වයස 80දී පැවරුමේ වෙනසක්
ග්වෙන්ඩලන් මැතිව්ස් පැවසූ පරිදි
මට 80 වූ විට, මගේ සැමියා හා මම, අප සතු සියල්ල කුලියට ගත් ට්‍රක් රථයක අහුරා, එංගලන්තයෙන් ස්පාඤ්ඤයට යෑමට තීරණය කළා. අපි ස්පාඤ්ඤ භාෂාව කතා කළේ නැහැ; අපි යන්න හිටියේ ඉංග්‍රීසි කතා කරන සංචාරකයන් වැඩිය ගැවසෙන්නේ නැති නිරිතදිග ස්පාඤ්ඤයටයි. අපිට පිස්සු කියලා අපේ යාළුවන්ගෙන් වැඩිදෙනෙක් සිතුවත්, ඌර් අතහැර ගිය විට ආබ්‍රහම්ට 75ක් වූ බව මම ප්‍රීතියෙන් මතකයට නඟාගත්තා.
ප්‍රතිඵලයක් වශයෙන් අන්තිමේදී, අපි 1992 අප්‍රියෙල්වලදී මෙහි ආව දවසේ ඉඳලා ස්පාඤ්ඤයේ අප ගත කළ වසර ගණන, අපේ ජීවිතවල වැඩිම විපාකදායී ඒවා බවට පත් වෙලා තියෙනවා. නමුත් අපි පදිංචිය වෙනස් කළේ ඇයි කියලා විස්තර කරන්න ඉස්සෙල්ලා, යෙහෝවාගේ සේවයෙහි ගත කළ අපේ ජීවිත කාලය තුළදී එවැනි බැරෑරුම් තීරණයක් ගන්න මඟ පෑදුණේ කොහොමද කියලා ඔබට පවසන්න මට ඉඩ දෙන්න.
බයිබල් සත්‍යය අපේ ජීවිත වෙනස් කරනවා
මම හැදී වැඩුණේ එංගලන්තයේ නිරිතදිග ලන්ඩන්වල ආගමික නිවසකයි. අම්මා ආත්මික තෘප්තියක් සොයා යමින් විවිධ නමස්කාර ස්ථානවලට ගිය අවස්ථාවලදී මගේ සහෝදරියවත්, මාවත් කැටුව යන්න පුරුදු වෙලා හිටියා. දිගු කලක් පුරා ක්ෂය රෝගයෙන් පෙළුණු මගේ තාත්තා, අප හා පැමිණියේ නැහැ. නමුත් ඔහු බයිබලය කියවන්න ලොල් තැනැත්තෙක් වූ අතර, ඔහුගේ අවබෝධය වැඩි කරවන කොටසක් හම්බ වුණ සෑම අවස්ථාවකදීම ඔහු ඒකට යටින් ඉරිගැහැව්වා. මගේ වස්තුවලින් මම ගොඩක් පරෙස්සම් කළ දෙයක් තමයි ඔහු හුඟක් අගය කරපු, හොඳින් පාවිච්චි කළ බයිබලය.
වර්ෂ 1925දී, මට වයස 14දී, වෙස්ට් හැම් නගර ශාලාවේ පැවැත්වෙන ප්‍රසිද්ධ දේශනයකට අපට ආරාධනා කළ පත්‍රිකාවක් අපේ දොර යටින් දමා තිබුණා. මගේ අම්මා සහ අසල්වැසියෙක් කතාව අහන්න යන්න තීරණය කළ අතර, මගේ සහෝදරී හා මමත් ඔවුන් එක්ක ගියා. “දැන් ජීවත් වන මිලියන සංඛ්‍යාත අය කිසිදාක මිය නොයන්නෝය” යන එම කතාව අම්මාගේ හෘදයෙහි බයිබල් සත්‍යයේ බීජ පැළ කළා.
