ජීවිත කතාව
බොහෝ ජාතීන්ට ආලෝකය පැතිරෙවූ මිනිසෙක්
ජෝර්ජ් යංගේ කතාව රූත් යං නිකල්සන් පැවසූ පරිදි
“ඇයි අපේ දේශනා කූඩුවේ මෙතරම් නිශ්ශබ්දතාවයක්? . . . සත්‍යය කියා දැනගත් මේ කාරණා එළි නොකර ඉන්නවා නම් අපි මොන මිනිස්සුද? මනුෂ්‍යයන්ට දැනුම නොදී ඉන්න එපා. සත්‍යය නොසඟවා, ර්භීතව එළි කරන්න අපට ඉඩ දෙන්න.”
මෙම වචන, පවුල් පොතින් තම නම අයින් කරන ලෙස ඉල්ලමින් තාත්තා පල්ලියට යැවූ පිටු 33කින් යුත් ලිපියේ කොටසක්. මෙය සිදු වුණේ 1913දීයි. එදා සිට ඔහු බොහෝ ජාතීන්ට ආලෝකය පතුරුවන්නෙක් ලෙස අද්දැකීම්වලින් පිරුණු, රසවත් සේවයක් ආරම්භ කළා. (පිලිප්පි 2:15) මම පුංචි කාලේ ඉඳන්ම තාත්තාගේ අද්දැකීම් ගැන නෑදෑයන්ගෙන් දැනගත්තා. ඒ වගේම ඉස්සර තාත්තා පාවිච්චි කරපු දේවල්වලිනුත් මගේ මිතුරන්ගේ උපකාරයත් ඇතුව ඔහුගේ ජීවිතයේ රස මුසු තැන් ගැන දැනගන්න පුළුවන් වුණා. ගොඩක් පැතිවලින් මගේ තාත්තගේ ජීවිතයත් හරියට ප්‍රේරිත පාවුල්ගේ ජීවිතය වගෙයි. ඒ කියන්නේ තාත්තාත් “ජාතීන්ට ප්‍රේරිතයෙක්” වගේ යෙහෝවාගේ පණිවුඩය ඕනෑම රටක හෝ දිවයිනක ඉන්න මනුෂ්‍යයන් එක්ක බෙදාගන්න ඕනෑම වෙලාවක ලෑස්ති වෙලා හිටියා. (රෝම 11:13; ගීතාවලිය 107:1-3) මම කැමතියි ඔයාලට මගේ තාත්තා, ජෝර්ජ් යං ගැන කියන්න.
තාත්තාගේ ජීවිතයේ මුල් අවුරුදු
ප්‍රෙස්බිටේරියන් ආගම ඇදහූ ස්කොට්ලන්ත ජාතික ජෝන් සහ මාග්‍රට් යංගේ බාලම පුතා තමයි මගේ තාත්තා. ඔහු ඉපදුණේ 1886 සැප්තැම්බර් 8වනදා ඔහුගේ දෙමාපියන් ස්කොට්ලන්තයේ එඩින්බරෝ සිට බටහිර කැනඩාවේ බ්‍රිතාන්‍ය කොලම්බියාවේ පදිංචියට ගිය විගසමයි. ඊට අවුරුදු කීපයකට කලින් ඔහුගේ වැඩිමහල් සහෝදරයන් තුන්දෙනා වන ඇලෙක්සැන්ඩර්, ජෝන් සහ මැල්කම් ස්කොට්ලන්තයේදී ඉපදුණා. එම පවුලේ බාල සහෝදරිය වූ මැරියන්ට හුරතලේට කිව්වෙ නෙලි කියලා. එයා තාත්තාට වඩා අවුරුදු දෙකක් බාලයි.
බ්‍රිතාන්‍ය කොලම්බියාවේ, වික්ටෝරියාවට නුදුරු ගමක් වන සැනිච්හි ගොවිපොළක දරුවන් හැදී වැඩුණා. ඔවුන් කෙළි දෙළෙන් කාලය ගත කළත් පවුලේ වගකීම් ඉටු කරන්නත් ඔවුන් ඉගෙනගත්තා. දෙමාපියන් යම් අවශ්‍යතා සඳහා වික්ටෝරියාවට ගොස් ආපසු එනවිට ගොවිපොළේ වැඩත් අවසන් කර නිවස පවා පිළිවෙළකට තියාගත්තා.
