සාධාරණ ලෝකයක් සිහිනයක් නොවෙයි!
“සාධාරණය, මිහිපිට ජීවත් වෙන මිනිසාගේ සැලකිල්ලට දැඩි ලෙස පාත්‍ර වී තිබෙන දෙයයි” කියා අමෙරිකානු උසස් දේශපාලනඥයෙකු වන ඩැනියෙල් වෙබ්ස්ට’ සඳහන් කළා. එමෙන්ම බයිබලයේද මෙසේ සඳහන් වෙනවා: “යෙහෝවා සාධාරණයට ප්‍රිය වන්නෙක්ය.” (ගීතාවලිය 37:28, NW) දෙවිගේ සමානත්වයෙන් සාදා තිබෙන නිසා, මුල් මිනිස් යුවළට සාධාරණය දැනීමේ ශක්තිය ඇතුළු දේවගුණාංග තිබුණා.—උත්පත්ති 1:26, 27.
‘ව්‍යවස්ථාව නැතත් ස්වභාවයෙන්ම ව්‍යවස්ථාවේ දේවල් කරන අන්‍යජාතීන්’ ගැන ශුද්ධ ලියවිලිවලද කතා කෙරෙනවා. මෙසේ “ඔවුන්ගේ හෘදයසාක්ෂිය සාක්ෂිදීමෙන්ද, ඔවුන්ගේ සිතිවිලි ඔවුනොවුන්ට දෝෂාරෝපණය කිරීමෙන් හෝ නිර්දෝෂකිරීමෙන්ද, ව්‍යවස්ථාවේ ක්‍රියාව ඔවුන්ගේ සිත්වල ලියනලදැයි ඔව්හු දක්වති.” (රෝම 2:15, 16) ඔව්, මිනිසුන්ට හෘදය සාක්ෂිය හා බැඳි ඉන්ද්‍රීය ශක්තියක්—හරි දෙය සහ වැරදි දෙය පිළිබඳ අභ්‍යන්තර හැඟීමක්—ලැබී තිබෙනවා. සාධාරණය සඳහා ඇති අවශ්‍යතාව මිනිසාට ආවේණික වූ දෙයක් බව පැහැදිලියි.
සාධාරණය සඳහා ඇති අවශ්‍යතාව හා සන්තෝෂය පෙරදැරි කරගෙන කෙරෙන මිනිසාගේ සෙවීම අතර සමීප සම්බන්ධතාවක් තිබෙනවා; මොකද ගීතාවලිය 106:3 [NW] මෙසේ ප්‍රකාශ කරනවා: “සෑම කල්හිම ධර්මිෂ්ඨකම් කරමින් සාධාරණය රක්ෂාකරන්නෝ සන්තෝෂවත්හුය.” කොහොම වුණත්, සාධාරණ ලෝකයක් බිහි කිරීමට මිනිසාට නොහැකි වී තිබෙන්නේ ඇයි?
මිනිසා අසමත් වී තිබෙන්නේ ඇයි?
සාධාරණ ලෝකයක් බිහි කිරීමට අසමත් වීමට බලපා තිබෙන මූලික හේතුවක් වන්නේ, අපේ මුල් දෙමාපියන් වන ආදම් සහ ඒවගෙන් අපි උරුම කරගෙන තිබෙන කැළැල් සහිත තත්වයයි. බයිබලය මෙසේ පැහැදිලි කරනවා: “එහෙයින් එක් මනුෂ්‍යයෙකු කරණකොටගෙන පාපයත් පාපය කරණකොටගෙන මරණයත් ලෝකයට ඇතුල්වුණාක්මෙන්, සියලු මනුෂ්‍යයන් පව්කළ බැවින් සියල්ලන් කෙරෙහි මරණයද පැමුණුණේය.” (රෝම 5:12) කැළල පාපයයි. කැළැල් රහිතව මැව්වත්, ආදම් සහ ඒව දෙවිට විරුද්ධව කැරලිගැසීමට තෝරාගත් නිසා, ඔවුන් තමන්වම පව්කාරයන් බවට පත් කරගත්තා. (උත්පත්ති 2:16, 17; 3:1-6) මේ නිසා, ඔවුන් තම දරුවන්ට උරුම කර දුන්නේ පව්කාර, වැරදි නැඹුරුවාවන්ගෙන් යුත් උරුමයක්.
