිත නරක් වේ. ඔබ වපුරන දේ ඔබ කපාගනී. (1 කොරින්ති 15:33; ගලාති 6:7) භෞතිකව හෝ ආත්මිකව හෝ, ඒ ප්‍රකාශයන් දෙකම මූලික සත්‍යතාවකට—එනම් ප්රතිපත්තියකට උදාහරණයක් වන අතර, නීති සඳහා පදනමක් සපයනවා. කොහොම වුණත්, නීති ඇවිත් පහව යා හැකි අතර, ඒවා යම් විශේෂිත ස්වරූපයක් ගන්න බලනවා. අනික් අතට, ප්‍රතිපත්ති පුළුල් ස්වරූපයක් ගන්නා අතර, සදහටම පැවතිය හැකියි. මේ අනුව, හැකි සෑම අවස්ථාවකදීම ප්‍රතිපත්ති අනුව කල්පනා කිරීමට දේවවචනය අපිව දිරිගන්වයි.
වෙබ්ස්ට’ස් ත’ඩ් නියූ ඉන්ට’නැෂනල් ඩික්ෂනරි යන ශබ්දකෝෂය ප්‍රතිපත්තියක් නිර්වචනය කරන්නේ, “සාමාන්‍ය හෝ මූලික සත්‍යයක්; වෙනත් ඒවා පදනම්ව පවතින හෝ වෙනත් ඒවා සෑදීමට යොදාගන්නා සමස්ත මෙන්ම මූලික නීතියක්, ධර්මයක් හෝ උපකල්පනයක්” වශයෙනි. උදාහරණයක් ලෙස, දරුවෙකුට “ලිප අල්ලන්න එපා” කියන නීතිය දෙන්න යමෙකුට පුළුවන්. එනමුත් වැඩිහිටියෙකුට “ලිප රස්නෙයි” කියා ප්‍රකාශ කිරීම සෑහෙයි. පසුව සඳහන් දේ වඩාත් මූලික සත්‍යතාවක් බව සැලකිල්ලට ගන්න. යමෙකු කරන දේ, ඒ කියන්නේ, ඉවීම, පිලිස්සීම හෝ ලිප නිවීම වැනි දේවල් එයින් පාලනය වන නිසා, එය යම් විදිහකින් ප්‍රතිපත්තියක් බවට පත් වෙනවා.
ඇත්තෙන්ම, ජීවිතයෙහි මූලික ප්‍රතිපත්ති ආත්මික ස්වරූපයක් ගනී; ඒවා දෙවිට අපි දෙන නමස්කාරය සහ අපේ සන්තෝෂය පාලනය කරනවා. එනමුත්, ප්‍රතිපත්ති මත තර්ක කිරීමට අවශ්‍ය වෑයම දැරීමට සමහරුන් අදි මදි කරනවා. තීරණයක් ගන්න සිදු වෙද්දී, නීතියක පිහිට පැතීමට ඔවුන් වැඩි මනාපයක් දක්වනවා. මෙය අඥාන දෙයක් වන අතර, පුරාණයේ බයිබල් කාලවලදී විසූ ඇදහිලිවන්ත මනුෂ්‍යයන් තැබූ ආදර්ශයට පටහැනිව දිවයනවා.—රෝම 15:4.
දේව ප්‍රතිපත්ති රැක්ක මනුෂ්‍යයෝ
අසම්පූර්ණ මනුෂ්‍යයන් අතුරින්, දේව ප්‍රතිපත්ති රැක්ක පළමුවන මනුෂ්‍යයා ආබෙල් කියා හැඳින්විය හැකියි. “වංශය” පිළිබඳ පොරොන්දුව ගැන ඔහු සෑහෙන දුරට කල්පනා කරන්න ඇති අතර, පාපයෙන් මිදීමට රුධිරය වගුරුවන පූජාවක් ඇතුළත් වන බව තේරුම්ගත්තා. (උත්පත්ති 3:15) මේ අනුව ඔහු දෙවිට “තමාගේ රැළේ කුලුඳුලන්” පුද කළා. “උන්ගේ තෙලින්ද” යන යෙදුමෙන් පෙන්නුම් කරන්නේ ආබෙල් තමාට දිය හැකි හොඳම දේ යෙහෝවාට දුන් බවයි. එනමුත්, දෙවි පූජාවලට සම්බන්ධ සවිස්තර අවශ්‍යතා මොනවාද කියා පැහැදිලි කරනු ඇත්තේ, ආබෙල්ගේ මරණයෙන් අවුරුදු දෙදාහකට වැඩිය ඉකුත් වුණායින් පසුවයි. දේවභයැති ප්‍රතිපත්තිගරුක මනුෂ්‍යයා වූ ආබෙල්ට වෙනස්ව, ඔහුගේ සහෝදර වූ කායින් දෙවිට පූජාවක් ඔප්පු කළේ කරන්නංවාලෙටයි. එනමුත් ඔහුගේ ආකල්පයෙහි බරපතළ අඩුපාඩුවක් තිබුණා; ප්රතිපත්තිවලින් හීන හෘදයක් අඟවන යමක් ඔහුගේ පූජාව තුළින් දක්නට ලැබුණා.—උත්පත්ති 4:3-5.