පසුව, මගේ තාත්තා සහ ඔහුගේ සහෝදරයෝ පතල් සහ දැව කර්මාන්තයට යොමු වුණා. මෙම තරුණ සහෝදරයෝ හොඳ දැව ඇති ඉඩම් තේරීමටත්, ලී මිල දී ගැනීම සහ විකිණීම සම්බන්ධයෙනුත් හොඳ නමක් දිනාගත්තා. මුදල් ගනු දෙනු භාර දී තිබුණේ තාත්තාටයි.
අවසානයේදී, ආත්මික දේවල් ගැන තාත්තාට තිබුණ ආශාව නිසාම ප්‍රෙස්බිටේරියන් දේවගැතියෙක් වෙන්න තීරණය කළා. කොහොමහරි ඒ කාලය වෙනකොට වොච් ටවර් සමිතියේ පළමුවෙනි සභාපති චාල්ස් ටේස් රසල් පුවත්පත්වල පළ කර තිබුණ දේශන ඔහුගේ ජීවිතයට සෑහෙන බලපෑමක් ඇති කළා. තාත්තා ඉගෙනගත් දේ තමයි ඔහුව පෙලඹුවේ මුලින් සඳහන් කළ අස්වීමේ ලිපිය ලියන්න.
ආත්මය අමරණීය බවටත්, මනුෂ්‍යයන්ගේ ආත්ම සදාකාලයටම නිරයක වද විඳීම දෙවිගේ කැමැත්ත වන බවටත් පල්ලියේ උගන්වන දේ වැරදියි කියලා තාත්තා බයිබල් පද යොදාගෙන කාරුණිකව, ඒ වගේම පැහැදිලිව ඔප්පු කළා. ඒ විතරක් නෙවෙයි ත්‍රිත්ව ඉගැන්වීමට ක්‍රිස්තියානි නොවන ආරම්භයක් ඇති බවත්, එයට කිසිම ශුද්ධ ලියවිලිමය පදනමක් නැති බවත් ඔහු හෙළි කළා. එදා සිට ඔහු යේසුස් ක්‍රිස්තුස්ව අනුගමනය කරමින් ක්‍රිස්තියානි දේවසේවය ආරම්භ කළා. යෙහෝවාගේ ගෞරවය වෙනුවෙන් ඔහු සතුව තිබූ හැකියාවන් සහ ශක්තිය ඉතාමත් යටහත් ලෙස යෙදෙව්වා.
වර්ෂ 1917දී ඔහු වොච් ටවර් සමිතියේ අධීක්ෂණය යටතේ සංචාරක සේවකයෙක් හැටියට සේවය ආරම්භ කළා. කැනඩාවේ ගම්වලත් නගරවලත් දේශන පැවැත්තුවා. චලන රූප සහ බොහෝදෙනෙක් “මැවීම පිළිබඳ ඡායාරූප නාට්‍යය” ලෙස දන්න ස්ලයිඩ් වැඩසටහන් ආදිය පෙන්නුවා. තාත්තා ගිය ගිය තැන රංග ශාලාවන් පිරී ගියා. ඔහුගේ ගමන් පිළිබඳ කාලසටහන් 1921 වන තුරුම මුරටැඹ සඟරාවල පළ වුණා.
එවැන්ජලිස්ත යං 2,500කට පමණ කතා කළ අතර ශාලාව පිරී තිබුණු නිසා බොහෝදෙනෙකුට ඇතුල් වීමට නොහැකි වුණා කියා විනිපෙග්හි ප්රවෘත්ති පත්‍රයක් වාර්තා කළා. ඔටාවාවලදී ඔහු “නිරයට ගමනක්” යන මාතෘකාව යටතේ කතාවක් දුන්නා. ඒ ගැන මහලු මිනිසෙක් මෙසේ වාර්තා කළා. “කතාව අවසන් වුණාට පස්සේ ජෝර්ජ් යං ඉදිරිපෙළ අසුන් ගෙන සිටි පූජකයන්ට මාතෘකාව ගැන සාකච්ඡා කරන්න වේදිකාවට ආරාධනා කළා, එක්කෙනෙක්වත් හෙලවුණේ නෑ. එදාම මට වැටහුණා මම සත්‍යය සොයාගත්තා කියලා.”
තාත්තා නිතරම එයා ගිය සංචාරක ගමන්වලට පුළුවන් තරම් ආත්මික ක්‍රියාකාරකම් ඇතුළත් කිරීමට උත්සාහ කළා. එකකින් පස්සේ තව තැනක වැඩසටහනකට යන්න කෝච්චිය අල්ලන්න දුවනවා. එයාගෙම කාර් එකේ යන කොටත් උදේ කෑමට කලින් ඊළඟ පැවරුමට පිටත් වෙලා යනවා. තාත්තා ජ්වලිතකම සම්බන්ධයෙන් විතරක් නෙවෙයි ක්‍රිස්තියානි ක්‍රියාකාරකම් හා ත්‍යාගශීලීකම සම්බන්ධයෙනුත් හොඳ නමක් දිනාගෙන තිබුණා.
