“ඔබේ ප්‍රේමනීය-කරුණාව ජීවිතයට වඩා යහපත්”
කැල්වන් එච්. හෝම්ස් පැවසූ පරිදි
එය 1930 දෙසැම්බර් මාසයයි; ළඟපාත අසල්වැසියෙක් බැහැදකින්න ගිහින් තාත්තා ගෙදර එන කොට මම එළ කිරි දොවලා ඉවර වුණා විතරයි. “වයිමන් මට දුන්න පොතක් මේක” කියලා ඔහු ඔහුගේ සාක්කුවෙන් නිල් පාට පොතක් එළියට ගන්න ගමන් කිව්වා. ගැළවීම (ඉංග්‍රීසියෙන්) නම් වූ එය ප්‍රකාශයට පත් කර තිබුණේ වොච් ටවර් බයිබල් සහ පත්‍රිකා සමිතිය මගින්. කලාතුරකින් කියවන තාත්තා සෑහෙන රෑ වෙනකම්ම ඒ පොත කියෙව්වා.
පසුව, තාත්තා, එම ප්රකාශිතයන්ගේම ආලෝකය සහ සමඟි වීම (ඉංග්‍රීසියෙන්) යන පොත් ඉල්ලගෙන ආවා. ඔහු අම්මාගේ පරණ බයිබලය සොයාගෙන, භූමිතෙල් ලාම්පුවක එළියෙන් කියවීමට රෑ බෝවෙන තෙක්ම ඇහැරගෙන හිටියා. තාත්තා තුළ ලොකු වෙනසක් ඇති වුණා. ඒ ශීත සමයේදී අපි අපේ පරණ දර උදුන වටේට ගුලි වෙලා ඉන්දැද්දී ඔහු අපි එක්ක—මගේ අම්මා, මගේ සහෝදරියන් සහ මා එක්ක—පැය ගණන් කතා කළා.
මේ පොත් ප්‍රකාශයට පත් කරන සෙනඟ බයිබල් ශිෂ්‍යයන් ලෙස හඳුන්වනු ලැබූ අතර, ඔවුන් පැවසූ ආකාරයට, අපි ජීවත් වෙමින් සිටියේ ‘අන්තිම දවස්වලයි’ කියා තාත්තා පැවසුවා. (2 තිමෝති 3:1-5) ලෝකාන්තිමයේදී පොළොව විනාශ වෙන්න යන්නේ නෑ; නමුත් දේවරාජ්‍යය යටතේදී එය පාරාදීසයක් බවට පරිවර්තනය වෙන්න යන බව ඔහු පැහැදිලි කළා. (2 පේතෘස් 3:5-7, 13; එළිදරව් 21:3, 4) ඇත්තෙන්ම මගේ සිත ඇදී ගියා.
අපි එකට වැඩ කරද්දී තාත්තා මට නොයෙක් දේවල් ගැන කියන්න පටන්ගත්තා. අපි ඉරිඟු කරල් සුද්ද කරමින් ඉන්න කොට, දෙවිගේ නම යෙහෝවා කියලා ඔහු පැහැදිලි කරනවා මට මතකයි. (ගීතාවලිය 83:17) මෙසේ, මට වයස 14ක්ව තිබියදී 1931 වසන්තයේදී, මම යෙහෝවා සහ ඔහුගේ රාජ්‍යය උදෙසා මගේ ස්ථාවරය ගත්තා. ගේ පිටිපස්සේ තිබුණ පරණ ඇපල් වත්තේදී මම යෙහෝවාට යාච්ඤා කරලා, ඔහුට සදහටම සේවය කරන බවට බැරෑරුම් ලෙස පොරොන්දු වුණා. අපේ අතියහපත් දෙවිගේ ප්‍රේමනීය-කරුණාවෙන් මගේ හෘදය මේ වන විටත් පෙලඹී තිබුණා.—ගීතාවලිය 63:3.
අපි ජීවත් වුණේ අ.එ.ජ., මිසූරි, සා. ජෝසෆ්වලින් කිලෝමීටර් 30ක් විතර එහායින් සහ කැන්සාස් සිටිවලින් කිලෝමීටර් 65කට වඩා අඩු දුරක පිහිටා තිබූ ගොවිපොළකයි. තාත්තා ඉපදිලා තිබුණේ, මගේ සීයාගේ තාත්තා 19වෙනි සියවසේ මුල්භාගයේදී ගොවිපොළක ලී කොටවලින් හැදුව කුඩා නිවසකයි.
