ඔබ ඔවුන්ගේ ගරුත්වයට ගරු කරනවාද?
සත්වයන් වගේ එකතු කර, අදහන්න බැරි තරම් අපවිත්‍ර මෙන්ම දුගඳ හමන නැව්වල පැටවූ බඩු වගේ දේශීය අප්රිකානුවන්ව අමෙරිකාවට නැව්ගත කෙරුණා. ඔවුන්ගේ ගමනාන්තයට යන්න පෙර අඩුම තරමින් ඔවුන්ගෙන් අඩක්වත් මියයනු ඇතැයි අපේක්ෂා කෙරුණා. යළි කවදාවත් දකින්න නොලැබෙන විදිහට පවුලේ සාමාජිකයන්ව කෲර ලෙස වෙන් කරනු ලැබුවා. මිනිසා සෙසු මිනිසාට අමානුෂික අන්දමින් සැලකීමේ අඳුරුම කතන්දරය වුණේ වහල් වෙළඳාමයි. අනාරක්ෂිත ස්වදේශී වැසියන්ව බලවත් විජයග්‍රාහකයන් කෲර ලෙස යටත් කරගත් විට එවැනි වෙනත් කතන්දර හටගත්තා.
පුද්ගලයෙකුගේ ගරුත්වය කෙලසා දැමීම ශාරීරික පහර ලැබීම්වලට වඩා දරුණු දෙයක් විය හැකියි. මනුෂ්‍ය ආත්මයට එය විනාශකාරියි. දේශ බොහොමයක වහල්භාවය නැති කර දමා තිබුණත්, මානව ගරුත්වයට අනතුරු කිරීම, සමහරවිට ඉතාමත්ම සූක්ෂ්ම ආකාරවලින් එසේ කිරීම දිගින් දිගටම පවතියි.
අනිත් අතට සැබෑ ක්‍රිස්තියානීන් ‘තමන්ට මෙන් තම අසල්වැසියාට ප්‍රේම කරන්න’ යන යේසුස් ක්‍රිස්තුස්ගේ අවවාදය පිළිපැදීමට වෑයම් කරමින් සිටිනවා. එබැවින්, ඔවුන් තමන්ගෙන්ම මෙසේ අහනවා, ‘මම අනිත් අයගේ පෞද්ගලික ගරුත්වයට ගරු කරනවාද?’—ලූක් 10:27.
ගරුත්වයේ ආදර්ශය
ශබ්දකෝෂයකට අනුව, ගරුත්වය යනු වටිනාකමෙන් යුතු, නම්බුකාර හෝ උසස් ගුණයක් හෝ තත්වයක්. විශ්වනීය පරමාධිපති යෙහෝවා දෙවිගේ තත්වය සම්බන්ධයෙන් මොනතරම් යෝග්‍ය විස්තරයක්ද! ඇත්තෙන්ම, ශුද්ධ ලියවිල්ල නිතර නිතර යෙහෝවා හා ඔහුගේ පරමාධිපත්‍යය සමඟ ගරුත්වය සම්බන්ධ කරයි. මෝසෙස්, යෙසායා, එසකියෙල්, දානියෙල්, ප්‍රේරිත යොහන් සහ වෙනත් අය මහෝත්තම දෙවිගේ හා ඔහුගේ ස්වර්ගික මළුවේ ආනුභාව ලත් දර්ශන දැකීමේ වරප්‍රසාදය ලැබූ අතර, ඔවුන්ගේ විස්තරවලින් ගරුබිය දනවන මහිමය හා ගරුත්වය නිරතුරුවම විචිත්රව දක්වා තිබෙනවා. (නික්මයාම 24:9-11; යෙසායා 6:1; එසකියෙල් 1:26-28; දානියෙල් 7:9; එළිදරව් 4:1-3) ප්‍රශංසා කිරීමේ යාච්ඤාවකදී, දාවිත් රජ මෙසේ පැවසුවා: “[යෙහෝවා], මහන්තත්වයද පරාක්‍රමයද තේජසද ජයද මහිමයද අයත් ඔබටය. මක්නිසාද ස්වර්ගයෙහිත් පොළොවෙහිත් ඇති සියල්ල ඔබගේය.” (1 ලේකම් 29:11) සැබවින්ම, යෙහෝවා දෙවිට වඩා ගෞරවය හා උසස්කම ලබන්න වටින වෙන කෙනෙක් නෑ.
