තීන්දු කිරීමේ මිටියාවතෙහි විනිශ්චය ක්‍රියාත්මක වේ
“ජාතීහු . . . යෙහෝෂාපාත් මිටියාවතට නැගී එත්වා. මක්නිසාද . . . සියලු ජාතීන් විනිශ්චයකරන්ට එහි හිඳගන්නෙමි.”—යෝවෙල් 3:12.
1. “තීන්දුකිරීමේ මිටියාවතෙහි” සමූහයන් එක්රැස් වී සිටිනවා යෝවෙල් දකින්නේ ඇයි?
“රාශි ගණන් සමූහයෝ තීන්දුකිරීමේ මිටියාවතෙහි සිටින්නෝය”! ඒ හැඟීම් දනවන වචන යෝවෙල් 3:14හි අපිට කියවීමට තිබෙනවා. මේ සමූහයෝ රැස් වී සිටින්නේ ඇයි? යෝවෙල් ඊට මෙසේ උත්තර දෙනවා: “[යෙහෝවාගේ] දවස ළංව තිබේ.” එය යෙහෝවාගේ නිදොස් කිරීමේ මහත් දවසයි—ක්‍රිස්තුස් යටතේ පවතින දෙවිගේ ස්ථාපිත රාජ්‍යය ප්‍රතික්ෂේප කර තිබෙන සමූහයා කෙරෙහි විනිශ්චය ක්‍රියාත්මක කරන දවසයි. අන්තිමේදී, එළිදරව් 7වන පරිච්ඡේදයේ සඳහන් ‘දේවදූතයන් සතරදෙනා’ තදින් අල්ලාගෙන සිටින “පොළොවේ සතරදිග හුළඟ” අතහරින්න නියමිතයි; එහි ප්‍රතිඵලය “ලෝකයේ පටන්ගැන්මේ සිට මේ දක්වා නූණාවූ, මතු කොයිකලෙකවත් නොවන්නාවූ මහත් [පීඩාවයි].”—එළිදරව් 7:1; මතෙව් 24:21.
2. (අ) යෙහෝවාගේ විනිශ්චය ක්‍රියාත්මක කරන ස්ථානය “යෙහෝෂාපාත් මිටියාවත” යනුවෙන් හැඳින්වීම යෝග්‍ය වන්නේ ඇයි? (ආ) ප්‍රහාරයකට ලක් වුණු අවස්ථාවේදී යෙහෝෂාපාට් නිසි ලෙස ප්‍රතික්‍රියා කළේ කෙසේද?
2 මේ විනිශ්චය ක්‍රියාත්මක කරන ස්ථානය “යෙහෝෂාපාත් මිටියාවත” ලෙස යෝවෙල් 3:12හි හඳුන්වනවා. උචිත ලෙස, යූදා ඉතිහාසයේ කැලඹුණු කාලපරිච්ඡේදයකදී, “යෙහෝවා විනිශ්චකරු වේ” යන අර්ථය ඇති නමින් හැඳින්වූ යහපත් රජ වූ යෙහෝෂාපාට් උදෙසා යෙහෝවා එහිදී විනිශ්චය ක්‍රියාත්මක කළා. අපේ කාලයේදී සිදුවීමට ආසන්න දෙය වඩා හොඳින් අගය කරන්න ඒ කාලයේදී සිදු වූ දෙය සලකා බැලීම අපිට උපකාර කරන්න යනවා. ඒ වාර්තාව 2 ලේකම් 20වන පරිච්ඡේදයේ සඳහන් වෙනවා. “මෝවබ් පුත්‍රයෝද අම්මොන් පුත්‍රයෝද ඔවුන් සමඟ අම්මොනිවරුන්ගෙන් සමහරෙක්ද යෙහෝෂාපාට්ට විරුද්ධව යුද්ධයට ආවෝය” කියා එම පරිච්ඡේදයේ පළමුවන වගන්තියේ අපට කියවීමට තිබෙනවා. යෙහෝෂාපාට් ප්‍රතික්‍රියා කළේ කෙසේද? අර්බුදකාරි අවස්ථාවකදී යෙහෝවාගේ ඇදහිලිවන්ත සේවකයන් කවදත් කරන දෙය ඔහු කළා. ඔහු මහත් උනන්දුවෙන් මෙසේ යාච්ඤා කරමින් මඟ පෙන්වීම සඳහා යෙහෝවා වෙතට හැරුණා: ‘අපේ දෙවියනි, ඔබ ඔවුන් කෙරෙහි විනිශ්චය ක්‍රියාත්මක නොකරන්නේද? මක්නිසාද අපට විරුද්ධව එන මේ මහත් සමූහයා ඉදිරියෙහි සිටින්ට අපට ශක්තිය නැත; අපි මක්කරමුද කියාත් නොදනිමුව. නුමුත් අපේ ඇස් ඔබ දෙසම යොමු කර තිබේ.’—2 ලේකම් 20:12.
