මගේ පියාගේ විශ්වාසවන්ත ආදර්ශය
එය වර්ෂ 1947 ජූලි 6වෙනිදා විය, අපගේ පවුල එංගලන්තයේ ලන්ඩන්වල පැවති යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ දිස්ත්‍රික් සමුළුවකට යමින් සිටියා. බව්තීස්ම තටාකයේදී මට උපකාර කිරීමට මගේ පියා ඔහුගේ අත දුන් විට ඔහුගේ නෙත්වලට සතුටු කඳුළු ඉනුවා. මගේ පියා සහ මම ඒ අවස්ථාවේදී මැවුම්කරුවාණන් හා සර්වලෝක පරමාධිපතියාණන් වන යෙහෝවඃවහන්සේට අපගේ කැපවීම බව්තීස්මයෙන් සංකේතවත් කළා විතරයි. මෙම සන්තෝෂවත් අවස්ථාව සඳහා මගේ මව සහ සහෝදරයන් තිදෙනාද පැමිණ සිටියා.
කෙසේවුවත්, කනගාටුවට කරුණක් වූයේ ක්‍රිස්තියානි නමස්කාරය සම්බන්ධයෙන් අපගේ පවුලේ එකමුතුකම වැඩිකල් නොගොස් බිඳෙනු ඇති බවය. නමුත් මේ ගැන සහ මගේ පියාගේ ඇදහිලිවන්තකම ගැන මට බලපෑ අන්දම කීමට පෙර, ඔහුගේ බාල විය ගැන බිඳක් පැවසීමට මට ඉඩ දෙන්න.
පෙර-අපරදිග පසුබිම
මගේ පියා ලෙස්ටර්, උපත ලැබුවේ 1908 මාර්තු මාසයේදී හොංකොංවලදීයි. ඔහුගේ තාත්තා වරාය අධිකාරියේ සහායකයාව සිටියා. පියාගේ ළමා කාලයේදී, ඔහුගේ තාත්තා හොංකොං සහ අසළ පිහිටි දූපත්වල ක්‍රියාකාරකම් සෝදිසි කිරීමට බෝට්ටුවෙන් යන විට ඔහුව ගෙන යනවා. ඉන්පසු, පියාට වයස අටක්ව තිබියදී, ඔහුගේ තාත්තා මියගියා. පසුව ඔහුගේ මව නැවත විවාහ වුණ අතර පවුල ෂැංහයිවලට ගියා. වර්ෂ 1920දී ඔහුගේ මව ඔහුව සහ ඔහුගේ දහ-හැවිරිදි සහෝදරිය වන ෆිල්ව පාසල් යැවීම සඳහා එංගලන්තයට රැගෙන ගියා.
ඊළඟ වර්ෂවලදී පියා ගත කළේ එංගලන්ත සභාවේ මධ්‍යස්ථානය වන කැන්ටබරි ආසන දෙව්මැදුර අසළයි. එහි පල්ලියට යෑම ඔහුගේ ආගමික කටයුතුවල ආරම්භය වුණා. ෆිල් උතුරු ලන්ඩන්වල නේවාසික පාසලකට ගිය නමුත්, ඔවුන්ගේ පාසල් නිවාඩු දිනවල එකට ගත කළ නිසා, ඇය සහ මගේ පියා එම කාලයේදී ඉතා සමීප වුණා. වසර පහකට පසුව, 1925දී, පියා පාසල් අධ්‍යාපනය අවසන් කළ පසු, ඔහුගේ මව යළි එංගලන්තයට පැමිණ ඔහුව ව්‍යාපාරයක යෙදවීමට කටයුතු පිළියෙළ කළා. ඉන්පසු, ඊළඟ වසරේදී, ඇය ෆිල්ව කැටුව ආපසු ෂැංහායිවලට ගියා.