ගිජුකම හා අගතිය වැනි එවන් පෞද්ගලික ගතිලක්ෂණ පාපතර නැඹුරුවාවන්වලට උදාහරණ නොවේද? එමෙන්ම මෙම ගතිලක්ෂණ ලෝකයේ සිදු වන අසාධාරණකම්වලට දායක වී නැද්ද? ඇත්තෙන්ම, හිතාමතාම පරිසරයට සිදු කරන හානිවලට හා ආර්ථික පෙළීමට මූලික හේතුව ගිජුකමයි! ඇත්තෙන්ම, වාර්ගික අරගල හා ජාතිවාදී අසාධාරණකම් පිටුපස අගතිය තිබෙනවා. සොරකම් කිරීමට, වංචා කිරීමට හා අනිත් අයට හානි පමුණුවන ආකාරයෙන් කටයුතු කිරීමට එවන් ගතිලක්ෂණ මිනිසුන්ව පොලඹවනවා.
සාධාරණය ක්‍රියාත්මක කරමින්, යහපත කිරීම සඳහා අවංක චේතනාවෙන් කටයුතු කළත් අපේ පව්කාර නැඹුරුවාවන් නිසා ඒවා බොහෝවිට අසාර්ථක වෙනවා. ප්‍රේරිත පාවුල්ම මෙසේ නොසඟවා පිළිගත්තා: “මම කැමති යහපත නොකර අකමැති නපුර කරමි.” මීට එරෙහිව කරන සටන පැහැදිලි කරමින් ඔහු තවදුරටත් මෙසේ පවසනවා: “අභ්‍යන්තර මනුෂ්‍යයාගේ ප්‍රකාරයට මම [දෙවිගේ] ව්‍යවස්ථාවට ප්‍රියවෙමි. නුමුත් මාගේ සිතේ ව්‍යවස්ථාවට විරුද්ධව යුද්ධකරන්නාවූ, මාගේ අවයව තුළ තිබෙන පාපයාගේ ව්‍යවස්ථාව යටතෙහි මා වහල්කමට පමුණුවන්නාවූ අන්‍ය ව්‍යවස්ථාවක් මාගේ අවයව තුළ තිබෙන බව මට පෙනේ.” (රෝම 7:19-23) ඒ හා සමානව, අද අපටත් එවැනි සටනක යෙදීමට තිබෙනවා. ඒ නිසයි අසාධාරණය මේ තරම් බහුලව සිදු වන්නේ.
මිනිසුන් පාලනය කරන ආකාරයද ලෝකයේ සිදු වන අසාධාරණකම්වලට දායක වී තිබෙනවා. සෑම රටකම, නීතිද ඒවා ක්‍රියාත්මක කරන අයද සිටිනවා. ඒවගේම විනිසුරුවන් සිටින බව හා උසාවි තිබෙන බවද අමුතුවෙන් කිව යුතු නැහැ. ඇත්තෙන්ම මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමටත් සැමට සමානව සාධාරණය ඉටු කිරීමටත් ඇතැම් ප්‍රතිපත්ති ගරුක මිනිසුන් උත්සාහ කර තිබෙනවා. ඒත්, ඔවුන්ගේ උත්සාහයන් බොහොමයක් අසාර්ථක වී තිබෙනවා. ඒ ඇයි? ඔවුන්ගේ අසාර්ථක වීම හා සම්බන්ධ විවිධ සාධක කැටි කර දක්වමින් යෙරෙමියා 10:23හි මෙසේ පෙන්වා දෙනවා: “[යෙහෝවා], මනුෂ්‍යයාගේ මාර්ගය ඔහුට අයිති නැති බව දනිමි. ගමනෙහි යෙදෙන මනුෂ්‍යයාට තමාගේ ගමන නියම කිරීම අයිති නැත.” දෙවිගෙන් ඈත්ව සිටීමෙන් මිනිසාට ධර්මිෂ්ඨ මෙන්ම සාධාරණ ලෝකයක් බිහි කළ නොහැකි බව පැහැදිලියි.—හිතෝපදේශ 14:12; දේශනාකාරයා 8:9.
