දේවවචනය කෙරෙහි අපේ ඇදහිල්ල ශක්තිමත් කරගැනීම
මිනිසුන් බොහෝදෙනෙක් වෙන කිසිම පොතකට වඩා බයිබලය කියවා තිබෙනවා. නමුත් එහි තිබෙන පණිවිඩය කෙරෙහි ඇදහිල්ල පෙන්වා තිබෙන්නේ කීයෙන් කීදෙනාද? ‘සියල්ලන්ටම ඇදහිල්ල නැති’ බව බයිබලයේම පැහැදිලි කරනවා. (2 තෙසලෝනික 3:2) පැහැදිලිවම අප ඇදහිල්ල ඇතුව ඉපදී නොසිටියි. එය වැඩිවර්ධනය කළ යුතුයි. තරමක් දුරට ඇදහිල්ල තිබෙන අය පවා, එය සුළුවට නොගත යුතුයි. පිරිහී ගොස් ඇදහිල්ල මිය යා හැකියි. එනිසා, “ඇදහිල්ලෙහි නිරෝගීව” සිටීම සඳහා වෑයම් දැරීම අවශ්‍යයි.—තීතස් 2:2, NW.
එසේනම්, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලය 1997/98 ඔවුන්ගේ දිස්ත්‍රික් සමුළු මාලාව සඳහා “දේවවචනය කෙරෙහි ඇදහිල්ල” නමැති තේමාව තෝරාගත්තේ හොඳ හේතු ඇතුවයි. මේ අනුව, සාක්ෂිකරුවන් දශලක්ෂ ගණනකට මෙන්ම තවත් අයට දේවවචනය කෙරෙහි තමන්ගේ ඇදහිල්ල ශක්තිමත් කරගැනීම සඳහා එකට එක්රැස් වීමේ වරප්‍රසාදය භුක්ති විඳින්න ලැබුණා.
දේවවචනය සැබෑය—අපේ ඇදහිල්ලේ පදනම
සමුළුවේ පළමුවන දවසේ තේමාව වූයේ මෙයයි. පැමිණි සිටි සියලුදෙනාටම ප්‍රශංසා කරමින් එය ආරම්භ වුණා. සමුළුවට පැමිණ සිටීම, බයිබලය සඳහා ගෞරවයක් තිබෙන බවට සාක්ෂියක් වුණා. ඒත්, අපේ ඇදහිල්ලේ ගුණය සම්බන්ධයෙන් සිතුවිලි පුබුදුවාලන මෙම ප්‍රශ්න නැඟුවා: ‘අධිකාරිය හැටියට දේවවචනය භාවිත කරමින්, අපේ විශ්වාසයන් ආරක්ෂා කරගන්න අපට පුළුවන්ද? බයිබලය, සභා රැස්වීම් හා බයිබලය මත පදනම් ප්‍රකාශන යනාදිය කෙදිනකවත් සුළු කොට නොසලකමින් අපි ආත්මික ආහාර අගය කරනවාද? අපි ප්‍රේමයෙන්, ඒකාන්ත දැනුමෙන් සහ විචාර බුද්ධියෙන් වර්ධනය වෙමින් සිටිනවාද?’ “ ‘දේවවචනය කෙරෙහි ඇදහිල්ල’ නමැති මේ දිස්ත්‍රික් සමුළුව පිළියෙළ කර තිබෙන්නේ, අපවම සියුම් ලෙස සෝදිසි කර බලන්නත්, අපි එක් එක්කෙනා සතු ඇදහිල්ලේ ප්‍රමාණය සහ ගුණය පරීක්ෂා කර බලන්නත් අපට උපකාර කරන්නයි” කියා පවසමින් සාවධානව සවන් දෙන්නයයි ආරම්භක කථිකයා සියලුදෙනාවම දිරිගැන්වුවා.