පියාගේ මව පිටත්ව යාමට පෙර, පියාගේ මීමුත්තා ලියූ පොතක පිටපතක් ඈ පියාට දුන්නා. එය “ද ලයිට් ඔෆ් ඒෂියා” යන මැයෙන් යුතු කාව්‍යමය කතන්දරයක් වුණා. ජීවිතය සඳහා ඇති සැබෑ හේතුව ගැන සිතීමට මෙය පියාට ඉඩ සැලසුවා. කැන්ටබරිවල ආසන දෙව්මැදුරේ ඓශ්වර්යය සහ ආගමික කටයුතුවල ශාන්තභාවය කෙරෙහි ඔහුගේ සිත ඇදී ගොස් තිබුණා, නමුත් ආත්මික උපදෙස්වල මඳකම ඔහුව හිස්බවකින් සිටීමට සලසා තිබුණා. එනිසා ඔහු මෙසේ කල්පනා කළා: ‘පෙරදිග ආගම් තුළ පිළිතුරු තිබෙනවාද?’ ඔහු ඒ ගැන සෝදිසි කර බැලීමට තීරණය කළා. ඊළඟ වසරවලදී, ඔහු බෞද්ධ ධර්මය, ෂින්ටෝ ධර්මය, හින්දු ධර්මය, කොන්ෆියුසියස් ධර්මය සහ ඉස්ලාම් ධර්මය ගැන සොයා බැලුවා. නමුත් ඔහුගේ ප්‍රශ්නවලට පිළිතුරු දීමට එකකටවත් හැකි වුණේ නැහැ.
පියා ජීවත් වූයේ ඔහු වැඩ කළ සමාගම මගින් මෙහෙයවනු ලැබූ ක්‍රීඩා සමාජයක නවාතැනෙයි. ඔහු ඔරු පැදීම, රගර් සහ වෙනත් ක්‍රීඩාවන් සෙල්ලම් කිරීමෙන් ප්‍රීතිමත් වුණා. ඔහු ක්‍රීඩා කෙරෙහි එවැනිම උනන්දුවක් දැක්වූ පියකරු එඩ්නාට ආදරය කිරීමට පටන් ගත්තා. ඔවුන් 1929දී විවාහ වූ අතර ඊළඟ වසර 10 තුළදී පුත්‍රයන් හතර දෙනෙකු ලැබුවා.
කම්පිත කරවන යුධ සමය
වර්ෂ 1930ස් ගණන්වලදී, IIවන ලෝක යුද්ධය සිදුවීමේ ලකුණු එකතු වෙන්නට පටන් ගත් නිසා, ලන්ඩන්වලින් ගම්බදට යෑමට පියා තීරණය කළා. අපි එහි ගියේ 1939 සැප්තැම්බර් මාසයේදී යුද්ධය පටන් ගැනීමට මාස කීපයකට පමණක් කලිනුයි.
යුද්ධය සඳහා බලෙන් හමුදාවට බඳවා ගන්නා බවට නිවේදනය කළ අතර, යුද්ධය දිගටම ඇදී යත්ම සුදුසුකම් ලැබීමට වයස් සීමාව ක්‍රමක්‍රමයෙන් වැඩි කළා. බලෙන් හමුදාවට බඳවා ගන්නා තෙක් බලා නොසිට, පියා රාජකීය ගුවන් හමුදාවේ සේවය සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ අතර 1941 මැයි මාසයේදී සේවයට කැඳෙවුවා. ගෙදර ඒමට ඔහුට නිවාඩු ගත හැකි වූයේ කලාතුරකින් වුවත්, සාමාන්‍ය පවුල් සබඳතාවන් යළි අලුත් කරගැනීමට හැකි වුණේ වසර හයකට පසුවයි. එවිට නහඹර වියට පා තබමින් සිටි වැඩිමහල් දරුවන් දෙදෙනා වන අප ඇතුඵව දරුවන් රැකබලා ගැනීම සම්පූර්ණයෙන්ම මවගේ කරපිට වැටුණා.
