නැවත-නැඟිටීම කෙරෙහි ඔබේ විශ්වාසය කොතරම් ප්‍රබලද?
“නැවත-නැගිටීමද ජීවනයද මමය. මා කෙරෙහි අදහාගන්නා මළ නුමුත් ජීවත්වන්නේය.”—යොහන් 11:25.
1, 2. යෙහෝවාගේ නමස්කාරකයෙකුට නැවත-නැඟිටීමේ බලාපොරොත්තුව සම්බන්ධයෙන් නිසැකකමක් අවශ්‍ය වන්නේ ඇයි?
නැවත-නැඟිටීම කෙරෙහි ඔබේ බලාපොරොත්තුව කොතරම් ප්‍රබලද? මියයෑමේ බියට එරෙහිව එය ඔබව ශක්තිමත් කරනවාද? මරණය නිසා ප්‍රේම කරන යමෙකු අහිමි වන විට, ඉන් ඔබට සැනසිල්ලක් ලැබෙනවාද? (මතෙව් 10:28; 1 තෙසලෝනික 4:13) නැවත-නැඟිටීම කෙරෙහි විශ්වාසයෙන් ශක්තිමත් වී, පහර දීම්, සරදම්, වධ හිංසා මෙන්ම හිරගෙයි බැඳුම් විඳදරාගත් අතීතයේ දෙවිගේ සේවකයන් බොහෝදෙනෙකුට ඔබ සමානද?—හෙබ්‍රෙව් 11:35-38.
2 ඔව්, නැවත-නැඟිටීමක් සිදු වන බවට වූ කාරණය ගැන යෙහෝවාට අවංකව නමස්කාර කරන කෙනෙකුට කිසිම සැකයක් තිබීම අවශ්‍ය නැහැ. ඇත්තෙන්ම ඔහුගේ නිසැකකම ඔහු තම ජීවිතය ගත කරන ආකාරයට බලපෑ යුතුයි. දෙවිගේ නියමිත කාලයේදී, සමුද්‍රය, මරණය සහ හේදීසය ඒවායෙහි සිටි මළවුන් නිදහස් කොට, මෙයාකාරයට නැවත-නැඟිටුවනු ලබන අයට පාරාදීස පොළොවක සදාකල් ජීවත් වීමේ අපේක්ෂාව ලැබෙන බවට සත්‍යතාව ගැන කල්පනා කර බැලීම පුදුම දනවන දෙයක්.—එළිදරව් 20:13; 21:4, 5.
අනාගත ජීවිතයක් පිළිබඳ සැකයන්
3, 4. මරණයෙන් පසු ජීවිතය සම්බන්ධයෙන් බොහෝදෙනෙකුට තවමත් ඇත්තේ මොන විශ්වාසයද?
3 මරණයෙන් පසු ජීවිතයක් ඇති බව ක්‍රිස්තියානි ලෝකය බොහෝ කාලයක් පුරා උගන්වා තිබෙනවා. යූ.එස්. කැතලික් නමැති සඟරාවේ ලිපියක් මෙසේ පැවසුවා: “යුග ගණනාවක් පුරා මේ ජීවිතයට අයත් බලාපොරොත්තු කඩවීම් සහ දුක් ගාවිනා පුළුවන් තරමට දරාගන්න ක්‍රිස්තියානීන් උත්සාහ කර ඇත්තේ වෙනත් ජීවිතයක්, එනම් සමාදානයේ සහ සෑහීමේ, තෘප්තියේ සහ සන්තෝෂයේ ජීවිතයක් ගැන අපේක්ෂාවෙන් සිටීමෙනුයි.” ක්‍රිස්තියානි ලෝකයේ රටවල් කිහිපයක ජනයා ලෞකික පැත්තට බර වී, ආගම දෙස යම් දුරකට වපර ඇසින් බලන්න පෙලඹුණත්, මරණයෙන් පසු යම්කිසිවක් තිබිය යුතුයයි බොහෝදෙනෙකුට තවමත් හැඟෙනවා. එනමුත් ඔවුන්ට නිශ්චිතව නොපෙනෙන බොහෝ දේවලුත් තිබෙනවා.
4 ටයිම් සඟරාවේ ලිපියක් මෙම නිරීක්ෂණය කළා: “මිනිස්සු තවමත් [මතු ජීවිතයක්] ගැන විශ්වාස කළත්, එයින් අදහස් කරන්නේ කුමක්ද යන්න පිළිබඳ ඔවුන්ගේ සංකල්පය තවත් බොඳ වී ගිහිල්ලා. තවද කලින් සිදු වුණාක් මෙන් ඔවුන්ගේ දේවගැතියන්ගෙන් ඒ ගැන දැන් වැඩි දෙයක් දැනගන්න ලැබෙන්නෙත් නැහැ.” කලින් කළාට වඩා මතු ජීවිතයක් ගැන ආගමික දේවගැතියන් අඩුවෙන් කතා කරන්නේ ඇයි? ආගම පිළිබඳ විශාරද ජෙෆ්රි බ’ටන් රසල් මෙසේ පවසයි: “බොහෝ සෙයින් වැඩි වී ඇති සැකය නිසා, ඉමහත් බාධකයක් අභිභවා යන්න සිදු වෙයි කියන භයෙන් [පූජකයන්] එම විෂය මඟහරින්න බලන බවයි මට හැඟෙන්නේ.”