යෙහෝවා යාච්ඤාවකට උත්තර දෙයි
3. යූදාවරුන් අසල්වැසි ජාතීන්ගේ දරුණු ප්‍රහාරවලට මුහුණ දුන් අවස්ථාවේදී යෙහෝවා ඔවුන්ට දුන්නේ කිනම් උපදෙස්ද?
3 “මුළු යූදා තමුන්ගේ අතදරුවන්ද භාර්යාවන්ද දරුවන්ද සමඟ [යෙහෝවා] ඉදිරියෙහි” පෙනී සිටියදී යෙහෝවා ඊට ප්‍රතිචාරය දැක්වූවා. (2 ලේකම් 20:13) හරියට අද ඔහු “විශ්වාසවූ නුවණ ඇති දාසයා” පාවිච්චි කරනවා වගේ, යාච්ඤාවේ මහත් සවන් දෙන්නා රැස්වී සිටින්නන්ට තමාගේ උත්තරය ලබා දීම සඳහා ලෙවී අනාගතවක්තෘවරයෙක් වූ යහසීයෙල්ට බලය දුන්නා. (මතෙව් 24:45) අපිට මෙසේ කියවීමට තිබෙනවා: ‘යෙහෝවා නුඹලාට මෙසේ කියන්නේය—මේ මහත් සමූහයා නිසා භය නොවෙන්න, නොකැලඹෙන්න; මක්නිසාද මේ යුද්ධය නුඹලාගේ නොව දෙවිගේය. . . . මේ යුද්ධයේදී නුඹලා සටන් කරන්ට ඕනෑ නැත. සැරසී නිශ්චලව සිට යෙහෝවා නුඹලාට දෙන ගැළවීම බලාසිටින්න. යෙහෝවා නුඹලා සමඟ සිටින නිසා භය නොවී, නොකැලඹී, හෙට ඔවුන් වෙතට පිටත්ව යන්න.’—2 ලේකම් 20:15-17.
4. තම සෙනඟ සතුරාගේ අභියෝගවලට මුහුණ දුන් විට ඔවුන් උදාසීන නොව, ක්‍රියාශීලී විය යුතු බවට යෙහෝවා අපේක්ෂා කළේ කුමන ආකාරයෙන්ද?
4 යෙහෝෂාපාට් රජුත් ඔහුගේ සෙනඟත් නිකම්ම එක තැනක වාඩි වී ආශ්චර්යවත් ගැළවීමක් සිදු වන තෙක් බලාසිටිනවාට වඩා වැඩි යමක් කිරීම යෙහෝවා ඔවුන්ගෙන් අපේක්ෂා කළා. සතුරාගේ අභියෝගයට මුහුණ දීමේදී ඔවුන් මුල් පියවර ගත යුතුව තිබුණා. රජ සහ “මුළු යූදා තමුන්ගේ අතදරුවන්ද භාර්යාවන්ද දරුවන්ද” සමඟ කීකරු ලෙස අලුයම නැඟිට ආක්රමණික සමූහයන් වෙත ගමන් කරද්දී ශක්තිමත් ඇදහිල්ලක් පෙන්වූවා. ගමන් කරන අතරේදී රජු දිව්‍යාණ්ඩු උපදෙස් සහ දිරිගැන්වීම් දිගටම සපයමින් ඔවුන්ව මෙසේ උනන්දු කළා: “බොහෝකල් පැවතීම ඔබ ස්ථිර කරගන්නා පිණිස ඔබේ දෙවි වූ යෙහෝවා කෙරෙහි ඇදහිල්ල තබන්න. ප්‍රොපේතවරුන් කෙරෙහි ඇදහිල්ල තබා සාර්ථක වන්න.” (2 ලේකම් 20:20, NW) යෙහෝවා කෙරෙහි ඇදහිල්ල! ඔහුගේ ප්‍රොපේතවරුන් කෙරෙහි ඇදහිල්ල! සාර්ථකත්වයේ යතුර පවතින්නේ එතැනයි. ඒ හා සමානව අදත්, අපි යෙහෝවාගේ සේවය තුළ දිගටම ක්‍රියාශීලී වෙද්දී ඔහු අපේ ඇදහිල්ල ජයග්‍රහණය කරා ගෙනයන බවට කිසිවිටකත් සැක නොකරමු!
5. අදදින යෙහෝවාගේ සාක්ෂිකරුවන් යෙහෝවාට ප්‍රශංසා කරද්දී ක්‍රියාශීලී වන්නේ කෙසේද?