ආත්මික ප්රබෝධය
පියා ගුවන් හමුදාවෙන් නිදහස් වීමට වසර දෙකකට පෙර, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගෙන් දෙදෙනෙක් මව හමුවී, ඇය සමඟ බයිබල් පාඩමක් පටන් ගත්තා. මව තමා ඉගෙන ගන්නා දෙයින් කෙතරම් ප්‍රීතියක් ලබනවාදැයි කියා පියාට ලියා යැව්වා. ඔහු නිවාඩුවට පැමිණ සිටි වතාවක, ඇය ඔහුව පෞද්ගලික නිවසක පැවැත් වූ සභා බයිබල් පාඩමකට කැටුව ගියා.
පියා 1946 දෙසැම්බර් මාසයේදී හමුදාවෙන් නිදහස් වූ අතර මව සමඟ සාක්ෂිකාර ස්ත්‍රීන් දෙදෙනෙකු පැවැත් වූ බයිබල් සාකච්ඡාවලට සහභාගි වුණා. ඔවුන් ඔහුගේ උනන්දුව දැක, මුලසුනභාර අවේක්ෂක අර්නි බීවර්ට පියාව බැහැදැකීමට සැලැස්සුවා. පියා ඇසූ විරුද්ධ ප්‍රශ්න සියල්ලටම සහෝදර බීවර් එක සැඳෑවකදීම පිළිතුරු දුන්නා. ඊළඟ සති දෙකේදී, ඔහු සෑම දිනකම දුම්රියෙන් ලන්ඩන්වල වැඩට යන අතරතුරේදී, සහෝදර බීවර් ඔහුට දුන් පොත් තුන කියෙව්වා. සහෝදර බීවර් නැවත පැමිණි විට, පියා ඔහුට මෙසේ පවසමින් ආමන්ත්‍රණය කළා: “මම සොයමින් සිටි සත්‍යය මෙයයි! මම මොනවද කරන්න ඕනේ?”
එදා පටන් පියා බාල වියේ සිටි අපවද රැස්වීම්වලට කැටුව යාමට පටන් ගත්තා. කොහොම නමුත්, මව අප සමඟ සැමවිටම පැමිණියේ නැහැ. ඇගේ උනන්දුව අඩු වෙන්නට පටන් ගෙන තිබුණා. නමුත්, 1947 ජූලි මාසයේදී ලන්ඩන්වල සමුළුවට අපි සියලු දෙනාම ගියා, එහිදී පියා සහ මම බව්තීස්ම වුණා. ඉන්පසු, මව රැස්වීම්වලට පැමිණියේ ඉඳහිට පමණයි.
බව්තීස්මයෙන් ටික කලකට පසු, මගේ නැන්දා ෆිල් අපව බැහැදකින්න එංගලන්තයට ආවා, ඇය කැමැත්තෙන්ම බයිබල් සත්‍යය පිළිගෙන බව්තීස්ම වීම මගේ පියාට ඉමහත් ප්‍රීතියක් වුණා. ඇය නැවත ෂැංහායිවලට ගිය විට, ඊට ස්වල්ප කලකට පෙර එහි යවන ලද යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ මිෂනාරිවරු දෙදෙනෙක් වන ස්ටැන්ලි ජෝන්ස් සහ හැරල්ඩ් කිංව මුණ ගැසුණා. පසු කලක මෙම මිෂනාරිවරුන්ට පිළිවෙලින් වසර හතක හා පහක සිරදඬුවම් නියමකරනු ලැබුවේ කොමියුනිස්ට්වාදි ආණ්ඩු පාලනය යටතේදීයි. චීනයේ වැඩ කරමින් සිටි ෆිල්ගේ ස්වාමිපුරුෂයා විශ්‍රාම ලබන තෙක්ම ඔවුන් ඇයට ආත්මිකව උපකාර කළා. ඉන්පසු ඇය සහ ඇගේ ස්වාමිපුරුෂයා එංගලන්තයට පැමිණ, අපට කිට්ටු ස්ථානයක පදිංචි වුණා.