ඔහු සහභාගි වූ බොහෝ එක් රැස්වීම්වලින් අමතක නොවන රැස්වීම පැවැත්වුණේ 1918දී ඇල්බටා එඩ්මන්ටන්වලයි. ඔවුන්ගේ නංගිගේ බව්තීස්මය බලන්න පවුලේ හැමෝම ඇවිත් හිටියා. ඒ වගේම ඒ අවස්ථාව තමයි සහෝදරයෝ ඔක්කොම එකට මුණගැහුණ අන්තිම වතාව. අවුරුදු දෙකකට පස්සේ මැල්කම් නිව්මෝනියාව හැදිලා මැරුණා. ඔහුගේ අනෙක් සහෝදරයන් තුන්දෙනා සහ ඔවුන්ගේ පියාට වගේම මැල්කම්ටත් තිබුණේ ස්වර්ගික බලාපොරොත්තුවක්. ඔවුන්ගේ පවුලේ සෑම කෙනෙක්ම මරණය දක්වාම දෙවිට විශ්වාසවන්තව සිටියා.—පිලිප්පි 3:14.
විදේශීය රටවලට පිටත්ව යෑම
කැනඩාව පුරා කළ දේශනා සංචාරය 1921දී අවසන් කළ පසු වොච් ටවර් සමිතියේ සභාපති ජෝසෆ් එෆ්. රදෆ’ඩ් ඔහුට කැරිබියන් දූපත්වලට පැවරුමක් දුන්නා. සෑම තැනකදීම තාත්තා “මැවීම පිළිබඳ ඡායාරූප නාට්‍යය” පෙන්නුවා. ඒ වගේම එයට හොඳ ප්‍රතිචාරයකුත් ලැබුණා. ට්රිනිඩෑඩ්වල සිට ඔහු මෙසේ ලිව්වා. “ශාලාව පිරුණ නිසා විශාල පිරිසක් ආපසු හැරිලා ගියා. දෙවෙනි දවසෙත් ඇඟිල්ලක් ගහන්න බැරි වෙන තරමට මුළු ගොඩනැඟිල්ලම මිනිසුන්ගෙන් පිරුණා.”
ඊට පස්සේ, 1923දී තාත්තාට බ්‍රසීලයට පැවරුමක් ලැබුණා. එහිදී නරඹන්නන් විශාල පිරිසකට, පරිවර්තකයන් මගින් කතා කළා. එක්දාස් නවසිය විසිතුනේ දෙසැම්බර් 15 මුරටැඹ කලාපයේ මෙසේ වාර්තා වුණා. “සහෝදර යං විසින් ජූනි 1වනදා සිට සැප්තැම්බර් 30වනදා දක්වා ප්‍රසිද්ධ කථා 21ක් පැවැත්වූ අතර සහභාගි වුණ සංඛ්‍යාව 3,600කි. සභා රැස්වීම් 48ක් පැවැත්වූ අතර සහභාගි වූ සංඛ්‍යාව 1,100කි. පෘතුගීසි භාෂාවෙන් නොමිලේ බෙදාහැරිය පොත් පත් සංඛ්‍යාව 5,000කි.” “දැන් ජීවත් වන මිලියන ගණන් අය කිසිදා මිය නොයනු ඇත” යන මාතෘකාව යටතේ තාත්තා දීපු කතාවට බොහෝදෙනෙක් හොඳ ප්‍රතිචාරයක් දැක්වූවා.
වර්ෂ 1997 මාර්තු 8වනදා, බ්‍රසීලයේ නව ගොඩනැඟිලි කැප කළ අවස්ථාවේදී, කැප කිරීමේ විස්තර අඩංගු විවරණිකාවේ මෙසේ සඳහන් වුණා. “1923: ජෝර්ජ් යං බ්‍රසීලයට පැමිණ, රියෝ ද ජනේරෝ නගර කේන්ද්‍රයෙහි ශාඛා කාර්යාලයක් ගොඩනැඟීමට සංවිධානය කරයි.” බයිබල් ප්‍රකාශන ස්පාඤ්ඤ භාෂාවෙන් ලබාගැනීමට හැකි වුණත් බ්‍රසීලයේ ප්‍රධාන භාෂාව වන පෘතුගීසි භාෂාවෙන් පොත් පත් තිබීමේ අවශ්‍යතාව පෙනෙන්න තිබුණා. මේ නිසා, 1923 ඔක්තෝබර් 1වනදා සිට මුරටැඹ පෘතුගීසි භාෂාවෙන් ප්‍රකාශයට පත් කළා.
