මරණින් පසු ජීවිතයක්—බයිබලය පවසන්නේ කුමක්ද?
“නුඹ දූවිලිය, දූවිල්ලට හැරී යන්නෙහිය.”—උත්පත්ති 3:19.
1, 2. (අ) මරණින් පසු ජීවිතය ගැන ඇත්තේ කුමන වෙනස් අදහස්ද? (ආ) මිනිසාගේ නියම ස්වභාවය ගැන බයිබලය උගන්වන දේ නිශ්චය කරගැනීමට අප පරීක්ෂා කර බැලිය යුත්තේ කුමක්ද?
“සදාතනික දුක් විඳීම හා බැඳි මතය, මවන ලද දේවල් සඳහා දෙවිට ඇති ප්‍රේමය පිළිබඳ විශ්වාසය සමඟ නොගැළපේ. . . . නිවැරදි කිරීමට අවස්ථාවක් ලබා නොදී, වසර කිහිපයක වැරදි නිසා ආත්මයට සදහටම දඬුවම් පැමිණවිය යුතුයි යන්න විශ්වාස කිරීම, මුළුමනින්ම අසාධාරණ වූ යමක් සේ පෙනීයන” බව හින්දු දාර්ශනික නිකිලානන්ඩ් නිරීක්ෂණය කළා.
2 නිකිලානන්ඩ්ට සමානව, බොහෝදෙනෙකු සදාකාලික වධ විඳීමේ ඉගැන්වීම ගැන කල්පනා කරන විට, ඔවුන්ට අපහසුවක් දැනෙනවා. ඊට සමානව, නිවන් දැකීම සහ ස්වභාවධර්මයා හා එක්වීම වැනි සංකල්ප තේරුම්ගැනීම වෙනත් අයට දුෂ්කරයි. තම විශ්වාසයන් බයිබලය මත පදනම් කරගන්නා බව කියා සිටින අය අතර පවා, මිනිසාගේ ස්වභාවය සහ ඔහු මියයද්දී සිදු වන්නේ කුමක්ද යන්න සම්බන්ධයෙන් පරස්පර විරෝධී අදහස් තිබෙනවා. එනමුත් මිනිසාව සෑදූ ආකාරය ගැන ඇත්තටම බයිබලය උගන්වන්නේ කුමක්ද? මින් කුමක් අදහස් වනවාද කියා දැනගැනීමට, බයිබලයෙහි “ප්‍රාණය” ලෙස පරිවර්තනය කර ඇති හෙබ්‍රෙව් සහ ග්‍රීක් වදන්වල තේරුම් අප පරීක්ෂා කර බැලිය යුතුයි.
ප්‍රාණය—බයිබලයෙහි අදහස
3. (අ) හෙබ්‍රෙව් ලියවිලිවල “ප්‍රාණය” ලෙස පරිවර්තනය කර ඇති වචනය කුමක්ද? එහි මූලික තේරුම කුමක්ද? (ආ) “ප්‍රාණය” යන වචනයෙන් සම්පූර්ණ පුද්ගලයාවම දැක්විය හැකි බව උත්පත්ති 2:7න් පැහැදිලි වන්නේ කෙසේද?
3 “ප්‍රාණය” ලෙස පරිවර්තනය කර ඇති හෙබ්‍රෙව් වචනය නෙʹෆෙෂ් වන අතර, එය හෙබ්‍රෙව් ලියවිලිවල 754 වාරයක් දක්නට ලැබෙනවා. නෙʹෆෙෂ් යන්නෙහි තේරුම කුමක්ද? බයිබලය සහ ආගම පිළිබඳ ශබ්දකෝෂයට (ඉංග්‍රීසියෙන්) අනුව, එය “සාමාන්‍යයෙන් සම්පූර්ණ ජීවියා, සම්පූර්ණ පුද්ගලයාටම යොමු දක්වනවා.” මිනිසාව සාදනු ලැබූ ආකාරය පිළිබඳව බයිබලයෙහි ඇති සරල විස්තරයෙන් මෙය පැහැදිලි වෙනවා. බයිබලයෙහි මුල් පොත වන උත්පත්ති 2:7හි මෙසේ පවසා තිබෙනවා: ‘යෙහෝවා දෙවි භූමියේ දූවිල්ලෙන් මනුෂ්‍යයා සාදා ඔහුගේ නාස්පුඩු තුළට ජීවනයේ හුස්ම හෙළුවේය; එවිට මනුෂ්‍යයා ජීවමාන ප්‍රාණයක් විය.’ මුල් මිනිසා ප්‍රාණයක් ‘වුණ’ බව සැලකිල්ලට ගන්න. එසේ නම්, මෙහිදී ප්‍රාණය යන වචනය සම්පූර්ණ පුද්ගලයාවම විස්තර කරනවා.
4. ක්‍රිස්තියානි ග්‍රීක් ලියවිලිවල “ප්‍රාණය” ලෙස පරිවර්තනය කර ඇත්තේ මොන වචනයද? මෙම වචනයෙහි මූලික අර්ථය කුමක්ද?
