ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • cl 11 පරි. 108-117 පි.
  • “ඔහුගේ සියලු මාර්ග යුක්තිසහගතය”

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “ඔහුගේ සියලු මාර්ග යුක්තිසහගතය”
  • යෙහෝවාට ළං වන්න
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • යුක්තිය යනු කුමක්ද?
  • දයාව සහ යෙහෝවාගේ පරිපූර්ණ යුක්තිය
  • යෙහෝවාගේ යුක්තිය හද උණුසුම් කරවයි
  • දඬුවමින් බේරී යා නොහැකියි
  • යුක්තියේ දෙවිට ළංවීම
  • සැබෑ යුක්තියේ හා ධර්මිෂ්ඨකමේ උල්පත වන යෙහෝවා
    1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවාව අනුකරණය කරන්න—යුක්තිය හා ධර්මිෂ්ඨකම පවත්වන්න
    1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ධර්මිෂ්ඨකමට සහ යුක්තියට ප්‍රේම කරන යෙහෝවඃවහන්සේ
    1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යේසුස් “පොළොවෙහි යුක්තිය ඉටු කරයි”
    යෙහෝවාට ළං වන්න
තව තොරතුරු
යෙහෝවාට ළං වන්න
cl 11 පරි. 108-117 පි.

11වන පරිච්ඡේදය

“ඔහුගේ සියලු මාර්ග යුක්තිසහගතය”

1, 2. (අ) යෝසෙප්ට අද්දකින්නට සිදු වූයේ කිනම් තදබල අයුක්තියක්ද? (ආ) යෙහෝවා එම අයුක්තිය නිවැරදි කළේ කෙසේද?

ඉතා තදබල අයුක්තියක් සිදු වූ අවස්ථාවක් සලකා බලන්න. මේ කඩවසම් තරුණයා කිසිම අපරාධයක් කර තිබුණේ නැහැ. එහෙත් ස්ත්‍රී දූෂණයකට තැත් කළා යන බොරු චෝදනාව මත ඔහුව පොළොව යට සිපිරි ගෙයක හිර කොට තිබුණා. නමුත් ඔහු අයුක්තියට මුහුණ දුන් පළමු වතාව මෙය නොවෙයි. වසර ගණනාවකට පෙරාතුව යෝසෙප් නම් වූ මේ යෞවනයාව, වයස අවුරුදු 17දී ඔහුගේම සහෝදරයන් විසින් පාවා දෙනු ලැබුවා. ඔහු ඇත්තටම මරණයෙන් ගැළවුණේ අනූනවයෙන්. ඒ වන විට, ඔහු විදේශීය රටකට විකුණනු ලැබ සිටියේ වහලෙකු ලෙසයි. එහිදී ඔහු සිය ස්වාමියාගේ භාර්යාවගේ කාමුක යෝජනාවලට අවනත වීම ප්‍රතික්ෂේප කර තිබුණා. යෝසෙප් විසින් මහත් පිළිකුලෙන් ප්‍රතික්ෂේප කරනු ලැබූ මෙම ස්ත්‍රිය ඔහුට විරුද්ධව බොරු චෝදනාවක් ගොතා තිබූ නිසයි දැන් ඔහු මෙසේ අත්අඩංගුවේ පසු වූයේ. කනගාටුදායක ලෙස, යෝසෙප් වෙනුවෙන් මැදිහත් වීමට කිසිවෙකු ඉදිරිපත් වූ බවක් පෙනෙන්ට තිබුණේ නැහැ.

2 කෙසේවෙතත්, “ධර්මිෂ්ඨකමටත් යුක්තියටත් ප්‍රිය වන” දෙවි මේ දෙස බලා සිටියා. (ගීතාවලිය 33:5) යෙහෝවා අයුක්තිය නිවැරදි කරන්නට ක්‍රියා කළේ අන්තිමේදී යෝසෙප්ව නිදහස් වන ආකාරයට කාරණා හසුරුවමින්. ඔහුව නිදහස් කළා පමණක් නොවේ. “ඇඳිරිගෙයි” දමා තිබූ මේ පුරුෂයාව අවසානයේදී මහත් වගකීම් උසුලන අතිශයින් ගෞරවයට භාජන වූ තත්වයකට උසස් කරනු ලැබුවා. (උත්පත්ති 40:15; 41:41-43; ගීතාවලිය 105:17, 18) අන්තිමේදී, යෝසෙප්ට එල්ල කර තිබූ සියලු බොරු චෝදනාවලින් ඔහු නිදහස් වුණා පමණක් නොව ඔහු තමාගේ උත්තරීතර තනතුර යොදාගෙන දෙවිගේ අරමුණ ඉදිරියට ගෙන ආවා.—උත්පත්ති 45:5-8.

3. අප සියලුදෙනාවම යුක්තිසහගත අන්දමට සලකනු ලැබීමට අපට වුවමනා වීම ගැන අප පුදුම නොවිය යුත්තේ ඇයි?