මාස කීපයකට පස්සේ, වයස 38දී තාත්තා මියගියා. ඔහුගේ මරණයෙන් අපව අධික ශෝකයකට මෙන්ම අසරණ තත්වයකට පත් වුණ නිසා එය දරුණු පහරක් වුණා. ප්‍රදේශයෙහි එංගලන්ත සභාවේ පල්ලියක තිබුණ අනුස්මරණ මෙහෙයකදී, තාත්තාගේ ප්‍රාණය ස්වර්ගයේ තිබෙනවා කියා පූජකයෙක් පවසනවා ඇසීමෙන් අම්මා පුදුමයට පත් වුණා. මළවුන් මිනීවළේ නිදන බව ඇය බයිබලයෙන් දැන සිටි අතර, පොළොව මත සදා ජීවනය සඳහා කවදා හෝ තාත්තාව නැඟිටුවයි කියා ඇය ස්ථිරයෙන්ම විශ්වාස කළා. (ගීතාවලිය 37:9-11, 29; 146:3, 4; දේශනාකාරයා 9:5; ක්‍රියා 24:15; එළිදරව් 21:3, 4) දේවවචනය ඉගැන්වූ ජනයා සමඟ ඇසුරු කළ යුතු බව ඒත්තුගත්ත ඇය, ජාත්‍යන්තර බයිබල් ශිෂ්‍යයන් කියා ඒ කාලයේ හැඳින්වූ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව වැඩියෙන් අඳුරගන්න අධිෂ්ඨානය කරගත්තා.
ප්‍රවාහණය සඳහා අපට මුදල් තිබුණේ නැති නිසා, සෑම සතියකම අපි අපේ නිවසේ සිට යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට පැය දෙකක් ඇවිද්දා. ඊට පස්සේ, නිවසට යන්න අපි තවත් වෙහෙසකර පැය දෙකක් ගත කළා. නමුත් අපි ඒ රැස්වීම් හුඟක් අගය කළ අතර, ලන්ඩනයේ ප්‍රචලිතව පවතින කටුක මීදුමෙන් මුළු නගරයම වසාගත් විට පවා අපි කවදාවත්ම රැස්වීමක් අතපසු කළේ නැහැ. වැඩි කල් නොගොස් තම ජීවිතය යෙහෝවාට කැප කර, බව්තීස්ම වීමට අම්මා තීරණය කළ අතර, 1927දී මමත් බව්තීස්ම වුණා.
අපේ ආර්ථික අපහසුකම් මැද වුණත්, අම්මා මට සැමවිටම ආත්මික ප්‍රමුඛතාවල වැදගත්කම ඉගැන්නුවා. මතෙව් 6:33 ඇගේ ප්‍රියතම පදවලින් එකක් වූ අතර, ඇය ඇත්තෙන්ම ‘පළමුව රාජ්‍යය සෙව්වා.’ ඇය 1935දී පිළිකාවකින් අඩු වයසෙන් මියගිය විට, සේවය සඳහා ප්‍රංශයට පදිංචියට යා හැකිද කියා පූර්ණ-කාලීන දේවසේවකයන්ගෙන් කළ ඉල්ලීමට පිළිතුරු දීමට ඇය සැලසුම් යොදමිනුයි හිටියේ.
අපව ශක්තිමත් කළ ආදර්ශ
ඒ මුල් අවුරුදුවලදී, ලන්ඩන්වල රැස්වීම්වලට පැමිණි සමහරෙකුට තමන්ගේම මත ප්‍රචාරය කරන්න වුවමනා වූ අතර, මේ අය භේද හා සැර වාද විවාද ඇති කළා. කොහොමවුණත්, අපි යෙහෝවාගේ සංවිධානයෙන් මේතරම් ඉගෙනගෙන තියෙද්දිත්, ඒක අත්හරින එක අපක්ෂපාත වීමක් වෙනවා කියා අම්මා නිතරම කිව්වා. එවකට වොච් ටවර් බයිබල් සහ පත්‍රිකා සමිතියේ සභාපති, ජෝසෆ් එෆ්. රද’ෆ’ඩ්ගේ බැහැදැකීම් පක්ෂපාතව දිගටම සේවය කිරීමට අපව ප්‍රාණවත් කළා.
සහෝදර රද’ෆ’ඩ් කරුණාවන්ත, එළඹිය හැකි පුරුෂයෙක් හැටියට මට මතකයි. මා නහඹරියකව සිටියදී, ලන්ඩන් සභාව ගිය විනෝද ගමනකට ඔහුත් ඇවිත් හිටියා. කැමරාවක් අතැතිව, තරමක් ලජ්ජාශීලී නහඹරියක්ව සිටි මාව දැකලා, ඔහුගේ පින්තූරයක් ගන්න කැමතිද කියලා මගෙන් ඇහැව්වා. ඒ පින්තූරය පරෙස්සම් කරලා තියෙන ස්මාරකයක් බවට පත් වුණා.