බ්‍රසීලයේදී තාත්තාට අමතක නොවන අද්දැකීම් ගොඩක් ලැබුණා. එක අද්දැකීමක් රැස්වීම් පවත්වන්න තම නිවස දුන් ධනවත් පෘතුගීසි ජාතිකයෙක් වූ ජෙසින්තෝ පිමන්ටල් කබ්රාල් හා සම්බන්ධවයි. ඔහු ඉක්මනින්ම බයිබල් සත්‍යය පිළිගෙන පසුව බෙතෙල් පවුලේ සාමාජිකයෙක් වුණා. තව කෙනෙක් තමයි මැනුවෙල් ද සිල්වා ජොර්ඩාඔ නමැති පෘතුගීසි ජාතික තරුණ උයන් පාලකයා. ඔහු තාත්තාගේ ප්‍රසිද්ධ කථාවක් ඇසීමෙන් පසු ඇති වුණ පෙලඹීම නිසා පෘතුගාලයට ගිහිල්ලා පූර්ණ කාලීන සේවකයෙක් ලෙස සේවය කළා.
තාත්තා බ්‍රසීලය පුරාම වගේ දුම්රියෙන් ගමන් කර තිබෙනවා. ඒ වගේම උනන්දුව දක්වන අයව සොයාගන්නත් ඔහුට පුළුවන් වුණා. ඔහුගේ එක් ගමනකදී බෝනී සහ කාටාරීනා ග්‍රීන්ව මුණගැසුණ අතර ඔහු සති දෙකක් නැවතී සිට ඔවුන්ට ශුද්ධ ලියවිලි පැහැදිලි කර දුන්නා. එම පවුලේ හත්දෙනෙක් විතර බව්තීස්මය තුළින් යෙහෝවාට වූ තම කැපවීම සංකේතවත් කළා.
එක්දහස් නවසිය විසිතුනේදී තාත්තාට හමු වූ තවත් කෙනෙක් තමයි සේරා බෙලෝනා ෆර්ගසන්. ඇය 1867දී කුඩා දැරියක්ව සිටි කාලයේ, ඇයගේ සහෝදරයා වූ එරැස්මස් ෆුල්ටන් ස්මිත් සහ පවුලේ ඉතිරි අය සමඟ අමෙරිකාවේ සිට බ්‍රසීලයට පැමිණ පදිංචි වී තිබෙනවා. ඇය 1899 සිට මුරටැඹ සඟරා නොකඩවාම තැපෑලෙන් ලබාගෙන තිබූ අතර තාත්තාගේ පැමිණීමත් කාලයක් පුරා බලා සිටියා. සේරාත්, දරුවන් හතරදෙනාත් ආන්ටි සැලි කියල හඳුන්වපු ඔවුන්ගේ නෑදෑයෙකුත් 1924 මාර්තු 11වනදා බව්තීස්ම වුණා.
තාත්තා දකුණු අමෙරිකාවේ වෙනත් රටවල්වලත් දේශනා කරන්න පටන්ගත්තා. වර්ෂ 1924 නොවැම්බර් 8වනදා පේරු සිට ඔහු මෙසේ ලියා එව්වා. “ලිමා සහ කාලොවල පත්‍රිකා 17,000ක් බෙදාහැර ඉවර වුණා විතරයි.” ඊට පස්සේ බොලිවියාවට ගියා එහි පත්‍රිකා බෙදාහරින්න. ඒ ගිය ගමන ගැන මෙසේ ලිව්වා. “අපේ පියා අප දරන වෑයමට ආශීර්වාද කරනවා. ඒ වගේම ඉන්දියානුවෙකුත් මට උපකාර කළා. ඔහුගේ ගෙය ඇමසන් ගඟ පටන්ගන්න තැනයි පිහිටා තිබුණේ. ඔහු පත්‍රිකා 1,000ක් සහ පොත් පත් කීපයකුත් රැගෙන ගියා.”