මූලික ඇමතුමේ තේමාව වූයේ, “පෙනීමෙන් නොව, ඇදහිල්ලෙන් ගමන් කිරීම” යන්නයි. (2 කොරින්ති 5:7) “යෙහෝවාගේ සාක්ෂිකරුවන් බවට පත් වන අයගේ ඇදහිල්ල ඉක්මන් විශ්වාසයක් නෙවෙයි” කියා කථිකයා පැවසුවා. එය මොනතරම් සැබෑවක්ද! සැබෑ ඇදහිල්ල අන්ධ නැහැ. එය පදනම් වී තිබෙන්නේ, යථාර්ථයන් මතයි. හෙබ්‍රෙව් 11:1 මෙසේ පවසනවා: “ඇදහිල්ල නම් බලාපොරොත්තුවන දේවල් ගැන සහතිකයය [සහතික කරන ලද අපේක්ෂාවයි, NW], නොදක්නා දේවල් ගැන ඔප්පුවය [පැහැදිලි නිරූපණයයි].” කථිකයා මෙසේ ප්‍රකාශ කළා: “ඇත්තටම ඇදහිල්ලෙන් ගමන් කරන්න යනවා නම්, හොඳ පදනමක් තියෙන ඇදහිල්ලක් අපිට අවශ්‍යයි.” අපි පෙනීමෙන් නොව, ඇදහිල්ලෙන් ගමන් කරන නිසා, යෙහෝවා තම අරමුණට අයත් සෑම අංගයක්ම ඉටු කරන්න යන ආකාරය හා කාලය ගැන විස්තර අපට අවශ්‍ය නැහැ. අපි දැනටමත් දැන සිටින දේවල් ඔහුගේ පොරොන්දු ප්‍රේමනීයව මෙන්ම ධර්මිෂ්ඨ ලෙස ඉටු කිරීමට ඔහු සතු බලය කෙරෙහි අපට ඒකාන්ත වූ නිසැකකමක් සපයනවා.
යෞවනයන් යෙහෝවාට මොනතරම් අනර්ඝද කියා “ක්‍රිස්තියානි යෞවනයෝ—සභාවේ අතිවැදගත් කොටසකි” යන කතාව මගින් ඔවුන්ට සිහිගැන්වුවා. මුළු බයිබලයම කියවීම සහ කැපවීම මෙන්ම බව්තීස්මය සඳහා සුදුසුකම් සපුරාගැනීම යනාදි ඉලක්ක ලුහුබඳිමින් ආත්මිකව වර්ධනය වීමට ඔවුන්ව දිරිගැන්වුවා. අමතර අධ්‍යාපනයක් ලැබීම යමෙකුගේ දෙමාපියන් සමඟ තීරණය කළ යුතු පෞද්ගලික කාරණයක් වුවත් එය තෝරාගන්නේ නම්, සැමවිටම එහි පරමාර්ථය විය යුත්තේ, වඩාත් ඵලදායී ලෙස යෙහෝවාට සේවය කිරීම සඳහා සන්නාහ සන්නද්ධ වීමයි. අපේ ඇදහිල්ල හා සම්බන්ධ “වඩාත් වැදගත් දේවල් ගැන සහතික” වන්නේ නම්, ලෞකික අධ්‍යාපනය මගින් ප්‍රයෝජනවත් අරමුණක් ඉටු විය හැකියි.—පිලිප්පි 1:9, 10, NW.