දේවසේවය සඳහා පුහුණු වීම
ඔහයෝ, කොලම්බස්හි සමුළුවකදී, වොච් ටවර් සමිතියේ එවකට සභාපතිව සිටි ජෝසෆ් රද’ෆ’ඩ් දුන් “රාජ්‍යය, ලෝකයේ බලාපොරොත්තුව” නම් වූ ප්‍රසිද්ධ කථාව, 1931 ගිම්හානයේදී ගුවන් විදුලියෙන් පිට වෙන කොට අපේ පවුලට අහන්න ලැබුණා. ඒක මගේ හදවත කැලතුව අතර, මේ වැදගත් ප්‍රසිද්ධ කථාව ඇතුළත් වූ පොත්පිංචය අප දන්නා අය අතර බෙදාහැරීමට තාත්තා එක්ක හවුල් වීමට ලැබීම මට සතුටක් වුණා.
මම 1932 වසන්තයේදී යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීමකට පළමු වතාවට ගියා. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සංචාරක අවේක්ෂකයෙක් වූ ජෝර්ජ් ඩ්රේප’ විසින් සා. ජෝසෆ්හි දෙන කතාවකට සවන් දෙන්න එන්න කියලා අපේ අසල්වැසියා තාත්තටයි, මටයි ආරාධනා කළා. අපි එහෙ යන කොට රැස්වීමෙන් භාගයක්ම ඉවර වෙලා තිබුණා; මට ඉඳගන්න හම්බ වුණේ මගේ ජීවිතයේ වැදගත් කාර්යභාරයක් ඉටු කරන්න සිටි කෙනෙක් වන, පළල් පිටක් තිබුණ හැඩි දැඩි ජේ. ඩී. ඩ්‍රය’ගේ පිටිපස්සෙ ආසනයකයි.
කැන්සාස් සිටිවල පැවැත්වූ එක්රැස්වීමට මම තාත්තාත් එක්ක 1933 සැප්තැම්බර්වලදී ගිය අතර, එහිදී මම පළමු වතාවට ප්‍රසිද්ධ දේශනා වැඩයෙහි හවුල් වුණා. තාත්තා මට පොත්පිංච තුනක් දීලා මෙහෙම කියන්න කියලා උපදෙස් දුන්නා: “මම දේවරාජ්‍යයේ ශුභාරංචිය දේශනා කරන යෙහෝවාගේ සාක්ෂිකරුවෙක්. කිසි සැකයක් නෑ, විනිශ්චකාර රද’ෆ’ඩ් ගුවන් විදුලියෙන් කතා කරනවා ඔබ අහල ඇති. හැම සතියකම මධ්‍යස්ථාන 300කට වඩා වැඩියෙන් ඔහුගේ කතා ගුවන් විදුලියෙන් ප්‍රචාරය කරනවා.” ඉන්පසු මම පොත්පිංචයක් ඉදිරිපත් කළා. එම සැන්දෑවේදී, මම ගොවිපොළේ නැවතත් එළ කිරි දොවමින් ඉන්න කොට, මේක මගේ ජීවිතයේ අමතක කළ නොහැකිම දේ නේද කියලා මම කල්පනා කළා.
වැඩි කල් නොගොස් ශීත සමය පටන්ගත් නිසා අපේ ගමන් බිමන් සීමා වුණා. නමුත් සහෝදර ඩ්‍රය’ සහ ඔහුගේ භාර්යාව ඇවිත්, සෙනසුරාදා හවස ඔවුන්ගේ නිවසට ඇවිත් රාත්‍රිය ගත කරන්න කැමතිද කියලා මගෙන් ඇහැව්වා. ඊළඟ දවසේ ඔවුන් එක්ක දේවසේවයේ හවුල් වෙන්නත්, සා. ජෝසෆ්හි පැවැත්වූ මුරටැඹ පාඩමට සහභාගි වෙන්නත් මට ලැබුණ නිසා, කිලෝමීටර් 10ක දුරක් ගෙවා ඩ්‍රය’ගේ නිවසට යෑම හුඟාක් ඵලදායී වුණා. එදා පටන්, ඉරිදා දිනවල දේවසේවයේ හවුල් වීම මට අතපසු වුණේ කලාතුරකින්. සහෝදර ඩ්‍රය’ගේ පුහුණුව හා අවවාද මිල කළ නොහැකි ඒවා බව ඔප්පු වුණා.