පවුලේ ඛේදනීය වෙන්වීමක්
මේ අතරතුරේදී, මව සහ පියා අතර අර්ථවත් අදහස් හුවමාරුව නොමැති වීමේ ගැටලුවක් ඇති වුණා. පියා සිය අලුත ලැබුණු ඇදහිල්ල පසුපස ලුහුබඳිමින් සිටිනවා දැක, පවුලේ ද්‍රව්‍යමය සුරක්ෂිතභාවයට තර්ජනයක් වේ යයි සිතූ බැවින්, ඇය ඔහුගේ ක්‍රිස්තියානි කටයුතුවලට විරුද්ධ වීමට පටන් ගත්තා. අන්තිමේදී, 1947 සැප්තැම්බර් මාසයේදී, ඔහු ක්‍රිස්තියානි ඇදහිල්ල අත්හැරිය යුතු බවටත්, එසේ නැත්නම් ඇය ඔහුව අත්හරින බවටත් තර්ජනය කරමින් ඔහුට අවසන් දැනුම්දීමක් දෙමින් විරුද්ධව නැගී සිටියා.
පියා ශුද්ධ ලියවිලිවලින් හේතු දක්වමින් බිය වීමට හේතුවක් නැතැයි පෙන්වීමෙන් මවගේ බිය ඉවත් කර දැමුවා යයි ඔහුට හැඟුණා. කෙසේවුවත්, තවදුරටත් අනතුරු ඇඟවීමක් නොකරම 1947 ඔක්තෝබර් මස 1දා, තීරණාත්මක දවසක් වුණා. එදින පියා වැඩ ඇරී ගෙදර පැමිණි විට, ඔහුට දකින්නට ලැබුණේ හිස් නිවසත්, අපේ ඇඳුම් පෙට්ටි සමඟ දොර පාමුල ඉඳ ගෙන සිටි මාවත් පමණයි. මගේ සහෝදරයන් තිදෙනා ඇතුළු අන් සියල්ලම රැගෙන මව යන්න ගියා. පියා සමඟ නැවතීමට මම තීරණය කළ බව මම ඔහුට කිව්වා. මව අඩුම තරමින් වචන කීපයක්වත් ලියා තියා ගියේ නැහැ.—මතෙව් 10:35-39.
පියා නවාතැනක් සොයා ගන්නතුරු අපට වයසක යුවළක් සමඟ නැවතීමට අර්නී බීවර් කටයුතු සැලසුම් කර දුන්නා. ඔවුන් අපට ඉතා කරුණාවන්ත වූ අතර 1 කොරින්ති 7:15හි ඇති ප්‍රේරිත පාවුල්ගේ මෙම වචනවලින් අපව සැනසුවා: “නොඇදහිලිකාර පක්ෂය අහක්ව යේනම් අහක්ව යේවා. මෙබඳු කාරණාවලදී සහෝදරයා හෝ සහෝදරී හෝ බැඳී නැත. නුමුත් දෙවියන්වහන්සේ විසින් අප කැඳවා තිබෙන්නේ සමාදානයෙහි පැවතීමටය.”
අවසානයේදී අපි අපගේ පවුලේ අය සමඟ කථා කර ඔවුන්ව බැහැදකින්න ගිය නමුත්, මව පිළිගන්න එකම විසඳුම අපේ ඇදහිල්ල පාවා දීම බව නොබෝ කලකින් අපට වැටහුණා. ඇදහිල්ල පාවා දීමෙන් අපට යෙහෝවඃවහන්සේගේ ආශීර්වාද නොලැබෙන බව අපි දැන සිටියා. එමනිසා මගේ සහෝදරයන්ව රැකබලා ගැනීමට මවට මුදල් සපයමින් පියා දිගටම බාහිර රැකියාවේ නියැලුණා. මම 1947දී පාසලෙන් අස් වූ පසු අර්ධ-කාලීන රැකියාවක් කරන්නට පටන් ගත් අතර 1948 ජනවාරි මාසයේදී, පූර්ණ-කාලීන දේව සේවකයෙකු වශයෙන් මාව පිළිගනු ලැබුවා.
