එය ප්‍රශංසාවද නැත්නම් චාටු බස් දෙඩීමද?
“මේ පාර ඔයා කොණ්ඩෙ කපලා තියෙන විදිහ නං හරිම ලස්සනයි!” කියා කෙනෙක් ඔබට පවසයි. එය ප්‍රශංසාවද නැත්නම් චාටු බස් දෙඩීමද? “ඔයාගේ ඇඳුම නං ඔයාට යස අගේට ගැළපෙනවා!” ප්‍රශංසාවද චාටු බස් දෙඩීමද? “මේ තරම් රස කෑමක් මං ජීවිතේටවත් කාලා නැහැ!” එය ප්‍රශංසාවද නැත්නම් චාටු බස් දෙඩීමද? මෙවැනි වර්ණනාවන් අපට ලැබෙන විට, අප කල්පනා කරන්න ඉඩ තිබෙනවා මේවා ඇත්තටම අව්‍යාජ හා සැබෑද නැත්නම් කිවූ තැනැත්තා විසින් ඇත්තටම නිසැකකමක් නැතුව නිකම් අපව සතුටු කිරීමට පමණක් කිවූ ඒවාද කියා.
පුද්ගලයෙකු අපට පවසන දෙයක් ප්‍රශංසාවද නැත්නම් චාටු බස් දෙඩීමද කියා අපට දැනගන්න හැකි වන්නේ කෙසේද? එය දැනගැනීම වැදගත්ද? කිවූ නිසා පමණක් එය පිළිගෙන එයින් අපට දෙන තෘප්තිය භුක්ති විඳින්න අපට බැරිද? අප අන්‍යයන්ට ප්‍රශංසාව දෙන විට කුමක් කිව හැකිද? අපගේ චේතනා අප කවදා හෝ පරීක්ෂා කොට තිබෙනවාද? විචාර බුද්ධිය ඇතුව සිටීමටත් යෙහෝවා දෙවිට ප්‍රශංසාව ගෙනෙන අයුරින් අපගේ දිව පාවිච්චි කිරීමටත්, මෙම ප්‍රශ්න ගැන කල්පනා කිරීම අපට උපකාරවත් වෙන්න යනවා.
ප්‍රශංසාව හා චාටු බස් දෙඩීම නිර්වචනය කර
ප්‍රශංසාව වෙබ්ස්ට’ස් ඩික්ෂනරිහි නිර්වචනය කර ඇත්තේ අනුමැතියේ හෝ වර්ණනාවේ ප්‍රකාශයක් හැටියට වන අතර, එම වචනයෙන් නමස්කාරය හෝ මහිමය පිරිනැමීමද අදහස් විය හැකියි. පැහැදිලිවම යට කී අරුත් දෙක යෙහෝවා දෙවිට යොමු කෙරෙන ප්‍රශංසාවට පමණයි යොමු දක්වන්නේ. මෙය සැබෑ නමස්කාරයේ අඛණ්ඩ කොටසක් වන අතර, ආනුභාව ලත් ගීතිකාකාරයා ප්‍රබල ලෙස මෙසේ අවවාද කරයි: “මක්නිසාද . . . [එය] යහපත්ය. එයින් ප්‍රීතිය උපදනේය, ප්‍රශංසාකිරීම හොබනේය.” “හුස්ම ඇති සියල්ලෝම [යෙහෝවාට] ප්‍රශංසාකෙරෙත්වා.”—ගීතාවලිය 147:1; 150:6.
කෙසේවූවත්, මෙයින් අදහස් කරන්නේ මිනිසුන්ට ප්‍රශංසාව දිය නොහැකි බව නොවේ. වර්ණනාවේ, අනුමැතියේ හෝ හිතකර විනිශ්චයක ස්වභාවයකින් එය දෙන්න පුළුවන්. යේසු විසින් පැවසූ උපහැරණයක ස්වාමියා තම දාසයාට මෙසේ කියයි: “යහපත්වූ විශ්වාසවූ දාසය, ඒ යහපත.”—මතෙව් 25:21.
