ඔබ හරි ආගම සොයාගෙන තිබේද?
“අපගේ දෙවියන්වහන්සේ සහ පියාණන්ගේ දෘෂ්ටිකෝණයෙන්, පිරිසිදු හා නොකිළිටි නමස්කාරමය ආකාරය නම් මෙයයි.”—යාකොබ් 1:27, NW.
1, 2. (අ) බොහෝ අය සිතන පරිදි, ඔවුන්ගේ ආගම හරි ආගමද කියා නිර්ණය වන්නේ කුමකින්ද? (ආ) ආගම විනිශ්චය කිරීමෙහිලා බැරෑරුම් ලෙස සලකා බැලිය යුත්තේ කුමක්ද?
අප ජීවත් වෙමින් සිටින්නේ, බොහෝ දෙනෙකු තම ජීවිතවල සාපේක්ෂ වශයෙන් ආගමට ඉතා කුඩා තැනක් දී සෑහීමකට පත්ව සිටින යුගයකය. ඔවුන් යම් ආගමික මෙහෙයන්වලට පැමිණෙනවා විය හැකිය, නමුත් නිතිපතා එසේ කරන්නේ ස්වල්ප දෙනෙකි. වෙනත් සියලුම ආගම් වැරදිය, එමෙන්ම තමන්ගේ ආගම හරිය යන දෘෂ්ටිය වැඩිදෙනෙක් නොදරත්. තමන්ගේ ආගම තමන්ට හරිය යන අදහස ඔවුන්ට හුදෙක් හැඟෙනවා වන්නට පුළුවන.
2 මේ සම්බන්ධව කල්පනා කරන කල, ඔබ හරි ආගම සොයාගෙන තිබේද යන ප්‍රශ්නයෙන් සාමාන්‍යයෙන් අදහස් කරන්නේ ඔබ කැමති දේ සොයාගෙන තිබෙනවාය කියාද? ඔබ කැමති ආගම නිර්ණය කරන්නේ කුමකින්ද? ඔබගේ පවුලේ අයද? ඔබ ඇසුරු කරන අයද? ඔබගේම හැඟීම්වලින්ද? මෙම කාරණය සම්බන්ධයෙන් දෙවියන්වහන්සේගේ දෘෂ්ටිය කුමක්දැයි කොතරම් බැරෑරුම් ලෙස ඔබ සලකා බලා තිබේද?
දෙවියන්වහන්සේගේ දෘෂ්ටිකෝණය දැනගැනීමට අපට හැක්කේ කෙසේද?
3. (අ) අප විසින් දෙවියන්වහන්සේගේ දෘෂ්ටිකෝණය දැනගැනීමට නම්, අපට ලබා ගත හැකි විය යුත්තේ කුමක්ද? (ආ) බයිබලය දෙවියන්වහන්සේගෙන් පැමිණි පොතක්ද කියා අප පෞද්ගලිකව විශ්වාස කිරීමට ඇති හේතුව සම්බන්ධයෙන් අප කුමන ප්‍රශ්න ඇසිය යුතුද?
3 දෙවියන්වහන්සේම සිතන දේ අප විසින් දැනගැනීමට නම්, උන්වහන්සේ වෙතින් පැමිණෙන යම් එළිදරව් කිරීමක් තිබිය යුතුය. බයිබලය වූ කලි දෙවියන්වහන්සේගෙන් ආනුභාවය ලද බවට කියා සිටින වඩාත්ම ඉපැරණි පොතකි. (2 තිමෝති 3:16) එහෙත්, අනෙකුත් සියලු පොත්වලට වඩා වෙනස්ව, මෙම පොතේ සියලු මිනිස්වර්ගයා උදෙසා දෙවියන්වහන්සේගේ පණිවුඩය අඩංගු වී ඇති බව සැබවින්ම කිව හැකිද? ඔබ එම ප්‍රශ්නයට පිළිතුරු දෙනු ඇත්තේ කෙසේද, තවද ඒ මන්ද? ඒ ඔබගේ දෙමාපියන් එම දෘෂ්ටිය දැරූ නිසාද? ඒ ඔබ ඇසුරු කරන අයගේ ආකල්පය වන නිසාද? ඔබ පෞද්ගලිකව සාක්ෂි පරීක්ෂා කර බලා තිබේද? පහත සඳහන් සාක්ෂි හතර උපයෝගි කරගනිමින් දැන් එසේ පරීක්ෂා කර නොබලන්නේ මන්ද?
4. ලබාගැනීමේ පහසුව සම්බන්ධව ගත් කල, වෙන යම් පොතකට වඩා බයිබලය දෙවියන්වහන්සේගෙන් වූ බවට අඟවන්නේ කුමකින්ද?