තාත්තා දරපු වෑයම් නිසා මධ්‍යම සහ දකුණු අමෙරිකානු රටවල් බොහෝමයක බයිබල් සත්‍යයේ බීජ පැතිරුණා. වර්ෂ 1924 දෙසැම්බර් 1වනදා මුරටැඹ සඟරාව මෙසේ වාර්තා කළා. “අවුරුදු දෙකක කාලයක් සඳහා ජෝර්ජ් යං දකුණු අමෙරිකාවට පැමිණ තිබෙනවා. . . . මැගලන් සමුද්‍ර සන්ධියේ පුන්ට එරිනා දක්වා සත්‍යයේ පණිවුඩය ගෙන යෑමේ ප්‍රස්තාව මෙම ආදරණීය සහෝදරයාගේ වරප්‍රසාදය වී තිබෙනවා.” තාත්තා කොස්ටා රිකා, පැනමා සහ වෙනිසුවෙලා වැනි රටවලත් මූලිකත්වය ගෙන දේශනා කිරීමේ කාර්යය ඉටු කළා. මැලේරියාව නිසා ඔහුගේ සෞඛ්‍ය තත්වයට බලපෑම් ඇති වුණත් ඔහු දේශනා සේවය දිගටම කරගෙන ගියා.
ඊළඟට යුරෝපය බලා
වර්ෂ 1925 මාර්තු මාසයේදී තාත්තා යුරෝපයට යන්න නැව් නැග්ගා. බයිබල් පත්‍රිකා 3,00,000ක් ස්පාඤ්ඤයේදීත්, පෘතුගාලයේදීත් බෙදාහැරීමට සහ සහෝදර රදෆ’ඩ්ට ප්‍රසිද්ධ කථා පැවැත්වීම සඳහා කටයුතු සූදානම් කිරීමට ඔහු බලාපොරොත්තු වුණා. තාත්තා ස්පාඤ්ඤයට පැමිණි පසු, එහි තිබූ ආගමික විරුද්ධවාදිකම් නිසා, කතාවක් දීමට සහෝදර රදෆ’ඩ් ආවොත් ඇති විය හැකි භයානක තත්වය ගැන ඔහුට යම් අදහස් ලියා යැව්වා.
එයට පිළිතුරු වශයෙන් සහෝදර රදෆ’ඩ් යෙසායා 51:16 මෙසේ උපුටා දැක්වූවා. “මා විසින් අහස පිහිටුවීමටත්, පොළොවේ පදනම් තැබීමටත්: නුඹ මාගේ සෙනගයයි සියොන්ට කීමටත්, මාගේ වචනය නුඹේ මුඛයෙහි තබා, මාගේ අතේ සෙවණෙහි නුඹ සැඟෙවුවෙමි.” එයින් පසුව තාත්තා මෙසේ තීරණය කළා. “මම දේවල් සැලසුම් කිරීම ස්වාමීන්ගේ කැමැත්ත බව නම් ස්ථිරයි. ඒකෙන් ලැබෙන ප්‍රතිඵල මම ස්වාමීන්ටම භාර දෙනවා.”
වර්ෂ 1925 මැයි 10වනදා සහෝදර රදෆ’ඩ් බාසිලෝනාවේ නොවෙඩාඩස් රංග ශාලාවේදී තම දේශනය පරිවර්තකයෙක් මාර්ගයෙන් ඉදිරිපත් කළා. එයට 2,000කට වැඩි පිරිසක් සහභාගි වූ අතර, ආණ්ඩුවේ නිලධාරියෙක් සහ විශේෂ ආරක්ෂකයෙක් වේදිකාවේ සිටියා. මෙම දෙයම මැඩ්රිඩ්වලත් සිදු වුණා. එහි පැවැත්වූ දේශනයටත් 1,200ක් සහභාගි වුණා. මෙම කතාවන් නිසා උනන්දුව පිබිදුණ අතර “ජෝර්ජ් යංගේ මඟ පෙන්වීම යටතේ” ස්පාඤ්ඤයේ ශාඛා කාර්යාලයක් පිහිටුවීමටත් එය මඟ පෑදුවා කියා 1978 යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොතේ (ඉංග්‍රීසියෙන්) සඳහන් වුණා.
