පෘථිවිය එය මෙහි තිබෙන්නේ මන්ද?
ඔබ සලකා බැලිය යුතු ප්‍රශ්නයක් තිබෙනවා; එනම් පොළොව හා එහි වෙසෙන මිනිසුන් සම්බන්ධයෙන් අරමුණක් තිබෙන බුද්ධිමත් මැවුම්කරුවෙකු විසින් අපේ මේ අලංකාර ග්‍රහයාව සාදනු ලැබුවාද? එම ප්‍රශ්නයට ඔබව සෑහීමට පත් කරවන උත්තරයක් සොයාගැනීම, අපේ ග්‍රහයා සඳහා තිබෙන අනාගතය කෙබඳු එකක්ද යන්න තේරුම්ගැනීමට ඔබට උපකාර කළ හැකියි.
විශ්වය හා අපේ පොළොව ගැන ගැඹුරින් අධ්‍යයනය කර තිබෙන විද්‍යාඥයන් බොහෝදෙනෙක් මැවුම්කරුවෙකුගේ පැවැත්ම ගැන, එනම් එහි පිටුපස දෙවි සිටින බවට යොමු දක්වන සාක්ෂි සොයාගෙන තිබෙනවා. හුදෙක් එක් අයෙකුගේ අදහස් දැක්වීම් පමණක් සලකා බලන්න:
ද මයින්ඩ් ඔෆ් ගෝඩ් (දෙවිගේ මනස) නමැති පොතෙහි මහාචාර්ය පෝල් ඩේවිස් මෙසේ ලියනවා: “ස්ථිර, සංවිධානාත්මක, සංකීර්ණ නිර්මිතයන්ගෙන් සමන්විත ක්‍රමවත් හා එකිනෙක හා බැඳී පවතින විශ්වයේ පැවැත්මට විශේෂාකාරයේ නීති හා නියමයන් අවශ්‍ය කරනවා.”
තාරකා භෞතික විද්‍යාඥයන්ගේ හා වෙනත් අයගේ සැලකිල්ලට යොමු වී තිබෙන “සම්පාතයන්” ගණනාවක් සාකච්ඡා කිරීමෙන් පසු මහාචාර්ය ඩේවිස් තවදුරටත් මෙසේ පැවසුවා: “අප දැන සිටින්නාක් මෙන් ජීවිතය ඉතාමත් සංවේදී ලෙස රඳා පවතින්නේ, භෞතික විද්‍යාවේ නීතිවල ස්වරූපය මත මෙන්ම විවිධ අංශු, ස්කන්ධ, බල ශක්තීන් හා වෙනත් දේවල් සඳහා ස්වභාවධර්මය විසින් තෝරාගෙන තිබෙන සැබෑ අගයන් අනුව සිදු වන බව පෙනී යන ඇතැම් අහඹු සිදුවීම් මත බවට ඒ සියල්ල එකට ගත් කල ප්‍රබල සාක්ෂි සපයනවා. . . . දෙවි කරන දෙය අපිට කරන්න පුළුවන් නම් හා බොත්තම් කිහිපයක් එබීමෙන් මේ ප්‍රමාණයන් සඳහා රිසි සේ අගයන් තෝරාගත හැකි නම්, බොත්තම් සකස් කිරීම් සියල්ලම පාහේ යොදාගනිමින් විශ්වය වාසය කළ නොහැකි තත්වයකට පත් කළ හැකි බව අපිට සොයාගන්න පුළුවන්. සමහර තත්වයන්වලදී, ජීවය සඵල වන තත්වයකට ගෙන ඒමට නම්, එකිනෙකට වෙනස් බොත්තම් නූලටම සකස් කරගත යුතු බව පේනවා. . . . දේවල් සුළු වශයෙන් පවා වෙනස්කම්වලට ලක්වීම මගින් විශ්වය නිරීක්ෂණය කළ නොහැකි දෙයක් බවට පත්වීම ප්‍රබල වැදගත්කමකින් යුත් සත්‍යයක්.”
