ධර්මිෂ්ඨකමට සහ යුක්තියට ප්‍රේම කරන යෙහෝවඃවහන්සේ
සරයේවෝහි සිටි එක් දැරියක් ඇගේ නගරයේ දරුවන් මෙතරම් පීඩා විඳදරාගත යුත්තේ මන්දැයි ඇගෙන්ම අසාගත්තාය. “අපි කිසිවක් කර නැහැ. අපි අහිංසකයි,” යනුවෙන් ඈ පවසයි. ඔවුන්ගේ පුත්‍රයන්ගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් කලබලයට පත් වූ ආර්ජන්ටිනා ජාතික මව්වරුන් විරෝධය පළ කිරීම පිණිස වසර 15කට පමණ බුවේනස් අයිරස්හි පිහිටි මහජන චතුරස්රයට ගොස් ඇත. වාර්ගික සැහැසියාව උද්ගත වූ එක් අවස්ථාවක, ඉමැනුවෙල් නමැති අප්‍රිකානු ජාතිකයෙකුගේ මව හා සහෝදරියන් තිදෙනා කුරිරු ලෙස ඝාතනය කරනු ලැබූ අතර, ඔහු තරයේ මෙසේ කියා සිටියේය: “සෑම කෙනෙක්ම ඔවුන්ට ලැබිය යුතු විපාකය ලබාගත යුතුයි . . . අපට යුක්තිය අවශ්‍යයි.”
යෙහෝවඃ දෙවියන්වහන්සේගේ මූලික ගුණාංග අතරින් එකකි, යුක්තිය. “උන්වහන්සේගේ සියලු මාර්ග යුක්තිසහගතය,” යනුවෙන් බයිබලය පවසයි. ඇත්තෙන්ම, යෙහෝවඃවහන්සේ “ධර්මිෂ්ඨකමටත් යුක්තියටත් ප්‍රියවනසේක.” (ද්විතීය කථාව 32:4; NW, ගීතාවලිය 33:5) දෙවියන්වහන්සේව හොඳින් දැනගැනීමට නම්, අප උන්වහන්සේගේ යුක්තියේ හැඟීම තේරුම්ගත යුතු අතර, එය අනුකරණය කිරීමට ඉගෙනගත යුතුය.—හොෂෙයා 2:19, 20; එපීස 5:1.
පෙනෙන ලෙසට යුක්තිය හා සම්බන්ධ අපගේ සංකල්පය, මෙම ගුණාංගය කෙසේ විය යුතුදැයි මනුෂ්‍යයන් සලකා බලන පරිදි හැඩගැසී තිබේ. ලෝකයේ සමහර කොටස්වල, යුක්තිය බොහෝවිට සංකේතවත් කර තිබෙන්නේ, කඩුවක් සහ තරාදියක් අල්ලාගෙන සිටින ඇස් බැඳි කාන්තාවකටය. මිනිසාගේ යුක්තිය අපක්ෂග්රාහි විය යුතුයැයි අදහස් කර තිබේ, එනම්, වස්තුවට හෝ බලපෑමට අන්ධ නොවිය යුතුය. එය චූදිතයාගේ වරදකාරිබව හෝ නිර්දෝෂීබව පරෙස්සමින් තරාදියේ දමා මැන බැලිය යුතු වේ. එහි කඩුවෙන්, එනම් යුක්තියෙන් නිර්දෝෂී අය ආරක්ෂා කර වරදකරුවන්ට දඬුවම් කළ යුතුය.
