කරන හැම පැමිණිල්ලක්ම වැරදිද?
අපට පැමිණිලි කරගන්න බැරි ඒවා තරම් වේදනාකාරි අප්‍රසන්නකම් තවත් ඇද්ද?—මාකී ඩ ක්‍යූස්ටීන් 1790-1857.
සෙසු සේවකයෙකු අවුරුදු දෙකක් පුරා ඇයට ලිංගිකව හිරිහැර කර තිබුණා. ඇගේ විරෝධයන්ගේ ප්‍රතිඵලය වුණේ බැණ වැදීම්වලට හා ගණනකට නොගැනීම්වලට ලක්වීමයි. හිතේ තෙරපුණු පීඩාව ඇගේ සෞඛ්‍යයට බලපාන්න පටන්ගත්තත්, ඇය මොනව කරන්නද? ඒ හා සමානව, පාසැලෙන් අවශ්‍ය කළ සටන්කාමී ශාස්ත්‍ර සරඹයක යෙදීමට පංතියේ පළමු ස්ථානය ලබා සිටි ශිෂ්‍යයෙකුගේ හෘදය සාක්ෂිය ඔහුට අවසර නුදුන් නිසා, ඔහුව අස් කරනු ලැබුවා. තමන්ට කළේ වරදක් කියා දෙදෙනාටම හැඟුණත්, ඔවුන් පැමිණිලි කළ යුතුද? ඔවුන් එසේ කළොත්, ඔවුන්ට සහනයක් බලාපොරොත්තු විය හැකිද? එසේ නැතහොත් තත්වය තවත් දරුණු කරනවා විතරද?
අප අංග සම්පූර්ණ නොවන ලොවක අසම්පූර්ණ මනුෂ්‍යයන් අතරේ ජීවත් වන බැවින්, මෙවැනි පැමිණිලි සහ වෙනත් ඒවා අදදින පොදුවේ දක්නට ලැබෙනවා. පැමිණිලි කිරීම, යම් තත්වයක් සම්බන්ධයෙන් යමක් නොකර අසන්තෝෂය, ශෝකය, වේදනාව හෝ අමනාපය ප්‍රකාශ කිරීමේ සිට යම් පාර්ශ්වයකට විරුද්ධව කෙළින්ම කරන චෝදනාවක් දක්වා පුළුල් පරාසයක් ගන්නවා. බොහෝ පුද්ගලයන් පැමිණිලි කිරීම සහ මුහුණට මුහුණලා ගැටීම මඟහැරීමට කැමතියි; එනමුත්, යමෙකු හැම විටකම නිශ්ශබ්දව සිටිය යුතුද? මේ ගැන බයිබලයෙහි අදහස කුමක්ද?
තමාටත් අනුන්ටත් අත් වන අහිතකර බලපෑම්
නොනැවතී පැමිණිලි කිරීමේ ආත්මයක් හානිකර බවට කිසිම සැකයක් නැති අතර, එය බයිබලයෙහි හෙළා දැක තිබෙනවා. පැමිණිලි කරන්නෙකු තමා පිටට කායික සහ ආත්මික හානියක් පමුණුවාගන්නා අතරතුර, ඔහුගේ පැමිණිලිවලට ලක් වන අයටද හිරිහැරයක් වෙනවා. පැමිණිලි කරන භාර්යාවකට යොමු දක්වමින්, බයිබල් හිතෝපදේශය මෙසේ කියයි: “තද වර්ෂා දවසක නොකඩව වතුර බින්දු වැටීමක්ද ඩබරකාර ස්ත්‍රියෙක්ද ඒකාකාරය.” (හිතෝපදේශ 27:15) යෙහෝවාට විරුද්ධව හෝ ඔහුගේ යම් සැපයුමකට විරුද්ධව කරන පැමිණිල්ලක් විශේෂයෙන්ම සාපරාධී දෙයක් වෙනවා. තම අවුරුදු 40ක පාළුකර ගමනේදී, ඉශ්‍රායෙල් ජාතිය ආශ්චර්යවත් ලෙස සපයනු ලැබූ මන්නා “වැදගැම්මකට නැති රොටි” [NW] ලෙස හඳුන්වමින් ඒ ගැන පැමිණිලි කළ විට, කිසිම ගෞරවයක් නොපෙන්වූ ඒ පැමිණිලි කරන්නන්ට දඬුවම් දීම සඳහා යෙහෝවා විෂඝෝර සර්පයන් එවූ අතර, බොහෝදෙනෙකු මියගියා.—ගණන් කථාව 21:5, 6.