5. අදදින බොහෝදෙනෙක් නිරාගින්න පිළිබඳ ඉගැන්වීම සලකන්නේ කෙසේද?
5 බොහෝ පල්ලිවල, මතු ජීවිතයට ස්වර්ගයකුත් නිරාගින්නකුත් ඇතුළත් වෙනවා. තවද ස්වර්ගය ගැන කතා කරන්න දේවගැතියන් මැළිකමක් දක්වනවා නම්, ඔවුන් නිරය ගැන කතා කරන්න ඊටත් වඩා මැළිකමක් දක්වනවා. “භෞතික නිරයක සදාකාල දඬුවම් ලැබීම විශ්වාස කරන පල්ලි පවා . . . මෙම සංකල්පය බාල කරන” බව එක් පුවත්පත් ලිපියක් පැවසුවා. ඇත්තෙන්ම, මධ්‍යතන යුගවල ඉගැන්නුවාක් මෙන්, නිරය සැබෑ වධ විඳීමේ ස්ථානයක් බව බොහෝ නවීන දේවධර්මාචාර්යවරුන් තවදුරටත් විශ්වාස කරන්නේ නැහැ. ඒ වෙනුවට, නිරය ගැන වඩාත් “සානුකම්පිත” දර්ශනයක් මවන්න ඔවුන් වැඩි මනාපයක් දක්වනවා. නවීන මතධාරීන් බොහෝදෙනෙකුට අනුව, නිරයේ සිටින පව්කාරයන් ඇත්තටම වධහිංසා විඳිනවා නොව, නමුත් “දෙවිගෙන් ආත්මික ලෙස වෙන් වී ඇති නිසා” ඔවුන් දුක් විඳිනවා.
6. ඛේදජනක දෙයකට මුහුණ දෙන්න සිදු වන විට, ඔවුන්ගේ ඇදහිල්ල ප්‍රමාණවත් නොවන බව ඇතමුන්ට පෙනී යන්නේ කෙසේද?
6 නූතන සමාජයේ හැඟීම් අමනාපයට පත් නොකිරීමේ අදහසින් පල්ලියේ ඉගැන්වීම් දුබල කිරීම ඇතමුන්ට ජනප්‍රියත්වය පවත්වාගැනීමට උපකාරයක් වුවත්, ඒ හේතුවෙන් කුමක් විශ්වාස කරන්නද කියන සැකය අවංක පල්ලියන්නන් දශලක්ෂ ගණනාවක් තුළ පහළ වෙනවා. එබැවින්, මරණයට කෙළින්ම මුහුණ දෙන්න සිදු වන විට, තම ඇදහිල්ලේ අඩුවක් ඇති බවට මොවුන්ට බොහෝවිට පෙනී යනවා. ඛේදජනක හදිසි අනතුරකින් පවුලේ සාමාජිකයන් කිහිපදෙනෙකු තමාට අහිමි වූ කාන්තාව දැක්වූ ආකල්පයට සමාන එකක් ඔවුන් පෙන්වනවා. තම ආගමික ඇදහිල්ලෙන් යම් සැනසිල්ලක් ලැබුණාදැයි ඇගෙන් විමසනු ලැබූ විට, “වෙන්න ඇති” යයි ඇය අවිනිශ්චිතව පිළිතුරු දුන්නා. එනමුත් තම ආගමික ඇදහිල්ල තමාට උපකාර කර තිබූ බව ඇය ඒකාන්තයෙන් පිළිතුරු දුන්නත්, ඇගේ විශ්වාසයන්වලට ස්ථිර පදනමක් නොතිබුණා නම්, එයින් අත් වන දිගුකාලීන වාසි ප්‍රයෝජනය මොනවාද? මෙය සැලකිල්ලට ගැනීම වැදගත්. මන්ද අනාගත ජීවිතයක් ගැන පල්ලි බොහොමයක් උගන්වන දේ බයිබලය උගන්වන දේට වඩා හාත්පසින්ම වෙනස් නිසයි.
මරණයෙන් පසු ජීවිතය ගැන ක්‍රිස්තියානි ලෝකයේ මතය
7. (අ) බොහෝ පල්ලි පොදුවේ මොන විශ්වාසයද තබාගන්නේ? (ආ) එක් දේවධර්මාචාර්යවරයෙක් අමරණීය ප්‍රාණය පිළිබඳ ඉගැන්වීම විස්තර කළේ කෙසේද?