5 ‘ඔහුගේ ප්‍රේමනීය කරුණාව සදාකල්ම පවතින නිසා’ යෙහෝෂාපාට්ගේ දවසේ විසූ යුදෙව්වන් මෙන් අපත් ‘යෙහෝවාට ප්‍රශංසා කළ’ යුතුයි. අපි මේ ප්‍රශංසාව පිරිනමන්නේ කොහොමද? අපේ ජ්වලිත රාජ්‍ය දේශනා කිරීම මගින්! ඒ යුදෙව්වන් ‘ප්‍රීති ඝෝෂාවද ප්‍රශංසාවද පටන්ගත්තාක්’ මෙන් අපිත් අපේ ඇදහිල්ලට ක්‍රියා එකතු කරගනිමු. (2 ලේකම් 20:21, 22) ඔව්, තම සතුරන්ට විරුද්ධව ක්‍රියා කරන්න යෙහෝවා සූදානම් වෙද්දී අපිත් ඒ හා සමාන අනර්ඝ ඇදහිල්ලක් විදහාපෙන්වමු! පාර දීර්ඝයි වගේ පෙනෙන්න තිබුණත්, පොළොවේ කරදරකාරි තත්වයන් පවතින තැන්වල ඔහුගේ ජයග්‍රාහී සෙනඟ කරමින් සිටින්නාක් මෙන් විඳදරාගන්නත්, ඇදහිල්ලේ ක්‍රියාශීලීව සිටින්නත් අධිෂ්ඨාන කරගනිමු. හිංසා පීඩාවලින්, සැහැසියාවෙන්, සාගතයෙන් සහ දරුණු ආර්ථික තත්වයන්ගෙන් තදින් පහර ලබන සමහර දේශවල සිටින දෙවිගේ ඇදහිලිවන්ත සේවකයන්, 1998 යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත (ඉංග්‍රීසියෙන්) වාර්තා කරන ආකාරයට විශිෂ්ට ප්‍රතිඵල අද්දකිමින් සිටිනවා.
යෙහෝවා ඔහුගේ සෙනඟව ගළවාගනියි
6. අද අපට පක්ෂපාතව සිටීම සඳහා ශක්තිමත් ඇදහිල්ල උපකාරවත් වන්නේ කෙසේද?
6 යූදා වට කරගෙන සිටි අභක්තික ජාතීන් දෙවිගේ සෙනඟව සම්පූර්ණයෙන්ම යටපත් කර දමන්න උත්සාහ කළත්, යෙහෝවාගේ සේවකයන් ඔහුට ප්‍රශංසා ගී ගයමින් ආදර්ශවත් ඇදහිල්ලක් ඇතුව ප්‍රතිචාරය දැක්වූවා. අද අපිට එවැනිම ඇදහිල්ලක් විදහාපෙන්විය හැකියි. යෙහෝවාට ප්‍රශංසාව ගෙනෙන ක්‍රියාවලින් අපේ ජීවිත පුරවාගැනීමෙන්, සාතන්ගේ කූට උපක්රමවලට හසුවීමට කිසිම ඉඩක් නොතැබීම සඳහා අපි අපේ ආත්මික යුධායුධ ශක්තිමත් කරගන්නවා. (එපීස 6:11) අප අවට තිබෙන මියයමින් පවතින ලෝක ස්වභාවයේ ගතිලක්ෂණ වන පහත් විනෝදාස්වාදය, ද්‍රව්‍යවාදය සහ උදාසීනත්වය මගින් සිත වෙනතකට යොමුවීමේ පරීක්ෂාව මැඩපවත්වන්න, ශක්තිමත් ඇදහිල්ලට හැකියි. “නියම වේලාවට” සපයන ආත්මික ආහාරවලින් අපි දිගටම පෝෂණය ලබද්දී, “විශ්වාසවූ නුවණ ඇති දාසයා” සමඟ දිගටම පක්ෂපාතව සේවය කිරීමට මේ අපරාජිත ඇදහිල්ල අපට හැකිකම ලබා දෙනවා.—මතෙව් 24:45.
7. යෙහෝවාගේ සාක්ෂිකරුවන් තමන්ට එරෙහිව එල්ල වන විවිධාකාර ප්රහාරයන්ට ප්‍රතිචාරය දක්වා තිබෙන්නේ කෙසේද?
