ප්‍රබල ක්‍රිස්තියානි උරුමයකට කෘතඥතාව
ග්වෙන් ගූච් පැවසූ පරිදි
‘ශ්‍රේෂ්ඨ යෙහෝවා තම මහිමයෙන් සිංහාසනාරූඪව හිඳියි’ යන වචන තියෙන ගීතිකාවක් පාසැලේදී මම ගැයුවා. ‘මේ යෙහෝවා කවුද’ කියලා මම හුඟක් වෙලාවට කල්පනා කළා.
මගේ ආච්චියි සීයයි දේවභය ඇති අයව සිටියා. මේ සියවසේ මුල් භාගයේදී, ඔවුන් බයිබල් ශිෂ්‍යයන් සමඟ ආශ්‍රය කළා; එවකට යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව හැඳින්නුවේ ඒ නමින්. මගේ තාත්තා සාර්ථක ව්‍යාපාරිකයෙක්ව සිටි නමුත් ඔහුට ලැබී තිබුණ ක්‍රිස්තියානි උරුමය ඔහුගේ දරුවන් තිදෙනාට ලබා දුන්නේ නැහැ.
තාත්තා මගේ සහෝදර, ඩග්ලස්ට, මගේ සහෝදරි, ඈන්ට හා මට ඔහුගේ වැඩ හා දෙවි කවුද? (ඉංග්‍රීසියෙන්) කියන පොත්පිංච දුන්නහමයි, සැබෑ දෙවිගේ නම යෙහෝවා බව මම දැනගත්තේ. (ගීතාවලිය 83:17) මට ලොකු සතුටක් ඇති වුණා! නමුත් තාත්තාගේ උනන්දුව යළි පුබුදුවා තිබුණේ කුමක්ද?
වර්ෂ 1938දී, ජාතීන් යුද්ධයට සැරසෙන බව දැක්කහම, ලෝක ගැටලු ඉවත් කිරීමට මිනිස් වෑයම්වලට වඩා වැඩි යමක් අවශ්‍ය බව තාත්තාට වැටහුණා. යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කළ සතුරෝ (ඉංග්‍රීසියෙන්) කියන පොත ආච්චි ඔහුට දුන්නා. මිනිස්වර්ගයාගේ සැබෑ සතුරා යක්ෂයා වන සාතන් බවත්, ලෝක සාමය ගෙනා හැක්කේ දේවරාජ්‍යයෙන් පමණක් බවත් ඔහු එය කියවීමෙන් දැනගත්තා.a—දානියෙල් 2:44, 45; 2 කොරින්ති 4:4.
යුද්ධය ළඟා වූ විට, අපේ පවුල උතුරු ලන්ඩන්, වුඩ් ග්‍රීන්හි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ රාජ්‍ය ශාලාවේ රැස්වීම්වලට සහභාගි වෙන්න පටන්ගත්තා. අපි 1939 ජූනිවලදී, වොච් ටවර් සමිතියේ එවකට සභාපතිව සිටි ජෝසෆ් එෆ්. රද’ෆ’ඩ් දුන්න “ආණ්ඩුව හා සාමය” නම් ප්‍රසිද්ධ අනුශාසනාව අහන්න, කිට්ටුව පිහිටි ඇලෙක්සැන්ඩ්රා පැලස් වෙත ගියා. නියූ යෝක් නගරයේ මැඩිසන් ස්කොයා ගාඩ්න්හි රද’ෆ’ඩ් දුන් කතාව ගුවන්විදුලියෙන් ලන්ඩන්වල හා වෙනත් ප්‍රධාන නගරවල ප්‍රචාරය කළා. අපිට කතාව කොයිතරම් පැහැදිලිව ඇහුණද කියනවා නම්, නියූ යෝක්හි කලහකාරි පිරිසක් බාධා ඇති කළ විට ඒක අපේ ශ්‍රවණාගාරයේද සිද්ධ වුණේ කියල බලන්න මම වටපිට බැලුවා!