අනිත් අතට, චාටු බස් දෙඩීම නිර්වචනය කර තිබෙන්නේ බොරු, ව්‍යාජ හෝ වුවමනාවට වඩා කරන ප්‍රශංසාව හැටියට වන අතර, මෙහිදී චාටු බස් දොඩන්නාට සාමාන්‍යයෙන් ඇත්තේ ආත්මාර්ථකාමී චේතනායි. කෛරාටික ලෙස කරන වර්ණනාව හෝ ඉච්චාව කරනු ලබන්නේ තවත් කෙනෙකුගෙන් අනුමැතිය හෝ ද්‍රව්‍යමය වාසි ලබාගැනීමට හෝ චාටු බස් දොඩන්නා කෙරෙහි යම් බැඳීමක හැඟීමක් ඇති කිරීමටයි. එසේනම් චාටු බස් දොඩන්නන් ආත්මාර්ථකාමිත්වය හේතුකොටගෙන පොලඹවනු ලබනවා. යූද් 16ට අනුව, ඔවුන් “චාටු බස් දෙඩීමෙහි යම් වාසියක් දකින කල ඔවුන් අන්‍යයන්ට එසේ කිරීමට සූදානම්ව සිටියි.”—ද ජෙරූසලම් බයිබල්.
ශුද්ධ ලියවිලිමය දෘෂ්ටිකෝණය
සෙසු මිනිසුන්ව ප්‍රශංසාවට ලක් කිරීමේ ශුද්ධ ලියවිලිමය දෘෂ්ටිකෝණය කුමක්ද? මේ සම්බන්ධයෙන් අනුගමනය කිරීමට යෙහෝවා අපට යම් රටාවක් සපයා තියෙනවා. අප යෙහෝවාගේ කැමැත්ත කළොත් අපට ප්‍රශංසා කෙරෙන බව බයිබලයේ අපට පවසා තියෙනවා. “එකිනෙකාට තම තමාගේ ප්‍රශංසාව [දෙවිගෙන් ලැබෙන]” බව ප්‍රේරිත පාවුල් පවසනවා. පරීක්ෂාවට ලක් කරනු ලැබූ අපේ ඇදහිල්ලේ ගුණය “ප්‍රශංසාව ලැබීමට හේතුවක් ලෙස සොයාගත හැකි බව” පේතෘස් අපට කියනවා. එසේනම් යෙහෝවා මනුෂ්‍යයන්ට ප්‍රශංසාව දෙනවායයි කියන කාරණයෙන් පෙන්නුම් කරන්නේ අව්‍යාජ ප්‍රශංසාව දීම කරුණාවන්ත, ප්‍රේමනීය හා ගුණදායක ක්‍රියාවක් වන අතරම, එය නිකම්ම අයින් කර දැමිය යුතු කාරණාවක්ද නොවන බවයි.—1 කොරින්ති 4:5; 1 පේතෘස් 1:7, NW.
බයිබලයට අනුව, ප්‍රශංසාව අපට ලැබිය හැකි තවත් මූලාශ්‍රයක් වන්නේ, අපගේ හොඳ හැසිරීම නිරීක්ෂණය කර අපට අවංකවම වර්ණනා කරන ආණ්ඩුමය අධිකාරීන්ගෙනුයි. ‘යහපත් දේ කරමින් සිටින්න’ කියා අපට පවසා ඇති අතර, ‘එවිට එයින් ඔබට ප්‍රශංසාව ලැබේ.’ (රෝම 13:3) තමන් කියන දේ ගැන පූර්ණ නිසැකකමක් ඇති මෙන්ම අපට ප්‍රශංසා කිරීමේදී කිසිම යටි චේතනාවක් නැති අයගෙන්ද අපට ප්‍රශංසාව ලැබිය හැකියි. හිතෝපදේශ 27:2 දේවානුභාවය ලත් ශුද්ධ ලියවිලි අපට පවසන්නේ: “නුඹේම මුඛය නොව වෙන කෙනෙක් . . . නුඹට ප්‍රශංසාකෙරේවා.” මෙයින් අඟවන්නේ මිනිසුන්ගෙන් ප්‍රශංසාව පිළිගැනීම සුදුසු දෙයක් බවයි.