අන්තිමේදී, 1935 සැප්තැම්බර් 2වෙනිදා, කැන්සාස් සිටිහි එක්රැස්වීමකදී වතුර බව්තීස්මය මගින් යෙහෝවාට මගේ කැපවීම සංකේතවත් කරන්න මට පුළුවන් වුණා.
මුළු ජීවිත කාලය සඳහාම වෘත්තියක් පටන්ගැනීම
මම 1936 මුල හරියේදී පුරෝගාමියෙක් හෝ පූර්ණ-කාලීන දේවසේවකයෙක් හැටියට සේවය කිරීම සඳහා අයැදුම් කළ අතර, පුරෝගාමී සහකරුවෙක්ව සොයන අයගේ ලැයිස්තුවට මාව ඇතුළත් කළා. ටික දවසකට පස්සේ මට වයෝමිං, ආර්වැඩහි එඩ්ව’ඩ් ස්ටෙඩ්ගෙන් ලිපියක් ලැබුණා. ඔහු රෝද පුටුවකට කොටු වූ, පුරෝගාමී සේවය සඳහා උපකාරය අවශ්‍යව ඇති කෙනෙක් බව ඔහු පැහැදිලි කළා. මම ඒ මොහොතේදීම ඔහුගේ ඇරයුම පිළිගත් අතර, 1936 අප්‍රියෙල් 18වෙනිදා පුරෝගාමියෙක් හැටියට පත් කරනු ලැබුවා.
සහෝදර ස්ටෙඩ්ට හවුල් වෙන්න යන්න ඉස්සෙල්ලා මගේ අම්මා මට පෞද්ගලිකව කතා කළා. “පුතා, ඔයාට ඕනෙ මේක කරන්න කියන එක ඔයාට ස්ථිරද?” ඇය ඇසුවා.
“එහෙම නැතුව ජීවත් වෙන එකේ ප්‍රයෝජනයක් නැති වෙයි,” මම උත්තර දුන්නා. වෙන කිසිම දේකට වඩා යෙහෝවාගේ ප්‍රේමනීය-කරුණාවේ වැදගත්කම අගය කරන්න මා පටන්ගෙන තිබුණා.
අපි සහෝදර ස්ටෙඩ් කියා හැඳින්වූ ටෙඩ් එක්ක පුරෝගාමී සේවයේ යෙදීම අතිවිශිෂ්ට පුහුණුවක් වුණා. ජ්වලිතයෙන් පිරී සිටි ඔහුට, සිත්ගන්නා අයුරින් රාජ්‍ය පණිවිඩය ඉදිරිපත් කිරීමට හැකියාවක් තිබුණා. නමුත් ටෙඩ්ට කරන්න පුළුවන්කම තිබුණේ ලියන එකයි, කතා කරන එකයි විතරයි; සන්ධි ප්‍රදාහය නිසා ඔහුගේ හැම අස්ථි බන්ධනයක්ම සෙලවිය නොහැකිව තිබුණා. මම පාන්දරින් නැඟිටලා, ඔහුගේ රැවුල කපා, ඔහුව සෝදනවා; උදේ ආහාරය සූදානම් කර ඔහුට කවනවා. ඊට පස්සේ මම ඔහුට අන්දවලා, සේවය සඳහා සූදානම් කරනවා. ඒ ගිම්හානයේදී අපි රාත්‍රියේ එළිමහනක නිදාගනිමින් වයෝමිංවල හා මොන්ටානාවල පුරෝගාමී සේවය කළා. ටෙඩ් ඔහුගේ පිකප් රථයේ සාදා තිබුණ විශේෂ ආවරණ කොටසේ නිදාගත් අතර මම බිම නිදාගත්තා. ඒ අවුරුද්දේ පසු කලක මම දකුණේ, එනම් ටෙනසි, ආකැන්ස’ස් සහ මිසිසිපිවල පුරෝගාමී සේවය සඳහා පදිංචිය මාරු කළා.