3 එවන් කතාවක් අපේ හදවත්වල හැඟීම් කලතනවා. එසේ නොවේද? අයුක්තියක් දැක නැත්තෙත් නොඑසේනම් එයට ගොදුරු නොවී ඇත්තෙත් අප අතුරින් කවරෙක්ද? ඇත්ත වශයෙන්ම අප කවුරුත් කැමතියි අපට යුක්තිසහගත විදිහට සාධාරණ අන්දමින් සලකනවා නම්. මේ ගැන අප පුදුම විය යුතු නැහැ. මන්ද, යෙහෝවා අපව මවා තිබෙන්නේ ඔහුගේම පෞද්ගලිකත්වය පිළිබිඹු වන ගුණාංග අපට දානය කරමින්. ඇරත් යුක්තිය යනු ඔහුගේ එක් ප්‍රධාන ගති ලක්ෂණයක්. (උත්පත්ති 1:27) යෙහෝවාව හොඳින් දැනගැනීමට නම්, ඔහුගේ යුක්තිය ගැන ඔහුට හැඟෙන ආකාරය අප අවබෝධ කරගත යුතුයි. එවිටයි ඔහුගේ පුදුමාකාර මාර්ග වඩ වඩාත් අගය කරමින් ඔහුට තව තවත් ළංවීමට අප පෙලඹෙන්නේ.

යුක්තිය යනු කුමක්ද?

4. මිනිස් දෘෂ්ටි කෝණයෙන් බැලූ කල, බොහෝවිට යුක්තිය තේරුම්ගනු ලබන්නේ කෙසේද?

4 මිනිස් දෘෂ්ටි කෝණයෙන් බලන කල, යුක්තිය යන්න බොහෝවිට තේරුම්ගනු ලබන්නේ ව්‍යවස්ථාවක නීති සාධාරණ අන්දමින් අදාළ කිරීම ලෙසයි. ඊට වඩා වැඩි යමක් ඊට ඇතුළත් වන්නේ නැහැ. එක්තරා පොතක (Right and Reason—Ethics in Theory and Practice) පැවසෙන්නේ මෙයයි. “යුක්තිය යන වචනය නීතිය, වගකීම, අයිතිවාසිකම්, යුතුකම් ඉටු කිරීම හා බැඳී පවතින අතර, යම් කාරණයකදී තීන්දුවක් දීමට සිදු වෙතොත්, එය තීරණය කරනු ලබන්නේ සමානාත්මතාව නැතහොත් යෝග්‍යතාව නමැති ප්‍රතිපත්තිවලට එකඟවය.” කෙසේවෙතත්, හුදෙක් රාජකාරියක් හෝ යුතුකමක් ඉටු කිරීමේ හැඟීමකින් නීති අදාළ කරනවාට වඩා වැඩි යමක් යෙහෝවාගේ යුක්තියට ඇතුළත් වන බව මෙහිලා කිව යුතුයි.

5, 6. (අ) “යුක්තිය” යනුවෙන් පරිවර්තනය කර ඇති මුල් භාෂා වචනවල අර්ථය කුමක්ද? (ආ) දෙවි යුක්තිසහගතය යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

5 බයිබලයේ යොදා ඇති මුල් භාෂා වචන සලකා බැලීමෙන් යෙහෝවාගේ යුක්තියේ උස, දිග, පළල හා ගැඹුර තේරුම්ගත හැකියි. හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලිවල ප්‍රධාන වචන තුනක් මීට සම්බන්ධ වී තිබෙනවා. “යුක්තිය” ලෙස වඩාත් වැඩියෙන් පරිවර්තනය කර ඇති වචනය “සාධාරණය” යනුවෙන්ද ගෙනහැර දැක්විය හැකියි. (උත්පත්ති 18:25, NW) අනෙක් වචන දෙක සාමාන්‍යයෙන් පරිවර්තනය කර තිබෙන්නේ “ධර්මිෂ්ඨකම” යනුවෙන්. ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධ ලියවිලිවල, “ධර්මිෂ්ඨකම” යනුවෙන් පරිවර්තනය කර ඇති වචනය “සාධාරණව හා යුක්තිසහගතව ක්‍රියා කිරීමේ ගුණය” යනුවෙන් නිර්වචනය කර තිබෙනවා. මේ අනුව, මූලික වශයෙන් ගත් කල, ධර්මිෂ්ඨකම සහ යුක්තිය අතර වෙනසක් නැහැ.—ආමොස් 5:24.

6 මෙසේ, දෙවි යුක්තිසහගත බව බයිබලයේ පවසන විට එහි කියා සිටින්නේ මෙයයි. එනම්, ඔහු හරි හා සාධාරණ දෙය කරන බව සහ කිසිම පැති ගැනීමකින් හෝ තරාතිරම් බැලීමකින් තොරව නොකඩවාම එය කරන බවයි. (රෝම 2:11) ඇත්තෙන්ම, ඊට විරුද්ධ අතට ඔහු ක්‍රියා කරයි කියා අපට සිතාගන්නටවත් බැහැ. විශ්වාසවන්ත එලීහු පැවසුවේ මෙසේයි. “දෙවිගෙන් දුෂ්ටකම් කිරීමද සර්වපරාක්‍රමයාණන්ගෙන් අයුතුකම් කිරීමද [අයුක්තිසහගත ලෙස ක්‍රියා කිරීමද, NW] දුරු වේවා.” (යෝබ් 34:10) ඇත්ත වශයෙන්ම, “අයුක්තිසහගත ලෙස ක්‍රියා කිරීම” යෙහෝවාට කරන්නටම බැරි දෙයක්. ඇයි? වැදගත් හේතු දෙකක් නිසායි.

