ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • cl 16 පරි. 158-167 පි.
  • දෙවි සමඟ ගමන් කිරීමේදී ‘යුක්තිය ඉටු කරන්න’

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවි සමඟ ගමන් කිරීමේදී ‘යුක්තිය ඉටු කරන්න’
  • යෙහෝවාට ළං වන්න
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ‘සැබෑ ධර්මිෂ්ඨකම’ ලුහුබැඳීම
  • ශුභාරංචිය හා දිව්‍ය යුක්තිය
  • අප අනුන්ට සලකන ආකාරය
  • “යුක්තියට අනුව” සේවය කරන වැඩිමහල්ලෝ
  • යෙහෝවාව අනුකරණය කරන්න—යුක්තිය හා ධර්මිෂ්ඨකම පවත්වන්න
    1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සැබෑ යුක්තියේ හා ධර්මිෂ්ඨකමේ උල්පත වන යෙහෝවා
    1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ධර්මිෂ්ඨකමට සහ යුක්තියට ප්‍රේම කරන යෙහෝවඃවහන්සේ
    1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “ඔහුගේ සියලු මාර්ග යුක්තිසහගතය”
    යෙහෝවාට ළං වන්න
තව තොරතුරු
යෙහෝවාට ළං වන්න
cl 16 පරි. 158-167 පි.

16වන පරිච්ඡේදය

දෙවි සමඟ ගමන් කිරීමේදී ‘යුක්තිය ඉටු කරන්න’

1-3. (අ) අප යෙහෝවාට ණයගැති විය යුත්තේ ඇයි? (ආ) අපගේ ප්‍රේමනීය මිදුම්කරුවාණන් අපෙන් ඉල්ලා සිටින්නේ කුමක්ද?

ඔබ ගිලෙන නැවක් තුළ හිර වී සිටිනවායයි සිතන්න. ගැළවීමට කිසිදු මඟක් නැහැයි කියා ඔබට සිතෙන වෙලේ, ජීවිතාරක්ෂකයෙක් ඇවිත් ඔබව ගිලෙන නැවෙන් පිටතට ගනියි. ජීවිතාරක්ෂකයා ඔබව එම අන්තරායෙන් මුදවාගෙන පිට වී යද්දී “ඔබට දැන් භය වෙන්ට දෙයක් නැහැ” යයි කියන විට ඔබට දැනෙන්නේ කොතරම් සහනයක්ද! ඔබ එම තැනැත්තාට ණයගැති වන්නේ නැද්ද? වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔබගේ දිවි හිමියෙන්ම ඔහුට ඔබ ණයගැතියි.

2 මේ නිදර්ශනය දෙස බලද්දී, යෙහෝවා අප වෙනුවෙන් කර ඇති දෙය මින් මොනවට පැහැදිලි කරනවා. ස්ථිර වශයෙන්ම අපි ඔහුට ණයගැති විය යුතුයි. ඔහු අපට මිදීමේ මිලය සපයා තිබෙනවා. ඒ තුළින් පාපයේ හා මරණයේ විලංගුවලින් මිදෙන්නට හැකියාව ලබා දී තිබෙනවා. අප එම අනර්ඝ මිදීමේ මිලය කෙරෙහි ඇදහිල්ල තබන තාක් කල්, අපගේ පව්වලට සමාව ලැබෙන අතර, අපට දැනෙන්නේ අපගේ සදාකාලික අනාගතය සුරක්ෂිත බවයි. (1 යොහන් 1:7; 4:9) අප 14වෙනි පරිච්ඡේදයේ දුටුවාක් මෙන්, මිදීමේ මිලය යනු යෙහෝවාගේ ප්‍රේමයේ සහ යුක්තියේ ශ්‍රේෂ්ඨතම ප්‍රකාශයයි. අප ඊට ප්‍රතිචාර දැක්විය යුත්තේ කෙසේද?

3 අපගේ ප්‍රේමනීය මිදුම්කරු අපගෙන් ඉල්ලා සිටින්නේ කුමක්ද යන්න මෙහිදී සලකා බැලීම සුදුසුයි. අනාගතවක්තෘ මීකා තුළින් යෙහෝවා අපට පවසන්නේ මෙයයි. “එම්බා මනුෂ්‍යය, යහපත මොකද කියා ඔහු නුඹට පෙන්වා තිබේ. ධර්මිෂ්ඨකම් [යුක්තිය ඉටු, NW] කිරීමත් කරුණාවට ප්‍රේමවීමත් නුඹේ දෙවි වෙත යටහත් ලෙස හැසිරීමත් මිස යෙහෝවා නුඹෙන් ඉල්ලන්නේ වෙන කුමක්ද?” (මීකා 6:8) යෙහෝවා අපෙන් ඉල්ලන දේවල් අතර, “යුක්තිය ඉටු කිරීමත්” තිබෙන බව ඔබ දුටුවාද? අපට එය කළ හැක්කේ කොහොමද?

‘සැබෑ ධර්මිෂ්ඨකම’ ලුහුබැඳීම

4. යෙහෝවා සිය ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට අනුකූලව ජීවත් වීම අපෙන් අපේක්ෂා කරන බව අප දන්නේ කොහොමද?