මම ලොකු සමුළුවකට මුල් වතාවට ගියේ, 1937 සැප්තැම්බර්වලදී ඔහයෝ, කොලම්බස්හි තිබූ සමුළුවටයි. ශබ්දවාහිනිය මුල් කරගෙන දේශනා වැඩය කරගෙන යෑමට ඔවුන් කටයුතු පිළියෙළ කර තිබුණා. ශබ්දවාහිනිය යොදාගත් හැම අවස්ථාවක්ම අපි නම් කළේ පිහිටුවීමක් කියායි. එක මාසයකදී මම පිහිටුවීම් 500කට වඩා සිදු කළ අතර, 800කට වැඩිදෙනෙක් සවන් දුන්නා. නැඟෙනහිර ටෙනසි, වර්ජිනියා සහ බටහිර වර්ජිනියාවල නගර බොහෝමයක සාක්ෂිදැරුවායින් පසු, විශේෂ පුරෝගාමියෙක් හැටියට අලුත් මුහුණුවරකින් සේවය කරන්න මට ආරාධනයක් ලැබුණා; එය නම් කලාපීය සේවක සමඟ හවුල් වී වැඩ කිරීමයි; සංචාරක අවේක්ෂකයන්ව ඒ කාලයේ හැඳින්නුවේ ඒ විදිහටයි.
මම බටහිර වර්ජිනියාවල සභා සහ හුදකලා කණ්ඩායම් වෙත ගිහින්, මේ සෑම එකක් සමඟම සති දෙකේ සිට හතර දක්වා කාලයක් ගත කළ අතර ක්ෂේත්‍ර සේවයෙහි පෙරමුණ ගත්තා. ඊට පස්සේ, 1941 ජනවාරිවලදී, මාව කලාපීය සේවක වශයෙන් පත් කළා. මේ වන විට අම්මයි මගේ සහෝදරියන් තුන්දෙනයි—ක්ලේරා, ලොයිස් සහ රූත්—රාජ්‍යය කෙරෙහි ඔවුන්ගේ ස්ථාවරය ගෙන තිබුණා. ඉතින් එම ගිම්හානයේදී අපේ මුළු පවුලම ශා. ලුවිස්හි තිබූ විශාල සමුළුවට ගියා.
සමුළුව අවසන් වී කෙටි කාලයකට පස්සේ, 1941 නොවැම්බර් අවසානය වන විට කලාපීය වැඩය නවත්වනු ඇතැයි කලාපීය අවේක්ෂකයන්ට දැනුම් දුන්නා. එක්සත් ජනපදය ඊළඟ මාසයේදී IIවන ලෝක මහා යුද්ධයට ඇතුල් වුණා. විශේෂ පුරෝගාමී සේවය සඳහා මට පැවරුමක් ලැබුණ අතර, මාසයකට පැය 175ක් දේවසේවයේ ගත කිරීම ඊට අවශ්‍යව තිබුණා.
සේවය සඳහා විශේෂ වරප්‍රසාද
එක්දාස් නවසිය හතළිස් දෙකේ ජූලිවලදී, විදේශයෙහි සේවය කරන්න කැමතිදැයි අසනු ලැබූ ලිපියක් මට ලැබුණා. කැමති බව දැන්නුවායින් පස්සේ, නියූ යෝක්, බෘක්ලින්හි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානයේ බෙතෙල් එකට එන්න කියා මට ආරාධනයක් ලැබුණා. ඒ අවස්ථාවේදීම විශේෂ පුහුණුව සඳහා තනිකඩ සහෝදරයන් 20ක් කැඳවනු ලැබුවා.
දේශනා සේවයේ කටයුතු පහත බැස ඇති බවත්, සභාවල් ආත්මිකව ශක්තිමත් කිරීමට අපව පුහුණු කරනු ලබන බවත්, ඒ කාලයේ වොච් ටවර් සමිතියේ සභාපතිව සිටි නේදන් එච්. නෝර් පැහැදිලි කළා. “සභාවල තිබෙන ගැටලු විතරක් දැනගන්න අපට ඕනෙ නෑ; නමුත් අපිට දැනගන්න ඕනෙ ඕගොල්ලෝ ඒ සම්බන්ධයෙන් මොනවද කළේ කියන එකයි” කියා ඔහු පැවසුවා.