7, 8. (අ) අයුක්තිසහගත ලෙස ක්‍රියා කිරීමට යෙහෝවාට නොහැක්කේ මන්ද? (ආ) තමා කටයුතු කරන විට ධර්මිෂ්ඨ වීමට හෝ යුක්තිසහගත වීමට යෙහෝවාව පොලඹවන්නේ කුමක්ද?

7 පළමුව, ඔහු ශුද්ධයි. අප 3වන පරිච්ඡේදයේදී සලකා බැලුවාක් මෙන්, යෙහෝවා අත්‍යන්ත නිර්මලත්වයේ හා යුක්තියේ දෙවියි. එබැවින්, අධර්මිෂ්ඨ ලෙස හෝ අයුක්තිසහගත ලෙස ක්‍රියා කිරීමට කොහෙත්ම ඔහුට බැහැ. එයින් අදහස් කරන දෙය සලකා බලන්න. අපගේ ස්වර්ගික පියාණන්ගේ ශුද්ධකම අපට අවධාරණයෙන්ම කියාපාන අතිවැදගත් කරුණ නම්, ඔහු කිසිවිටෙකත් සිය දරුවන්ට අනිසි ලෙස නොසලකන බවයි. මෙම කාරණය විශ්වාස කිරීමට අපට බොහෝ හේතු තිබෙනවා. යේසුස්ට එවන් නිසැකකමක් තිබුණා. සිය භූමික සේවයේ අන්තිම රාත්‍රියේදී ඔහු මෙසේ යාච්ඤා කළා. “ශුද්ධ වූ පියාණෙනි, . . . ඔබ මට දුන් ඔවුන් [ගෝලයන්] ඔබගේ නාමයෙන් ආරක්ෂා කළ මැනව.” (යොහන් 17:11) “ශුද්ධ වූ පියාණෙනි” යනුවෙන් ශුද්ධ ලියවිල්ලේ කෙරෙන ආමන්ත්‍රණය අදාළ වන්නේ යෙහෝවාට පමණයි. මෙය ඉතා සුදුසුයි. මන්ද කිසි මිනිස් පියෙකුව ශුද්ධකම අතින් ඔහු සමඟ සැසඳිය නොහැකියි. මුළුමනින්ම නිර්මලව, පවිත්‍රව සිටින, සියලු පාපවලින් මුළුමනින්ම වෙන්ව සිටින සිය පියාණන්ගේ හස්තයෙහි සිය ගෝලයන් සුරක්ෂිතව සිටිනු ඇති බවට යේසුස් තුළ සම්පූර්ණ විශ්වාසයක් තිබුණා.—මතෙව් 23:9.

8 දෙවනුව, පරාර්ථකාමී ප්‍රේමය යනු දෙවිගේම පෞද්ගලිකත්වයේ සහජයෙන්ම පිහිටා තිබෙන්නක්. අන්‍යයන් සමඟ ධර්මිෂ්ඨව හෝ යුක්තිසහගත ලෙස කටයුතු කිරීමට ඔහුව පොලඹවන්නේ එම ප්‍රේමයයි. ඊට වෙනස්ව ජාතිවාදය, ජාතිය, ආගම, වර්ණය, කුලය, ගෝත්‍රය වෙනස් නිසා වෙනස්කම් කිරීම, පැතිගැනීම වැනි විවිධ ආකාරයේ අයුක්තීන් බොහෝවිට නික්මෙන්නේ ගිජුකමෙන් සහ ආත්මාර්ථකාමිත්වය තුළින්. එය ප්‍රේමයේ විරුද්ධ දෙයයි. දෙවිගේ ප්‍රේමය ගැන බයිබලය අපට සහතික ලෙස කියා සිටින්නේ මෙයයි. “යෙහෝවා ධර්මිෂ්ඨය. ඔහු ධර්මිෂ්ඨකමට ප්‍රිය වෙයි.” (ගීතාවලිය 11:7) යෙහෝවා තමා ගැනම පවසන්නේ මෙසේයි. ‘යෙහෝවා වන මම යුක්තියට ප්‍රිය වෙමි.’ (යෙසායා 61:8) හරි දෙය හෙවත් යුක්තිසහගත දෙය කිරීමෙහිලා අපේ දෙවි සතුටු වන බව දැනගැනීම සැනසීමක් නොවේද?—යෙරෙමියා 9:24.

දයාව සහ යෙහෝවාගේ පරිපූර්ණ යුක්තිය

9-11. (අ) යෙහෝවාගේ යුක්තිය සහ ඔහුගේ දයාව අතර තිබෙන කිට්ටු බැඳීම කුමක්ද? (ආ) පව්කාර මිනිසුන් සමඟ කටයුතු කරන ආකාරය තුළ යෙහෝවාගේ යුක්තිය මෙන්ම දයාව දක්නට හැක්කේ කෙසේද?

9 යෙහෝවාගේ අසමසම පෞද්ගලිකත්වයේ අනිකුත් සෑම පැත්තක් වගේම ඔහුගේ යුක්තියද පරිපූර්ණයි. එහි කිසි අඩුවක් නැහැ. යෙහෝවාව ඉතා ඉහළින් වර්ණනා කරමින් මෝසෙස් මෙසේ ලීවා. “ඔහු පර්වතයය. ඔහුගේ ක්‍රියාව සම්පූර්ණය, මක්නිසාද ඔහුගේ සියලු මාර්ග ධර්මිෂ්ඨය [යුක්තිසහගතය, NW]. ඔහු විශ්වාස වූ අයුතුකමෙන් [අයුක්තියෙන්, NW] තොර වූ දෙවිකෙනෙකි. ඔහු වනාහි ධර්මිෂ්ඨය, අවංකය.” (ද්විතීය කථාව 32:3, 4) යෙහෝවාගේ යුක්තිය ප්‍රකාශ වන සෑම සිද්ධියකදීම එය දෝෂ රහිතයි. ඔහු යුක්තිය කිසිදා සැහැල්ලු කරන්නෙත් නැහැ, දැඩි කරන්නෙත් නැහැ.