සාධාරණ ලෝකයක් බිහි කිරීම සඳහා මිනිසා ගන්නාවූ වෑයමට තිබෙන විශාලතම බාධකය වන්නේ සාතන් නමැති යක්ෂයායි. කැරලිකාර දේවදූතයා වන සාතන් මුල්ම ‘මිනිමරුවා’ මෙන්ම ‘බොරුකාරයා’ බවත් “මුළු ලෝකයම නපුරාගේ බලය යටතේ පවතින” බවත් බයිබලයේ පැහැදිලිවම සඳහන් වෙනවා. (යොහන් 8:44; 1 යොහන් 5:19, NW) ප්‍රේරිත පාවුල් ඔහුව හඳුන්වා දෙන්නේ, “මේ දේවල පිළිවෙළේ දෙවියා” ලෙසයි. (2 කොරින්ති 4:3, 4, NW) ධර්මිෂ්ඨකමට ද්වේෂ කරන්නෙක් වශයෙන්, සාතන් දුෂ්ටකමට අනුබල දීම සඳහා තමාට කළ හැකි සෑම දෙයක්ම කරනවා. ඔහු ලෝකය පාලනය කරන තාක් කල්, සියලු ආකාර අසාධාරණයන් හා ඒවායේ දුඃඛිත ප්‍රතිඵල මනුෂ්‍යවර්ගයාව යටපත් කර දමාවි.
මේ සියල්ලෙන් අදහස් වෙන්නේ අසාධාරණය මිනිස් සමාජයෙන් පහ කර දැමිය නොහැකි දෙයක් බවද? සාධාරණ ලෝකයක්, සැබෑවක් නොවන සිහිනයක්ද?
සාධාරණ ලෝකයක් යථාර්ථයකි—කෙසේද?
සාධාරණ ලෝකයක් පිළිබඳ අපේක්ෂාව යථාර්ථයක් කරවීම සඳහා, මනුෂ්‍යවර්ගයාට සිදු වෙනවා අසාධාරණයට හේතු වන දේවල් මුලිනුපුටා දැමිය හැකි ප්‍රභවයක් දෙස බැලීමට. ඒත්, පාපය උදුරා දමන්නත් සාතන් හා ඔහුගේ පාලනතන්ත්‍රය පහ කර දමන්නත් පුළුවන් කාටද? එවැනි බිය උපදවන දෙයක් කළ හැකි කිසිම මිනිසෙක්වත් මිනිස් ආයතනයක්වත් නැති බව පැහැදිලියි. එය කළ හැකි එකම තැනැත්තා යෙහෝවා දෙවි පමණයි! ඔහු ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා: ‘ඔහු පර්වතයය, ඔහුගේ ක්‍රියාව සම්පූර්ණය; මක්නිසාද ඔහුගේ සියලු මාර්ග ධර්මිෂ්ඨය [සාධාරණය, NW]. ඔහු අයුතුකමින් [අසාධාරණයෙන්, NW] තොර වූ දෙවිකෙනෙක, ඔහු වනාහි ධර්මිෂ්ඨය, අවංකය.’ (ද්විතීය කථාව 32:4) එමෙන්ම “සාධාරණයට ප්රියවන්නෙක්” වශයෙන්, යෙහෝවාට ඕනෑ කරන්නේ මනුෂ්‍යවර්ගයා සාධාරණ ලෝකයක සතුටින් ජීවත් වෙනවා දකින්නයි.—ගීතාවලිය 37:28.
සාධාරණ ලෝකයක් බිහි කරන දෙවිගේ විධිවිධානය ගැන කතා කරමින් ප්‍රේරිත පේතෘස් මෙසේ ලිව්වා: “ධර්මිෂ්ඨකම වාසයකරන අලුත් අහසක්ද අලුත් පොළොවක්ද [ඔහුගේ] පොරොන්දුවේ හැටියට අපි බලා සිටිමුව.” (2 පේතෘස් 3:13) මෙම “අලුත් අහස” අලුත් භෞතික අහසක් නොවෙයි. දෙවි අපේ භෞතික අහස කිසිම අඩුපාඩුවක් නැතුව සෑදූ අතර, එය ඔහුට මහිමය ගෙන එයි. (ගීතාවලිය 8:3; 19:1, 2) මේ “අලුත් අහස” කියන්නේ, පොළොව කෙරෙහි පවතින අලුත් පාලනතන්ත්රයක්. දැන් තිබෙන “අහස” මිනිසා විසින් සාදාගෙන තිබෙන ආණ්ඩුවලින් සමන්විතයි. ඉතාමත්ම ඉක්මනින්, අර්මගෙදොන් නමැති දෙවිගේ යුද්ධයේදී, මේවා “අලුත් අහස,” එනම් ඔහුගේ ස්වර්ගික රාජ්‍යයට නැතහොත් ආණ්ඩුවට යටත් වෙන්න යනවා. (එළිදරව් 16:14-16) ඒ රාජ්‍යයේ රජු යේසුස් ක්‍රිස්තුස්. මිනිස් පාලනවලට නිත්‍ය අවසානයක් ගෙන එමින්, මේ ආණ්ඩුව අනන්ත කාලයටම පාලනය කරන්න යනවා.—දානියෙල් 2:44, 45.