තමාගේම ස්වරූපයෙන් හා සමානත්වයෙන් මනුෂ්‍යයාව මවද්දී, මනුෂ්‍යයාට යෙහෝවා යම් ප්‍රමාණයකට වටිනාකම, ආත්ම-ගෞරවය හා ගරුත්වය ප්රදානය කළා. (උත්පත්ති 1:26) එබැවින්, අන්‍යයන් සමඟ අපි කටයුතු කරද්දී හැම කෙනාටම නිසි නම්බුව හා ගෞරවය දිය යුතුයි. ප්‍රතිඵලයක් වශයෙන්, අපි එසේ කරන විට, යෙහෝවා දෙවි මනුෂ්‍ය ගරුත්වයේ මූලාශ්‍රය බව අපි පිළිගන්නවා.—ගීතාවලිය 8:4-9.
පවුල් සබඳතා තුළ ගරුත්වය
විවාහක පුරුෂයෙකුව සිටි ප්‍රේරිත පේතෘස්, “දුර්වල භාජනවූ” තම භාර්යාවන්ට “ගෞරව දෙන්න” කියා ක්‍රිස්තියානි ස්වාමිපුරුෂයන්ට ආනුභාවයෙන් උපදෙස් දුන්නා. (1 පේතෘස් 3:7; මතෙව් 8:14) “එසේවී නුමුත් . . . භාර්යාවද පුරුෂයාට භයපක්ෂව [ගැඹුරු ගෞරවයක් ඇතුව, NW] සිටින්ට බලාගනීවා” කියා ප්‍රේරිත පාවුල් අවවාද කළා. (එපීස 5:33) එබැවින්, විවාහය තුළ, තම කලත්‍රයාගේ පෞද්ගලික ගරුත්වය සඳහා නම්බුව හා ගෞරවය දීම බයිබල් අවශ්‍යතාවක්. මෙය කළ හැක්කේ කුමන මාර්ගවලින්ද?
වැඩෙන පැළයක් වතුර මගින් ප්‍රාණවත් කරවන්නාක් මෙන්ම, ස්වාමිපුරුෂයෙකු හා භාර්යාවක අතර ප්‍රසිද්ධියේ මෙන්ම පෞද්ගලිකව කෙරෙන ප්‍රිය වචන කතා කිරීම හා කරුණාබරිත අංගචලනයන්ට හැකියි ඔවුන්ගේ කුළුපග සබඳතාව තවත් වැඩි කරන්න. ඊට වෙනස්ව, බොහෝවිට රූපවාහිනි විහිළු කතාවල ඇසෙන ඒවා වැනි දැඩි, නින්දාශීලී වාචික ප්‍රහාර හෝ වාචාල කියවීම, විවේචනාත්මකව අධෛර්යයට පත් කිරීම විනාශකාරියි. නොවටිනාභාවයේ, කලකිරීමේ හා අමනාපයේ හානිදායක හැඟීම් ඇති කිරීමට ඒවාට හැකියි; පහසුවෙන් සුව කළ නොහැකි චිත්තවේගීය තුවාල පවා හටගන්වන්න ඒවාට පුළුවන්.
කලින් සිතාගත් යම් ආකෘතියකට දැමීමට වෑයම් නොකිරීම හෝ වෙනත් අය සමඟ අසාධාරණ ලෙස සැසඳීම් නොකර ඔවුන්ව ඔවුන් සිටින විදිහටම පිළිගැනීමද, අන්‍යයන්ගේ පෞද්ගලික ගරුත්වයට ගරු කිරීම යන්නෙන් අදහස් වෙනවා. ස්වාමිපුරුෂයන් හා භාර්යාවන් අතර මෙය විශේෂයෙන්ම වැදගත්. අදහස් හුවමාරුව හා ප්‍රකාශ කිරීම් නිදහසේ මෙන්ම පහසුවෙන් ගලා යන විට මෙන්ම විවේචනය කරාවි නැතහොත් බැණවදීවි යන බියක් කිසිවෙකුට නැත්නම් කුළුපගතාව වැඩිවර්ධනය වෙයි. විවාහය තුළ පුද්ගලයෙකුට ඔහුගේම හෝ ඇගේම ස්වභාවයෙන් සිටිය හැකි විට පිටත ඇති කෲර, දැඩි ලෝකයෙන් ආරක්ෂා වී නිවස ඇත්තෙන්ම රක්ෂස්ථානයක් බවට පත් වෙයි.
