නත්තල ලෞකික නිවාඩු දිනයක්ද නැත්නම් ආගමික ශුද්ධ දිනයක්ද?
චීනයේ ඔහුව හඳුන්වන්නේ නත්තල් සීයා කියලයි. එක්සත් රාජධානියේ ඔහුව ප්‍රසිද්ධ, නත්තල් පප්පා හැටියටයි. රුසියාවේ ජනයා ඔහුට හිම සීයා කියන අතර, එක්සත් ජනපදයේ ඔහුට සැන්ට ක්ලෝස් කියයි.
ලොකු බඩක් සහ හිම මෙන් සුදු රැවුලක් දාගෙන සිටින මේ විනෝදකාමී මහලු මිනිසා, නත්තලටම ආවේණික වූ පුද්ගලාරෝපණයක් හැටියටයි බොහෝදෙනා දකින්නේ. නමුත් සැන්ට ක්ලෝස්, හතරවන-සියවසේ මුරාහි (නවීන-දින තුර්කියේ) බිෂොප්වරයෙක් සම්බන්ධ සම්ප්‍රදායන් මත පදනම් ප්‍රබන්ධයක්, එනම් මිථ්‍යාවක් බවටද සුප්‍රකටයි.
සිරිත් විරිත් සහ සම්ප්‍රදායන් සැමවිටම උත්සවවලට බලවත් බලපෑමක් ඇති කර තිබෙන අතර නත්තල ගැනත් අමුතුවෙන් කියන්න දෙයක් නෑ. සැන්ටා පිළිබඳ මිථ්‍යාව, ජනප්‍රිය නිවාඩු දිනයකට සම්බන්ධ එක් ජනප්‍රවාද උදාහරණයක් පමණයි. නත්තල් සිරිත් විරිත් බයිබලයේ වාර්තා වී ඇති සිද්ධීන් මත පදනම් වී ඇති බවට සමහරු කියා සිටියත්, යථාර්ථය ගත් කල, මේ සිරිත් විරිත්වලින් වැඩිහරියකට තිබෙන්නේ මිථ්‍යාදෘෂ්ටික මූලාරම්භයන්.
තවත් උදාහරණයක් තමයි නත්තල් ගස. ද නියූ එන්සයික්ලොපීඩියා බ්‍රිටෑනිකා මෙසේ පවසයි: “මිථ්‍යාදෘෂ්ටික යුරෝපීයයන් අතර පොදු වූ ගස්වලට නමස්කාරය, ඔවුන් ක්‍රිස්තු ධර්මය වැලඳගත් පසුත් පැවතුණා. අලුත් අවුරුද්දේදී, යක්ෂයාව භය කර පලවාහැරීමට සහ නත්තල් සමයේදී කුරුල්ලන් සඳහා ගසක් තැබීමට නිවස සහ ධාන්‍යාගාර සදාහරිත ගස්වලින් සැරසීමේ ස්කැන්ඩිනේවියානු සිරිත් විරිත් දිගටම පැවැත්තුවා.”
හෝලි හෝ වෙනත් සදාහරිත ගස්වලින් වඩම් සෑදීම තවත් ජනප්‍රිය නත්තල් සම්ප්රදායක්. මෙයත් මිථ්‍යාදෘෂ්ටික නමස්කාරයේ ගැඹුරටම මුල් ඇද තිබෙන දෙයක්. සැටනේලියා, එනම් කෘෂිකර්මයේ දෙවි වූ සැට’න්ට කැප කළ, ශීත ඍතුවේ මැදදී පැවැත්වූ දින-හතක මංගල්‍ය සමයේදී දේවස්ථාන සැරසීමට පුරාණ රෝමවරුන් හෝලි අතු පාවිච්චි කළා. මේ මිථ්‍යාදෘෂ්ටික මංගල්‍යය විශේෂයෙන්ම ප්‍රසිද්ධ වූයේ නොහික්මුණු ඝෝෂා සාදයන් සහ අනාචාරය හා සම්බන්ධවයි.
(මෙහි දැක්වෙන) මිස්ල්ටෝ වැලක රිකිල්ලක යට සිපගැනීමේ නත්තල් සිරිත, සමහරෙකුට ප්‍රේම බන්ධනයක් මෙන් පෙනිය හැකි නමුත් එය මධ්‍යකාලීන යුගවලට යළි ගෙන යන්නක්. මිස්ල්ටෝවල අරුම පුදුම බලයන් තිබුණ බව පුරාණ බ්‍රිතාන්‍යයේ පූජකයන් විශ්වාස කළා; ඒ හේතුවෙන්, භූතයන්, හූනියම් හා වෙනත් ආකාරයේ යක්ෂ දේවලට එරෙහිව ආරක්ෂාවක් හැටියට ඒවා යොදාගත්තා. කල් යත්ම, මිස්ල්ටෝවල යට සිපගැනීම විවාහයට මඟ පාදන බවට වූ මිථ්‍යා මතය පැනනැග්ගා. නත්තල් සමයේදී තවමත් සමහරෙකු අතර මේ ක්‍රියාව ජනප්‍රියව පවතිනවා.
මේවා, මිථ්‍යාදෘෂ්ටික ඉගැන්වීම්වලින් බලපෑම් ලැබ හෝ කෙළින්ම එයින්ම හටගත් නවීන නත්තල් සම්ප්‍රදායන් කීපයක් පමණයි. එහෙත්, මේ සියල්ල මෙසේ පැමිණුණේ කෙසේදැයි ඔබ කල්පනා කළ හැකියි. ක්‍රිස්තුස්ගේ උපතට ගරු කරන බව කියාපාන නිවාඩු දිනයක් ක්‍රිස්තියානි-නොවන සිරිත් විරිත් සමඟ මේ තරම් පැටලුණේ කෙසේද? ඊටත් වඩා වැදගත් දේ මෙයයි; දෙවි මේ කාරණය දෙස බලන්නේ කෙසේද?
[2වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
3වන පිටුව: සැන්ට ක්ලෝස්: Thomas Nast/Dover Publications, Inc., 1978; 3වන පිටුවේ මිස්ල්ටෝ සහ 4වන පිටුවේ පින්තූරය: Discovering Christmas Customs and Folklore by Margaret Baker, published by Shire Publications, 1994