පසු කාලෙක සිද්ධ වූ අද්දැකීමක් තුළින් ක්‍රිස්තියානි සභාවේ පෙරමුණ ගන්නා අය හා ලෝකයේ ප්‍රමුඛ පෙළේ මිනිසුන් අතර වෙනස මගේ සිතේ කාවැදුණා. හිට්ලර්ගේ චරපුරුෂයෙක් වූ ෆ්‍රාන්ස් වොන් පේපන්ව දිවා භෝජනයකට ආරාධනා කර තිබුණ අවස්ථාවේදී, විශාල ලන්ඩන් නිවසක කෑම බෙදන්නියක් හැටියට මම සේවය කරමින් සිටියා. කෑම ගනිද්දී ඔහුගේ බඳපටියේ තිබුණ කඩුව ගළවලා තියන්න කැමති වුණේ නැහැ; ඒකෙ පැටලිලා මම ගෙනාව සුප් එක හැලුණා. ජර්මනියේදී ඒ වගේ නොසැලකිලිමත් දෙයක් කළා නම්, මාව වෙඩි තියලා මරලා දාන්න තරම් දෙයක් බව ඔහු කෝපයෙන් කියා සිටියා. කෑම වේලාව ඉවර වෙනකම්ම මම ඔහුගේ අහලකටවත් ගියේ නැහැ!
සහෝදර රද’ෆ’ඩ් කතා කරනවා මට අහන්න ලැබුණ ඉතා වැදගත් සමුළුවක්, 1931දී ඇලෙක්සැන්ඩ්‍රා මන්දිරයේ පැවැත්වුවා. එහිදී අපි උද්‍යෝගයෙන් යෙහෝවාගේ සාක්ෂිකරුවන් කියන අලුත් නම අරගත්තා. (යෙසායා 43:10, 12) අවුරුදු දෙකකට පස්සේ, 1933දී, මම පූර්ණ-කාලීන සේවය කියා එවකට හැඳින්වූ පුරෝගාමී සේවයට ඇතුල් වුණා. ඒ අවුරුදුවලින් මට මතක තවත් ආශීර්වාදයක් තමයි, පස්සේ කාලෙක පොළොවේ ඈත හුදකලා ප්‍රදේශවල මිෂනාරිවරුන් බවට පත් වුණ කදිම යෞවන පුරුෂයන්ව ආශ්‍රය කරන්න පුළුවන් වීම. මොවුන්ට ක්ලෝඩ් ගුඩ්මන්, හැරල්ඩ් කිං, ජොන් කුක් සහ එඩ්වින් ස්කිනර් ඇතුළත් වුණා. එවැනි විශ්වාසවන්ත ආදර්ශ විදේශ ක්ෂේත්‍රයක සේවය කිරීමට කැමැත්තක් මා තුළ ඇති කළා.
නැඟෙනහිර ඒංග්ලීයාහි පුරෝගාමී සේවයේ යෙදීම
මට පැවරුම ලැබී තිබුණේ නැඟෙනහිර ඒංග්ලීයාවට (නැඟෙනහිර එංගලන්තයට) වූ අතර එහි දේශනා කිරීමට උද්‍යෝගය හා ජ්වලිතය අවශ්‍ය වුණා. අපේ විශාල බලප්‍රදේශය ආවරණය කරන්න අපි නගරයෙන් නගරයටත්, ගමින් ගමටත් බයිසිකලයෙන් ගිය අතර කුලී කාමරවල නැවතුණා. ප්‍රදේශයේ එක සභාවක්වත් තිබුණේ නැහැ; ඒ නිසා මගේ සහයිකාව හා මම එකතු වෙලා නිතිපතා සතියේ රැස්වීම්වල කොටස් සියල්ලම සාකච්ඡා කළා. අපේ සේවයේදී, අපි දෙවිගේ අරමුණු පැහැදිලි කළ පොත් හා පොත්පිංච සිය ගණනක් බෙදුවා.
එංගලන්ත සභාවේ ප්‍රාදේශීය දේවගැති එක්ක කතා කරන්න අපි දේවගැති නිවසට ගිය අවස්ථාව අමතක නොවන බැහැදැකීමක්. අන්තිම වතාව වෙනකම්ම අපි බොහෝ ප්‍රදේශවලදී, එංගලන්ත සභාවේ දේවගැතිව බැහැදැකීමට යෑම කල් දැමුවේ, අපි ප්‍රදේශයේ ශුභාරංචිය දේශනා කරන බව ඔහු දැනගත් විට ඔහු බොහෝවිට කරදර ඇති කළ නිසායි. නමුත් මේ ගමේ හැමදෙනාම දේවගැති ගැන හොඳ කිව්වා. ඔහු අසනීප අයව බලන්න ගියා; කියවන්න කැමති අයට පොත් දුන්නා කියවලා දෙන්න කියලා; ඔහුගේ මීසමට අයිති නිවෙස්වල සිටින අයට බයිබලය පැහැදිලි කරලා දෙන්න ඔහු නිවෙස්වලට පවා ගියා.