එතකොට “අලුත් පොළොව” කියන්නේ මොකක්ද? එය අලුත් ග්‍රහයෙක් නෙවෙයි; මොකද, දෙවි පොළොව සාදා තිබෙන්නේ මිනිස් වාසයට ඉතාමත් සුදුසු ආකාරයටයි; එමෙන්ම එය සදාකාලයටම පැවතීම ඔහුගේ කැමැත්තයි. (ගීතාවලිය 104:5) ‘අලුත් පොළොවෙන්’ යොමු දැක්වෙන්නේ, අලුත් මිනිස් සමාජයකටයි. (උත්පත්ති 11:1; ගීතාවලිය 96:1) විනාශ වීමට තිබෙන “පොළොව,” මේ දුෂ්ට දේවල පිළිවෙළේ කොටසක් බවට තමුන්වම හඳුන්වා දෙන මිනිසුන්ගෙන් සමන්විතයි. (2 පේතෘස් 3:7) ඔවුන්ගේ තැන ගන්න යන “අලුත් පොළොව,” දෙවිගේ සැබෑ සේවකයන්ගෙන් සෑදෙන්න යනවා; ඔවුන් දුෂ්ටකම ද්වේෂ කොට, ධර්මිෂ්ඨකමට හා සාධාරණයට ප්‍රේම කරනවා. (ගීතාවලිය 37:10, 11) මෙසේ, සාතන්ගේ ලෝකය පහ වී යන්න යනවා.
නමුත් සාතන්ට සිදු වෙන්නේ කුමක්ද? ප්‍රේරිත යොහන් මෙසේ පුරෝකථනය කළා: “ඔහු [යේසුස් ක්‍රිස්තුස්] යක්ෂයාද සාතන්දවූ පුරාණ සර්පයා වන ඒ මහා සර්පයා අල්ලා අවුරුදු දහසකට බැන්දේය, ඒ අවුරුදු දහස කෙළවරවන තුරු ඔහු විසින් ජාතීන් තවත් නොරවටන පිණිස ඔහු පාතාලයට හෙළා, ඒක වසා, ඔහු මතුයෙහි ඒක මුද්‍රාකෙළේය.” (එළිදරව් 20:1-3) දම්වැල්වලින් බැඳ සිටින සාතන්ට මනුෂ්‍යවර්ගයා කෙරෙහි තිබෙන්න යන බලපෑම, පොළොව යට පිහිටි ඇඳිරි සිරගෙයක සිටින සිරකරුවෙකුට බලපෑම් කරන්න පුළුවන් ආකාරයට සමාන වන්න යනවා. සාධාරණ ලෝකයක පෙර නිමිත්තක් සේ දිස්වන එය, මනුෂ්‍යවර්ගයාට මොනතරම් සහනයක් වේවිද! එමෙන්ම අවුරුදු දහස අවසානයේදී, සාතන්ව සම්පූර්ණයෙන්ම පොඩි කර, විනාශ කර දමනවා.—එළිදරව් 20:7-10.
කොහොම වුණත්, උරුම වූ පාපය ගැන කුමක් කිව හැකිද? පාපය මුලිනුපුටා දැමීම සඳහා යෙහෝවා දැනටමත් පදනම දමා හමාරයි. “මනුෂ්‍ය පුත්‍රයා [යේසුස් ක්‍රිස්තුස්] . . . බොහෝ දෙනෙක් උදෙසා මිදීමේ මිලයක් කොට තමන්ගේ ජීවිතය දෙන්ටද ආවේය.” (මතෙව් 20:28) “මිදීමේ මිලය” යන වචනයෙන් ඇඟවෙන්නේ, වහලුන්ව මුදවාගැනීම සඳහා ගෙවිය යුතු මිලයි. මනුෂ්‍යවර්ගයාව ගළවාගැනීම සඳහා යේසු තම පරිපූර්ණ මිනිස් ජීවිතය මිදීමේ මිලයක් හැටියට ගෙව්වා.—2 කොරින්ති 5:14; 1 පේතෘස් 1:18, 19.