දරුවන් සිටින්නේ, තම දෙමාපියන්ට ගෞරව කරන්න හා කීකරු වන්න කියන ශුද්ධ ලියවිලිමය අණ යටතෙයි. අනිත් අතට, ඥානවන්ත හා ප්‍රේමනීය දෙමාපියන් තම දරුවන්ගේ ගරුත්වය හොඳින් පිළිගන්න යනවා. හොඳ හැසිරීම සඳහා උණුසුම් ප්‍රශංසාවත්, අවශ්‍ය විට ඉවසීමෙන් හික්මවීමත්, ‘යෙහෝවාගේ මානසික ශික්ෂණයෙන්’ වඩා ශක්තිමත් කිරීම සඳහා මහඟු ආධාරකයක් වෙයි. නිරතුරු විවේචනය, කෑගැසීම හා “මෝඩයා” හෝ “ගොනා” වැනි අවමන් යෙදුම්වලින් නම් හැදීම මගින් සිදු වන්නේ ඔවුන්ව කෝප කිරීම පමණයි.—එපීස 6:4, NW.
පුතුන් තිදෙනෙක් හා දියණියන් තිදෙනෙක් ලොකු මහත් කරන එක් ක්‍රිස්තියානි වැඩිමහල්ලෙක් මෙන්ම පියෙක් මෙසේ පවසයි: “හැකි තරම් සන්සුන්ව අපි රාජ්‍ය ශාලාවේදී අවශ්‍ය හික්මවීම දුන්නා. පොඩි තට්ටු කිරීමක් එහෙමත් නැත්නම් අනතුරු අඟවන ඔරවලා බැලීමක් සාමාන්‍යයෙන්ම ප්‍රමාණවත් වුණා. ඊට වඩා බරපතළ හික්මවීමක් අවශ්‍ය වුණා නම්, අනිත් ළමයින්ගෙන් ඈත්ව සිටින විට, අපේ ගේ ඇතුලෙදී අපි ඒක දුන්නා. දැන් ළමයි ලොකු නිසා හික්මවද්දී, ඒගොල්ලන් එක් එක්කෙනාගේ අවශ්‍යතාවලට අනුව දේවවචනයේ ඇති ප්‍රේමනීය, ඥානවන්ත උපදෙස් දීම අවශ්‍යයි. හැම දරුවගේම පෞද්ගලිකභාවයට හා ගරුත්වයට ගරු කරමින් මේ පෞද්ගලික කාරණා සම්බන්ධයෙන් රහසිගතබව රැකීමට අපි වෑයම් කරනවා.”
පවුල තුළ වචනයෙන් හා ක්‍රියාවෙන් හොඳ ආචාර ධර්ම සඳහා ඇති අවශ්‍යතාවද නොසලකා නොහැරිය යුතුයි. හුරුපුරුදුකම වැඩි නිසා “කරුණාකරලා,” “ස්තුතියි,” “සමාවෙන්න” සහ “කනගාටුයි” වගේ වචන නොපවසා හැරීමට ඉඩ නොහළ යුතුයි. තමන්ගේම ගරුත්වයටත් අනිත් අයගේ ගරුත්වයටත් ගරු කිරීම සඳහා හොඳ ආචාර ධර්ම මූලික වේ.
ක්‍රිස්තියානි සභාව තුළ
“වෙහෙසවෙන්නාවූ, බර උසුලන්නාවූ සියල්ලෙනි, මා වෙතට එන්න, මම නුඹලාට සහනය දෙමි” යයි යේසු පැවසුවේය. (මතෙව් 11:28) අධෛර්යයට පත්, කලකිරුණු සියල්ලන්ම, කුඩා දරුවන් පවා යේසු වෙත නොකැඩී ඇදී ආවා. එකල සිටි අහංකාර හා ස්ව-ධර්මිෂ්ඨ පූජකයන් හා නායකයන් විසින් ඔවුන්ව අවමානයට ලක් කළා. නමුත් තමන්ට හිමි ගරුත්වය ලබා දුන් කෙනෙකු ඔවුන්ට යේසු තුළම සම්බ වුණා.