වර්ෂ 1925 මැයි 13වනදා, සහෝදර රදෆ’ඩ් පෘතුගාලයේ ලිස්බන්වල කතාවක් පැවැත්වුවා. එහිදී පූජකයන් පුටු කඩා දමා ඝෝෂා කරමින් රැස්වීමට බාධා කරන්න උත්සාහ දැරුවත් ඔහු සාර්ථක ප්‍රතිඵල ලැබුවා. ස්පාඤ්ඤයේ සහ පෘතුගාලයේ සහෝදර රදෆ’ඩ්ගේ දේශනවලින් පස්සේ තාත්තා “ඡායාරූප නාට්‍යය” පෙන්නූ අතර, බයිබල් පොත් පත් මුද්‍රණය කර එම ස්ථානවල බෙදාහරිමින් දිගටම වැඩ කරගෙන ගියා. වර්ෂ 1927දී ශුභාරංචිය “අස්සක් මුල්ලක් නෑර මුළු ස්පාඤ්ඤය පුරාම පතුරුවා අවසානයි” කියා ඔහු වාර්තා කළා.
සෝවියට් දේශයේ දේශනා කිරීම
තාත්තාගේ ඊළඟ මිෂනාරි පැවරුම වන සෝවියට් දේශයට 1928 අගෝස්තු 28වනදා ඔහු පැමිණියා. වර්ෂ 1928 ඔක්තෝබර් 10වන දින ඔහු ලියූ ලිපියේ කොටසක මෙසේ සඳහන් වුණා.
“රුසියාවට ආපු දා ඉඳලා ‘ඔබගේ රාජ්‍යය ඒවා’ කියා මට මගේ මුළු හෘදයෙන්ම යාච්ඤා කරන්න පුළුවන්. මම භාෂාව ඉගෙනගන්නවා. එහෙත් හරි හෙමින්. මගේ භාෂා පරිවර්තකයා දාහකින් හොයාගන්න බැරි මනුස්සයෙක්. ඔහු යුදෙව් කෙනෙක්, එහෙත් ක්‍රිස්තුස්ව විශ්වාස කරනවා. ඒ වගේම බයිබලයටත් ආදරෙයි. ඒ විතරක් නෙවෙයි, මට ක්ෂේත්රයේදී හොඳ අද්දැකීමුත් ලැබුණා. ඒත් මට කොච්චර කල් ඉන්න අවසර දෙයිද දන්නේ නැහැ. ගිය සතියේ පැය 24ක් ඇතුළත රටින් පිට වෙන්න කියලා නිවේදනයක් ලැබුණත් කොහොම හරි ප්රශ්නය විසඳගත්ත නිසා තව ටිකක් කල් ඉන්න පුළුවන්.”
අදදින යුක්රේන්වල විශාල නගරයක් වී ඇති කාකෝෆ්හි සිටි උනන්දුවක් දැක්වූ අය සමඟ තාත්තා සාකච්ඡාවන් පැවැත්වූ අතර ඇති වුණ උණුසුම් සංවාදවලට පස්සේ කොච්චර ඔවුන් සතුටු වුණාද කියනවා නම් ඔවුන්ට ඇඬුණා. සෑම රාත්‍රියකම පුංචි සමුළුවක් පටන්ගෙන ඒක මධ්‍යම රාත්‍රිය දක්වාම පැවැත්වුණා. සහෝදරයන් සමඟ පැවැත්වූ මෙම රැස්වීම් ගැන පස්සේ තාත්තා මෙසේ ලියා එව්වා. “සහෝදරයෝ අසරණයි. නිලධාරීන් ඒගොල්ලන්ගේ පොත් ටිකත් උදුරගෙන අකාරුණික විදියට සැලකුවත් ඔවුන් සන්තෝෂයෙන් ඉන්නවා.”
වර්ෂ 1997 ජූනි 21වන දින, රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග්වල නව ශාඛා කාර්යාලය කැප කළ අවස්ථාවේදී එහි පැමිණි අයට ලබා දුන් විශේෂ විවරණිකාවේ, තාත්තා සෝවියට් දේශයේ සිදු කළ සේවය ගැනත් සඳහන් කර තිබුණා. තාත්තාව මොස්කව් නුවරට එවීම සහ “ජනයාට නිදහස සහ මළවුන් කොහේද? යන මාතෘකාවෙන් යුත් පොත් පිංච 15,000ක් මුද්‍රණය කර එය රුසියාවේ බෙදාහැරීමට ඔහු අවසර ලබාගත් ආකාරය” එම විවරණිකාවේ සඳහන් වුණා.