අමතක නොවන බයිබල් සාකච්ඡාවක්
මට වයස 17ක්ව තිබියදී, දිනක් ක්ෂේත්‍ර සේවයේ යමින් සිටින අතර, ගොවි පොළක පැලක වෙසෙන මිනිසෙකු සමඟ මම කථා කළා. මම එහි යමින් සිටියදී, IIවන ලෝක යුද්ධ සමයේදී බ්‍රිතාන්‍යයේ නායකයාව සිටි වින්ස්ටන් චර්චිල් පැමිණියා. මගේ සංවාදයට බාධා වූ නමුත් චර්චිල් මහතා ද වොච්ටවර් සඟරාව දැක මගේ වැඩ සඳහා මට ප්‍රශංසා කළා.
දවස් කීපයකට පසු නැවත මා දේශනා සේවයේ යමින් සිටියදී මම ලොකු ගෙයක දොරේ සීනුව නාද කළා. නිවසේ ප්‍රධාන සේවකයා දොර ඇරියා, නිවසේ ප්‍රධානියාට කථා කරන්න වුවමනා යයි මා පැවසූ විට, ඒ තැනැත්තා කවුදැයි කියා මම දන්නවාද කියා ඔහු ඇසුවා. මම දැනගෙන සිටියේ නෑ. “මේක වින්ස්ටන් චර්චිල්ගේ නිවස, චාර්ට්වෙල්,” කියා ඔහු පැවසුවා. ඒ මොහොතේම, චර්චිල් මහතා පැමිණියා. අප කලින් මුණ ගැසුණු බව ඔහුට මතක තිබී, මට ඇතුළට එන්න යයි පැවසුවා. අප ටිකක් කථා කළ පසු ඔහු පොත් තුනක් ලබා ගෙන, නැවත එන්න කියා මට ආරාධනා කළා.
ඉන්පසු, උණුසුම් දවාලක, මම එහි නැවත ගිය විට, යළිත් මාව ඇතුළට කැඳෙව්වා. චර්චිල් මහතා මට ලෙමනේඩ් බීමකින් සංග්‍රහ කර, කෙටි පිළිගැනීමකින් පසු, මෙසේ පැවසුවා: “දෙවියන්වහන්සේගේ රාජ්‍යය ගැන ඔබ සිතන දේ පවසන්නට මම ඔබට පැය භාගයක් දෙන්නම්, නමුත් මම විශ්වාස කරන දේ ඔබට පවසන්නට ඔබ මට ඉඩ දෙන්න ඕනේ.” අප කළේ එයයි.
දෙවියන්වහන්සේගේ රාජ්‍යය පිහිටුවනු ඇත්තේ දේව-බියැති දේශපාලනඥයන් මගින් බවත්, මිනිසුන් සාමයෙන් ජීවත්වීමට ඉගෙන ගන්නා තුරු එය කවදාවත් පැමිණෙන්නේ නැති බවත් චර්චිල් මහතාට හැඟුණා. දෙවියන්වහන්සේගේ රාජ්‍යය සම්බන්ධයෙන් බයිබලයේ දෘෂ්ටිය සහ එය ගෙනෙනු ලබන ආශීර්වාද පැහැදිලි කිරීමට මට හැකි වුණා. චර්චිල් මහතා ඉතා හිතෛෂී කෙනෙකු වූ අතර අපගේ වැඩයට ගරු කරන බව පෙන්නුම් කළා.
අභාග්‍යයකට, ඔහුව නැවත කිසිදාක මුණ ගැසීමට මට ලැබුණේ නැහැ. එහෙත් මම ඒ වන විට නහඹරයෙකුව සිටියත්, මගේ පියාගෙන් මා ලබා තිබූ පුහුණුවෙන් සහ දිරිගැන්වීමෙන් එවන් ප්රමුඛ පෙළේ දේශපාලනඥයෙකුට හොඳ සාක්ෂියක් දීමට මට හැකි වීම ගැන මම කෘතඥපූර්වක වෙනවා.—ගීතාවලිය 119:46.