නෝවාද දේව ප්‍රතිපත්ති රැක්ක මනුෂ්‍යයෙක්. නැවක් ගොඩනඟන්න කියා දෙවි ඔහුට පැහැදිලිව ආඥා කළ බවට බයිබල් වාර්තාව පෙන්නුවත්, අනුන්ට දේශනා කරන්න කියන ආඥාවක් ගැන අපිට කියවන්න නැහැ. ඒ වුණත්, නෝවාව “ධර්මිෂ්ඨකමේ දේශනාකාරයෙක්” හැටියට හඳුන්වනු ලබනවා. (2 පේතෘස් 2:5) දෙවි ඇතැම්විට නෝවාට දේශනා කරන්න මඟ පෙන්වුවත්, ඔහුගේ ප්‍රතිපත්තිගරුක හැඟීම සහ අසල්වාසියාට තිබුණු ප්‍රේමය එසේ කිරීමට ඔහුව පොලඹවන්න ඇති බවට සැකයක් නැහැ. අපි නෝවාගේ කාලයට සමාන කාලයක ජීවත් වන නිසා, ඔහුගේ කදිම ආකල්පය සහ ආදර්ශය අනුකරණය කරමු.
තම කාලයෙහි විසූ පූජක පක්ෂය මෙන් නොව, යේසු ජනයාට ඉගැන්නුවේ ප්‍රතිපත්ති ආධාරයෙන් කල්පනා කිරීමටයි. ඔහුගේ කන්ද උඩ දේශනාව එයට උදාහරණයක්. එහි සම්පූර්ණ විලාසයම ප්‍රතිපත්තිවලට අයැද සිටීමක්. (මතෙව් 5-7 පරිච්ඡේද) යේසු මෙලෙස ඉගැන්නුවේ, ඔහුට කලින් සිටි ආබෙල් සහ නෝවා මෙන් ඔහු සැබවින්ම දෙවිව දැනසිටි නිසයි. ළමයෙකු හැටියට පවා, ඔහු මෙම මූලික සත්‍යය ඉතා ගරුකොට සැලකුවා: “රොටිවලින් පමණක් නොව, . . . [යෙහෝවාගේ] මුඛයෙන් නික්මෙන සියල්ලෙන් මනුෂ්‍යයා ජීවත්[වන්නේය].” (ද්විතීය කථාව 8:3; ලූක් 2:41-47) ඔව්, දේව ප්‍රතිපත්ති රකින පුද්ගලයෙකු වීමේ යතුර වන්නේ, යෙහෝවාව, ඔහුගේ රුචි අරුචිකම් සහ ඔහුගේ අරමුණු සැබවින්ම දැනසිටීමයි. දෙවි පිළිබඳ මෙම මූලධර්මයන් අපේ ජීවිත පාලනය කරන විට, ඒවා ජීවමාන ප්‍රතිපත්ති බවට පත් වෙනවා.—යෙරෙමියා 22:16; හෙබ්‍රෙව් 4:12.