රුසියාවෙන් ආපසු පැමිණි පසු තාත්තාට එක්සත් ජනපදයේ සංචාරක සේවය කිරීමට පැවරුමක් ලැබුණා. දකුණු ඩැකෝටාවේදී ඔහු එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙක් වූ නෙලිනා සහ වර්ඩා පූල්ගේ නිවසට ඔවුන්ව හමුවීමට ගියා. අවුරුදු කීපයකට පසු ඔවුන් පේරුවල මිෂනාරිවරියන් ලෙස සේවයට ගියා. තාත්තා වෙහෙස මහන්සි වී කළ වැඩය අගය කරමින් ඔවුන් මෙසේ පැවසුවා. “ඒ දවස්වල හිටිය සහෝදරයන්ට ඇත්තටම පුරෝගාමී ස්ප්‍රීතුව තිබුණා. ඔවුන් විදෙස් රටවල්වලට ගියේ සල්ලි ගොඩක් තිබිලා නෙමෙයි. නමුත් යෙහෝවාට මුළු හෘදයෙන්ම ප්‍රේම කළ නිසයි. ඔවුන් තුළ තිබූ එම ආකල්පය නිසයි ඒ සේවයේ රස විඳින්න පුළුවන් වුණේ.”
විවාහය සහ දෙවන සංචාරයක්
අවුරුදු ගණනක් තිස්සේ තාත්තා ඔන්ටේරියෝවල මනිටුලීන් දිවයිනේ සිටිය ක්ලාරා හියුබට් සමඟ ලිපි හුවමාරු කරගත්තා. ඔවුන් දෙදෙනාම 1931 ජූලි 26වෙනිදා ඔහයෝ කලම්බස්වල එක්රැස්වීමට සහභාගි වුණා. එදින තමයි බයිබල් ශිෂ්‍යයන් යෙහෝවාගේ සාක්ෂිකාරයන් යන නම පාවිච්චි කිරීමට පටන්ගත්තේ. (යෙසායා 43:10-12) සතියකට පස්සේ ඔවුන් විවාහ වුණා. ඒ එක්කම වගෙ තාත්තා දෙවන මිෂනාරි චාරිකාව සඳහා කැරිබියන් දූපත්වලට පිටත්ව ගියා. එහිදී රැස්වීම් සංවිධානය කිරීමටත් අනිත් අයව ගෙයින් ගෙට සේවය සඳහා පුහුණු කිරීමටත් උපකාර කළා.
ඔහු සුරිනාම්, සාන්ත කිට්ස් සහ වෙනත් බොහෝ තැන්වල සිටිද්දී අම්මාට පින්තූර, තැපැල් පත් සහ ලිපි එව්වා. එම ලිපිවල දේශනා සේවයේ දියුණුව ගැන සහ ඔහු සිටිය රටවල්වල කුරුල්ලෝ, සත්තු සහ ගස් ගැනත් සඳහන් කර තිබුණා. වර්ෂ 1932 ජූනි මාසයේදී තාත්තා කැරිබියන් දූපත්වල තම පැවරුම අවසන් කර සුපුරුදු පරිදි මඟී නැවකින් කැනඩාවට පැමිණියා. ඊට පසු 1932/33 ශීත ඍතුවේදී ඔටාවා ප්‍රදේශයේ කාලය ගත කරමින්, එහි සිටි තවත් පූර්ණ කාලීන සේවකයන් විශාල සංඛ්‍යාවක් සමඟ මගේ තාත්තයි අම්මයි එකට පූර්ණ කාලීන දේශනා සේවය කළා.
කෙටි කාලීන පවුල් ජීවිතයක්
වර්ෂ 1934 මගේ අයියා ඩේවිඩ් ඉපදුණා. පොඩි කාලෙ එයාගෙ වැඩේම අම්මගේ තොප්පි දාන පෙට්ටිය උඩ නැඟලා “කතා” දෙන්න පුරුදු වෙන එකයි. මගේ අයියත් හරියට තාත්තා වගේ. එයාගේ මුළු ජීවිත කාලය පුරාම යෙහෝවාට තිබූ ජ්වලිතය පෙන්නුම් කළා. කැනඩාවේ නැඟෙනහිර වෙරළේ සිට බටහිර වෙරළ තීරයේ තිබෙන රාජ්‍ය ශාලා බැහැදැකීමට ඔවුන් තුන්දෙනාම කාර් එකේ යන කොට කාර් එකේ වහලේ ශබ්ද විකාශන යන්ත්‍ර බැඳගෙන ගියා. මම ඉපදුණේ 1938 තාත්තා බ්‍රිතාන්‍ය කොලම්බියාවේ සේවය කළ කාලයේදියි. තාත්තා මාව ඇඳේ නිදි කරවලා, අම්මයි තාත්තයි ඩේවිඩ් අයියයි ඇඳ වටේ දණගහලා හිටිය විදිහත්, මං වෙනුවෙන් තාත්තා ස්තුති යාච්ඤාවක් කියපු විදිහත් අයියා මතක් කරනවා.
