සියල්ල පිටුපස සිටින්නේ කවුද?
කාම්බෝජයේ වනාන්තරයේ අතු පතරින්, 19වන සියවසේ ප්‍රංශ ගවේෂකයෙක්වූ හෙන්රි මූහෝ, පළල් අගලකින් වට වී ඇති පන්සලක් වෙත ආවා. ඔහු සිටගත් තැන සිට කිලෝමීටරයකට විතර නුදුරින් පිහිටි පන්සලේ උස් කොටු පහ මීටර් 60කට වඩා ඉහළ ගුවන තුළට නැඟී සිටියා. එය ආංකෝර් වාට් නම් වූ පොළොවේ ලොකුම ආගමික ස්මාරකයයි. මූහෝ එය සොයාගන්නා විටත් එය මූලද්‍රව්‍යවලට එරෙහිව සියවස් හතක් පුරා නැඟී සිට තිබුණා.
පාසිවලින් වැසී ගිය ගොඩනැඟිලි දෙස බැලූ බැල්මෙන්ම මෙය මානව හස්ත කර්මාන්තයක් බව පැවසීමට මූහෝට හැකි වුණා. “පුරාණ මයිකල්ඇන්ජලෝ කෙනෙක් ඉදි කළ එය, අපට ඉතිරි වී ඇති හැම ග්‍රීක හෝ රෝම ඉදි කිරීමකටම වඩා උත්කර්ෂවත්” යයි ඔහු ලිව්වා. සියවස් ගණනක් ඒවා අත්හැර දමා තිබුණත්, තේජාන්විත ගොඩනැඟිල්ල පිටුපස නිර්මාතෘවරයෙක් සිටි බවට ඔහුට සැකයක් තිබුණේ නැහැ.
අප අවට ලෝකය නිර්මාතෘවරයෙකුගේ නිපැයුමක් විය යුත්තේ මන්දැයි පැහැදිලි කිරීමට සියවස් ගණනකට පෙර ලියනු ලැබූ ප්‍රඥාවේ පොතක් එවැනිම තර්කණයක් යොදාගැනීම උනන්දුව ඇති කරවන්නක්. එය මැව්වා වෙන්න ඕනෙ. ප්‍රේරිත පාවුල් මෙසේ ලිව්වා: “මක්නිසාද සියලුම ගෘහයෝ යම් යම් අය විසින් සාදනු ලබති; නුමුත් සියලු දේවල් පිහිටෙවූ [තැනැත්තා දෙවිය].” (හෙබ්‍රෙව් 3:4) සමහරු මෙසේ පවසමින් මේ සාදෘශ්යයට එකඟ නොවිය හැකියි: ‘මිනිසා-සෑදූ දේට වඩා ස්වභාවධර්මයාගේ කර්මාන්තයන් වෙනස්.’ කෙසේවුවත්, එම විරුද්ධත්වයට හැම විද්‍යාඥයෙක්ම එකඟ වෙන්නේ නැහැ. “ජීව රසායන ක්‍රම අප්‍රාණික වස්තු නොවන” බව ඒත්තුගැනීමෙන් පසුව, ලීහයි විශ්වවිද්‍යාලයේ ජීව රසායන විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්යවරයෙකු වූ මයිකල් බීහි මෙසේ අසයි: “ජීවමාන ජීව රසායන ක්‍රම බුද්ධිමත් ආකාරයකින් නිර්මාණය කළ හැකිද?” විද්‍යාඥයන් දැන්, ජාන විද්‍යාව වැනි ක්‍රම මගින් ජීවමාන ජීවීන් තුළ ප්‍රධාන වෙනස්කම් නිර්මාණය කරමින් සිටින බව ඔහු තවදුරටත් පෙන්නුම් කරනවා. පැහැදිලිවම, අප්‍රාණික හා සප්රාණික දේවල් සියල්ලම නිර්මාණය කර වුවමනා ආකාරයට සකස් කළ හැකියි! ජීවමාන සෛලවල ඉතා සියුම් ලෝකය තුළට කැණීම් කරමින්, බීහි, ක්‍රියා කිරීමට එකිනෙකා මත රඳා සිටින සංරචකයන්ගෙන් සැදි පුදුමාකාර සංකීර්ණ ක්‍රම සාකච්ඡා කරනවා. ඔහුගේ නිගමනය? “සෛලය පරීක්ෂා කර බැලීමට—අණුක මට්ටමේ තිබෙන ජීවය පරීක්ෂා කර බැලීමට—එක්වූ මෙම වෑයමේ ප්‍රතිඵලය, ‘නිර්මාණය’ පිළිබඳ හඬ ගා, පැහැදිලි ලෙස, කාවදින ආකාරයකින් කියාපෑමක්!”