10 යෙහෝවාගේ යුක්තිය සහ ඔහුගේ දයාව අතර කිට්ටු බැඳීමක් තිබෙනවා. ගීතාවලිය 116:5හි කියන්නේ මෙසේයි. “යෙහෝවා දයාවන්තය, ධර්මිෂ්ඨය [“යුක්තිසහගතය,” ද නිව් අමෙරිකන් බයිබල්]. එසේය, අපේ දෙවි අනුකම්පාවෙන් යුක්තය.” ඔව්, යෙහෝවා යුක්තිසහගත වගේම දයානුකම්පිතයි. මෙම ගුණාංග දෙක එකකට එකක් ගැටෙන්නේ නැහැ. ඔහු දයාව පෙන්වන්නේ ඔහුගේ යුක්තිය දැඩි නිසා නොවෙයි. මේ නිසා දයාව යනු යුක්තියේ ප්‍රබලත්වය දියාරු කිරීමට විදහාපෙන්වන ගුණාංගයක් නොවෙයි. ඒ වෙනුවට, මෙම ගුණාංග දෙකම බොහෝ විට එකම මොහොතේ, එකම ක්‍රියාව තුළ පවා ප්‍රකාශ වෙනවා. නිදසුනක් සලකා බලන්න.

11 සියලු මිනිසුන් පාපය උරුම කරගෙන සිටින අතර පාපයේ දඬුවම වන මරණය ලැබීමට සුදුස්සන්ව සිටිනවා. (රෝම 5:12) නමුත් පව්කාරයන්ගේ මරණය ගැන යෙහෝවා සතුටු වන්නේ නැහැ. ඔහු “කමා වෙන්නාවූ, දයාබර වූ, අනුකම්පාවෙන් පූර්ණ වූ, දෙවිකෙනෙක්.” (නෙහෙමියා 9:17) එහෙත්, තමා ශුද්ධ බැවින් අධර්මිෂ්ඨකමට ඉඩහැරීමට ඔහුට බැහැ. එසේනම්, පාපය උරුම කරගෙන සිටින මිනිසුන්ට දයාව දැක්වීමට ඔහුට හැක්කේ කොහොමද? මීට පිළිතුර හමු වන්නේ දෙවිගේ වචනයේ සඳහන් වඩාත් වටිනා සත්‍යතාවක් තුළයි. එය නම්, මිනිස් සංහතියේ ගැළවීම උදෙසා වූ මිදීමේ මිලය නමැති යෙහෝවාගේ සැපයුමයි. ඉදිරියට 14වෙනි පරිච්ඡේදය තුළ, මෙම ප්‍රේමනීය විධිවිධානය ගැන අපි තවත් බොහෝ දේ ඉගෙනගන්නෙමු. එම සැපයුම ඉතා ගැඹුරු ලෙස යුක්තිසහගත වන අතරම අතිශ්‍රේෂ්ඨ අන්දමින් දයාව පෑමක්ද වෙනවා. එය මාර්ගයෙන්, යුක්තියේ සිය පරිපූර්ණ ප්‍රමිති පවත්වාගන්නා අතරේදී පසුතැවිලි වන පව්කාරයන්ට මුදු මොළොක් ලෙස දයාව පෑමටද යෙහෝවාට හැකියි.—රෝම 3:21-26.

යෙහෝවාගේ යුක්තිය හද උණුසුම් කරවයි

12, 13. (අ) යෙහෝවාගේ යුක්තිය අපව ඔහු වෙතට ළං කරවන්නේ ඇයි? (ආ) යෙහෝවාගේ යුක්තිය සම්බන්ධව දාවිත් එළඹි නිගමනය කුමක්ද? මෙය අපට සැනසිල්ලක් විය හැක්කේ කෙසේද?

12 යෙහෝවාගේ යුක්තිය කිසි හැඟීමක් නැති, අපව ඔහුගෙන් ඈත් කරන ගුණයක් නොව, නමුත් ඔහු වෙතට අපව ඇදගන්නා ළයාන්විත ගුණාංගයකි. ඔහුගේ යුක්තියේ හෝ ධර්මිෂ්ඨකමේ දයානුකම්පිත ස්වභාවය ගැන බයිබලයේ පැහැදිලිව විස්තර කරනවා. ඔහු සිය යුක්තිය විදහාපාන හද ඉතා උණුසුම් කරවන ක්‍රම සමහරක් ගැන දැන් අපි සලකා බලමු.