වර්ෂ 1939 ශීත ඍතුවේ අපි වැන්කූවර්වල හිටිය කාලයේදී ඒ ප්‍රදේශයේ තිබූ රාජ්‍ය ශාලා බැහැදකින්න තාත්තා ගියා. අවුරුදු ගණනක් පුරා අපි එකතු කරගත් ලිපි අතරින් එක ලිපියක්, ඔහු බ්‍රිතාන්‍ය කොලම්බියාවේ වර්නන්හි සිටියදී 1939 ජනවාරි 14වන දින ලියූ එකක්. එහි මෙසේ ලියා තිබුණා. ක්ලාරා, ඩේවිඩ් සහ රූත් වෙත, “ඉතා ආදරයෙන් සිහි කරමි.” ඒ ලිපියේ අපි එක් එක්කෙනාට පණිවුඩයක් තිබුණා. ඒ වගේම එම ප්‍රදේශයේ ගොයම විශාලයි එහෙත් ගොවියෝ සිටින්නේ ස්වල්පදෙනෙක් කියාත් එහි ලියා තිබුණා.—මතෙව් 9:37, 38.
ඔහුගේ පැවරුම අවසන් කර වැන්කූවර්වලට ආපසු පැමිණියා. එහි රැස්වීමකදී තාත්තා ඇදගෙන වැටුණා. ඊට පස්සේ සොයා බලන කොට තාත්තාට මොළේ පිළිකාවක් තිබිලා තියෙනවා. වර්ෂ 1939 මැයි 1වෙනිදා තාත්තා එයාගේ භූමික ජීවිතය අවසන් කළා. එතකොට මට මාස නමයයි. මගේ අයියාට අවුරුදු පහක් විතර ඇති. ස්වර්ගික බලාපොරොත්තුවක් තිබූ මගේ අම්මා 1963 ජූනි 19වෙනිදා ඇගේ මරණය තෙක්ම යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සිටියා.
බොහෝ රටවලට ශුභාරංචිය ගෙනයෑමේ ප්‍රස්තාව ගැන තාත්තාට තිබුණ හැඟීම, ඔහු අම්මාට එවූ ලිපියකින් ඉතා හොඳින් දැකගන්න පුළුවන්. ඔහු මෙසේ ලියා තිබුණා. “මෙම රටවල්වල රාජ්‍ය පණිවුඩයේ ආලෝකය පතුරවන්න යෙහෝවා ඉතාමත් කරුණාවන්ත ලෙස මට ඉඩ දුන්නා. ඔහුගේ පරිශුද්ධ නාමයත් ගෞරවයට පත් වුණා. බාධා, කම්කටොලු, දුර්වලකම් මැද වුණත් ඔහුගේ තේජස බැබළෙනවා.”
දැන් ජෝර්ජ් යං සහ ක්ලාරා යංගේ දරුමුනුබුරන් සහ ඔවුන්ගේ දරුවනුත් අපේ ප්‍රේමනීය දෙවි යෙහෝවාට සේවය කරමින් සිටිනවා. මට දැනගන්න ලැබුණා හෙබ්‍රෙව් 6:10 තාත්තා නිතරම උපුටා දක්වන බයිබල් පදයක් කියලා. එහි කියන්නේ, ‘නුඹලාගේ වැඩයද දෙවිගේ නාමයට පෙන්නූ ප්‍රේමයද මතක නැති කරන්න ඔහු අධර්මිෂ්ඨ නැත’ කියායි. දෙවිට විතරක් නෙවෙයි අපිටත් තාත්තා කළ වැඩය කවමදාකවත් අමතක වෙන්නේ නෑ.
[23වන පිටුවේ පින්තූරය]
දකුණේ ඉන්නේ මගේ තාත්තා ඔහුගේ සහෝදරයන් තුන්දෙනා සමඟ
[23වන පිටුවේ පින්තූරය]
තාත්තා (හිටගෙන) සහෝදර වුඩ්වත්, රදෆ’ඩ් සහ සහෝදර මැක්මිලන් සමඟ
පහළ: තාත්තා (ඈත වමේ) සහෝදර රසල් ඇතුළු කණ්ඩායමක් සමඟ
[26වන පිටුවේ පින්තූර]
අම්මයි තාත්තයි
පහළ: ඔවුන්ගේ විවාහ දිනය
[27වන පිටුවේ පින්තූරය]
තාත්තාගේ මරණින් අවුරුදු කීපයකට පසු, මම ඩේවිඩ් සහ අම්මා සමඟ