විශ්වසම්භවවේදීන් හා භෞතවේදීන් ලෝකය හා විශ්වය ගැන සමීපව අධ්‍යයනය කර යම් පුදුමාකාර සත්‍යයන් සොයාගෙන තිබෙනවා. උදාහරණයක් හැටියට, විශ්වනීය නියතයන්ගෙන් එකක හෝ අගයෙහි සුළු වෙනසක් පවා සිදු වී තිබුණා නම් විශ්වය ජීවීන්ගෙන් තොර වනු ඇතැයි ඔවුන් දැන් දන්නවා.a විශ්වසම්භවවේදී බ්‍රැන්ඩන් කාටර් මේ සත්‍යයන් හැඳින්නුවේ පුදුමාකාර අහඹු සිදුවීම් ලෙසයි. නමුත් ඔබට ගුප්ත, අන්තර් සම්බන්ධයක් ඇති අහඹු සිදුවීම් පෙළකට මුහුණ දෙන්න සිදු වෙනවා නම්, කවුරුහරි ඒ පිටුපස සිටියා කියාවත් අඩුම තරමින් ඔබට සැකයක් ඇති නොවනු ඇද්ද?
ඇත්තෙන්ම, මේ සංකීර්ණ ක්‍රම හා ඉතා සියුම් ලෙස සැකසී තිබෙන “අහඹු සිදුවීම්” සියල්ල පිටුපස නිර්මාතෘවරයෙක් සිටිනවා. කවුද? “විද්‍යාත්මක ක්‍රම මගින් නිර්මාතෘවරයාව හඳුනාගැනීම අතිශයින් දුෂ්කර දෙයක් විය හැකියි” කියා මහාචාර්ය බීහි පිළිගන්නා අතර, උත්තර දීම සඳහා ඔහු ‘දර්ශනය හා දේවවේදයට’ ඉඩහරිනවා. ප්රශ්නය ඔබට වැදගත් නැතැයි පෞද්ගලිකව ඔබට හැඟිය හැකියි. කෙසේවුවත්, ඔබට අවශ්‍ය වෙලාම තිබුණු දෙයකින් පිරි කදිම ලෙස ඔතන ලද පාර්සලයක් ඔබට ලැබුණොත්, ඔබට එය එව්වේ කවුද කියා දැනගන්න ඔබට ඕනෑ වෙන්නේ නැද්ද?
උපමාලංකාරයෙන් පවසනවා නම් ජීවත් වීමට හා ජීවිතය භුක්ති විඳීමට අපට හැකි කරවන මවිතාකාර ත්‍යාග පිරි එවැනි පාර්සලයක් අපට ලැබී තිබෙනවා. ජීවිත උසුලා සිටීම සඳහා සියලු විශිෂ්ට ක්‍රම ඇතුළත් පොළොව එම පාර්සලයයි. මේ ත්‍යාග අපට දුන්නේ කවුද කියා අපට සොයාගන්න වුවමනා වන්නේ නැද්ද?
පාර්සලය එවූ තැනැත්තා ඒ සමඟ සටහනකුත් එවා තිබීම සතුටට කරුණක්. “සටහන” නම් කලින් උපුටා දැක්වූ ඉපැරණි ප්‍රඥාවේ පොතයි—එනම් බයිබලයයි. බයිබලය එහි ආරම්භක වචනවලදී, අපට පාර්සලය දුන්න තැනැත්තා කවුද යන ප්‍රශ්නයට විශිෂ්ට සරලභාවයක් හා පැහැදිලිකමක් ඇතුව මෙසේ උත්තර දෙනවා: ‘පටන්ගැන්මෙහිදී දෙවි අහසත් පොළොවත් මැව්වේය.’—උත්පත්ති 1:1.
මැවුම්කරු තම ‘සටහනෙහි’ තමාගේ නමින්ම තමාව හඳුන්වා දෙනවා: ‘ආකාශ මණ්ඩලය මවා ඒවා දිග ඇරියාවූද, පොළොව සහ එහි සෑදෙන දේ ඇතුරුවාවූද, එහි සෙනඟට හුස්මත් . . . දෙන්නාවූද [සැබෑ, NW] දෙවිවූ යෙහෝවා මෙසේ කියන්නේය.’ (යෙසායා 42:5) ඔව්, විශ්වයත්, පොළොව මත පුරුෂයන් හා ස්ත්‍රීන්වත් නිර්මාණය කළ දෙවිගේ නම යෙහෝවායි. නමුත් යෙහෝවා කවුද? ඔහු කුමනාකාරයේ දෙවිකෙනෙක්ද? එමෙන්ම පොළොව මත සියලු ජනයා ඔහුට සවන් දිය යුත්තේ මන්ද?
[පාදසටහන]
a විශ්වය පුරාම වෙනස් නොවී තිබෙන අගයන් “නියතයන්” වේ. ආලෝක වේගය මෙන්ම ස්කන්ධය හා ගුරුත්වයේ සබඳතාව උදාහරණ දෙකක්.
[3වන පිටුවේ පින්තූරය]
ආංකෝර් වාට් ගොඩනැඟුවේ මිනිසුන් විසින්
[4වන පිටුවේ පින්තූරය]
ඔබට ත්‍යාගයක් ලැබෙන විට, ඔබට එය එව්වේ කවුද කියා දැනගන්න ඔබට ඕනෑ වෙන්නේ නැද්ද?