බොරු ආගමේ ග්රහණයෙන් නිදහස්වීම
“‘ඔවුන් අතරෙන් පිටතට ඇවිත්, . . . අපවිත්‍ර දෙය ස්පර්ශ කිරීමෙන් වළකින්න’ යයි යෙහෝවඃ වහන්සේ කියන සේක. ‘එවිට මම ඔබ ව ඇතුළට පිළිගන්නෙමි.’”—2 කොරින්ති 6:17, NW.
1. සාතන් යේසුස් වහන්සේ සමඟ කරන්නට වෑයම් කළේ කිනම් ගනුදෙනුවක් ද, එමෙන් ම ඔහු විසින් කරන ලද මෙම ඉදිරිපත් කිරීමෙන් අපට උගන්වන කාරණා දෙක කුමක් ද?
‘‘ඔබ බිම වැටී මට නමස්කාරකරන්නෙහි නම් මේ සියල්ල ඔබට දෙන්නෙමි.” මෙම ඉදිරිපත් කිරීම කරනු ලැබුවේ, බොරු ආගමේ ආරම්භයෙන් වසර දහස් සංඛ්‍යාවකට පසු ව නමුත්, බොරු නමස්කාරය පසු පස සිටින තැනැත්තාවත්, එහි අරමුණ කුමක් ද යන්නත් තේරුම් ගැනීමට එය මූලික ව උපකාර සපයයි. පොදු යුගයේ 29 අග භාගයේ, නමස්කාර කිරීමේ ක්‍රියාවක් හුවමාරු මාධ්‍යය වශයෙන් ගෙන යක්ෂයා ලෝකයේ සියලු රාජ්‍යයන් යේසුස් වහන්සේට ඉදිරිපත් කළේ ය. මෙම සිද්ධිය කාරණා දෙකක් අපට පවසයි: දීමට මේ ලෝකයේ රාජ්‍යයන් සාතන්ගේ බවත්, බොරු ආගමේ පරම අභිප්‍රාය යක්ෂ නමස්කාරය බවත් ය.—මතෙව් 4:8, 9.
2. මතෙව් 4:10 හි යේසුස් වහන්සේගේ වදන්වලින් අප ඉගෙන ගන්නේ කුමක් ද?
2 යේසුස් වහන්සේ සිය පිළිතුරෙන් බොරු ආගම ප්‍රතික්ෂේප කළා පමණක් නොව, නමුත් උන් වහන්සේ සැබෑ ආගමට අයත් වන දේවල් ද පෙන්වා දුන් සේක. “සාතන් අහක්ව යව. මක්නිසාද—තාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට [යෙහෝවඃ වහන්සේට NW] නමස්කාරකරව, උන්වහන්සේට පමණක් [පරිශුද්ධ NW] සේවයකරවයි ලියා තිබේ” යයි උන් වහන්සේ නොවළහා වදාළ සේක. (මතෙව් 4:10) එබැවින්, සැබෑ ආගමේ අභිප්‍රාය වනුයේ, එක ම සැබෑ දෙවි වූ, යෙහෝවඃ වහන්සේ නමස්කාර කිරීම ය. ඊට ඇතුළත් වනුයේ ඇදහිල්ල, හා කීකරුකමත්, යෙහෝවඃ වහන්සේගේ කැමැත්ත කිරීමත් ය.
බොරු ආගමේ මූලාරම්භය
3. (අ) බොරු ආගම පොළොව මත ආරම්භ වූයේ කවදා හා කෙසේ ද? (ආ) වාර්තා ගත පළමු ආගමික නුරුස්නා ක්‍රියාව කුමක් ද, එමෙන් ම එවක් පටන් ආගමික හිංසා පීඩාවන් පැවත ඇත්තේ කෙසේ ද?
3 පොළොව මත බොරු ආගම ආරම්භ වූයේ, පළමු මනුෂ්‍යයන් දෙවියන් වහන්සේට අකීකරු වී, “යහපත හා නපුර” තමන් ම තීරණය කිරීමට කළ සාතන්ගේ යෝජනාව පිළිගත් විට ය. (උත්පත්ති 3:5) එසේ කිරීමෙන්, ඔවුහු යෙහෝවඃ වහන්සේගේ ධර්මිෂ්ඨ පරමාධිපත්‍යය ප්‍රතික්ෂේප කළ අතර, නිසි නමස්කාරය, එනම් සැබෑ ආගම අත්හැරියාහ. “දෙවියන්වහන්සේගේ සත්‍යය බොරුවට මාරුකර, මැවුම්කාරයාණන්වහන්සේට නොව මැවිල්ලට නමස්කාරකරමින් මෙහෙකළ” පළමු මනුෂ්‍යයන් වූයේ ඔවුන් ය. (රෝම 1:25) ඔවුන් නොදැනුවත් ව නමස්කාර කිරීමට තෝරා ගත් මැවිල්ල වෙන කිසිවෙකු නොව “පුරාණ සර්පයා” වන, සාතන් නම් යක්ෂයා ය. (එළිදරව් 12:9) ඔවුන්ගේ කුලුඳුල් පුත්, කායින්, යෙහෝවඃ වහන්සේගේ කාරුණික උපදේශය අනුගමනය කිරීම ප්‍රතික්ෂේප කරමින්, එසේ උන් වහන්සේගේ පරමාධිපත්‍යයට එරෙහි ව කැරලි ගැසුවේ ය. දැන හෝ නොදැන, කායින්, සාතන් නම් “නපුරාගේ දරුවෙක්,” හෙවත් යක්ෂ නමස්කාරය පිළිපදින්නෙකු බවට පත් විය. සැබෑ ආගම, සැබෑ නමස්කාරය පිළිපැද්දා වූ, සිය බාල සහෝදර ආබෙල් හෙතෙම මරා දැමී ය. (1 යොහන් 3:12, රිවයිස්ඩ් ඉංග්ලිෂ් බයිබල්; උත්පත්ති 4:3-8; හෙබ්‍රෙව් 11:4) ආබෙල්ගේ රුධිරය, ආගමික නුරුස්නා ගතිය හේතුවෙන් වගුරුවන ලද පළමු රුධිරය විය. කනගාටුවෙන් වුවද පැවසීමට තිබෙන දෙයක් නම්, බොරු ආගම වත්මන් දවස දක්වා දිගට ම අහිංසක රුධිරය වගුරුවා ඇති බවයි.—මතෙව් 23:29-35; 24:3, 9 බලන්න.