7 මතෙව් 24:48-51 දක්වා සඳහන් “නපුරු [දාසයාගේ]” ආත්මය පිළිබිඹු කරන අය අවුස්සන වෛරය පිරුණු විරුද්ධවාදී ව්‍යාපාරයන්ට එරෙහිව ස්ථිරව සිටීම සඳහා බයිබලය මත පදනම් අපේ ඇදහිල්ල අපව ශක්තිමත් කරන්න යනවා. මෙම අනාවැකිය කැපීපෙනෙන ආකාරයකින් ඉටු කරමින්, අදදින බොහෝ දේශවල ඇදහිල්ල අත්හළ අය, ජාතීන් අතර අධිකාරිය හොබවන අයව පවා කූට ලෙස පොලඹවාගනිමින් ක්‍රියාශීලී ලෙස බොරු මෙන්ම තම වාසියට අදහස් වපුරමින් සිටිනවා. පිලිප්පි 1:7හි [NW] පැහැදිලි කර තිබෙන්නාක් මෙන් උචිත අවස්ථාවලදී, යෙහෝවාගේ සාක්ෂිකරුවන් ‘ශුභාරංචිය සුරකිමින් හා එය නීත්‍යනුකූලව තහවුරු කරමින්’ ප්‍රතිචාරය දක්වා තිබෙනවා. උදාහරණයක් හැටියට, 1996 සැප්තැම්බර් 26වනදා, ග්‍රීසියේ පැවති නඩු විභාගයකදී ස්ට්රාස්බ’ග්හි මිනිස් අයිතිවාසිකම් පිළිබඳ යුරෝපීය අධිකරණයේ විනිසුරුවන් නවදෙනා ඒකමතිකව යළි තහවුරු කළේ “යෙහෝවාගේ සාක්ෂිකරුවන් ‘පිළිගත් ආගම්’ අතර සිටින” බවයි; ඒ අනුව ඔවුන්ට සිතීමේ නිදහස හෘදය සාක්ෂියට එකඟව කටයුතු කිරීමේ නිදහස හා ඇදහීමේ නිදහස මෙන්ම ඔවුන්ගේ ඇදහිල්ල ප්‍රකාශ කිරීමේ නිදහස තිබෙනවා. ඇදහිල්ල අත්හළ අය සම්බන්ධයෙන් දෙවිගේ විනිශ්චයේ මෙසේ සඳහන් වෙනවා: “බල්ලා නැවත උගේ වමනයටත්, නෑවාවූ ඊරී මඩේ පෙරළීමටත් හැරී ගියෝය යන සැබෑවූ උපමාවේ ප්‍රකාරයට ඔවුන්ට සිදුවී තිබේ.”—2 පේතෘස් 2:22.
8. යෙහෝෂාපාට්ගේ කාලයේදී, තම සෙනඟගේ සතුරන්ට එරෙහිව යෙහෝවා විනිශ්චය ක්‍රියාත්මක කළේ කෙසේද?
8 යෙහෝෂාපාට්ගේ දවස්වලදී යෙහෝවා තම සෙනඟට හානි කිරීමට කැමැත්තෙන් සිටි අයට එරෙහිව විනිශ්චය ක්‍රියාත්මක කළා. අපට මෙසේ කියවීමට තිබෙනවා: “යූදාට විරුද්ධව ඇවිත් සිටි අම්මොන් සහ මෝවබ් පුත්‍රයන්ටද සේයිර් කඳුකරයේ වැසියන්ටද විරුද්ධව [යෙහෝවා] රැක සිටින සේනාවක් [සිටෙව්වේය]; ඔව්හු පැරදුණෝය. මක්නිසාද අම්මොන් සහ මෝවබ් පුත්‍රයන් සේයිර් කඳුකරයේ වැසියන් සිඳදමා විනාශකරන පිණිස ඔවුන්ට විරුද්ධව නැගිට්ටෝය. සේයිර් වැසියන් මුළුමනින්ම නැතිකළායින් පසු ඔව්හු එකෙක් අනිකෙකු විනාශකරන්ට උපකාරවූහ.” (2 ලේකම් 20:22, 23) යූදාවරු එම ස්ථානයට “ආශීර්වාදය” යන අර්ථය ඇති බෙරාකා මිටියාවත කියා නම් කළා. නවීන කාලවලද, ඔහුගේ සතුරන් පිටට ගෙනෙන යෙහෝවාගේ විනිශ්චය ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලය වන්නේ ඔහුගේ සෙනඟ සඳහා ඉමහත් ආශීර්වාද ගෙන ඒමයි.
9, 10. යෙහෝවාගේ අහිතකර විනිශ්චය ලැබීමට තමන් වටින බව පෙන්වා තිබෙන්නේ කවුද?
9 නවීන කාලවල යෙහෝවාගෙන් පැමිණෙන අහිතකර විනිශ්චය ලබන්නේ කවුද කියා අපි අසන්න පුළුවන්. ඒ ප්‍රශ්නයට උත්තරය සොයාගැනීම සඳහා නැවතත් යෝවෙල්ගේ අනාවැකියට අවධානය යොමු කරන්න අපට සිදු වෙනවා. ඔහුගේ සෙනඟගේ සතුරන් ගැන යෝවෙල් 3:3හි පවසන්නේ ඔවුන් “පිරිමි ළමයෙකු වේශ්‍යාවක් නිසා දුන්නෝය, ගෑනු ළමයෙකු මුද්‍රිකපානය බොන පිණිස වික්කෝය” කියායි. ඔව්, ඔවුන් දෙවිගේ සේවකයන්ව සලකන්නේ ඉතාමත් පහත් අය ලෙසයි; ඔවුන්ගේ දරුවන්ව සලකන්නේ වේශ්‍යාවකුගේ කුලියට හෝ වයින් ජෝගුවක මිලට වඩා නොවටිනා අය ලෙසයි. ඒ ගැන ඔවුන්ට ගණන් දෙන්න සිද්ධ වෙනවා.