තවද, සෙසු ජනයා තුළ දකින වැරදිවල “රොඩ්ඩ” ගැන පැමිණිලි කරන්නේ නැතුව, අපටම තිබෙන දුර්වලකම්වල “දැවය” ගැන සාවධානව සිටින්න කියා යේසු තම අනුගාමිකයන්ට උපදෙස් දුන්නා. (මතෙව් 7:1-5) ඒ හා සමානව, වෙනත් කෙනෙකුව විනිශ්චය කිරීම (පැමිණිලි කරන ආකාරයක්) “සමාව දිය නොහැකි” [NW] යමක් වශයෙන් පාවුල් හෙළා දුටුවා, මන්ද ‘ඔබත් එම දේවල්ම කරන නිසයි.’ පැමිණිලි කිරීමට එරෙහිව දී තිබෙන මෙම අවවාද, අනවශ්‍ය ආකාරයකින් විවේචනාත්මක වී පැමිණිලි කිරීමේ ආත්මයක් වර්ධනය කිරීම මඟහැරීමට අපව පෙලඹවිය යුතුයි.—රෝම 2:1.
හැම පැමිණිල්ලක්ම හෙළා දැක තිබෙනවාද?
හැම ආකාරයේ පැමිණිල්ලක්ම හෙළා දැකිය යුතු බව අප නිගමනය කළ යුතුද? අප එසේ කළ යුතු නැහැ. මෙම පලුදු වූ ලොවේ, සාධාරණ ලෙස නිවැරදි කිරීමක් ඉල්ලා සිටිය යුතු අයුක්තිසහගත දේවල් බොහොමයක් තිබෙන බව බයිබලය අඟවනවා. “ඈ නිතර ඊමෙන් [තමා] නොපෙළෙන පිණිස,” පීඩිත වැන්දඹුවකට යුක්තිය අකමැත්තෙන් වුවද ඉටු කළ අධර්මිෂ්ඨ විනිශ්චයකාරයෙකු ගැන යේසු උපමාවක සඳහන් කළා. (ලූක් 18:1-8) ඇතැම් කාරණාවලදී වැරදි නිවැරදි කරනු ලබන තෙක්, අපේ පැමිණිලි සම්බන්ධයෙන් නොනැවතී කටයුතු කරන්න අපටත් සිදු විය හැකියි.
දෙවිගේ රාජ්‍යය පැමිණෙන්න කියා යාච්ඤා කරන්න අපට දිරිගැන්වීමෙන්, මෙම වර්තමාන ලෝකයේ අඩුපාඩුකම් හඳුනාගෙන, පිළියමක් සඳහා දෙවිට “හඬගසන්න” කියා යේසු අපෙන් ඉල්ලා සිටියේ නැද්ද? (මතෙව් 6:9, 10) පුරාණ සොදොම සහ ගොමොරාවේ දුෂ්ටකම පිළිබඳ “පැමිණිල්ලේ මොරගැසීම” [NW] යෙහෝවාට ඇසුණු විට, “පැමිණි මොරගැසීම ලෙස ඔවුන් සම්පූර්ණයෙන්ම කළාද කියා [බලන්නත්]” පිළියමක් ගෙනෙන්නත් ඔහු තම පණිවිඩකරුවන්ව යැව්වා. (උත්පත්ති 18:20, 21) ඔහුට පැමිණිලි කළ අයගේ මහත් සහනයට හේතු වෙමින්, එම නුවරවල් දෙක ඒවායේ දුරාචාර වැසියන් සමඟ විනාශ කිරීමෙන්, යෙහෝවා පසුව තත්වය හරිගැස්සුවා.
