සමහරුන් තමන්ගේ ආගම වෙනස් කරමින් සිටීමට හේතු
බොහෝදෙනෙකුට ආගම කියන්නේ ලේබලයකට වඩා වැඩි යමක් නොවෙයි. එය පුද්ගලයෙක් ඉඳහිට ඉරිදා දවස්වලට යන ස්ථානය, ඔහු විවාහ වන ස්ථානය හා ඔහුව භූමදානය කරන්න යන ස්ථානය යනාදිය අඟවන දෙයක් විය හැකියි. නමුත් ඔහු මොන වගේ පුද්ගලයෙක්ද නැතහොත් ඔහු දන්න දේවල් හෝ විශ්වාස කරන දේවල් පිළිබඳව යමක් එයින් පැවසෙන්නේ නැහැ. උදාහරණයක් හැටියට, කන්ද උඩ දේශනාව ඉදිරිපත් කළේ කවුද කියා ක්‍රිස්තියානීන් කියා පවසන අයගෙන් සියයට 50ක් දැනගෙන සිටියේ නැති බව සමීක්ෂණයකින් හෙළි වුණා. මොහන්දාස් ගාන්ධි නම් සුප්‍රසිද්ධ ඉන්දියානු නායකයා පවා එය දැනගෙන සිටියා!
බොහෝදෙනෙකුට තමන්ගේ ඇදහිල්ල ගැන අල්ප දැනුමක් තිබෙන විට, ඔවුන් එයින් ඉවතට ඇදී යෑම පුදුමයක්ද? නැහැ, එය පුදුමයක් නොවෙයි. කෙසේවෙතත්, එය නොවැළැක්විය හැකි දෙයක්ද නොවෙයි. බයිබලය ගැන ඉගෙනගැනීම සඳහා උපකාරය පිළිගත් බොහෝදෙනෙක් එමගින් තමන්ට අයත් වන ප්‍රයෝජන දැනගැනීමෙන් බොහෝ අවස්ථාවලදී පුදුමයට පත් වී තිබෙනවා. බයිබලයම මෙසේ පවසනවා: “ප්‍රයෝජන ලබාගැනීමට නුඹට උගන්වන්නෙත් නුඹ යා යුතු මාර්ගයෙහි නුඹ ගෙනයන්නෙත් නුඹේ දෙවිවූ [යෙහෝවා] වන මමය.”—යෙසායා 48:17, ඇල අකුරු අපගේය.
තෘප්තිමත් කරගෙන නොමැති ආත්මික කුසගින්නකින් පෙළෙන අය කුමක් කළ යුතුද? දෙවිට සේවය කිරීම ඔවුන් අත්හැර නොදැමිය යුතුයි! ඒ වෙනුවට, ඔවුන් බයිබලය පරීක්ෂා කර බලා දෙවි ඔවුන්ට ලබාගැනීමට සලස්වන දේවල් තේරුම්ගත යුතුයි.
අමාරු ප්‍රශ්නවලට උත්තර
වයස අවුරුදු හතේදී බ’නට් තම මව මිය යනවා දුටුවා.a ‘මගේ අම්මා ඉන්නේ කොහෙද? එයා නැතුව මට වැඩෙන්න සිද්ධ වෙලා තියෙන්නේ ඇයි?’ කියා ඔහුගේ ඉතිරි ළමා කාලය පුරා ඔහු කල්පනා කළා. නහඹර වයසේ පසු වූ බ’නට් පල්ලියේ ක්‍රියාශීලී සාමාජිකයෙක්ව සිටියා. මනුෂ්‍යවර්ගයා විඳින දුක් වේදනා ගැන මහත් සැලකිල්ලක් දැක්වූ ඔහු දියුණු වෙමින් පවතින රටවලට ගොස් උපකාර කරන්නෙක් හැටියට වැඩ කරන්න බලාපොරොත්තු වුණා. ඒත්, ඔහු අයත්ව සිටි පල්ලියට සෑහීමට පත් විය හැකි උත්තර සපයන්න නොහැකි වූ ප්‍රශ්න ඔහුව අපහසුතාවට පත් කළා.