බයිබල් සත්‍යය සඳහා තාත්තාගේ ජ්වලිතය
හැම සෙනසුරාදා සවසකම අපේ මුළු පවුලම බයිබල් පාඩමකට එකට හවුල් වෙන්න ඕනෙ කියලා තාත්තා තරයේ කියා සිටියා. අපේ පාඩම කේන්ද්‍රගත වී තිබුණේ ඊළඟ දවසේ සාකච්ඡාව සඳහා නියමිතව තිබූ මුරටැඹේ (ඉංග්‍රීසියෙන්) බයිබල් විෂය සම්බන්ධවයි. මේ පාඩම්වල තිබූ බලපෑම නිදර්ශනය කරමින්, 1939 මැයි 1 මුරටැඹේ (ඉංග්‍රීසියෙන්) සාකච්ඡා කළ යෝෂුවා සහ හායි නගරය වටලෑම ගැන වාර්තා අද දක්වා මගේ මනසේ තවමත් විචිත්රව ඇඳී තිබෙනවා. ඒ වාර්තාව මාව කොයිතරම් කුතුහලයට පත් කළාද කිව්වොත් මගේම බයිබලයෙන් මම ඒ සම්බන්ධ සියලුම යොමු සටහන් සෝදිසි කර බැලුවා. එවැනි පර්යේෂණ සිත් අලවන්නක් වුණා—තවමත් එසේමයි.
අප ඉගෙනගනිමින් සිටි දේ වෙනත් අය එක්ක හවුලේ බෙදාගැනීමෙන් බයිබල් ඉගැන්වීම් මගේ හෘදය තුළට කිඳා බැස්සා. දිනක් තාත්තා මට පටිගත කරන ලද බයිබල් දේශනයක් තිබුණ ශබ්දවාහිනියක්, බයිබල් පාඩමට අපි පාවිච්චි කළ පොත්පිංචයක් හා වයසක කාන්තාවකගේ ලිපිනයක් දුන්නා. ඉන්පසු ඔහු මට කිව්වා ඇයව ගොස් හමු වෙන්න කියලා.
“මම මොනවද කියන්න යන්නේ? මම මොනවද කරන්න ඕනෙ?” මම ඇහැව්වා.
“කරන්න ඕනෙ ඔක්කොම ඒකෙ තියෙනවා” තාත්තා පිළිතුරු දුන්නා. “පටිය ක්‍රියාත්මක කරන්න; ප්‍රශ්න කියවන්න; ගෙවැසියාට උත්තර කියවන්න දෙන්න; ඊට පස්සේ බයිබල් පද කියවන්න.”
ඔහු කිව්ව විදිහට මම කළා; මේ ආකාරයෙන් මම බයිබල් පාඩමක් පවත්වන්න ඉගෙනගත්තා. මගේ දේවසේවයේදී මේ විදිහට බයිබල් පද පාවිච්චි කිරීමෙන් මට ඒවා තවත් හොඳින් තේරුම්ගන්න පුළුවන් වුණා.
යුද්ධ සමයේ අභියෝගය
වර්ෂ 1939දී IIවන ලෝක යුද්ධය පටන්ගත් අතර, ඊළඟ අවුරුද්දේදී යෙහෝවාට සේවය කිරීම සඳහා මගේ කැපවීම සංකේතවත් කරමින් මම බව්තීස්ම වුණා. මට එතකොට 13ක් විතරයි. එවිට මම පුරෝගාමියක් වෙන්න තීරණය කළා; පූර්ණ-කාලීන දේවසේවකයන්ව ඒ කාලේ හැඳින්නුවේ ඒ ආකාරයටයි. මම 1941දී පාසැලෙන් අස් වෙලා, ලෙස්ට’හි සමුළුවේදී පූර්ණ-කාලීන දේශනා වැඩය සඳහා ඩග්ලස්ට හවුල් වුණා.
ඊළඟ වසරේදී, තාත්තා, ඔහුගේ හෘදය සාක්ෂියට එකඟව යුද්ධයට සහභාගි නොවීම නිසා ඔහුව සිරගත කළා. අපි දරුවෝ ටික ඒ අසීරු යුධ සමය තුළදී අපේ නිවසේ වැඩකටයුතු රැකබලා ගන්න අම්මට උදව් කළා. ඉන්පසු, තාත්තාව නිදහස් කර වැඩි කල් යන්න ඉස්සෙල්ලා ඩග්ලස්ව හමුදා සේවයට කැඳෙව්වා. දේශීය පුවත්පත් සිරස්තලයක මෙසේ කියැවුණා, “තාත්තා වගේ පුතාත් සිරභාරය තෝරාගත්තේ ඇයි?” හොඳ සාක්ෂියක් දැරීමට එය හේතු වුණා; සැබෑ ක්‍රිස්තියානීන් තම සෙසු මිනිසුන්ව මරන්න හවුල් නොවීමට හේතුව පැහැදිලි කරන්න ප්‍රස්තාවක් සපයනු ලැබුවා.—යොහන් 13:35; 1 යොහන් 3:10-12.