ප්‍රතිපත්ති සහ හෘදය
නීතියකට අකීකරු වීමෙන් ලැබෙන දණ්ඩනයට තිබෙන භය නිසා, අකමැත්තෙන් වුවත් එයට කීකරු වෙන්න පුළුවන්. කොහොම වුණත්, ප්රතිපත්තියකට අවනත වීම, එවැනි ආකල්පයක් වළක්වයි. මන්ද, ප්රතිපත්තිවල නියම සාරය ගත්තොත්, ඒවා මගින් පාලනය වීම කියන්නේ හෘදයෙන්ම ප්‍රතිචාරය දැක්වීමයි. ආබෙල් සහ නෝවා වගේ, මෝසෙස්ගේ ව්‍යවස්ථා ගිවිසුම පිහිටුවීමට කලින් ජීවත් වූ යෝසෙප්ව සලකා බලන්න. පෝතිඵර්ගේ භාර්යාව ඔහුව වරදට පොලඹවන්න වෑයම් කළ විට, යෝසෙප් මෙසේ ප්‍රතිචාරය දැක්වූවා: “මම මේ මහත් දුෂ්ටකම කර [දෙවිට] විරුද්ධව කෙසේ පව්කරන්නෙම්ද”? ඔව්, පුරුෂයා සහ භාර්යාව “එක මාංසයක්” බවට ප්‍රතිපත්තිය යෝසෙප් දැනසිටියා.—උත්පත්ති 2:24; 39:9.
අදදින ලෝකය ධර්මිෂ්ඨ ප්රතිපත්තිවලින් තොරයි. ලෝකය කෑදරයෙක් වගේ ප්‍රචණ්ඩකාරිත්වය සහ දුරාචාරය මත පෝෂණය වෙනවා. අන්තරාව මේකයි: චිත්‍රපට, වීඩියෝ හෝ පොත් පත් වැනි ඒ කඩචෝරු ඇතැම්විට රහසිගතව, ටිකෙන් ටික ගැනීමේ පරීක්ෂාවට ක්‍රිස්තියානියෙකු ලක් වෙන්න පුළුවන්. එසේනම්, දෙවි මතු පැමිණෙන ‘මහත් පීඩාවෙන්’ පක්ෂපාත අයව පමණක් රැකගන්නා බව සිහියේ තබාගනිමින්, යෝසෙප් මෙන්, අපි ප්‍රතිපත්තිගරුකව නපුර ප්‍රතික්ෂේප කරන විට, එය මොනතරම් පැසසුමට ලක් කළ යුතු දෙයක්ද! (මතෙව් 24:21) ඔව්, ඇතුළාන්තයෙන්ම අපි ඇත්තටම කවුද කියා හෙළි වෙන්නේ, අපි ප්‍රසිද්ධියේ ක්‍රියා කරන අන්දම මගින් නොව, නමුත් පෞද්ගලිකව ක්‍රියා කරන අන්දමෙනුයි.—ගීතාවලිය 11:4; හිතෝපදේශ 15:3.
එබැවින්, අපි බයිබල් ප්‍රතිපත්ති මගින් මඟ පෙන්වනු ලබනවා නම්, දෙවිගේ නීතිවල රැහැනින් බේරීමට අපි මං සොයන්න යන්නේ නැහැ; ඒ වගේම එක්තරා නීතියක් කඩන්නේ නැතුව අපිට කොතරම් දුරදිග යා හැකිද කියා බලන්නවත් අපි වෑයම් කරන්න යන්නේ නැහැ. එහෙම කල්පනා කළොත්, එය තමාටම හානි පමුණුවාගැනීමක් වෙනවා; අන්තිමේදී එය අපිට වේදනා ගෙන දෙනවා.
නීතිය පිටුපස තිබෙන ප්‍රතිපත්තිය බලන්න
නීති, ක්‍රිස්තියානියෙකුගේ ජීවිතයෙහි අතිවැදගත් කාර්යයක් ඉටු කරන බව අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඒවා අපිව රැකගැනීමට දායක වන රැකවල්ලු මෙන් වන අතර, ඒවායේ අත්තිවාරමෙහි වැදගත් ප්‍රතිපත්ති බොහොමයක් ගැබ්ව තිබෙනවා. මෙම ප්‍රතිපත්ති තේරුම්ගැනීමට අපොහොසත් වීම ඒවාට සම්බන්ධ නීති සඳහා අපේ ප්‍රේමය හීන කරවන්න පුළුවන්. පුරාණ ඉශ්රායෙල් ජාතිය මෙය නිරූපණය කළා.