4 හරි දෙය හා වැරදි දෙය පිළිබඳ තම ප්‍රමිතිවලට අනුව ජීවත් වීම යෙහෝවා අපෙන් අපේක්ෂා කරනවා. මෙම ප්‍රමිති යුක්තිසහගත හා ධර්මිෂ්ඨ බැවින්, අප ඒවාට අනුකූල වන විට අප ලුහුබඳිමින් සිටින්නේ යුක්තිය සහ ධර්මිෂ්ඨකමයි. යෙසායා 1:17හි පවසන්නේ ‘යහපත්කම් කරන්ට ඉගෙනගන්න. යුක්තිය සොයන්න’ කියායි. තවදුරටත් දේවවචනය අපට අවවාද කරන්නේ, ‘ධර්මිෂ්ඨකම සොයන’ ලෙසයි. (ශෙපනියා 2:3) ‘සැබෑ ධර්මිෂ්ඨකමින්ද ශුද්ධකමින්ද දෙවිට සමානව මවන ලද්දාවූ අලුත් මනුෂ්‍යයා [පෞද්ගලිකත්වය, NW] පැළඳගන්නා ලෙස’ එය අපගෙන් උදක්ම ඉල්ලා සිටිනවා. (එපීස 4:24) ප්‍රචණ්ඩත්වයෙන්, අපවිත්‍රකමින් හා දුරාචාරයෙන් සිදු වන්නේ ශුද්ධ දේ කෙලසීම වන බැවින්, සැබෑ ධර්මිෂ්ඨකම එනම් සැබෑ යුක්තිය ඒවායින් බැහැරවයි පවතින්නේ.—ගීතාවලිය 11:5; එපීස 5:3-5.

5, 6. (අ) යෙහෝවාගේ ප්‍රමිතිවලට අනුකූල වීම අපට මහා බරක් නොවන්නේ ඇයි? (ආ) ධර්මිෂ්ඨකම ලුහුබැඳීම දිගටම සිදු වන ක්‍රියාවක් බව බයිබලය අපට පෙන්වන්නේ කොහොමද?

5 යෙහෝවාගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට අනුකූල වීම අපට මහා බරක්ද? නැහැ. යෙහෝවා වෙත ඇදී ගොස් ඇති හදවතකට ඔහුගේ අවශ්‍යතා සපුරාලීම වෙහෙසක් වන්නේ නැහැ. අප දෙවිට ප්‍රේම කරන නිසාත් ඔහුගේ පෞද්ගලිකත්වයට අප ප්‍රිය කරන නිසාත්, අපට වුවමනා වන්නේ ඔහු සතුටු වන අන්දමට ජීවත් වීමටයි. (1 යොහන් 5:3) යෙහෝවා “ධර්මිෂ්ඨකමට ප්‍රිය වන” බව මතක් කරගන්න. (ගීතාවලිය 11:7) අප සැබවින්ම දිව්‍ය යුක්තිය හෙවත් ධර්මිෂ්ඨකම අනුකරණය කරනවා නම්, අප යෙහෝවා ප්‍රේම කරන දෙයට ප්‍රේම කළ යුතුයි. වෛර කරන දෙයට වෛර කළ යුතුයි.—ගීතාවලිය 97:10.

6 අසම්පූර්ණ මිනිසුන්ට ධර්මිෂ්ඨකම ලුහුබැඳීම පහසු දෙයක් නොවෙයි. අප අපේ පරණ පෞද්ගලිකත්වයේ පව්කාර පුරුදු ගළවා ඉවත දමා, අලුත් පෞද්ගලිකත්වයක් පැළඳගත යුතුයි. අලුත් පෞද්ගලිකත්වය ‘අලුත් කරනු ලබන්නේ’ නිවැරදි දැනුම තුළින් බව බයිබලය පවසනවා. (කොලොස්සි 3:9, 10) “අලුත් කරනු ලබන” යන වචනවලින් අදහස් කරන්නේ අලුත් පෞද්ගලිකත්වයක් පැළඳගැනීම දිගටම සිදු විය යුතු ක්‍රියාවක් බවයි. එමෙන්ම ඒ සඳහා මහත් වෙහෙසක් දැරිය යුතු බවයි. අප හරි දෙය කිරීමට කොතරම් උත්සාහ කළත් අපගේ පව්කාර ස්වභාවය නිසා සිතිවිලිවලින්, වචනයෙන් හා ක්‍රියාවෙන් අප බාධාවට පත් වෙනවා.—රෝම 7:14-20; යාකොබ් 3:2.

7. ධර්මිෂ්ඨකම ලුහුබැඳීමට අප දරන ප්‍රයත්නයේදී අප අසමත් වේ නම්, අප ඒ දෙස බැලිය යුත්තේ කොහොමද?