ඉහත සඳහන් කළ දේවලින් බොහෝදෙනෙකුට අදහස් කෙරෙන්නේ විශ්වයේ තිබෙන සෙසු දේවල් සමඟ අපේ පොළොව අරමුණක් සහිත මැවුම්කරුවෙකු විසින් සාදනු ලැබූ බවයි. එය එසේ වනවා නම්, ඔහු මුලින්ම පොළොව මැවීමට හේතු අප සොයාබැලීම අවශ්‍යයි. අපිට පුළුවන් නම්, පොළොව සඳහා ඔහුගේ අරමුණ කුමක්ද කියා සොයාබැලිය යුතුයි. මේ කාරණයේදී අසාමාන්‍ය දෙයක් සිදු වන බව පේනවා. අදේවවාදයේ ජනප්‍රියත්වය පුළුල් ලෙස පැතිරී තිබුණත් මිනිසුන් පුදුම දනවන ගණනක් තවමත් බුද්ධිමත් මැවුම්කරුවෙකු කෙරෙහි විශ්වාසය තබනවා. ක්‍රිස්තියානි ලෝකයේ පල්ලි බොහොමයක නමට පමණක් සර්වපරාක්‍රම දෙවිකෙනෙකු ගැන කතා කරනවා. නමුත් මේ ඕනෑම ආගමක් දෙවිගේ අරමුණට අනුව පොළොවේ අනාගතය ගැන නිසැකකමක් හා ස්ථිර විශ්වාසයක් ඇතුව කතා කරන්නේ කලාතුරකින්.
බයිබලය පවසන්නේ කුමක්ද?
මැවුම්කරුගෙන් පැමිණෙන බවට පුළුල් ලෙස පිළිගනු ලබන තොරතුරු සපයන මූලාශ්‍රයක් සලකාබැලීම තර්කානුකූල දෙයක් වෙනවා. එම මූලාශ්‍රය බයිබලයයි. අපේ පොළොවේ අනාගතය සම්බන්ධයෙන් එහි සඳහන් සරලතම හා ඉතාමත් පැහැදිලිම ප්‍රකාශවලින් එකක් දේශනාකාරයා 1:4හි සොයාගත හැකියි. එහි අපිට මෙසේ කියවීමට තිබෙනවා: “පරම්පරාවක් පහවී යන්නේය, තවත් පරම්පරාවක් පැමිණෙන්නේය; නුමුත් පොළොව සෑම කල්ම පවතින්නේය.” යෙහෝවා දෙවි පොළොව මැවීමට හේතු පැහැදිලි කිරීමේදී බයිබලය සරලයි. පොළොව මත තිබෙන ජීවයේ පැවැත්ම සඳහා අපේ සූර්යයාට සාපේක්ෂව ඔහු එය ඉතාමත් නිවැරදිව ස්ථානගත කළ බවත් එය පැහැදිලි කරනවා. සර්වපරාක්‍රම දෙවි පුරාණයේ සිටි අනාගතවක්තෘ යෙසායාට මෙසේ ලිවීමට ආනුභාවය දුන්නා: ‘ස්වර්ගයන් මැවුවාවූ, පොළොව මවා සාදා එය පිහිටෙවුවාවූ, එය හිස්කමට නොමවා වාසය පිණිස එය සෑදුවාවූ දෙවි වන යෙහෝවා මෙසේ කියයි: මම යෙහෝවාය, වෙන කෙනෙක් නැත.’—යෙසායා 45:18.
පොළොව මත සිටින සියලුම ජීවීන් විනාශ කර දමන මිනිසාගේ දියුණුව ගැන කුමක් කිව හැකිද? අපේ ග්‍රහයා මත ජීවත් වන සියලුම ජීවීන් මිනිසා විනාශ කර දැමීමට කලින් තමා ඊට මැදිහත් වෙන්න යන බව තම අනුපමේය ප්‍රඥාව මගින් යෙහෝවා ප්‍රකාශ කරනවා. බයිබලයේ අන්තිම පොත වන එළිදරව් පොතේ සඳහන් බිය සැක දුරු කරන මේ පොරොන්දුව සැලකිල්ලට ගන්න: “ජාතීහු උදහස්වූවෝය. ඔබගේ උදහසද මළවුන් විනිශ්චයකරන කාලයද ඔබ ස්වකීය මෙහෙකරුවූ ප්‍රොපේතවරුන්ටත් ශුද්ධවන්තයන්ටත් ඔබගේ නාමයට භයවන ලොකු කුඩා තැනැත්තන්ටත් විපාක දෙන්නාවූ, පොළොව විනාශකරන්නවුන් විනාශකරන්නාවූ කාලයද පැමුණුණේය.”—එළිදරව් 11:18.