4 “ප්‍රාණය” (සයි·කෙʹ) ලෙස බොහෝ වර පරිවර්තනය කර ඇති වචනය ක්‍රිස්තියානි ග්‍රීක් ලියවිලිවල සිය වාරයකටත් වැඩිය දක්නට ලැබෙනවා. නෙʹෆෙෂ් මෙන් මෙම වචනය බොහෝවිට සම්පූර්ණ පුද්ගලයාටම යොමු දක්වනවා. එහි තේරුම අවබෝධ කරගැනීමට මෙම ග්‍රීක් වචනය යොදා ඇති මතු දැක්වෙන පද සැලකිල්ලට ගන්න: “මාගේ සිත [ප්‍රාණය, NW] කැලඹෙයි.” (යොහන් 12:27) “සියලුදෙනා [සියලුම ප්‍රාණ, NW] කෙරෙහි භය පැමුණුණේය.” (ක්‍රියා 2:43) “හැමදෙනාම [හැම ප්‍රාණයක්ම, NW] බලයලත් මුලාදෑනීන්ට යටත්වෙත්වා.” (රෝම 13:1) ‘ක්ලාන්ත සිත් [ප්‍රාණ, NW] ඇත්තන් ධෛර්යයවත් කරන්න.’ (1 තෙසලෝනික 5:14) “ඒ නැවට ස්වල්ප දෙනෙක් එනම් අට දෙනෙක් [ප්‍රාණ අටක්, NW] [ඇතුල්වී] වතුර කරණකොටගෙන ගැළවුණෝය.” (1 පේතෘස් 3:20) එසේ නම්, නෙʹෆෙෂ් මෙන්, සයි·කෙත් සම්පූර්ණ පුද්ගලයාටම යොමු දක්වනවා. විශාරද නයිජල් ට’න’ට අනුව, මෙම වචනය “නිරායාසයෙන්ම මනුෂ්‍යයෙකු විය යුතු යමෙකුට, එනම් පුද්ගලයෙකුට, දෙවිගේ රුවා [ක්‍රියාකාරක බලය] හෙළා ඇති ද්‍රව්‍යමය ශරීරයකට යොමු දක්වනවා. . . . මෙහිදී සම්පූර්ණ පුද්ගලයාවම අවධාරණය වෙනවා.”
5. ප්‍රාණය ලෙස පරිවර්තනය කර ඇති හෙබ්‍රෙව් සහ ග්‍රීක් වචන තවත් කුමකට යොමු දැක්විය හැකිද?
5 මෙන්න සිත්ගන්නා කාරණයක්: බයිබලයෙහි “ප්‍රාණය” ලෙස බොහෝවිට පරිවර්තනය කර ඇති හෙබ්‍රෙව් සහ ග්‍රීක් වචන මනුෂ්‍යයන්ට පමණක් නොව, සතුන්ටද අදාළ වෙනවා. නිදසුනක් ලෙස, මුහුදු සතුන්ගේ මැවීම විස්තර කරද්දී “ජලය වනාහි එහි හැසිරෙන ජීවමාන සත්වයන් [ප්‍රාණ, NW, නෙʹෆෙෂ්, හෙබ්‍රෙව්] බොහෝකොට හටගන්වාවා” කියා දෙවි ආඥා කළ බව උත්පත්ති 1:20හි පවසා තිබෙනවා. ඊළඟ මැවීමේ දවසේදී, දෙවි මෙසේ පැවසුවා: ‘පොළොව වනාහි ඒ ඒ වර්ග ලෙස තිරිසනුන්ද බඩගා යන ජාතීන්ද පොළොවේ මෘගයන්ද යන ජීවමාන සත්වයන් [ප්‍රාණ, NW; නෙʹෆෙෂ්, හෙබ්‍රෙව්] ඒ ඒ වර්ග ලෙස හටගන්වාවා.’—උත්පත්ති 1:24; සසඳන්න ගණන් කථාව 31:28, NW.
6. “ප්‍රාණය” ලෙස පරිවර්තනය කර ඇති වචනය බයිබලයෙහි භාවිත කර ඇති ආකාරය ගැන පැවසිය හැක්කේ කුමක්ද?
6 මේ අනුව බයිබලය මිනිසෙකුව විස්තර කරන්නේ ප්‍රාණයක් හැටියටයි. තවද පුද්ගලයෙකුට හෝ සත්වයෙකුට එසේ නැතහොත් පුද්ගලයෙකු හෝ සත්වයෙකු භුක්ති විඳින ජීවිතයට යොමු දැක්වීම සඳහා මුල් භාෂාවල භාවිත කර ඇත්තේද මේ වචනයමයි. (ඉහළ කොටුව බලන්න.) මිනිසාව සෑදූ ආකාරය පිළිබඳ බයිබලයෙහි විස්තරය සරලයි, පරස්පර විරෝධිතාවලින් තොරයි. එමෙන්ම එය මිනිසුන්ගේ සංකීර්ණ දර්ශනවලින් සහ මිථ්‍යා විශ්වාසයන්ගෙන් අවහිර වෙලත් නැහැ. එමනිසා, ඇසිය යුතු අතිවැදගත් ප්රශ්නය නම්, බයිබලයට අනුව මරණයේදී මිනිසාට සිදු වන්නේ කුමක්ද යන්නයි.
මළවුන්ට සිහිය නැහැ
7, 8. (අ) මළවුන්ගේ තත්වය ගැන ශුද්ධ ලියවිල්ලේ හෙළි කර ඇත්තේ කුමක්ද? (ආ) මිනිසාට අයත් යම් කිසිවක් දිගටම ජීවත් වන බව බයිබලයෙහි අඟවා ඇද්ද?