7 ධර්මිෂ්ඨකම ලුහුබැඳීමට අප විසින් දරන ප්‍රයත්නයේදී අප විටින් විට අසමත් වන්ට පුළුවන්. අප ඒ දෙස බැලිය යුත්තේ කොහොමද? ඇත්තවශයෙන්ම, පාපයේ බැරෑරුම්කම අඩුවෙන් සලකන්නට අපට වුවමනා වන්නේ නැහැ. ඒ අතරම, අප කිසිවිටෙකත් අපගේ වෑයම නතර නොකළ යුතුයි. අපගේ අඩුලුහුඬුකම් නිසා අප යෙහෝවාට සේවය කිරීමට සුදුසු නැහැ කියා නොසිතිය යුතුයි. අනුග්‍රහයෙන් පිරි අපගේ දෙවි, අවංක ලෙස පසුතැවිලි වෙන්නන්හට නැවතත් තමාගේ අනුමැතිය ලබාගැනීමට අවශ්‍ය විධිවිධාන යොදා තිබෙනවා. ප්‍රේරිත යොහන් විසින් ලියන ලද අස්වැසිල්ලක් ගෙන දෙන්නාවූ මේ වචන සැලකිල්ලට ගන්න. “මේ කාරණා නුඹලාට ලියා එවන්නේ නුඹලා පව් [පාපයක්, NW] නොකරන පිණිසය.” නමුත් ඔහු යථාර්ථවාදීව තවත් දෙයක් ඊට එකතු කළා. “යමෙක් [උරුම වූ අසම්පූර්ණකම නිසා] පව් කළොත්, ධර්මිෂ්ඨ වූ යේසුස් ක්‍රිස්තුස් [නමැති] මැදහත්කාරයෙක් පියා වෙත අපට සිටින්නේය.” (1 යොහන් 2:1) ඔව්, යෙහෝවා අපට යේසුස්ගේ මිදීමේ මිල යාගය සපයා තිබෙනවා. අප පව්කාරයන් වුවත්, ඔහුට පිළිගත හැකි ආකාරයකින් සේවය කරන්නට අපට පුළුවනි. යෙහෝවාව සතුටු කිරීම සඳහා අපේ උපරිමය කිරීමට එය අපව පොලඹවන්නේ නැද්ද?

ශුභාරංචිය හා දිව්‍ය යුක්තිය

8, 9. ශුභාරංචිය ප්‍රකාශ කිරීම යෙහෝවාගේ යුක්තිය නිරූපණය කරන්නේ කොහොමද?

8 අපට යුක්තිය ඉටු කළ හැකි, ඇත්තෙන්ම දිව්‍ය යුක්තිය අනුකරණය කළ හැකි ක්‍රමයක් තිබෙනවා. ඒ තමයි, දෙවිගේ රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය අනුන්ට බෙදා දීමෙහි පූර්ණ ලෙස හවුල් වීම. යෙහෝවාගේ යුක්තිය සහ ශුභාරංචිය අතර තිබෙන්නේ කිනම් සම්බන්ධයක්ද?

9 අනතුරු ඇඟවීමකින් තොරව යෙහෝවා මේ දුෂ්ට ක්‍රමය නිමාවකට පත් කරන්නේ නැහැ. අන්තිම කාලය අතරතුරේදී සිදු වන දෙය ගැන කළ තම අනාවැකියේ යේසුස් මෙසේ පැවසුවා. “ශුභාරංචිය පළමුකොට සියලු ජාතීන්ට ප්‍රකාශ කරනු ලබන්ට ඕනෑය.” (මාර්ක් 13:10; මතෙව් 24:3) “පළමුකොට” යන වචනයෙන් අදහස් කරන්නේ ශුභාරංචිය දේශනා කිරීමෙන් අනතුරුව තවත් සිද්ධීන් සිදුවීමට නියමිතව ඇති බවයි. පුරෝකථනය කරන ලද මහත් පීඩාව එම සිද්ධීන්වලට ඇතුළත් වෙනවා. ඉන් අදහස් කරනු ඇත්තේ දුෂ්ටයන්ගේ විනාශයත්, ඉන් පසුව ධර්මිෂ්ඨ නව ලෝකයකට මාවත විවෘත වීමත් කියා දක්වන්නට පුළුවන්. (මතෙව් 24:14, 21, 22) මෙහිදී යෙහෝවා දුෂ්ටයන් කෙරෙහි අයුක්තිසහගතව ක්‍රියා කළා කියා සාධාරණ ලෙස චෝදනා කරන්නට කිසිවෙකුට බැරි වෙන බව පැහැදිලියි. අනතුරු ඇඟවීමක් දී තිබීම මගින්, තමන්ගේ මාර්ග වෙනස් කරගන්නටත් එනයින් විනාශයෙන් ගැළවෙන්නටත් ඔහු එවැනි අයට ඕනෑ තරම් ප්‍රස්තාව දී තිබෙනවා.—යෝනා 3:1-10.

10, 11. අප ශුභාරංචිය දේශනා කිරීමේ හවුල් වීම දිව්‍ය යුක්තිය පිළිබිඹු කිරීමක් වන්නේ කෙසේද?

10 අප විසින් ශුභාරංචිය දේශනා කිරීම දිව්‍ය යුක්තිය පිළිබිඹු කිරීමක් වන්නේ කොහොමද? සියල්ලටම පළමුවෙන්, ගැළවීම ලබාගැනීම සඳහා අන්‍යයන්ට උපකාර කිරීමට අපට කළ හැකි හැම දෙයක්ම කිරීම හරි දෙයයි. ගිලෙන නැවකින් බේරීම පිළිබඳ උපහැරණය නැවත සැලකිල්ලට ගන්න. ආරක්ෂිත බෝට්ටුවකට ගොඩ වූ ඔබට වතුරේ ගිලෙන්නට යන තවත් අයව බේරාගැනීමට වුවමනා බවට කිසිදු සැකයක් නැහැ. ඒ හා සමානව, මේ දුෂ්ට ලෝකය නමැති “වතුරේ” ගිලෙන්නට යන නිසා තවමත් පොර බදිමින් සිටින අය කෙරෙහි අපට වගකීමක් තිබෙනවා. බොහෝදෙනෙක් අපේ පණිවුඩය ප්‍රතික්ෂේප කරන බව ඇත්තයි. නමුත් යෙහෝවා ඉවසීම දක්වන තාක් කල්, ඔවුන්ට ‘පසුතැවිලි වී’ ගැළවීමේ මාර්ගයට පිවිසීම සඳහා ප්‍රස්තාවක් දීමේ වගකීම අපට තිබෙනවා.—2 පේතෘස් 3:9.