ඊළඟට පැමිණියේ, “ඔබ රකින්නේ කාගේ ප්‍රමිතිද?” යන තේමාව මත කතා තුනකින් සමන්විත වූ කතා මාලාවකටයි. බයිබල් ප්‍රමිතිවලට අනුකූලව කටයුතු කිරීම සඳහා දේවවචනය කෙරෙහි ඇදහිල්ල අපව පොලඹවනවා. ක්‍රිස්තියානීන් යෙහෝවාගේ නීති හා ප්‍රතිපත්තිවලට කීකරු වෙනවා. උදාහරණයක් හැටියට, අසභ්‍ය හා අපහාසාත්මක වචන පාවිච්චි නොකරන්න කියා ශුද්ධ ලියවිලි අපට දැනමුතුකම් දෙනවා. (එපීස 4:31, 32) කථිකයා මෙසේ ඇසුවා: “කේන්ති ගිය විට ඔබ ඔබේ කලත්‍රයාට හෝ දරුවන්ට උස් හඬින් කෑ ගසනවාද?” එය ක්‍රිස්තියානි ප්‍රතිපත්තිවලට පටහැනි බව අමුතුවෙන් කිව යුතු නැහැ. අපේ පෞද්ගලික පෙනුම සම්බන්ධයෙන්ද දෙවිට ප්‍රමිති තිබෙනවා. ක්‍රිස්තියානීන් “විනීත භාවයෙන් යුක්තව, ඔබින වස්ත්‍ර ඇඳ” සිටිය යුතුයි. (1 තිමෝති 2:9, 10) “විනීත” යන වචනයෙන් ආත්ම-ගරුත්වය, ගෞරවයේ හැඟීමක්, කල්පනාකාරිව කටයුතු කිරීම හා පමණ දැන ක්‍රියා කිරීම යනාදි අදහස් ප්‍රකාශ කෙරෙනවා. අනිත් අය සඳහා තිබෙන ප්‍රේමය අපව පොලඹවන අතර, බයිබල් ප්‍රමිති මෙන්ම යෝග්‍ය දෙය පිළිබඳ අවබෝධය මගින් අපට මඟ පෙන්වීම සැපයෙනවා.
හෙබ්‍රෙව් 3:7-15 සහ 4:1-16 දක්වා පදයෙන් පදය සලකාබැලීම ඊළඟ කතා දෙකට ඇතුළත්ව තිබුණා. “පාපයේ රැවටිලිකාරකමෙන් [දැඩිවීමේ]” අනතුරට එරෙහිව සිටීම සඳහා මෙම බයිබල් කොටස් අපට අවවාද කළා. (හෙබ්‍රෙව් 3:13) පාපයට එරෙහි අපේ සටන සාර්ථකව කරගන්න අපට පුළුවන් වන්නේ කොහොමද? යෙහෝවා ස්වකීය වචනය මගින් අපට උපකාර කරනවා. ඇත්තෙන්ම, ‘දෙවිගේ වචනය ජීවමානයි, බලවත්, සිතේ සිතිවිලිද අදහස්ද විමසයි.’—හෙබ්‍රෙව් 4:12.
සමුළුවේ පළමුවන දවසේ අවසාන කතාව වූයේ, “සියලුම ජනයා සඳහා පොතක්” යන්නයි. එය බයිබලයේ විශ්වාසකටයුතුභාවය, නිරවද්‍යතාව හා ප්‍රායෝගික වටිනාකම කැපීපෙනෙන්න සැලැස්සුවා. සියලුම ජනයා සඳහා පොතක්! යන මාතෘකාවෙන් යුත් පිටු 32 අලුත් විවරණිකාවක් මුදාහැරීම ගැන කථිකයා නිවේදනය කරද්දී මොනතරම් උද්දාමයකට පත් වුණාද! මෙම නව ප්රකාශනය විශේෂයෙන්ම පිළියෙළ කර තිබෙන්නේ, හොඳ අධ්‍යාපනයක් ලබා තිබුණත් බයිබලය ගැන දැනුමක් නැති අය සඳහායි. කතාව අවසන් වූයේ මෙම වදන්වලිනුයි: “දෙවිගේ වචනය ඔවුන් විසින්ම පරීක්ෂා කර බැලීම ජනයාට අවශ්‍යයි. ඔවුන් කෙළින්ම පරීක්ෂා කර බැලුවොත්, මේ අද්විතීය පොත එනම් බයිබලය සියලුම ජනයා සඳහා පොතක් කියල ඔවුන් තේරුම්ගන්නා බව අපිට නිසැකයි!”