10 ආත්මික ලෙස වේශ්‍යාකමේ හවුල් වන අයත් ඒ හා සමාන විනිශ්චයකට ලක්වීම යෝග්‍යයි. (එළිදරව් 17:3-6) විශේෂයෙන්ම දෝෂාරෝපණයට ලක් වන්නේ මෑත කාලයේදී නැඟෙනහිර යුරෝපයේ කලහාකාරි සමූහයන්ව පොලඹවන ඇතැම් ආගමික නායකයන් කර තිබෙන්නාක් මෙන් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට හිංසා පීඩා කිරීමට හා ඔවුන්ගේ කටයුතුවලට බාධා කිරීමට දේශපාලනික බලවතුන්ව පොලඹවන අයයි. එවැනි දුෂ්ට දේවල් කරන්නන්ට එරෙහිව ක්‍රියා කිරීම සඳහා වූ තමාගේ අධිෂ්ඨානය යෙහෝවා ප්‍රකාශ කරනවා.—යෝවෙල් 3:4-8.
“යුද්ධය විශුද්ධවත් කරන්න”
11. යෙහෝවා තම සතුරන්ට යුද්ධයකට අභියෝග කරන්නේ කෙසේද?
11 ඊළඟට, යෙහෝවා ජාතීන් අතර අභියෝගයක් ප්‍රකාශ කිරීම සඳහා තම සෙනඟට මෙසේ ඇරයුම් කරයි: “[යුද්ධය විශුද්ධවත් කරන්න, NW] බලවතුන් නැගුටුවන්න; සියලු යුද්ධකාරයෝ ළංවී නැගී එත්වා.” (යෝවෙල් 3:9) මෙය අසාමාන්‍ය ආකාරයේ යුද්ධයක්, එනම් ධර්මිෂ්ඨ යුද්ධයක් ගැන කෙරෙන ප්‍රකාශයක්. යෙහෝවාගේ පක්ෂපාත සාක්ෂිකරුවන් බොරු ප්‍රචාරවලට පිළිතුරු දෙමින් සත්‍යයෙන් බොරු ප්‍රකාශයන් නිෂ්ප්‍රභ කරද්දී, ඔවුන් ආත්මික අවි ආයුධ මත රඳා සිටිනවා. (2 කොරින්ති 10:4; එපීස 6:17) ඉක්මනින්ම, දෙවි “සර්වපරාක්‍රමවූ [දෙවිගේ] මහත් දවසේ යුද්ධය” සඳහා සැරසෙන්න යනවා. එමගින් දෙවිගේ පරමාධිපත්‍යයට විරුද්ධ වන සියලුදෙනාවම මේ පොළොවෙන් තුරන් කර දමන්න යනවා. මේ පොළොවේ සිටින ඔහුගේ සෙනඟ මාංසිකව කිසිම ආකාරයකින් එයට හවුල් වෙන්න යන්නේ නැහැ. වචනයේ පරිසමාප්තියෙන්ම හා උපමාලංකාර ලෙස ඔවුන් “කඩුවලින් හීවැල්ද හෙල්ලවලින් දෑකැතිද [තළාගෙන]” තිබෙනවා. (යෙසායා 2:4) මීට වෙනස්ව යෙහෝවා විරුද්ධ වන ජාතීන්ට අභියෝග කරන්නේ ඊට විරුද්ධ වන මේ දේ කරන්නයි: “නුඹලාගේ හීවැල්වලින් කඩුද නුඹලාගේ දෑකැතිවලින් හෙල්ලද තළාගන්න.” (යෝවෙල් 3:10) යුධ උපකරණ හා නවීන අවි ආයුධවලින් පිරුණු ඔවුන්ගේ මුළු යුධ ගබඩාවම යුද්ධය සඳහා යොදවන්න කියා යෙහෝවා ඔවුන්ට ආරාධනා කරනවා. නමුත් ඔවුන්ට සාර්ථක වෙන්න බැහැ. මන්ද යුද්ධය සහ ජයග්‍රහණය අයිති යෙහෝවාටයි!
12, 13. (අ) ශීත යුද්ධය අවසන් වී තිබුණත්, තමන් තවමත් යුද්ධයට ප්‍රිය කරන බව බොහෝ ජාතීන් පෙන්වා තිබෙන්නේ කෙසේද? (ආ) ජාතීන් සූදානම් වී නැත්තේ කුමකටද?