7 එකිනෙකා අතර මතභේද පැවතුණත්, ක්‍රිස්තියානි ලෝකයේ හැම නිකායක්ම පාහේ, ශරීර තුළ මරණයෙන් බේරෙන අමරණීය ප්‍රාණයක් මනුෂ්‍යයන්ට ඇති බවට එකඟ වෙනවා. පුද්ගලයෙක් මියයන විට, ඔහුගේ ප්‍රාණයට ස්වර්ගයට යන්න ඉඩ කඩ ඇති බව වැඩිදෙනෙක් විශ්වාස කරනවා. තම ප්‍රාණය නිරාගින්නකට හෝ ශුද්ධ ගිනිස්ථානයකට හෝ යා හැකියි යන බිය සමහරදෙනෙකුට තිබෙනවා. එනමුත් අනාගත ජීවිතයක් පිළිබඳ ඔවුන්ගේ මතය තුළ අමරණීය ප්‍රාණයක් පිළිබඳ අදහසට ප්‍රධාන තැනක් හිමි වෙයි. ඉමෝටැලිටි ඇන්ඩ් රෙසරෙක්ෂන් (අමරණීයත්වය සහ නැවත-නැඟිටීම) යන පොතෙහි පළ වූ රචනාවක දේවධර්මාචාර්ය ඔස්කා කූල්මාන් මේ ගැන අදහස් දැක්වූවා. “අදදින සාමාන්‍ය ක්‍රිස්තියානියෙකුගෙන් . . . මරණයෙන් පසු මිනිසාගේ ඉරණම ගැන අලුත් ගිවිසුමේ උගන්වන දේ සම්බන්ධයෙන් තමාට ඇති අදහස කුමක්ද කියා ඇසුවොත්, ස්වල්පදෙනෙකු හැර හැම කෙනෙක්ම පාහේ ‘ප්‍රාණයේ අමරණීයත්වය’ කියා පිළිතුරු දේවි” යනුවෙන් ඔහු ලිව්වා. කෙසේවෙතත්, “පුළුල්ව පිළිගෙන ඇති මෙම අදහස ක්‍රිස්තු ධර්මයේ විශාලතම වරදවා වටහාගැනීම්වලින් එකක්” බවත් කූල්මාන් එකතු කරයි. මෙය මුලින්ම සඳහන් කළ විට, තමා මහත් උද්ඝෝෂණයක් ඇති කළ බව කූල්මාන් කියා සිටියා. කෙසේවෙතත්, ඔහු පැවසූ දේ නිවැරදියි.
8. යෙහෝවා මුල් මිනිසා සහ ස්ත්‍රිය ඉදිරියෙහි තැබුවේ මොන බලාපොරොත්තුවද?
8 යෙහෝවා දෙවි මනුෂ්‍යයන්ව මැව්වේ මිය ගියායින් පසු ස්වර්ගයට යන්න නොවෙයි. මියයෑම ඔහුගේ මුල් අරමුණට ඇතුළත් වුණේවත් නැහැ. ආදම් සහ ඒවව පරිපූර්ණව මවනු ලැබූ අතර, ධර්මිෂ්ඨ ජනිතයන්ගෙන් පොළොව පූර්ණ කිරීමේ ප්‍රස්තාව ඔවුන්ට දුන්නා. (උත්පත්ති 1:28; ද්විතීය කථාව 32:4) තමුන් මියයන්නේ දෙවිට අකීකරු වූවා නම් පමණයි කියා අපේ මුල් දෙමාපියන්ට පවසනු ලැබුවා. (උත්පත්ති 2:17) තම ස්වර්ගික පියාට ඔවුන් දිගටම කීකරු වී සිටියා නම්, ඔවුන්ට දිගටම සදාකාල ජීවනය හිමිවන්නයි තිබුණේ.
9. (අ) මනුෂ්‍ය ප්‍රාණය පිළිබඳ සත්‍යය කුමක්ද? (ආ) ප්‍රාණය මියගියායින් පසුව එයට සිදු වන්නේ කුමක්ද?