4 පුළුල් ලෙස බෙදා හැර තිබීම: සකල මිනිස් පවුල වෙත මෙන්ම සැබවින්ම දෙවියන්වහන්සේගෙන් පැමිණෙන පණිවුඩයක් ඔවුන් සියල්ලන්ටම ලබා ගත හැකි විය යුතුය. බයිබලය සම්බන්ධයෙන් එය සැබෑවක්ද? මේ ගැන සලකා බලන්න: මුළුමනින්ම හෝ කොටස් වශයෙන් බයිබලය දැනට භාෂා 2,000කට වඩා වැඩියෙන් ප්‍රකාශයට පත් කර තිබේ. අමෙරිකන් බයිබල් සමිතියට අනුව, දළ වශයෙන් මීට දශකයකට පමණ පෙර, ලෝක ජනගහනයෙන් සියයට 98කට පමණ ලබා ගත හැකි වන පරිදි භාෂා ගණනාවකින් බයිබලය මුද්‍රණය කරන ලදි. ගිනස් බුක් ඔෆ් වර්ල්ඩ් රෙකෝඩ්ස්හි සඳහන් කරන ආකාරයට, අනුමානයකින් තොරව බයිබලය වනාහි, “ලෝකයේ වැඩිම පුළුල් බෙදා හැරීමක් තිබෙන” පොතය. සියලු වාර්ගිකයන්ට, ජාතීන්ට හා භාෂාමය කණ්ඩායම්වලට අයත් ජනයා උදෙසා දෙවියන්වහන්සේගෙන් පැමිණෙන පණිවුඩයක් සම්බන්ධව අප අපේක්ෂා කරනු ඇත්තේ මෙයයි. (එළිදරව් 14:6 සසඳන්න.) මේ හා සමාන වාර්තාවක් ඇති වෙනත් කිසිදු පොතක් ලෝකයේ නැත.
5. බයිබලයේ ඓතිහාසික අඩිතාලම වැදගත්වන්නේ මන්ද?
5 ඓතිහාසිකත්වය: බයිබලයේ වෘත්තාන්ත කථනය පරෙස්සමින් පිරික්සන විට, ශුද්ධ යයි කියැවෙන වෙනත් පොත්වලට වඩා බයිබලය අතිශයින් වෙනස්වන තවත් ආකාරයක් හෙළි වෙයි. බයිබලයේ අඩංගු වන්නේ ඓතිහාසික කාරණා මිස ඔප්පු කළ නොහැකි ප්‍රබන්ධ නොවේ. නීතිමය අධිකරණයක ඔප්පු වශයෙන් අවශ්‍ය වූයේ කුමක්ද යන්න පිළිබඳව විශ්ලේෂණය කිරීමෙහිලා පළපුරුදුව සිටි නීතිඥයෙකු හැටියට අර්වින් ලින්ටන්, මෙසේ ලීවේය: “ප්‍රේම කථා, ප්‍රබන්ධ කථා සහ බොරු සාක්ෂිවල සිදුවුණායයි කියන සිද්ධීන් පිළිබඳව දෙන විස්තර, යම් දුර ඈත ප්‍රදේශයකට සහ යම් අනියත කාලයකට සම්බන්ධ කිරීමට සුපරීක්ෂාකාරි වන අතරේදී, . . . බයිබලයේ වෘත්තාන්ත කථනවල ඇති කාරණාවලට සම්බන්ධ දිනය හා ස්ථානය උපරිමයෙන් ඉතා නිවැරදි ලෙස අපහට දෙයි.” (උදාහරණ ලෙස 1 රාජාවලිය 14:25; යෙසායා 36:1; ලූක් 3:1, 2 බලන්න.) යථාර්ථයෙන් පලා යෑමට නොව සත්‍යය සෙවීමේ අටියෙන් ආගම වෙතට හැරෙන අයහට මෙය වැදගත් සලකා බැලීමක් වෙයි.
6. (අ) ජීවිතයේ ගැටලු සම්බන්ධයෙන් බයිබලය පුද්ගලයෙකුට සැබවින්ම උපකාරවත් වන්නේ කෙසේද? (ආ) ජීවිතයේ අමිහිරි යථාර්ථයන් සමඟ සාර්ථකව කටයුතු කිරීමට බයිබලය පුද්ගලයෙකුට උපකාර කරන්නේ කිනම් ආකාර තුනෙන්ද?
6 ප්‍රායෝගිකත්වය: බයිබලයේ ආඥා සහ ප්‍රතිපත්ති නිර්මාණය කොට තිබෙන්නේ තමන්ගෙන් අයුතු ප්‍රයෝජන ගැනීමට නොවන බව එය බැරෑරුම් ලෙස පරීක්ෂා කරන අය ඉක්මනින්ම වටහා ගනිති. ඒ වෙනුවට, මේවාට කිට්ටුවෙන් ඇලී සිටින අය වෙත ප්‍රයෝජන ගෙනෙන ආකාරයේ ජීවිත මාර්ගයක් ඒවායින් දැක්වේ. (යෙසායා 48:17, 18) අසහනයෙන් පෙළෙන අය වෙත ඉන් සැපයෙන සැනසීම, හිස් දර්ශනවාද මත පදනම් වූ නිශ්ඵල යමක් නොවේ. එසේ නොව, ජීවිතයේ අමිහිරි යථාර්ථ සමඟ සාර්ථකව කටයුතු කිරීමට එය ජනයාට උපකාර කරයි. කෙසේද? තුන් ආකාරයකින්ය: (1) දුෂ්කරතා සමඟ කටයුතු කරන ආකාරය ගැන ස්ථිරසාර උපදෙස් දීම මගින්; (2) දෙවියන්වහන්සේ ස්වකීය සේවකයන්හට දැන් දානය කරන ප්‍රේමනීය අනුබලය ලබාගන්නා අයුරු පහදා දීම මගින්; (3) දෙවියන්වහන්සේට සේවය කරන අය සඳහා උන්වහන්සේ ගබඩා කර ඇති පුදුමාකාර අනාගතය හෙළිකිරීම මගින්ය, මින් උන්වහන්සේගේ පොරොන්දු තුළ නිසැකකම තැබීමට ඔවුන්හට හොඳ හේතු ලබා දෙයි.