අපි බෙතෙල්හි සිටිද්දී, සහෝදර නෝර්ගෙන් පසු සභාපති හැටියට 1977දී පත් වූ ෆ්‍රෙඩ් ෆ්රාන්ස් දුන් කතාවේදී ඔහු මෙසේ පැවසුවා: “දෙවන ලෝක යුද්ධය අවසන් වෙයි; මහත් දේශනා වැඩයකට දොර ඇරෙයි. යෙහෝවාගේ සංවිධානය තුළට තවත් සෙනඟ එක්රැස් වන බවට කිසි සැකයක් නෑ!” ඒ කතාව මගේ දෘෂ්ටිය සම්පූර්ණයෙන්ම වෙනස් කළා. පැවරුම් ලැබුණ වෙලාවේ, මට ටෙනසි සහ කෙන්ටකි ජනපදවල හැම සභාවකටම යන්න තිබෙන බව මම දැනගත්තා. අපිව හැඳින්නුවේ සහෝදරයන්ට සේවකයන් කියලයි; ඊට පස්සේ ඒ හැඳින්වීම චාරිකා අවේක්ෂක හැටියට වෙනස් වුණා.
මට 25දීම, 1942 ඔක්තෝබර් 1වෙනිදා සභාවල සේවය කරන්න මම පටන්ගත්තා. ඒ කාලයේදී සමහර සභාවලට යන්න පුළුවන් වුණේ පයින් නැත්නම් අශ්වයාගේ පිටේ පමණයි. සමහර අවස්ථාවලදී මට නවාතැන් දුන්න පවුලේ අයගේ කාමරයෙමයි මම නිදාගත්තේ.
මම 1943 ජූලිවලදී ටෙනසිවල ග්‍රීන්විල් සභාවේ සේවය කරන කොට, ගිලියද් මුරටැඹ බයිබල් පාසැලේ දෙවෙනි පංතියට සහභාගි වෙන්න කියා මට ආරාධනයක් ලැබුණා. ගිලියද්හිදී, “අසන්ට ලැබූ දේවල් සඳහා සාමාන්‍ය අවධානයට වඩා වැඩි අවධානයක් දීම” සහ හැමවිටම ‘ස්වාමීන්ගේ මෙහෙයෙහි වඩ වඩා පැවතීම’ යන්නෙහි සැබෑ අර්ථය මොකක්ද කියන එක මම දැනගත්තා. (හෙබ්‍රෙව් 2:1, NW; 1 කොරින්ති 15:58) පාසැල් පාඨමාලාවේ මාස පහ ඉක්මනින් ගෙවී ගිය අතර, 1944 ජනවාරි 31වෙනිදා උපාධි ලැබීමේ දවස උදා වුණා.
කැනඩාවට සහ බෙල්ජියමට
අපෙන් කීපදෙනෙක්ම කැනඩාවට පත්වීම් ලැබූ අතර එහි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ක්‍රියා මත පනවා තිබූ තහනම මෑතකදී ඉවත් කර තිබුණා. සංචාරක වැඩය සඳහා මට පැවරුම් ලැබී තිබුණ අතර, මෙයට සමහර සභා අතර තිබූ දුර ඈත තැන් ආවරණය කරන්න අවශ්‍යව තිබුණා. කැනඩාවේ තහනම පැවතෙද්දී දේශනා වැඩය සිදු වූ ආකාරය ගැන අද්දැකීම් මං සංචාරය කරද්දී අහන්න ලැබීම ප්‍රීතියක් වුණා. (ක්‍රියා 5:29) එක රාත්‍රියක් තුළදී, කැනඩාවේ එක් අන්තයක සිට අනික් අන්තය දක්වා හැම නිවසකම පාහේ පොත්පිංචයක් තැබූ අවස්ථාවේදී හදිසියේ කළ එවැනි ක්ෂණික බැහැදැකීම් ගැන හුඟදෙනෙක් කිව්වා. යුරෝපයේ යුද්ධය 1945 මැයිවලදී අවසන් වූ බව දැනගන්න ලැබීම මොනතරම් ශුභාරංචියක්ද!