පුළුල් ලෙස කරන ලද දේව සේවයක්
වර්ෂ 1950දී, මව කැනඩාවට යන බවත්, ඇය මගේ බාලම සහෝදරයා වන ජෝන්ව රැගෙන යන බවත් අපට ලියා එව්වා. ඒ වන විට මගේ සහෝදරයන් වන පීටර් සහ ඩේවිඩ් තමන්වම නඩත්තු කරමින් සිටියා. එබැවින් (සේවකයන්ගේ ලැයිස්තුවේ සිය නම ඇතුළත්ව තිබූ යුද්ධ කාලය ඇතුළු) වසර 18ක් පියා සිය සමාගමේ සේවය කළායින් පසුව, තම ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී, ස්ථාවර පුරෝගාමි සේවය සඳහා අයැදුම් කළා. ඔහු නිව් යෝර්ක්වල යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ විශාල ජාත්‍යාන්තර සමුළුවකට සහභාගි වී නැවත පැමිණි පසු, 1950 අගෝස්තු මාසයේදී පූර්ණ-කාලීන දේව සේවය ඇරඹුවා. වසරකට ටිකක් වැඩි කලකට පසුව, 1951 නොවැම්බර් මාසයේදී, පියා සංචාරක අවේක්ෂකයෙකු වශයෙන් පත් කරනු ලැබූ අතර සභාවල සිටින්නන්ව දිරිගැන්වීමට සභාවලට යාමට පටන් ගත්තා. ඒ අතරතුරේදී, 1949 ඇරඹෙනවාත් සමඟම, එංගලන්තයේ ලන්ඩන්වල යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයේ සේවය කිරීමට මට ආරාධනයක් ලැබුණා.
ඉන්පසු තවත් මහඟු ආශීර්වාදයක් ලැබුණා—නිව් යෝර්ක්වල පැවැත්වෙන මිෂනාරි පාසලේ 20වන පංතියට සහභාගි වන මෙන් පියාට සහ මට ආරාධනයක් ලැබුණා. වර්ෂ 1952 සැප්තැම්බර් මාසයේදී පංතිය ඇරඹුණා, ඊළඟ පෙබරවාරියේදී අප උපාධි ලැබුවා. ඉන්පසු, පියාව සංචාරක අවේක්ෂකයෙකු වශයෙන් ඉන්ඩියෑනාවලට යැවූ අතරතුරේ, මම නිව් යෝර්ක්, බෘක්ලින්වල යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානයේ සේවය කළා.
ජූලි මාසයේදී නිව් යෝර්ක් නගරයේ පැවැත් වූ ජාත්‍යන්තර සමුළුවට සහභාගි වීමට අපට හැකි වන පිණිස 20වන පංතියේ සිටි අප සියල්ලන්ගේම මිෂනාරි පැවරුම්වලට යැවීම ප්‍රමාද කළා. මගේ පංතියේ ශිෂ්‍යයන්ගෙන් කෙනෙක් වන කේ විට්සන්ට ආලය කිරීමට මම පටන් ගත් අතර අප විවාහ වීමට තීරණය කළා. අපට මිචිගන්වල සංචාරක සේවය පවරා තිබූ අතර වසර දෙකකට පසුව, අපට උතුරු අයර්ලන්තයේ මිෂනාරි පැවරුමක් දෙනු ලැබුවා.
කෙසේවුවද, අප නැවෙන් ගමන් කිරීමට ආසන්නව තිබියදී, කේ ගැබ් ගෙන තිබූ බව ඇය දැනගත්තා. එනිසා අප වෙනත් පැවරුමක් ආරම්භ කළා, එනම් මගේ පියා මාව පුහුණු කර තිබූ ආකාරයටම, පුතෙකු සහ දියණියන් තුන් දෙනෙකුව සාර්ථක පූර්ණ-කාලීන දේව සේවකයන් වන පිණිස ඇතිදැඩි කිරීමයි. වර්ෂ 1953 නොවැම්බර් මාසයේදී, පියා අප්‍රිකාවට ගිය අතර, දකුණු රොඩේෂියාවේ (දැන් සිම්බාබ්වේ) සිය මිෂනාරි පැවරුම සඳහා 1954 ජනවාරි 4දා ඔහු පැමිණියා.