යේසුගේ මිදීමේ මිල පූජාවෙන් අපිට දැන් පවා ප්‍රයෝජන අත් කරගත හැකියි. එය කෙරෙහි ඇදහිල්ල තැබීමෙන්, අපට පුළුවන් දෙවි ඉදිරියෙහි පවිත්‍ර තත්වයක සිටින්න. (ක්‍රියා 10:43; 1 කොරින්ති 6:11) දේවරාජ්‍යයේ පාලනය යටතේ, මිදීමේ මිලය මගින් මනුෂ්‍යවර්ගයාව සම්පූර්ණයෙන්ම පාපයෙන් නිදහස් කරන්න යනවා. දෙවිගේ සිංහාසනයෙන් නික්මෙන උපමේය “ජීවනදායක වතුර ඇති ගංගාවක්” හා එහි දෙපස පිහිටි “ජාතීන්ගේ සුවවීම පිණිස” කොළ ඇති සංකේතාත්මක පලතුරු ගස් ගැන බයිබලයේ අවසාන පොතෙහි විස්තර කෙරෙනවා. (එළිදරව් 22:1, 2) බයිබලය මෙහි විචිත්‍රවත් කරන දෙයින් නියෝජනය වන්නේ, යේසුගේ මිදීමේ පූජාවේ පදනම මත මනුෂ්‍යවර්ගයාව පාපයෙන් නිදහස් කරගැනීම සඳහා වූ දෙවිගේ මවිතකර සැපයුමයි. මෙම සැපයුම පූර්ණ ලෙස අදාළ කිරීමේදී, කීකරු මිනිසුන්ව පාපයෙන් සහ මරණයෙන් නිදහස් කරන්න යනවා.
සාධාරණ ලෝකයක ජීවිතය
රාජ්‍ය පාලනය යටතේ ජීවිතය මොන වගේ එකක් වේවිද කියා සිතා බලන්න. අපරාධ හා ප්‍රචණ්ඩකාරි ක්‍රියා අතීතයේ දේවල් බවට පත් වෙන්න යනවා. (හිතෝපදේශ 2:21, 22) ආර්ථික අසාධාරණයන් පහ වෙන්න යනවා. (ගීතාවලිය 37:6; 72:12, 13; යෙසායා 65:21-23) සමාජීය, ජාතික, ගෝත්‍රික හා වාර්ගික වශයෙන් වෙනස් ලෙස සැලකීමේ සෑම අංශුමාත්‍රයක්ම මකා දමන්න යනවා. (ක්‍රියා 10:34, 35) යුද්ධ සහ අවි ආයුධ තවදුරටත් තියෙන්න යන්නේ නැහැ. (ගීතාවලිය 46:9) මියගිය දශලක්ෂ ගණනක්ව අසාධාරණයෙන් තොර ලෝකයකට යළි ගෙන එන්න යනවා. (ක්‍රියා 24:15) සෑම කෙනෙක්ම පරිපූර්ණ හා නිරෝගි සෞඛ්‍යයක් භුක්ති විඳින්න යනවා. (යෝබ් 33:25; එළිදරව් 21:3, 4) “ඔහු [යේසුස් ක්‍රිස්තුස්] සැබෑවෙන් විනිශ්චය [සාධාරණත්වය, NW] ප්‍රකාශකරන්නේය.”—යෙසායා 42:3.
මේ අතරතුර කාලයේදී, අපි අසාධාරණයන්ට ලක් වෙන්න පුළුවන්; ඒත් ඊට ප්‍රතිචාර දැක්වීමක් හැටියට අපි කවදාවත් අසාධාරණ නොවෙමු. (මීකා 6:8) අසාධාරණයන් විඳදරාගැනීමට සිදු වන අවස්ථාවලදී පවා, අපි ශුභවාදී ලෙස ඉදිරිය දෙස බලමු. පොරොන්දු වී තිබෙන සාධාරණ ලෝකය ඉක්මනින්ම යථාර්ථයක් බවට පත් වෙනවා. (2 තිමෝති 3:1-5; 2 පේතෘස් 3:11-13) සර්ව බලධාරි දෙවි පොරොන්දු වී තිබෙන අතර, එය “සඵලකරනවා ඇත.” (යෙසායා 55:10, 11) දෙවිට අපෙන් ඕනෑ කරන දේවල් ඉගෙනගැනීමෙන් ඒ සාධාරණ ලෝකයේ ජීවත් වීම සඳහා සූදානම් වීමට කාලය දැන්.—යොහන් 17:3; 2 තිමෝති 3:16.
[7වන පිටුවේ පින්තූරය]
දෙවි පොරොන්දු වී තිබෙන නව ලොවේදී අසාධාරණයේ සෑම අංශුමාත්‍රයක්ම මකා දමන්න යනවා