12 ශීත යුද්ධය අවසන් කියා 1990 ගණන්වල මුල් භාගයේදී ජාතීන් ප්‍රකාශ කළා. එය සලකා බැලීමේදී, එක්සත් ජාතීන්ගේ මූලික ඉලක්කය වන සාමය සහ සුරක්ෂිතභාවය අත් කරගෙන තිබෙනවාද? නැති තරම්! බුරුන්ඩි, කොන්ගෝ ප්රජාතන්ත්රවාදී සමූහාණ්ඩුව, ඉරාකය, ලයිබීරියාව, රුවන්ඩාව, සෝමාලියාව සහ කලින් යුගෝස්ලාවියාව යන රටවල මෑතක සිදුවීම්වලින් අපට කියාපාන්නේ මොනවාද? යෙරෙමියා 6:14හි සඳහන් මේ වදන් ඔවුන් පවසමින් සිටිනවා: “සමාදානය නැතුව තිබෙද්දී: සමාදානයය, සමාදානයය.”
13 සමහර ස්ථානවල මුහුණට මුහුණලා කෙරෙන යුද්ධ අවසන් වී තිබුණත් අලුත්ම පන්නයේ යුධ අවි නිෂ්පාදනය කිරීමේදී එ.ජා. සාමාජික ජාතීන් තවමත් එකිනෙකා සමඟ තරඟ වදිනවා. ඇතැම් ජාතීන් දිගටම න්‍යෂ්ටික අවි තොග රැස් කර තබනවා. තවත් අය විශාල විනාශයක් සිදු කරන රසායනික හෝ ජීව අවි වැඩිදියුණු කරනවා. ඒ ජාතීන් අර්මගෙදොන් යනුවෙන් හඳුන්වන සංකේතාත්මක ස්ථානයට රැස්වන විට ඔහු ඔවුන්ට මෙසේ අභියෝග කරනවා: “මම බලවන්තයෙක්මියි බෙලහීනයා කියාවා. වටකර සිටින සියලු ජාතීනි, ඉක්මන්කර එන්න, එසේ ඔව්හු රැස්වෙත්වා.” එවිට යෝවෙල් තමාගේ ආයාචනාව මේ විදිහට කරනවා: ‘අහෝ යෙහෝවා, ඔබගේ බලවතුන් එහි පමුණුවන්න.’—යෝවෙල් 3:10, 11, ඇල අකුරු අපගේය.
යෙහෝවා ඔහුගේ සෙනඟව ආරක්ෂා කරයි
14. යෙහෝවාගේ බලවතුන් කවුද?
14 යෙහෝවාගේ බලවතුන් කවුද? බයිබලයේ 280 වතාවක් පමණ, සැබෑ දෙවිව ‘සේනාවල යෙහෝවා’ ලෙස හඳුන්වා තිබෙනවා. (2 රාජාවලිය 3:14) මේ සේනාව නම් යෙහෝවාගේ අණ ලැබෙන තෙක් සූදානමින් සිටින ස්වර්ගීය දේවදූත සමූහයයි. සිරියවරුන් එලිෂාව අල්ලාගන්න සොයද්දී, ඔවුන් සාර්ථක නොවීමට හේතුව තේරුම්ගන්න ඔහුට හැකි වන පරිදි අන්තිමේදී යෙහෝවා එලිෂාගේ සේවකයාගේ ඇස් පැහැදුවා: ‘එලිෂා වටේට ගිනි අශ්වයන්ගෙන්ද ගිනි රථවලින්ද කන්ද පිරී තිබුණා.’ (2 රාජාවලිය 6:17) “දේවදූතයන් ලෙගියොන් දොළොසකට වඩා” එවන්න කියා ඔහුගේ පියාගෙන් ඉල්ලන්න තමාට හැකියාවක් තිබූ බව යේසු පැවසුවා. (මතෙව් 26:53) අර්මගෙදොන්හි විනිශ්චය ක්‍රියාත්මක කිරීම සඳහා යේසු ගමන් කරන ආකාරය විස්තර කරමින් එළිදරව් මෙසේ සඳහන් කරනවා: ‘ස්වර්ගයෙහි සිටින සේනාවෝ සුදු වූ පවිත්‍ර සිහින් වස්ත්‍ර හැඳ, සුදු අශ්වයන් පිටින් ඔහු පස්සේ ගියෝය. ජාතීන්ට පහර දෙන පිණිස ඔහුගේ මුඛයෙන් තියුණු කඩුවක් නික්මෙයි. ඔහු යදණ්ඩකින් ඔවුන් ආණ්ඩු කරන්නේය. ඔහු සර්වපරාක්‍රම දෙවිගේ කෝපයේ උදහස නමැති මුද්‍රිකපැස මඩින්නේය.’ (එළිදරව් 19:14, 15) මේ සංකේතාත්මක මුද්‍රිකපැස ‘දෙවිගේ උදහස නමැති මහත් මිදිපැස’ ලෙස විචිත්‍රවත් යෙදුම්වලින් විස්තර කර තිබෙනවා.—එළිදරව් 14:17-20.
15. ජාතීන්ට එරෙහිව යෙහෝවාගේ සටන යෝවෙල් විස්තර කරන්නේ කෙසේද?