පියාට බොහෝ දේවල් ඉගෙන ගන්නට තිබුණා—එනම් අලුත් ජීවිත ක්‍රමයක්, අලුත් සිරිත් විරිත් සහ ඇදහිල්ල පිළිබඳ අලුත් පරීක්ෂාවන්ය. වර්ෂ 1954දී, දකුණු රොඩේෂියාව බටහිර ක්‍රමවලින් එතරම් බලපෑමක් ලබා තිබුණේ නැහැ. ශාඛා කාර්යාලයේ වසරක් සේවය කළායින් පසු, පියාව දිස්ත්‍රික් අවේක්ෂකයෙකු වශයෙන් සංචාරක සේවයේ යවනු ලැබුවා. නැවතත් 1956දී ශාඛා කාර්යාලයට ඔහුව කැඳවූ අතර 1991 ජූලි 5දා ඔහුගේ මරණය තෙක් එහි සේවය කළා. වර්ෂ 1954දී ශාඛා කාර්යාලයේ සේවයේ නියැලුණු අය 5දෙනාගේ සිට 40 දක්වාද, රාජ්‍යය ප්‍රචාරකයන්ගේ සංඛ්‍යාව 9,000 සිට 18,000කට වඩාද වැඩි වීම ඔහු දුටුවා.
පියාගේ සහ මවගේ අවසාන කාලය
පියා සහ මව කිසිදා දික්කසාද වුණේ නැහැ. එංගලන්තය හැර ගියායින් පසු, මව කලකට කැනඩාවේ නැවතී සිටි පසු ජෝන් සමඟ එක්සත් ජනපදයට ගියා. මගේ සහෝදරයන්ගෙන් එක්කෙනෙක්වත් සාක්ෂිකරුවන් බවට පත් වී නැහැ. කෙසේවුවත්, 1960 ගණන් මැද භාගයේදී සාක්ෂිකරුවන් මවව හමු වී තිබුණා. වර්ෂ 1966දී, ඇය කෙන්යාවේ මොම්බාසාවලට ගොස් එහිදී නැවත පාඩම් කරන්නට පටන් ගත්තා. නමුත් ඊළඟ වසරේදී ඇය මානසික හා චිත්ත වේගීය බිඳ වැටීමකට ගොදුරු වුණා.
මගේ සහෝදරයන් වන පීටර් සහ ඩේවිඩ් ඇයව එංගලන්තයට ගෙන යාමට කටයුතු පිළියෙළ කළ අතර එහිදී ඇය ප්‍රතිකාර ලබාගත්තා. ඇය සුවය ලබා සාක්ෂිකරුවන් සමඟ පාඩම් කිරීමට යළිත් පටන්ගත්තා. ඇය 1972දී ලන්ඩන්වල පැවැත්වෙන සමුළුවේදී බව්තීස්ම වීමට යන බව පැවසීමට ඇය පියාට ලියූ විට මගේ පියා කෙතරම් ප්‍රීතිමත් වන්න ඇත්දැයි කියා ඔබට සිතා ගත හැකියි. ඈ බව්තීස්ම වන අවස්ථාවේදී ඈ සමඟ සිටීම සඳහා මගේ භාර්යාව සහ මම එක්සත් ජනපදයෙන් ගුවනින් පිටත්ව ගියා.