යේසුව අනුකරණය කිරීමේදී, අපත් අපේ සෙසු ඇදහිලිවන්තයන්ට නැවුම්බව ගෙන දෙන මූලාශ්‍රයක් වෙන්න ඕනෙ. මෙයින් අදහස් කරන්නේ අපේ කතාවෙන් හා අපේ ක්‍රියාවෙන් ඔවුන්ව නඟාසිටුවීමට ප්‍රස්තා සොයාගැනීමයි. අපේ කතා බහේදී කරුණාවන්ත හා ඒකාන්ත ප්‍රකාශයන් කරමින් අවංකවම ත්‍යාගශීලී වීම සැමවිටම යෝග්‍යයි. (රෝම 1:11, 12; 1 තෙසලෝනික 5:11) අපි කියන දේත්, අපි එය කියන ආකාරයත් ගැන පරෙස්සම් වීමෙන් අන්‍යයන්ගේ හැඟීම්වලට සංවේදීතාවක් දක්වන බව අපි පෙන්වනවා. (කොලොස්සි 4:6) ක්‍රිස්තියානි රැස්වීම්වලදී සුදුසු සැරසීම හා විනීතභාවයද, අපේ දෙවිගේ ගරුත්වයට, ඔහුගේ නමස්කාරයට හා අපේ සෙසු නමස්කාරකයන්ට ගැඹුරු ගෞරවය පිළිබිඹු කරනවා.
යේසු ජනයාට සේවයක් කරමින් සිටියදී පවා ඔවුන්ගේ ගරුත්වයට ගරු කළා. අනිත් අයට පාඩු කරමින් හෝ ඔවුන්ව අවමානයට ලක් කරමින් ඔහු තමන්ව උසස් කරගත්තේ නැහැ. සුවය බලාපොරොත්තුවෙන් ලාදුරු රෝගියෙකු යේසු වෙත පැමිණුණු විට, ඔහුව අපවිත්‍ර, නොවටිනා කෙනෙකු හැටියට ප්‍රතික්ෂේප කළේවත්, තමන්ටම අවධානය යොමු කරගන්නා දර්ශනයක් බවට පත් වුණේවත් නැහැ. ඒ වෙනුවට, ‘ස්වාමිනි, ඔබ කැමති නම් මා පවිත්‍ර කරන්ට ඔබට පුළුවන්’ කියා ලාදුරු රෝගියා යේසුගෙන් අයැද සිටි අවස්ථාවේදී, ඔහු ලාදුරු රෝගියාට ගරු කර මෙසේ කිව්වා, “මම කැමැත්තෙමි.” (ලූක් 5:12, 13) අවශ්‍යතාව ඇති අයට උපකාර කිරීම පමණක් නොව, එහෙත් ඔවුන් බරක් නොව නමුත් වුවමනා කරන සහ ප්‍රේමය ලැබිය යුතු අය බවට ඔවුන්ගේ බිය සැක දුරු කිරීමටද ලැබීම මොනතරම් සිත ප්‍රීති කරවන්නක්ද! ලජ්ජාශීලී, කලකිරුණු මෙන්ම අබල දුබල අයව සාමාන්‍යයෙන්ම ලෝකයෙහි නොසලකා හරිනු ලැබ, එපා කර හෝ අවමානයට ලක් කර තිබෙනවා. නමුත් තම ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන් අතර සිටින විට ඔවුන්ට සැබෑ ඇසුර සහ පිළිගැනීම ලැබෙන්න අවශ්‍යයි. මේ තත්වය ඇති කිරීමට අපි අපේ කොටස කළ යුතුයි.
යේසු තමාගේ ගෝලයන්ට “තමාටම” මෙන් ප්‍රේම කළ අතර, ඔවුන්ට ආවේණික වූ අඩුලුහුඬුකම් හා පෞද්ගලික නැඹුරුවාවන් තිබියදීත් “අන්තිමය දක්වාම ඔවුන්ට ප්‍රේම කළා.” (යොහන් 13:1, NW) ඔවුන් තුළ නිර්මල හෘද හා ඔහුගේ පියාට ප්‍රාණ-පූර්ණ කැපවීමක් තිබෙන බවත් ඔහු දැක්කා. එලෙසම, අපේ ආකාරයට ඔවුන් දේවල් නොකරන්න ඉඩ තිබෙන නිසාත්, නැත්නම් ඔවුන්ගේ පුරුදු හෝ පෞද්ගලිකත්වයන් අපට රුස්සන්නේ නැති නිසාත් අපේ සෙසු නමස්කාරකයන්ට නපුරු චේතනා තිබෙන බවට අපි කවදාවත් නොසිතිය යුතුයි. අපේ සහෝදරයන්ගේ ගරුත්වයට තිබෙන ගෞරවය ඔවුන් සිටින ආකාරයෙන්ම ඔවුන්ට ප්‍රේම කිරීමටත්, ඔවුන්ව පිළිගැනීමටත්, ඔවුනුත් යෙහෝවාට ප්‍රේම කරන බව හා නිර්මල චේතනා ඇතුව ඔහුට සේවය කරන බව විශ්වාස කිරීමටත් අපව පොලඹවනු ඇත.—1 පේතෘස් 4:8-10.