9 කෙසේවෙතත්, කනගාටුවට කරුණක් නම් ආදම් සහ ඒව දෙවිට කීකරු වෙන්න අපොහොසත් වීමයි. (උත්පත්ති 3:6, 7) එහි ඛේදජනක ප්‍රතිවිපාක ප්‍රේරිත පාවුල් මෙසේ විස්තර කළා: “එක් මනුෂ්‍යයෙකු කරණකොටගෙන පාපයත් පාපය කරණකොටගෙන මරණයත් ලෝකයට ඇතුල්වුණාක්මෙන්, සියලු මනුෂ්‍යයන් පව්කළ බැවින් සියල්ලන් කෙරෙහි මරණයද පැමුණුණේය.” (රෝම 5:12) මිහිපිට සදාකාලයටම ජීවත් වනවා වෙනුවට ආදම් සහ ඒව මියගියා. මියගිය විට කුමක්ද සිදු වුණේ? තම පාපය නිසා නිරාගින්නකට නියම විය හැකි අමරණීය ප්‍රාණ ඔවුන්ට තිබුණාද? නැහැ. ඒ වෙනුවට, ආදම්ව මවනු ලැබූ විට, ඔහු “ජීවමාන ප්‍රාණයක්” වූ බව බයිබලය පවසයි. (උත්පත්ති 2:7) මිනිසාට ප්‍රාණයක් දුන්නා නොවෙයි; ඔහු ප්‍රාණයක් නොහොත් ජීවමාන පුද්ගලයෙක් බවට පත් වුණා. (1 කොරින්ති 15:45) ඇත්තටම, “ජීවමාන ප්‍රාණයක්” සේ හිටියේ ආදම් පමණක් නොවෙයි. උත්පත්ති ලියනු ලැබූ හෙබ්‍රෙව් භාෂාවෙන් පැහැදිලි වන පරිදි, පහත් සත්වයනුත් “ජීවමාන ප්‍රාණ” වුණා. (උත්පත්ති 1:24, NW) ආදම් සහ ඒව මියගිය විට, ඔවුන් මළ ප්‍රාණ බවට පත් වුණා. අන්තිමේදී, යෙහෝවා ආදම්ට කී පරිද්දෙන්ම සිදු වෙන්න තිබූ දී සිදු වුණා: “නුඹ භූමියෙන් ගන්නාලද බැවින් එයට හැරී යනතෙක් නුඹේ මුහුණේ ඩහදියෙන් යුක්තව කෑම කන්නෙහිය; මක්නිසාද නුඹ දූවිලිය, දූවිල්ලට හැරී යන්නෙහිය.”—උත්පත්ති 3:19.
10, 11. ප්‍රාණය පිළිබඳ බයිබලයේ ඉගැන්වීම ගැන නියූ කැතලික් එන්සයික්ලොපීඩියා පිළිගන්නේ කුමක්ද? මෙය බයිබලය කියන දේ සමඟ සැසඳෙන්නේ කෙසේද?
10 මූලික වශයෙන්, නියූ කැතලික් එන්සයික්ලොපීඩියා එයට එකඟ වෙනවා. “ප්‍රාණය (බයිබලයෙහි සඳහන්)” යන ලිපියෙහි මෙසේ පැවසේ: “ප.ගි.හි [“පරණ ගිවිසුම” නොහොත් හෙබ්‍රෙව් ලියවිලිවල] ශරීරය සහ ප්‍රාණය අතර කිසිම ද්විධාරකරණයක් [කොටසක් දෙකකට වෙන් කිරීමක්] නැහැ.” බයිබලයෙහි “ප්‍රාණය” යන වචනයෙන් “ශරීරයෙන් හෝ පුද්ගලයාගෙන් වෙන් වූ ප්‍රාණයක් කිසිදාක අදහස් කරන්නේ නැති” බව එය අමතරව සඳහන් කරයි. ඇත්තෙන්ම, “සතුන් හෝ වේවා මිනිසුන් හෝ වේවා,” ප්‍රාණය බොහෝවිට “පෞද්ගලික ජීවියා” අදහස් කරයි. මෙවන් අවංකකමක් ප්රබෝධයක් ගෙන දුන්නත්, මෙම සත්‍යතාවන් සම්බන්ධයෙන් සාමාන්‍ය පල්ලියන්නන්ව දැනුවත් කර නැත්තේ ඇයි යන්න ගැන යමෙකුට තර්කානුකූලව ප්‍රශ්න කළ හැකියි.
11 ප්‍රාණය නිරාගින්නක වධ විඳිනවා වෙනුවට, “පව්කරන ප්‍රාණයම නසින්නේය” යන සරල බයිබල් සත්‍යතාව දැන සිටියා නම්, පල්ලියන්නන් මොනතරම් කනස්සල්ලකින් සහ භයකින් ගැළවෙන්න තිබුණාද! (එසකියෙල් 18:4) මෙය ක්‍රිස්තියානි ලෝකය උගන්වන දේට හාත්පසින්ම වෙනස් වුවත්, ප්‍රඥාවන්ත මිනිසා වූ සාලමොන් දේවානුභාවයෙන් පැවසූ දෙයට මුළුමනින්ම ගැළපේ: “ජීවත්වන්නෝ තමුන් නසින්ට ඕනෑ බව දනිති. මළාහු කිසිවක් නොදනිති, ඔවුන්ට [මේ ජීවිතයේදී] තවත් කිසි විපාකයක් නැත; මක්නිසාද ඔවුන් ගැන සිහිවීම නැතිවිය. කරන්ට නුඹේ අතට සම්බවෙන සියල්ලම නුඹේ වීර්යයෙන් කරන්න; මක්නිසාද නුඹ යන මිනීවළෙහි [ෂෙයෝලෙහි, NW] වැඩක්වත් යෝජනාවක්වත් දැනගැන්මවත් ප්‍රඥාවවත් නැත.”—දේශනාකාරයා 9:5, 10.
12. ප්‍රාණයේ අමරණීයත්වය පිළිබඳ ඉගැන්වීම ක්‍රිස්තියානි ලෝකය ඈඳාගත්තේ කොහෙන්ද?