ඊළඟ වසරේදී පියාහට නිවාඩුවක් ගත කිරීමට ලැබුණ අතර එංගලන්තයේ සිටියදී, මව සමඟ ගෙයින් ගෙට සේවයේ යෙදීමේ ප්‍රීතිය ඔහුට ලැබුණා. ඉන්පසු ඔහු අපව බැලීමට එක්සත් ජනපදයට ආවා. නැවත එක්වීම ගැන පියා සහ මව සාකච්ඡා කළ නමුත් ඇය ඔහුට මෙසේ පැවසුවා: “අපි සෑහෙන කලක් වෙන්ව සිටියා. එනිසා දැන් එය පහසු දෙයක් නොවෙයි. හැම දෙයක්ම හොඳ අතට හැරෙන නව ලෝකය එන තුරු අපි ඉඳිමු.” එබැවින් පියා නැවතත් ඔහුගේ පැවරුම වෙතට පිටත්ව ගියා. කෙන්යාවලදී මවට ඇති වූ අසනීපය නැවතත් සෑදී, අවසානයේදී ඇයට රෝහල් ගත වීමට සිදුවූ අතර එහිදී, ඇය 1985දී මියගියා.
වර්ෂ 1986දී, පියාට ඉතා අසනීප වූ බැවින් මගේ සහෝදර පීටර් සහ මම ඔහුව බැලීමට සිම්බාබ්වේවල ඔහුගේ නිවසට ගියා. මින් ඔහු මහත් දිරිගැන්වීමක් ලැබූ අතර, ඔහුගේ ජීවිතයට නව පණක් ලැබුණාක් මෙන් පෙනෙන්නට තිබුණා. මම ඔහුගේ පුතාවූ නිසා අප්‍රිකානු සහෝදරයන් මට අතිශයින් සැලකුවා! ඇත්තෙන්ම, පියා සමඟ කටයුතු කළ සියල්ලන්ගේ ජීවිතවලට පියාගේ ආදර්ශය ඒකාන්ත බලපෑමක් ඇති කර තිබුණා.
දැන් මමත් සිටින්නේ අසනීපයෙන්. වෛද්‍යවරු පවසන්නේ මට ජීවත්වීමට තිබෙන්නේ කෙටි කලක් පමණක් බවයි. ඉතා කලාතුරකින් සෑදෙන මාරාන්තික රෝගයක් වන ඇමිලොයිඩෝසිස් මට තිබෙන බව ඔවුන් පවසනවා. කෙසේවුවත්, මම මගේ ඇදහිලිවන්ත පියාගේ ආදර්ශය අනුගමනය කළා වගේම මගේ දරුවන් මගේ ආදර්ශය අනුගමනය කරමින් සිටීම මට සතුටක්. ඔවුන් සියලු දෙනාම තවමත් අප සමඟ පක්ෂපාතව යෙහෝවඃවහන්සේට සේවය කරමින් සිටිනවා. අප ඇදහිලිවන්තව අපගේ ප්‍රේමනීය ස්වර්ගික පියාණන්ගේ කැමැත්ත කර තිබෙන නිසා අප ජීවත් වුවත්, මැරුණත් අපට සදාකාලේටම උන්වහන්සේගේ ආශීර්වාද භුක්තිවිඳීමට තිබෙන ස්ථිර බලාපොරොත්තුව කෙතරම් සැනසීමක්ද! (හෙබ්‍රෙව් 6:10)—මයිකල් ඩේවි පැවසූ පරිදි.a g93 12/22
[පාදසටහන]
a මෙම වාර්තාව සම්පූර්ණ කෙරෙමින් තිබියදී, 1993 ජූනි 22දා, මයිකල් ඩේවි මරණය නමැති නින්දට පිවිසුණේය.
[14 පිටුවෙහි ඇති පින්තූරය]
වමේ: මගේ වැඩිමල් සහෝදරයා සහ මා සමඟ මගේ දෙමව්පියන්
[16 පිටුවෙහි ඇති පින්තූරය]
දෙවියන්වහන්සේගේ රාජ්‍යය ගැන සවිස්තර ලෙස වින්ස්ටන් චර්චිල්ට පැවසීමට මට හැකි වුණා
[හිමිකම් වඟන්තිය]
USAF photo
[17 පිටුවෙහි ඇති පින්තූරය]
මගේ පියා වන ලෙස්ටර්, ඔහුගේ මරණයට ටික කලකට පෙර
[18 පිටුවෙහි ඇති පින්තූරය]
මගේ භාර්යාව වන කේ සමඟ