එම ගිම්හානයේදී, සස්කච්වාන්, ඔසේජ් නම් කුඩා නගරයේ සේවය කරන අතරතුර, මට සහෝදර නෝර්ගෙන් ලිපියක් ලැබුණා; එහි මෙසේ කියවන්න තිබෙනවා: “බෙල්ජියමට යෑමේ වරප්‍රසාදය මම ඔබට ලබා දෙනවා. . . . ඒ දේශයේ තව හුඟාක් වැඩ තියෙනවා කරන්න. ඒක යුද්ධයෙන් ඉරි තැලී ගිය රටක්; එහෙ අපේ සහෝදරයන්ට උපකාරය අවශ්‍යව තිබෙනවා; ඔවුන්ට අවශ්‍ය කරන සුදුසු ආධාර සහ සහනය දීම සඳහා අමෙරිකාවෙන් යමෙක් යැවීම යෝග්‍ය බව පෙනෙනවා.” පැවරුම පිළිගනිමින් මම ඒ මොහොතේම පිළිතුරක් දුන්නා.
වර්ෂ 1945 නොවැම්බර්වලදී, මම බෘක්ලින් බෙතෙල්හි ඇල්සැස් ජාතික, වයසක සහෝදරයෙක් වූ චාල්ස් අයිඛ එක්ක ප්‍රංශ භාෂාව ඉගෙනගනිමින් සිටියා. මම ශාඛා වැඩකටයුතු සම්බන්ධයෙන් යම් ශීඝ්‍ර පුහුණුවකුත් ලබාගත්තා. යුරෝපයට යන්න කලින්, මම කෙටි කලකට මගේ පවුලේ අයවත්, මිසූරි, සා. ජෝසෆ්හි මිත්‍රයන්වත් බැහැදකින්න ගියා.
දෙසැම්බර් 11වෙනිදා, ක්වීන් එලිසබෙත් නැවෙන් මම නියූ යෝක් බලා පිටත් වූ අතර, දවස් හතරකට පස්සේ මම එංගලන්තයේ, සවුදැම්ප්ටන්වලට පැමිණුණා. මම බ්‍රිතාන්‍ය ශාඛාවේ මාසයක් නැවතී සිටිය අතර එහිදී මට අමතර පුහුණුවක් ලැබුණා. ඉන්පසු, 1946 ජනවාරි 15වෙනිදා මම ඉංග්‍රීසි ඕඩය හරහා ගිහින් බෙල්ජියමේ ඔස්ටෙන්ඩ්වලට ගොඩ බැස්සා. එතැනින් මම දුම්රියෙන් බ්රස’ල්ස්වලට ගිය අතර, එහෙ මුළු බෙතෙල් පවුලම දුම්රිය ස්ථානයේදී මාව මුණගැහුණා.
යුද්ධයෙන් පසු වර්ධනය වූ ක්‍රියාකාරකම්
මගේ පැවරුම වුණේ බෙල්ජියමේ රාජ්‍ය වැඩකටයුතු අධීක්ෂණය කරන එක වුණත්, මට භාෂාව කතා කරන්නවත් හැකියාවක් තිබුණේ නෑ. මාස හයකදී, මට පුළුවන් වුණා තරමක් දුරට ප්‍රංශ භාෂාව කතා කරන්න. නාට්සි පාලනය යටතේ අවුරුදු පහ තුළදී දේශනා වැඩය කරගෙන යද්දී තම ජීවිත පරදුවට තැබූ අය සමඟ වැඩ කරන්න ලැබීම වරප්‍රසාදයක් වුණා. මෑතකදී ඔවුන්ගෙන් සමහරෙක්ව වධක කඳවුරුවලින් මුදාහැර තිබුණා.
වැඩ සංවිධානය කර, බයිබල් සත්‍යය කෙරෙහි ආශාවෙන් සිටින අයව පෝෂණය කිරීමට සහෝදරයන් ඉමහත් ආශාවකින් සිටියා. එනිසා එක්රැස්වීම් පැවැත්වීමටත්, සංචාරක අවේක්ෂකයන්ට සභාවලට යෑමටත් වැඩකටයුතු පිළියෙළ කළා. නේදන් නෝර්, මිල්ටන් හෙන්ෂල්, ෆ්‍රෙඩ් ෆ්රාන්ස්, ග්‍රාන්ට් සූටර් සහ ජෝන් බූත් යන අයගේ දිරිගන්වන බැහැදැකීමුත් අපිට තිබුණා—මේ සියල්ලන් බෘක්ලින් මූලස්ථානයෙන් පැමිණි නියෝජිතයන්. ඒ මුල් දවස්වලදී, මම චාරිකා අවේක්ෂක, දිස්ත්‍රික් අවේක්ෂක හා ශාඛාව භාර අවේක්ෂක හැටියට සේවය කළා. බෙල්ජියමේ අවුරුදු හතකට ආසන්න සේවයකින් පසු 1952 දෙසැම්බර් 6වෙනිදා මම එමිලියා වානොප්ස්ලාඋඛ් හා විවාහ වුණා; ඇයත් වැඩ කළේ බෙල්ජියම් ශාඛාවේමයි.