13 යෙහෝවාගේ පරිපූර්ණ යුක්තිය නිසා සිය සේවකයන් කෙරෙහි විශ්වාසවන්තබව සහ පක්ෂපාතිත්වය පෙන්වීමට ඔහු පෙලඹෙනවා. ගීතිකාකාර දාවිත්ට යෙහෝවාගේ යුක්තියේ මෙම මුහුණත අගය කරන්නට හැකි වුණා. තමාගේම අද්දැකීමෙන් හා දෙවිගේ මාර්ග අධ්‍යයනය කිරීමෙන් දාවිත් එළඹුණේ කිනම් නිගමනයටද? ඔහු මෙසේ ප්‍රකාශ කළා. “යෙහෝවා යුක්තියට ප්‍රිය වන්නේය. ස්වකීය ශුද්ධවන්තයන් අත් නාරින්නේය. ඔවුහු සදාකල් ආරක්ෂා කරනු ලබති.” (ගීතාවලිය 37:28) මොනතරම් සැනසිලිදායක සහතිකයක්ද! අපේ දෙවි කිසිවිටෙකත්, ඔව් මොහොතකටවත් තමන්ට පක්ෂපාත වූවන්ව අතහරින්නේ නැහැ. මේ නිසා, ඔහුගේ සමීපභාවය සහ ඔහුගේ ප්‍රේමනීය සැලකිල්ල කෙරෙහි අපට රඳා සිටින්නට පුළුවන්. ඔහුගේ යුක්තිය මෙය අපට සහතික කරයි!—හිතෝපදේශ 2:7, 8.

14. යෙහෝවා ඉශ්‍රායෙලිතයන්ට දුන් ව්‍යවස්ථාව තුළින් අගහිඟකම් ඇති අය කෙරෙහි ඔහුගේ ප්‍රේමනීය සැලකිල්ල ප්‍රත්‍යක්ෂ වන්නේ කෙසේද?

14 දෙවිගේ යුක්තිය, දුක් පීඩාවලට ලක් වූවන්ගේ අවශ්‍යතාවලට සංවේදීබවක් දක්වනවා. අගහිඟකම් තිබූ අය කෙරෙහි යෙහෝවාගේ සැලකිල්ල ඉශ්‍රායෙල්වරුන්ට දී තිබූ ව්‍යවස්ථාව තුළ කදිමට පිළිබිඹු වුණා. නිදසුනක් වශයෙන්, ව්‍යවස්ථාව තුළ අනාථයන් සහ වැන්දඹුවන් රැකබලා ගැනීම සම්බන්ධයෙන් විශේෂ විධිවිධාන යොදා තිබුණා. (ද්විතීය කථාව 24:17-21) එවන් පවුල් ගෙවන ජීවිතය කොතරම් කටුකදැයි වටහාගනිමින්, යෙහෝවාම ඔවුන්ගේ පියෙකු බඳු විනිශ්චයකරු සහ ආරක්ෂකයා බවට පත් වුණා. “ඔහු පියා නැත්තාටද වැන්දඹුවටද යුක්තිය ඉෂ්ට කර දෙයි.”a (ද්විතීය කථාව 10:18; ගීතාවලිය 68:5) කිසිම හව්හරණයක් නැති ස්ත්‍රීන්ව සහ දරුවන්ව යම් දේවලට ගොදුරු කරගතහොත් එවන් අයගේ දුක් ගැනවිලිවලට නොපමාව සවන් දී තමා ඔවුන්ගේ පිහිටට එන බවට යෙහෝවා ඉශ්‍රායෙලිතයන්ට අනතුරු ඇඟෙව්වා. “එවිට මාගේ උදහස ඇවිළෙනවා ඇත” කියා ඔහු ප්‍රකාශ කළා. (නික්මයාම 22:22-24) කෝපය යෙහෝවාගේ ප්‍රධාන ගුණාංගයක් නොවුණද, යමෙක් අයුක්තිසහගත දේවල් හිතාමතාම කරනවා නම් ඔහුගේ ධර්මිෂ්ඨ උදහස ඇවිළෙනවා. විශේෂයෙන්ම මෙය මෙසේ වන්නේ අයුක්තියට ගොදුරු වන අය, දිළිඳු අසරණ අය වන විටයි.—ගීතාවලිය 103:6.

15, 16. යෙහෝවා පැති නොගන්නා බවට තිබෙන සැබවින්ම කැපීපෙනෙන සාක්ෂිය කුමක්ද?

15 තමා ‘මනුෂ්‍යයන්ගේ තරාතිරම් බලන්නේවත් අල්ලසක් ගන්නේවත් නැති’ බවද යෙහෝවා අපට සහතික කරනවා. (ද්විතීය කථාව 10:17) බලය හෝ අනුග්‍රහය ඇති බොහෝ මිනිසුන් මෙන් නොව, ද්‍රව්‍යමය ධන සම්පත් හෝ පිටාතර පෙනුමෙන් යෙහෝවා කිසි බලපෑමකට ලක් වන්නේ නැහැ. ඔහු මුළුමනින්ම අගතිසහගත හැඟීම් හෝ අනිසි අනුග්‍රහය දැක්වීමෙන් නිදහස්. යෙහෝවා පැති නොගන්නා බවට සැබවින්ම කැපීපෙනෙන සාක්ෂියක් ගැන සලකා බලන්න. නිමාවක් නැති ජීවිතයක් දෙස බලාගෙන සිය සැබෑ නමස්කාරකයන් වීමේ වරප්‍රසාදය ප්‍රවීණයන් අතළොස්සකට සීමා වී තිබෙන වරප්‍රසාදයක් නොවේ. ‘සියලු ජාතීන් අතරේ ඔහු කෙරෙහි භය ඇතිව ධර්මිෂ්ඨකම් කරන තැනැත්තේ ඔහුට ප්‍රසන්නයි.’ (ක්‍රියා 10:34, 35) තම සමාජ තත්වය, හමේ පාට හෝ තමන් ජීවත් වන රට කුමක් වුවද, මෙම පුදුමාකාර ප්‍රස්තාව සියල්ලන්ටම විවෘතයි. මෙය සැබෑ යුක්තියේ උපරිමය නොවේද?