ඒ යුධ සමයේදී, පූර්ණ-කාලීන දේවසේවයේ යෙදී සිටි බොහෝ සාක්ෂිකරුවන් නිතර අපේ ගෙදරට ආ අමුත්තන් වුණ අතර, ඔවුන්ගේ බයිබලය මත පදනම් ගොඩනංවනසුලු සාකච්ඡාවන් දිගුකාලීන හොඳ හැඟීමක් ඉතිරි කළා. මේ ඇදහිලිවන්ත ක්‍රිස්තියානි සහෝදරයන් අතර දැන් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයේ සාමාජිකයන් වන ජෝන් බා සහ ඇල්බ’ට් ෂ්රෝඩත් හිටියා. මගේ දෙමාපියන් ඇත්තෙන්ම සංග්රාහශීලී අය වූ අතර අපටත් එසේ වීමට ඔවුන් ඉගැන්නුවා.—හෙබ්‍රෙව් 13:2.
පිළිතුරක් සැපයීමට සූදානම්ව
මම පුරෝගාමී සේවය පටන්ගෙන ටික කලකින් මට ගෙයින් ගෙට දේවසේවයේදී හිල්ඩව මුණගැසුණා. ඈ කේන්තියෙන් මෙහෙම කිව්වා: “මගේ මහත්තයා ඕගොල්ලො වගේ අය නිසා අරහේ යුද්ධ කරනවා! ඇයි ඕගොල්ලන්ට බැරි යුද්ධය වෙනුවෙන් යමක් කරන්න?”
“මම කරන දේ ගැන ඔයා කොයිතරම් දුරකටද දන්නේ?” මම ඇහැව්වා. “මම ඔයාව හම්බ වෙන්න ඇවිත් ඉන්නේ ඇයි කියලා ඔයා දන්නවාද?”
“හොඳයි, එහෙනම් ඇවිල්ලා කියමුකෝ බලන්න” කියා ඇය පිළිතුරු දුන්නා.
සිද්ධ කරන දරුණු දේවල්—බොහෝවිට දෙවිගේ නාමයෙන් කරන දේවල් නිසා දුක් විඳින අයට අපි සැබෑ බලාපොරොත්තුවක් සපයමින් සිටින බව පැහැදිලි කරන්න මට හැකි වුණා. අගය කිරීමෙන් යුතුව හිල්ඩා සවන් දුන් අතර ඇය මගේ මුල් ස්ථාවර බයිබල් ශිෂ්‍යයා බවට පත් වුණා. ඇය දැන් අවුරුදු 55කට වැඩි කාලයක් පුරා ක්‍රියාශීලී සාක්ෂිකාරියක්ව සිටිනවා.
යුද්ධයේ අවසානයේදී, මට නිරිතදිග එංගලන්තයේ නගරයක් වන ඩෝචස්ටහි නව පුරෝගාමී පැවරුමක් ලැබුණා. මම නිවසෙන් ඈතක ජීවත් වූ පළමු වතාව මෙයයි. අපේ කුඩා සභාව එක්රැස් වුණේ අවන්හලකයි; එය “පරණ තේ නිවස” ලෙස හැඳින්වූ 16වන සියවසේ ගොඩනැඟිල්ලක්. අපේ සෑම රැස්වීමකදීම අපට මේස හා පුටු නැවත සකස් කරන්න සිදු වුණා. මම පුරුදු වෙලා හිටිය රාජ්‍ය ශාලාවට වඩා ඒක ගොඩක් වෙනස්. කොහොමවුණත්, එකම ආත්මික ආහාරත්, ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන්ගේ ප්‍රේමනීය ඇසුරත් එහි පැවතුණා.