7. (අ) පාද සටහනේ සඳහන්ව ඇති ශුද්ධ ලියවිලි උපයෝගි කරගනිමින්, අදදින ජනයාගේ සැලකිල්ලට භාජන වී ඇති ප්‍රධාන ප්‍රශ්නවලින් එකකට බයිබලයේ පිළිතුර පැහැදිලි කරන්න. (ආ) පීඩාකාරි තත්ත්වයක් සමඟ සාර්ථකව කටයුතු කිරීම සඳහා බයිබලයේ උපදෙස් අපව ආරක්ෂා කරන ආකාරය හෝ අපට උපකාරවත් වන ආකාරය පෙන්වන්න.
7 අධිකාරිත්වය ප්‍රතික්ෂේප කරන හා ස්වයං-පිනවන ජීවිතයක් පසුපස හඹා යන අයහට බොහෝ විට බයිබලයේ උපදෙස් ජනප්‍රිය නොවුවත්, එවැනි ජීවිතයකින් ඔවුන්හට අව්‍යාජ සන්තෝෂය ගෙනැවිත් නොතිබෙන බව බොහෝ දෙනෙක් වටහා ගෙන සිටිති. (ගලාති 6:7, 8) ගබ්සාව, දික්කසාදය හා සමලිංගික සේවනය පිළිබඳ ඍජු පිළිතුරු බයිබලය නොවළහා ඉදිරිපත් කරයි. මත්ද්‍රව්‍ය හා මත්පැන් අනිසි ලෙස භාවිතා කිරීමට එරෙහිවද, අපිරිසිදු රුධිරය මගින් හා ලිංගික අපචාරය මගින් ඒඩ්ස් රෝගයට ගොදුරුවීමට එරෙහිවද එහි උපදෙස් ආරක්ෂාවක් වෙයි. සන්තෝෂවත් පවුල් ඇති කරගන්නා ආකාරය එය අපට පෙන්වා දෙයි. යම් පුද්ගලයෙකුව තම පවුලේ සාමාජිකයන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීම, දරුණු අසනීප සහ ප්‍රේමනීයයෙකුගේ වියෝවීම ඇතුළු ජීවිතයේ වඩාත් පීඩාකාරි තත්ත්වයන් සමඟ සාර්ථකව කටයුතු කිරීමට ඔහුහට හැකිකරන්නාවූ පිළිතුරු ඉන් සැපයේ. අපගේ ජීවිත දුඃඛිතකමින් පිරෙනවා වෙනුවට එය අර්ථයකින් පිරී යා හැකි පරිදි අපගේ ප්‍රමුඛත්වයන් වටහා ගෙන ක්‍රියා කිරීමට එය අපට උදව් වෙයි.a
8, 9. (අ) බයිබලයේ ආනුභාවය සම්බන්ධව සාක්ෂියක් වශයෙන් පෞද්ගලිකව ඔබගේ සිත් ඇදගන්නේ කිනම් අනාවැකියද? (ආ) බයිබලයේ අනාවැකිවල මූලාරම්භය සම්බන්ධව ඒවා ඔප්පු කරන්නේ කුමක්ද?
8 අනාවැකි: බයිබලය වනාහි අනාවැකිමය පොතක්, එනම් අනාගතයේදී සිදුවෙන්නට යන දේවල් පවසන පොතක් හැටියට අද්විතීයය, තවද එය එසේම සවිස්තර ලෙස අනාගතය ගැන පවසයි. ඉපැරණි තීර් නගරයේ විනාශය, බබිලෝනියේ වැටීම, යෙරුසලම නැවත ගොඩනැඟීම, මේදෝ පර්සියානු සහ ග්‍රීක රජවරුන්ගේ නැගීම සහ වැටීම, එමෙන්ම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ජීවිතයේ සිද්ධීන් ගණනාවක් එය පුරෝකථනය කළේය. තවද එය මෙම සියවසේදී ඇතිවූ ලෝක තත්ත්වයන් සවිස්තරාත්මකව පුරෝකථනය කළ අතර, ඒවායේ වැදගත්කමද පැහැදිලි කරයි. තවද මිනිස් පාලකයන්ගේ හැකියාවන් අභිබවා යන ගැටලු විසඳනු ලබන ආකාරය පෙන්නුම් කරන එය, මිනිස්වර්ගයා වෙත නිත්‍ය සාමය සහ සුරක්ෂිතභාවය ගෙනෙනු ඇති පාලකයා කවුද කියා හඳුන්වා දෙයි.b—යෙසායා 9:6, 7; 11:1-5, 9; 53:4-6.