“යුක්තිය වූ කලි නීතිය, යුතුකම, අයිතිවාසිකම් මෙන්ම රාජකාරිය හා සම්බන්ධ කර තිබෙන අතර, එහි තීන්දුව මැන බලන්නේ සමානත්වය හෝ සුදුසුකම අනුවයි” යනුවෙන් රයිට් ඇන්ඩ් රීසන්—එතික්ස් ඉන් තියරි ඇන්ඩ් ප්‍රැක්ටිස් නමැති පොත පවසයි. එහෙත් යෙහෝවඃවහන්සේගේ යුක්තිය එයට වඩා බොහෝ ඔබ්බට ගමන් කරයි. බොහෝ සෙයින් සිය ස්වර්ගික පියාණන් මෙන් වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ක්‍රියා හා ගුණාංග සලකා බැලීමෙන් අපට මෙය දැකගත හැකිය.—හෙබ්‍රෙව් 1:3.
සුවිශේෂ ලේඛකයෙකු වූ මතෙව්, යෙසායා 42:3හි වචන යේසුස්වහන්සේට අදාළ කර, මෙසේ ප්‍රකාශ කළේය: “ඔහු විනිශ්චය ජයට පමුණුවන තුරු, තැළුණු බටලීයක් බිඳින්නේවත් දුම්නගින පහන් තිරයක් නිවන්නේවත් නැත.” නැමුණු හෝ පාගා දමන ලද තැළුණු බටගසක් මෙන් වූ ජනයාට පවා යේසුස්වහන්සේ සැනසිලිදායක පණිවුඩයක් ප්‍රකාශ කළසේක. ඔවුහු ජීවිතයේ අවසාන පුළිඟුව නිවීමට ආසන්නව තිබූ, ලාම්පුවක දුම්නඟින පහන් තිරයක් මෙන් වූහ. තැළුණු බටගස් සහ දුම්නඟින පහන් තිර උපමේය ලෙස පොඩි කරනවා වෙනුවට, යේසුස්වහන්සේ පීඩිත වූවන් කෙරෙහි අනුකම්පා වී, ඔවුන්ට උගන්වා හා ඔවුන් සුව කළ අතර ඔවුන්හට යෙහෝවඃ දෙවියන්වහන්සේගේ යුක්තිය පැහැදිලි කර දුන්සේක. (මතෙව් 12:10-21) යෙසායාගේ අනාවැකිය පැවසුවාක් මෙන්, එවන් ආකාරයේ යුක්තියක් බලාපොරොත්තුවක් ඇති කළේය.
දයාව සහ යෙහෝවඃවහන්සේගේ යුක්තිය
අනුකම්පාව, දෙවියන්වහන්සේගේ යුක්තියේ අනිවාර්ය කොටසකි. යේසුස්වහන්සේ පොළොවේ සිටි කාලයේදී මෙය මූලිකව දක්නට ලැබිණ. යුක්තිය හා ධර්මිෂ්ඨකම පිළිබඳ දෙවියන්වහන්සේගේ ප්‍රමිති උන්වහන්සේ පරිපූර්ණ ලෙස නියෝජනය කළසේක. කෙසේවෙතත්, යුදෙව් ලියන්නෝ සහ ඵරිසිවරු බොහෝදුරට තමුන් සාදාගත් නීති ඇතුළත් දැඩි නීති සංග්‍රහයක් අනුගමනය කරමින් ධර්මිෂ්ඨකම මුදුන්පමුණුවා ගැනීමට සෙවුවෝය. ඔවුන්ගේ නීත්‍යනුකූල යුක්තිය සාමාන්‍යයෙන් දයාව ඉවත් කර දැමුවේය. යේසුස්වහන්සේ හා ඵරිසිවරුන් අතර පැවති බොහෝ ඝට්ටන මෙම ප්රශ්නය වටා ගෙතීපැවතිණ: සැබෑ යුක්තිය හා ධර්මිෂ්ඨකම යනු කුමක්ද?—මතෙව් 9:10-13; මාර්ක් 3:1-5; ලූක් 7:36-47.