16 අපගේ අවධානය හා ගෞරවය ලබන්නට වටින යෙහෝවාගේ පරිපූර්ණ යුක්තියේ තවත් පැත්තක් තිබෙනවා. ඒ, තම ධර්මිෂ්ඨ ප්‍රමිති උල්ලංගනය කරන අය සමඟ ඔහු කටයුතු කරන ආකාරයයි.

දඬුවමින් බේරී යා නොහැකියි

17. මේ ලෝකයේ අසාධාරණකම් හේතුවෙන් යෙහෝවාගේ යුක්තියට අභියෝග කිරීමට කිසිසේත් නොහැකි වීමට හේතුව පැහැදිලි කරන්න.

17 ඇතමුන්ට මෙසේ සිතෙන්නට පුළුවන්. ‘යෙහෝවා අධර්මිෂ්ඨකමට ඉඩහරින්නේ නැත්නම්, වත්මන් ලෝකයේ ඉතා පොදුව තිබෙන අයුක්තිසහගත වේදනාවන් හා දූෂිත ගති පැවතුම්වලට හේතු වී ඇත්තේ කුමක්ද කියා අප තේරුම්ගන්නේ කොහොමද?’ මෙවන් අසාධාරණකම් හෝ අයුක්තිසහගත තත්වයන් නිසා කිසිවෙකුට යෙහෝවාගේ යුක්තියට අභියෝග කරන්න බැහැ. මේ දුෂ්ට ලෝකයේ පවතින අයුක්තිසහගත තත්වයන් බොහොමයක්ම, මිනිසුන් ආදම්ගෙන් උරුම කරගත් පාපයේ ඵල විපාකයි. තමන්ගේම පව්කාර මාර්ගවල යෑමට තෝරාගත් අසම්පූර්ණ මිනිසුන් සිටින ලෝකයක අයුක්තිය රජයනවා. නමුත් වැඩි කලක් නම් නොවේ.—ද්විතීය කථාව 32:5.

18, 19. යෙහෝවා සිය ධර්මිෂ්ඨ නීති හිතාමතා උල්ලංගනය කරන අය කෙරෙහි සදහටම නොඉවසන බව පෙනෙන්නේ කුමකින්ද?

18 අවංකකමින් යුතුව තමා වෙතට ළං වන අයට යෙහෝවා මහත් දයාවක් දැක්වුවද, තමන්ගේ නාමයට නින්දාවක් ගෙන ආ හැකි තත්වයකට සැමදා ඉඩහරින්නේ නැහැ. (ගීතාවලිය 74:10, 22, 23) යුක්තියේ දෙවිට සරදම් කරන්නට කිසිවෙකුට බැහැ. ඔහු හිතාමතා පව්කරන්නන්ව ඔවුන්ගේ නරක ක්‍රියා කලාපයන් නිසා ලබන්ට වටින අහිතකර විනිශ්චයෙන් ආරක්ෂා කරන්නේ නැහැ. යෙහෝවා “අනුකම්පාවෙන් පූර්ණ වූ, දයාවන්ත වූ උදහස් වීමට ප්‍රමාද වන්නාවූ අධිකතර කරුණාව සහ සැබෑකමද ඇත්තාවූ දෙවිකෙනෙක්ය. ඔහු . . . වරදකරුවන් කවර ප්‍රකාරයකින්වත් නිදහස් නොකරයි.” (නික්මයාම 34:6, 7) මෙම වචනවලට එකඟව, තම ධර්මිෂ්ඨ නීති හිතාමතාම උල්ලංගනය කරන අයට එරෙහිව විනිශ්චය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බව යෙහෝවාට ඇතැම් අවස්ථාවලදී පෙනී ගොස් තිබෙනවා.