4. නෝවා පිළිබඳ සිද්ධියේ දී, සැබෑ ආගමේ ස්වභාවය පැහැදිලි කරන්නේ කිනම් ශුද්ධ ලියවිලි වගන්ති ද?
4 ජල ගැල්මට පෙර, මනුෂ්‍ය වර්ගයාගෙන් බහුතරයක් සැබෑ ආගමෙන් ඉවතට හරවා ගැනීමෙහි සාතන් සඵල විය. කෙසේ වෙතත්, නෝවා, “යෙහෝවඃ වහන්සේගේ ඇස් හමුවේ අනුග්‍රහය ලැබුයේ ය.” ඒ මක්නිසා ද? ඔහු “[සැබෑ NW] දෙවියන් වහන්සේ සමඟ පියමං කළ” නිසා ය. වෙනත් වචනවලින් කියතොත්, ඔහු සැබෑ නමස්කාරය පිළිපැද්දේ ය. සැබෑ ආගම වනාහි යම් පිළිවෙත් හෝ චාරිත්‍ර නොව නමුත් ජීවන මාර්ගයකි. යෙහෝවඃ වහන්සේ කෙරෙහි ඇදහිල්ල තබමින් කීකරු ව උන් වහන්සේට සේවය කිරීම, එනම් ‘උන් වහන්සේ සමඟ පියමං කිරීම’ එයට අයත් වෙයි. නෝවා කළේ මෙයයි.—උත්පත්ති 6:8, 9, 22, NW; 7:1; හෙබ්‍රෙව් 11:6, 7.
5. (අ) ජල ගැල්මෙන් පසු යක්ෂයා පිහිටුවීමට වෑයම් කළේ කුමක් ද, තව ද ඒ කෙසේ ද? (ආ) යෙහෝවඃ වහන්සේ යක්ෂයාගේ සැලැස්ම නිෂ්ප්රභා කළේ කෙසේ ද, එමෙන් ම එහි ප්‍රතිඵලය කුමක් වී ද?
5 ජල ගැල්මෙන් වැඩි කලක් ගත වන්නට පෙර, යළිත් යෙහෝවඃ වහන්සේට විරුද්ධ වන යම් ආකාරයක නමස්කාරයක සියලු මනුෂ්‍ය වර්ගයා ව එක්සත් කිරීමට වූ වෑයමක, ‘යෙහෝවඃ වහන්සේට වූ සිය විරෝධය’ වෙනුවෙන් ප්‍රකට මනුෂ්‍යයෙක් වන, නිම්රොද් ව, යක්ෂයා විසින් යොදවා ගත් බවක් පෙනෙන්නට තිබේ. (උත්පත්ති 10:8, 9; 11:2-4) එය සිය නමස්කාරකයන් ගොඩනැගුවා වූ නුවර හා කොත මත පිහිටුවා තිබූ, බොරු ආගමේ එක් ඒකකයක් වන්නා වූ ඒකාබද්ධ යක්ෂ නමස්කාරයක් වන්නට තිබුණි. එවිට සියලු මනුෂ්‍ය වර්ගයා විසින් කථා කරන ලද, “එක භාෂාව” අවුල් කිරීමෙන් යෙහෝවඃ වහන්සේ මෙම උපක්‍රමය නිෂ්ප්රභා කළ සේක. (උත්පත්ති 11:5-9) එබැවින්, මෙම නුවර බාබෙල්, පසු කාලයේ දී බබිලෝනිය යනුවෙන් හඳුන්වන්නට යෙදුණු මේ දෙකේ ම තේරුම “අවුල” යන්න ය. මෙම භාෂාමය අවුල් කිරීම පොළොව පුරා මනුෂ්‍ය වර්ගයාගේ විසිරීමට හේතු විය.
6. (අ) සාතන්ගේ නමස්කාරකයන් බබිලෝනියෙන් විසිර යාමට පෙර, ඔවුන් තුළ තැන්පත් කරනු ලැබුවේ කිනම් ආගමික අදහස් ද? (ආ) ලෝවටා ආගම්වල ඒ හා සමාන ඇදහීම් දක්නට ලැබෙන්නේ මන්ද? (ඇ) බබිලෝනිය ඉටු කළේ කිනම් යක්ෂාකාර අරමුණු ද, එමෙන් ම එම ඉපැරණි නගරය කුමක සංකේතයක් වී ද?