යුක්තිගරුක හා ධර්මිෂ්ඨ ආකාරයකින් අන් අයට සලකන්නේ කෙසේද කියා යේසුස්වහන්සේ නිදර්ශනය කර පෙන්වූසේක. ව්‍යවස්ථාව පිළිබඳව හසළ දැනුමක් ඇති පුද්ගලයෙක් වරෙක සදාකාල ජීවනය උරුම කරගැනීමට අවශ්‍ය වන්නේ කුමක්ද කියා යේසුස්වහන්සේගෙන් ඇසුවේය. එයට ප්‍රතිචාරයක් ලෙස උන්වහන්සේ ඔහුගෙන් ප්‍රශ්නයක් ඇසූ අතර, ඔහු වඩාත් වැදගත් ආඥාව වන්නේ දෙවියන්වහන්සේට මුළු හෘදයෙන්ද, ආත්මයෙන්ද, බුද්ධියෙන්ද, ශක්තියෙන්ද ප්‍රේම කිරීමත් තමාට මෙන් තමාගේ අසල්වාසියාට ප්‍රේම කිරීමත් යනුවෙන් උත්තර සැපයූ විට, උන්වහන්සේ ඔහුට ප්‍රශංසා කළසේක. එවිට එම මිනිසා “මාගේ අසල්වාසියා කවුදැයි?” විමසුවේය. අසල්වැසියෙකු සේ ක්‍රියා කළ සමාරියයාගේ උපමාව සම්බන්ධ කරමින් යේසුස්වහන්සේ පිළිතුරු දුන්සේක.—ලූක් 10:25-37.
යෙහෝවඃවහන්සේගේ ධර්මිෂ්ඨකම සහ දයාන්විත යුක්තිය සමාරියයාගේ උපමාවෙන් නිදර්ශනය කෙරිණ. තුවාල වූ නාඳුනන පුද්ගලයෙකුට පරාර්ථකාමී ලෙස උපකාර කරමින්, සමාරියයා අවංක, සාධාරණ සහ දයාන්විත යමක් කළේය. යේසුස්වහන්සේ පොළොවේ සිටි කාලයේදීද එම ස්ප්රීතුවම පෙන්නුම් කළසේක. උන්වහන්සේ ධර්මිෂ්ඨ සහ සාධාරණ වූසේක. එපමණක්ද නොව, ජීවිතයේ අවශ්‍යතා ඇති අය වෙනුවෙන්, එනම් පීඩා විඳී, ලෙඩ රෝගවලට සහ මරණයට යටත් වූ පාපිෂ්ඨ සහ අසම්පූර්ණ මනුෂ්‍යවර්ගයා වෙනුවෙන් උන්වහන්සේ සිය ජීවිතය දුන්සේක. ප්‍රේරිත පාවුල් ධර්මිෂ්ඨකම මිදීමේ මිල සැපයුම සමඟ සම්බන්ධ කළේය. ඔහු මෙසේ ලීවේය: “එක වරදක් කරණකොටගෙන දඬුවමට පත්කිරීම පිණිස විනිශ්චය සියලුම මනුෂ්‍යයන් කෙරෙහි පැමුණුණාක්මෙන්ම, එක ධර්මිෂ්ඨ ක්‍රියාවක් කරණකොටගෙන ජීවනයේ ධර්මිෂ්ඨකිරීම පිණිස දීමනාව සියලු මනුෂ්‍යයන් කෙරෙහි වූයේය.” (රෝම 5:18) මෙම “එක ධර්මිෂ්ඨ ක්‍රියාව” වූ කලි, මිනිස්වර්ගයා කෙළින්ම වග නොකිව යුතු වූ ආදම්ගේ පාපයේ විනාශදායක ප්රතිවිපාකවලින් කීකරු මිනිස්වර්ගයාව ගැළවීමට වූ දෙවියන්වහන්සේගේ මාර්ගයයි.