19 නිදසුනක් වශයෙන්, ඉපැරණි ඉශ්‍රායෙලිතයන් සමඟ දෙවි ක්‍රියා කළ ආකාරය සලකා බලන්න. පොරොන්දු දේශයේ පදිංචි වී සිටින විට පවා, ඉශ්‍රායෙලිතයන් නිතර නිතර අවිශ්වාසවන්ත ලෙස හැසිරුණා. ඔවුන්ගේ දූෂිත මාර්ග නිසා ඔවුන් යෙහෝවාට ‘දුක් දුන්නත්’ ඔහු ඔවුන්ව වහාම විනාශ කළේ නැහැ. (ගීතාවලිය 78:38-41) එසේ කරනවා වෙනුවට, තම වැරදි මාර්ග වෙනස් කරගන්නට ඔවුන්ට දයානුකම්පිත ලෙස ප්‍රස්තා ලබා දුන්නා. ඔහු ඔවුන්ට ආයාචනා කළේ මෙසේයි. “මා ජීවමාන බව සැබෑවා සේම, දුෂ්ටයා තමාගේ මාර්ගයෙන් හැරී ජීවත් වෙනවාට මිස, දුෂ්ටයා නසිනවාට මම ප්‍රසන්න නොවෙමි. . . . ඉශ්‍රායෙල් වංශය හැරෙන්න, නුඹලාගේ නපුරු මාර්ගවලින් හැරෙන්න, නුඹලා නසින්නේ මක්නිසාද?” (එසකියෙල් 33:11) ජීවිතය වටිනා දෙයක් ලෙස සලකන යෙහෝවා, සිය අනාගතවක්තෘවරුන්ව යළි යළිත් ඉශ්‍රායෙලිතයන් වෙතට යැවුවේ ඔවුන් තම නපුරු මාර්ගවලින් හැරී එන්නේදෝයි බැලීමටයි. නමුත් සමස්තයක් වශයෙන් ගත් කල, මේ දැඩි හදවත් තිබූ ජනතාව සවන් දී පසුතැවිලි වීම ප්‍රතික්ෂේප කළා. අන්තිමේදී, ඔහුගේ නාමය වෙනුවෙනුත් එම නාමයෙන් නියෝජනය කරන සියලු දේ වෙනුවෙනුත් යෙහෝවා ඔවුන්ව ඔවුන්ගේ සතුරන්ගේ අත්වලට හසුවීමට ඉඩහැරියා.—නෙහෙමියා 9:26-30.

20. (අ) යෙහෝවා ඉශ්‍රායෙලිතයන් සමඟ කටයුතු කර ඇති ආකාරයෙන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද? (ආ) යෙහෝවාගේ යුක්තිය සංකේතවත් කිරීමට සැමවිටම සිංහයා සුදුසු සංකේතයක් වන්නේ ඇයි?

20 ඉශ්‍රායෙල්වරුන් සමඟ කටයුතු කළ ආකාරය දෙස බැලීමෙන් අපට යෙහෝවා ගැන බොහෝ දේ ඉගෙනගන්නට පිළිවන්. සියලු දේ දකින ඔහු අධර්මිෂ්ඨකම් සැලකිල්ලට ගන්නා බවත්, ඔහු දකින දෙය ඔහු කෙරෙහි ගැඹුරින් බලපෑම් ඇති කරන බවත් අප ඉගෙනගන්නවා. (හිතෝපදේශ 15:3) දයාව දැක්වීමට යම් පදනමක් තිබේ නම්, ඔහු එසේ කිරීමට උත්සාහ කරන බව දැනගැනීමද අපට මහත් අස්වැසිල්ලක්. මීට අමතරව, ඔහු යුක්තිය කිසිවිටෙකත් හදිසි වී ක්‍රියාත්මක නොකරන බව අපට පෙනී යනවා. යෙහෝවාගේ බොහෝ ඉවසිලිවන්තකම නිසා, බොහෝදෙනා නිගමනය කරන්නේ ඔහු කවදාවත් දුෂ්ටයන් මතට විනිශ්චය ගෙන එන්නේ නැති බවයි. එය වැරදි නිගමනයක්. සත්‍යය එය නොවෙයි. දෙවි ඉශ්‍රායෙලිතයන් සමඟ කටයුතු කළ ආකාරයෙන් අපට උගන්වන පාඩම නම්, දිව්‍ය ඉවසීමට සීමාවන් තිබෙන බවයි. යෙහෝවා ධර්මිෂ්ඨකම පෙන්වීමේදී ස්ථිරයි. ඔහු යුක්තිය ක්‍රියාත්මක කිරීමට අදි මදි කරන මිනිසුන් වගේ නොවෙයි. හරි දෙය සඳහා ඍජු ලෙස කටයුතු කිරීමට අවශ්‍ය ධෛර්යේ කිසිදු අඩුවක් ඔහුට නැහැ. ඒ නිසා නිර්භීත වූ යුක්තියේ සංකේතයක් වන සිංහයාව දෙවිගේ සම්මුඛය සහ සිංහාසනය සමඟ සම්බන්ධ කොට තිබීම යෝග්‍යයි.b (එසකියෙල් 1:10; එළිදරව් 4:7) මෙසේ, ඔහු පොළොවෙන් අයුක්තිය තුරන් කරන බවට දී ඇති සිය පොරොන්දුව ඉෂ්ට කරන බවට අපට සහතික විය හැකියි. ඔව්, ඔහු සිය යුක්තිය ක්‍රියාත්මක කරන ආකාරය අපට මෙසේ සංක්ෂිප්ත කළ හැකියි. අවශ්‍ය විට ස්ථිරය. දයාව පෙන්විය හැකි අවස්ථාවල දයාව පෙන්වයි.—2 පේතෘස් 3:9.

යුක්තියේ දෙවිට ළංවීම

21. යෙහෝවා යුක්තිය ඉටු කරන අන්දම ගැන අප මෙනෙහි කරන විට, අප ඔහු ගැන සිතිය යුත්තේ කවර අන්දමකින්ද? ඒ මන්ද?