11 අපට හමු වන සියල්ලන්හට ශුභාරංචිය බෙදා දීම මගින්, තවත් වැදගත් ආකාරයකින් අප යුක්තිය විදහාපෙන්වනවා. අප එයින් පෙන්වන්නේ කිසි පැත්තක් නොගෙන කටයුතු කරන බවයි. “දෙවි මනුෂ්‍යයන්ගේ තරාතිරම් නොබලන කෙනෙක්ය. සියලු ජාතීන් අතරේ ඔහු කෙරෙහි භය ඇතිව ධර්මිෂ්ඨකම් කරන තැනැත්තේ ඔහුට ප්‍රසන්න බව” සිහියට ගන්න. (ක්‍රියා 10:34, 35) අප ඔහුගේ යුක්තිය අනුකරණ කිරීමට නම්, අප කිසිවෙකුව කලින් විනිශ්චය නොකළ යුතුයි. ඒ වෙනුවට, මිනිසුන්ගේ ජාතිය, සමාජ තත්වය හෝ මූල්‍යමය මට්ටම කුමක් හෝ වේවා අප ඔවුන් සමඟ ශුභාරංචිය බෙදාගත යුතුයි. මෙසේ, ශුභාරංචිය අසා ඊට ප්‍රතිචාරය දක්වන අයට අපි ඒ සඳහා ප්‍රස්තාවක් දෙන්නෙමු.—රෝම 10:11-13.

අප අනුන්ට සලකන ආකාරය

12, 13. (අ) අප අනුන්ව විනිශ්චය කිරීමට ඉක්මන් නොවිය යුත්තේ ඇයි? (ආ) “විනිශ්චය කිරීම නතර කරන්න” සහ “අනුන්ව හෙළා දැකීම නතර කරන්න” යන යේසුස්ගේ උපදෙසේ අරුත කුමක්ද? (පාද සටහනද බලන්න.)

12 යෙහෝවා අපට සලකන අන්දමටම අනුන්ට සැලකීමෙන්ද අපට යුක්තිය ඉටු කළ හැකියි. අනුන්ගේ වැරදි හා අඩුපාඩු ගැන විවේචනය කරමින්, ඔවුන්ගේ චේතනාවන් ගැන ප්‍රශ්න කරමින් ඔවුන්ව විනිශ්චය කිරීම නම් හරිම පහසුයි. නමුත් යෙහෝවා අපගේ චේතනාවන් ඉතා සියුම් ලෙස සෝදිසි කරමින් අපගේ අඩුලුහුඬුකම් දෙස දයා විරහිත ලෙස බලනවා දකින්න වුවමනා වන්නේ අපගෙන් කාටද? යෙහෝවා අප සමඟ කටයුතු කරන්නේ මේ අන්දමට නොවෙයි. ගීතිකාකාරයා නිරීක්ෂණය කෙළේ මෙයයි. “යෙහෝවා, ඔබ අයුතුකම් ගණනට ගන්නේ නම්, [අහෝ යාහ්!, NW] කාට සිටින්ට හැක්කේද?” (ගීතාවලිය 130:3) අපගේ අඩුලුහුඬුකම් දෙසම නොබැලීමට අපගේ යුක්තිසහගත දයාන්විත දෙවි කැමති වී සිටීම ගැන අප කෘතඥ විය යුතු නොවේද? (ගීතාවලිය 103:8-10) එසේ නම්, අප අනුන්ට සැලකිය යුත්තේ කොහොමද?

13 අප දෙවිගේ යුක්තියේ දයාන්විත ස්වභාවය අගය කරනවා නම්, අපට කිසිම සම්බන්ධයක් නැති හෝ වැදගත්කමින් අඩු කාරණාවලදී අනුන්ව විනිශ්චය කිරීමට ඉක්මන් වන්නේ නැහැ. කන්ද උඩ දේශනාවේදී යේසුස් අනතුරු ඇඟවූයේ මෙසේයි. “විනිශ්චය කිරීම නතර කරන්න. එවිට ඔබවද විනිශ්චය කරනු නොලබන්නේය.” (මතෙව් 7:1, NW) ලූක්ගේ වාර්තාව අනුව, යේසුස් අමතරව මෙසේද පැවසුවා. “අනුන්ව හෙළා දැකීම නතර කරන්න. එවිට ඔබව කිසිසේත් හෙළා දකිනු නොලැබේ.”a (ලූක් 6:37, NW) අසම්පූර්ණ මිනිසුන්ට විනිශ්චය කිරීමට ප්‍රවණතාවක් තිබෙනවා යන කාරණය ගැන තමා සාවධානව සිටින බවක් යේසුස් මෙහිදී පෙන්වූවා. කෙනෙකුව තදින් විනිශ්චය කිරීමේ පුරුද්දක් තිබුණු යමෙක් යේසුස් කියූ දේ අසාගෙන සිටියා නම්, ඔහු එය නැවැත්විය යුතුව තිබුණා.

14. අප අනුන්ව ‘විනිශ්චය කිරීම නතර කළ’ යුතු හේතු මොනවාද?