6 කෙසේ වෙතත්, යෙහෝවඃ වහන්සේ විසින් මනුෂ්‍ය වර්ගයා ව මෙසේ විසිර වීමට පෙර, සාතන් සිය වන්දනාකරුවන්ගේ මනසට බොරු ආගමේ ඇතැම් මූල ධර්ම ඇතුළත් කර තිබූ බව, මිථ්‍යා ප්‍රබන්ධ කථාවල හා ආගමේ ඉතිහාසය මත පදනම් ව ඇති දෙයින් පෙනෙන්නට තිබේ. මරණයෙන් පසු ආත්මයේ පැවැත්ම, මළ අය කෙරෙහි බිය, මෙන් ම ත්‍රිත්වයන්ට බෙදන ලද ඇතැම් දෙවි දේවතාවියන් සහිත, අසංඛ්‍යාත දෙවි දේවතාවන්ගේ වන්දනාව ද ඇතුළු ව, ශාප ලත් පාතාල ලෝකයක පැවැත්ම යනාදී ආගමික සංකල්පයන් මේවාට අයත් විය. මෙවන් විශ්වාසයන් විවිධ භාෂාවන්ට අයත් කණ්ඩායම් විසින් පොළොවේ සීමාවන් දක්වා ගෙන යනු ලැබී ය. කාලයාගේ ඇවෑමෙන්, මෙම මූලික සංකල්ප වෙනස්වීම්වලට භාජනය විය. එහෙත් පොදුවේ ගත් කල, ඒවා ලෝකයේ සියලු කොටස්වල බොරු ආගමේ නිර්මාණය සකසයි. බොරු ආගමේ ලෝක මූලස්ථානය ලෙස බබිලෝනිය තබා ගනිමින් එහි එක් ඒකකයක් බිහි කිරීමට වූ සිය වෑයමෙහි නිෂ්ප්රභා කරනු ලැබුව ද, සාතන්, යෙහෝවඃ වහන්සේගෙන් තමන් වෙතට නමස්කාරය හරවා ගැනීම සඳහා, බබිලෝනීය දැඩි බලපෑමට හසු වූ නානාප්‍රකාර බොරු නමස්කාර ක්‍රමවලින් සෑහීමකට පත් විය. ශතවර්ෂ ගණනාවකට—බොරු ආගමේ සියලු අත්‍යවශ්‍යක සංයෝජකයන් වන—රූප වන්දනාවේ, ඉන්ද්‍රජාලයේ, මන්ත්‍ර ගුරුකමේ, හා ජ්‍යෝතිඃ ශාස්ත්රයේ බලගතු මධ්‍යස්ථානයක් ලෙස බබිලෝනිය නොකඩවා පැවතිණ. බොරු ආගමේ ලෝක අධිරාජ්‍ය මහා බබිලෝනිය නම් අශික්ෂිත වේශ්‍යාවක් ලෙස එළිදරව් පොතේ සංකේතවත් කොට තිබීම පුදුමයක් නොවේ.—එළිදරව් 17:1-5.
සැබෑ ආගම
7. (අ) සැබෑ ආගම භාෂා අවුල්වීමෙන් බලපෑමට ලක් නොවූයේ මන්ද? (ආ) “අදහන්නාවූ සියල්ලන්ගේ පියා” ලෙස හඳුන්වන්නට යෙදුණේ කාව ද, ඒ මන්ද?
7 බාබෙල් හි මනුෂ්‍ය වර්ගයාගේ අදහස් ප්‍රකාශ කිරීමේ මාධ්‍ය යෙහෝවඃ වහන්සේ විසින් අවුල් කිරීමේ දී සැබෑ ආගම නොවෙනස් ව පැවති බව නොකිව මනා ය. ආබෙල්, ඒනොක්, නෝවා, නෝවාගේ භාර්යාව, හා නෝවාගේ පුත්‍රයන් මෙන් ම ලේලියන් විසින් ජල ගැල්මට පෙර සිට සැබෑ නමස්කාරය පිළිපදිනු ලැබී ය. ජල ගැල්මෙන් පසු, නෝවාගේ පුත්‍ර ෂෙම්ගෙන් පැවතෙන්නන් තුළින් සැබෑ නමස්කාරය ආරක්ෂා කරනු ලැබී ය. ෂෙම්ගෙන් පැවතෙන්නෙක් වන, ආබ්‍රහම්, සැබෑ ආගම පිළිපැද්ද අතර, “අදහන්නාවූ සියල්ලන්ගේ පියා” ලෙස ඔහු ව හැඳින්විණි. (රෝම 4:11) ඔහුගේ ඇදහිල්ල ක්‍රියාවන්ගෙන් තහවුරු කරනු ලැබී ය. (යාකොබ් 2:21-23) ඔහුගේ ආගම ජීවන මාර්ගයක් විය.
8. (අ) පොදු යුගයට පෙර 16වන ශතවර්ෂයේ දී සැබෑ ආගම බොරු ආගම සමඟ ගැටුණේ කෙසේ ද, එමෙන් ම එහි ප්‍රතිඵලය කුමක් වී ද? (ආ) ස්වකීය නිර්මල නමස්කාරය සම්බන්ධයෙන් යෙහෝවඃ වහන්සේ පිහිටෙවූ නව විධිවිධානය කුමක් ද?