පව්කාර මිනිසුන් මිදීම සහ ධර්මිෂ්ඨ ප්‍රතිපත්ති රැකගැනීම යන දෙකම එක විට කිරීම දෙවියන්වහන්සේගේ යුක්තියේ අවශ්‍යතාවක් විය. පාපය නොසලකා හැරීම අසාධාරණ මෙන්ම ප්‍රේමනීය නොවන යමක් වනු ඇත, මන්දයත් එය නොපනත්කමට දිරි දෙනු ඇති බැවිනි. අනික් අතට, දෙවියන්වහන්සේගේ යුක්තිය දීමනාවක් හෝ දඬුවමක් දීම යන දෙකින් එකකට සීමා වූයේ නම්, මනුෂ්‍යවර්ගයාගේ තත්වය බලාපොරොත්තු රහිත වනු ඇත. බයිබලය අනුව, “පාපයේ කුලී නම් මරණයය” තවද “ධර්මිෂ්ඨ කෙනෙක් නැත, එසේය, එක්කෙනෙක්වත් නැත.” (රෝම 3:10; 6:23) යෙහෝවඃවහන්සේ මෙන්ම ස්වකීය ප්‍රේමනීය පුත්රයාණන්ද ඉමහත් පෞද්ගලික පාඩුවක් විඳිමින්, පාප සඳහා ශාන්තිකර පූජාවක් සැපයූසේක.—1 යොහන් 2:1, 2.
දිව්‍ය යුක්තිය ප්‍රතිපත්තිමය ප්‍රේමය (ග්‍රීක් අ·ගාʹපේ) සමඟ මිශ්‍රව තිබෙන බව මිදීමේ මිලය පෙන්වයි. සැබවින්ම, දෙවියන්වහන්සේගේ යුක්තිය සිය ධර්මිෂ්ඨ ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමකි—එනම් සදාචාරය සම්බන්ධයෙන් උන්වහන්සේගේ ස්ථාවරත්වයේ පිළිබිඹු කිරීමකි. එසේනම්, දෙවියන්වහන්සේ විසින් ක්‍රියාවට නංවනු ලබන විට, අ·ගාʹපේ යනු දිව්‍යමය යුක්තියේ පදනම වන ප්‍රේමයකි. (මතෙව් 5:43-48) එමනිසා අපි සැබවින්ම යෙහෝවඃවහන්සේගේ යුක්තිය අවබෝධ කර ගන්නෙමු නම්, උන්වහන්සේගේ විනිශ්චයක තීරණ සම්බන්ධයෙන් අපට පූර්ණ විශ්වාසයක් තිබෙනු ඇත. “මුළු පොළොවේ විනිශ්චයකාරයාණන්වහන්සේ,” ලෙස උන්වහන්සේ සෑමවිටම නිවැරදි දෙය කරනසේක.—උත්පත්ති 18:25; ගීතාවලිය 119:75.
යෙහෝවඃවහන්සේගේ යුක්තිය අනුකරණය කරන්න
“දෙවියන්වහන්සේ අනුව යන්නෝ වෙයල්ලා,” යනුවෙන් බයිබලය අපට අවවාද කරයි. (එපීස 5:1) මින් අදහස් වන්නේ උන්වහන්සේගේ යුක්තිය මෙන්ම ප්‍රේමය අනුකරණය කිරීමයි. කෙසේවෙතත්, අප අසම්පූර්ණ බැවින්, යෙහෝවඃ දෙවියන්වහන්සේ තරම් අපගේ මාර්ග උතුම් නොවේ. (යෙසායා 55:8, 9; එසකියෙල් 18:25) එසේනම්, ධර්මිෂ්ඨකමට සහ යුක්තියට ප්‍රේමකරන්නන් වශයෙන් අපට පෙනීසිටිය හැක්කේ කෙසේද? “සැබෑවේ ධර්මිෂ්ඨකමින්ද ශුද්ධකමින්ද දෙවියන්වහන්සේට සමානව මවනලද්දාවූ අලුත් මනුෂ්‍යයා,” පැළඳගැනීම තුළිනි. (එපීස 4:24) එවිට අප දෙවියන්වහන්සේ ප්‍රේම කරන දෙයට ප්‍රේම කරන අතර, උන්වහන්සේ ද්වේෂ කරන දෙයට ද්වේෂ කරනු ඇත. සාහසිකකම, දුරාචාරය, අපිරිසිදුකම සහ ඇදහිල්ල අත්හැරයෑම යන මේවා ශුද්ධ වූ දේ උල්ලංගනය කරන බැවින්, ‘සැබෑ ධර්මිෂ්ඨකම’ මේවායින් වැළකී සිටී. (ගීතාවලිය 11:5; එපීස 5:3-5; 2 තිමෝති 2:16, 17) එමෙන්ම අන් අය කෙරෙහි අවංක උනන්දුවක් පෙන්වීමට දිව්‍ය යුක්තිය අපව පොලඹවයි.—ගීතාවලිය 37:21; රෝම 15:1-3.