9 විශේෂයෙන්ම, දේවත්වයේ පරීක්ෂණයක් වශයෙන් නිවැරදිව අනාගතය කලින් කීමේ හැකියාව බයිබලය ගෙනහැර දක්වයි. (යෙසායා 41:1–46:13) එසේ කිරීමට හැකි තැනැන්වහන්සේ හෝ එසේ කිරීම සඳහා වෙනත් අයට ආනුභාවය දිය හැකි තැනැන්වහන්සේ නිකම්ම අජීවි පිළිමයක් නොවේ. උන්වහන්සේ වනාහි හුදෙක් ශ්‍රද්ධාවත් මිනිසෙකුද නොවේ. උන්වහන්සේ වනාහි සැබෑ දෙවියන්වහන්සේය, එමෙන්ම එවැනි අනාවැකි අඩංගු පොත උන්වහන්සේගේ වචනයය.—1 තෙසලෝනික 2:13.
බයිබලය භාවිතා කරන සියල්ලන්ම හරිද?
10, 11. යේසුස්වහන්සේ විසින් පෙන්නුම් කරනු ලැබුවාක් මෙන්, පූජකයෙකු බයිබලය භාවිතා කරනවා විය හැකි වුවත්, ඔහු අනුග්‍රහය දක්වන ආගම නිශ්ඵල එකක් කරවිය හැක්කේ කුමකටද?
10 බයිබලය භාවිතා කරනවා යයි කියා සිටින සියලුම ආගමික කණ්ඩායම් සැබෑ ආගම උගන්වන බව නිගමනය කිරීම සාධාරණද, වඩාත් වැදගත් ලෙස, ශුද්ධ ලියවිලිවලට එකඟද? බයිබලය රැගෙන යන හෝ එය උපුටා දක්වන සෑම කෙනෙක්ම හරි ආගම පිළිපදිමින් සිටීද?
11 පූජක පක්ෂයේ බොහෝ දෙනෙක්, තමන්ට බයිබලය තිබුණද, ඔවුන් ආගම යොදාගන්නේ තමන්ටම ගෞරව කර ගැනීමේ මාර්ගයක් වශයෙනි. ඔවුහු නිර්මල සත්‍යතාවන්, සම්ප්‍රදායන් සහ මිනිස් දර්ශනවාදයන් සමඟින් බාල කරති. ඔවුන්ගේ නමස්කාරය දෙවියන්වහන්සේට පිළිගත හැකිද? පළමු සියවසේ යෙරුසලමේ විසූ ආගමික නායකයන්ද කරමින් සිටියේ එම දෙයම වූ අතර, අනාගතවක්තෘ යෙසායා තුළින් දෙවියන්වහන්සේ වදාළ ප්‍රකාශන උචිත ලෙස අදාළ කරමින් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මෙසේ පැවසූ සේක: “මේ සෙනඟ තොල්වලින් මට ගෞරව කරති; නමුත් ඔවුන්ගේ සිත [හෘදය, NW] මා කෙරෙන් දුරුව තිබේ. මනුෂ්‍යයන්ගේ ශික්ෂාවන් [නියෝග, NW] ගුරුකම්කොට [මූලධර්ම ලෙස, NW] උගන්වමින්, ඔවුන් මට නමස්කාරකරන්නේ නිරර්ථකයේය.” (මතෙව් 15:8, 9; 23:5-10) එවැනි ආකාරයේ ආගමක් සැබෑ ආගම නොවන බව පැහැදිලිය.
12, 13. (අ) පල්ලි සාමාජිකයන්ගේ හැසිරීම, ඔවුන්ගේ ආගම හරි ආගමද නැද්ද කියා නිර්ණය කිරීමට පුද්ගලයෙකුට උපකාරවත් විය හැක්කේ කෙසේද? (ආ) දෙවියන්වහන්සේ විසින් ප්‍රතික්ෂේප කරනු ලබන අය සමඟ ඇසුරු කිරීමට අප තෝරාගතහොත්, උන්වහන්සේ අපගේ නමස්කාරය දෙස බලනු ඇත්තේ කෙසේද? (2 ලේකම් 19:2)
12 ඇතැම් ආගම්වල හොඳ තත්ත්වයක සිටින බව පෙනෙන සාමාජිකයන්ගේ ජීවිතවලින් පිළිබිඹු වන පරිදි, ඒවායේ නිපදවෙන ඵලදාව කුණුවී ඇත්නම් තත්ත්වය කුමක්ද? තම කන්ද උඩ දේශනාවේදී යේසුස්වහන්සේ මෙසේ අනතුරු ඇඟවූ සේක: “බොරු අනාගතවක්තෘවරුන්ගෙන් ප්‍රවේසම්වෙල්ලා. . . . ඔවුන්ගේ ඵලවලින් නුඹලා ඔවුන් ඇඳින ගන්නහුය. . . . සියලු හොඳ ගස් හොඳ ඵල දරයි; නුමුත් නරක ගහ නරක ඵල දරයි.” (මතෙව් 7:15-17) පුද්ගලයන් වැරදි කරනවා විය හැකි බවද ඔවුන්ව නිවැරදි කිරීම අවශ්‍ය බවද සැබෑවකි. එහෙත් පල්ලි