මගේ දෙමාපියන් මේ අතරතුර දකුණු ලන්ඩන්වල ටන්බ්‍රිජ් වේල්ස්හි පදිංචියට ගියා. තාත්තටයි, ඈන්ටයි, මටයි එකට පුරෝගාමී සේවයේ යෙදෙන්න පුළුවන් නිසා මම ආපහු ගෙදර ගියා. අපේ සභාව වැඩි කල් නොගොස් සාක්ෂිකරුවන් 12 සිට 70 දක්වා වර්ධනය වූ නිසා, රාජ්‍ය ප්‍රචාරකයන්ගේ අවශ්‍යතාව වැඩි ස්ථානයක් වූ දකුණු වෙරළ තීරයේ බ්රයිටන්වලට මාරු වෙන ලෙස අපේ පවුලෙන් ඉල්ලා සිටියා. අපේ පුරෝගාමී පවුල එක්ක බොහෝදෙනෙක් දේශනා සේවයෙහි ජ්වලිතව හවුල් වූ අතර යෙහෝවා අපේ වැඩයට මහඟු ලෙස ආශීර්වාද කරන බව අපි දැක්කා. එක සභාව වැඩි කල් යන්න ඉස්සෙල්ලා තුනක් වුණා!
බලාපොරොත්තු නොවූ ආරාධනයක්
වර්ෂ 1950 ගිම්හානයේදී, නියූ යෝක් නගරයේ යැංකි ක්‍රීඩාංගණයේ පැවැත්වූ, දිව්යාණ්ඩුවේ වර්ධනය ජාත්‍යන්තර එක්රැස්වීමට පැමිණි නියෝජිතයන් 850දෙනා අතර අපේ පවුලත් හිටියා. වෙනත් රටවලින් පැමිණෙන බොහෝ පුරෝගාමීන්ට නියූ යෝක්, සවුත් ලාංසින් කිට්ටුව පැවැත්වෙන ගිලියද්හි මුරටැඹ බයිබල් පාසැලට සහභාගි වීමට අයැදුම්පත් එවනු ලැබුවා. ඩග්ලස්, ඈන් හා මමත් ඔවුන් අතර සිටියා! මගේ අයැදුම්පත පුරවා තැපැල් පෙට්ටියට මම දැමූ අවස්ථාවේදී ‘දැන් මම ඇත්තෙන්ම දාලා ඉවරයි; මගේ ජීවිතය කොයි අතට හැරෙයිද’ කියලා මම සිතුවා මට මතකයි. ඒත් මගේ අධිෂ්ඨානය වුණේ මෙයයි: “මෙන්න මම මෙහිය; මා යැවුව මැනව.” (යෙසායා 6:8) සමුළුව අවසානයේදී 16වන ගිලියද් පංතියට සහභාගි වෙන්න ඩග්ලස් සහ ඈන් එක්ක මටත් නවතින්න කියා ආරාධනයක් ලැබුණහම මගේ සතුට පිරී ඉතිරී ගියා. ලෝකයේ ඕනෑම තැනකට අපව මිෂනාරිවරුන් හැටියට යැවිය හැකි බව අපි හොඳින් දැනගෙන හිටියා.
පවුලක් වශයෙන් එකට සමුළුව භුක්ති වින්දාට පස්සේ, අපේ දෙමාපියන්ට ආපහු තනියම එංගලන්තයට යන්න වෙලාව ආවා. මෝරිටේනි නැවෙන් ගෙවල් බලා ඔවුන් යද්දී අපි දරුවන් තිදෙනා ඔවුන්ගෙන් සමුගත්තා. ඒක මොනතරම් දුකක් දැනුණ වෙන්වීමක්ද!