නමුත් චාටු බස් දෙඩීම හෝ පිළිගැනීම සම්බන්ධයෙන් මෙය සැබෑවක් නෙවෙයි. යෙහෝවාට චාටු බස් දෙඩීම එතරම්ම අප්‍රසන්න දෙයක් වන්නේ ඇයි? එයට එක් හේතුවක් වන්නේ, එය ව්‍යාජ වන අතර, යෙහෝවා ව්‍යාජත්වය හෙළා දැකීමයි. (හිතෝපදේශ 23:6, 7 සසඳන්න.) තවදුරටත් එය අවංක නොවේ. දෙවිගේ අප්‍රසාදය ලැබිය යුතු අය ගැන විස්තර කරමින් ගීතිකාකාරයා මෙසේ කියයි: “ඔවුන් කරන්නේ එකිනෙකාට බොරු කීම පමණකි; චාටු සහිත දිවෙන් දෙසිතෙන් කතා කරති. . . . යාවේ සෑම චාටු දිවක්ම කපාහරීවා.”—ගීතාවලිය 12:2, 4, JB.
සියල්ලටම වඩා ඉහළින්, චාටු බස් දෙඩීම ප්‍රේමනීය දෙයක් නොවේ. එය පොලඹවනු ලබන්නේ ආත්මාර්ථකාමිත්වයෙනි. චාටු බස් දොඩන්නන් ගැන කතා කිරීමෙන් අනතුරුව, ඔවුන් පවසන දෙය ගීතිකාකාර දාවිත් මෙසේ දක්වයි: “අපේ දිවෙන් ජයගන්නෙමුව; අපේ තොල් අපේමය; අපට ස්වාමියා [වන්නේ කවුද?]” එවැනි ආත්මාර්ථකාමීන්ව යෙහෝවා විස්තර කරන්නේ ‘දිළිඳුන්ව කොල්ලකන්නන්’ හැටියටයි. ඔවුන්ගේ චාටු බස් දොඩන දිව් පාවිච්චි කර ඇත්තේ, අන්‍යයන්ව ගොඩනැඟීමට නොව, නමුත් ඔවුන්ව කොල්ල කා ඔවුන්ට පීඩා කිරීමටයි.—ගීතාවලිය 12:3, 5.
චාටු බස් දෙඩීම—මලපතක්
“තමාගේ අසල්වාසියාට [චාටු බස් දොඩන්නා, NW] ඔහුගේ පාදවලට දැලක් එළයි.” ප්‍රඥාවන්ත සාලමොන් රජ එසේ පවසන අතර, එය මොනතරම් සත්‍යයද! (හිතෝපදේශ 29:5) ඵරිසිවරුන් චාටු බස් දෙඩීමෙන් යේසුට මලපතක් එළීමට තැත් කළා. ඔවුන් මෙසේ පැවසුවා: “[ආචාරිනි], ඔබ සැබෑ කෙනෙක් බවත්, [දෙවිගේ] මාර්ගය සැබෑලෙස උගන්වන බවත්, මනුෂ්‍යයන්ගේ තරාතිරම් නොබලන බැවින් කිසිවෙකු නොසලකන බවත් දනිමු.” එය කොතරම් මුළා කරවන්නක් වුණාද! නමුත් චාටු කතාවලට යේසු අසු වුණේ නැහැ. ඔහු දැනගෙන හිටියා ඔවුන් ඔහුගේ සත්‍ය ඉගැන්වීම් විශ්වාස නොකළ බවත්, ඔවුන් උත්සාහ කරමින් හිටියේ කායිසර්ට බදු ගෙවීම පිළිබඳ කාරණයේදී ඔහුව කතාවෙන් අසු කරගැනීමට බවත්.—මතෙව් 22:15-22.