14 අප අනුන්ව ‘විනිශ්චය කිරීම නතර කළ’ යුත්තේ ඇයි? එක් හේතුවක් නම්, අපට තිබෙන බලතලය හෙවත් අධිකාරිත්වය සීමිත වීමයි. ශ්‍රාවක යාකොබ් අපට සිහිගන්වන්නේ මෙයයි. “නීතිදායකයාද විනිශ්චයකාරයාද එක්කෙනෙක්ය.” ඒ යෙහෝවායි. එමනිසා යාකොබ් ඍජුව මෙසේ අසයි. “නුඹේ අසල්වාසියා විනිශ්චය කරන නුඹ කවුද?” (යාකොබ් 4:12; රෝම 14:1-4) මීට අමතරව, අපගේ පාපතර ස්වභාවය නිසා අප කරන විනිශ්චයන් පහසුවෙන් අසාධාරණ විනිශ්චයන් බවට පත් වන්නට පුළුවන්. ඒ වගේම, අගතිය, තම ආත්ම ගරුත්වයට පහර දුන්නාය යන හැඟීමෙන් ඇති වන අමනාපය, ඊර්ෂ්‍යාව සහ තමන්ම ධර්මිෂ්ඨය යන හැඟීම ඇතුළු බොහෝ ආකල්පයන් හා චේතනාවන්, අප සෙසු මිනිසුන්ව දකින දෘෂ්ටිය බොඳ කරන්නට පුළුවන්. ඒ වගේම අපට තවත් සීමාවන්ද තිබෙනවා. මේ සියල්ල දෙස බලන කල, අනුන්ගේ වැරදි සෙවීමට ඉක්මන් නොවීමට අප පෙලඹිය යුතුයි. අපට අනුන්ගේ සිත් කියවන්නට බැහැ. එක් එක්කෙනාගේ පෞද්ගලික තත්වයන් ගැන සියලු කාරණා අප දන්නෙත් නැහැ. මේ නිසා සෙසු ඇදහිලිවන්තයන්ගේ චේතනා ගැන සැක කරන්නටත්, දෙවිගේ සේවය තුළ ඔවුන් දරන උත්සාහයන් විවේචනය කරන්නටත් අපි කවුද? අපගේ සහෝදර සහෝදරියන්ගේ වැරදි අඩුපාඩු දෙස බලනවාට වඩා ඔවුන්ගේ හොඳ පැති දෙස බැලීම කොතරම් හොඳද! එසේ කිරීමෙන් අප කරන්නේ යෙහෝවාව අනුකරණය කිරීමක් නොවේද!

15. දෙවිගේ නමස්කාරකයන් අතර කිසිදු ඉඩක් නැත්තේ කිනම් වචනවලට හා ක්‍රියාවලටද? තවද ඒ ඇයි?

15 අපගේ පවුලේ සාමාජිකයන් ගැන කුමක් කිව හැකිද? වත්මන් ලෝකයේ ඉතා තදබල විනිශ්චයන් සිදු වන්නේ සාමයේ ක්ෂේම භූමියක් විය යුතු නිවස තුළයි. ගුටි බැට දෙන සැමියන්, පහර කෑම්වලට ලක් වන බිරියන්, වාචික හෝ ශාරීරික ලෙස තම දරුවන්ට පහර දෙමින් “දඬුවම් නියම කරන” දෙමාපියන් ගැන හැම තැනින්ම අසන්නට ලැබීම අරුමයක් නොවෙයි. නමුත් හිත් රිදෙන කැපෙනසුලු කුරිරු වචනවලට හෝ ශාරීරික ලෙස කරන පහර දීම්වලට දෙවිගේ නමස්කාරකයන් අතර කිසිදු ඉඩක් නැහැ. (එපීස 4:29, 31; 5:33; 6:4) “විනිශ්චය කිරීම නතර කරන්න” හෝ “හෙළා දැකීම නතර කරන්න” යන යේසුස්ගේ උපදෙස නිවස තුළ අදාළ කිරීමට පමණක් සීමා වන්නේ නැහැ. යෙහෝවා අපට සලකන ආකාරයට අනුන්වද සැලකීම යුක්තිය ඉටු කිරීමට ඇතුළත් බව මතක තබාගන්න. තවද අපගේ දෙවි අප සමඟ කටයුතු කරද්දී කිසි විටකත් රළු ලෙස හෝ කුරිරු ලෙස කටයුතු කරන්නේ නැහැ. ඒ වෙනුවට, තමන්ට ප්‍රේම කරන අය කෙරෙහි ඔහු “බොහෝ අනුකම්පාව ඇත්තාවූ කෙනෙක්ය.” (යාකොබ් 5:11) අපට අනුකරණය කිරීමට කොතරම් සුවිශේෂ ආදර්ශයක්ද!

“යුක්තියට අනුව” සේවය කරන වැඩිමහල්ලෝ

16, 17. (අ) යෙහෝවා වැඩිමහල්ලන්ගෙන් අපේක්ෂා කරන්නේ කුමක්ද? (ආ) පව්කාරයෙක් අව්‍යාජ පසුතැවිල්ල පෙන්වීමට අසමත් වූ විට කුමක් කළ යුතුද? ඒ මන්ද?