විශේෂයෙන්ම තම සැලකිල්ල යොමු කිරීමට වැඩිමහල්ලන්ගේ භාරයේ තබා සිටින අයට අනවශ්‍ය කාන්සාවක් ඇති නොකිරීමට වැඩිමහල්ලන් පරෙස්සම් විය යුතුයි. (1 පේතෘස් 5:2, 3) පාපයට වැටී සිටින සභා සාමාජිකයෙකු හමු වන විට, වැඩිමහල්ලන් තමන්ගේ වචනවලට කරුණාව හා සැලකිලිමත්කම මුසු කරගනිමින්, අනවශ්‍ය ලෙස ලජ්ජාවට පත් කරවන ප්‍රශ්න ඇසීමෙන් වැළකී සිටීම සුදුසුයි. (ගලාති 6:1) දැඩි තරවටුව හෝ හික්මවීම අවශ්‍ය විට පවා, ඔවුන් නොකඩවාම වරදකරුවාගේ නිසි ගරුත්වයට හා ආත්ම-ගෞරවයට නම්බු දෙන්න අවශ්‍යයි.—1 තිමෝති 5:1, 2.
පෞද්ගලික ගරුත්වය පවත්වාගැනීම
දෙවිගේ ස්වරූපයෙන් හා සමානත්වයෙන් මවා තිබෙන අපි, හැකි තරම් දුරට ඔහුගේ ගරුත්වයද ඇතුළත්ව ඔහුගේ මහිමාන්විත ගුණාංග—අපේ දෛනික ජීවිතවලදී පිළිබිඹු කළ යුතුයි. (උත්පත්ති 1:26) එලෙසම, “නුඹට මෙන් නුඹේ අසල්වාසියාට ප්‍රේමකරව” යන ආඥාවට පෞද්ගලික ගරුත්වයේ හා ආත්ම-ගෞරවයේ සමබර ප්‍රමාණයක් තිබීමත් ඇතුළත් වෙනවා. (මතෙව් 22:39) අන්‍යයන් අපට ගෞරවය පෙන්වීම හා ගරුත්වය දැක්වීම අපට වුවමනා නම්, අප එය ලබන්න වටින බව අප පෙන්නුම් කළ යුතුයි යන්න සත්‍යයක්.
ආත්ම-ගෞරවය හා පෞද්ගලික ගරුත්වය පවත්වාගැනීමේදී අවශ්‍ය වන වැදගත් සාධකයක් නම් පිරිසිදු හෘදය සාක්ෂියක් පවත්වාගැනීමයි. අපවිත්‍ර හෘදය සාක්ෂියක් හා වරදකාරිබවේ වේදනා පහසුවෙන්ම නොවටිනාබවේ, අපේක්ෂාභංගත්වයේ හා කලකිරීමේ හැඟීම්වලට මඟ පෑදිය හැකියි. මෙබැවින්, කෙනෙකු බරපතළ වරදක් කර ඇත්නම්, ඔහු පසුතැවිලි වීමට ක්ෂණික පියවර ගත යුතු අතර, “[යෙහෝවා] ඉදිරියෙන් සැනසිලි කාලයන්” භුක්ති විඳීම සඳහා වැඩිමහල්ලන්ගේ ආත්මික සහයෝගයද පැතිය යුතුයි. සැනසිලි කාලයන්ට කෙනෙකුගේ පෞද්ගලික ගරුත්වයේ හා ආත්ම-ගෞරවයේ ප්‍රතිසංස්කරණය ඇතුළත් වෙනවා.—ක්‍රියා 3:19.
ඊට අමතරව, බයිබලය මත පුහුණු කරනු ලැබූ අපේ හෘදය සාක්ෂිය රැකගැනීමට නිරතුරු වෑයමක් දැරීමත්, එය දූෂිත කිරීමට හෝ දුර්වල කිරීමට කිසිවකට ඉඩ නොදීමත් සුදුසුයි. අපේ දෛනික ජීවිතයේ සියලු පැතිවලදී—එනම් කන බොන විට, ව්‍යාපාර කටයුතුවල යෙදෙන විට, විනෝද වෙන විට, විරුද්ධ පක්ෂයේ අය සමඟ කටයුතු කරන විට ආත්ම දමනය පැවැත්වීම පිරිසිදු හෘදය සාක්ෂියක් තබාගැනීමට අපට උපකාර වනු ඇති අතර, දෙවිගේ මහිමය හා ගරුත්වය අපේ ජීවිතවල පිළිබිඹු කිරීමටද අපට හැකි කරවයි.—1 කොරින්ති 10:31.