7 මළවුන්ගේ තත්වය දේශනාකාරයා 9:5, 10හි පැහැදිලි කර ඇත්තේ මෙයාකාරයෙනුයි: “මළාහු කිසිවක් නොදනිති. . . . මිනීවළෙහි වැඩක්වත් යෝජනාවක්වත් දැනගැන්මවත් ප්‍රඥාවවත් නැත.” එසේ නම්, මරණය කියන්නේ සිහිසුන් තත්වයක්. පුද්ගලයෙකු මියයන විට, “ඔහු ස්වකීය භූමියට හැරී යයි; එදාම ඔහුගේ කල්පනා නැතිවේ” කියා ගීතිකාකාරයා ලිව්වා. (ගීතාවලිය 146:4) මළවුන් සිහිසුන්, අක්‍රියාශීලී තත්වයක පසු වේ.
8 ආදම්ට තම තීන්දුව ප්‍රකාශ කරද්දී, දෙවි මෙසේ පැවසුවා: “නුඹ දූවිලිය, දූවිල්ලට හැරී යන්නෙහිය.” (උත්පත්ති 3:19) දෙවි ආදම්ව භූමියේ දූවිල්ලෙන් සාදා ඔහුට ජීවය දෙන්න කලින්, ආදම් ජීවත්ව සිටියේ නැහැ. එමනිසා, ඔහු මියගිය විට, ඔහු ආපසු එම තත්වයටම පත් වුණා. ඔහුගේ දඬුවම වෙනත් විෂයකට මාරුවීමක් නොව, මරණයයි. දිගටම ජීවත් වූ අමරණීය යමක් තිබුණාද? නැහැ. පුද්ගලයෙකු මියයන විට, ඔවුන් සම්පූර්ණයෙන්ම මියයන බව බයිබලය පවසනවා. සෑම ප්රාණයකටම දිගටම ජීවත් වන යම්කිසි අමරණීය දෙයක් ඇති බව බයිබලයෙහි උගන්වන්නේ නැහැ. අමරණීය ආත්මයක් විශ්වාස කරන පුද්ගලයෙකුට මෙහි යම් අමුත්තක් ඇතැයි පෙනුණත්, මරණයේදී සම්පූර්ණ ප්‍රාණය නොහොත් සම්පූර්ණ පුද්ගලයාම මියයන අතර, යමක් තවදුරටත් බේරී පවතින බව සඳහන් කර නැහැ.
9. රාඛෙල්ගේ “ප්‍රාණය යන කල්හි” කියා කියන විට බයිබලය අදහස් කරන්නේ කුමක්ද?
9 එසේ නම් උත්පත්ති 35:18හි වාර්තා වී ඇති රාඛෙල් තම දෙවන පුත්‍රයා ප්‍රසූත කොට ඛේදනීය ලෙස මරණයට පත් වූ අවස්ථාව සම්බන්ධයෙන් කළ ප්‍රකාශය ගැන කුමක් කිව හැකිද? අපට එහි මෙසේ කියවීමට තිබෙනවා: “ඈ මළාය, ඇගේ ප්‍රාණය යන කල්හි ඈ ඔහුට බෙන්-ඕනි යන නම තැබුවාය. එහෙත් ඔහුගේ පියා ඔහුට බෙන්යමින් යන නම තැබීය.” (ඇල අකුරු අපේය.) රාඛෙල්ගේ මරණයේදී ඇගෙන් ඉවත්ව ගිය අභ්‍යන්තර යම් කිසිවක් ඇයට තිබුණු බව මෙම පදයෙන් ඇඟවෙනවාද? කොහෙත්ම නැහැ. “ප්‍රාණය” යන වචනය පුද්ගලයෙකු සතු ජීවිතයට යොමු දැක්විය හැකි බවත් මතක තබාගන්න. එමනිසා මෙම අවස්ථාවේදී රාඛෙල්ගේ “ප්‍රාණය” ඇගේ “ජීවිතයට” යොමු දැක්වූවා පමණයි. “ඇගේ ප්‍රාණය යන කල්හි” යන වගන්තිය වෙනත් පරිවර්තනවල, “ඈ පණ අදින විට,” (නව අනුවාදය) “ඇය අවසන් හුස්ම හෙළුවා” (JB) මෙන්ම “ඇගේ ජීවය ඇය කෙරෙන් නික්ම ගියා” (සරල ඉංග්‍රීසි බයිබලය) ලෙස පරිවර්තනය කරන්නේ ඒ නිසයි. රාඛෙල්ගේ යම්කිසි අභිරහස් කොටසක් ඇගේ මරණයෙන් බේරුණ බවට අඟවන කිසිවක් නැහැ.
10. වැන්දඹුවගේ නැවත-නැඟිටුවනු ලැබූ පුත්‍රයාගේ ප්‍රාණය ‘නැවත ඔහු තුළට පැමිණියේ’ කුමන ආකාරයෙන්ද?