12 බයිබලය කියන දේට හාත්පසින්ම වෙනස් යමක් ක්‍රිස්තියානි ලෝකය උගන්වන්නේ ඇයි? මුල් සභා පියවරුන් අමරණීය ප්‍රාණයක් ඇති බවට විශ්වාසය සඳහා අතකොළුවක් ලබාගත්තේ බයිබලයෙන් නොව, නමුත් “ග්‍රීක් චින්තනයෙහි කවීන්ගෙන්, දාර්ශනිකයන්ගෙන් සහ සාමාන්‍ය සම්ප්‍රදායෙන්” බව “ප්‍රාණයේ, මනුෂ්‍යයාගේ, අමරණීයත්වය” යන ලිපියෙහි නියූ කැතලික් එන්සයික්ලොපීඩියා පවසයි. “පසුව, එම ශාස්ත්රීයවාදීන් ප්ලේටෝ හෝ ඇරිස්ටෝටල්ගේ මූලධර්ම උපයෝගි කරගැනීමට වැඩි මනාපයක් දැක්වූවා.” අමරණීය ප්‍රාණය පිළිබඳ විශ්වාසය ඇතුළුව, “ප්ලේටෝගේ සහ ප්ලේටෝ මත ගොඩනැඟුණු පසුකාලීන චින්තනයේ බලපෑම” අන්තිමේදී “ක්‍රිස්තියානි දේවවේදයේ අභ්‍යන්තරයටම” ඇතුළත් කරනු ලැබූ බව එහි පැවසේ.
13, 14. මිථ්‍යාදෘෂ්ටික ග්‍රීක් දාර්ශනිකයන් මගින් ඥානාලෝකයක් ලැබෙයි කියා බලාපොරොත්තු වීම අසාධාරණ වන්නේ ඇයි?
13 මරණින් පසු ජීවිතය පිළිබඳ බලාපොරොත්තුව තරම් සරල යමක් ගැන ඉගෙනගැනීමට නාමමාත්ර ක්‍රිස්තියානීන් මිථ්‍යාදෘෂ්ටික ග්‍රීක් දාර්ශනිකයන් වෙත හැරීම සුදුසුද? කිසිසේත් නැහැ. ග්‍රීසියේ කොරින්තියෙහි විසූ ක්‍රිස්තියානීන්ට පාවුල් ලියූ විට ඔහු මෙසේ පැවසුවා: ‘මේ ලෝකයේ ප්‍රඥාව දෙවි ඉදිරියෙහි මෝඩකමය. මක්නිසාද: ඔහු ප්‍රඥාවන්තයන් ඔවුන්ගේ උපායවලින් [අසු කරගන්නේයයි] ලියා තිබේ. නැවතද: යෙහෝවා ප්‍රඥාවන්තයන්ගේ කල්පනා නිෂ්ඵලව තිබෙන බව දන්නේයයි ලියා තිබේ.’ (1 කොරින්ති 3:19, 20) පුරාණ ග්රීක්වරු පිළිම නමස්කාරකයෝ වුණා. එසේනම්, ඔවුන්ට සත්‍යයේ උල්පතක් විය හැක්කේ කෙසේද? පාවුල් කොරින්තිවරුන්ගෙන් මෙසේ විමසුවා: ‘දේවතා රූප සමඟ දෙවිගේ මාළිගාවට ඇති එකඟකම මොකද? මක්නිසාද අපි ජීවමාන දෙවිගේ මාළිගාවය; එසේම දෙවි කතාකොට: මම ඔවුන් අතරේ වාසය කරන්නෙමි, හැසිරෙන්නෙමි; මම ඔවුන්ගේ දෙවිව සිටින්නෙමි, ඔව්හුද මාගේ සෙනඟව සිටින්නෝයයි කීවේය.’—2 කොරින්ති 6:16.
14 පරිශුද්ධ සත්‍යතාවන් මුලින්ම එළිදරව් කළේ ඉශ්රායෙල් ජාතිය තුළිනුයි. (රෝම 3:1, 2) පොදු යුගයේ 33න් පසු, මුල් සියවසේ ආලේප ලත් ක්‍රිස්තියානි සභාව තුළිනුයි ඒවා දෙනු ලැබුවේ. මුල් සියවසේ ක්‍රිස්තියානීන් ගැන කතා කරමින් පාවුල් මෙසේ පැවසුවා: “දෙවි තම ආත්මය තුළින් [තමාට ප්‍රේම කරන අය සඳහා සූදානම් කර ඇති දේවල්] එළිදරව් කර ඇත්තේ අපටයි.” (1 කොරින්ති 2:10, NW; එළිදරව් 1:1, 2ද බලන්න.) ප්‍රාණයේ අමරණීයත්වය පිළිබඳ ක්‍රිස්තියානි ලෝකයේ ඉගැන්වීම ග්‍රීක් දර්ශනයෙන් ඈඳාගත් දෙයක්. දෙවි ඉශ්රායෙල්ට එළිදරව් කළ දෙයින්වත්, මුල් සියවසේ ආලේප ලත් සභාව තුළින්වත් එය එළිදරව් කරනු ලැබුවේ නැහැ.