“අපේ ඇදහිල්ලේ පරිපූරකයා” අනුකරණය කරන්න
සමුළුවේ දෙවන දවසේ තේමාව වූ මෙය, “අපේ ඇදහිල්ලේ පරිපූරකයා” වන යේසුස් ක්‍රිස්තුස් කෙරෙහි අවධානය යොමු කළා. අපි “ඔහුගේ පියවර කිට්ටුවෙන් අනුගමනය” කළ යුතුයි. (හෙබ්‍රෙව් 12:2, NW; 1 පේතෘස් 2:21, NW) ‘ස්වාමි වූ යේසුස් කෙරෙහි විශ්වාසය තබන්න, එවිට ඔබව ගළවනු ලබනවා!’ කියා ක්‍රිස්තියානි ලෝකයේ බොහෝදෙනෙකුට පවසා තිබෙනවා. නමුත් ඇදහිල්ල තැබීමට අයත් වන්නේ එපමණද? “ක්‍රියාවලින් වෙන්වූ [ඇදහිල්ල] මැරී තිබේ” කියා බයිබලය පැහැදිලි ලෙස පවසනවා. (යාකොබ් 2:26) එනිසා යේසු කෙරෙහි විශ්වාසය තබනවාට අමතරව, අපි ඔහු කළ දේවල්, විශේෂයෙන්ම දේවරාජ්‍යයේ ශුභාරංචිය දේශනා කිරීමෙන් කළ යුතුයි.
උදෑසන වැඩසටහන මූලිකව අවධානය යොමු කළේ එවැන්ජලිස්ත වැඩය කෙරෙහියි. පාවුල් මෙන්, අපත් ගැළවීමේ ශුභාරංචිය ප්‍රකාශ කිරීමට දැඩි උනන්දුවක් දැක්විය යුතුයි. (රෝම 1:14-16) යේසු සෑම තැනකම සිටි ජනයාට දේශනා කළා. අපේ නිතිපතා ගෙයින් ගෙට සේවය ප්‍රතිඵලදායක වුවත්, අපි හමුවීමට යන විට වැඩි පිරිසක් නිවෙස්වල නැහැ. (ක්‍රියා 20:20) බොහෝදෙනෙක් පාසැල්වල, රැකියා ස්ථානවල හා කඩසාප්පුවල සිටිනවා; නැත්නම් ගමනක යෙදී සිටිනවා. එනිසා, අපි පොදු ස්ථානවල මෙන්ම ජනයා සොයාගත හැකි ඕනෑම තැනකදී දේශනා කළ යුතුයි.
“සත්‍යයෙහි මුල් ඇද ස්ථිර වන්න” යන තේමාවෙන් යුත් කතාවේදී, බව්තීස්ම වෙමින් සිටින අලුත් ගෝලයන්ගේ මහත් සංඛ්‍යාව ගැන අපට සිහිගැන්වුවා; ඔවුන්ගේ සාමාන්‍යය දවසකට 1,000කට වැඩියි! මේ නවකයන් ඇදහිල්ලෙහි මුල් ඇද ස්ථිරව සිටීම ඉතාමත් වැදගත්. (කොලොස්සි 2:6, 7) ගසක මුල්, ජලය හා පෝෂ්‍ය පදාර්ථ උරාගන්නා අතරතුරේදීම ගසට ආධාරකයක් සපයන බව කථිකයා පැහැදිලි කළා. ඒ හා සමානව, යහපත් අධ්‍යයන පුරුදු හා සුවදායක ඇසුර මගින් නව ගෝලයන්ට සත්‍යයෙහි ස්ථිරව පිහිටා සිටිය හැකියි.