10 පළමුවන රාජාවලිය 17වන පරිච්ඡේදයෙහි වාර්තා වී ඇති වැන්දඹුවගේ පුත්‍රයාගේ නැවත-නැඟිටීම පිළිබඳ සිද්ධියෙන්ද ඒ හා සමාන අදහසක් පළ වෙනවා. විසිදෙවන පදයේදී, එලියා දරුවා ගැන යාච්ඤා කරද්දී ‘යෙහෝවා එලියාගේ හඬට ඇහුම්කන් දුන්නේය; ළමයාගේ ප්‍රාණය නැවත ඔහු තුළට පැමිණ ඔහු ජීවත් වුණේය’ කියා අපට කියවන්න පුළුවන්. (ඇල අකුරු අපේය.) මෙහිදීත් “ප්‍රාණය” යන වචනයෙහි තේරුම “ජීවිතය” යන්නයි. මේ අනුව, නව අමෙරිකානු සම්මත බයිබලයෙහි (ඉංග්‍රීසියෙන්) මෙසේ කියවීමට තිබෙනවා: “ළමයාගේ ජීවය නැවත ඔහු තුළට පැමිණි අතර, ඔහු ජීවත් වුණේය.” ඔව්, ළමයා තුළට පැමිණියේ හොල්මනක් හා සමාන දෙයක් නොව, නමුත් ජීවයයි. එලියා එම දරුවාගේ මවට පැවසූ දෙයට මෙය එකඟ වෙනවා: “මෙන්න, නුඹේ පුතා [සම්පූර්ණ පුද්ගලයා] ජීවත්ව සිටී.”—1 රාජාවලිය 17:23.
ආත්මය ගැන කුමක් කිව හැකිද?
11. බයිබලයෙහි, “ආත්මය” යන වචනය සඳහන් වන විට, එය මරණින් බේරෙන මෙන්ම පුද්ගලයාගෙන් වෙන්ව පවතින යමකට යොමු දැක්විය නොහැක්කේ මන්ද?
11 බයිබලයෙහි “ආත්මය” ලෙස ඇතැම් අවස්ථාවල පරිවර්තනය කර ඇති වචනයෙහි (හෙබ්‍රෙව්, රුʹආහ්; ග්‍රීක්, නියුʹමා) මූලික අර්ථය “හුස්ම” වන අතර, බොහෝ බයිබල් පදවල එය “පණ” හෝ “හුස්ම” හැටියට පරිවර්තනය කර තිබෙනවා. මේ අනුව පුද්ගලයෙකු මියයන විට සිදු වන දේ විස්තර කරන ගීතාවලිය 146:4, බොහෝ පරිවර්තනවල දක්වන්නේ මෙසේයි: “ඔහුගේ හුස්ම නික්ම යයි, ඔහු ස්වකීය භූමියට හැරී යයි.” (ඇල අකුරු අපේය.) “ඔහුගේ ආත්මය නික්ම යන” බව, එනම් වෙනත් අදෘශ්‍යමාන ලොවක ජීවත් වීම සඳහා අමරණීය සචේතනික යමක් ශරීරයෙන් පිටත්ව යන බව එයින් අදහස් කරන්නේ නැහැ. එය සිදු විය නොහැක්කක්. මන්ද ගීතිකාකරු ඊළඟට මෙසේ පවසන නිසයි: “එදාම ඔහුගේ කල්පනා නැතිවේ” (“ඔහුගේ සෑම සිතුවිල්ලක්ම නිමා වෙයි,” නව ඉංග්‍රීසි බයිබලය).
12. බයිබලයෙහි “හුස්ම” හෝ “ආත්මය” හැටියට පරිවර්තනය කර ඇති හෙබ්‍රෙව් සහ ග්‍රීක් වචනවලින් අඟවනු ලබන්නේ කුමක්ද?
12 එනමුත් මෙම හෙබ්‍රෙව් සහ ග්‍රීක් වචන හැමවිටම හුස්ම හැටියටම පරිවර්තනය කිරීමට නොහැකි වන්නේ, හුස්මගැනීමේ ක්‍රියාවට වඩා වැඩි යමක් ඒවායින් අඟවනු ලබන නිසයි. නිදසුනක් ලෙස, සමස්ත ලෝක ජලගැලීමේදී මිනිස් සහ සත්ව ජීවිතවල විනාශය විස්තර කරමින්, උත්පත්ති 7:22 මෙසේ පවසනවා: “තමන්ගේ නාස්පුඩුවල ජීවන හුස්ම [හෝ ආත්මය, හෙබ්‍රෙව්, රුʹආහ්] ඇත්තාවූ එනම් ගොඩබිම සිටි සියල්ලෝම මළෝය.” එමනිසා “රුʹආහ්” නමැති හෙබ්‍රෙව් වචනය ඇතැම් අවස්ථාවලදී ආත්මය හැටියට පරිවර්තනය කරන අතර, බයිබලය ඉන් යොමු දක්වන්නේ මනුෂ්‍යයන් සහ සත්වයන් ඇතුළුව සියලුම ජීවමාන සත්වයන් තුළ ක්‍රියාත්මක වන, හුස්මගැනීමේ ක්‍රියාවලියෙන් පවත්වාගනු ලබන ජීව බලයටයි.
13. ආත්මය හැටියට බයිබලය සඳහන් කරන දේ, පුද්ගලයෙකු මියයන විට දෙවි වෙතට හැරී යන්නේ කුමන අර්ථයෙන්ද?
13 එසේ නම්, පුද්ගලයෙකු මියයද්දී, ‘ආත්මය ඒක දුන් දෙවි වෙතට හැරීයන’ බව දේශනාකාරයා 12:7හි සඳහන් කරන විට ඉන් අදහස් කරන්නේ කුමක්ද? ආත්මය අභ්‍යවකාශය තුළින් ගොස් දෙවිගේ අභිමුඛය වෙතට ඇත්තටම ගමන් කරන බව මින් අදහස් කරනවාද? කොහෙත්ම නැහැ. බයිබලයට අනුව ආත්මය ජීව බලය වන නිසා, එය ‘දෙවි වෙතට හැරීයන්නේ’ අනාගත ජීවිතයක් භුක්ති විඳීම සඳහා පුද්ගලයෙකුට තිබෙන ඕනෑම බලාපොරොත්තුවක් දෙවි මත රඳා තිබෙනවා යන අර්ථයෙනි. කෙනෙකුව නැවත ජීවත් කරවමින්, ආත්මය නැතහොත් ජීව බලය ආපසු ලබා දීමට පුළුවන් වන්නේ දෙවිට පමණයි. (ගීතාවලිය 104:30) එනමුත් එසේ කිරීම දෙවිගේ අරමුණද?