පසු කලෙක බ’නට් යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් වූ පන්තියේ මිතුරෙකු සමඟ කතා කළා. ඔහුගේ මව සිහිසන් නැතුව මරණයේ සැතපී සිටිනවා කියා මේ යෞවනයා බ’නට්ට බයිබලයෙන් පෙන්නුවා. මේ ගැන පැහැදිලි කරන දේශනාකාරයා 9:5 වැනි බයිබල් වගන්ති බොහොමයක් බ’නට් ඉගෙනගත්තා: “මළාහු කිසිවක් නොදනිති.” එනිසා තමාගේ මව ශුද්ධගිනිස්ථානය වැනි තැනක හෝ ඊටත් වඩා දරුණු තැනක දුක් විඳිමින් සිටිනවාද යන්න ගැන කනගාටු වෙන්න කිසිම හේතුවක් බ’නට්ට තිබුණේ නැහැ. ප්‍රාණයේ අමරණීයභාවය පිළිබඳ මූලික ඉගැන්වීම බොහෝ ආගම්වල ඉගැන්නුවත් මිනිස් ප්‍රාණය කියන්නේ හුදෙක් පුද්ගලයෙක් බව බ’නට් බයිබලයෙන් දුටුවා. පුද්ගලයා මිය යන විට ප්‍රාණයද මිය යනවා. “පව්කරන ප්‍රාණයම නසින්නේය.”—එසකියෙල් 18:4.
මළවුන් සඳහා තිබෙන මවිතකර බලාපොරොත්තු ගැනද බ’නට් ඉගෙනගත්තා. බයිබලයේ ක්‍රියා පොතේ සඳහන් මේ වචන ඔහුම කියෙව්වා: “ධර්මිෂ්ඨයන්ගේද අධර්මිෂ්ඨයන්ගේද නැවත-නැගිටීමක් වන්නේය.” (ක්‍රියා 24:15) දෙවි පාරාදීසයක් බවට පත් කරන්න යන මේ පොළොවේදී එම නැවත නැඟිටීම සිදු වෙන්න යන බව දැනගැනීමෙන් ඔහු මොනතරම් ප්‍රීති වුණාද!—ගීතාවලිය 37:29; එළිදරව් 21:3, 4.
අව්‍යාජ බයිබල් දැනුම මගින් බ’නට්ගේ ආත්මික අවශ්‍යතා විගස තෘප්තිමත් වුණා. බ’නට් ආගම අත්හැරියේ නැහැ. ඒ වෙනුවට, තමාගේ කුසගින්න නිවාලීමට නොහැකි වූ පල්ලියෙන් ඉවත් වී, බයිබලය මත ස්ථිර ලෙස පදනම් වූ නමස්කාර ක්‍රමයක් වැලඳගත්තා. ඔහු මෙසේ පවසනවා: “එය සිදු වුණේ අවුරුදු 14කට කලින්; මම ගත් පියවර ගැන මට කවදාවත් කනගාටුවක් දැනිල නැහැ. මැවුම්කරු දුක් වේදනා ඇති නොකරන බව දැන් මම දන්නවා. මේ පිළිවෙළේ දෙවියා සාතන්; අප අවට තියෙන දේවලට දොස් කිව යුත්තේ ඔහුටයි. ඒත් සාතන්ගේ ලෝකය මගින් ඇති කරල තියෙන සියලුම හානි දෙවි ළඟදීම හරිගස්වන්න යනවා. මගේ අම්මත් නැවත නැඟිටින්න යනවා. ඒ අවස්ථාව මොනතරම් ප්‍රීතිමත් එකක් වේවිද!”
කෙසේ හෝ අනිත් අයට උපකාර කිරීම සඳහා විදේශීය රටක සේවය කිරීමේ ඔහුගේ ඉලක්කය කරා බ’නට් ළඟා වුණා. තමන්ගේ දුක්ඛිත තත්වයට සැබෑ විසඳුම වන දෙවිගේ රාජ්‍යය ගැන ඉගෙනගැනීමට අනිත් අයට උපකාර කරමින් ඔහු විදේශීය රටක සේවය කරනවා. දෙවි ඉක්මනින්ම මිනිසුන්ගේ දුක් වේදනා නිමාවට පත් කරන්න යන බව බ’නට් වගේ දශලක්ෂ ගණනක් ඉගෙනගෙන තිබෙනවා. තමන්ගේ ආත්මික අවශ්‍යතා සෑහීමට පත් කරවන ආගමක් තිබෙනවා කියා දැනගැනීමෙන් ඔවුන් ඉමහත් සේ ප්‍රීතියට පත් වෙනවා.—මතෙව් 5:3.