යේසුට හාත්පසින්ම වෙනස් වූ තැනැත්තෙකු වූයේ පළවන ශතවර්ෂයේ හෙරොද් රජයි. ඔහු කායිසාරිය කියන නගරයේ ප්‍රසිද්ධ කථාවක් කළ විට, මිනිසුන් මෙසේ ප්‍රතිචාරය දැක්වූවා: “මෙය මනුෂ්‍යයෙකුගේ හඬ නොව දෙවිකෙනෙකුගේ [හඬයි!]” මෙවැනි අශෝභන, බොරු ප්‍රශංසාවක් ගැන මිනිසුන්ට තරවටු කරනවා වෙනුවට, හෙරොද් චාටු බස් දෙඩීම පිළිගත්තා. ඔහුගේ මරණයට හේතු වූ පණුවන්ගේ වර්ධනයකින් හෙරොද්ට පහර දීමෙන්, යෙහෝවාගේ දූතයා එකෙණෙහිම දඬුවම දුන්නා.—ක්‍රියා 12:21-23.
චාටු බස් දොඩන විට එය හඳුනාගැනීමට මේරූ ක්‍රිස්තියානියෙක් සාවධානයෙන් ඉන්න යනවා. එක් වැඩිමහල්ලෙක්ව තව කෙනෙක් සමඟ සසඳා ඔහු අනෙක් තැනැත්තාට වඩා කොපමණ කරුණාවන්ත මෙන්ම සංවේදීදැයි කියන තරමටම, විනිශ්චමය කාරණයකට සම්බන්ධ පුද්ගලයෙක් ගුණ වර්ණනාවලින් පිරී සිටිනවා නම් ක්‍රිස්තියානි වැඩිමහල්ලන් විශේෂයෙන්ම සුපරීක්ෂාකාරි වෙන්න අවශ්‍යයි.
මුළා කරවන්නියක් විසින් තරුණ මිනිසෙකුව දුරාචාරයට පොලඹවාගන්නා ආකාරය ගැන විස්තර කරන විට, බයිබලය චාටු බස් දෙඩීම මගින් එල්ල විය හැකි තවත් බොරු වළක් පැහැදිලිවම පෙන්නුම් කර දෙනවා. (හිතෝපදේශ 7:4, 21) මෙම අනතුරු ඇඟවීම අද තත්වයට ගැළපෙනවා. සෑම වසරකම ක්‍රිස්තියානි සභා ඇසුරෙන් කපාහරින අය අතුරින්, වැඩි හරියක්ව එසේ කරන්නේ දුරාචාරමය හැසිරීම නිසයි. එවැනි බරපතළ පාපයකට වැටීම චාටු බස් දෙඩීම නිසා පටන්ගන්න ඉඩ තිබුණා විය හැකිද? මිනිසුන් වර්ණනාවට හා තමා ගැන හොඳ කතා කරනවාට ආශා කරන නිසා, චාටු දිවෙන් නික්මෙන චාටු කතාවලට, නුසුදුසු හැසිරීම කෙරෙහි ක්‍රිස්තියානියෙකුට ඇති විරෝධය අඩු කරවන්න පුළුවන්. එවැන්නකින් ආරක්ෂා වූයේ නැත්නම්, එය බරපතළ ප්‍රතිවිපාකවලට මඟපාදන්න පුළුවන්.