‘ඔහු නැවත නැඟිටියි’
14. තම සහෝදරයාගේ වියෝව හේතුවෙන් දුකින් පසු වූ ලාසරුස්ගේ සොහොයුරියන්ට සැනසීමක් ලබා දීම සඳහා යේසුස් කියූ මෙන්ම කළ දේවල් සඳහන් කරන්න.
14 යෙරුසලමට කිලෝමීටර් තුනක් පමණ නැඟෙනහිර දෙසට වෙන්න පිහිටි, බෙතානිය නම් කුඩා නගරයෙහි සිටි මරියා සහ මාර්තා තම සහෝදර වූ ලාසරුස්ගේ හදිසි වියෝව ගැන ශෝක වෙමින් සිටියා. යේසුස්, ලාසරුස් සහ ඔහුගේ සොහොයුරියන්ට හිතවත් වූ නිසා, ඔවුන්ගේ ශෝකය ඔහු බෙදාගත්තා. මෙම සොහොයුරියන්ව සනසන්න යේසුස්ට හැකි වුණේ කොහොමද? යම් අගක් මුලක් නොතේරෙන කතාවක් කීමෙන් නොව, නමුත් ඔවුන්ට සත්‍යය පැවසීමෙනි. යේසුස් සරලව මෙසේ පැවසුවා: “නුඹේ සහෝදරයා නැවත නැගිටින්නේය.” ඊළඟට යේසුස් සොහොන් ගෙයට ගොස්, ලාසරුස්ව නැවත-නැඟිටෙව්වා. ඔව්, දින හතරකට කලින් මියගිය මිනිසෙකුව ඔහු නැවත ජීවත් කළා!—යොහන් 11:18-23, 38-44.
15. යේසුස් කී මෙන්ම කළ දේට මාර්තා දැක්වූ ප්‍රතිචාරය විස්තර කරන්න.
15 ලාසරුස් ‘නැඟිටින’ බවට වූ යේසුස්ගේ ප්‍රකාශය මාර්තාගේ පුදුමයට හේතුවක් වුණාද? “අන්තිම දවසේ නැවත-නැගිටීමේදී ඔහු නැවත නැගිටින බව දනිමියි” කියමින් ඇය පිළිතුරු දුන් නිසා, පෙනෙන විදිහට ඇය පුදුම වුණේ නැහැ. නැවත-නැඟිටීමේ පොරොන්දුව ගැන ඒ වන විටත් ඇයට ඇදහිල්ලක් තිබුණා. ඊළඟට යේසුස් ඇයට මෙසේ පැවසුවා: “නැවත-නැගිටීමද ජීවනයද මමය. මා කෙරෙහි අදහාගන්නා මළ නුමුත් ජීවත්වන්නේය.” (යොහන් 11:23-25) ලාසරුස්ව නැවත ජීවත් කරවීමේ ප්රාතිහාර්යය ඇගේ ඇදහිල්ල ශක්තිමත් කිරීමටත් අන්‍යයන් තුළ ඇදහිල්ලක් ජනිත කරවීමටත් දායක වුණා. (යොහන් 11:45) එනමුත් “නැවත-නැගිටීම” යන පදයෙන් හරියටම අදහස් කරන්නේ කුමක්ද?
16. “නැවත-නැගිටීම” යන වචනයෙහි තේරුම කුමක්ද?
16 “නැවත-නැගිටීම” යන වචනය අ·නාʹස්ටා·සිස් නමැති ග්‍රීක් වචනයෙන් පරිවර්තනය කර ඇති අතර, වචනයේ පරිසමාප්තියෙන්ම එහි තේරුම, “යළි නැඟිට සිටීම” යන්නයි. ග්‍රීක් භාෂාව හෙබ්‍රෙව් බසට පරිවර්තනය කරන්නන්, අ·නාʹස්ටා·සිස් යන්න පරිවර්තනය කර ඇත්තේ “මළවුන් ප්‍රකෘතිමත් තත්වයකට පත් කිරීම” (හෙබ්‍රෙව්, ටෙචි·යාත්ʹ හාම්·මෙ·තිම්ʹ) යන අදහස මුසු යෙදුමකිනුයි.a මේ අනුව, මරණය නමැති සිහිය නැති තත්වයෙන් පුද්ගලයෙකුව නැඟිටුවීම, එනම් පුද්ගලයාගේ ජීවන රටාව යළි පණගැන්වීම හෝ ප්‍රකෘතිමත් තත්වයට පත් කිරීම නැවත-නැඟිටීමට ඇතුළත් වෙනවා.
17. (අ) පුද්ගලයන්ව නැවත-නැඟිටුවීම යෙහෝවා දෙවි සහ යේසුස් ක්‍රිස්තුස්ට ගැටලුවක් නොවන්නේ මන්ද? (ආ) සිහි කිරීමේ සොහොන් ගෙවල්හි සිටින සියලුමදෙනා සම්බන්ධයෙන් යේසුස් දුන් පොරොන්දුව කුමක්ද?