8 ආබ්‍රහම්ගෙන් පැවතෙන්නන්ගේ පරම්පරාවන්හි, එනම්, ඊසාක්, යාකොබ් (නැතහොත් ඉශ්රායෙල්), හා ඉශ්රායෙල් ගෝත්‍ර 12 හටගත් යාකොබ්ගේ පුත්‍රයන් 12 දෙනා මගින් සැබෑ නමස්කාරය දිගට ම පිළිපදිනු ලැබිණි. පොදු යුගයට පෙර 16වන ශතවර්ෂය අවසාන වෙත් ම, ඊසාක් තුළින් පැමිණි ආබ්‍රහම්ගෙන් පැවතෙන්නන්, තමන් වහල්කමට පත් ව සිටි, සතුරු, මිථ්‍යා දෘෂ්ටික පරිසරයක් වූ, මිසරයේ දී නිර්මල ආගම ආරක්ෂා කරන්නට මහත් පරිශ්‍රමයක් දරනු දක්නට ලැබිණ. බොරු ආගමෙන් පිරී ඉතිරී ගිය දේශයක් වූ, මිසරයේ වහල් භාවයෙන් ස්වකීය නමස්කාරකයන් මුදවා ගැනීමට යෙහෝවඃ වහන්සේ ලෙවී ගෝත්‍රයට අයත් ස්වකීය ඇදහිලිවන්ත සේවක මෝසෙස් යොදා ගත් සේක. යෙහෝවඃ වහන්සේ මෝසෙස් තුළින් ඊශ්‍රායෙල් තෝරා ගත් ස්වකීය සෙනඟ කර ගනිමින්, ඔවුන් සමඟ ගිවිසුමක් කළ සේක. එම කාලයේ දී, ස්වකීය නමස්කාරය පිළිබඳ ව නීති සංග්‍රහයක් සැකසූ යෙහෝවඃ වහන්සේ, ද්‍රව්‍යමය ශුද්ධස්ථානයක් සහිත පුජක පංතියක් මගින් පරිපාලනය කරන ලද පූජා පිළිවෙතක් තුළට තාවකාලික ව එය සීමා කරගත් අතර, පළමු ව එය ප්‍රවාහනය කළ හැකි මණ්ඩපයක ද පසු ව යෙරුසලමේ දේව මාළිගයේ ද විය.
9. (අ) ව්‍යවස්ථා ගිවිසුමට පෙර, සැබෑ නමස්කාරය පිළිපදිනු ලැබුවේ කෙසේ ද? (ආ) ව්‍යවස්ථාවේ ද්‍රව්‍යමය අංග ලක්ෂණ ස්ථිර නොවූ බව යේසුස් වහන්සේ පෙන්වූයේ කෙසේ ද?
9 කෙසේ නමුත්, මෙම ද්‍රව්‍යමය අංග ලක්ෂණ සැබෑ ආගමේ ස්ථිර අවයව විය යුතු යයි අදහස් නොකළ බව සැලකිල්ලට ගත යුතු ය. ව්‍යවස්ථාව “පැමිණෙන්ට තිබෙන දේවල ඡායාවක්” විය. (කොලොස්සි 2:17; හෙබ්‍රෙව් 9:8-10; 10:1) මෝසෙස්ගේ ව්‍යවස්ථාවට පෙර, ආදි පිතෘවරුන්ගේ කාලවල දී, තමන් ගොඩනැගූ පූජාසන මත යාග ඔප්පු කිරීමේ දී පවුල් මූලිකයින් තමන්ගේ ගෙවැසියන් නියෝජනය කළ බව පෙනෙන්නට තිබේ. (උත්පත්ති 12:8; 26:25; 35:2, 3; යෝබ් 1:5) එහෙත් එවිට සංවිධානය වූ පූජක තන්ත්රයක් හෝ වත් පිළිවෙත් හෝ චාරිත්‍ර සමඟ යාග පිළිවෙතක් නොවී ය. මීට අමතර ව, යේසුස් වහන්සේ ම සමාරියේ ස්ත්‍රිය අමතා මෙසේ වදාළ අවස්ථාවෙහි, යෙරුසලම කේන්ද්‍ර ගත ව පැවති නමස්කාර නීති සංග්‍රහයේ තාවකාලික ස්වභාවය පෙන් වූ සේක: “මේ කන්දේදීවත් [ගෙරිසීම්, සමාරියේ දේවමාලිගාවක ඉපැරණි ස්ථානයක්] යෙරුසලමේදීවත් නුඹලා පියාණන්වහන්සේට නමස්කාර නොකරන කාලය පැමිණෙන්නේය . . . නුමුත් සැබෑ නමස්කාරකරන්නන් විසින් ආත්මයෙන්ද සැබෑකමෙන්ද පියාණන්වහන්සේට නමස්කාර කරන කාලය පැමිණෙන්නේය, දැනටම පැමිණ තිබේ.” (යොහන් 4:21-23) සැබෑ ආගම පිළිපැදිය යුත්තේ, ද්‍රව්‍යමය දේවල් සමඟින් නොව, එහෙත් ආත්මයෙනුත් සැබෑකමෙනුත් බව යේසුස් වහන්සේ පෙන්වා දුන් සේක.
බබිලෝනියානු වහල් බව
10. (අ) යෙහෝවඃ වහන්සේ ස්වකීය ජනයා බබිලෝනියේ වහල් භාවයට රැගෙන යාමට ඉඩ හැරියේ මන්ද? (ආ) යෙහෝවඃ වහන්සේ පො.යු.පෙර 537 දී ඇදහිලිවන්ත ඉතිරි කොටසක් මුදා ගත්තේ කිනම් ආකාර දෙකෙන් ද, එමෙන් ම ඔවුන් යුදාව වෙත ආපසු හැරී ඒමේ මූලික අරමුණ වූයේ කුමක් ද?