දෙවි ඉශ්රායෙල්ට දස පනත දුන්නා; එයින් පළමු එක යෙහෝවාට අමතරව වෙනත් ඕනෑම දෙවිකෙනෙකුට නමස්කාර කිරීම තහනම් කළා. යෙහෝවා සියලුම දේවල් මැව්වා කියන කාරණය, මෙම නීතිය පිටුපස තිබෙන මූලික සත්‍යතාවයි. (නික්මයාම 20: 3-5) එනමුත් ඒ ජාතිය මෙම ප්‍රතිපත්තිය අනුව ජීවත් වූවාද? යෙහෝවාම මෙසේ පිළිතුරු දෙයි: “ගසකට ‘නුඹ මාගේ පියා ය’ කියා ද ගලකට ‘නුඹ මාගේ මව ය’ කියා ද [ඉශ්රායෙල්වරු පැවසූහ]. මෙසේ වන්නේ, නුඹලා මා [යෙහෝවා] වෙත නොහැරී මට පිටු පෑ බැවිනි.” (යෙරෙමියා 2:27, නව අනුවාදය) මොනතරම් හැඟීම් නැති ප්රතිපත්තිවලින් හීන මෝඩකමක්ද! එමෙන්ම එය යෙහෝවාගේ හෘදයට මොනතරම් වේදනාවක් ගෙන දේද!—ගීතාවලිය 78:40, 41; යෙසායා 63:9, 10.
ක්‍රිස්තියානීන්ටත් දෙවිගෙන් නීති ලැබී තිබෙනවා. උදාහරණයක් හැටියට, පිළිම වන්දනාව, ලිංගික දුරාචාරය සහ රුධිරය අනිසි ලෙස භාවිතයෙන් ඔවුන් වැළකී සිටිය යුතුය. (ක්‍රියා 15:28, 29) ඒ ගැන සිතා බැලුවොත්, ඒවායේ යටි ප්‍රතිපත්ති අපිට දැකගන්න පුළුවන්; එනම්: අපේ තනි භක්තිය ලැබීමට දෙවි වටිනවා; අපි අපේ කලත්‍රයාට විශ්වාසවන්තව සිටිය යුතුයි; එමෙන්ම යෙහෝවා අපේ ජීවන-දායකයායි. (උත්පත්ති 2:24; නික්මයාම 20:5; ගීතාවලිය 36:9) අපි මෙම නියෝග පිටුපස තිබෙන ප්‍රතිපත්ති තේරුම්ගෙන ගැඹුරින් අගය කරනවා නම්, ඒවා අපේ යහපත උදෙසා බව අපිට දැකගැනීමට හැකි වේවි. (යෙසායා 48:17) අපට නම්, දෙවිගේ “ආඥා බර නැත.”—1 යොහන් 5:3.
ඉශ්රායෙල්වරුන් වරක් දෙවිගේ ආඥා නොසලකා හැරියත්, යේසුගේ කාලය වන විට, ඔවුන්ගේ “ව්‍යවස්ථාවේ ආචාර්යවරු” වන ලියන්නෝ, අනික් අන්තයටම ගොස් තිබුණා. නිර්මල නමස්කාරයට බාධා පමුණුවා තිබූ, දේව ප්‍රතිපත්ති වසං කළ නීති සහ සම්ප්‍රදායන් මහ කන්දරාවක් ඔවුන් ප්‍රබන්ධ කර තිබුණා. (මතෙව් 23:2, නියූ ඉංග්ලිෂ් බයිබල්) අසමත් වීමට, බලාපොරොත්තු රහිත බවට හෝ කුහකකමට ජනයා ඇද වැටුණා. (මතෙව් 15:3-9) එමෙන්ම මනුෂ්‍යයා සෑදූ නීතිවලින් වැඩි හරියක් අමානුෂික ඒවා වුණා. වියළුණු අතක් ඇති මනුෂ්‍යයෙකු සුව කරන්න යද්දී, එතැන සිටි ඵරිසිවරුන්ගෙන් යේසු මෙසේ ඇසුවා: “සබත් දවසේදී . . . යහපත කිරීම” නීත්‍යනුකූලද? ඔවුන්ගේ නිශ්ශබ්දතාව ඔවුන් ඊට එකඟ නොවූ බව ගැඹුරින් කාවැද්දවූ අතර, එනිසා යේසු “ඔවුන්ගේ සිත් දැඩිකම” ගැන බලවත් ලෙස ශෝක වුණා. (මාර්ක් 3:1-6) ඵරිසිවරුන් පිළිසරණක් නැති හෝ තුවාල වූ හීලෑ සතෙකුගේ (මූල්‍ය ආයෝජනයක) උපකාරයට ඇතැම්විට ඉදිරිපත් වුවත්, පුරුෂයෙකු හෝ ස්ත්‍රියක ජීවිතය හා මරණය අතර සටනකට මැදි වූවොත් මිසක, එසේ උපකාරයට ඉදිරිපත් වූයේ නැහැ. ඇත්තටම, ඔවුන් මිනිස් නීති රීතිවලට කොතරම් වහල් වී සිටියාද කිවහොත්, චිත්‍රයක් මතුපිට ඔබ මොබ දුවන කුහුඹුවන් වගේ, සම්පූර්ණ පින්තූරය—එනම් දිව්‍ය ප්‍රතිපත්ති—දැකගැනීමට ඔවුන් අපොහොසත් වුණා.—මතෙව් 23:23, 24.