17 යෙහෝවා දෙවිට අපරිමිත ප්‍රඥාවක් සහ අංග සම්පූර්ණ මතකයක් ඇති බැවින්, පුද්ගලයෙකුව නැවත-නැඟිටුවීම ඔහුට පහසු කාර්යයක්. කලින් ගත කළ ජීවන රටාව, එනම් ඔවුන්ගේ පෞද්ගලික ගතිලක්ෂණ, පෞද්ගලික ඉතිහාසය, ඔවුන්ගේ අනන්‍යතාවට සම්බන්ධ සියලුම තොරතුරු මතකයේ තබාගැනීම ඔහුට ගැටලුවක් නොවෙයි. (යෝබ් 12:13; සසඳන්න යෙසායා 40:26.) තවද, යේසුස් ක්‍රිස්තුස් මළවුන් නැවත-නැඟිටුවීමට කැමැත්තෙන් සිටිනවා පමණක් නොව එසේ කිරීමට ඔහුට හැකියාවකුත් තිබෙනවා. (සසඳන්න ලූක් 7:11-17; 8:40-56.) ඇත්තෙන්ම, යේසුස් ක්‍රිස්තුස් මෙසේ පැවසුවා: “[සිහි කිරීමේ, NW] සොහොන්ගෙවල්හි සිටින සියල්ලන්ට [යේසුස්ගේ] හඬ ඇසෙන පැය පැමිණ, . . . [ඔවුහු] පිටත්ව එන්නෝය.” (යොහන් 5:28, 29) ඔව්, යෙහෝවාගේ මතකයෙහි සිටින සියලුදෙනාම නැවත-නැඟිටුවනු ලබන බවට යේසුස් ක්‍රිස්තුස් පොරොන්දු වුණා. බයිබලයට අනුව, දිගටම ජීවත් වන අමරණීය යමක් නැති නමුත්, මරණයට පිළියම නැවත-නැඟිටීම බව පැහැදිලියි. එනමුත් මිනිසුන් ප්‍රකෝටි ගණන් ජීවත් වී මියගොස් ඇත. නැවත-නැඟිටීමක් බලාපොරොත්තුවෙන් දෙවිගේ මතකයෙහි සිටින්නේ ඔවුන් අතුරින් කවුරුන්ද?
18. නැවත-නැඟිටීමක් ලබන්නේ කවුරුන්ද?
18 යෙහෝවාගේ සේවකයන් ලෙස ධර්මිෂ්ඨ ජීවිත මාර්ගයක් ගත කර ඇති අයට නැවත-නැඟිටීමක් ලැබෙනවා. එනමුත් තමන් දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට අනුකූල වනවාද නැද්ද යන්න පෙන්නුම් කරන්නේ නැතුව, අතිවිශාල ජන සංඛ්‍යාවක් මියගොස් ඇත. ඔවුන් එක්කෝ යෙහෝවාගේ අවශ්‍යතා දැන සිටියේ නැහැ, එසේ නැතහොත්, අවශ්‍ය වෙනස්කම් කිරීමට ප්‍රමාණවත් කාලයක් ඔවුන්ට තිබුණේ නැහැ. මොවුන්ද දෙවිගේ මතකයෙහි සිටින අතර, ඔවුන්ට නැවත-නැඟිටීමක් ලැබෙනවා. “ධර්මිෂ්ඨයන්ගේද අධර්මිෂ්ඨයන්ගේද නැවත-නැගිටීමක් වන්නේයයි” බයිබලයෙහි පොරොන්දු වී ඇත්තේ එනිසයි.—ක්‍රියා 24:15.
19. (අ) ප්‍රේරිත යොහන් නැවත-නැඟිටීම ගැන ලැබුවේ කුමන දර්ශනයද? (ආ) ‘ගිනිවිලට හෙළනු ලබන්නේ’ කුමක්ද? තවද මෙම ප්‍රකාශයෙන් අදහස් කරන්නේ කුමක්ද?
19 දෙවිගේ සිංහාසනය ඉදිරියෙහි නැවත-නැඟිටුවනු ලැබූ අය සිටින හද දනවන දර්ශනයක් ප්‍රේරිත යොහන් දුටුවා. එය විස්තර කරමින් ඔහු මෙසේ ලිව්වා: “සමුද්‍රය එහි උන් මළවුන් පාවාදුන්නේය. මරණයත් පාතාලයත් එහි උන් මළවුන් පාවාදුන්නෝය. ඔව්හු එකිනෙකා තම තමාගේ ක්‍රියා ලෙස විනිශ්චයකරනු ලැබුවෝය. මරණයත් පාතාලයත් ගිනිවිලට හෙළනලද්දේය. මෙය දෙවෙනි මරණයය, එනම් ගිනිවිලය.” (එළිදරව් 20:12-14) එයින් අදහස් කරන්නේ කුමක්ද කියා ටිකක් සිතා බලන්න! දෙවිගේ මතකයෙහි සිටින සියලුම මළවුන් මනුෂ්‍යවර්ගයාගේ පොදු මිනීවළ වන හේදීසය නොහොත් ෂෙයෝලයෙන් මුදනු ලබනවා. (ගීතාවලිය 16:10; ක්‍රියා 2:31) ඊළඟට, “මරණයත් පාතාලයත්” සදාකාල විනාශය සංකේතවත් කරන “ගිනිවිල” යයි හඳුන්වන යමකට හෙළනු ලබනවා. මනුෂ්‍යවර්ගයාගේ පොදු මිනීවළ නැති වී යයි.