ජීවිතයේ අරමුණ මොකක්ද?
බටහිර ලෝකය වඩ වඩා ලෞකිකකරණයට ලක් වෙද්දී, ‘ජීවිතයේ අරමුණ මොකක්ද?’ කියා බොහෝදෙනෙක් අසනවා. මයිකල් සොයාගත්තාක් මෙන් එයට උත්තරය බයිබලයෙහි සොයාගැනීමට තිබෙනවා. මයිකල්ට 1970 ගණන්වල මැදභාගයේදී ත්‍රස්තවාදී කල්ලියකට බැඳෙන්න ඕන වුණා. ඔහුට ජීවිතයේ එකම ඉලක්කයක් පමණයි තිබුණේ; ඒ තමයි ධනවාදී ක්රමයේ පවතින අයුක්තියට වගකිව යුතුයි කියා ඔහු සලකන අයව ඔහුගේ ඉලක්කය කරගැනීම. “මම කවදාවත් මගේ තුවක්කුව නැතුව ගෙදරින් පිට වුණේ නැහැ” කියා ඔහු පවසනවා. “ප්‍රධාන පෙළේ දේශපාලනඥයන්ව හා ධනපතින්ව පුළුවන් තරම් මරා දමන්න මම සැලසුම් කළා. ඒ සඳහා මගේ ජීවිතය වුණත් දෙන්න මම ලෑස්ති වෙලා හිටියා.”
මයිකල් පල්ලි යන කෙනෙක්ව සිටියත්, ජීවිතයේ සැබෑ අරමුණ පැහැදිලි කර දෙන්න ඔහුගේ පල්ලියේ සිටිය කිසිම කෙනෙකුට බැරි වුණා. එනිසා යෙහෝවාගේ සාක්ෂිකරුවන් ඔහුගේ නිවසට ඇවිත් ඔහුගේ ප්‍රශ්නවලට බයිබලයේ සඳහන් උත්තර ඔහුට පෙන්වූ අවස්ථාවේදී මයිකල් පරෙස්සමින් සවන් දුන්නා. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රාදේශීය රාජ්‍ය ශාලාවේ පවත්වන නමස්කාරය සඳහා වන රැස්වීම්වලට පැමිණෙන්න ඔහු පටන්ගත්තා.
බයිබලය ගැන අලුත සොයාගත් උනන්දුව ගැන මයිකල්ගේ මිතුරන් කුතුහලයෙන් සිටියා. “මේ ඉරිදා රැස්වීමට එන්න” කියා මයිකල් ඔවුන්ගෙන් ඕනෑකමින් ඉල්ලා සිටියා. “ටික වේලාවකට නතර වෙන්න. ඔබලා සවන් දෙන දේවලට කැමති නැත්නම් ගෙදර යන්න.” මයිකල්ගේ මිතුරන්ගෙන් බොහෝදෙනෙක් ශාලාවෙන් පිට වී ගියේ බයිබලය මත පදනම් වූ විනාඩි 45ක කතාවකට සවන් දීමෙන් පසුවයි. ඒත් එක් කෙනෙක් නතර වුණා; ඇගේ නම සූසන්. තමා සවන් දුන් දේවලට මේ තරුණියගේ සිත ඇදී ගියා. පසුව මයිකල් සහ සූසන් විවාහ වී යෙහෝවාගේ සාක්ෂිකරුවන් හැටියට බව්තීස්ම වුණා. “අපි මේ පොළොවේ ඉන්නේ ඇයි කියල දැන් මම දන්නවා” කියා මයිකල් පවසනවා. “අපිව මැව්වේ යෙහෝවායි. අපේ ජීවිතයේ සැබෑ අරමුණ ඔහුව දැනහඳුනා ගෙන ඔහුගේ කැමැත්ත කිරීමයි. සැබෑ තෘප්තිය ගෙන දෙන දෙය එයයි!”