මිෂනාරි පැවරුම්
ලෝකයේ සෑම කොටසකින්ම පැමිණි ශිෂ්‍යයන් 120කින් සෑදුණු 16වන ගිලියද් පංතියට නාට්සි වධක කඳවුරුවල දුක් වින්ද සමහරෙකුත් ඇතුළත්ව හිටියා. අපේ පංතියේ ස්පාඤ්ඤ භාෂාව ඉගැන්වූ නිසා, අපි හිතුවේ දකුණු අමෙරිකාවේ ස්පාඤ්ඤ-භාෂාව කතා කරන රටකට අපට පැවරුම් ලැබෙයි කියලයි. උපාධිය ලැබුණ දවසේදී අපව පුදුමයට පත් කරමින් ඩග්ලස්ට ජපානයටත්, ඈන්ටයි, මටයි සිරියාවටත් පැවරුම් ලැබී තිබුණා. ඒ නිසා ඈන්ටයි, මටයි අරාබි භාෂාව ඉගෙනගන්න සිද්ධ වුණ අතර, අපේ පැවරුම ලෙබනන්වලට මාරු කළ විටත් මෙය සැබෑවක්ව තිබුණා. අපේ වීසා එන තුරු බලා සිටින අතරතුරේදී, අරාබි මුරටැඹට අකුරු අමුණන්නා වූ ජෝර්ජ් ෂැකෂිරිගෙන් අපට සතියකට දෙවරක් අරාබි පාඩම් ලැබුණා.
පංතියේදී අපි ඉගෙනගෙන තිබූ බයිබල් දේශයකට යන්න ලැබීම මොනතරම් හැඟීම් දනවන්නක්ද! කීත් සහ ජොයිස් චූ, එඩ්නා ස්ටැක්හවුස්, ඔලිව් ට’න, ඩොරීන් වෝබ’ටන් හා ඩොරිස් වුඩ් අපි එක්ක එහෙට ගියා. අපි කොයිතරම් සන්තෝෂවත් මිෂනාරි පවුලක් වුණාද! ප්‍රාදේශීය සාක්ෂිකාරයෙක් අපේ මිෂනාරි නිවසට පැමිණ භාෂාව සම්බන්ධයෙන් තවදුරටත් අපට උපකාර කළා. අපට දිනපතා උපදෙස් ලැබුණු කාලයේදී, අපි කෙටි ඉදිරිපත් කිරීමක් සූදානම් කරගෙන, ඊට පස්සේ දේශනා වැඩයෙහි යෙදෙන විට අපි ඒක පාවිච්චි කළා.
අපි අපේ මුල් අවුරුදු කීපය ට්‍රිපොලිහි ගත කළ අතර, එහි හොඳින් ස්ථාපිත වූ සභාවක් තිබුණා. ජොයිස්, එඩ්නා, ඔලිව්, ඩොරීන්, ඩොරිස්, ඈන් හා මම, රැස්වීම්වලට මෙන්ම ප්‍රසිද්ධ දේශනා සේවයට හවුල් වෙන්න ප්‍රාදේශීය සාක්ෂිකරුවන්ගේ භාර්යාවන්ට හා දියණියන්ට උපකාර කළා. ඒ වන තෙක්, ප්‍රාදේශීය සිරිත් විරිත් අනුගමනය කරමින් සිටි අපේ ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන්, රැස්වීම්වලදී එකට ඉඳගත්තේ නැහැ; මේ ක්‍රිස්තියානි සහෝදරියන් ගෙයින් ගෙට දේශනා සේවයේ හවුල් වුණෙත් ඉතා කලාතුරකින්. අපේ ප්‍රසිද්ධ දේශනා වැඩයේදී භාෂාව සම්බන්ධයෙන් අපට ඔවුන්ගේ සහාය අවශ්‍ය වුණ අතර, මේ වැඩයෙහි ඔවුන්ටත් හවුල් වෙන්න කියා අපි දිරිගැන්නුවා.
ඈන්ටයි, මටයි ඊළඟට පැරණි සිදොන් නගරයෙහි කුඩා සාක්ෂිකාර කණ්ඩායමකට උපකාර කරන්න පැවරුම් ලැබුණා. ඊට පස්සේ වැඩි කල් යන්න පෙර, අපට අගනුවර වන බීරූට්වලට ආපහු යන්න කිව්වා. එහි අමෙරිකානු භාෂාව කතා කරන ප්‍රජාව අතරේ බයිබල් සත්‍යයේ බීජ වපුරා තිබුණ නිසා ඔවුන්ට උපකාර කිරීමට අපි ඒ භාෂාව ඉගෙනගත්තා.