මෙම උපදේශය විශේෂයෙන්ම යෝග්‍ය වූයේ බව්තීස්ම අපේක්ෂකයන්ටයි. ඔව්, සමුළුවේ දෙවන දිනයේදී, යේසුගේ ආදර්ශය අනුගමනය කරමින් නව ගෝලයන් විශාල සමූහයන් බව්තීස්ම වුණා. සම්පූර්ණයෙන්ම ජලයේ ගිල්වනු ලැබීම, තමන් කලින් ගත කළ ආත්මාර්ථකාමී ජීවන මාර්ගය සම්බන්ධයෙන් තමන්ගේ මියයෑමේ උචිත සංකේතයක් බව, “දේවවචනය කෙරෙහි ඇදහිල්ල බව්තීස්මයට මඟ පාදයි” යන තේමාවෙන් යුත් කතාවෙන් සිහිගැන්වුවා. ඔවුන් නැවත ජලයෙන් එසවීමෙන් නියෝජනය කෙරෙන්නේ, දෙවිගේ කැමැත්ත කිරීම සඳහා ඔවුන්ට ජීවය ලැබීමයි.
“ඇදහිල්ල උදෙසා දැඩි සටනක යෙදී සිටින්න” යන තේමාවෙන් යුත් කතාව යූද් නමැති බයිබල් පොත මත පදනම් වී තිබුණා. දුරාචාරය, කැරලිකාරකම හා ඇදහිල්ල අත්හැර යෑම වැනි හානිකර බලපෑම්වලට එරෙහිව සිටීමෙන් අපේ ඇදහිල්ල රැකගැනීමට අපව දිරිගන්වනු ලැබුවා. “ඔබේ ගෙවැසියන්ගේ අවශ්‍යතා සපයන්න” නමැති කතාවෙන්, ඊළඟට දෙමාපියන්—විශේෂයෙන්ම පියවරුන්—කෙරෙහි විශේෂ අවධානයක් දෙනු ලැබුණා. පවුලේ ආත්මික, ශාරීරික මෙන්ම චිත්තවේගීය අවශ්‍යතා සැපයීම ශුද්ධ ලියවිලිමය වගකීමක්. (1 තිමෝති 5:8) මෙයට කාලය, අදහස් හුවමාරුව හා සමීපබව අවශ්‍යයි. ක්‍රිස්තියානි දෙමාපියන් තම දරුවන්ව සත්‍යය තුළ හදාවඩා ගැනීම සඳහා කරන සියලුම වෙහෙසකාරි වැඩ ගැන ඇත්තෙන්ම යෙහෝවා දෙවි සතුටු වෙනවා.
“යමු අපි යෙහෝවාගේ ගෘහයට” යන තේමාවෙන් යුත් ඊළඟ කතා මාලාවෙන් ක්‍රිස්තියානි රැස්වීම් සඳහා අගය කිරීම ගොඩනැඟුවා. මේ ලෝකයේ කාංසාවන්ගෙන් නිදහසක් ඒවායින් සැපයෙනවා. දිරිගැන්වීමේ හුවමාරුවක් සඳහා රැස්වීම්වලදී අපට ප්‍රස්තාව සැලසෙන අතර, අපේ සෙසු ඇදහිලිවන්තයන් වෙනුවෙන් අපේ ප්‍රේමය අපට පෙන්විය හැකියි. (හෙබ්‍රෙව් 10:24, 25) ගුරුවරුන් වශයෙන් අපේ කුසලතා වැඩිදියුණු කරගැනීමටද රැස්වීම් උපකාරවත් වන අතර, එමගින් දෙවිගේ අරමුණ පිළිබඳ අපේ අවබෝධය පුළුල් වෙනවා. (හිතෝපදේශ 27:17) අපි කවදාවත් සභාවෙන් අපව ඈත් කර නොගෙන, යේසුගේ මෙම වදන් අපි මතක තබාගනිමු: “දෙදෙනෙක් හෝ තුන්දෙනෙක් හෝ මාගේ නාමයෙන් යම් තැනක රැස්ව සිටිත් නම් මම එතැන ඔවුන් මැද සිටිමි.”—මතෙව් 18:20.