මළවුන් සඳහා සැබෑ බලාපොරොත්තුව
15. යේසුට අනුව, මළවුන් සඳහා ඇති සැබෑ බලාපොරොත්තුව කුමක්ද?
15 අමරණීය ප්‍රාණයක් නැත්නම්, මළවුන් සඳහා සැබෑ බලාපොරොත්තුව කුමක්ද? ඒ තමයි බයිබලයෙහි ප්‍රධාන ඉගැන්වීමක් මෙන්ම සැබවින්ම පුදුම දනවන දිව්‍ය පොරොන්දුවක් වන නැවත-නැඟිටීම. “නැවත-නැගිටීමද ජීවනයද මමය. මා කෙරෙහි අදහාගන්නා මළ නුමුත් ජීවත්වන්නේය” යනුවෙන් තම මිතුරිය වූ මාර්තාට පැවසූ විට, යේසු නැවත-නැඟිටීමේ බලාපොරොත්තුව ඇය ඉදිරියෙහි තැබුවා. (යොහන් 11:25) යේසු කෙරෙහි විශ්වාස කරනවා කියන්නේ අමරණීය ප්‍රාණයක් කෙරෙහි නොව, නැවත-නැඟිටීම කෙරෙහි විශ්වාස කිරීමයි.
16. නැවත-නැඟිටීමක් කෙරෙහි විශ්වාස කිරීම සාධාරණ වන්නේ ඇයි?
16 “මේ ගැන මවිත නොවෙන්න. මක්නිසාද සොහොන්ගෙවල්හි සිටින සියල්ලන්ට ඔහුගේ හඬ ඇසෙන පැය පැමිණ . . . පිටත්ව එන්නෝය” යනුවෙන් යුදෙව්වන් කිහිපදෙනෙකුට පවසද්දී, නැවත-නැඟිටීම ගැන මීට කලින් යේසු කතා කර තිබුණා. (යොහන් 5:28, 29) යේසු මෙහිදී විස්තර කරන දේ, ශරීරයේ මරණින් බේරී, කෙළින්ම ස්වර්ගයට යන අමරණීය ප්‍රාණයකට වඩා හාත්පසින්ම වෙනස්. සියවස් බොහෝ ගණනක් ඇතැම්විට අවුරුදු දහස් ගණනක් පවා මිනීවළෙහි සිට ඇති ජනයාගේ අනාගත ‘පිටත්ව ඒමක්’ තමයි එහි සඳහන් වන්නේ. එනම් මියගිය ප්‍රාණ නැවත ජීවත් වීමයි. සිදු විය නොහැක්කක්ද? “මළවුන් ජීවත්කරන්නාවූ, නැති දේ ඇති දේ මෙන් සඳහන්කරන්නාවූ [දෙවිට]” නම් එය ගැටලුවක් නොවෙයි. (රෝම 4:17) මළවුන්ගෙන් මිනිස්සු නැවත පැමිණීමේ අදහස දෙස වපර ඇසින් බලන අය සමච්චලයට ලක් කෙරුවත්, ‘දෙවි ප්‍රේමය’ බවට සහ ඔහුව උනන්දුවෙන් ‘සොයන්නන්ට ඔහු විපාක දෙන කෙනෙකු’ බවට වන සත්‍යතාව සමඟ මෙය සම්පූර්ණයෙන්ම එකඟ වෙයි.—1 යොහන් 4:16; හෙබ්‍රෙව් 11:6.
17. නැවත-නැඟීටීම තුළින් දෙවි ඉටු කරන්න යන්නේ කුමක්ද?
17 ඇත්තෙන්ම දෙවි “මරණය දක්වා විශ්වාසව” සිටි අයව නැවත ජීවත් කෙරෙව්වේ නැත්නම්, ඔවුන්ට විපාක දෙන්න යන්නේ කෙසේද? (එළිදරව් 2:10) ‘දෙවිගේ පුත්‍රයා ප්‍රකාශ කරනු ලැබුවේ මේ පිණිසය, එනම් යක්ෂයාගේ ක්‍රියා විනාශ කරන පිණිසය’ යනුවෙන් ප්‍රේරිත යොහන් ලියූ දේ ඉටු කිරීමට දෙවිට හැකියාවකුත් තිබෙන්නේ නැවත-නැඟිටීම හේතුකොටගෙනයි. (1 යොහන් 3:8) ඒදන් උයනෙහි සිදු වූ දේ සැලකුවොත්, අපේ මුල් දෙමාපියන්ව පාපය සහ මරණය වෙතට මඟ පෑදූ විට, සාතන් මුළු මිනිස් සංහතියේම මිනීමරුවා බවට පත් වුණා. (උත්පත්ති 3:1-6; යොහන් 8:44) තම පරිපූර්ණ ජීවිතය අනුරූපී මිදීමේ මිලයක් වශයෙන් දුන් විට, සාතන්ගේ ක්‍රියා විනාශ කිරීමට යේසු පටන්ගත්තා. මෙයින් ආදම්ගේ හිතාමතාම අකීකරු වීමේ ප්‍රතිඵලයක් ලෙස උරුමයෙන් පාපයට වහල් වීමෙන් මුදනු ලැබීමට මනුෂ්‍යවර්ගයාට මාර්ගය විවෘත කර දෙනු ලැබුවා. (රෝම 5:18) ආදම්ගේ මෙම පාපය හේතුවෙන් මැරෙන අයගේ නැවත-නැඟිටීම යක්ෂයාගේ ක්‍රියා තවදුරටත් විනාශ කිරීමට දායක වෙයි.