සහතික ලෙසම, අපි ඔහුව බැහැදකින්න ගියහම ඔහු හුඟාක් මිත්‍රශීලී වුණ අතර, පොත් කීපයක්ම අරගත්තා. ගමේ කාටහරි අපේ පොත් ඕනෙ නම්, ඒවා ගන්න ඔවුන්ට මුදල් නැත්නම්, ඔහු මිල ගෙවන බවටත් අපට සහතික වුණා. ඔහුගේ මීසමට අයත් ප්‍රදේශවල සාමය හා මිත්‍රත්වය වැඩිදියුණු කිරීමට ඔහුට තීරණය කරන්න සැලැස්සුවේ, Iවන ලෝක යුද්ධයේදී ඔහුගේ දරුණු අද්දැකීම් බව අපි දැනගත්තා. අපි පිටත් වෙන්න ඉස්සෙල්ලා ඔහු ඔහුගේ ආශීර්වාදය අපට දුන් අතර අපේ හොඳ වැඩය දිගටම කරගෙන යෑමට අපව දිරිගැන්නුවා. ඔහු අපට පැවසූ අවසාන වචන ගණන්කථාව 6:24හි මෙම වචනයි: ‘ස්වාමීන් නුඹට ආශීර්වාදකොට නුඹ ආරක්ෂා කරත්වා’
මම පුරෝගාමී සේවය පටන්ගෙන අවුරුදු දෙකකට පසු අම්මා මියගිය අතර මම ආපහු ලන්ඩන්වලට ගියේ මුදල්වත්, පවුලේ අයවත් නැතුවයි. හිතවත් ස්කොට්ලන්ත ජාතික සාක්ෂිකාරියක් මට සෙවණ දීලා, අම්මාගේ මරණය සම්බන්ධයෙන් සාර්ථකව කටයුතු කරන්න මට උපකාර කළා; පූර්ණ-කාලීන සේවය දිගටම කරන්න මට දිරිගැන්නුවා. ඉතින් අලුත් පුරෝගාමී සහයිකාව වූ ජූලියා එක්ක යළිත් මම නැඟෙනහිර ඒංග්ලීයා වෙත ගියා. අපි පරණ කැරවෑන් රථයක් (ඇමුණූ රථය) අර්ධ රථ නිවසක් හැටියට සකස් කරගත් අතර, එය එක තැනකින් තව තැනකට ඇදගෙන යන්න ට්‍රැක්ටරයක් නැත්නම් ට්‍රක් එකක් යොදාගත්තා. ඇල්බට් හා එතල් ඇබට් වයසක යුවළටද කැරවෑනයක් තිබූ අතර අප හා එක්වී දිගටම දේශනා වැඩයෙහි යෙදුණා. ඇල්බට් හා එතල් මට දෙමාපියන් වගේ වුණා.
කේම්බ්‍රිජ්ෂයර්හි පුරෝගාමී සේවයේ යෙදෙන අතරතුරේදී, දුෂ්කර තත්වයන් යටතේදී යෙහෝවාට තම අඛණ්ඩතාව ඔප්පු කර තිබුණ යහපත් ක්‍රිස්තියානි සහෝදරයෙක් වූ ජොන් මැතිව්ස්ව මට මුණගැසුණා. අපි 1940දී විවාහ වූ අතර ඉන් වැඩි කල් නොගොස් දෙවන ලෝක යුද්ධය පටන්ගත්තා.
යුධසමය හා පවුලක්
අප අලුත විවාහ වූ යුවළක්ව සිටියදී, අපේ නිවස කුඩා කුස්සියක ප්‍රමාණයේ පුංචි කැරවෑන් එකක් වූ අතර, විශ්වාසදායී යතුරුපැදියකින් අපි අපේ සේවය කරගෙන ගියා. අප විවාහ වී අවුරුද්දකට පස්සේ, බයිබලය මත පදනම් විශ්වාසයන් හේතුවෙන් ජොන් යුධ සේවය ප්‍රතික්ෂේප කළ විට ඔහුට ගොවි කම්කරුවෙකු හැටියට වැඩ කරන්න නියම කළා. (යෙසායා 2:4) අපේ පුරෝගාමී සේවයට අවසානය මින් අදහස් වුණත්, මට දරුවෙක් ලැබෙන්න හිටිය නිසාත්, ආර්ථික අතින් මට උපකාර කරන්න ජොන්ට හැකි වන නිසාත් එසේ නියම කිරීම භාග්‍යයක් වුණා.