දවසේ අවසාන කතාව වූයේ, “ඔබේ ඇදහිල්ලේ ගුණය—දැන් පරීක්ෂා කෙරේ” යන්නයි. පරීක්ෂාවට ලක් නොවූ ඇදහිල්ලේ සහතික කරන ලද වටිනාකමක් නැති අතර, එහි ගුණය තවමත් හරිහැටි දන්නේ නැහැ. එය තවමත් මුදල් නොකළ චෙක්පතක් හා සමානයි. එහි දැක්වෙන අගයට එය සැබවින්ම වටිනවාද? ඒ හා සමානව, අපේ ඇදහිල්ලේ හරය හා නියම ගුණය සහතික කිරීම සඳහා එය පරීක්ෂාවට ලක් විය යුතුයි. (1 පේතෘස් 1:6, 7) කථිකයා මෙසේ පැවසුවා: “ඇතැම් අවස්ථාවල, පූජකයන් සහ ඇදහිල්ල අත්හරින්නන්, අපේ ක්‍රිස්තියානි විශ්වාසයන් සහ ජීවන රටාව ගැන වැරදි අදහස් පතුරුවමින්, අප පිට බොරු චෝදනා පැටවීමට ජනමාධ්‍යය මෙන්ම බලධාරීන්ව රවටාගන්නවා. . . . සාතන් විසින් අන්ධ කළ අයට අපව භයගැන්වීමට සහ අධෛර්යයට පත් කිරීමට ඉඩ දී, අපි අපට ශුභාරංචිය ගැන ලජ්ජා වෙන්න ඉඩ දෙන්න යනවාද? සත්‍යය ගැන කියන බොරුවලට නිතිපතා රැස්වීම්වලට අපේ පැමිණීමට සහ දේශනා සේවයට බලපාන්න අපි ඉඩ දෙන්න යනවාද? එහෙම නැත්නම්, අපි ස්ථිරව ඉඳලා, යෙහෝවා සහ ඔහුගේ රාජ්‍යය ගැන සත්‍යය දිගටම ප්‍රකාශ කරන්න එඩිතරවත් වෙන කිසිදාකටත් වඩා අධිෂ්ඨානපූර්වකවත් ඉන්න යනවාද?”
ඇදහිල්ල කරණකොටගෙන ජීවත් වන්න
සමුළුවේ තුන්වන දවසේ තේමාව පාවුල්ගේ මෙම වදන් මත පදනම් වුණා: “ඉඳින් ව්‍යවස්ථාව කරණකොටගෙන කිසිවෙක් [දෙවි] ඉදිරිපිට ධර්මිෂ්ඨකරනු නොලබන බව පැහැදිලිය. මක්නිසාද ධර්මිෂ්ඨයා ඇදහිල්ල කරණකොටගෙන ජීවත්වන්නේය.” (ගලාති 3:11) “අපේ දවස සඳහා යෝවෙල්ගේ අනාවැකිමය වදන්” යන තේමාවෙන් යුත් කතා මාලාව, උදෑසන සැසිවාරයේ එක් විශේෂාංගයක් වූවා. යෝවෙල්ගේ පොත අපේ කාලයට යොමු දක්වමින් හදිසිතාවේ හැඟීමකින් යුතුව මෙසේ පවසනවා: “අහෝ ඒ දවසේ හැටි! මක්නිසාද [යෙහෝවාගේ] දවස ළංව තිබේ, ඒක [සර්වපරාක්‍රම තැනැත්තා] එවන විනාශයක් මෙන් පැමිණෙන්නේය.” (යෝවෙල් 1:15) තම වේගය අඩු නොකරන පළඟැටියන් හා සමානව, ආලේප ලත් ක්‍රිස්තියානීන් මේ අන්තිම කාලයේදී රාජ්‍යය ප්‍රකාශ කිරීමේ වැඩයට බාධා පැමිණවීමට කිසිවකට ඉඩ දී නැහැ.