16 යුක්තිය ඉටු කිරීමට අප හැමදෙනාටම වගකීමක් තිබෙනවා. නමුත් ක්‍රිස්තියානි සභාවේ සිටින වැඩිමහල්ලන්ට මේ සම්බන්ධයෙන් ඇති වගකීම ඉතා සුවිශේෂයි. “අධිපතීහු” හෙවත් වැඩිමහල්ලන් පිළිබඳව යෙසායා දෙන ලද විස්තරය සැලකිල්ලට ගන්න. “බලව, ධර්මිෂ්ඨකමින් රජෙක් රජකම් කරන්නේය. අධිපතීහුද දැහැමින් [යුක්තියට අනුව, NW] අධිපතිකම් කරන්නෝය.” (යෙසායා 32:1) ඔව්, යෙහෝවා වැඩිමහල්ලන්ගෙන් අපේක්ෂා කරන්නේ යුක්තියට අනුව කටයුතු කිරීමයි. ඔවුන්ට එය කළ හැක්කේ කොහොමද?

17 ආත්මික සුදුසුකම් ලත් මෙම පුරුෂයන් හොඳින් දන්නා දෙයක් නම්, යුක්තියේ හා ධර්මිෂ්ඨකමේ ප්‍රමිතිවලට අනුව සභාව පවිත්‍රව තබාගත යුතු බවයි. ඇතැම් අවස්ථාවල, බරපතළ වැරදි සිදු වූ විට එය විනිශ්චය කිරීමට වැඩිමහල්ලන් වගකීමෙන් යුතුව බැඳී සිටිනවා. එසේ කිරීමේදී, හැකි සෑම අවස්ථාවකම දිව්‍ය යුක්තිය ක්‍රියාත්මක කරමින් ඊට දයාව මුසු කිරීමට ඔවුන් වෑයම් කරනවා. මෙසේ, පව්කාරයා පසුතැවිල්ලට පමුණුවන්නයි ඔවුන් උත්සාහ කරන්නේ. නමුත් එවන් ප්‍රයත්නයන් ගත්තද පව්කාරයා අව්‍යාජ පසුතැවිල්ලක් පෙන්වීමට අසමත් වේ නම් කරන්නේ කුමක්ද? පූර්ණ යුක්තියට අනුව, ගත යුතු ඍජු පියවර ගැන යෙහෝවාගේ වචනයේ යොමු දක්වා තිබෙන්නේ මෙලෙසයි. “ඒ දුෂ්ටයා නුඹලා අතරෙන් පහ කරන්න.” ඉන් අදහස් කරන්නේ ඔහුව හෝ ඇයව සභාවෙන් නෙරපීමයි. (1 කොරින්ති 5:11-13; 2 යොහන් 9-11) එවන් පියවරක් ගැනීමට සිදුවීම ගැන වැඩිමහල්ලන් කනගාටු වන නමුත් සභාවේ සදාචාර හා ආත්මික පවිත්‍රත්වය ආරක්ෂා කරගැනීම පිණිස එවැනි පියවරක් ගැනීම අනිවාර්යයෙන්ම අවශ්‍ය බව වැඩිමහල්ලන් වටහාගන්නවා. එසේ වුවත්, පව් කළ තැනැත්තා යම් දවසක තමාගේ හොඳ සිහියට පැමිණ නැවත සභාවට පැමිණේය යන බලාපොරොත්තුව ඔවුන්ට තිබෙනවා.—ලූක් 15:17, 18.

18. අනුන්ට බයිබලය මත පදනම් උපදෙස් ඉදිරිපත් කරන විට, වැඩිමහල්ලන් මතකයේ තබාගත යුත්තේ කුමක්ද?

18 යුක්තියට අනුව ක්‍රියා කිරීමට ඇතුළත් තවත් දෙයක් තිබෙනවා. ඒ තමයි, අවශ්‍ය අවස්ථාවලදී බයිබලය මත පදනම් උපදෙස් ඉදිරිපත් කිරීම. ඇත්තවශයෙන්ම, වැඩිමහල්ලන් වෙනත් අයගේ වැරදි හාරා අවුස්සා බලන්නේ නැහැ. ඒ වගේම සෑම අවස්ථාවන්හිදීම පුද්ගලයන්ව නිවැරදි කිරීමටත් වැඩිමහල්ලන් උත්සාහ කරන්නේ නැහැ. නමුත් සෙසු ඇදහිලිවන්තයෙක් ‘යම් වැරදි පියවරක්’ ගන්න පුළුවන්. ඔහු එසේ කරන්නේ ‘ඒ ගැන හරි හැටි කලින් නොදැන’ විය හැකියි. දිව්‍ය යුක්තිය යනු කෲරවීම හෝ කිසි හැඟීමක් නැතුව ක්‍රියා කිරීම නොවන බව දන්නා වැඩිමහල්ලෝ, ‘එවැන්නෙකුව මෘදුකමේ ස්වභාවයෙන් යුක්තව යළි සකස් කිරීමට උත්සාහ කරනවා.’ (ගලාති 6:1, NW) මෙබැවින්, වැඩිමහල්ලන් වැරදි කරන කෙනෙකුට කෑගසන්නේවත්, රළු වචනවලින් බැණ වදින්නේවත් නැහැ. ඒ වෙනුවට, ප්‍රේමයෙන් දෙනු ලබන උපදෙස් එය ලබන පුද්ගලයාට මහත් දිරිගැන්වීමක් වෙනවා. යම් අඥාන ක්‍රියාමාර්ගයක යෑමෙන් ඇති විය හැකි අනිටු ඵල විපාක ගැන ඍජු අවවාද දෙන විට පවා, වැඩිමහල්ලන් විසින් මතක තබාගත යුතු කරුණක් නම්, වැරදි කර ඇති සෙසු ඇදහිලිවන්තයා යෙහෝවාගේ රැළේ බැටළුවෙක් බවයි.b (ලූක් 15:7) දෙන උපදෙස් හෝ අවවාද ප්‍රේමයෙන් පෙලඹී දෙන විට, වැරදි කරන තැනැත්තාව යළි සකස් කිරීමට තිබෙන ඉඩ කඩ වැඩියි.