යුධ සමයේදී, දුෂ්කරතා මධ්‍යයෙහි පැවැත්වූ විශේෂ රැස්වීම්වලින් අපි ආස්වාදයක් ලැබුවා. අපේ පළමු දරුවාව ලැබෙන්න සිටි මාවයි, ජොන්වයි අරගෙන 1941දී අපේ යතුරුපැදිය කිලෝමීටර් 300ක ඈත පිහිටි මැන්චෙස්ටර්වලට ගියා. අපි යන අතරතුරේදී බෝම්බ හෙළුව බොහෝ නගරවල් පසු කරගෙන ගියා; එවැනි තත්වයන් යටතේ අපිට රැස්වීම පවත්වන්න පුළුවන් වෙයිද කියලා අපි කල්පනා කළා. එය පවත්වනු ලැබුවා. එංගලන්තයේ බොහෝ ප්‍රදේශවලින් පැමිණි සාක්ෂිකරුවන්ගෙන්, මැන්චෙස්ට’ මැද පිහිටි නිදහස් වෙළෙඳ ශාලාව පිරී ඉතිරී ගිය අතර මුළු වැඩසටහනම ඉදිරිපත් කරනු ලැබුවා.
ගුවන් ප්‍රහාරයක් අපේක්ෂා කරන නිසා වහාම ගොඩනැඟිල්ලෙන් පිට විය යුතුයි කියා සමුළුවේ අවසාන කථිකයා ඔහුගේ කතාව අවසානයේදී සභාවට පැවසුවා. අනතුරු ඇඟවීම කාලෝචිත එකක් වුණා. සයිරමේ හඬ සහ සතුරන්ට එරෙහි තුවක්කු ප්‍රහාරවල හඬ අපට ඇසෙන විට අපි ශාලාවෙන් වැඩි ඈතකට ගොස් තිබුණේ නැහැ. ආපසු හැරිලා බලද්දී, ගුවන් යානා ගණනාවක් නගරය මැද්දට බෝම්බ හෙළනවා අපි දැක්කා. ටික වෙලාවකට කලින් අපි ඉඳගෙන හිටිය ශාලාව ගිනි හා දුම අතර අපට ඈතින් දැකගන්න පුළුවන් වුණා; එය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා! අපේ ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන්ගෙන් එක් කෙනෙක්වත් මරණයට පත් වුණේ නැති එක ගැන ස්තුතිවන්ත වෙන්න ඕනෙ.
දරුවන්ව ඇති දැඩි කරද්දී, අපිට පුරෝගාමී සේවයේ යෙදෙන්න නොහැකි වුණත් නවාතැන් පහසුකම් නොතිබුණු සංචාරක අවේක්ෂකයන්ට හා පුරෝගාමීන්ට අපි අපේ නිවස විවෘත කළා. එක කාලෙකදී, පුරෝගාමීන් හයදෙනෙක් අපේ නිවසේ මාස කීපයක් නැවතිලා හිටියා. අපේ දුව යූනිස් 1961දී ඇයට 15ක් වෙද්දීම පුරෝගාමී සේවය පටන්ගන්න තෝරගත්තේ ඔවුන්ගේ ඇසුර නිසා බවට කිසි සැකයක් නැහැ. කියන්න කනගාටුයි, අපේ පුතා, ඩේවිඩ් ලොකු මහත් වුණහම යෙහෝවාට දිගටම සේවය කළේ නැහැ; අපේ අනිත් දුව ලින්ඩා යුධ සමයේදී ඛේදවාචක තත්වයන් යටතේ මියගියා.