10 ඒදන් හි කැරලි ගැසීමේ පටන්, සැබෑ ආගම හා බොරු ආගම අතර නියත විරෝධයක් පැවත ඇත. ඇතැම් අවස්ථාවල සැබෑ නමස්කාරකයන්, නිම්රොද්ගේ කාලයේ පටන් බබිලෝනිය විසින් ආදර්ශ කොට දක්වන ලද ලෙසින්, සංකේතවත් ව කියතොත්, බොරු ආගම මගින් වහල්කමට ගෙන ගොස් ඇත. යෙහෝවඃ වහන්සේ, පො.යු.පෙ. 617 දී හා පො.යු.පෙ. 607 දී ස්වකීය ජනයා බබිලෝනියේ වහල් භාවයට රැගෙන යාමට ඉඩ දීමට ප්‍රථමයෙන් ම ඔවුහු බබිලෝනීය බොරු ආගමට ගොදුරු ව සිටියහ. (යෙරෙමියා 2:13-23; 15:2; 20:6; එසකියෙල් 12:10, 11) පොදු යුගයට පෙර 537 දී ඇදහිලිවන්ත ඉතිරි කොටසක් යුදාවට ආපසු පැමිණියහ. (යෙසායා 10:21) ඔවුහු “බබිලෝනියෙන් පිටතට පලයල්ලා” යන අනාවැකිමය ආරාධනාවට ඇහුම්කන් දුන්නෝ ය. (යෙසායා 48:20) මෙය නිකම් ම ශාරීරික මුදාගැනීමක් නොවී ය. එය අපවිත්‍ර, රූප නමස්කාරයෙන් හෙබි බොරු ආගමික පරිසරයකින් වූ ආත්මික මුදාගැනීමක් ද විය. එබැවින් මෙම ඇදහිලිවන්ත ඉතිරි කොටසට මෙසේ අණ කරනු ලැබිණි: “පිටවෙයල්ලා, පිටවෙයල්ලා, ඔතනින් පිටතට පලයල්ලා, කිසි අපවිත්‍ර දෙයකට අත නොගසා, ඈ තුළින් පිටතට පලයල්ලා; ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃ වහන්සේගේ NW] භාණ්ඩ දරන්නෙනි, පිරිසිදුව සිටපල්ලා.” (යෙසායා 52:11) ඔවුන් යුදාව වෙත හැරී ඒමේ මූලික අරමුණ වූයේ නිර්මල නමස්කාරය, සැබෑ ආගම නැවත පිහිටුවීම ය.
11. යුදාහි නිර්මල නමස්කාරය නැවත පිහිටුවනු ලැබීමට අමතර ව, පො.යු.පෙ. හයවන සියවසේ දී සිදු වූ නව ආගමික ප්රවර්ධනයන් මොනවා ද?
11 පොදු යුගයට පෙර එම හයවන ශතවර්ෂයේ ම මහා බබිලෝනිය තුළ බොරු ආගමේ නව කොටස් බෙදීම් දක්නට ලැබීම සැලකිල්ලට ගත යුතු කාරණයකි. එය බෞද්ධ ධර්මයේ, කොන්ෆියුසියන් ධර්මයේ, සෝරෝඇස්ට්රියන් ධර්මයේ, හා ජෛන ධර්මයේ උපත විය. පසු කාලයේ දී ක්‍රිස්තියානි ලෝකයේ පල්ලි කෙරෙහි මහත් බලපෑම් ඇති කළ හේතුවාදී ග්‍රීක් දර්ශනය ගැන ද සඳහන් කළ යුතු නොවේ. මෙසේ නිර්මල නමස්කාරය යුදාවේ නැවත ස්ථාපිත කරනු ලබමින් තිබෙන අතරතුර, දෙවියන් වහන්සේගේ ප්‍රධාන සතුරා බොරු ආගමේ විකල්පයන්හි වඩාත් පුළුල් තෝරා ගැන්මක් ඉදිරිපත් කරමින් සිටියේ ය.
12. පොදු යුගයේ පළමුවන සියවසේ දී බබිලෝනීය වහල් භාවයෙන් කිනම් මුදාගැනීමක් සිදු වී ද, එමෙන් ම පාවුල් දුන් අනතුරු ඇඟවීම කුමක් ද?
12 යේසුස් වහන්සේ ඉශ්රායෙලයේ පෙනී සිටි කාලය වන විට, යුදෙව්වන්ගෙන් බහුතරය, බබිලෝනීය ආගමික සංකල්පයන්ගෙන් බොහොමයක් පවරා ගෙන තිබූ ආගමක් වන, යුදෙව් ආගම වෙනස් ආකාරයන් පිළිපදිමින් සිටියහ. එය මහා බබිලෝනියට එය ම සම්බන්ධ කරගෙන තිබුණේ ය. ක්‍රිස්තුස් වහන්සේ එය දෝෂාරෝපණයට ලක් කළ අතර බබිලෝනීය වහල් භාවයෙන් සිය ගෝලයින් මුදා ගත් සේක. (මතෙව් 23වන පරිච්ඡේදය; ලූක් 4:18) ප්‍රේරිත පාවුල් දේශනා කළ ප්‍රදේශයන්හි බොරු ආගම හා ග්‍රීක් දර්ශනයන් බහුල ව පැතිරී තිබූ නිසා, මහා බබිලෝනියේ අපවිත්‍ර බලපෑමෙන් තමන් නිදහස් කර ගැනීමට අවශ්‍යතාවයක් තිබූ ක්‍රිස්තියානින් වෙත යෙසායාගේ දිවැස්වැකිය උපුටා දැක් වූ ඔහු එය ඔවුන් හට අදාළ කළේ ය. ඔහු ලීවේ මෙසේ ය: “[බබිලෝනීය] දේවතා රූප සමග දෙවියන්වහන්සේගේ මාළිගාවට ඇති එකඟකම මොකද? මක්නිසාද අපි ජීවමාන දෙවියන්වහන්සේගේ මාළිගාවය; එසේම දෙවියන්වහන්සේ කථා කොට: මම ඔවුන් අතරේ වාසයකරන්නෙමි, හැසිරෙන්නෙමි; මම ඔවුන්ගේ දෙවියන්වහන්සේව සිටින්නෙමි, ඔව්හුද මාගේ සෙනගව සිටින්නෝයයි කීසේක. එබැවින්- නුඹලා ඔවුන් අතරෙන් පිටතට ඇවිත්, වෙන්ව සිටපල්ලා, අපවිත්‍ර දෙයකට අත නොගසා සිටපල්ලායයි ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] කියනසේක; එවිට මම නුඹලා [පිළිගනිමි].”—2 කොරින්ති 6:16, 17.