සාමාජිකයන්, පූජක පක්ෂය පවා වේශ්‍යාකමේ සහ කාමමිථ්‍යාචාරයේ, දබරවල, බේබදුකමේ, ගිජුකමේ, බොරුකීමේ, ආත්ම බන්ධන ක්‍රියාවල, පිළිම නමස්කාරයේ—මින් එකක හෝ මේ සියල්ලේම—ඇලී ගැලී සිටින මුත් කිසිම හික්මවීමක් දෙනු නොලබන විට, එමෙන්ම මෙම ක්‍රියා මාර්ගවල දිගටම නියැලෙමින් සිටින අයව කපා හරිනු නොලබන විට තත්ත්වය මීට වඩා වෙනස්ය. මෙවැනි දේවල් පුරුද්දක් ලෙස කරන අය සභාවෙන් නෙරපිය යුතු බවත්, ඔවුන්ට දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ කිසිදු තැනක් නැති බවත් බයිබලය පැහැදිලිව කියා සිටී. (ගලාති 5:19-21) ඔවුන්ගේ නමස්කාරය දෙවියන්වහන්සේට ප්‍රසන්න නොවේ, ඇරත් දෙවියන්වහන්සේ විසින් ප්‍රතික්ෂේප කෙරෙන අයව අපගේ ආශ්‍රිතයන් වශයෙන් අප තෝරාගතහොත් අපගේ නමස්කාරයද උන්වහන්සේට ප්‍රසන්න නොවේ.—1 කොරින්ති 5:11-13; 6:9, 10; එළිදරව් 21:8.
13 බයිබලය භාවිතා කරනවා යයි කියා සිටින කණ්ඩායම් සියල්ලම බයිබලයේ විස්තර කෙරෙන සැබෑ ආගම පිළිනොපදින බව පැහැදිලිය. එසේ නම්, සැබෑ ආගම හඳුනාගැනීමේ ලකුණු වශයෙන් බයිබලය නියම කොට තබන්නේ කුමක්ද?
සැබෑ ආගම හඳුනාගැනීමේ ලකුණු
14. (අ) සැබෑ ආගමේ සියලු ඉගැන්වීම් පදනම් වී ඇත්තේ කුමක් මතද? (ආ) දෙවියන්වහන්සේ සහ ආත්මය පිළිබඳව ක්‍රිස්තියානි ලෝකයේ ඉගැන්වීම් මෙම පරීක්ෂණයට මුහුණ දෙන්නේ කෙසේද?
14 එහි ඉගැන්වීම් ස්ථිර ලෙස පදනම් වී ඇත්තේ දේවානුභාවය ලත් ශුද්ධ ලියවිලි මතය. “මුළු ශුද්ධ ලියවිල්ල දෙවියන්වහන්සේගේ ආනුභාවයෙන්ය. තවද ඉගැන්වීමටද, තරවටු කිරීමටද, දේවල් හරිගැස්වීමටද ප්‍රයෝජනවත්ය.” (2 තිමෝති 3:16, NW) එහෙත් ශුද්ධ බයිබලය, ක්‍රිස්තියානි ලෝකයේ ත්‍රිත්වය ගැන කථා කරන්නේ කොතැනද? පූජක පංතිය උගන්වන්නාක් මෙන්, මිනිසාගේ මරණයේදී මාංසික ශරීරයෙන් පිටව යන අමරණීය ආත්මයක් මිනිසුන්ට ඇති බව බයිබලය උගන්වන්නේ කොතැනද? මෙම ඉගැන්වීම් ඔබගේ බයිබලයෙන් පෙන්වන මෙන් ඔබ යම් පූජකයෙකුගෙන් කවදා හෝ ඉල්ලා තිබේද? ද නිව් එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකා මෙසේ ප්‍රකාශ කරයි: “ත්‍රිත්වය යන වචනයවත්, එම මූලධර්මය පිළිබඳ කිසිදු පැහැදිලි විස්තරයක්වත් බයිබලයේ දක්නට නැත.” (1992, මයික්‍රෝපිඩීයා, 11 වෙළුම, 928 පිටුව) එමෙන්ම නිව් කැතලික් එන්සයික්ලොපීඩියා මෙසේ පිළිගනියි: “එවන් චින්තනයකට හෝ දෘෂ්ටිකෝණයකට යටත් පිරිසෙයින් ළඟාවන කිසිවක් අපෝස්තලික පියවරුන් අතර නැත.” (1967, XIV වෙළුම, පිටුව 299) මරණයේදී ශරීරයෙන් වෙන්වී යන ආත්මයක් පිළිබඳ ක්‍රිස්තියානි ලෝකයේ සංකල්පය ග්‍රීක් දර්ශනවාදයෙන් ණයට ගත් අදහසක් බවට පල්ලි විශාරදයෝ එකඟ වෙති. කෙසේවෙතත්, සැබෑ ආගම, බයිබල් සත්‍යතාවන් මිනිස් දර්ශනවාදය වෙනුවෙන් පසෙකට නොතබයි.—උත්පත්ති 2:7; ද්විතීය කථාව 6:4; එසකියෙල් 18:4; යොහන් 14:28.