ස්පාඤ්ඤයේ පදිංචියට යෑමට අපේ තීරණය
අම්මාගේ ආදර්ශය හා දිරිගැන්වීම, මිෂනාරිවරියක වීමට මා තුළ ආශාවක් ඇති කළ අතර, කිසිදාක මගේ මතකයෙන් ඒ ඉලක්කය සම්පූර්ණයෙන්ම ඈත් වුණේ නැහැ. මෙලෙස, 1973දී රාජ්‍ය ප්‍රකාශකයන්ගේ අවශ්‍යතාව වැඩි ස්පාඤ්ඤය බලා යූනිස් එංගලන්තයෙන් පිටත් වූ විට අපි සතුටු වුණා. ඇත්තෙන්ම, ඇය පිටත්ව යනවා දැකීම අපට දුකක් වූ නමුත්, ඇයට විදේශ රටක සේවය කරන්න වුවමනා වීම ගැන අපි ආඩම්බර වුණා.
ඒ අවුරුදු ගණනාව තුළ අපි යූනිස්ව බලන්න ගිය අතර, අපිට ස්පාඤ්ඤය ගැන හොඳින් දැනගන්න පුළුවන් වුණා. ඇත්තෙන්ම, ඇගේ විවිධ පැවරුම් හතරකදී ජොනුයි මමයි ඇයව බලන්න ගියා. ඉන්පසු, කාලය ගෙවී යද්දී, අපේ ශක්තිය හීන වෙන්න පටන්ගත්තා. ජොන්ව වැටුණා; ඒ නිසා ඔහුගේ සෞඛ්‍යයට එය දරුණු ලෙස බලපෑව අතර මට හෘදයේ හා තයිරොයිඩ්වල ගැටලු ඇති වුණා. ඒ ඇරෙන්න, අපි දෙන්නම සන්ධිප්‍රදාහයෙන් වේදනා වින්දා. අපිට ඇත්තටම යූනිස්ගේ උපකාරය අවශ්‍ය වුණත්, අපි හින්දා ඇගේ පැවරුම අත්හරිනවාට අපි කැමති වුණේ නැහැ.
අපිට ගත හැකි වෙනත් පියවරවල් ගැන අපි යූනිස් එක්ක සාකච්ඡා කළා; උපකාරය පතා යාච්ඤා කළා. ගෙදර ඇවිත් අපට උපකාර කරන්න ඇය කැමති වුණත්, ඇය සමඟ ස්පාඤ්ඤයේ ජීවත් වීම ජොන්ටයි, මටයි හොඳම විසඳුම වෙයි කියලා අපි තීරණය කළා. මට මිෂනාරිවරියක් වෙන්න බැරි වුණත් අඩුම තරමින් මගේ දුවටයි, පූර්ණ-කාලීන සේවයේ යෙදෙන ඇගේ පුරෝගාමී සහකාරියන් දෙන්නටයි උපකාර කරන්න මට පුළුවන්. මේ වන විට, අවුරුදු 15කට විතර යූනිස්ගේ පුරෝගාමී සහකාරියන්ව සිටි නූර්යාව සහ ආනාව ජොනුයි මමයි සැලකුවේ අපේම දුවලා හැටියටයි. ඒ වගේම ඔවුන්ට පැවරුම ලැබෙන ඕනෑම තැනකට අපිත් ඇවිත් ඔවුන් එක්ක ඉන්නවාට ඔවුන් සතුටු වුණා.
අපි ඒ තීරණය ගත්ත දා ඉඳලා අවුරුදු හයකට වඩා ගත වී තිබෙනවා. අපේ සෞඛ්‍යය තවත් පිරිහිලා නැති අතර, අපේ ජීවිත ඇත්තෙන්ම වඩාත් සිත්ගන්නා එකක් බවට පත් වෙලා තියෙනවා. මට තවමත් ස්පාඤ්ඤ භාෂාව ඒ තරම් කතා කරන්න බැරි වුණත්, මාව දේශනා කිරීමෙන් නවත්වන්න ඒකට බැහැ. නිරිතදිග ස්පාඤ්ඤයේ අපේ එක්ස්ට්‍රෙමාඩූරා කුඩා සභාවේදී ජොන්ටයි, මටයි කිසිම අපහසුවක් දැනෙන්නේ නැහැ.
ස්පාඤ්ඤයේ ජීවත් වීම, අපේ රාජ්‍ය දේශනා වැඩයේ ජාත්‍යන්තර ස්වභාවය ගැන බොහෝ දේ මට උගන්වා තිබෙන අතර, යේසුස් ක්‍රිස්තුස් පැවසූ විදිහට “කෙත නම් ලෝකය” වන්නේ කෙසේද කියන එක දැන් මට වඩාත් පැහැදිලිව තේරෙනවා.—මතෙව් 13:38.
[28වන පිටුවේ පින්තූර]
පුරෝගාමී සේවයෙහි 1930ගණන්වලදී