පැවරුමේ වෙනස් වීම්
එංගලන්තයෙන් පිට වෙන්න කලින් මට විල්ෆ්රඩ් ගූච්ව මුණගැසී තිබුණා. ලන්ඩන් බෙතෙල්හි සේවය කර තිබූ ඔහු ජ්වලිත, සැලකිලිමත් සහෝදරයෙක්. පහළොස්වන ගිලියද් පංතියේ සාමාජිකයෙක් වූ විල්ෆ් 1950, යැංකි ක්‍රීඩාංගණයේ පැවැත්වූ සමුළුවේදී උපාධිය ලැබුවා. ඔහුගේ මිෂනාරි පැවරුම වුණේ නයිජීරියාවේ වොච් ටවර් සමිතියේ ශාඛා කාර්යාලයේ සේවය කිරීම වූ අතර අපි ටික කාලයක් ලියුම් හුවමාරු කළා. වර්ෂ 1955දී අපි දෙන්නම ලන්ඩන්හි “ජයග්‍රාහී රාජ්‍යය” සමුළුවට සහභාගි වුණා; ඊට ටික කලකට පසු අපි විවාහ ගිවිසගත්තා. ඊළඟ අවුරුද්දේ, ඝානාහිදී අපි විවාහ වූ අතර, නයිජීරියාවේ ලාගොස්හි විල්ෆ්ගේ මිෂනාරි පැවරුමට මම හවුල් වුණා.
මම ආවට පස්සේ ලෙබනනයේ සිටි ඈන්, යෙරුසලමේදී බයිබලය ඉගෙනගත් යහපත් ක්‍රිස්තියානි සහෝදරයෙක් එක්ක විවාහ වුණා. ඩග්ලස්, ඈන් හා මම ලෝකයේ වෙනස් තැන්වලදී විවාහ වුණ නිසා මගේ දෙමාපියන්ට අපේ විවාහවලට සහභාගි වෙන්න බැරි වුණා. ඒත්, අපි ඔක්කොම සතුටින් අපේ දෙවි යෙහෝවාට සේවය කරන බව දැනගැනීමෙන් ඔවුන් තෘප්තියක් ලැබුවා.
නයිජීරියාවේ වැඩ
ලාගොස්හි ශාඛා කාර්යාලයේදී, අපේ ශාඛා පවුලේ සාමාජිකයන් අටදෙනාගේ කාමර පිරිසිදු කිරීමටත්, එමෙන්ම ඔවුන්ගේ කෑම වේල් සූදානම් කිරීමට හා රෙදිපිළි සේදීමටත් මට පැවරුවා. ඒක හරියට මට ස්වාමිපුරුෂයෙක් විතරක් නෙවෙයි ක්ෂණික පවුලකුත් ලැබී තිබුණා වගෙයි!
විල්ෆ් සහ මම යොරුබා භාෂාවෙන් කෙටි බයිබල් ඉදිරිපත් කිරීම් ඉගෙනගත් අතර අපේ වෑයම්වලට අපට විපාක ලැබුණා. එවකට අපට මුණගැහුණ යෞවන ශිෂ්‍යයෙකුගේ පුතෙක් හා දියණියක් දැන් නයිජීරියාවේ සාමාජිකයන් 400ක් පමණ සිටින විශාල බෙතෙල් පවුලේ සේවය කරමින් ඉන්නවා.
වර්ෂ 1963දී, නියූ යෝක්, බෘක්ලින්හි විශේෂ උපදෙස් සහිත මාස දහයක පාඨමාලාවකට සහභාගි වීමට විල්ෆ්ට ආරාධනාවක් ලැබුණා. ඒක අවසන් කළ පසු, හිතුවේ නැති විදිහට ඔහුට නැවත එංගලන්තයට පැවරුමක් ලැබුණා. නයිජීරියාවේ හිටිය මට ලන්ඩන්වල හිටිය විල්ෆ්ව හමු වෙන්න යන්න කියා දැනුම් දෙන කොට තව ඉතිරිව තිබුණේ දවස් 14ක් පමණයි. නයිජීරියාව සන්තෝෂවත් පැවරුමක් වූ නිසා මම එහෙන් පිට වුණේ සතුටයි දුකයි දෙකම ඇතුවයි. වසර 14ක් පිටරට සේවය කළායින් පසු, එංගලන්තයේ ජීවිතයට නැවත සකස් වීමට කාලයක් ගියා. කෙසේවුවත්, නැවත වතාවක් අපේ මහලු දෙමාපියන්ට කිට්ටුවෙන් ඉන්න ලැබීම අපට සතුටක් වූ අතර, ඔවුන්ව බලාකියා ගැනීමට උපකාර කරන්න ලැබීමත් සතුටක්.