පොළොව වටා ගමන් කරන ගගනගාමියෙක් විස්තර කළ ලෙස අභ්‍යවකාශයේ මැණික වන මේ පොළොව මැවීමේදී යෙහෝවාගේ මුල් අරමුණ වූයේ කුමක්ද කියා එය අපට හෙළි කරනවා. සියලුදෙනාම සාමයෙන් හා සමගියෙන් ජීවත් වන පුරුෂයන්ගෙන් හා ස්ත්‍රීන්ගෙන් ජනාවාස වූ සමස්ත ලෝක පාරාදීසයක් බවට එය පත් කිරීමට දෙවි අරමුණු කළා. දූදරුවන් බිහි කිරීමට මුල් මිනිස් යුවළට ඉඩ දීමෙන් මේ ග්‍රහයා ක්‍රමානුකූලව ජනාවාස වීමට ඔහු සැලසුම් කළා. මුල් මිනිස් යුවළගේ සතුට හා ප්‍රීතිය සඳහා යෙහෝවා පොළොවේ කුඩා කොටසක් පාරාදීසයක් බඳු තත්වයකට පත් කළා. මිනිස් පවුල්වල ජනනය අවුරුදු හා සියවස් ගණනක් පුරා සිදු වන විට උත්පත්ති 1:28හි පවසන මේ දෙය ඉටු වන තෙක් ඒදන් උයන ක්‍රමානුකූලව ව්‍යාප්ත වීමට තිබුණා: “[දෙවි ඔවුන්ට කියනුයේ]: නුඹලා බෝවී වැඩිවෙමින් පොළොව පූර්ණකොට ඒක යටත් කර ගන්න.”
පොළොවේ හා එහි වැසියන්ගේ කනගාටුදායක තත්වය අප දැන් දකින විට, එයින් අදහස් වන්නේ පොළොව සඳහා දෙවිගේ මුල් අරමුණ අසාර්ථක වී තිබෙන බවද? එහෙම නැත්නම් ඔහු තමාගේ අරමුණ වෙනස් කර මිනිසුන්ගේ නොහික්මුණුකම නිසා පෘථිවි ග්‍රහයාව සම්පූර්ණයෙන් විනාශ වීමට ඉඩහැර, නැවතත් මුලින් පැවති තත්වයට එය පත් කරන්න අදහස් කර තිබෙනවාද? නැහැ, මේ තත්වයන් දෙකින් එකක්වත් සැබෑවක් නොවන බව අපිට නිසැක විය හැකියි. යෙහෝවා අරමුණු කරන ඕනෑම දෙයක් අවසානයේදී ඉටු වන බවත් ඔහු අදහස් කරන ඕනෑම දෙයක් කිසිම පුද්ගලයෙකුට හෝ අනපේක්ෂිත සිදුවීමකට පවා වැළැක්විය නොහැකි බවත් බයිබලය අපට පවසනවා. ඔහු අපට මෙසේ සහතික කරනවා: “මාගේ මුඛයෙන් නික්මෙන මාගේ වචනයත් මා වෙතට හිස්ව හැරී නෑවිත්, මා කැමති දෙය සිදුකොට, මා නියමකළ කාරණය සඵලකරනවා ඇත.”—යෙසායා 55:11.
ඇණහිටියත් වෙනස් නොවූ දෙවිගේ අරමුණ
ආදම් සහ ඒවගේ කැරලිගැසීම හා ඔවුන්ව ඒදන් උයනෙන් පිටමං කිරීමත් සමඟ, පාරාදීස පොළොවක් පිළිබඳ දෙවිගේ අරමුණ ඔවුන් නොමැතිව සම්පූර්ණ වෙන්න යන බව පැහැදිලි වුණා. කෙසේවෙතත්, ඔවුන්ගේ දූදරුවන්ගෙන් සමහරදෙනෙක් ඔහුගේ මුල් ආඥාව සම්පූර්ණ කරන බවට යෙහෝවා එහිදීම ඇඟවීමක් කළා. ඇත්තයි, මෙයට කාලයක්, සියවස් ගණනාවක් පවා ගත වුණත්, ආදම් සහ ඒව යන දෙදෙනාම පරිපූර්ණත්වයෙන් ජීවත් වී සිටියා නම් මුල් ආඥාව සම්පූර්ණ කිරීමට කොතරම් කාලයක් ගත වෙන්න තිබුණාද යන්න ගැන කිසිම ඇඟවීමක් නැහැ. සැබෑව වන්නේ, යේසුස් ක්‍රිස්තුස්ගේ දහස් අවුරුදු පාලනයේදී—දැන් සිට අවුරුදු දහසකට වඩා ටිකක් වැඩි කාලයකදී—ඒදන්හි පැවති පාරාදීසයක් බඳු තත්වයන් පොළොව පුරා ව්‍යාප්ත වී මුල් මිනිස් යුවළගෙන් පැවතෙන සාමකාමී හා ප්‍රීතිමත් පැවතෙන්නන්ගෙන් ජනාවාස වීමයි. නොවරදිනසුලු අරමුණු කරන්නෙකු වශයෙන් යෙහෝවාගේ හැකියාව සදහටම නිදොස් වෙන්න යනවා.