යෝවෙල්ගේ පොත මෙසේ පවසමින් බලාපොරොත්තුවක්ද සපයනවා: “[යෙහෝවාගේ] නම කියා යාච්ඤාකරන කවුරුනුමුත් ගැළවෙනවා ඇත.” (යෝවෙල් 2:32) නිකම්ම යෙහෝවාගේ නම භාවිත කිරීමට වඩා වැඩි යමක් මෙයින් අදහස් කෙරෙනවා. හෘදයාංගම පසුතැවිල්ල අවශ්‍ය වන අතර, වැරදි දේවලින් ඉවත් වීමද මීට ඇතුළත් වෙනවා. (යෝවෙල් 2:12, 13) යෙහෝවා යූදාහි යෙහෝෂාපාට් රජ දවසේදී මෝවබ්වරුන්ට හා අම්මොන්වරුන්ට මෙන්ම සේයිර් කඳුකරයේදී කළාක් මෙන්, ඉතා ඉක්මනින් ජාතීන්ට එරෙහිව විනිශ්චය ක්‍රියාත්මක කරන්න යන නිසා, ප්‍රමාද වීමට කාලයක් නැහැ.—2 ලේකම් 20:1-30; යෝවෙල් 3:2, 12.
“යෙහෝවා කෙරෙහි බලාසිටීමෙන් ඇදහිල්ල පෙන්වන්න” යන තේමාවෙන් යුත් කතාවෙන් සියලුදෙනාවම දිරිගන්වනු ලැබුවා. අවසාන කාලයේ කෙළවර වන දැන්, අපිට පුළුවන් යෙහෝවාගේ පොරොන්දු බොහොමයක ඉටුවීම කෙරෙහි ආපසු හැරී බලන්න; එමෙන්ම තවමත් ඉටුවීමට තිබෙන දේවල් කෙරෙහි අපි දැඩි උනන්දුවක් දක්වනවා. දෙවි පොරොන්දු කර තිබෙන සෑම දෙයක්ම ඉටු වන බව සිහියේ තබාගනිමින් යෙහෝවාගේ සෙනඟ දිගටම ඉවසිලිවන්තව සිටිය යුතුයි.—තීතස් 2:13; 2 පේතෘස් 3:9, 10.
“ඔබේ ඇස සරලව තබාගන්න” යන නාට්‍යයත් සමඟම උදෑසන වැඩසටහන නිමා වුණා. ද්‍රව්‍යමය ලුහුබැඳීම් සම්බන්ධයෙන් අපේ ආකල්පය පරීක්ෂා කර බැලීමට නාට්‍යමය ස්වරූපයකින් යථාර්ථය හෙළි කළ මෙයින් අපව දිරිගැන්වූවා. අප කොතැනක ජීවත් වුණත්, අපේ ජීවිතය කාංසාවන්ගෙන් නිදහස්ව තබාගන්න අපට ඕනෑ නම්, අපේ ඇස සරලව, එනම් දේවරාජ්‍යය කෙරෙහි පැහැදිලිව යොමු කර තබාගැනීම සඳහා යේසු දුන් උපදේශය අපි අනුගමනය කළ යුතුයි.—මතෙව් 6:22.