අපේ බලාපොරොත්තුවෙන් තෘප්තිමත් වී
විල්ෆ් කලාපීය අවේක්ෂකයා හැටියට 1980 සිට බොහෝ රටවලට ගමන් කළ විට, ඔහු එක්ක මටත් යෑමට ලැබීම වරප්‍රසාදයක්. නයිජීරියාවේ නැවත බැලීම්වලට යන්න මම විශේෂයෙන්ම ආශාවෙන් හිටියා. ඊට පස්සේ අපි ස්කැන්ඩිනේවියාවටත්, බටහිර ඉන්දීය කොදෙව්වලට හා ලෙබනන් ඇතුළු මැද පෙරදිග රටවලටත් ගියා. මතකයන් යළි අලුත් කරගැනීමත්, මම දැන සිටි නහඹරයන් ක්‍රිස්තියානි වැඩිමහල්ලන් හැටියට සේවය කරනවා දැකීමත් විශේෂ ප්‍රීතියක් වුණා.
හදිසියේම, මගේ දයාබර සැමියා 1992 වසන්තයේදී මියගියා. ඔහුට එවිට 69යි. ඒක හදිසියේම සිද්ධ වුණ නිසා ඒක විශේෂයෙන්ම අභාග්‍යවන්ත සිද්ධියක්. විවාහ වී වසර 35කට පස්සේ සකස් වෙන්න කාලයක් ගිහින් තිබෙනවා. නමුත් මට මගේ ලෝක ව්‍යාප්ත ක්‍රිස්තියානි පවුලෙන් බොහෝ උපකාරය හා ප්‍රේමය ලැබී තිබෙනවා. කල්පනා කර බලන්න මට සතුටුදායක අද්දැකීම් හුඟක් තිබිලා තියෙනවා.
මගේ දෙමාපියන් දෙදෙනාම ක්‍රිස්තියානි අඛණ්ඩතාවය සම්බන්ධයෙන් ඉතා කදිම ආදර්ශයක් තබා තිබෙනවා. අම්මා 1981දී මියගිය අතර තාත්තා 1986දී මියගියා. ඩග්ලස් සහ ඈන් විශ්වාසවන්තව දිගටම යෙහෝවාට සේවය කරනවා. ඩග්ලස් හා ඔහුගේ බිරිඳ කැම් නැවත ලන්ඩන්වල සිටින අතර, තාත්තාට සාත්තු කිරීමෙන් පසු ඔවුන් එහිම නැවතී සිටිනවා. ඈන් හා ඇගේ පවුල ඉන්නේ එක්සත් ජනපදයේ. අපේ දෙවි දෙන ලද බලාපොරොත්තුව හා උරුමය අපි සියලුදෙනාම බොහෝ සෙයින් අගය කරනවා. ජීවත් වන්නන්, තම නැවත නැඟුටුණු ප්‍රේමනීයයන් සමඟ යෙහෝවාගේ භූමික පවුලේ සාමාජිකයන් වශයෙන් සදහටම එකට සේවය කරන කාලය එළඹෙන තුරු අපි දිගටම “බලා සිටීමේ ආකල්පයක් පෙන්වමින්” සිටිනවා.—විලාප ගී 3:24, NW.
[පාදසටහන]
a මගේ පියා, අ’නස්ට් බීවගේ ජීවිත කතාව 1980 මාර්තු 15 මුරටැඹ (ඉංග්‍රීසියෙන්) සඟරාවේ පළ වුණා.
[23වන පිටුවේ පින්තූර]
ඉහළ වමෙන් පටන්ගෙන දකුණට:
ග්වෙන් වයස 13දී, එන්ෆීල්ඩ් රාජ්‍ය ශාලාවේදී බයිබල් පාඩමක් පවත්වන අයුරු දක්වමින්
වර්ෂ 1951දී ලෙබනන්, ට්‍රිපොලිහි මිෂනාරි පවුල
ග්වෙන් ඇගේ මියගිය සැමියා, විල්ෆ් සමඟ