මයිකල්ගේ ස්ථිර විශ්වාසයට දශලක්ෂ ගණනක් හවුල් වෙනවා. බයිබලයේ සඳහන් මේ වදන් ඔවුන් හෘදයට ගන්නවා: “සියල්ල අසනලදී, මුළු කාරණයේ තීන්දුව නම් මේය: [සැබෑ දෙවිට] භයව [ඔහුගේ] ආඥා පවත්වන්න; මේ වනාහි සියලු මනුෂ්‍යයන්ගේ යුතුකමය.”—දේශනාකාරයා 12:13.
ජීවිතයේ ගැටලු සමඟ සාර්ථකව කටයුතු කිරීම
දෙවන තිමෝති 3:1හි [NW] සඳහන් මෙම අනාවැකියේ ඉටුවීම අපි සියලුදෙනාම අද්දකිනවා: “අන්තිම දවස්වලදී කටයුතු කිරීමට අසීරු, අර්බුදකාරි කාලවල් පැමිණෙන්නේය.” මේ ‘අර්බුදකාරි කාලවල’ තිබෙන ගැටලුවලින් කාටවත් පලා යන්න බැහැ. ඒ වුණත්, ඒවා සමඟ සාර්ථකව කටයුතු කිරීමට බයිබලය අපට උපකාර කරනවා.
විවාහක යුවළක් වන ස්ටීවන් හා ඕලිව් ගැන සිතා බලන්න. ඔවුන් යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කරන්න පටන්ගත් විට, බොහෝදෙනෙකුට වගේ ඔවුන්ටද විවාහ ජීවිතයේ ගැටලු තිබුණා. “අපි එකිනෙකාගෙන් ටිකෙන් ටික ඈත් වෙමිනුයි හිටියේ” කියා ස්ටීවන් පැහැදිලි කරනවා. “අපිට තිබුණේ වෙනස් ඉලක්ක හා උනන්දුව දක්වන දේවල්.” එක්ව විසීමට ඔවුන්ට උපකාර කළේ කුමක්ද? “අපේ ජීවිතවලට බයිබල් ප්‍රතිපත්ති අපට අදාළ කරගත හැකි ආකාරය යෙහෝවාගේ සාක්ෂිකරුවන් අපට පෙන්වා දුන්නා” කියා ස්ටීවන් තවදුරටත් පවසනවා. “පරාර්ථකාමී වීමෙන් හා සැලකිල්ල දැක්වීමෙන් අදහස් කරන දෙය අපි ඉගෙනගත්තේ පළමු වතාවටයි. බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගැනීම අපව එක්සත් කළා. දැන් අපි සන්තෝෂවත්, නොසැලෙන විවාහයක ප්‍රීතිය භුක්ති විඳිනවා.”
දෙවි සමඟ සමීප සබඳතාවක්
මෑතකදී කරන ලද ගැලප් සමීක්ෂණයට අනුව අමෙරිකානුවන්ගෙන් සියයට 96ක් දෙවි කෙරෙහි විශ්වාස කරනවා; එමෙන්ම මොවුන්ගෙන් බොහෝදෙනෙක් ඔහුට යාච්ඤා කරනවා. ඒ වුණත් වෙනත් සමීක්ෂණයකදී පෙනී ගියේ, පල්ලිවලට හා සිනගෝගවලට පැමිණෙන පිරිස අඩ සියවසකට පසු දැන් එහි අඩුම මට්ටමේ පවතින බවයි. තමන් පල්ලි යන්නේ මාසයකට වරක් හෝ ඊටත් වඩා අඩුවෙන් බව අමෙරිකානුවන්ගෙන් සියයට 58ක් පමණ පවසනවා. ආගම ඔවුන්ව දෙවි වෙතට ළං කර නොමැති බව පැහැදිලියි. එමෙන්ම මේ ගැටලුව එක්සත් ජනපදයට පමණක් සීමා වී නැහැ.