21 යෙහෝවා යුක්තිය ක්‍රියාත්මක කරන අන්දම ගැන අප මෙනෙහි කර බලන විට, ඔහු නිකම්ම වැරදි කරන්නන් කෙරෙහි කිසි හැඟීමකින් දයාවකින් තොරව දඬුවම් පමුණුවන රළු විනිශ්චයකරුවෙකු ලෙස අප නොසිතිය යුතුයි. ඒ වෙනුවට, අප ඔහු ගැන සිතිය යුත්තේ තම දරුවන් සමඟ උපරිම හොඳින් කටයුතු කරන, ස්ථිරසාර, ප්‍රතිපත්ති ගරුක ආදරණීය පියෙකු ලෙසයි. යුක්තිසහගත හෝ ධර්මිෂ්ඨ පියෙකු වශයෙන්, තම භූමික දරුවන් කෙරෙහි මුදු මොළොක් ලෙස දයාව දක්වමින් මනා සමබරතාවකින් යුතුව හරි දෙයට ස්ථිරව සිටින යෙහෝවා, ඔවුන්ට අවශ්‍ය උපකාරයත් සමාවත් දානය කරනවා.—ගීතාවලිය 103:10, 13.

22. සිය යුක්තියෙන් තමාවම මෙහෙයවනු ලබන යෙහෝවා, අපට හිමි කරගැනීමට හැකි කරවා තිබෙන්නේ කිනම් අපේක්ෂාවද? තවද ඔහු අප සමඟ මේ අන්දමින් කටයුතු කරන්නේ ඇයි?

22 දිව්‍ය යුක්තිය යනු වැරදි කරන්නන්ට නිකම්ම දඬුවම් පැමිණවීමට වඩා වැඩි දෙයක් වීම ගැන අප මොනතරම් ස්තුතිවන්ත විය යුතුද! සිය යුක්තියෙන් තමාවම මෙහෙයවනු ලබන යෙහෝවා, සැබෑ ප්‍රීතිමත් අපේක්ෂාවක් හිමි කරගැනීමට අපට අවස්ථාව උදා කර තිබෙනවා. එය නම්, “ධර්මිෂ්ඨකම වාසය කරන” ලෝකයක පරිපූර්ණ නිමාවක් නැති ජීවිතයක්. (2 පේතෘස් 3:13) අපේ දෙවි මෙලෙස අප සමඟ කටයුතු කරන්නේ තම යුක්තියෙන් හෙළා දකිනවා වෙනුවට ගළවාගැනීමට ඔහු උත්සාහ කරන නිසයි. ඇත්තෙන්ම, යෙහෝවාගේ යුක්තියේ පරාසය වඩාත් හොඳින් තේරුම්ගැනීම අපව ඔහු වෙතට ළං කරවනවා. ඊළඟ පරිච්ඡේදවලදී, යෙහෝවා මෙම අතිශ්‍රේෂ්ඨ ගුණාංගය විදහාපෙන්වන ආකාරය දෙස තියුණු බැල්මක් හෙළමු.

[පාදසටහන්වල]

a “පියා නැත්තා” යනුවෙන් සිංහල බයිබලයේ තිබෙන වචනය වෙනුවට හෙබ්‍රෙව් බසින් වූ වචනය නව ලෝක පරිවර්තනයේ ගෙනහැර දක්වා ඇත්තේ “පියා නැති පිරිමි දරුවා” යනුවෙන්. මෙය මෙසේ තිබීම හේතුවෙන්, ගැහැනු ළමුන්හට කිසි සැලකිල්ලක් තිබුණේ නැහැ යනුවෙන් කොහෙත්ම අදහස් කරන්නේ නැහැ. ශෙලෝඵෙහාද් නමැති තැනැත්තාගේ දූවරුන්ට තම පියා සිටියේ නැහැ. ඔවුන්ගේ උරුමය ඔවුන්ට හිමි විය යුතු බවට දුන් තීන්දුව පිළිබඳ වාර්තාව යෙහෝවා ව්‍යවස්ථාවට ඇතුල් කළා. පියා නැති දැරියන්ගේ අයිතිවාසිකම් තහවුරු කරමින් එම වාර්තාවෙන් අනුගමනය කළ යුතු යම් ප්‍රමිතියක් ස්ථාපිත කරනු ලැබුවා.—ගණන් කථාව 27:1-8.

b නොඇදහිලිකාර ඉශ්‍රායෙල් කෙරෙහි විනිශ්චය ඉටු කිරීමේදී යෙහෝවා තමන්වම සිංහයෙකුට සමාන කරගැනීම ඇත්තෙන්ම උනන්දුව දනවන කරුණක්.—යෙරෙමියා 25:38; හොෂෙයා 5:14.

මෙනෙහි කිරීම සඳහා ප්‍රශ්න

යෙරෙමියා 18:1-11 තමන් අහිතකර විනිශ්චයක් ප්‍රකාශ කිරීමට ඉක්මන් නොවන බව යෙහෝවා යෙරෙමියාට ඉගැන්වූයේ කෙසේද?

හබක්කුක් 1:1-4, 13; 2:2-4 තමා සදහටම අයුක්තිය නොඉවසන බවට යෙහෝවා හබක්කුක්ගේ බිය සැක දුරු කළේ කෙසේද?

සෙකරියා 7:8-14 අනුන්ගේ අයිතිවාසිකම් පාගා දමන අය ගැන යෙහෝවාට හැඟෙන්නේ කෙසේද?

රෝම 2:3-11 යෙහෝවා පුද්ගලයන්ව හා ජාතීන්ව විනිශ්චය කරන්නේ කිනම් පදනමක් මතද?

[111වන පිටුවේ පින්තූරය]

යෝසෙප් ‘ඇඳිරිගෙය’ තුළ අයුක්තිසහගත ලෙස දුක් වින්දා

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න