එපමණක්ද නොව, දෙවියන්වහන්සේගේ යුක්තියේ දයාන්විත ස්වභාවය අපි අගය කරන්නෙමු නම්, ආත්මික සහෝදරයන් සහ සහෝදරියන් විනිශ්චය කිරීමට අප නැඹුරු වන්නේ නැත. යෙහෝවඃවහන්සේ කරන්නාක් මෙන් ඔවුන්ව හඳුනාගැනීමට අපට හැක්කේ කෙසේද? අපටම පක්ෂ වූ අසාධාරණ දෘෂ්ටිකෝණයක් අනුව අප ඔවුන්ව විනිශ්චය නොකරන්නේද? එබැවින් යේසුස්වහන්සේ අනතුරු ඇඟවූසේක: “නුඹලා විනිශ්චයකරනු නොලබන පිණිස විනිශ්චය නොකරල්ලා. මක්නිසාද නුඹලා යම් විනිශ්චයකින් විනිශ්චයකරන්නහුද එයින්ම නුඹලාත් විනිශ්චයකරනු ලබන්නහුය. යම් මිම්මකින් නුඹලා මැනදෙන්නහුද එයින්ම නුඹලාටත් මැනදෙනු ලබන්නේය. නුඹේ ඇසේ තිබෙන දැවය නොසලකා, නුඹේ සහෝදරයාගේ ඇසේ තිබෙන රොඩ්ඩ කුමකට බලන්නෙහිද? නොහොත් නුඹේම ඇසේ දැවය තිබියදී, සහෝදරයාට කථාකොට: නුඹේ ඇසේ තිබෙන රොඩ්ඩ පහකරන්ට අවසර දියන්නැයි ඔහුට කෙසේ කියන්නෙහිද? වංචාකාරය, පළමුකොට නුඹේ ඇසෙන් දැවය පහ කරපන්න; එවිට නුඹේ සහෝදරයාගේ ඇසෙන් රොඩ්ඩ පහකරන්ට නුඹට හොඳ හැටි පෙනෙන්නේය.” (මතෙව් 7:1-5) අපගේම අසම්පූර්ණකම් සම්බන්ධයෙන් කරන අවංක ඇගයුමක් තුළින් යෙහෝවඃවහන්සේ අධර්මිෂ්ඨයයි සලකන විනිශ්චයන් කිරීමෙන් අපව වළක්වනු ලබනවා ඇත.