15. (අ) නමස්කාර කරනු ලැබිය යුතු එකම තැනැන්වහන්සේව බයිබලය හඳුන්වා දෙන්නේ කෙසේද? (ආ) යෙහෝවඃවහන්සේට ළංවීම පිළිබඳව සැබෑ නමස්කාරකයන්ට හැඟෙන්නේ කෙසේද?
15 සැබෑ ආගම අනුග්‍රහ දක්වන්නේ එකම සැබෑ දෙවියන්වහන්සේ වන යෙහෝවඃවහන්සේට නමස්කාර කිරීම පමණි. (ද්විතීය කථාව 4:35; යොහන් 17:3) ද්විතීය කථාව 5:9 සහ 6:13හි සඳහන් දෙය යේසුස්වහන්සේ තම වචනවලින් ස්ථිර ලෙස පැවසුවේ මෙසේයි: “තාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට [යෙහෝවඃවහන්සේට, NW] නමස්කාරකරව, උන්වහන්සේට පමණක් [පරිශුද්ධ, NW] සේවය කරව [පිරිනමන්න, NW].” (මතෙව් 4:10) ඊට අනුකූලවෙමින්, යේසුස්වහන්සේ සිය ගෝලයන්ට සිය පියාණන්ගේ නාමය දැන්වූ සේක. (යොහන් 17:26) ඔබගේ ආගම යෙහෝවඃවහන්සේට නමස්කාර කිරීමට ඔබට උගන්වා තිබේද? එම නමින් හඳුන්වා ඇති තැනැත්තාණන්ව—උන්වහන්සේගේ අරමුණු, උන්වහන්සේගේ ක්‍රියාකාරකම්, උන්වහන්සේගේ ගුණාංග—ඔබ දැනගැනීමට පැමිණ තිබේද, ඒ හේතුවෙන් නිසැකකමින් යුතුව උන්වහන්සේට ළං විය හැකි බව ඔබට හැඟී ගොස් තිබේද? ඔබගේ ආගම සැබෑ ආගම නම්, පිළිතුර එසේය වේ.—ලූක් 10:22; 1 යොහන් 5:14.
16. සැබෑ ආගම පිළිපදින අයහට ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල තැබීමෙන් අදහස් කරන්නේ කුමක්ද?
16 දෙවියන්වහන්සේට ප්‍රසන්න වන්නාවූ නමස්කාරයේ වැදගත් කොටසක් නම්, උන්වහන්සේගේ පුත්‍ර යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල තැබීමය. (යොහන් 3:36; ක්‍රියා 4:12) මින් අදහස් කරන්නේ, උන්වහන්සේ ජීවත්වූ බවත්, උන්වහන්සේ කැපී පෙනෙනසුලු පුද්ගලයෙකුවූ බවත් හුදෙක් විශ්වාස කිරීම නොවේ. යේසුස්වහන්සේගේ පරිපූර්ණ මිනිස් ජීවිත පූජාවේ වටිනාකම සම්බන්ධව බයිබලය උගන්වන දෙය ගැන අගය කිරීම සහ ස්වර්ගික රජු වශයෙන් අදදින උන්වහන්සේගේ තත්ත්වය හඳුනාගැනීම මීට ඇතුළත් වෙයි. (ගීතාවලිය 2:6-8; යොහන් 3:16; එළිදරව් 12:10) ඔබ සැබෑ ආගම පිළිපදින අය සමඟ ඇසුරු කරන්නේ නම්, යේසුස්වහන්සේට කීකරුවීමට, උන්වහන්සේගේ ආදර්ශය අනුකරණය කිරීමට, උන්වහන්සේ සිය ගෝලයන් වෙත පැවරූ කාර්යයේ පෞද්ගලිකව හා ජ්වලිත ලෙස හවුල් වීමට ඔවුන් සෑම දිනකම සාවධානී ප්‍රයත්නයක් දරන බව ඔබ දන්නෙහිය. (මතෙව් 28:19, 20; යොහන් 15:14; 1 පේතෘස් 2:21) ඔබ සමඟ නමස්කාරයේ යෙදෙන අය සම්බන්ධයෙන් එය සැබෑවක් නොවේ නම්, වෙනත් දිසාවක් දෙස බැලීමට ඔබට අවශ්‍ය වෙයි.
17. ලෝකයෙන් කිළිටි නොවී සිටීමට සැබෑ නමස්කාරකයන් පරෙස්සම් වන්නේ මන්ද, තවද ඊට ඇතුළත් වන්නේ කුමක්ද?