15 එසේනම්, දෙවිගේ බලවතුන් පැමිණවීම ගැන යෝවෙල්ගේ ඉල්ලීමට යෙහෝවා උත්තර දෙන්නේ කෙසේද? එය කරන්නේ මෙම විචිත්‍රවත් වචනවලිනුයි: “ජාතීහු නැගිට යෙහෝෂාපාත් මිටියාවතට නැගී එත්වා. මක්නිසාද වටකර සිටින සියලු ජාතීන් විනිශ්චයකරන්ට එහි හිඳගන්නෙමි. ගොයම් පැසුණු නිසා දෑකැත්ත පොවන්න. මුද්‍රික යන්ත්‍රය පිරී තිබෙන බැවින් ඇවිත් බසින්න; මිදි යන්ත්‍රය පිරී තිබේ, පැස් ඉතිරීයන්නේය; මක්නිසාද ඔවුන්ගේ දුෂ්ටකම මහත්ය. රාශි ගණන් සමූහයෝ තීන්දුකිරීමේ මිටියාවතෙහි සිටින්නෝය. මක්නිසාද තීන්දු කිරීමේ මිටියාවතෙහි [යෙහෝවාගේ] දවස ළංව තිබේ. ඉර හඳ අඳුරුවී තිබේ, තාරකාවල දිලිහීමද පහවෙයි. [යෙහෝවා] සියොන්හි සිට ගර්ජනාකොට, යෙරුසලමේ සිට තමන්ගේ හඬ [පවත්වන්නේය]; අහසද පොළොවද සෙලවෙනවා ඇත.”—යෝවෙල් 3:12-16.
16. යෙහෝවා විනිශ්චය ක්‍රියාත්මක කිරීමට යන අය අතරට ඇතුළත් වෙන්න යන්නේ කවුරුන්ද?
16 යෙහෝෂාපාට් යන නමේ තේරුම “යෙහෝවා විනිශ්චකරු වේ” යන්න සැබෑවා සේම විනිශ්චය ක්‍රියාත්මක කිරීම මගින් යෙහෝවා දෙවි තමාගේ පරමාධිපත්‍යය සම්පූර්ණයෙන්ම නිදොස් කරන්න යනවා. අහිතකර විනිශ්චයක් ලබන අයව අනාවැකිය විස්තර කරන්නේ ‘තීන්දු කිරීමේ මිටියාවතේ සිටින රාශි ගණන් සමූහයන්’ ලෙසයි. බොරු ආගමට අනුබල දෙන ඉතිරි වන ඕනෑම කෙනෙක් මේ සමූහයන් අතර සිටීවි. ගීතාවලිය 2හි විස්තර කර ඇති, ‘යෙහෝවාට භයින් සේවය කරනවාට’ වඩා මේ ලෝකයේ දූෂිත ක්‍රමයට කැමැත්තක් දක්වා තිබෙන ජාතීන්, ජාතික කණ්ඩායම්, පොළොවේ රජවරු සහ උසස් නිලධාරීන් මෙයට ඇතුළත් වෙනවා. ඔවුන් ‘පුත්‍රයාව සිඹීම’ ප්‍රතික්ෂේප කරනවා. (ගීතාවලිය 2:1, 2, 11, 12) යේසු යෙහෝවාගේ සහකාර රජු ලෙස ඔවුන් පිළිගන්නේ නැහැ. තවදුරටත්, තේජවත් රජු “එළුවන්” ලෙස විනිශ්චය කරන සියලුම සෙනඟ, විනාශය සඳහා ලකුණු කරනු ලබන අයට ඇතුළත් වෙන්න යනවා. (මතෙව් 25:33, 41) ස්වර්ගීය යෙරුසලමේ සිට ගර්ජනා කිරීම සඳහා යෙහෝවාගේ නියමිත කාලය පැමිණි විට, ඔහුගේ සහකාර, රජුන්ගේ රජු විනිශ්චය ක්‍රියාත්මක කිරීම සඳහා පිටත් වෙනවා. ස්වර්ගයත් පොළොවත් නිසැකවම සෙලවෙන්න යනවා! කෙසේවෙතත්, “[යෙහෝවා] තමන්ගේ සෙනගට රක්ෂාස්ථානයක්ව, ඉශ්රායෙල් පුත්‍රයන්ට බලකොටුවක්ව සිටින” බව අපට සහතික කර තිබෙනවා.—යෝවෙල් 3:16.
17, 18. මහත් පීඩාවෙන් බේරී ජීවත්වන්නන් ලෙස හඳුන්වනු ලබන්නේ කාවද? එමෙන්ම ඔවුන් භුක්ති විඳින්න යන්නේ මොන වගේ තත්වයන්ද?