සභාවේ පත් කරන ලද වැඩිමහල්ලෝ බරපතළ වැරදි සම්බන්ධයෙන් විනිශ්චය කිරීමට බැඳී සිටින්නෝය. (1 කොරින්ති 5:12, 13) එසේ කරන විට, දෙවියන්වහන්සේගේ යුක්තිය හැකි සෑම අවස්ථාවකම දයාව දැක්වීමට සොයන බව ඔවුන්ට මතක්වනු ඇත. පසුතැවිලි නොවන පව්කාරයන් හා සම්බන්ධ අවස්ථාවලදී එයට කිසි පදනමක් නොමැති නම්, දයාව දැක්විය නොහැක. එහෙත් පළිගැනීමේ චේතනාවෙන් වැඩිමහල්ලන් එවන් වරදකරුවෙකුව සභාවෙන් නෙරපා දමන්නේ නැත. සභා ඇසුරෙන් කපා හැරීමේ ක්‍රියාව ඔහුව ප්‍රකෘතිමත් තත්වයට ගෙනෙන බවට ඔවුහු බලාපොරොත්තු වෙති. (එසකියෙල් 18:23, සසඳන්න.) ක්‍රිස්තුස්වහන්සේගේ මූලිකත්වය යටතේ, යුක්තිය වෙනුවෙන් වැඩිමහල්ලන් සේවය කරන අතර, “සුළඟෙන් මුවාවෙන ඉඩමක්,” ලෙස සිටීමත් මෙයට ඇතුළත් වේ. (යෙසායා 32:1, 2) එබැවින් ඔවුහු අපක්ෂවාදී වීම හා සාධාරණත්වය පෙන්නුම් කළ යුතුය.—ද්විතීය කථාව 1:16, 17.
ධර්මිෂ්ඨකමෙන් බීජ වපුරන්න
දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨ නව ලෝකය දෙස බලා සිටින අතරතුර, දිව්‍ය අනුග්‍රහය භුක්තිවිඳීමට අපි ‘ධර්මිෂ්ඨකම සෙවිය’ යුත්තෙමු. (ශෙපනියා 2:3; 2 පේතෘස් 3:13) හොෂෙයා 10:12හි දක්නට ලැබෙන මෙම වදන් තුළ, එම අදහස අලංකාරවත් ලෙස ප්‍රකාශ වී තිබේ: “ධර්මිෂ්ඨකම පිණිස වපුරාගන, කරුණාවේ හැටියට කපාගනිල්ලා; පුරන් බිම කොටාගනිල්ලා. ස්වාවහන්සේ ඇවිත් නුඹලාට ධර්මිෂ්ඨකම වස්වන තුරු, දැන් උන්වහන්සේ සොයන්ට කාලයය.”
අසල්වැසියෙකු සේ ක්‍රියා කළ සමාරියයාගේ උපමාවේ නිදර්ශනය කළාක් මෙන්, අපගේ එදිනෙදා ජීවිතයේදීද ‘ධර්මිෂ්ඨකමේ බීජ වපුරන්ට’ අපට බොහෝ අවස්ථා තිබේ. අප “ප්‍රේමනීය කරුණාවට එකඟව කපාගන්නා”[NW] බවට යෙහෝවඃවහන්සේ සහතික වනසේක. අපි දිගටම “යුක්තියේ මාර්ගයේ” ගමන් කරන්නෙමු නම්, රාජ්‍ය පාලනය යටතේ ධර්මිෂ්ඨකමින් උපදෙස් දිගටම ලබාගන්නෙමු. (යෙසායා 40:14, NW) කාලයත් සමඟම, යෙහෝවඃවහන්සේ ධර්මිෂ්ඨකමට සහ යුක්තියට ප්‍රේම කරන බව, අපි නිසැකවම තව තවත් වැඩියෙන් අගය කිරීමට පැමිණෙන්නෙමු.—ගීතාවලිය 33:4, 5.
[23වන පිටුවේ පින්තූරය]
අසල්වැසියෙකු සේ ක්‍රියා කළ සමාරියයා යෙහෝවඃවහන්සේගේ යුක්තිය නිදර්ශනය කර පෙන්වූයේය
[23වන පිටුවේ පින්තූරය]
තැළුණු බටගස්වලට සමාන වූ පීඩිත ජනතාව කෙරෙහි යේසුස්වහන්සේට අනුකම්පාව තිබිණ