19. වැඩිමහල්ලන්ට ගැනීමට සිදු වන්නේ කිනම් තීරණද? තවද එවන් තීරණ ඔවුන් පදනම් කළ යුත්තේ කුමක් මතද?

19 තමන්ගේ සෙසු ඇදහිලිවන්තයන්ට බලපාන තීරණ ගැනීමට බොහෝ විට වැඩිමහල්ලන්ට සිදු වෙනවා. නිදසුනක් වශයෙන්, වැඩිමහල්ලන් කලින් කලට රැස්වී සභාවේ වෙනත් සහෝදරයන් වැඩිමහල්ලන් සහ සභා සේවකයන් ලෙස නිර්දේශ කරනු ලැබීමට සුදුසුදැයි බලනවා. මෙහිදී වැඩිමහල්ලන් දන්නා දෙයක් තමයි පැති නොගෙන ක්‍රියා කිරීමේ වැදගත්කම. එවන් පත් කිරීම් කරන විට තම පෞද්ගලික හැඟීම් මත රඳා සිටිනවා වෙනුවට දෙවිගේ අවශ්‍යතා මගින් තමන්ව මඟ පෙන්වනු ලැබීමට ඔවුන් වගබලා ගන්නවා. මෙලෙස ඔවුන් ක්‍රියා කරන්නේ ‘කලින් නිශ්චය කරගෙනවත් [අනිසි] පක්ෂපාතකමින්වත් කිසිවක් නොකරමිනි.’—1 තිමෝති 5:21.

20, 21. (අ) වැඩිමහල්ලන් වෑයම් කළ යුත්තේ කුමක් කිරීමටද? ඒ මන්ද? (ආ) ‘ක්ලාන්ත සිත් ඇත්තන්හට’ උපකාර කිරීමට වැඩිමහල්ලන්ට කුමක් කළ හැකිද?

20 තවද වෙනත් ආකාරවලින්ද වැඩිමහල්ලන් දිව්‍ය යුක්තිය ක්‍රියාත්මක කරනවා. වැඩිමහල්ලන් “යුක්තියට අනුව” ක්‍රියා කරයි යනුවෙන් පුරෝකථනය කළායින් පසුව, යෙසායා තවදුරටත් පැවසුවේ මෙසේයි. “මනුෂ්‍යයෙක් වනාහි සුළඟෙන් මුවා වෙන ඉඩමක් සහ කුණාටුවෙන් ආවරණයක් මෙන්ද වියළි ප්‍රදේශයක ජල ගංගා මෙන්ද විඩා වූ දේශයක මහා පර්වතයක සෙවණ මෙන්ද වන්නේය.” (යෙසායා 32:2) එසේනම්, වැඩිමහල්ලෙනි, ඔබේ සෙසු නමස්කාරකයන්ට සහනයේ සහ ප්‍රබෝධයේ උල්පත් බවට පත්වීමට දැඩි වීර්යයක් ගන්න.

21 අදදින, බොහෝදෙනෙකුගේ සිත් කලකිරවන ගැටලු හමුවේ අවශ්‍ය වන්නේ දිරිගැන්වීමයි. වැඩිමහල්ලෙනි, ‘ක්ලාන්ත සිත් ඇත්තන්හට’ උපකාර කිරීමට ඔබට කළ හැක්කේ කුමක්ද? (1 තෙසලෝනික 5:14) සංවේදනයෙන් යුතුව ඔවුන්ට සවන් දෙන්න. (යාකොබ් 1:19) විශ්වාසවන්ත යමෙකු සමඟ තමන්ගේ ‘සිත්තැවුල්’ බෙදාහදා ගැනීමට ඔවුන්ට අවශ්‍ය වෙන්නට පුළුවන්. (හිතෝපදේශ 12:25, න. අ.) යෙහෝවාට මෙන්ම ඔවුන්ගේ සහෝදර සහෝදරියන්ටද ඔවුන්ව වුවමනා කරන බව පවසන්න. ඔවුන්ව අගය කරනු ලබන බවත් ඔවුන්ට ආදරය කරනු ලබන බවත් දැනෙන්නට සලස්වා ඔවුන්ව සනසවන්න. (1 පේතෘස් 1:22; 5:6, 7) මීට අමතරව, එවන් අය වෙනුවෙනුත් එවන් අය සමඟත් ඔබට යාච්ඤා කළ හැකියි. ඔවුන් වෙනුවෙන් වැඩිමහල්ලෙකු විසින් කරන හෘදයාංගම යාච්ඤාවකට සවන් දීම බොහෝ සෙයින් සහනයක් විය හැකියි. (යාකොබ් 5:14, 15) සිත් කලකිරී සිටින අයට උපකාර කිරීමට ඔබ දරන වෑයම යුක්තියේ දෙවි බලා සිටින බව අමතක කරන්න එපා.