ලින්ඩා හැදී වැඩුණේ බවෙරීයාවෙයි. ඈ කතෝලික ආගමේ ක්‍රියාශීලී සාමාජිකාවක් වූ අතර නිතිපතා යාච්ඤා කළා. ඒ කාලයේදී, ඈට අනාගතය ගැන බයක් දැනුණා. මිනිසා සඳහා දෙවිගේ අරමුණ ගැන ඈ කිසිම දෙයක් දැනගෙන සිටියේ නැහැ. වයස අවුරුදු 14දී ලින්ඩාට යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව මුණගැසුණා; ඈ මෙසේ වාර්තා කරනවා: “ඔවුන් කියපු දේවල් සිත් ඇදගන්නාසුලුයි, ඒ හින්දා මම බයිබල් පාඩම් ආධාරක පොත් දෙකක් අරගෙන ඉක්මනින්ම ඒවා කියෙව්වා.” අවුරුදු දෙකකට පසු ලින්ඩා යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා. “මම බයිබලයෙන් දෙවි ගැන ඉගෙනගත්ත හැම දෙයකටම අර්ථයක් තිබුණා” කියා ඈ පවසනවා. ලින්ඩා ඇගේ පල්ලියෙන් ඉල්ලා අස් වී යෙහෝවාගේ සාක්ෂිකාරියක් හැටියට වයස අවුරුදු 18දී බව්තීස්ම වුණා.
තම ආගම වෙනස් කිරීමට ලින්ඩාව පෙලඹුවේ කුමක්ද? ඈ මෙසේ පැහැදිලි කරනවා: “දෙවිකෙනෙක් ඉන්නවා කියල තේරුම්ගන්න මගේ පල්ලිය මට උපකාර කළා; ඔහුව විශ්වාස කරන්න මම ඉගෙනගත්තා. ඒත් ඔහු පුද්ගලයෙක් නොවූ දුර ඈත සිටි කෙනෙක් වුණා. බයිබලය ගැන කළ මගේ අධ්‍යයනය දෙවි කෙරෙහි මගේ විශ්වාසය තහවුරු කළා පමණක් නෙමෙයි, ඔහුව දැන හඳුනාගෙන ඔහුට ප්‍රේම කරන්නත් මට උපකාර කළා. දැන් මට දෙවි සමඟ අනගි පෞද්ගලික සබඳතාවක් තියෙනවා; ඒක වෙන ඕනෑම දෙයකට වඩා වටිනවා.”
සැබෑ ආගම ප්‍රයෝජනදායකයි!
ඔබේ ආගම ඔබට ආත්මික මඟ පෙන්වීම ලබා දී, ජීවිතයේ ගැටලු සමඟ සාර්ථකව කටයුතු කිරීම සඳහා ඔබට උපකාර කරන්න බයිබලයට හැකි අයුරු පෙන්වා දෙනවාද? අනාගතය සඳහා බයිබලයේ සඳහන් පොරොන්දුව එය උගන්වනවාද? එය, මැවුම්කරු සමඟ නිවැරදි බයිබල් දැනුම මත පදනම් වූ, කිට්ටු පෞද්ගලික සබඳතාවකට ඔබව ගෙනෙනවාද? එසේ නොකරනවා නම්, අත්හරින්න එපා. ආගම අත්හැර දමනවා වෙනුවට බයිබලය මත ස්ථිර ලෙස පදනම් වන නමස්කාර ක්‍රමයක් සොයා බලන්න. එවිට ඔබ බයිබලයේ යෙසායා නමැති පොතේ පුරෝකථනය කළ අය හා සමාන වෙනවා: ‘පරමාධිපති ස්වාමි වූ යෙහෝවා මෙසේ කියයි: මෙන්න, මාගේ මෙහෙකරුවන් කන්නේය. මාගේ මෙහෙකරුවන් බොන්නේය. මාගේ මෙහෙකරුවන් සිතේ ප්‍රීතියෙන් ගී කියන්නේය.’—යෙසායා 65:13, 14.
[පාදසටහන]
a මේ ලිපියේ සඳහන් සමහර නම් වෙනස් කර ඇත.
[4, 5වන පිටුවේ පින්තූර]
දෙවිව දැනහඳුනාගෙන ඔහුට ප්‍රේම කිරීමට බයිබලය අපට උපකාර කරනවා