අන්තිම කාලයේ දී බොරු ආගමේ ග්රහණයෙන් නිදහස්වීම
13. සුළු ආසියාවේ සභාවන් සතට එවන ලද ක්‍රිස්තුස් වහන්සේගේ පණිවුඩයේ අඟවා ඇත්තේ කුමක් ද, තව ද එහි ප්‍රතිඵලයක් වශයෙන් මතු වූයේ කුමක් ද?
13 ප්‍රේරිත යොහන් වෙත දෙන ලද එළිදරව්ව තුළින් සුළු ආසියාවේ සභාවන් සතට ක්‍රිස්තුස් වහන්සේ එවූ පණිවුඩවලින් පැහැදිලි ව අඟවන්නේ, පො.යු. පළමුවන ශතවර්ෂය අවසාන වන විට බබිලෝනීය ආගමික වත් පිළිවෙත් හා ආකල්පයන් ක්‍රිස්තියානි සභාවන් තුළට ඇතුල් වෙමින් තිබුණු බව ය. (එළිදරව් 2වන හා 3වන පරිච්ඡේද) විශේෂයෙන් ම පො.යු. දෙවන සියවසේ සිට පස්වන සියවස දක්වා වකවානුව අතරතුර, ධර්මභේදය සශ්‍රීක ව මතු වූ අතර, නිර්මල ක්‍රිස්තියානි ආගමේ ව්‍යාජ අනුකරණයන් දෙසට ඇදී යෑම එහි ප්‍රතිඵලය විය. ආත්මයේ අමරණීයත්වය, නිරාගින්න, හා ත්‍රිත්වය වැනි බබිලෝනීය මූල ධර්ම, ධර්මභේදී ක්‍රිස්තියානි ඉගැන්වීම්වලට ඇතුළත් කරනු ලැබිණි. කතෝලික, ඕතොඩොක්ස්, හා පසු ව රෙපරමාදු පල්ලිය යනාදි සියල්ල මෙම බොරු ලබ්ධීන් පිළිගත් අතර, එමනිසා ඒවා මහා බබිලෝනියේ, එනම් යක්ෂයාගේ බොරු ආගමික ලෝක අධිරාජ්‍යයේ කොටසක් බවට පත් විය.
14, 15. (අ) තිරිඟු හා කිරිඳි පිළිබඳ යේසුස් වහන්සේගේ උපමාව පෙන්වූයේ කුමක් ද? (ආ) දහනවවන ශතවර්ෂයේ අවසාන භාගය ළඟා වෙත් ම කුමක් සිදු වී ද, එමෙන් ම 1914වන විට, මූල ධර්ම සම්බන්ධයෙන් සැබෑ ක්‍රිස්තියානින් කුමන වැඩි දියුණුවක් කර තිබුණි ද?
14 සැබෑ ආගම කිසිවිටෙකත් සම්පූර්ණයෙන් ම මුලින් උදුරා දමනු ලැබ නැත. ශතවර්ෂයන් පුරා සත්‍යයට ප්‍රේම කරන්නන් වාසය කර ඇති අතර, ඔවුන්ගෙන් සමහරෙක් යෙහෝවඃ වහන්සේට හා උන් වහන්සේගේ වචනය වන බයිබලයට ඇති සිය ඇදහිල්ල වෙනුවෙන් සිය ජීවිතය පුද කොට තිබේ. එහෙත් තිරිඟු හා කිරිඳි පිළිබඳ යේසුස් වහන්සේගේ උපමාව පෙන්වන ආකාරයට, සංකේතවත් තිරිඟු, නොහොත් රාජ්‍යයේ ආලේප ලත් පුත්‍රයන්, කිරිඳිවලින්, නොහොත් නපුරාගේ පුත්‍රයන්ගෙන් වෙන් කරනු ලබන්නේ “ලෝකාන්තිමයේදී [දේවල පිළිවෙලේ සමාප්තියේ දී NW]” ය. (මතෙව් 13:24-30, 36-43) අන්තිම කාලය—මෙම වෙනස් කිරීම කළ යුතු ව තිබූ කාලය—ළඟා වෙත් ම, 19වන ශතවර්ෂයේ අග භාගයේ සිටි අවංක බයිබල් ශිෂ්‍යයෝ බොරු ආගමේ වහල් භාවයෙන් නිදහස්වීමට පටන් ගත්තෝ ය.