කොහොම වුණත්, යොවුන් වියේ සිටින්නන්ට පවා අවංක හෘදයක් තිබෙන විට, බයිබල් ප්‍රතිපත්තිවලට ඔවුන් දක්වන අගය මගින් යෙහෝවාට ගෞරවය ගෙන දිය හැකියි. සූදුවේ නියැලෙන්න කැමති කවුදැයි දහතුන් හැවිරිදි රෙබෙකාගේ ගුරුවරයා පංතියෙන් ඇසුවා. වැඩි හරියක් කැමති නැහැයි කියා පැවසුවා. එනමුත්, විවිධාකාර තත්වයන් සඳහන් කළ විට, රෙබෙකා හැර, ඔවුන් හැමෝම සූදුවෙහි යම් හෙයකින් හෝ නියැලෙන්න පෙලඹෙන බව සියලුමදෙනා පිළිගත්තා. හොඳ හේතුවක් උදෙසා ශත විස්සේ (රුපියල් දහයේ) ලොතරැයි ටිකට්පතක් මිල දී ගන්න යනවාදැයි ගුරුවරයා රෙබෙකාගෙන් ඇසුවා. රෙබෙකා ගන්නේ නැහැයි පවසමින්, එසේ කිරීම සූදුවේ නියැලීමක් වන බවට ශුද්ධ ලියවිලිමය හේතු දුන්නා. ඊළඟට ඇගේ ගුරුවරයා මුළු පංතියටම මෙසේ කිව්වා: ‘මගේ මතයේ හැටියට, වචනයේ පරිසමාප්තියෙන්ම “ප්‍රතිපත්ති” කියලා මම හඳුන්වන දේ තියෙන එකම තැනැත්තිය රෙබෙකා’. ඔව්, “ඒක මගේ ආගමට විරුද්ධයි” කියලා රෙබෙකාට නිකම්ම උත්තර දෙන්න තිබුණා. නමුත් ඇය එයට වඩා ගැඹුරින් කල්පනා කළා; සූදුවේ නියැලීම වැරදි වීමට හේතුවත්, එයට සහභාගි වෙන්න ඇය ප්‍රතික්ෂේප කළේ ඇයි කියාත් උත්තර දෙන්න ඇයට පුළුවන් වුණා.
දෙවිට නමස්කාර කරද්දී, අපේ “කල්පනා ශක්තිය” සහ අපේ ‘තර්ක කිරීමේ හැකියාව’ යොදාගැනීමෙන් අපි ප්‍රයෝජන ලබන ආකාරය ආබෙල්, නෝවා, යෝසෙප් සහ යේසු වැනි ආදර්ශ අපිට පෙන්නුම් කරනවා. (හිතෝපදේශ 2:11; රෝම 12:1; NW) “[තම] රැකවරණයෙහි සිටින දෙවිගේ රැළ රැකබලා” ගනිද්දී, ක්‍රිස්තියානි වැඩිමහල්ලන් යේසුව අනුකරණය කළොත් යහපති. (1 පේතෘස් 5:2, NW) යේසු තම ආදර්ශයෙන් මැනවින් පෙන්නුවාක් මෙන්, යෙහෝවාගේ පරමාධිපත්‍යය යටතේ සඵල වන්නේ දේව ප්‍රතිපත්තිවලට ප්‍රේම කරන අයයි.—යෙසායා 65:14.