අද්විතීය අපේක්ෂාවක්!
20. දැන් මියගොස් ඇති කෝටි ගණන් අය මොන වගේ පරිසරයක් තුළටද නැවත-නැඟිටුවනු ලබන්නේ?
20 කෝටි ගණන් නැවත-නැඟිටුවනු ලබන විට, ඔවුන්ව නැවත ජීවත් කරවන්නේ හිස් පොළොවක නොවෙයි. (යෙසායා 45:18) මරණ නින්දෙන් අවදි වන ඔවුන් බොහෝ සෙයින් අලංකාර වූ පරිසරයක් දකින අතර, ඉඳුම් හිටුම්, ඇඳුම් පැළඳුම් සහ ආහාර බහුල ලෙස තමන් වෙනුවෙන් සූදානම් කර ඇති බව දැකගනීවි. (ගීතාවලිය 67:6; 72:16; යෙසායා 65:21, 22) මෙම කටයුතු සියල්ල සූදානම් කරන්න යන්නේ කවුද? පැහැදිලිවම, ඔවුන්ගේ භූමික නැවත-නැඟිටීම පටන්ගැනීමට කලින්, නව ලොවෙහි ජීවත්ව සිටින පුද්ගලයන් විය යුතුයි. එනමුත් ඒ ගණයට වැටෙන්නේ කාවද?
21, 22. “අන්තිම දවස්වල” ජීවත් වෙමින් සිටින අයට ඉදිරියේදී තිබෙන්නේ මොන අද්විතීය අපේක්ෂාවද?
21 බයිබල් අනාවැකිවල ඉටුවීමෙන් පෙනී යන්නේ, අප මෙම දේවල පිළිවෙළේ “අන්තිම දවස්වල” ජීවත් වන බවයි.b (2 තිමෝති 3:1) ඉතාම ළඟදී, යෙහෝවා දෙවි, මිනිස් කටයුතුවලට මැදිහත් වී, පොළොවෙන් දුෂ්ටකම අතුගා දමන්න යනවා. (ගීතාවලිය 37:10, 11; හිතෝපදේශ 2:21, 22) ඒ අවස්ථාවේදී, දෙවිට විශ්වාසවන්තව සේවය කරන අයට සිදු වෙන්න යන්නේ කුමක්ද?
22 යෙහෝවා දුෂ්ටයන් සමඟ ධර්මිෂ්ඨයන්ව විනාශ කරන්නේ නැහැ. (ගීතාවලිය 145:20) ඔහු කිසිදාක එවන් දෙයක් කර නැති අතර, පොළොව සියලු නපුරෙන් පවිත්‍ර කරන විටත් එසේ කරන්න යන්නේ නැහැ. (උත්පත්ති 18:22, 23, 26 සසඳන්න.) ඇත්තෙන්ම, “සියලු ජාතීන්ගෙනුත් ගෝත්‍රවලිනුත් සෙනගගෙනුත් භාෂාවන්ගෙනුත් කිසිවෙකුට ගණන්කළ නොහැකි මහත් සමූහයක්” ‘මහත් පීඩාව’ මැදින් එන ආකාරය ගැන බයිබලයෙහි සඳහන් කරනවා. (එළිදරව් 7:9-14) ඔව්, වර්තමාන දුෂ්ට ලෝකය නිමා වෙද්දී, මහත් ජන සමූහයක් මහත් පීඩාවෙන් බේරී, දෙවිගේ නව ලොව තුළට පිවිසෙන්න යනවා. එහිදී, මනුෂ්‍යවර්ගයාව පාපයෙන් සහ මරණයෙන් නිදහස් කිරීමට වූ දෙවිගේ මහඟු සැපයුමෙන් සම්පූර්ණ ප්‍රයෝජන ලබාගැනීමට කීකරු මනුෂ්‍යවර්ගයාට පුළුවන් වෙයි. (එළිදරව් 22:1, 2) එබැවින් ‘මහත් සමූහයට’ කවදාවත් මරණය අද්දැකීමට අවශ්‍ය වෙන්නේ නැහැ. මොනතරම් අද්විතීය අපේක්ෂාවක්ද!
මරණය නොමැති ජීවිතයක්
23, 24. පාරාදීස පොළොවෙහි මරණයක් නොමැති ජීවිතය භුක්ති විඳීමට ඔබට ඕනෑ නම් ඔබ කුමක් කළ යුතුද?
23 මෙම පුදුම දනවන බලාපොරොත්තුව සම්බන්ධයෙන් අපට නිසැක විය හැකිද? ඇත්තවශයෙන්ම ඔව්. ජනයා කිසිදාක මියයන්නේ නැතුව ජීවත් වන කාලයක් තිබෙන්න යන බව යේසුස් ක්‍රිස්තුස්ම ඇඟෙව්වා. තම මිත්‍ර ලාසරුස්ව නැවත-නැඟිටුවීමට කලින්, යේසුස් මාර්තාට මෙසේ පැවසුවා: “ජීවත්ව සිටින කවුරු නුමුත් මා කෙරෙහි අදහන්නේද, ඔහු කිසිකලකත් නොනසින්නේය.”—යොහන් 11:26.