17 ‘මහත් පීඩාව මැදින් එන’ අයව, යේසුස්ගේ රුධිරය සතු මිදීමේ හැකියාව මත ඇදහිල්ල ක්‍රියාවට නඟන අයගෙන් සමන්විත “මහත් සමූහයක්” වශයෙන් එළිදරව් 7:9-17හි හඳුන්වා දෙනවා. යෝවෙල්ගේ අනාවැකියේ සඳහන් රාශි ගණන් සමූහයන් අහිතකර විනිශ්චයට මුහුණ දෙන විට ඔවුන් යෙහෝවාගේ දවසෙන් ආරක්ෂාව ලබනවා. බේරී ජීවත් වන අය ගැන යෝවෙල් මෙසේ පවසනවා: “[යෙහෝවා] වන මා මාගේ ශුද්ධ කන්ද වන සියොන්හි [එනම් යෙහෝවාගේ ස්වර්ගික වාසස්ථානයේ] වසන නුඹලාගේ [දෙවි] බව නුඹලා දැනගන්නහුය.”—යෝවෙල් 3:17අ.
18 දෙවිගේ ස්වර්ගීය රාජ්‍යයට අයත් ප්‍රදේශය “ශුද්ධව තිබෙන්නේය, විදේශියෝ එහි මැදින් තවත් නොයන්නෝය” කියා අනාවැකිය ඉන් පසුව අපට දන්වනවා. (යෝවෙල් 3:17ආ) නිර්මල නමස්කාරය තුළ සියලුදෙනාවම එක්සත් කරනු ලබන්න යන නිසා ස්වර්ගයේවත් ඒ ස්වර්ගික රාජ්‍යයේ භූමික විෂයේවත් කිසිම විදේශිකයෙක් සිටින්න යන්නේ නැහැ.
19. අදදින දෙවිගේ සෙනඟ භුක්ති විඳින පාරාදීසයක් බඳු සන්තෝෂවත් තත්වය යෝවෙල් විස්තර කරන්නේ කෙසේද?
19 මේ කාලයේදී පවා, මේ පොළොව මත යෙහෝවාගේ සෙනඟ අතර සාමය බහුල ලෙස පවතිනවා. රටවල් 230කට වැඩි සංඛ්‍යාවක විවිධ භාෂා 300කට වැඩි ගණනකින් ඔවුන් දෙවිගේ විනිශ්චය එක්සත්ව ප්‍රකාශ කරමින් සිටිනවා. ඔවුන්ගේ සමෘද්ධිය ගැන යෝවෙල් මෙසේ අලංකාර ලෙස අනාවැකි පවසනවා: “ඒ කාලයෙහි කඳුවලින් මිදි පැන් වැගිරෙනවා ඇත, හෙල්වලින් කිරි ගලනවා ඇත, යූදාහි සියලු ඔයවල වතුර ගලා යනවා ඇත.” (යෝවෙල් 3:18) ඔව්, යෙහෝවා පොළොව මත සිටින ඔහුගේ ප්‍රශංසා කරන්නන් මත ප්‍රීතිමත් ආශීර්වාද, සමෘද්ධිය මෙන්ම අනර්ඝ සත්‍යතාවේ වැඩි වෙන දිය පහරවල් දිගටම වගුරුවන්න යනවා. තීන්දු කිරීමේ මිටියාවතේදී යෙහෝවාගේ පරමාධිපත්‍යය සම්පූර්ණයෙන්ම නිදොස් කරනු ලබන්න යන අතර, ඔහු ඔහුගේ මුදවාගත් සෙනඟ අතරේ සදාකාලයටම වාසය කරන විට ප්‍රීතිය බහුලව පවතීවි.—එළිදරව් 21:3, 4.
ඔබට මතකද?
◻ යෙහෝෂාපාට්ගේ දවස්වලදී යෙහෝවා තම සෙනඟව බේරාගත්තේ කෙසේද?
◻ ‘තීන්දු කිරීමේ මිටියාවතේදී’ විනාශ වීමට වටින අය වශයෙන් යෙහෝවා විනිශ්චය කරන්නේ කාවද?
◻ යෙහෝවාගේ බලවතුන් කවුද? එමෙන්ම අවසාන සටනේදී ඔවුන් මොන වගේ වැඩකොටසක් කරන්න යනවාද?
◻ ඇදහිලිවන්ත නමස්කාරකයන් භුක්ති විඳින්නේ කුමන ආකාරයේ සන්තෝෂයක්ද?
[21වන පිටුවේ පින්තූරය]
යූදාට මෙසේ පවසනු ලැබුවා: ‘භය නොවන්න, මක්නිසාද මේ යුද්ධය නුඹලාගේ නොව දෙවිගේය’
[23වන පිටුවේ පින්තූරය]
‘තමන්ගේ හීවැල්වලින් කඩු තළාගන්න’ කියා යෙහෝවා තම සතුරන්ට අභියෝග කරනවා
[24වන පිටුවේ පින්තූරය]
මහත් පීඩාවෙන් බේරී ජීවත් වන අයගෙන් සමන්විත මහත් සමූහයක් බයිබලය හඳුන්වා දෙයි