මාස කීපයකට පසු, 1953 අප්‍රියෙල් 11වෙනිදා, ප්‍රාදේශීය පොලිස් ස්ථානයකට පැමිණෙන ලෙස මට සිතාසි නිකුත් කළ අතර, මම බෙල්ජියමේ සිටීම එහි ආරක්ෂාවට අන්තරාවක් බව දැනුම් දුන්නා. මගේ නඩුව රාජ්‍ය සභාවට දාන තෙක් ඉන්න මම ලක්සෙම්බර්ග්වලට ගියා.
බෙල්ජියමේ රාජ්‍ය සභාව 1954 පෙබරවාරියේදී මගේ සිටීම රටට අන්තරාවක් බවට වූ නියෝගය තහවුරු කළා. ඉදිරිපත් කර තිබූ සාක්ෂිය වුණේ, මම බෙල්ජියමට ආ දවසේ පටන් රටේ සාක්ෂිකරුවන්ගේ ගණන පුදුමාකාර ලෙස වැඩි වී—එනම් 1946යේ 804 සිට 1953නේ 3,304ක් වී—තිබෙන බව හා ප්‍රතිඵලයක් වශයෙන්, බොහෝ යෞවන සාක්ෂිකරුවන් ක්‍රිස්තියානි මධ්‍යස්ථභාවය සඳහා ස්ථාවරයක් ගනිමින් තිබූ නිසා බෙල්ජියමේ ආරක්ෂාවට එය තර්ජනයක් වී තිබෙන බවයි. මේ නිසා, එමිලියාටයි, මටයි ස්විට්සර්ලන්තයට යන්න පැවරුමක් දුන් අතර, අපි එහි ප්‍රංශ භාෂාව කතා කරන කොට්ඨාශය තුළ චාරිකා සේවයේ යෙදෙන්න පටන්ගත්තා.
රාජ්‍ය සේවා පාසැල—ක්‍රිස්තියානි වැඩිමහල්ලන් සඳහා උසස් පුහුණුවක් සැපයීමට පාසැලක්—1959දී නියූ යෝක්, සවුත් ලාන්සින්ග්හි පිහිටෙව්වා. යුරෝපයේදී මේ පාසැලේ පංතිවලට ඉගැන්වීම සඳහා පුහුණුව දීමට මාව එහි කැඳෙව්වා. මම එක්සත් ජනපදයේ ඉන්න අතරතුරේදී මිසූරි, සා. ජෝසෆ්හි මගේ පවුලේ අයව බලන්න ගියා. එහිදී මට මගේ දයාබර අම්මාව අන්තිම වතාවට දැකගන්න ලැබුණා. ඇය 1962 ජනවාරියේදී මියගියා; තාත්තා 1955 ජූනිවලදී මියගිහින්.
ප්‍රංශයේ පැරිස්හි රාජ්‍ය සේවා පාසැල 1961 මාර්තුවලදී පටන්ගත් අතර, එමිලියා මාත් එක්ක ආවා. දිස්ත්‍රික් අවේක්ෂකයන්, චාරිකා අවේක්ෂකයන්, සභා අවේක්ෂකයන් හා විශේෂ පුරෝගාමීන්, ප්‍රංශයෙන්, බෙල්ජියමෙන් හා ස්විට්සර්ලන්තයෙන් පාසැලට පැමිණියා. ඊළඟ මාස 14දී, මම මේ සති-හතරේ පාඨමාලාවේ පංති 12ක් පැවැත්තුවා. ඉන් පසුව, එමිලියා ගැබ්ගෙන ඇති බව 1962 අප්‍රියෙල්වලදී අපි දැනගත්තා.