17 සැබෑ නමස්කාරය, දේශපාලනයේ හා ලෞකික අර්බුදවලට හවුල්වීමෙන් කෙළෙසී නොයයි. (යාකොබ් 1:27) එසේ නොවන්නේ මන්ද? මක්නිසාදයත් යේසුස්වහන්සේ සිය අනුගාමිකයන් සම්බන්ධව මෙසේ පැවසූ නිසාය: “මා ලෝකයෙන් නොවන්නාක් මෙන්ම ඔවුහුද ලෝකයෙන් නොවෙති.” (යොහන් 17:16) යේසුස්වහන්සේ දේශපාලනයට මැදිහත් නොවූ සේක, තවද උන්වහන්සේ මාංසික ආයුධ අතට ගැනීමෙන් සිය අනුගාමිකයන්ව වැළැක්වූ සේක. (මතෙව් 26:52) දෙවියන්වහන්සේගේ වචනය පවසන දෙය තම හෘදයට ගන්නා අය ‘තවත් යුද්ධ ඉගෙන ගන්නේ නැත.’ (යෙසායා 2:2-4) ඔබ නාමික වශයෙන්වත් සම්බන්ධ වී සිටින යම් ආගමක් එම විස්තරයට නොගැළපේ නම්, ඒ සමඟ ඇති සම්බන්ධතා කපා හැරීමට කාලය හරිය.—යාකොබ් 4:4; එළිදරව් 18:4, 5.
18. (අ) සැබෑ ආගමේ කැපී පෙනෙන ලක්ෂණය වශයෙන් යොහන් 13:35හි හඳුන්වා දෙන්නේ කුමක්ද? (ආ) යොහන් 13:35ට අනුකූල ලෙස හරියටම ගැළපෙන්නේ කොයි කණ්ඩායමද කියා නිර්ණය කිරීම සඳහා යමෙකුට උපකාර කිරීමට ඔබට හැක්කේ කෙසේද?
18 සැබෑ ආගම පරාර්ථකාමී ප්‍රේමය උගන්වා ක්‍රියාවට නංවයි. (යොහන් 13:35; 1 යොහන් 3:10-12) එවන් ප්‍රේමය දේශනාවල පමණක් කථා කෙරෙන එකක් නොවේ. එය ඇත්තටම සියලු වර්ගවල, සියලු ආර්ථික කණ්ඩායම්වල, සියලු භාෂාවල සහ සියලු ජාතීන්ගේ ජනයාව අව්‍යාජ සහෝදරත්වයක් තුළට එකට ළං කරයි. (එළිදරව් 7:9, 10) එය සැබෑ ක්‍රිස්තියානින්ව ඔවුන් අවට ලෝකයෙන් වෙන් කොට තබයි. ඔබ දැනටමත් යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ රාජ්‍යය ශාලාවක රැස්වීම්වලට මෙන්ම ඔවුන්ගේ වඩාත් විශාල සමුළුවලට පැමිණ නැත්නම්, ඒවාට පැමිණෙන්න. ඔවුන් තම රාජ්‍යය ශාලාවක් ගොඩනගන විට ඔවුන් එකට වැඩ කරන අයුරු බලන්න. ඔවුන් (වැන්දඹුවන් ඇතුළුව) වයසක අයට සහ (තනි දෙමාපියෙකු පමණක් සිටින හෝ දෙමාපියන් නොමැති අයවලුත් ඇතුළුව) යෞවනයන් සමඟ කටයුතු කරන, ඔවුන්ට සලකන ආකාරය නිරීක්ෂණය කරන්න. (යාකොබ් 1:27) ඔබ නිරීක්ෂණය කරන දෙය මොනයම් ආගමක හෝ ඔබ දැක ඇති දේ සමඟ සසඳන්න. අනතුරුව ඔබ ඔබෙන්ම මෙසේ අසන්න, ‘සැබෑ ආගම පිළිපදින්නේ කවුරුන්ද?’
19. (අ) මිනිස්වර්ගයාගේ ගැටලුවලට විසඳුම වශයෙන් සැබෑ ආගම අනුග්‍රහ දක්වන්නේ කුමකටද? (ආ) සැබෑ ආගම පිළිපදින කණ්ඩායමේ සාමාජිකයන් කරමින් සිටිය යුත්තේ කුමක්ද?
19 සැබෑ ආගම, මිනිස්වර්ගයාගේ ගැටලුවලට එකම සදාකාලික විසඳුම වශයෙන් දෙවියන්වහන්සේගේ රාජ්‍යයට අනුග්‍රහ දක්වයි. (දානියෙල් 2:44, 45; 7:13, 14; 2 පේතෘස් 3:13; එළිදරව් 21:4, 5) ක්‍රිස්තියානි ලෝකයේ පල්ලිවලින් කිසියම් පල්ලියක් එය කරයිද? දෙවියන්වහන්සේගේ රාජ්‍යය ගැන පහදා දී එය ඉටු කරනු ඇති දෙය පිළිබඳව ශුද්ධ ලියවිල්ලේ පෙන්නුම් කරන දෙය පූජකයෙකු විසින් පහදා දෙනවා ඔබ අවසාන වතාවට ඇසුවේ කවදාද? ඔබ අයත් වී සිටින සංවිධානය, දෙවියන්වහන්සේගේ රාජ්‍යය ගැන අන්‍යයන්හට කථා කිරීමට ඔබව දිරිගන්වනවාද, එසේ කරයි නම්, සමස්තයක් වශයෙන් එහි මුළු සමාජිකත්වයම එසේ කිරීමෙහිලා හවුල් වී සිටින්නේද? යේසුස්වහන්සේ එවැනි සාක්ෂිදැරීමක් කළ සේක; උන්වහන්සේගේ මුල් ගෝලයෝ එසේ කළෝය. මෙම ක්‍රියාකාරකමේ හවුල්වීමේ වරප්‍රසාදය ඔබටත් ලබා ගත හැකිය. අදදින පොළොව මත සිදු කෙරෙන වඩාත් වැදගත්ම කාර්යය එයයි.—මතෙව් 24:14.