22. යෙහෝවාගේ යුක්තිය අනුකරණය කිරීමට අපට හැක්කේ කිනම් මාර්ගවලින්ද? ඉන් ලැබෙන ප්‍රතිඵලය කුමක්ද?

22 සැබවින්ම, යෙහෝවාගේ යුක්තිය අනුකරණය කරමින් අපි වඩ වඩාත් ඔහු වෙතට ළං වෙමු! අප ඔහුගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට ඇලී සිටින විට, ජීවිත ගළවන ශුභාරංචිය අනුන්හට බෙදා දෙන විට, අනුන්ගේ වැරදි සොයනවාට වඩා ඔවුන්ගේ හොඳ ගතිගුණ දැකීමට මහන්සි ගන්නා විට, අප විදහාපාන්නේ දිව්‍ය යුක්තියයි. වැඩිමහල්ලෙනි, ඔබ සභාවේ පවිත්‍රත්වය ආරක්ෂා කරන විට, ගොඩනංවනසුලු ශුද්ධ ලියවිලිමය උපදෙස් ඉදිරිපත් කරන විට, පැති නොගෙන තීරණ ගන්නා විට, බිඳුණු සිත් ඇති අයව දිරිගන්වන විට, ඔබ කරන්නේ දිව්‍ය යුක්තිය පිළිබිඹු කිරීමයි. යෙහෝවා ස්වර්ගයේ සිට පොළොව දෙස බලා තමන්ගේ ජනයා දෙවි සමඟ ගමන් කිරීමෙහිලා ‘යුක්තිය ඉටු කිරීමට’ තමන්ගේ උපරිමය කරනවා දකින විට ඔහුගේ හදවත කොතරම් සතුටට පත් වනවා ඇද්ද!

[පාදසටහන්වල]

a ඇතැම් පරිවර්තනවල සඳහන් වන්නේ “විනිශ්චය නොකරන්න” සහ “හෙළා නොදකින්න” යනුවෙනුයි. එවන් පරිවර්තනවලින් අඟවන්නේ “විනිශ්චය කිරීමට පටන්ගන්න එපා” සහ “හෙළාදැකීමට පටන්ගන්න එපා” යන්න විය හැකියි. කෙසේවෙතත්, මෙහිදී බයිබල් ලේඛකයන් යොදාගන්නේ යමක් නොකිරීමට වූ විධානය වර්තමාන කාලයේ දිගටම සිදු වන ක්‍රියාවක් ලෙසටයි. එබැවින් මෙහි විස්තර කර ඇති ක්‍රියාවන් සිදු වෙමින් පැවති අතර, ඒවා නවත්වාගත යුතු වුණා.

b බයිබලයේ 2 තිමෝති 4:2හි පවසන්නේ ඇතැම් අවස්ථාවලදී වැඩිමහල්ලන් ‘තරවටු කර, තදින් අවවාද කර, අනුශාසනා කළ’ යුතු බවයි. “අනුශාසනා” (පාරාකාලියෝ) යනුවෙන් පරිවර්තනය කර තිබෙන ග්‍රීක් වචනයෙන් “දිරිගැන්වීම” යන්න අදහස් කළ හැකියි. එම වචනය හා බැඳී ඇති තවත් ග්‍රීක් වචනයක් වන පාරාක්ලිටොස්, නඩුවක අද්වකාත්වරයෙකුට යොමු දක්වන්න පුළුවන්. මෙසේ, වැඩිමහල්ලන් විසින් තදින් අවවාද දෙන විට පවා, ඔවුන් ක්‍රියාත්මක වන්නේ ආත්මික සහයෝගය අවශ්‍ය කරන අයට උපකාර සපයන අය ලෙසිනුයි.

මෙනෙහි කිරීම සඳහා ප්‍රශ්න

ද්විතීය කථාව 1:16, 17 ඉශ්‍රායෙල්හි සිටි විනිශ්චයකරුවන්ගෙන් යෙහෝවා ඉල්ලා සිටියේ කුමක්ද? වැඩිමහල්ලන්හට මෙයින් ඉගෙනගත හැක්කේ කුමක්ද?

යෙරෙමියා 22:13-17 යෙහෝවා අනතුරු අඟවන්නේ කිනම් අයුක්තිසහගත ක්‍රියාවලට එරෙහිවද? තවද ඔහුගේ යුක්තිය අනුකරණය කිරීමට අත්‍යවශ්‍ය දේ කුමක්ද?

මතෙව් 7:2-5 අපගේ සෙසු නමස්කාරකයන්ගේ වැරදි සෙවීමට අප ඉක්මන් නොවිය යුත්තේ ඇයි?

යාකොබ් 2:1-9 අනිසි අනුග්‍රහය පෙන්වීම දෙස යෙහෝවා බලන්නේ කොහොමද? අනුන් සමඟ කටයුතු කිරීමේදී අපට මෙම උපදෙස අදාළ කරගත හැක්කේ කොහොමද?

[163වන පිටුවේ පින්තූරය]

අප අපක්ෂපාතී ලෙස අනුන් සමඟ ශුභාරංචිය බෙදාගන්නා විට, අප විදහාපාන්නේ දිව්‍ය යුක්තියයි

[166වන පිටුවේ පින්තූරය]

බිඳුණු සිත් ඇති අයව දිරිගන්වද්දී වැඩිමහල්ලන් යෙහෝවාගේ යුක්තිය පිළිබිඹු කරනවා

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න