ශරීරය සහ ප්‍රාණය
18. යේසුව නැවත-නැඟිටුවා තිබූ බවට පාවුල් කළ ප්‍රකාශයට ඇතැම් ග්‍රීක් දාර්ශනිකයන් ප්‍රතික්‍රියා කළේ කෙසේද? ඒ ඇයි?
18 ප්‍රේරිත පාවුල් අතීනසයේ සිටි විට, ග්‍රීක් දාර්ශනිකයන් කිහිපදෙනෙකු ඇතුළු සමූහයකට ඔහු ශුභාරංචිය දේශනා කළා. එකම සැබෑ දෙවි ගැනත්, පසුතැවිලි වීමට ඒ දෙවි ඉදිරිපත් කළ ආයාචනය ගැනත් කළ ඔහුගේ සාකච්ඡාවට ඔවුන් සවන් දුන්නා. ඊළඟට සිදු වුණේ කුමක්ද? පාවුල් මෙසේ පවසමින් තම දේශනය නිම කළා: “[තමන්] විසින් පත්කළ මනුෂ්‍යයා ලවා ලෝකයා ධර්මිෂ්ඨකමින් විනිශ්චයකරවන්ට [දෙවි] එක් දවසක් නියමකර තිබේ; [ඔහු] ඒ මනුෂ්‍යයා මළවුන්ගෙන් නැගිටවීමෙන් සියල්ලන්ට ඒ ගැන සහතිකයක් දී තිබේ.” ඒ වදන් යම් කැලඹීමක් ඇති කළා. “මළවුන්ගෙන් නැගිටීම ගැන ඔවුන් ඇසූ කල, සමහරු සරදම්කළෝය.” (ක්‍රියා 17:22-32) දේවධර්මාචාර්ය ඔස්කා කූල්මාන් මෙසේ නිරීක්ෂණය කරයි: “වෙනත් අයට වඩා ප්‍රාණයේ අමරණීයත්වය විශ්වාස කළ ග්‍රීක්වරුන්ට නැවත-නැඟිටීම පිළිබඳ ක්‍රිස්තියානි දේශනාව පිළිගැනීමට අමාරු වන්න ඇති. . . . සොක්රටීස් සහ ප්ලේටෝ යන ශ්‍රේෂ්ඨ දාර්ශනිකයන්ගේ ඉගැන්වීම අලුත් ගිවිසුමේ ඒවා සමඟ කිසිසේත් ගළපාගත [එකඟ කළ] නොහැකියි.”
19. නැවත-නැඟිටීමේ ඉගැන්වීම, අමරණීය ප්‍රාණය පිළිබඳ ඉගැන්වීම සමඟ ඒකාබද්ධ කිරීමට ක්‍රිස්තියානි ලෝකයේ දේවධර්මාචාර්යවරුන් වෑයම් කළේ කෙසේද?
19 කෙසේවෙතත්, ප්‍රේරිතයන්ගේ මරණයෙන් පසුව ඇති වූ මහත් ඇදහිල්ල අත්හැර යෑමෙන් අනතුරුව, නැවත-නැඟිටීම නමැති ක්‍රිස්තියානි ඉගැන්වීම සමඟ අමරණීය ප්‍රාණයක් පිළිබඳ ප්ලේටෝගේ විශ්වාසය ඒකාබද්ධ කිරීමට දේවධර්මාචාර්යවරුන් වෙහෙස මහන්සි වුණා. කල් යත්ම, ඇතමුන් අභිනව විසඳුමක් සම්බන්ධයෙන් එකඟ වුණා: මරණයේදී, ශරීරයෙන් ප්‍රාණය වෙන් වෙනවා (සමහරුන්ගේ අදහස අනුව, “නිදහස් වෙනවා”). ඊළඟට, ආර්. ජේ. කුක් රචනා කළ අවුට්ලයින්ස් ඔෆ් ද ඩොක්ට්‍රින් ඔෆ් ද රෙසරෙක්ෂන් (නැවත-නැඟිටීම නමැති ඉගැන්වීම පිළිබඳ දළ සටහන්) අනුව, විනිශ්චයේ දවසේදී, “සෑම ශරීරයක්ම එහි ප්‍රාණය සමඟත්, හැම ප්‍රාණයක්ම එහි ශරීරය සමඟත් යළිත් එක් වෙනවා.” අනාගතයේදී ශරීරය එහි අමරණීය ප්‍රාණය සමඟ යළිත් එක්වීමයි නැවත-නැඟිටීම බවට පවසා තිබෙන්නේ.