තත්වයන් අනුව සකස් වීම
අපි ස්විට්සර්ලන්තයේ ජිනීවාවලට යළි ගිය අතර එහිදී අපට ස්ථිර නේවාසික අවසර ලැබුණා. කෙසේවුවත්, දරුණු නිවාස හිඟයක් තිබුණ නිසා පදිංචි වෙන්න තැනක් සෙවීම පහසු වුණේ නෑ. රැකියාවක් හොයාගැනීමත් පහසු දෙයක් වුණේ නෑ. අන්තිමේදී මට ජිනීවාහි මධ්‍යම ප්‍රදේශයේ විශාල ගබඩා අංශයක රැකියාවක් ලැබුණා.
මම අවුරුදු 26ක්ම ගත කරලා තිබුණේ පූර්ණකාලීන සේවයෙහි නිසා අපේ වෙනස් වූ තත්වයන්ට සම්පූර්ණ සකස් වීමක් අවශ්‍ය වුණා. මම ගබඩා අංශයේ වැඩ කළ අවුරුදු 22 සහ අපේ දූවරුන් දෙන්නා වන ලොයිස් සහ යූනිස්ව ඇති දැඩි කරන්න උපකාර කළ කාලය තුළදී, අපේ පවුල හැමවිටම රාජ්‍ය කටයුතුවලට මුල් තැන දුන්නා. (මතෙව් 6:33) වර්ෂ 1985දී බාහිර රැකියාවෙන් විශ්‍රාම ගත් පසු මම උපචාරිකා අවේක්ෂකයෙක් හැටියට සේවය කරන්න පටන්ගත්තා.
එමිලියාගේ සෞඛ්‍ය තත්වය ඉතා දුර්වල වී තිබෙන නමුත් ඇයට පුළුවන් විදිහට සේවයේ යෙදෙනවා. ලොයිස් අවුරුදු දහයක් විතර පුරෝගාමියක වශයෙන් සේවය කර තිබෙනවා. ඇය සමඟ 1993 ගිම්හානයේදී මොස්කව්හි ඉතාම චමත්කාරජනක ජාත්‍යන්තර සමුළුව භුක්ති විඳීමට හැකිවීම මොනතරම් ආත්මික අනගි අවස්ථාවක්ද! ඉන් ටික කලකට පසු, නිවාඩුවක් ගත කරන්න අප්‍රිකාවේ සෙනිගාල්හි විනෝද ගමනක යෙදී සිටියදී මුහුදේ පීනන්න ගිහින් ලොයිස් මියගියා. භූමදානය ගැන කටයුතු කිරීමට මම සෙනිගාල් බලා ගමන් කළ විට, අපේ අප්‍රිකානු සහෝදරයන්ගේ හා මිෂනාරිවරුන්ගේ ප්‍රේමය හා කරුණාව ලොකු සහනයක් වුණා. නැවත නැඟිටීමේදී ලොයිස්ව දැකගන්න මම කොයිතරම් ආශාවෙන්ද ඉන්නේ!—යොහන් 5:28, 29.
දශක හතරකට වැඩි කාලයක් පුරා ප්‍රේමනීය මිත්‍රත්වයක පක්ෂපාත උපකාරය භුක්ති විඳින්න ලැබීම ගැන මම ස්තුතිවන්ත වෙනවා. ඇත්තෙන්ම, මට සිත්තැවුල් හා කරදර තිබුණත්, යෙහෝවාගේ ප්‍රේමනීය-කරුණාව මිහිරි මෙන්ම ජීවත් වීම වටිනා එකක් කර තිබෙනවා. අපේ දෙවි යෙහෝවා සම්බන්ධයෙන් ගීතිකාකරුගේ වචන ප්‍රකාශ කිරීමට මගේ හෘදය පෙලඹිලා තියෙනවා: “මන්ද ඔබේ ප්‍රේමනීය-කරුණාව ජීවිතයට වඩා යහපත් හෙයිනි; මගේ තොල් ඔබට ප්‍රශංසා කරන්නේය”—ගීතාවලිය 63:3, NW.
[26වන පිටුවේ පින්තූරය]
ශබ්දවාහිනිය මුල් කරගෙන අපි දේශනා වැඩය කරගෙන ගියා
[26වන පිටුවේ පින්තූරය]
1936දී මගේ දෙමාපියන්
[26වන පිටුවේ පින්තූරය]
1948දී බෙල්ජියමේ වීදි සේවයේ