චාටු බස් දෙඩීමට විරුද්ධව ආරක්ෂක පියවර
චාටු බස් දෙඩීම චාටු බස් ලබන්නාගේ ස්ව-ආලය හෝ බොරු අහංකාරය තෘප්තිමත් කරවනවා. යම් ආකාරයකින් අන්‍යයන්ට වඩා උසස් බවක් හැඟීමට සලස්වමින්, එය පුද්ගලයෙකුට තමාගේ වටිනාකම වැඩි කර දැක්වූ දෘෂ්ටියක් ලබා දීමට නැඹුරු වෙයි. ෆ්රන්ස්වා ඩි ලා රොෂ්ෆූකෝ නම් දාර්ශනිකයා චාටු බස් දෙඩීම ව්‍යාජ මුදල්වලට සම කළ අතර, “කෙනෙකුගේ බොරු අහංකාරයට මිසක [එයින්] ඵලක් නොවේ” කියා ඔහු පැවසුවා. ඒ හේතුවෙන්, තමන්වම ආරක්ෂා කරගත හැකි ක්‍රමය වන්නේ, ප්‍රේරිත පාවුල්ගේ යථාර්ථවාදී අවවාදය පිළිපැදීමයි: “නුඹලා එකිනෙකා සුදුසු තරමට වඩා තම තමා ගැන උතුම්කොට නොසිතා, [දෙවි] එකිනෙකාට බෙදාදුන් ඇදහිල්ලේ ප්‍රමාණය ලෙස පමණදැන සිතන හැටියට, මට දෙනලද අනුග්‍රහයෙන් නුඹලා අතරෙහි එකිනෙකාට කියමි.”—රෝම 12:3.
අපගේ ස්වාභාවික නැඹුරුවාව වන්නේ අපගේ කන්වලට ප්‍රිය කරන දේ ඇසීමට උවමනා වීම වූවත්, අපට බොහෝ විටෙක ඇත්තටම අවශ්‍ය කරන්නේ බයිබලය මත පදනම් අවවාද සහ හික්මවීමයි. (හිතෝපදේශ 16:25) ආහබ් රජුට උවමනා වූයේ තමන්ව සතුටු කරවන දේ ඇසීමට පමණයි; ඔහුගේ සේවකයන් ප්‍රොපේත මීකායාගෙන් ඔහුගේ වචනය “ඔවුන්ගෙන් එක්කෙනෙකුගේ [ආහබ්ගේ චාටු බස් දොඩන ප්‍රොපේතවරුන්ගේ] වචනය මෙන් වෙන පිණිස යහපත කියන්නැයි” ඉල්ලා සිටියා. (1 රාජාවලිය 22:13) ආහබ් සත්‍යයට ඇහුම්කන් දී ඔහුගේ කැරලිකාර මාර්ග වෙනස් කිරීමට කැමති වූවා නම්, ඔහුට ඉශ්‍රායෙලයට වූ යුධ පරාජයන් හා තම මරණය පවා වළක්වාගන්න ඉඩ තිබුණා. අපගේම ආත්මික ශුභසිද්ධිය සඳහා, චාටු බස්වලින් අපගේ කන් කිචිකවමින්, අප කොතරම් හොඳද කියා පවසමින් සිටින අයව සොයනවා වෙනුවට, පත් කළ ක්‍රිස්තියානි වැඩිමහල්ලන්ගේ දැඩි, එහෙත් ප්‍රේමනීය අවවාදවලට ප්‍රතිචාරය දැක්වීමට අප ඉක්මන් විය යුතුයි!—2 තිමෝති 4:3 සසඳන්න.