20, 21. නැවත-නැඟිටීම පිළිබඳ සත්‍යය අඛණ්ඩව උගන්වා ඇත්තේ කවුද? තවද මෙය ඔවුන්ට ප්‍රයෝජනවත් වී ඇත්තේ කෙසේද?
20 මෙම මතය තවමත් ප්‍රධාන පෙළේ පල්ලිවල නිල ඉගැන්වීම වෙනවා. එවන් සංකල්පයක් දේවධර්මාචාර්යවරයෙකුට තර්කානුකූලයි කියා පෙනීගියත්, බොහෝ පල්ලියන්නන්ට එය නුහුරු නුපුරුදු දෙයක්. ඔවුන් නිකම්ම විශ්වාස කරන්නේ, තමුන් මැරෙන විට කෙළින්ම ස්වර්ගයට යන බවයි. කොමන්වීල්හි 1995 මැයි 5 කලාපයේ, ලේඛක ජොන් ගාවි මෙම චෝදනාව එල්ල කළේ ඒ හේතුවෙනුයි: “[මරණයෙන් පසු ජීවිතය සම්බන්ධ කාරණයේදී] බොහෝ ක්‍රිස්තියානීන්ගේ විශ්වාසය සැබවින්ම ක්‍රිස්තියානියයි පැවසිය හැකි යමකට වඩා ප්ලේටෝ මත ගොඩනැඟුණු පසුකාලීන මතයට සමීප බවයි පෙනී යන්නේ. තවද ඊට බයිබලයෙන් කිසිම පදනමක් සපයන්නේ නැහැ.” ඇත්තෙන්ම ප්ලේටෝව භාරගැනීමට බයිබලයේ සත්‍යය ඉවතලෑමෙන්, ක්‍රිස්තියානි ලෝකයේ පූජක පක්ෂය බයිබලය මත පදනම් නැවත-නැඟිටීමේ බලාපොරොත්තුව තම රැළවල් සඳහා නැති කර දැම්මා.
21 අනික් අතට, යෙහෝවාගේ සාක්ෂිකරුවන් මිථ්‍යාදෘෂ්ටික දර්ශන ප්‍රතික්ෂේප කරමින්, නැවත-නැඟිටීම පිළිබඳ බයිබලයේ ඉගැන්වීමට ඇලී සිටිනවා. එවන් ඉගැන්වීමක්, වර්ධනය, තෘප්තිය සහ සැනසිල්ල ගෙන දෙන යමක් බව ඔවුන්ට ප්රත්යක්ෂ වෙනවා. භූමික බලාපොරොත්තුවක් ඇති අයට මෙන්ම ස්වර්ගික ජීවිතයකට නැවත-නැඟිටීමේ අපේක්ෂාව ඇති අයට නැවත-නැඟිටීම නමැති බයිබල් ඉගැන්වීම කොතරම් තර්කානුකූලද, කොතරම් හොඳ පදනමක් සහිතද කියා අපි මීළඟ ලිපි තුළින් බලන්න යනවා. මෙම ලිපි සලකා බැලීමට සූදානමක් වශයෙන්, කොරින්තිවරුන්ට ලියූ පළමු හසුනේ 15වන පරිච්ඡේදය කියවන්න කියා අපි නිර්දේශ කරනවා.
ඔබට මතකද?
◻ නැවත-නැඟිටීම කෙරෙහි අප ස්ථිර නිසැකකමක් වර්ධනය කරගත යුත්තේ ඇයි?
◻ යෙහෝවා ආදම් සහ ඒව ඉදිරියෙහි තැබුවේ මොන අපේක්ෂාවද?
◻ ග්‍රීක් දර්ශනය තුළින් යම් සත්‍යයක් සෙවීම තර්කානුකූල නොවන්නේ ඇයි?
◻ නැවත-නැඟිටීම සාධාරණ බලාපොරොත්තුවක් වන්නේ ඇයි?
[10වන පිටුවේ පින්තූරය]
අපේ මුල් දෙමාපියන් පව් කළ විට, පොළොව මත සදාකල් ජීවත් වීමේ බලාපොරොත්තුව ඔවුන් අහිමි කරගත්තා
[12වන පිටුවේ පින්තූරය]
ක්‍රිස්තියානි විශාරදයන් ප්‍රාණයේ අමරණීයත්වය පිළිබඳ ප්ලේටෝගේ විශ්වාසයෙන් බලපෑම් ලැබීමට පටන්ගත්තා
[හිමිකම් විස්තර]
Musei Capitolini, Roma