ක්‍රිස්තියානි සභාව
ක්‍රිස්තියානි සභාව තුළ සිටින සහෝදරයන් අතර තත්වය වෙනස් විය යුතුද? ක්‍රිස්තියානීන් අසම්පූර්ණ පුරුෂයන් සහ ස්ත්‍රීන්ව සිටියත්, දෙවිට සමාදානයෙන් සහ සමඟියෙන් සේවය කරන්න ඔවුන් උනන්දුවෙන් වෑයම් කරනවා. එනමුත්, යම්දුරකට පැමිණිලි කිරීම සඳහා හේතුවක් වන, පිළියමක් ඉල්ලා සිටින තත්වයන් ඔවුන් අතර පැනනඟින්න යනවා. පළමුවන සියවසේදී, පෙන්තකොස්ත දවසින් කෙටි කලකට පසුව ආලේප ලත් අයගේ සභාවෙහි යම් තත්වයක් පැනනැඟුණා. උපදෙස් සහ දිරිගැන්වීම තවදුරටත් ලැබීම සඳහා, අලුතෙන් හරවනු ලැබූ ක්‍රිස්තියානීන් බොහෝදෙනෙකු යෙරුසලමෙහි රැඳී සිටියා. ලබාගත හැකි වූ ආහාර හවුලේ බෙදාගනු ලැබුවා. කෙසේවෙතත්, “දවස්පතා කෙරුණු උපස්ථානයේදී හෙල්ලීන [ග්‍රීක් කතා කරන, NW] යුදෙව්වරුන්ගේ වැන්දඹුවන් නොසලකනු ලැබූ නිසා හෙබ්‍රෙව්වරුන්ට විරුද්ධව කෙඳිරීමක් විය.” මෙම පැමිණිලි කරන්නන්ව කඩාකප්පල්කාරයන් හැටියට හෙළා දකිනවා වෙනුවට, තත්වය හරිගැස්වීමට ප්‍රේරිතයන් ක්‍රියා කළා. ඔව්, සුදුසු ගෞරවයෙන් යුතුව සහ නිසි ආත්මයක් විදහාපෙන්වමින් කරනු ලබන සාධාරණ පැමිණිලිවලට, සභාව තුළ අධීක්ෂණය භාරව සිටින අය නිහතමානීව සවන් දෙන්න යන අතර, අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න යනවා.—ක්‍රියා 6:1-6; 1 පේතෘස් 5:3.
නිසි අධිකාරය වෙතට
ඉහත සඳහන් උදාහරණවලින්, පැමිණිලි නිසි ආත්මයෙන් සහ නිසි අධිකාරය වෙත ඉදිරිපත් කළ යුතු බව ඔබ සැලකිල්ලට ගත්තාද? උදාහරණයක් හැටියට, අධික බදු බර ගැන පොලිසියට පැමිණිලි කිරීමෙන්වත්, ඔබේ ශාරීරික ලෙඩ රෝග ගැන විනිශ්චයකරුවෙකුට පැමිණිලි කිරීමෙන්වත් කිසිම ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ. ඊට සමානව, කිසිම අධිකාරයක් නැති හෝ උපකාර කරන්න කිසිම හැකියාවක් නැති පුද්ගලයෙකුට, සභාව තුළ හෝ ඉන් පිටත තිබෙන යම් තත්වයක් සම්බන්ධයෙන් පැමිණිලි කිරීම යෝග්‍ය දෙයක් නොවෙයි.
අදදින බොහෝ දේශවල, යම් දුරකට සහනයක් ලැබීමේ බලාපොරොත්තුවෙන් අභියාචනා කළ හැකි උසාවි සහ වෙනත් යෝග්‍ය අධිබලයන් තිබෙනවා. මෙම ලිපියෙහි මුලදී සඳහන් ශිෂ්‍යයා තම පැමිණිල්ල උසාවිය වෙත ඉදිරිපත් කළ විට, විනිශ්චයකරුවන් ඔහුට පක්ෂව තීන්දුවක් දුන් අතර, පාසැල ඔහුගෙන් සමාව ඉල්ලා සිටිමින්, ඔහුව නැවත භාරගත්තා. ඒ හා සමානව, ලිංගික හිරිහැරවලට ලක් වූ සේවිකාව, සේවා වනිතා සමිතියකින් සහනය ලැබුවා. පාසැල් මණ්ඩලය ඇයගෙන් සමාව ඉල්ලා සිටියා. ඇගේ ස්වාමිවරුන් ලිංගික හිරිහැර නතර කිරීමටත් පියවර ගත්තා.
කෙසේවෙතත්, හැම පැමිණිල්ලකටම එකම ප්‍රතිවිපාකය ලැබෙයි කියා අපේක්ෂා නොකළ යුතුයි. ප්‍රඥාවන්ත සාලමොන් රජ යථාර්ථානුරූපීව මෙසේ නිරීක්ෂණය කළා: “ඇද දේ කෙළින්කරන්ට බැරිය.” (දේශනාකාරයා 1:15) දෙවි තම නියමිත කාලයේදී ඒවා නිරාකරණය කරන තෙක්, ඇතැම් කාරණා සම්බන්ධයෙන් බලාසිටිය යුතු බව ඒත්තුගෙන සිටීම අපහට යහපතකි.
[31වන පිටුවේ පින්තූරය]
වැඩිමහල්ලන් යුක්තිසහගත පැමිණිලිවලට සවන් දී ඒවාට අනුව ක්‍රියා කරනවා