ප්‍රසිද්ධ ඇමතුම “ඇදහිල්ල සහ ඔබේ අනාගතය” යන කුතුහලය දනවන තේමාවෙන් යුක්ත වුණා. මේ ලෝකයේ ගැටලු විසඳන්න මිනිස් නායකයන්ට නොහැකි බවට සාක්ෂි එයින් ඉදිරිපත් කළා. (යෙරෙමියා 10:23) මිනිස් ඉතිහාසය මහා පරිමාණයකින් හා වඩාත් හානිදායක අන්දමින් නැවත නැවත එහි ලක්ෂණ පිළිබිඹු කරමින් තිබෙනවා. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට අනාගතය ගැන හැඟෙන්නේ කොහොමද? ඇදහිලිවන්ත මනුෂ්‍යවර්ගයාට දේවරාජ්‍යය යටතේ දීප්තිමත් අනාගතයක් තිබෙන බව අපි විශ්වාස කරනවා. (මතෙව් 5:5) තම වචනය කෙරෙහි ඇදහිල්ල දක්වන සියලුදෙනාගේම ප්‍රයෝජනය උදෙසා දෙවි තම පොරොන්දු ඉටු කරන්න යනවා; ඔහුගේ වචනයේ උදක්ම මෙසේ ඉල්ලා සිටිනවා: ‘යෙහෝවාව සම්බ වන්ට සිටිද්දී ඔහුව සොයා, ඔහු ළංව සිටිද්දී ඔහුට යාච්ඤා කරන්න.’—යෙසායා 55:6.
යේසු අපේ දවස සම්බන්ධයෙන් වැදගත් ප්‍රශ්නයක් නැඟුවා. ඔහු මෙසේ ඇසුවා: ‘මනුෂ්‍ය පුත්‍රයා එන කල්හි පොළොවේ ඇදහිල්ල සම්බ වේද?’ (ලූක් 18:8) අවසාන කතාව මගින් සමුළු වැඩසටහන සමාලෝචනය කළ අතර, ඇදහිල්ල නොමැති, ලෞකික දේවලින් නැහැවුණු ලෝකයක අප ජීවත් වුණත්, දේවවචනය කෙරෙහි ඇදහිල්ල පවතින බවට හඬ ගා කියන සාක්ෂි සපයන ආකාරය පෙන්වා දුන්නා.
කොහොම වුණත්, අපි එක් එක්කෙනාට අපෙන්ම මෙසේ ඇසිය හැකියි: ‘දෙවි සහ ඔහුගේ වචනය කෙරෙහි නොසැලෙන ඇදහිල්ලක් තිබෙන අය අතර මමත් සිටිනවාද?’ එම ප්‍රශ්නයට ඔව් කියා උත්තර දීමට, “දේවවචනය කෙරෙහි ඇදහිල්ල” නමැති දිස්ත්‍රික් සමුළුව අපට උපකාර කළ යුතුයි. එමෙන්ම තමා කෙරෙහිත් තම ආනුභාවයෙන් ලියූ වචනය වන බයිබලය කෙරෙහිත් අපේ ඇදහිල්ල ශක්තිමත් කිරීම ගැන අපි යෙහෝවාට මොනතරම් ස්තුතිවන්ත විය යුතුද!
[24වන පිටුවේ පින්තූර]
සමුළු නියෝජිතයන් දහස්ගණනකට පහසුකම් සලසා දීම සඳහා ස්වේච්ඡා සේවකයන් බොහෝදෙනෙක් ඉමහත් ප්‍රීතියකින් වැඩ කළා
[25වන පිටුවේ පින්තූර]
ලොව වටා මේ වගේ විශාල ක්‍රීඩාංගණ භාවිත කළා
[25වන පිටුවේ පින්තූරය]
පාලක මණ්ඩලයේ එල්. ඒ. ස්විංගල් අලුත් විවරණිකාව මුදාහරිමින්
[26වන පිටුවේ පින්තූරය]
යෙහෝවාට තම කැපවීම සංකේතවත් කරමින් බොහෝදෙනෙක් බව්තීස්ම වුණා
[27වන පිටුවේ පින්තූර]
සමුළුවට පැමිණ සිටි අය ප්‍රීතියෙන් රාජ්‍ය ගීතිකා ගායනා කළා. ඇතුල් ඡායාරූපය: “ඔබේ ඇස සරලව තබාගන්න” නමැති නාට්‍යය