24 පාරාදීස පොළොවක සදාකල් ජීවත් වීමට ඔබට ඕනෑද? ඔබේ ප්‍රේමනීයයන්ව නැවත දැකීමට ඔබට දැඩි ආශාවක් තිබෙනවාද? ප්‍රේරිත යොහන් මෙසේ පැවසුවා: “ලෝකයත් ලෝකයේ තෘෂ්ණාවත් පහවයන්නේය. නුමුත් [දෙවිගේ] කැමැත්ත කරන්නා සදාකාලේටම පවතින්නේය.” (1 යොහන් 2:17) දෙවිගේ කැමැත්ත කුමක්ද කියා ඉගෙනීමටත්, ඊට එකඟව ජීවත් වීමට අදිටන් කිරීමටත් කාලය දැන්ය. එවිට, දෙවිගේ කැමැත්ත දැනටමත් කරමින් සිටින තවත් දශලක්ෂ ගණනාවක් සමඟින් පාරාදීස පොළොවෙහි සදාකල් ජීවත් වීමට ඔබටත් හැකි වෙයි.
[පාදසටහන්වල]
a “නැවත-නැගිටීම” යන වචනය හෙබ්‍රෙව් ලියවිලිවල දක්නට නොලැබුණද, නැවත-නැඟිටීම පිළිබඳ බලාපොරොත්තුව යෝබ් 14:13, දානියෙල් 12:13 සහ හොෂෙයා 13:14හි පැහැදිලිව ප්‍රකාශ කර තිබේ.
b Watchtower Bible and Tract Society of New York, Inc., මගින් ප්‍රකාශිත සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම පොතෙහි 98-107වන පිටු බලන්න.
ඔබට මතකද?
◻ “ප්‍රාණය” ලෙස පරිවර්තනය කර ඇති මුල් භාෂා වදන්වල මූලික තේරුම කුමක්ද?
◻ මරණයේදී මිනිසෙකුට සිදු වන්නේ කුමක්ද?
◻ බයිබලයට අනුව, මරණයට ඇති පිළියම කුමක්ද?
◻ අදදින ඇදහිලිවන්තයන් ඉදිරියෙහි ඇත්තේ කුමන අද්විතීය අපේක්ෂාවද?
[15වන පිටුවේ කොටුව]
“ප්‍රාණය”—සත්වයෙකුගේ ජීවිතය
ඇතැම් අවස්ථාවල, “ප්‍රාණය” යන වචනය පුද්ගලයෙකු හෝ සත්වයෙකු භුක්ති විඳින ජීවිතයට යොමු දක්වනවා. ප්‍රාණය ලෙස පරිවර්තනය කර ඇති තනි වචනය යොදද්දී, බයිබල් ලේඛකයන්ගේ මනසෙහි තිබුණු අදහස මින් වෙනස් වන්නේ නැහැ. සම්පූර්ණ ජීවමාන පුද්ගලයෙකුට යොමු දැක්වීම සඳහා බයිබල් ලේඛකයන් නෙʹෆෙෂ් යන වචනය යෙදූ විට, එය ප්‍රාණය ලෙස පරිවර්තනය කර ඇති අතර, පුද්ගලයා ප්‍රාණයක් හැටියට ඔවුන් විස්තර කළා. එනමුත්, ඔහු ජීවමානව සිටිද්දී, ඔහුට තිබෙන ජීවිතයට යොමු දක්වන්නත් නෙʹෆෙෂ් සහ සයි·කෙʹ යන වචනම යොදාගත හැකි අතර, එම පාඨ සම්බන්ධයේදී ඒවා ප්‍රාණය ලෙස සාමාන්‍යයෙන් පරිවර්තනය කරනවා.
නිදසුනක් ලෙස, දෙවි මෝසෙස්ට මෙසේ පැවසුවා: “නුඹේ ප්‍රාණය නසන්ට සෙවූ සියල්ලෝ මළෝය.” මෝසෙස්ගේ සතුරන් ඔහුගේ ජීවිතය ගැනීමට සෙවූ බව පැහැදිලියි. (නික්මයාම 4:19, ඇල අකුරු අපේය; සසඳන්න යෝෂුවා 9:24; හිතෝපදේශ 12:10.) “මනුෂ්‍ය පුත්‍රයා . . . බොහෝ දෙනෙක් උදෙසා මිදීමේ මිලයක් කොට තමන්ගේ ජීවිතය [ප්‍රාණය, NW] දෙන්ටද ආවේයයි” කී විට, යේසුස් එම වචනය සමාන අදහසකින් භාවිත කළා. (මතෙව් 20:28; සසඳන්න 10:28 NW.) මේ සෑම අවස්ථාවකදීම “ප්‍රාණය” යන වචනයෙහි තේරුම සත්වයෙකුගේ “ජීවිතය” යන්නයි.
[15වන පිටුවේ පින්තූර]
මේ සියල්ලන්වම බයිබලයෙහි එකම වචනයකින් විස්තර කර තිබෙනවා
[හිමිකම් විස්තර]
ගුමන කුරුල්ලා: U.S. Fish and Wildlife Service, Washington, D.C./Dean Biggins
[17වන පිටුවේ පින්තූරය]
මරණයට පිළියම නැවත-නැඟිටීම බව යේසුස් නිරූපණය කළා
[18වන පිටුවේ පින්තූරය]
“ජීවත්ව සිටින කවුරු නුමුත් මා කෙරෙහි අදහන්නේද, ඔහු කිසිකලකත් නොනසින්නේය.”—යොහන් 11:26.