අපේ අත්වැරදි පිළිබඳ වරදකාරිබව අඩු වී යන්නේ නැත්නම් කුමක් කිව හැකිද? එසේත් නැත්නම් වින්ද අපහාස පිළිබඳ මතකයන් වේදනාකාරිව දිගටම පවතිනවා නම් කුමක්ද? මේවා අපේ පෞද්ගලික ගරුත්වය සම්පූර්ණයෙන්ම යටපත් කර දමා, අධික කලකිරීමක් ඇති කළ හැකියි. ගීතාවලිය 34:18හි දක්නට තිබෙන, ‘යෙහෝවා බිඳුණු සිත් ඇත්තන්ට ළංව සිටින්නේය, තැළුණු ආත්ම ඇත්තන් ගළවන්නේය’ යන දාවිත් රජගේ වචන මොනතරම් සැනසීමක් ගෙන දෙයිද! කලකිරීම හා නොවටිනාබවේ හැඟීම් සමඟ සාර්ථකව කටයුතු කිරීමට තම සේවකයන්ට සිදු වන විට ඔවුන්ව උසුලාගැනීමට යෙහෝවා සූදානමින් හා කැමැත්තෙන් සිටිනවා. ඔහුගෙන් අයැදීම සමඟම, ක්‍රිස්තියානි දෙමාපියන්, වැඩිමහල්ලන් හා සභාවේ සිටින වෙනත් මේරූ පුද්ගලයන් වැනි ආත්මිකව සුදුසුකම් ලබා සිටින අයගේ උපකාරය පැතීම, ආත්ම-ගෞරවය හා පෞද්ගලික ගරුත්වය ප්‍රකෘතිමත් කිරීමට මාධ්‍යයයි.—යාකොබ් 5:13-15.
අනිත් අතට, පෞද්ගලික ගරුත්වය සමඟ අහංකාරත්වය පටලවාගැනීමෙන් අප වැළකිය යුතුයි. “එකිනෙකා සුදුසු තරමට වඩා තම තමා ගැන උතුම්කොට නොසිතා, [දෙවි] එකිනෙකාට බෙදාදුන් ඇදහිල්ලේ ප්‍රමාණය ලෙස පමණදැන සිතන හැටියට” ශුද්ධ ලියවිල්ල අවවාද කරනවා. (රෝම 12:3) ආත්ම-ගෞරවය වගා කරන එක සුදුසු නමුත්, අපේම වටිනාකම වැඩි කර දැක්වීමට හෝ අනිත් අය ඉදිරියේදී තමන්ගේ නම්බුව ආරක්ෂා කරගැනීමට සමහරු දරන ආත්මාර්ථකාමී හා අන්තයට ගිය වෑයම් සමඟ මානව ගරුත්වය පටලවාගැනීමට අපට අවශ්‍ය නැහැ.
එසේය, වෙනත් කෙනෙකුගේ ගරුත්වයට ගරු කිරීම ක්‍රිස්තියානි අවශ්‍යතාවක්. අපේ පවුලේ සාමාජිකයන් හා අපේ සෙසු ක්‍රිස්තියානීන් යන සියල්ලන්ම අපේ ගෞරවය, නම්බුව හා උසස් කිරීම ලබන්ට වටින අතර, ලැබිය යුතුයි. අප පිළිගත යුතු මෙන්ම පවත්වාගත යුතු ගරුත්වයේ හා නම්බුවේ යම් ප්‍රමාණයක් යෙහෝවා අපට දානය කර තිබෙනවා. නමුත් සියල්ලකටම වඩා, අපේ ස්වර්ගික පියා වන යෙහෝවා දෙවිගේ සියල්ල අබිබවන ගරුත්වය හා මහිමය සඳහා අප ගැඹුරු ගෞරවයක් වගා කළ යුතුයි.
[31වන පිටුවේ පින්තූරය]
අබල දුබල අයට ගරු කරන්න යෞවනයන්ට පුළුවන්