මොනයම් හේතුවක් නිසාවත්, ක්‍රිස්තියානීන්ට චාටු බස් දෙඩීමට උවමනා විය යුතු නැහැ. ඇදහිලිවන්ත එලීහු මෙන් ඔවුන් අධිෂ්ඨානපූර්වකව මෙසේ යාච්ඤා කරනවා: “මනුෂ්‍යයෙකුගේ තරාතිරම බලන්ට මට සිද්ධ නොවේවා; කිසි මනුෂ්‍යයෙකුට [චාටු බස් දෙඩීම, NW] නොකරන්නෙමි. මක්නිසාද [චාටු බස් දොඩන්න, NW] මම නොදනිමි. එසේ කළොත් මාගේ [මැවුම්කරු] ඉක්මනින් මා තුරන්කරනවා ඇත.” එවිට පාවුල්ට මෙන් ඔවුන්ට මෙසේ කියන්න හැකි වෙන්න යනවා: “අප විසින් කිසි කලක [චාටු බස්වත්, NW] තණ්හාවේ උපායක්වත් ව්‍යවහාරකළේ නැත”—යෝබ් 32:21, 22; 1 තෙසලෝනික 2:5, 6.
යෝග්‍ය අවස්ථාවේදී ප්‍රශංසාව
මෙසේ පවසමින්, ප්‍රශංසාවට උරගලක් මෙන් කටයුතු කළ හැකි බව දේවානුභාවය ලත් හිතෝපදේශය පෙන්නුම් කරයි: “රිදීවලට කෝවයද රන්වලට උදුනද තිබේ; නමුත් ප්‍රශංසාව චරිතයේ පරීක්ෂාවයි.” (හිතෝපදේශ 27:21, ද නියූ ඉංග්ලිෂ් බයිබල්) ඔව්, ප්‍රශංසාව කෙනෙකුගේ වැටීමට හේතු වෙමින් උසස්කමේ හෝ අහංකාරයේ හැඟීම් වර්ධනය කරන්න ඉඩ තියෙනවා. අනෙක් අතට, ඔහු කළ දෙයක් නිසා ඔහුට ලැබී ඇති ප්‍රශංසාවට යෙහෝවා කෙරෙහි ණයගැතිබව පෙන්වනවා නම්, එයින් ඔහුගේ නිහතමානිකම හා නිරහංකාර බව විදහාපෙන්වනවා.
ඔබිනා හැසිරීම හෝ අත් කරගැනීම් නිසා කරන අව්‍යාජ ප්‍රශංසාව, දෙනු ලබන්නා හා එය ලබන්නා යන දෙදෙනාවම ගොඩනඟන්න යනවා. එය එකිනෙකා කෙරෙහි උණුසුම් හා ගුණදායක අගය කිරීම සඳහා දායක වෙන්න යනවා. එය ප්‍රශංසනීය ඉලක්ක ලුහුබැඳීමට දිරි දෙනවා. යෞවනයන්ට ලැබීමට වටිනා ප්‍රශංසාව දීමෙන් ඔවුන්ව තවත් වෙහෙස මහන්සි වී වැඩ කිරීමට පොලඹවන්න ඉඩ තියෙනවා. ඔවුන්ගෙන් අපේක්ෂා කරන ප්‍රමිතීන්ට අනුව ජීවත් වෙන්න ඔවුන් ඉලක්ක කිරීමත් සමඟම එය ඔවුන්ගේ චරිතය අඹන්න උපකාර කරන්න ඉඩ තියෙනවා.
එහෙයින් අපි, දෙනු ලබන පැත්තේ සිටියත් ලබන පැත්තේ සිටියත්, චාටු බස් දෙඩීම මඟහරිමු. ප්‍රශංසාව පිළිගැනීමේදී අප නිහතමානි වෙමු. එමෙන්ම “කලට සුදුසු වචනය කොපමණ හොඳද” කියා මතක තබාගනිමින්, අපගේ නමස්කාරයේදී නිතිපතා යෙහෝවාටත්, ගුණදායක වර්ණනාව මෙන්ම අගය කිරීමේ ස්වරූපයක් හැටියට අව්‍යාජ ලෙස අන්‍යයන්ටත් ප්‍රශංසාව දීමේදී අපි නිර්ලෝභී මෙන්ම ප්‍රාණ-පූර්ණද වෙමු.—හිතෝපදේශ 15:23.