15 වර්ෂ 1914වන විට, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් ලෙස හඳුන්වනු ලබන මෙම ක්‍රිස්තියානින්, මිදීමේ මිලය කෙරෙහි දැඩි ඇදහිල්ලක් වර්ධනය කරගෙන තිබුණි. ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණ සිටීම අදෘශ්‍යමාන විය යුතු බව ඔවුහු දැන සිටියහ. වර්ෂ 1914 “අන්‍යජාතීන්ගේ කාලවල්” අවසන් කරන බව ඔවුහු තේරුම් ගත්හ. (ලූක් 21:24) එමෙන් ම ඔවුහු ආත්මයේ හා නැවත නැගිටීමේ අර්ථය පැහැදිලි ව ම තේරුම් ගත්හ. නිරාගින්න හා ත්‍රිත්වය පිළිබඳ පල්ලියේ ඉගැන්වීම්වල බලවත් වැරදි සහගත තත්ත්වය සම්බන්ධයෙන් ද ඔවුන් ව ආලෝකනය කරනු ලැබිණි. දිව්‍ය නාමය ඉගෙන ගෙන එය පාවිච්චි කිරීමට පටන් ගත් ඔවුහු, පරිණාම වාදයේ හා ආත්ම බන්ධන ක්‍රියාවල යෙදීමේ වැරදි සහගත භාවය අවබෝධ කර ගත්හ.
16. ආලේප ලත් ක්‍රිස්තියානින් වර්ෂ 1919 දී ප්‍රතිචාරය දැක්වූයේ කිනම් ආරාධනයට ද?
16 බොරු ආගමේ විලංගුවලින් මිදීමට හොඳ ආරම්භයක් කරනු ලැබිණි. තව ද වර්ෂ 1919 දී මහා බබිලෝනියට දෙවියන් වහන්සේගේ ජනයා කෙරෙහි තිබූ සිය ග්‍රහණය සහමුලින් ම අහිමි විය. පොදු යුගයට පෙර 537 දී යුදෙව්වන්ගෙන් සුළු පිරිසක් මුදා ගනු ලැබුවාක් මෙන් ම, ආලේප ලත් ක්‍රිස්තියානින්ගේ ඇදහිලිවන්ත ඉතිරි කොටස, “ඈ [මහා බබිලෝනිය] තුළින් පිටතට” ඒමට වූ ආරාධනයට ඇහුම්කන් දුන්හ.—යෙසායා 52:11.
17. (අ) වර්ෂ 1922 පටන් වර්ධනය වූයේ කුමක් ද, එමෙන් ම දෙවියන් වහන්සේගේ ජනයා අතර කුමක අවශ්‍යතාවයක් දැනුණේ ද? (ආ) කිනම් අන්තගාමී ස්ථාවරයකින් ක්‍රියා කරනු ලැබී ද, එමෙන් ම මෙය තේරුම් ගත හැකි දෙයක් වන්නේ මන්ද?
17 වර්ෂ 1922 පටන්, බබිලෝනීය බොරු ආගමේ, විශේෂයෙන් ක්‍රිස්තියානි ලෝකයේ පල්ලිවල වෙස් මුහුණු ගලවමින්, අතිශය කාවදින සුලු බයිබල් සත්‍යයන් ප්‍රකාශයට පත්කොට ප්‍රසිද්ධියේ බෙදා හරිනු ලැබිණි. සියලු ආකාර බොරු ආගම්වලින් නිදහස්වීම සමිපූර්ණ ආකාරයකට සිදු විය යුතු බව දෙවියන් වහන්සේගේ පවිත්‍ර කරන ලද ජනයාගේ මනස්වලට අවධාරණය කිරීමේ අවශ්‍යතාවයක් පෙනිණ. මෙසේ, වසර ගණනාවකට, නිර්මල නමස්කාරය ගැන කථා කිරීමේ දී “ආගම” යන වචනය භාවිතයෙන් පවා වැළකිණි. “ආගම මලපතක් මෙන් ම මහත් වංචාවක්” වැනි උද්යෝග පාඨ විශාල නගරවල වීදි ඔස්සේ පෙලපාලිවල ගෙන යනු ලැබී ය. ගවන්මන්ට් (1928) හා “සත්‍යය ඔබ නිදහස් කෙරේ” (1943) වැනි පොත්, “ක්රිස්තියානිත්වය” හා “ආගම” අතර වෙනස පැහැදිලි කළේ ය. මහා බබිලෝනියේ පැතිර පවත්නා සියලු ආගමික ක්‍රමවලින් පැහැදිලි නිදහස්වීමක් කළ යුතු ව තිබූ නිසා, මෙම අන්තගාමී ස්ථාවරය තේරුම් ගත හැකි යමකි.
සැබෑ හා බොරු ආගම
18. වර්ෂ 1951 දී “ආගම” පිළිබඳ ව දෙනු ලැබූ නව අවබෝධය කුමක් ද, එමෙන් ම මෙය වර්ෂ 1975 යියර්බුක් පොතේ විස්තර කර ඇත්තේ කෙසේ ද?