20. හරි ආගම හඳුනාගන්නවාට අමතරව, අප කළ යුත්තේ කුමක්ද?
20 ආගම් දහස් ගණනක් තිබුණත්, සැබෑ ආගම හඳුනාගැනීම පිණිස, වියවුල්සහගත බවෙන් මිදීමට බයිබලය අපට සැණෙකින් උදව් වෙයි. එහෙත් අප එය හඳුනාගන්නවාට වඩා යමක් කිරීමට අවශ්‍යය. අප එය පිළිපැදීමත් අතිශයින්ම වැදගත්ය. මීට ඇතුළත් වන්නේ කුමක්ද යන්න, අපගේ ඊළඟ ලිපියේ වඩාත් පුළුල් ලෙස සලකා බලනු ලබනවා ඇත.
[පාදසටහන්වල]
a ගබ්සාව: ක්‍රියා 17:28; ගීතාවලිය 139:1, 16; නික්මයාම 21:22, 23. දික්කසාදය: මතෙව් 19:8, 9; රෝම 7:2, 3. සමලිංගික සේවනය; රෝම 1:24-27; 1 කොරින්ති 6:9-11. මත්ද්‍රව්‍ය සහ මත්පැන් අනිසි භාවිතය: 2 කොරින්ති 7:1; ලූක් 10:25-27; හිතෝපදේශ 23:20, 21; ගලාති 5:19-21. රුධිරය හා ලිංගික අපචාරය: ක්‍රියා 15:28, 29; හිතෝපදේශ 5:15-23; යෙරෙමියා 5:7-9. පවුල: එපීස 5:22–6:4; කොලොස්සි 3:18-21. ප්‍රතික්ෂේප කරනු ලැබීම: ගීතාවලිය 27:10; මලාකී 2:13-16; රෝම 8:35-39. අසනීප: එළිදරව් 21:4, 5; 22:1, 2; තීතස් 1:1; ගීතාවලිය 23:1-4; මරණය: යෙසායා 25:8; ක්‍රියා 24:15; ප්‍රමුඛතා: මතෙව් 6:19-34; ලූක් 12:16-21; 1 තිමෝති 6:6-12.
b එවැනි අනාවැකි සහ ඒවායේ ඉටුවීම පිළිබඳ උදාහරණ දැක ගැනීම සඳහා, මේවා බලන්න: ද බයිබල්—ගෝඩ්ස් වර්ඩ් ඔර් මෑන්ස්? පිටු 117-61; සහ රීසනිං ෆ්‍රොම් ද ස්ක්‍රිප්චර්ස්, පිටු 60-2, 225-32, 234-40. මෙම ප්‍රකාශන දෙකම වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් නිව් යෝර්ක්, ඉන්ක්. මගින් ප්‍රකාශිතය.
ඔබ පිළිතුරු දෙනු ඇත්තේ කෙසේද?
◻ හරි ආගම හඳුනාගැනීමේදී, වඩාත් වැදගත් වන්නේ කාගේ දෘෂ්ටිකෝණයද?
◻ බයිබලය දෙවියන්වහන්සේගේ වචනය බවට යොමු දක්වන්නේ කිනම් සාක්ෂි හතරද?
◻ බයිබලය භාවිතා කරන සියලුම ආගම් දෙවියන්වහන්සේට පිළිගත නොහැක්කේ මන්ද?
◻ එකම හරි ආගම හඳුනාගැනීමේ ලකුණු හය කිම?
[10වන පිටුවේ කොටුව]
යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ . . .
◆ තමන්ගේ සියලු ඉගැන්වීම් බයිබලය මත පදනම් කරති.
◆ එකම සැබෑ දෙවිවූ යෙහෝවඃවහන්සේට නමස්කාර කරති.
◆ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි තම ඇදහිල්ලට අනුකූලව ජීවත් වෙති.
◆ දේශපාලනයේ හෝ ලෞකික අර්බුදවල හවුල් නොවෙති.
◆ එදිනෙදා ජීවිතයේදී පරාර්ථකාමී ප්‍රේමය විදහා පෑමට උත්සාහ කරති.
◆ මිනිස්වර්ගයාගේ ගැටලුවලට නිත්‍ය විසඳුම වශයෙන් දෙවියන්වහන්සේගේ රාජ්‍යයට අනුග්‍රහ දක්වති.
[9වන පිටුවේ පින්තූරය]
බයිබලය—සකල මිනිස්වර්ගයා උදෙසා දෙවියන්වහන්සේගේ පණිවුඩය එහි අඩංගු වන බවට අඟවන්නේ කුමක්ද?