බොහෝ කලකට ඉහතදී දෙවිගේ ආනුභාවයෙන් ලියවුණු හැඟීම් දනවන අනාවැකි ඒ කාලයේදී ඉටු වෙන්න යනවා. යෙසායා 11:6-9 හා සමාන ශුද්ධ ලියවිලි පාඨයන් තේජවත් ලෙස ඉටු වෙන්න යනවා: “වෘකයා බැටළුපැටවා සමග වාසයකරන්නේය, දිවියාද එළුපැටවා සමග ලගින්නේය; වස්සාද තරුණ සිංහයාද තර සතාද එක්ව සිටින්නෝය; කුඩා දරුවෙක් උන් ගෙනයන්නේය. එළදෙනත් වලසාත් එක්ව තෘණ කන්නෝය; උන්ගේ පැටවුද එක්ව ලගින්නෝය. සිංහයා හරකා මෙන් පිදුරු කන්නේය. කිරි දරුවා නාගයාගේ තුඹස පිට සෙල්ලම් කරන්නේය, කිරි වැරූ දරුවා පොළඟාගේ ගුල පිට තමාගේ අත තබන්නේය. මාගේ ශුද්ධ කන්දේ සීමා තුළෙහි කිසි අනතුරු කිරීමක්වත් විනාශ කිරීමක්වත් නොවන්නේය. මක්නිසාද ජලයෙන් මුහුද වැසී තිබෙන්නාක්මෙන්, [යෙහෝවා] ගැන දැනගැන්මෙන් පොළොව පිරීයන්නේය.”
මරණය හා සමානව දුර්වල සෞඛ්‍යය හා මාරාන්තික අසනීප අතීතයේ දේවල් බවට පත් වෙනවා. බයිබලයේ අවසාන පොතෙහි සඳහන් මේ සරල වචනවලට වඩා තවත් පැහැදිලි වචන තිබිය හැකිද? ‘දෙවිගේ මණ්ඩපය මනුෂ්‍යයන් සමඟය, ඔහු ඔවුන් සමඟ වාසය කරන්නේය. ඔව්හු ඔහුගේ සෙනඟ වන්නෝය. දෙවිම ඔවුන් සමඟ සිට ඔවුන්ගේ දෙවි වන්නේය. ඔහු ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිසදමන්නේය; මරණය තවත් නොවන්නේය; වැලපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය. මක්නිසාද පළමු දේවල් පහව ගියේය.’—එළිදරව් 21:3, 4.
ඔව්, අපේ අලංකාර පොළොව සදහටම පැවතීමෙන් අපිට දිරිගැන්වීමක් ලබාගන්න පුළුවන්. මේ දුෂ්ට දේවල පිළිවෙළ, පොළොව විනාශ කරන එහි සියලුම දේවල් සමඟින් නිමාවට පත් වන විට එයින් බේරී ජීවත් වීම ඔබේ වරප්‍රසාදය වේවා! දෙවි පිළියෙළ කරන්න යන පවිත්‍ර නව ලොව දැන් අත ළඟයි. එමෙන්ම නැවත නැඟිටීමේ ආශ්චර්ය මගින් ප්‍රේමනීයයන් බොහෝදෙනෙක් මරණයෙන් නැඟිටින්න යනවා. (යොහන් 5:28, 29) සැබවින්ම අපේ පොළොව සදහටම පවතිනවා, අපිටත් එහි සදහටම වෙසෙමින් එය භුක්ති විඳිය හැකියි.