18 අනතුරුව, 1951 දී, ස්වකීය ජනයා හට සැබෑ ආගම හා බොරු ආගම අතර වෙනස පිළිබඳ සක් සුදක් සේ පැහැදිලි අවබෝධයක් දීමට යෙහෝවඃ වහන්සේ හට සුදුසු කාලය උදා විය. වර්ෂ 1975 යියර්බුක් ඔෆ් ජෙහෝවා’ස් විට්නසස් මෙසේ වාර්තා කරයි: “වර්ෂ 1951 දී, සැබෑ ආගමේ සාක්ෂිකරුවෝ, ‘ආගම’ යන වදන පිළිබඳ ව විශේෂ යමක් ඉගෙන ගත්හ. ‘ආගම මලපතක් මෙන් ම මහත් වංචාවක්’ යන සිතන්නට පොලඹවන පුවරුව 1938 දී උසුලාගෙන ගිය ඒ කාලය ඔවුන්ගෙන් සමහරෙකුට හොඳින් සිහිපත් කළ හැකි විය. එවකට ඔවුන් තුළ තිබූ අදහස අනුව, සියලු ම ‘ආගම්’ යක්ෂයාගෙන් වූ අතර, ඒවා ක්‍රිස්තියානි නොවී ය. එහෙත් 1951 මාර්තු 15වන දිනැති ද වොච්ටවර් සඟරාව ආගම සම්බන්ධයෙන් ‘සැබෑ’ හා ‘බොරු’ යන විශේෂණ භාවිතය අනුමත කළේ ය. මීට අමතර ව, වොට් හැස් රිලිජන් ඩන් ෆෝ මෑන්කයින්ඩ්? [ආගම මිනිස් සංහතිය උදෙසා කර ඇත්තේ කුමක් ද?] නම් (1951 මුද්‍රණය කර, එංගලන්තයේ, ලන්ඩනයේ, වෙම්බ්ලි ක්‍රීඩාංගනයේ පැවති ‘පිරිසිදු නමස්කාරය’ එක්රැස් වීමේදී මුදා හළ) සිත් ගන්නා පොතේ මෙසේ කියවීමට ඇත: “එය භාවිතා කරනු ලබන ආකාරයෙන් ගත් කළ, “ආගම” යන්නෙහි සරලතම අර්ථ දැක්වීමෙන් අදහස් කරන්නේ, එය සැබෑ වුවත් බොරු වුවත් යම් නමස්කාර ක්රමයකි, නමස්කාර පිළිවෙළකි. මෙය ඒ සඳහා වූ හෙබ්‍රෙව් වචනය වන, ’අ.බොහ්.ඩා’හ් යන්න සමඟ ගැළපේ. එහි පදගතාර්ථමය අර්ථය නම්, කවරෙකුට හෝ පිරිනමන “සේවය” යනුයි. ‘බොරු ආගම’ හා ‘සැබෑ ආගම’ යන ප්‍රකාශයන් යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් අතර ව්‍යවහාර වන්නට පටන් ගත්තේ ඉන් පසු ව ය.”—225වන පිටුව.
19, 20. (අ) “ආගම” යන වචනය පවිත්‍ර නමස්කාරය සම්බන්ධයෙන් අදාළ කොට ඇති ආකාරය ගැන සැබෑ නමස්කාරකයන් කලබල නොවිය යුතු ව තිබුණේ මන්ද? (ආ) මෙම නව අවබෝධය යෙහෝවඃ වහන්සේගේ ජනයා හට කුමක් කිරීමට හැකියාව ලබා දුන්නේ ද?
19 පාඨකයෙකුගේ පැනයකට පිළිතුරු දෙමින්, 1951 අගෝස්තු 15වන දිනැති ද වොච්ටවර් කලාපය පැවසුවේ මෙසේ ය: “කිසිවෙක් ‘ආගම’ යන වදන භාවිතයෙන් කලබලයට පත් වන්නට අවශ්‍යතාවයක් නැත. අප ව ක්‍රිස්තියානින් යයි හඳුන්වා ගැනීමේ දී ක්‍රිස්තියානි ලෝකයේ බොරු ක්‍රිස්තියානින් අතරට අප ව ඇතුළත් නොකරන්නාක් මෙන්, අප එය භාවිතා කරන නිසා ම එය අප ව සම්ප්‍රදායන්ට බැඳි බොරු ආගමික පන්තියට ඇතුළත් කරන්නට යන්නේ නැත.”
20 ඇදහිල්ල පාවා දීමක් කරනවා වෙනුවට, “ආගම” යන වදන පිළිබඳ මෙම නව අවබෝධය මීළඟ ලිපිය පෙන්වන ආකාරයට, යෙහෝවඃ වහන්සේගේ ජනයා හට සැබෑ හා බොරු ආගම අතර පරතරය පුළුල් කිරීමට තුඩු දී ඇත. w91 12/1
අපගේ අවබෝධය පරීක්ෂා කිරීමට
◻ පොළොව මත බොරු ආගම ආරම්භ වූයේ කවදා ද, කෙසේ ද?
◻ ජල ගැල්මෙන් පසු සාතන් පිහිටුවීමට වෑයම් කළේ කුමක් ද, එමෙන් ම ඔහුගේ සැලැස්ම නිෂ්ප්රභා කරනු ලැබුවේ කෙසේ ද?
◻ බබිලෝනිය කුමක සංකේතයක් බවට පත් වී ද?
◻ පොදු යුගයට පෙර 537 දී, පො.යු. පළමුවන ශතවර්ෂයේ දී, හා 1919 දී කිනම් මිදීමක් සිදු වී ද?
◻ වර්ෂ 1951 “ආගම” යන වදන පිළිබඳ කිනම් නව අවබෝධයක් දෙනු ලැබී ද, තව ද එවැන්නක් එකල සිදු වූයේ ඇයි?
[11වන පිටුවේ කොටුව⁄පින්තූරය]
ලොවපුරා විශ්වාස කරනු ලබන බොරු මූල ධර්මයන් ආරම්භ වූයේ බබිලෝනියාවෙනි:
▫ ත්‍රිත්වයන්, නැතහොත් දෙවිවරුන්ගේ ත්‍රිකයන්
▫ මනුෂ්‍ය ආත්මය මරණයේ දී නොනැසී තවදුරටත් පවතී
▫ ආත්ම බන්ධන ක්‍රියා—“මළවුන්” සමඟ කථා කිරීම
▫ නමස්කාරය සඳහා රූප භාවිතය
▫ යක්ෂයන් හා සංසිඳ වීමට මන්තර ගුරුකම් භාවිතය
▫ බලගතු පූජක පිරිසක් විසින් පාලනය